Thursday 31 January 2013

05. තමරුගේ කතාව - තුන්වන කොටස


විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපස කොළඹ නගර ශාලාවට මුහුණ ලා වැඩ හිඳිනා යෝධ බුදු රුවෙහි පසුපස විටින් විටින් විට හමා එන සුළඟින් ඒ මේ අත සෙලවෙන නුග ගසේ අතුඅතරින් දර්ශනය වුවද තණ බිස්සේ අතු පතර විහිද ගිය අඹ ගසක සෙවණේ වූ දැව පටි වලින් තැනුනු අසුනේ හිඳ සිටි යුවතියට ඒ දෙසම ඇසි පිය නොහෙලා බලා සිටිය ද ඒ කිසිවක් පෙණුනේ නැත. 

ඇය සිත් තුල රිදුම් දුන්නේ එපමණ සුවිසල් ගැටළුවකි. අකලංක සහ උපමාලි අතර ඇති ගැටළුව කුමක්ද?.ඔහු විවාහාපේක්ෂිත මනාලයෙක් ලෙස ඇගේ නිවසට පැමිණ ආපසු යද්දී ඔහුගේ දුරකථන අංකය කඩදාසි කැබැල්ලක ලියා ඈ අත තබා බැගෑපත්ව ඉල්ලා සිටියේ එක් වරක් ඔහුට ඈ හමුවී කරුනු පැහැදිලි කිරීමට ඉඩ ලබා දෙන ලෙසය. පසුදින මුළුල්ලේ බොහෝ සේ කල්පනා කිරීමෙන් අනතුරුව ඇය තීරණයකට එළඹියාය.අකලංකගේ එම ඉල්ලීම එකහෙලාම ප්‍රතික්ෂේප කිර්‍රිමෙන් වන සුගතියක් නැත. 

අවම වශයෙන් උපමාලීට සිදුවූයේ කුමක්ද යන්න සැක හැර දැනගත හැක්කේ අකලංකගෙන්ම පමණි.ඊයේ ඇය බොහෝ වරක් උපමාලිගේ ජංගම දුරකථනයට ඇමතූ නමුදු පටිගත කල පණිවිඩයකින් ඒ හැම විටම කියවුනේ ඒ අංකය තව දුරටත් සේවයේ නොපවතින බවකි.උපමාලිගේ නිවෙසට ඇය කිහිපවරක් විශ්ව විද්‍යාලයෙහි නිවාඩු සමයෙහි ගොස් තිබූ නමුදු ඇගේ නිවසේ දුරකථන අංකය ජංගමයේ මතක ගබඩාවෙහි තිබුණේ ද නැත. පසුගිය වසර ගණනකින් ඔවුන් හමුවී නොමැත. උපමාලී සමඟ වූ සමීප සබඳතාවය ඉබේම වාගේ දුරස්ව ගිය අතර තමරු දහස්වන වාරයටත් ඒ එසේ වීමට ඉඩදීම ගැන තමාටම දොස් පවරා ගත්තීය. 

ෂෙහ්...උපා ගැන අහන්ට වත් කෙනෙක් නැහැනෙ......අකලංක දුන් දුරකථන අංකය දෙස දහස් වන වරටත් හොරැහින් බලමින් ඇය තමන්ටම කියා ගත්තාය. 

මොන කෙහෙල්මලක්ද?....ඇයි මම බය වෙන්නෙ?...මම කාටවත් වරදක් කරල නෑනෙ..හිටපංකො..මේකෙ දෙකින් එකක් බේරගන්ට... 

ඇය අංක හත එකින් එක එබුවාය. 

" හෙලෝ?...." 

" ඔව්..කවුද මේ?......" 

ඒ අකලංකද? 

" මේ..ඔය අකලංකද?....." 

" ඔව්......." 

" අකලංක මම තමරු……" 

" ආ……'' 


ඉනික්බිති දුරකථනය දිගේ ගලා ආවේ නිහැඬියාවකි.ඉන්පසු අකලංක කතාකලේ කතා නොකර බැරිකමට වගේ කියල තමරුට හිතුනෙ ඇයි? 

