Tuesday 26 February 2013

05. තමරුගෙ කතාව - පස් වන කොටස


"උපා, ඔයාට මතකද මෙතන?"

තමරු සිය මිතුරියව අවසානයේදී කැඳවාගෙන ආවේ දම් පැහැ රබරෝසියා මලින් වැසී ගිය පියගැට පෙළක් වෙතටයි. විශ්ව විද්‍යාල භූමියේ සොඳුරුතම ස්ථානයන්ගෙන් එකක් වූ එය එළිමහන් රංග පීඨයක් ලෙසින්ද භාවිතා වූ අතර, සරසවි සිසු සිසුවියන් නිරන්තරයෙන් සිය නිදහස් කාලය ගත කිරීමට එක් රොක් වූ තැනකි. තමරු, උපා ඇතුළු මිතුරියන් පිරිස එකළ පාඩම් කිරීමටද, කඩචෝරු සපමින් ඕපාදූප කියවීමටද පැමිණියේ මෙතැනටය. උදෑසන අකලංක සමගම විශ්ව විද්‍යාලය වෙත පැමිණ ඔහුගේ උදෑසන වරුවට නියමිතව තිබූ දේශනය නිම වන තෙක් උපමාලි සමග ඒ මේ අත ඇවිදිමින් ඇයට සිහිපත් කරගත හැකි කිසිවක් ගැන ඉඟියක් හෝ ලබාගැනීමට උත්සාහ දැරුවද තමරුගේ ඒ සෑම උත්සාහයක්ම ඒ වන විට ව්‍යර්ථව ගොස් තිබුණි.

"නෑ අනේ, කොහෙද මේ?" උපමාලි පඩියක් මතින් හිඳගනිමින් ඇසුවාය.

"මේ තමයි වළ. මෙතන ඉඳන් අපේ කට්ටිය කොච්චර ලස්සන නාට්‍ය කරලා තියෙනවද? මතකද, ඒ දවස් වල අකලංකත් මෙතන කොච්චර නාට්‍ය වලට හිටියද. මතක් කරන්නකො කෙල්ලෙ."

"අකලංක?"

"එයා ඔයාට තමයි මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ."

"කවුද ඒ?"

තමරුට මහා දුකක් දැනුණි. ඒ කා ගැනදැයි ඇයම දැන සිටියේ නැත. "අනේ උපා..."

"ඇයි එයා මට ආදරේ කරන්නෙ?"

"එයාට ඕනෙ ඔයා ඉක්මණින් සනීප වෙනවා දකින්න. ඔයාට අද උදේ බෙහෙත් ටිකත් පෙව්වෙ, මතකද?"

"ආ, දොස්තර මහත්තයා!" උපාගේ මුහුණ එක්වරම එළිය වැටුණි.

"දොස්තර?" තමරුට කිසිවක් සිතාගත නොහැකි විය.

"අද උදේ මට බෙහෙත් දුන්නෙ දොස්තර මහත්තයා නේද? එයා ඇත්තටම හරි කරුණාවන්තයි තමයි." උපමාලි මොහොතක් දෑත් දෙකොපුලේ තබාගෙන කල්පනා කළාය. අනතුරුව පුළුල් සිනහවකින් මුව සරසාගෙන කතා කළාය. "හරි හරි, මට දැන් තේරෙනවා. ඒ දොස්තර මහත්තයා. එතකොට ඔයා නර්ස් නේද? ඔය දෙන්නා තමයි මාව බලාගන්නෙ, එහෙම නේද?" අනතුරුව ඇගේ මුහුණ යළිත් කල්පනාවෙන් බර විය. "ඇයි මාව එහෙම බලාගන්නෙ? මට සනීප නැද්ද? මොකද්ද මට තියෙන ලෙඩේ?"

තමරු කුමන පිළිතුරක් දෙන්නදැයි නොදැන බලා සිටියාය.

"මෙතන මොනාද පෙන්නපු නාට්‍ය?" උපමාලි එක්වරම කතාව වෙනස් කළාය. මෙම අසනීප තත්ත්වය හා ගනුදෙනු කරද්දී තමා මෙවැනි දේවල් වලට පුරුදු විය යුතු බව තමරු වටහාගත්තාය.

"එක එක ජාතියේ නාට්‍ය. සමහර දාට අපේ කට්ටියම හදපුවා, රජ කතා, ජාතක කතා, ඔහොම එක එක විදිහේ ඒවා. ඔයාට මතකද එක සැරයක් නාට්‍යයකට ඔයත් ලෑස්ති උනා. අකලංක ඔයාව බලෙන්ම කැමති කරවගත්තෙ. ඔයා කැමති උනේ එහෙම නොකළොත් එයා තරහ වෙයි කියන බයට. ඒ සුමාන දෙකේ ඔක්කොම පාඩම් පැත්තක තියලා ඔයා නාට්‍යය දෙබස් තමයි පාඩම් කළේ. ඔයත් එක්ක ඉඳලා අන්තිමට මටත් දෙබස් පාඩම් හිටියා. මතකද ඊට පස්සෙ මොකද උනේ කියලා?"