" තමරු...එදා මම ඔයාට කිව්වට මට කතා කරන්න ඉඩදෙන්න...කරුණාකරල මට කරුණු පැහැදිලි කරන්න ඉඩ දෙන්න කියල පස්සෙ ඒ හැඟීම් බර තත්වයෙන් මිදිල යථාර්තවාදීව මේ ප්‍රශ්නෙ දිහා බැළුවම මට තේරුන ඔයාට මේ වෙච්ච දේවල් ඔක්කොම කියන එක මම ඔයාට කරන ලොකු අසාධාරණයක් කියල.ඔයා මේකට ගාව ගන්න එක කොහොමවත් සදාචාරාත්මක නෑ. ඒ නිසා මම තීරණය කලා ඔයාව හම්බ නොවෙන්න. කරුණාකරල මාව වරදවා තේරුම් ගන්න එපා...ප්ලීස් " 

තමරු ටික වෙලාවක් කතා නොකර හිටියෙ කතා කලොත් මොනව කියවෙයිද කියල තමරුටම හිතාගන්න බැරි නිසා...තරහ ගියාම තමරුගෙ කන් දෙක රතු වෙනව. මේ වෙලාවෙ නම් කන්දෙක විතරක් නෙවෙයි මුලු මූණම ජම්බෙ වගෙ රතු වෙල ඇති කියලයි එයාට හිතුනෙ...දැඩි නිහැඬියාව මැද ගෙවිල ගියා. තත්පර දහයක් ..විස්සක්...තිහක්...හතලිහක්...පණ..... 

" තමරු ඔයා ඉන්නවද? … " 


" අකලංක කරුණාකරල මට තව පොඩි වෙලාවක් දෙන්න. නැත්නම් මේ මට ඇවිත් තියෙන කේන්තියෙ හැටියට මම මොනව කතාකරයිද කියල කියන්න බෑ….." 

තවත් විනාඩියක් විතරම තමරු එහෙම්මම හිටිය . දුරකථනය උකුලෙ තියාගෙන...ඊට පස් සෙ කතාකලා අකලංකට... 

" අකලංක.... ' 

" තමරු මේ......" 

" වචනයක්වත් කියන්න එපා අකලංක...කරුණාකරල මම මේ කියන ටික හොඳට අහගන්න. උපා කියන්නෙ මගෙ හොඳම යාළුව....එතකොට ඔයා ඇවිල්ල උපාගෙ ප්‍රේමවන්තය.ඔය දෙන්න මම දන්න කාලෙ බොහොම ආදරෙන් හිටිය. උපා ඔයාට පණවගේ ආදරේ කලා. එතකොට හිටි හැටියෙ ගහෙං ගෙඩි එන්න වගෙ ඔයා මෙන්න එනව අපෙ ගෙදර මගෙං බුලත් හෙප්පුව ගන්ට.ඒ කරල මම උපාට මොකද උනේ කියල ඇහුවම මම ඒ විස්තර ඔක්කොම කියන්නං කියල ඔයාගෙ නොම්මරේ මට දෙනව.මම දැන් ඔයාට කතා කලාම ඔයා වෙනම කතාවක් කියනව. මේ විස්තර මට කියන එක මට කරන අසාධාරනයක්ලු. මට මේකට සම්බන්ධ වෙන්න එපාලු...අරකද මේකද?...." 

" තමරු ප්ලීස්...." 

" මේ අකලංක මම කතා කරල ඉවර නෑ..පොඩ්ඩක් අහගෙන ඉන්න මම කියන දේ…."' 

තමරු කිව්වෙ දත්මිටි කාගෙන... 

" හරි හරි කියන්න..කියන්න.... "' 

අකලංකගෙ හඬේ තිබ්බෙ පරාජිත බවක්ද? 

" හරි මට වැඩි දෙයක් කියන්න නෑ...මට ඔයාව හම්බවෙන්න ඕන...හම්බවෙලා මට ඔයාගෙ කටින්ම දැන ගන්න ඕන උපාට මොකද උනේ?...ඔයා මේ රට හැමතැනම මනමාලියො බල බල යන එකේ තේරුම මොකක්ද කියල...ඔයා ඒ සම්පූර්ණ විස්තරේ අකුරක් නෑර කිව්වට පස්සෙ...මම තීරණය කරන්නම්...ඔව් අකලංක ඒක තීරණය කරන්නෙ... මම තමරු...ඔයා නෙවෙයි...මම තීරණය කරන්නම් මේ ප්‍රශ්නෙට මම මැදිහත් වෙනවද? එහෙනම් ඒ කොයි විදිහෙන්ද කියල..ඒ නිසා කරුණාකරල මට ඔයාව හම්බ වෙන්න වෙලාවක් සහ තැනක් විතරක් කියන්න...එච්චරයි..." 

තැනින් තැන දුඹුරු පැහැවී හේබාගිය තණ පිටිය හරහා වැටුණු හතරැස් සුමට ගල් ඇල්ලූ පෙත්මඟ දිගේ පැමිණෙන කිසිවකුගේ පියවර හඬ කෙමෙන් උස්ව නැඟෙන්නට විය.ඒ කවරෙකුදැයි විපරම් කරන්නට හෝ ආපසු නොහැරුණු තමරු දිග සුසුමක් හෙලා දෑස් වසා ගත්තාය. කිසිවකු ඉතා සෙමින් පියවර තබමින් පැමිණෙනු මෙන්ම ඒ පැමිණි තැනැත්තා තමා හිඳ සිටි අසුනේම අසුන් ගනුද දැනුනු මුත් තමරු දෑස් පියාගත්වනම පසුවූවාය. 

අඹ ගසේ අතුපතර විහිද හමා ආ සුළං රැල්ලක් ඇගේ කෙහෙරල අවුල් කරලීය. එහෙත් ඇය දෑස් වසාගත්වනම පසුවූවාය. ඒ සුළංරැල්ලෙන්ම ගිලිහුනු අඹ මල් රේණුවක් පලමුබ ඇගේ නළල් තලය මත පතිතව අනතුරුව ඇකය මත රැඳුනේය. එහෙත් ඇය දෑස් වසාගෙනම පසුවූවාය. අවසන ඇය හඬ අවදි කලේද දෑස් වසාගෙනමය. 

" අකලංක හරි කියන්න..ඔයාට කියන්න තියෙන ඔක්කොම කියන්න..අපේ ගෙදර ආපු දවසෙ ඔයා මගෙන් ඉල්ලුවෙ එහෙමනෙ.මට ඔයා එක්ක කියන්ඩ කතාවක් තියෙනව... ඒක අද කියන්ඩ බැරි, මුණ ගැහිල දීර්ඝව කතා කළ යුතු දෙයක්... මේ ඔයාගෙම වචන.....හරි දැන් කියන්න " 

ඇය දෑස් පියාගත්වනම ළයමත දෑත බැඳගත්තාය.නොදැනුවත්ම සිදුවුවද ඒ ඉරියව්ව ඕනෑම දෙයකට මුහුණ දීමට සූදානම් බව අචේතනිකව හැඟවීමක් බව කෙදිනකහෝ කියැවූ මිනිස් චර්යාවක් පිළිබඳ ලියැවුණු පොතක සඳහන්වූ බව ඇයට හදිසියේම සිහිවූයේ මඳ සිනහවක් දෙතොලඟට එක් කරවමිනි. 

" මම උපාව බැන්ද...... " 

අකලංකගේ ආරම්භක වචන තුන මෙතෙක් පියාගෙන සිටි ඇගේ දෑස් විවර කරවීය.ළයමත බැඳගෙන හුන් දෑත ඇකය මත වැටිණි. වහා ඔහු දෙස හැරුණු ඇය විසල් කොටගත් දෑසින් යුතුව ඔහු දෙස බලා සිටියාය. 