"නෑ. මොකද උනේ?"

එම මොහොතේ තමරුගේ ජංගම දුරකථනය නාද විය. "හෙලෝ... ඔව් අකලංක... අපි වළේ ඉන්නෙ... හරි... එහෙනං එන්න මෙතනට..." දුරකථනය ක්‍රියා විරහිත කළ ඇය "අකලංකත් එයි දැන්," යැයි උපමාලිට කීවාය.

"ඉතින් නාට්‍යට මොකද උනේ?"

"ඔයා අන්තිම මොහොතෙදි බෑ කිව්වනෙ නාට්‍යට එන්න."

"හපෝ, මං හරි නරකයිනේ. ඉතිං මොකද උනේ?"

"අකලංකට හොඳටම තරහා ගිහිං හිටියේ. එයාගෙ ස්ක්‍රිප්ට් එක. එයයි මේන් ඇක්ටර්. එයාට ඕන උනේ ප්‍රධාන නිළියට ඔයාව ගන්න. අන්තිම මොහොතෙදි ඔයා බෑ කිව්වම එයාට හොඳටම තරහා ගියා."

"දොස්තර මහත්තයට?"

"එයා දොස්තර කෙනෙක් නෙමෙයි උපා."

"ඉතිං නාට්‍යට මොකද උනේ?"

"අන්තිමට මටයි රඟපාන්න උනේ ඒ චරිතෙ. ඔයාට දෙබස් පාඩං කරන්න උදව් වෙලා මටත් ඒවා පාඩම් හිටලනෙ තිබ්බෙ."

එක්වරම අකලංකගේ කටහඬ පිටුපසින් ඇසුණි. "දෙන්නා බර කතාවක වගේ." ඔහු පැමිණ උපමාලි අසළින් හිඳගත්තේය.

ලැජ්ජාවෙන් රතු වූ මුහුණ බිමට හරවාගත් ඇය තමරුට මඳක් ආසන්න වූවාය. අකලංක ඇයට කැමැත්තෙන් පසු වූ මුල් දිනවල උපමාලිගේ හැසිරීම අකලංකටත් තමරුටත් යළි සිහිපත් විය. 

"මොනවා ගැනද දෙන්නා කතා කර කර හිටියේ?"

"අපිට අවුරුදු හයක දේවල් තියෙනවනේ මතක් කර කර කතා කරන්න, නේද උපා?" තමරු ඇසුවාය.

"අවුරුදු හයක්?"

"ඔව්, අපි මේ කැම්පස් එකේ අවුරුදු හයක්ම හිටියනේ. අර පේන්නේ," ඇය ඈතින් දිස් වූ නේවාසිකාගාර ගොඩනැගිල්ල වෙත අත දිගු කළාය, "අපේ හොස්ටල් එක."

"මං හිතුවේ අද තමයි අපි මුළින්ම මෙහෙට ආවේ කියලා."

තමරුත් අකලංකත් මුහුණින් මුහුණ බලාගත්තෝය. අනතුරුව අකලංක කතා කළේය. "එන්නකෝ, අපිට බලන්න තව තැනක් තියෙනවා."

ඔවුන් ඇවිද ගියේ සුන්දර සරසවි භූමිය මැදින් ඇදී ගිය මහවැලි නදිය වෙතටය. ඇහැළ මලින් වැසී ගිය මාවත් දිගේ අතිනත් පටලාගෙන ඇවිදින යොවුන් ආදරවන්තයෝ සිය ආචාර්යවරයා දැක වහා මෑත් වෙමින් ඔවුනට ඉඩ දුන්නෝය. අකලංකගේ කතාව කලා පීඨයේ ආචාර්ය මඬුල්ලේ සියල්ලෝම මෙන්ම ඇතැම් සිසු සිසුවියන්ද දැන සිටියෝය. එය ඔවුන් තුළ ඔහු කෙරෙහි ඇති ගෞරවය තව තවත් වැඩි වීමට හේතුවක් විය.

මහවැලි නදිය පෙනෙන මානයේ වූ බංකුවක් අසළට පැමිණි අකලංක නතර විය. ඒ වන විට මහත් වෙහෙසට පත්ව සිටි උපමාලි වහා ඒ මතින් වාඩි විය. 

"අකලංක වාඩිවෙනවද?" තමරු ඇසුවාය.

"නෑ තමරු, ඔයා වාඩි වෙන්න. වාඩි වෙලා මං මේ උපාට කියන දේවල් ඇහෙන් නෑ වගේ ඉන්න."

තමරු සිනාසුණාය. "ඉතිං මං අහකට යන්නංකෝ. වාඩි වෙලා දෙන්නත් එක්ක ඕන දෙයක් කතාකරගන්න." ඇය ඉවතට යාමට සූදානම් වුවද උපමාලි වහා ඇගේ අතේ එල්ලුනාය. 

"නෑ තමරු, ඔයත් ඉන්න. නැත්තං මේ පොඩි එකෙක් එහෙම දැක්කොත් හරි නෑ," අකලංක කීවේය.