" මොකක් කිව්ව?....ඔය දෙන්න බැන්ද?...උපා මට නිකමටවත් ....ඉතිං එහෙමත් තියෙද්දිද ඔයා මේ මනමාලියො බලන්ට යන්නෙ?..කෝ දැන් උපා? …" 

එකපිට එක නිකුත් වූ ඇගේ ප්‍රශ්න වැලට පිළිතුරු වශයෙන් ඔහු කලේ ඈ දෙස හෝ නොබලා දෑත මතට බරකරගත් හිසින් යුතුව දිගු සුසුම්ක් හෙලීමයි 

" අපිට බඳින්ට සිද්ද උනා.කිසි කෙනෙක් දන්නෙ නෑ ඒක. නිසංසලා මතකද?...නිසංසලා විතරයි දන්නෙ...ඒකත් එයා සාක්කියට අත්සන් කරපු නිසා...උපා ඔයාට කිව්වෙ නැත්තෙ ඔයා දොස් කියන බව දන්න නිසා…" 

" දැන් ඔයාලගෙ ගෙදර අය එතකොට උපාලගෙ අම්ම එහෙම මේ ගැන දන්නවද?....." 

හැඟීම් වැර වෑයමින් පාලනය කොටගත් තමරු විමසූයේ සුරති නලල පිරිමදිමිනි. උපාට නිකමටවත් මට කියන්න තිබුණා. සිතෙහි උපමාලි පිළිබඳ හටගත් නොපහන් හැඟීම යටපත් කිරීමට ඈ උත්සාහ ගනිමින් සිටියාය..මොනව උනත් මට කියන්න තිබ්බ....අපි දෙන්න හොඳම යාළුවො….. 

" අපි බැන්දයි කියල දන්නෙ නෑ. ඒත් අපෙ අම්ම ඒ වගේම උපාලගෙ අම්ම දෙන්නම මේ ගැන දන්නව…" 

" එයාල විරුද්ධ උනාද?...." 

" නෑ එහෙම විරුද්ධ වෙන්න හේතුවක් තිබුනෙ නෑ...අපි ලබන අවුරුද්දෙ උත්සවේ ගන්නයි හිටියෙ…" 

" ඉතිං? " 

ඇය ඇසූයේ නොඉවසිල්ලෙනි. 

" උපාට දැන් මාස දෙකකට විතර ඉස්සරවෙලා උණක් හැදුන...උන බහින්නෙම නැතිනිසා හොස්පිටල් ඇඩ්මිට් කලා…" 

අකලංක පලමු වරට එක එල්ලේ ඇය දෙස බැලූයේ ඔහු ඊලඟට පවසන්නට යන කරුණෙහි ඇති වැදගත්කම ඇයට අවධාරණය කරවන්නට මෙනි. 

" මොලේ ස්කෑන් එකක් කලා අන්තිමට ..උපාගෙ මොලේ ඇබ්නෝමල්ටි එකක් තියනව කියල ඩොක්ටර්ල ඩයග්නෝස් කලා. " 

" ඉතිං මොකද දැං වෙලා තියෙන්නෙ?...අකලංක කියන්න ප්ලීස් " 

තවත් ඉවසා සිටිය නොහැකි වූ ඇය කෑගැසුවාය. 

අකලංක ඇය දෙස වරක් බලා නැවත නලලට අත තබා හිස බිමට නැඹුරු කොට ගත්තේය. ඔහු කතා කලේ කොඳුරන්නාක් මෙනි. 

" උපාට කිසිදෙයක් මතක නෑ තමරු...ඇම්නීසියා කියන්නෙ අන්න ඒ අසනීපෙ...එයාට මතක තියෙන්නෙ එක දවසක් විතරයි.අද මතක තියෙන්නෙ ඊයෙ සිද්ද වෙච්ච එව්ව විතරයි. හෙට මතක තියෙන්නෙ අද වෙච්ච එව්ව විතරයි.." 

" මගෙ දෙයියනේ......." 

දෑස් තරව පියාගත් තමරු හිසෙහි අත් ගසාගත් වනම හිඳ සිටි බංකුවෙහි ඇන්දට හේත්තු වූවාය. 

දෙනෙත් පුරා පිරීගිය උණු කඳුලු බොහෝ වේලාවක් ඇසි පිය යටම රැඳී තිබිණි, අනතුරුව නෙතඟින් ඉවත ගලා ගිය කඳුළු බිඳු එකිනෙක පසුපස කොපුල් තල ඔස්සේ ගලා ගොස් ඇගේ ඇකයට පතිතව සැඟව ගියේය. 

" දොස්තරල කියන්නෙ මතකය ආයෙම සම්පූර්ණයෙන් එන්නත් පුළුවන්, කොටසක් එන්නත් පුළුවන් ඔය විදිහට හැමදාමත් තියෙන්නත් පුළුවන් කියල.මෙහෙම වෙන්නෙ ඇයි කියලත් හරියටම තාම හේතුවක් හොයාගෙනත් නැතිලු. කරන්න පුලුවන් එකම දේ උපාව සන්තෝසෙන් තියන එකයි එයාගෙ ජීවිතේ පහුගිය සිද්ධීන් ගැන නිතරම එයාත් එක්ක කතා කරන එකයි විතරයි ...සමහරවිට එහෙම එයාට ගොඩක් කිට්ටුවෙන්ම හිටපු අය නිතරම එයා එක්කම ඉඳල පහුගිය සිද්ධීන් ගැන කතාකරනකොට මතකය ආපහු එන්නත් ඉඩ තියනවලු..ඒත් ඒ ඔක්කොම අනුමාන විතරයි..එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..." 

" තමරු ඔහොම ඉන්න...මම ගිහිල්ල අපිට බොන්න මොකවත් ගේන්නම්..." 

අකලංක නැඟී සිටියේය. තවමත් කඳුලින් බොඳව ගිය දෑසින් යුතුව ඈ හිස වනා එකඟත්වය පල කලාය.ඇත්තටම ඔහු එසේ ඉවත්ව නොගියේනම් තව මොහොතකින් ඇය ඔහුගෙන් මෙසේ ඉල්ලීමක් කරන්නට බොහෝ සේ ඉඩ තිබිණි. අකලංක ප්ලීස් චුට්ටක් මට තනියම ඉන්ට ඉඩ දෙනවද? මට විනාඩි දහයක් තනියම ඉඳල මේ දුක විඳගන්න ඕන.... 

දෙපස රත් පැහැ බෝගන්විලා මල් වැවුණු පෙත් මඟ දිගේ පා තබමින් ඔහු නොපෙනී ගිය වහාම හිස පහත් කරගත් ඇය හඬ නඟා හැඬුවාය.ඉකි බිඳිමින් හැඬුවාය. සිතෙහි තෙරපී බුබුළු ලමින් ඉහළට නැඟ එන අනේක දුක් දොම්නස් සංතාපයන් දෙනෙතින් පිටකර හරිමින් ළය විරේක කරගැන්ම ඉටා ගත් සේ හඬ නඟා ඉකිබිඳ හැඬුවාය. අවසන තවත් හැඬීමට කඳුලු ඉතිරි නොවූ කල දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තීය. 

අකලංක සිසිල් බීම බෝතල දෙකක්ද රැගෙන පැමිණියේ ඇය එසේ හඬා අවසාන වූ පසුවය. ඔහු බොහෝ විට ඇය හඬා අවසාන වනතෙක් බලා සිටියා විය හැක. ඒ එසේ වුවද ඇය ඒ පිළිබඳව තැකීමක් නොකලාය. එසේ ඇය හඬා අවසන් වනතෙක් ඔහු බලා සිටියේ නම් ඇත්ත වශයෙන්ම ඔහුට ස්තූතිකලයුතු බව ඇය සිතා ගත්තාය. 

" දැන් මොකද අපි කරන්නෙ අකලංක?..... " 

සිසිල් බීම උගුරු කිහිපයක් පානය කල පසු ඇය ඇසුවාය. මොකද ඔයා කරන්නෙ යනුවෙන් නොව ඇය ඇසූයේ මොකද අපි කරන්නෙ යනුවෙන් බව ඔහුට වැටහුනද ඔහු ඒ පිළිබඳව කිසිදු සඳහනක් නොකලේය. 