එවර උපමාලි අසළින් බංකුවේ වාඩි වූ තමරු ගල්කැට අහුරක් අතට ගෙන ගලා යන නදියේ රැළි අතර සැඟවී යන ලෙසින් ඒ එකින් එක විසි කරන්නට වූවාය.

"උපා ඔයාට මතකද මෙතන?"

"නෑ ඩොක්ටර්."

"ඩොක්ටර්?" අකලංක තමරු දෙස බැලුවාය.

"එයා හිතං ඉන්නෙ ඔයා එයාගෙ ඩොක්ටර්,  මං නර්ස් කියලා." තමරු පැහැදිලි කළාය.

අකලංක යළි උපා වෙත හැරුණේය. "මං ඩොක්ටර් නෙමෙයි උපා. මං ඔයාගෙ අකලංක."

"මගෙ? අකලංක?" උපා වදන් වෙන වෙනම උච්ඡාරණය කළාය.

"ඔව්. ඔයාට මතකද, ඔයා මුළින්ම අපි දෙන්නා ගැන ඔයාගෙ ගෙදරට කියපු විස්තරේ ඇවිත් මට කිව්වෙ මෙතන ඉඳන්."

"අපි දෙන්නා ගැන ගෙදරට කිව්වා? මං? ඇයි ඒ?"

"ඔයයි මමයි යාළුයි කියලා."

උපා තමරුගේ උරහිසින් ඇද්දාය. "මෙයා ඇත්තද මේ කියන්නේ?" ඇය තමරුගෙන් ඇසුවාය.

"ඔව් උපා."

"දොස්තර මහත්තයා මාව කළිං ඉඳන් දන්නවද?"

අකලංක නැවත කෙළින් වී ඉවතට හැරුණේය. තමරු උපමාලි දෙසට හැරුණාය. "උපා, මම අර ඉස්සල්ලා කිව්වෙ වළේ නාට්‍ය ගැන, ඔයාට කැමැත්තෙන් හිටපු, ඔයාට ආදරේ කරපු අකලංක ගැන. මේ එයාමයි."

"ඉතිං ඒ නාට්‍යෙ අන්තිමට රඟපෑවෙ ඔයානේ."

"අනේ දෙයියනේ," තමරු හිස දෑතේ හොවාගත්තාය. අකලංකද හිස දෙපසට වැනුවේය.

"මට මේ මුකුත් තේරෙන් නෑ අනේ." උපමාලි රැළි කරගත් නළල අතගෑවාය.

අකලංක යළිත් ඈ වෙත නැඹුරු විය. "උපා, ඔයාට කියන්න පුළුවන්ද මට දැන් හිතෙන දේ?" උපමාලි ඔහු දෙස බලා සිටියාය. "මගෙ ඇස් දෙක දිහා හොඳට බලලා කියන්න."

"දොස්තර මහත්තයා දුකෙන්." උපමාලි මඳ වේලාවක් ඔහුගේ දෑස් දෙස බලා හිඳ කීවාය.

"මම දොස්තර මහත්තයා නෙමෙයි, අකලංක - ඔයාගෙ අකලංක."

"අක-ලංක - දුකෙන්." ඇය වදන් එකින් එක ගැලපුවාය.

"මං දුකෙන් ඉන්නෙ ඇයි කියලා දන්නවද?" ඔහු ඇගේ දෑස් මට්ටම තෙක් පහත් වී අසළ වූ ගසකට පිට දී ඇණ තියාගත්තේය.

උපමාලි නැතැයි කීමට හිස දෙපසට වැනුවාය.

අකලංක ඇගේ දෑතින් අල්ලාගන්නට උත්සාහ කළේය. නමුත් ඇය ප්‍රවේශමෙන් සිය දෑත් යළි මුදාගත්තාය. "ඔයාට කොහොමද උපා මාව අමතක වෙන්නෙ? මගෙ ආදරේ අමතක වෙන්නෙ? මෙතන අමතක වෙන්නෙ?"

"මෙතන?" උපමාලි හිස හරවා වටපිට බැලුවාය.

"ඔව්? මතකද?"

උපමාලි යළි ඔහු වෙත හැරුණාය.

"මතකද?" අකලංක යළි ඇසුවේය.

උපමාලි දිගටම ඔහුගේ දෙනෙත් දෙසම බලා සිටියාය. කෙමෙන් එම දෑසට කඳුළු උනා ආවේය. 

අකලංකගේද දෙනෙත් රත් පැහැ ගැන්වෙන්නට පටන්ගත්තේය. "ඔයාට මතකයි නේද උපා? එදා මෙතන - "

"අනේ මට... මුකුත් මතක නෑ....." උපමාලි ඉකිබිඳිමින් හඬන්නට වූවාය.

අකලංක වහා ඇගේ දෑතින් අල්ලාගත්තේය. "කමක් නෑ මගෙ වස්තුවේ, අනේ අඬන්න එපා..." ඔහු කතා කළේද අපහසුවෙනි. තවත් එතැන හිඳිය නොහැකි වූ තමරු නැගිට දෑස් පිසදමමින් ගං ඉවුර වෙත ඇවිද ගියාය.
අකලංක උපමාලිගේ දෑත් අතගාමින් ඇයව සනසන්නට උත්සාහ කළේය. "සොරි උපා. අනේ අඬන්න එපා... මගෙ මැණික... උපමාලි..."

ඇගේ ඉකිබිඳීම එක් වරම නතර විය. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. 

"මොන දේ උනත් මං ඔයා ලඟම ඉන්නවා... ඉතිං අඬන්න එපා..." ඔහු තමරුගෙන් හිස් වූ බංකුවේ අනෙක් පස හිඳගෙන උපමාලිව තුරුළු කරගත්තේය. ඇය එයට විරෝධයක් නොපා සිටීම ඔහුගේ මහත් සැනසීමට හේතු විය. අවම වශයෙන් ඇයට එම මතකයෙන් හෝ එදින ඉතිරි හෝරා කීපය ඔහුට ආදරය කිරීමට හැකි වනු ඇත. එක් වරක් තමරු සිටින දෙසත් අවටත් වෙත නෙත් යොමු කළ අකලංක එක් වරම පහත් වී උපමාලිගේ දෙතොල් සිය දෙතොලින් ස්පර්ශ කළේය. අනතුරුව සෙමෙන් ඈ වෙතින් මෑත් වූ ඔහු ඈ කිනම් ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි ඇගේ මුහුණට එබී බැලුවේය. නැවතත් කඳුළු උනා එන දෑසින් ඔහු දෙස බලා සිටි ඇය ඔහුගේ උරහිසේ මුහුණ හොවාගත්තාය. "අකලංක... මගෙ අකලංක..." ඇය ඉකිබිඳින හඬ ඇසුණි.

"මගෙ වස්තුවේ..... ඔයාට මතක් උනාද?" අකලංක ඇයව තුරුළු කරගෙන ඇසුවේය.

"ඔව්....... ඔයා මට පළවෙනි හාදුව දුන්නෙ මෙතනදි..."

අකලංක ඇගේ හිස අතගෑවේය. ඔහුගේ දෑසින්ද කඳුළු ගලමින් තිබුණි. "ඔයාට සනීපයි....."

"අදත් එදා වගේ ප්ලෑන් කරලද මේක කළේ?" උපමාලි හිස ඔහුගේ උරහිසේ සඟවාගෙනම කතා කළාය.

අකලංක කඳුළු අතරින් සිනාසුනේය. "ඔව්."

"එහෙනං මට එදා කියපු එකම තමයි කියන්න තියෙන්නේ."

එක් වරම තමරුගේ කටහඬ ඇසුණි. "අකලංක, ළමයි කට්ටියක් මේ පැත්තට එනවා." ඇය ඔවුන් දෙදෙනා සිටි දෙසට හැරුණාය. පෙම්වතුන් යුවළ එකිනෙකාට තුරුළු වී සිටිනු දුටු ඇයට දෑස් අදහාගත නොහැකි විය. ඇගේ මුහුණ සිනහවකින් පිරී ගියේය. "උපා?"

නමුත් ඊලඟ නිමේශයේ ඈ ඇසිපිය හෙළා බලනා විට අකලංක සිටියේ බංකුව පාමුලය. ඔහු දුහුවිලි පිසදමමින් නැගී සිටිනා අතරේ උපමාලි වහා තමරු වෙත දිව ආවාය. "නර්ස්, මේ පිස්සු දොස්තරට කියන්න තමුංගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න කියලා!" ඇය තමරුට මුවා වෙමින් අකලංක වෙත දබරැඟිල්ල දිගු කරමින් චෝදනා කළාය. 

අකලංක වෙව්ළන යටි තොල විකාගෙන උපමාලි දෙස මොහොතක් බලා හිඳ කලිසම් සාක්කුවේ වූ ලේන්සුව පිටතට ගනිමින් ආපසු හැරුණේය.
"ගෙදර යං." ඔහු බිඳුණු හඬින් පවසනු ඇසුණි.