" අපෙ අම්මල මට බඳින්නෙයි කියල බල කරනව. එයාල දන්නෙ නෑ අපි බැඳල කියල.අනික අපේ පවුලෙ අක්කයි මායි විතරයි. ඉතින් අම්මට වැරැද්දක් කියන්නත් බෑ. " 

" එතකොට ඔහොම මනමාලියො බලන්න ගිහිල්ල මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නෙ? " 

" මම හිතාගෙන ඉන්නෙ අම්මගෙ හිත සනසන්න මෙහෙම යනව. ඒ එක්කම මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොත් හොඳයි. එහෙම නොවුනොත් ඉතිං කරන්න දෙයක් නෑ. " 

" එතකොට උපාට මොකද වෙන්නෙ? "' 

" උපා මගෙ බිරිඳ..මම එයාව කවදාවත් තනි කරන්නෙ නෑ. මේ වෙලාවෙ තමයි එයාට මාව ඕනම කරන වෙලාව…මම කොහොම හරි එයාව සනීප කර ගන්නව" 

අකලංකගේ හඬෙහි වූයේ දැඩි අධිෂ්ඨානයකි. 

The Notebook 

තමරුට එකවරම මතකයට ආවේ එනමින් යුත් නවකථාවයි. උපාගේ ප්‍රියතම නවකථාව වූ එය පිළිබඳව සරසවි නේවාසිකාගාරයේ නිදන කාමරයේ සිට ඔවුන් දෙදෙන සහස් වරක් කථා කරන්නට ඇත. 

" නෝවා තමයි මම හිතන විදිහට මේ ලෝකෙ හොඳම ආදරවන්තයා.එහෙම ආදරයක් ලබන්න ...විඳින්න නම් හුඟාක් පින් කරල තියෙන්න ඕන. ඇලී ගැන මට ඊරිසියයි " 

එහා ඇඳේ විට්ටමට හේත්තුකරගත් කොට්ටයට හිස තබාගෙන The Notebook පොත කියවමින් සිට එක්වරම දිදුලන දෑසින් යුතුව උපමාලී පැවසූ අයුරු සිහිකල තමරුගේ දෑස නැවතත් කඳුලින් වැසිණි. 

" අනේ මෙහ්..බුදියගනිං...උඹේ නෝව එයි රෑට හීනෙං උඹ හොයාගෙන...නෝවෙක් ගැන ඔයාකාර හිතන්නෙ...ඇයි අර අකලංකයද මොකාද ඌ හොඳ නැද්ද?...." 

තමරු පැවසුවේ උපාට පිටුපා හිසේ සිට දෙපතුල දක්වා පොරෝනයෙන් වසා ගනිමිනි. 

ඒ අකලංක උපමාලි ගැන උනන්දුවක් දක්වන බව ඔවුන් දෙදෙනාටම වැටහෙමින් තිබුණු මුල්දින කිහිපය විය. 

" නෑ එහෙම නෙවෙයි අකලංක හොඳයි ඒත් මම වඩාත්ම කැමති අකලංක නෝවා වගේ වෙනව නම්…" 

එම නවකථාවෙහි වූයේද වයස්ගතව මතකය අහිමි වන තම බිරිඳ වෙනුවෙන් ඔවුන්ගේ ආදර කථාව ඇයට ඇසෙන සේ කියවන සදාදරණීය සැමියකුගේ කතාවකි. 

" තමරු දන්නවද උපාගෙ ෆේවරිට් නවල් එක මොකක්ද කියල......" 

අකලංකගේ හඬින් ඇය නැවත වර්තමානයට පිවිසියාය. 

ඔහු කතා කලේ මෙතෙක් කතාකල පරාජිත ස්වරයෙන් නොවේ.ඒ හඬෙහි වූයේ දැඩි අධිෂ්ඨානශීලී බවකි. 

" The Notebook...උපා දවසක් මා එක්ක කිව්ව මම කැමතියි අකලංක ඔයා නෝව වගේ වෙනවනම් කියල..ඔව් උපා මම ඔයා වෙනුවෙන් නෝවා කෙනෙක් වෙනව……" 