Friday 22 February 2013

05 තමරුගෙ කතාව - සිව් වන කොටස



තමරු හා අකලංක විහාර මහා දේවී උද්‍යානයේ හමුව කතාබස් කළ දින සිට මේ දක්වා සිදු වූ සිද්ධි දාමය දෙස බලන්නෙකුට එය අනුපමේය මිත්‍රත්වයක් උදෙසා සැපයිය හැකි කදිම පූර්වාදර්ශයකැයි සිතිය හැකිය. අසනීපයෙන් පසු වූ සිය මිතුරියව මුල් වරට දුටු දිනයේ තමරු සිය කඳුළු වළක්වාගෙන සිටියේ ඉමහත් අපහසුවෙනි. ඒ උපමාලිත්, ඇගේ අසරණ මව්පියනුත් වෙනුවෙනි. සිය එකම දියණිය තමාව නොහඳුනන බව දැනගත් මුල්ම දිනයේ හෘදයාබාධයකට ලක් වූ උපමාලිගේ පියාද ඒ වන විට සිටියේ බෙහෙවින් දුර්වලවය. උපමාලිගේ මවගේ සිතේ දිරිය නිසාම නොවන්නට මෙය කිසිසේත් තනිවම කරගෙන යා හැකි අරගලයක් නොවීය. මෙම අසරණ පවුලට ඇති එකම පිහිට අකලංක බව තමරු වටහාගත්තාය. තමා මෙයට මැදිහත් විය යුතුදැයි අමුතුවෙන් සිතන්නට දෙයක් ඇයට තිබුණේ නැත, තමරු ඒ වන විටත් එය තීරණය කොට හමාරය. මේ සිටින්නේ සරසවි දිවියේ සය වසරක් පුරා සිය ප්‍රාණ සම මිතුරිය වී කඳුළත් සිනහවත් එක්ව බෙදාගත් තැනැත්තියයි. එම මිතුදම කෙමෙන් දුරස් වී ගියේ කාගේ අතපසු වීමෙන්දැයි නොදත්තද එය එසේ සිදුවීමට ඉඩ දීම ගැන තමරු සිය දහස් වැනි වතාවටද පසුතැවිලි වූවාය. මේ එළැඹ තිබෙන්නේ එය නිවැරදි කරගැනීමට අවස්ථාවයි. 

එම තීරණය සිතෙහි දරාගෙන එදින එම නිවසින් පිටත් වූ තමරු නැවතත් ඉන් දෙමසකට පසු අකලංක සමග එහි පැමිණියේ උපමාලිව කැටුව යාමටය. අකලංක ඒ වන විට කිහිප විටක්ම පැමිණ උපමාලිගේ මව සමග කතාබස් කොට මේ සඳහා ඇගේත්, පියාගේත් අනුමැතිය ලබාගෙන තිබුණි. තමරු සිය රාජකාරි ස්ථානයෙන් නුවරට මාරුවක් ලබාගත්තේද, අකලංක නුවරින් නිවසක් කුලියට ගත්තේද ඉන් පසුවය. 

"අම්මා පොඩ්ඩක්වත් බය වෙන්න එපා, අපිට මෙහෙම කරන්න වෙන්නේ උපාගෙම හොඳට, අම්මා දන්නවනේ?" අකලංක කඳුළු සලමින් සිටිනා මව අස්වසන්නට නැවත නැවතත් උත්සාහ කළේය.

"මාත් ඉන්නවනේ නැන්දේ. මාමවයි උපාවයි දෙන්නවම බලාගන්න නැන්දට තනියම බෑනේ. අනික අපි දැන් යන තැන ටවුමෙන් ටිකක් ඇතුළට වෙන්න තියෙන හරි නිස්කලංක තැනක්. උපාට හොඳයි එහෙම තැනක ඉන්න එක. හොස්පිට්ල් එකටත් ලඟයිනේ," තමරුද එකතු කළාය.

"නුවරට මෙහෙ ඉඳන් ඒ හැටි දුරකුත් නෑනේ. ඕන වෙලාවක අම්මට ඇවිල්ලා උපාව බලලා යන්න බැරියැ. එන්න ඕන උනාම කියන්නකො, මං ඇවිත් අම්මවයි අප්පච්චිවයි එක්ක යන්නම්. කොහොමත් අපි උපාව මාසෙකට සැරයක්වත් ගෙදර එක්කං එන්නං."

"අර අත් උදව්වට එනවයි කිව්ව ගෑණු එක්කෙනා විශ්වාසද?" අවසානයේදී මව කඳුළු පිසගෙන ඇසුවාය.

"ඔව් අම්මේ. අපෙ කැම්පස් එකේම ප්‍රොෆෙසර් කෙනෙක් තමයි හොයලා දුන්නේ. එයාගෙ බබා පුංචි කාලෙදි බලාගත්තු ආයම්මා. ඒ පැත්තෙමයි ඉන්නේ. දවල් වරුවට ඇවිත් යන්න එනවා, රෑට අපි දෙන්නම ඉන්නවනේ." අකලංක කීවේය.

"මං උපා ලෑස්තිද බලලා එන්නං," තමරු නැගිට උපමාලිගේ කාමරය වෙත ගියාය.

"පුතේ," උපමාලිගේ මව අකලංකව ඇමතුවාය. "මං දන්නවා පුතා මගෙ දරුවට හුඟක් ආදරේ බව. තමරු දූත් එහෙමයි. පුතාල මේ හැමදේම කරන්නේ මගෙ දූට තියෙන ආදරේට බවත් මං දන්නවා. ඒත් පුතේ..." ඇය නැවතත් කඳුළු සලන්නට වූවාය, "මගෙ කෙල්ල මට බරක් නෙමෙයි..." අකලංක මෙම සැලැස්ම පිළිබඳව මුල් වරට හෙළි කළ දිනයේද ඈ පැවසූවේ මෙම වදන් ය.

"අපි දන්නවා අම්මේ. අපි උපාව එක්ක යන්න හදන්නේ එහෙම දෙයක් නිසා නෙවෙයිනේ ඉතිං. දොස්තරලා කිව්වා මතකද එයාට පහුගිය සිද්ධි ගැන ආයෙ ආයෙත් මතක් කරලා දෙන කොට මේක සමහරවිට හොඳ අතට හැරෙන්නත් පුළුවන් කියලා? මායි තමරුයි කරන්න හදන්නෙ ඒක. තමරු උදව්වට ආවෙ නැත්තං මට මේක කරගන්න වෙන්නෙ නෑ අම්මෙ."

උපමාලිගේ අතින් අල්ලාගෙන ඇගේ ගමන් මල්ලද අනෙක් අතින් ඔසවාගෙන තමරු කාමරයෙන් එළියට ආවාය.

"අපි කොහෙද යන්නෙ?" කිසිවෙකු දෙස හෝ නොබලා එසේ විමසූ උපමාලි අනතුරුව ඔවුන් එකිනෙකාගේ මුහුණු දෙස හොඳින් බැලුවාය.

"අපි යන්නෙ ඔයාගෙ අළුත් ගෙදරට." අකලංක තමරු අතින් බරැති ගමන් මල්ල අරගන්නා අතර පැවසුවේය.

"කවුද අපි?"

"ඔයයි, මමයි, තමරුයි..."

"කවුද තමරු?" උපමාලි හිස පසෙකට ඇල කරමින් ඇසුවාය.

"මමනෙ," තමරු පිළිතුරු දුන්නාය.

"එතකොට ඔයා කවුද?" උපමාලි එක එල්ලේ අකලංකගෙන් ඇසුවාය. ඔහුට පිළිතුරු දීගත නොහැකිව හදවත සිර වන පැනය එයයි. එම වදන් සැබැවින්ම ඔහුට දරාගත නොහැක.

"මේ දෙන්නම මගෙ පුතාගෙ හොඳම යාළුවො. ගිහිං ටික දවසක් ඒගොල්ලොත් එක්ක ඉඳලා එන්නකෝ..." ඇගේ මව ඇගේ හිස අතගාමින් පවසා යළිත් වරක් කඳුළු පිසදාගත්තාය.

"මං - මං අප්පච්චිට කියලා එන්නං," බෑගය අසළ පුටුව මතින් තැබූ අකලංක වහා ඇතුළු කාමරය වෙත ඇවිද ගියේය.

"අප්පච්චියි අම්මයි එන්නෙ නෑ?" උපමාලි ඇසුවාය. ඈ ඒ විමසා සිටියේ ඈ එදින උදයේ හඳුනාගත් මවත් පියාත් පිළිබඳවය. සෑම උදෑසනකම තමාට බෙහෙත් දෙන්නට පැමිණෙන්නේ තමාගේ මව බව ඇය ඉගෙනගන්නීය. ඒ සෑම විටෙකම ඇගේ පියා ගැනද ඇයට සිහිපත් කරන්නට මව අමතක කරන්නේ නැත. අකලංකගේ වදනින් ඇයට නැවතත් ඔවුන් දෙදෙනාව සිහිපත් විය.

"අපි එන්නංකෝ දෝණිව බලලා යන්න."

සිය මිතුරියගේ මව පසුවන්නේ කෙතරම් වේදනාවකින්දැයි වටහාගැනීමට තමරුට අපහසු වූයේ නැත. ඇය සෙමින් කතා කළාය. "නැන්දේ, මට එක පුංචි උදව්වක් ඕනේ."

"කියන්න පුතේ. ඔය දරුවො මේ කරන උදව් වලට..." ඇයට ඉන් එහා කතා කරගත නොහැකි විය.

තමරු එක් අතකින් උපමාලිගේ අතින් අල්ලාගෙන සිටින අතරේ අනෙක් අතින් ඇගේ මවගේ අත අල්ලාගත්තාය. "නැන්දේ, මං අපේ අම්මලාට කියලා තියෙන්නේ මං නුවරට මාරුව හදාගෙන ඇවිත් උපාලගෙ දිහා නවතිනවා කියලා, ඒ කියන්නේ මෙහෙ. අම්මලා මෙහෙට කතා කළොත් එහෙම ඔන්න මාව බේරගන්න පුළුවන් නේද?"

"අනේ ඇයි දරුවෝ ඉතිං එහෙම බොරු කරන්නේ? හැබෑවටම මෙහෙ නතර වෙලා මේ වැඩේ කරන්න බැරිද?"

"ඒක අමාරුයි නැන්දේ. අනික නැන්දට තවත් වැඩ වැඩි වෙනවා එතකොට. ඉස්පිරිතාලෙට එක්ක යන්න එන්න උනත් ලේසියිනෙ අපි දැං යන තැනට ගියාම."

අකලංක ඒ මොහොතේ ආපසු ආවේය. "අපි යමුද එහෙනං? බෙහෙත් ටිකත් ඔක්කොම ගත්තා නේද තමරු?"

"ඔව්. නැන්දේ අපි ගිහිං එන්නං එහෙනං." තමරු දණ නමා ඇයට වැන්දාය. 

"තුණුරුවන්ගෙ පිහිටයි පුතේ. අනේ මේ දරුවගෙ අප්පච්චි අසනීප ගානෙ නැත්තං අපි දෙන්නත් අද එනවා එහෙ ඇවිත් යන්න." 

"ඒකට කමක් නෑ අම්මේ. අප්පච්චිට ඔය මේ අවුරුද්දට දෙවෙනි වතාව සෙම ඇවිස්සුනු. පරිස්සං වෙන එක හොඳයි. අප්පච්චි සනීප උනාම මං ඇවිත් අම්මවයි අප්පච්චිවයි එක්ක යන්නංකෝ එහෙ," අකලංකද ඇයට වැන්දේය. ඒ දෙස බලා සිටි උපමාලිද ඈ පාමුල දනින් වැටුණු මොහොතේ ඇගේ මව හඬ නගා ඉකිබිඳින්නට පටන්ගත්තාය. "තුණුරුවන්ගේ පිහිටයි මගෙ දරුවන්ට. මේ වගේ යාළුවො ලබන්න පිං කරලා තියෙන මගෙ දෝණිට ඇයි මෙහෙම උනේ?" උපමාලිගේ හිස සිපගනිමින් ඇය කඳුළු සැලුවාය. 

පෙර පටන්ම අනෙකෙකුගේ කඳුළු දෙස බලා සිටිය නොහැකි වූ උපමාලිද කඳුළු සලන්නට පටන්ගත්තාය. "අම්මා අඬන්න එපා. මං ට්‍රිප් එක ගිහිං ඉක්මණට එන්නං."


***

කාමර දෙකකින් යුත් කුඩා නිවසේ එක් කාමරයක් උපමාලිට හා තමරුටත්, අනෙක් කාමරය අකලංකටත් වෙන් විය. ඔවුන් එන තෙක් එහි බලා සිටි කරුණාවතී අම්මා නිවසේ මුළුතැන්ගෙයි කළමනා ඇති තැන් තමරුට පෙන්වා නැවත පසුවදා උදෑසනින්ම පැමිණෙන බව පවසා නික්ම ගියාය. ඇය සැබැවින්ම කරුණාවන්ත තැනැත්තියක වීම තමරුගේ සැනසීමට හේතු විය. අකලංක සොයාගත් තැනැත්තිය සැබැවින්ම තමා හා ඔහු රැකියාව සඳහා පිටත්ව ගොස් නැවත එන තෙක් උපමාලිගේ සම්පූර්ණ වගකීම බාර කළ හැකි තැනැත්තියකදැයි ඇගේ සිතේ එතෙක් තිබූ සැකය පහව ගියේය.

රාත්‍රී ආහාරයෙන් පසුව උපමාලිගේ බෙහෙත් සියල්ල පරීක්ෂා කර බලා නියමිත බෙහෙත් ලබා දුන් තමරු කාමරයේ වූ ඇඳන් දෙකම සකසා මදුරු දැල් දැමුවාය. උපමාලිගේ දෑස් ඒ වනවිටත් නිදි බරව තිබුණි. බෙහෙත් සැර හේතුවෙන් ඇයට බොහෝ සෙයින් නිදි මත දැනෙන බව තමරු දැන සිටියාය. 

"උපා, ඔයාට මහන්සිත් ඇතිනේ. නිදාගන්න. අපිට හෙට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා." මාරුව ලබා ආ නව ශාඛාවේ වැඩ බාර ගැනීමට නියමිතව ඇත්තේ එලැඹෙන සඳුදාය. එබැවින් තවත් තෙදිනක්ම ඇයට නිදහසේ කල් ගෙවිය හැකිය.

එහෙත් උපමාලිගේ නිදිබර දෑස් තුල කල්පනාකාරී බවක් ගැබ්ව තිබුණි. "කෝ, ට්‍රිප් එකක් කියලා අපි ආවේ නිකම්ම ගේකටනේ? මං හිතුවේ කඳු නගින්න, ගඟේ පීනන්න එහෙම ඇති කියලා."

තමරු සිනාසුණාය. "අපි හෙට යංකෝ හොඳ ට්‍රිප් එකක්."

"කොහෙද?"

"ලස්සන තැනකට. ඔයා ගොඩාක් ආදරේ කරපු තැනකට," තමරු සිනහවෙන්ම කීවාය. 

"කොහෙද කියන්නකො."

"ගියාම බලමුකො." 

උපමාලි අලි ඈනුමක් ඇරියාය. 

"දැන් නිදාගන්න උපා. මං ලයිට් ඕෆ් කරන්නං. ගුඩ් නයිට්."

කාමරයේ විදුලි පහන් නිවා දැමූ තමරු සාලයේ විදුලි පහන්ද නිවා දැමීමට සිතා පිටතට පැමිණියද ඒ වන විටත් ආලින්දයට යොමු වූ ඉදිරිපස දොරටුව විවර වී ඇති අන්දම ඇය දුටුවාය. ආලින්දයේ ඇඳි පුටුවට බර දී අකලංක ගැඹුරු කල්පනාවක නිරතව සිටියි.

"අකලංකට තේකක් හදලා ගේන්නද? දුර ඩ්‍රයිව් කරලා මහන්සිත් ඇති නේද?" ඇය එදෙසට යමින් ඇසුවාය.

"ඕන නෑ තමරු. ඔයා නිදාගන්න." ඔහු නොසෙල්වීම පිළිතුරු දුන්නේය.

"ඇයි මේ හැටි කල්පනාව? අපි මේ කරන දේ ගැන සැකයක් දැනෙනවද?" ඇය උළුවස්සට හේත්තු වූවාය.

"එහෙම දෙයක් නෑ තමරු. මේක තමයි කරන්න තියෙන හොඳම දේ. ඒකෙ සැකයක් නෑ."

තමරු කිසිවක් පැවසුවේ හෝ ඇසුවේ හෝ නැත. අකලංකගේ සිතට වද දෙන කුමන හෝ කරුණක් ඇති බව පමණක් ඇයට වැටහුණි. 

අවසානයේදී සුසුමක් හෙලූ අකලංක කතා කළේය. "මං උපා ගැන ඇත්තම කිව්වා අපෙ අම්මලට."

"අම්මලා දැනගෙනනේ හිටියේ උපාට අසනීපයි කියලා."

"මං එයාව දැනටම බැඳලා බවත් කිව්වා."

එය මුළින්ම ඇසූ මොහොතේදී තමා තුළද ඇති වූ විශ්මය මුසු කම්පනය ඇයට සිහිපත් විය. "ඉතිං?"

"නැත්තං ඔය කොච්චර කිව්වත් අම්මලා මට මනමාලියො හොයන එක නතර කරන්නෙ නෑ."

"ඉතිං මොකද අම්මලා කිව්වෙ?"

"බැන්නා."

"ඒවා හරි යයි අකලංක. අම්මලාට ඔය තරහා අමතක වෙනවා."

"දැං සුමාන දෙකක ඉඳං මා එක්ක කතා කරන්නෙ නෑ අම්මයි, අප්පච්චියි, අක්කයි ඔක්කොම. අක්කගෙ මහත්තයා - සමන්ත අයියා විතරයි මාව තේරුං ගත්තේ. ඕන උදව්වක් තිබුණොත් කියන්න මල්ලි, පුළුවං දෙයක් කරන්නං කියලා කිව්වෙ එයා විතරයි."

තමරුට මේ ආදරණීය ආදරවන්තයා ගැන සැබැවින්ම පුදුම සිතුණි. "ඒ ගැන වැඩිය හිතන්න එපා අකලංක, ඒ හැම දේම හරි යයි. ඔයා දන්නවනේ ඔයා කරන්නෙ හරි දෙයක් කියලා."

"ඔයගොල්ලන්ගෙ ගෙදරින් මොකද කියන්නෙ ඔයාගෙ කසාදෙ ගැන?"

"ආයෙනං මට මනමාලයො හොයන්න එපා කියලා තමයි මං නුවරට මාරුව හදාගෙන ආවෙ," තමරු සිනාසුණාය.

අකලංක ඈ දෙස බැලුවේය. "ඔයා ලොකු කැපකිරීමක් මේ කරන්නේ තමරු. මං එදත් කිව්වා වගේ ඔයාට පින් දෙන්න වචන මගෙ ලඟ නෑ."

"ඒක මගේ සතුට අකලංක. උපා ඔයා එක්ක යාළුවෙන්න කළින් මගේ යාළුවා උනේ."

"අම්මලාට මාව තේරුං ගන්න බැරි උන එක ගැන මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. මේ වෙලාවෙදි මාව වැඩියෙන්ම ඕන කරන්නේ උපාට. එයාටයි, එයාගෙ අම්මලටයි මේ වෙලාවෙදි උදව් කරන්න වෙන කවුරුත් නෑ. ඒ නැතත් එයා මගෙ බිරිඳ. එයාට මාව මතක නැති උනත් මට එයාව හොඳට මතකයි."

සිය මිතුරිය සැබැවින්ම පින්වන්තියක බව තමරු වටහාගත්තාය. ඇය උළුවස්ස වෙතින් මෑත් වී නැවතත් ගෙතුළට හැරුණාය. "නිදාගන්න අකලංක. හෙට උදේ ලේක්චර්ස් නේද?"

"ඔව්, හෙට උදේ වරුව විතරයි. හෙට කැම්පස් එකට යනවා කියලා උපාට කිව්වද?"

"තැන කිව්වෙ නෑ. එයා ගොඩක් ආදරේ කරපු තැනකට යනවා කියලා විතරයි කිව්වේ."

"ඒක හොඳයි."

"ගුඩ් නයිට් අකලංක."

"ගුඩ් නයිට්."