Wednesday 23 January 2013

5. තමරුගේ කථාව (දෙවන කොටස) - ආදරයක අරුම

සමහර කෙනෙකුට ජීවිතයේ ගලා යෑම සිතට දනවන්නේ සැනසිලිදායක පහසුවකි. කුඩා වයසේදී දෙමව්පියන් සෙවනේ ඒ ඒ කාලයට ලැබිය යුතු ‍භෞතික මෙන් ම මානසික සැපයුම් ද නොඅඩුව ලැබ, පාසල් අධ්‍යාපනයත් විධිමත් ව ලබා, උසස් අධ්‍යාපනය අවසානයේ වැදගත් මෙන් ම සිත් ඇද බැඳ ගන්නා රැකියාවක් ලැබීම එවන් සැනසිලිදායක ගලායාමක් ඇති ජීවිතයක ස්වභාවය යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. නුමුදු එයින් මත්තට ගෙවිය යුතු වැඩිහිටි ජීවන සමය ගෙවා ගන්නට සුදුසු අත්වැලක්, සුදුසු කාලයේදී ම හිමිවීම ගැන ‍ ඔබට සිතෙන්නේ කුමක්ද? එය ජීවිතයේ පැවැත්මට ඉතාමත් ම තීරණාත්මක සාධකයක් නොවන්නේද? එතෙක් කල් සැහැල්ලුවෙන් ගලා ගිය ජීවන නදිය, අලංකාර මිටියාවතක් මැදින්, තවදුරටත් සන්සුන් ව ගලා යන්නේද, නැතහොත් විසල් ගල් පර්වත කැබලි මැදින්, හෝ හෝ නදින් හඬා වැටෙමින්, රිදවා ගනිමින්, ගලා බසින්නේ ද යන්න තීරණය කරන්නා වූ තීරණාත්මක ‍සාධකය අනාගත සහකරු හෝ සහකාරිය ම විය හැකිය.

උපමාලි හා අකලංක................. තමන් ඉදිරි ජීවිත කාලයත් අලංකාර මිටියාවතක් මැදින් ගලා යන සන්සුන් ජීවන නදියක පාව යන්නට අවැසි සාධක සපුරා ගත් බව හිත පිරී ගිය සතුටින් සිතන්නට වූවෝය.
 

.,


විශ්ව විද්‍යාල සමයේ මුල් වරට හඳුනාගත්තද, දුටු මුල් ම නිමේෂයේදීම තමන් දෙදෙන එයට පෙර සිට දැන හඳුනා සිටි බවක් දෙදෙනාට ම දැනුනු බව ඔවුන් එකිනෙකා හා පවසා ගත්තේ මිතුරුදම තවත් දැඩි කරමින් පෙම්වතුන් ලෙසින් එක් වී ද මසක් දෙකක් පමණ ගතවූ පසුවය. එවකට දෙවන වසරේ ශිෂ්‍යයන් වූ ඔවුන් සිය අධ්‍යාපන කාර්යය නොපිරිහෙලා ඉටු කරගනිමින්, එකිනෙකා වෙනුවෙන් උපන් අසීමිත ස්නේහයේ රසය විඳිමින් කාලය ගත කලේ ජීවිතය මෙතරම් මිහිරි විය හැක්කේ කෙසේ දැයි විස්මිත ව සිතමිනි.

***************************************************************************

“අම්මේ..........................“

නිවාඩුවට ගම පැමි‍ණි වරෙක උපමාලි කල් යල් බලා, සිය මව් ඇමතුවාය. ඇගේ ස්වරයෙන් ම ඇය පවසන්නට යන දෑ කුඩා කල සිට ම වටහා ගැනීමේ හැකියාවෙන් යුතු වූ මව්, දියණිය පවසන්නට යන දෑ දැන දැන ම ඇය වෙත පිළිවදන් දුන්නාය.

“මොකෝ චූටි දුව............. මං අහගෙන ඉන්නේ කියන්න“ පලා මිටියේ පලා කොල සීරුවට සකසමින් ම ලාලනී ඉස්කෝලේ හාමිනේ පවසා සිටියාය.

 “අම්මේ............. අපේ කැම්පස් එකේ කෙනෙක්............. මං ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මං.... මේ අම්මාට ඒ ගැන කියන්නත් එක්කමයි............... මෙච්චර ඉක්මනට මේ පාර ආවේ................“ පොල් ගෙඩියේ ඇස්ස රහිමින් සිටියා වුවද, දූ කරන්නේ හොර ගල් ඇහිලීමක් බව ඉස්කෝලේ හාමිනේට රහසක් නොවුනි.

“හ්ම්............... ඒකත් එහෙමද? ඔය කිව්වට ඒ ළමයා බලාපොරොත්තුවෙන් ඉන්නවා පමණක් නෙවී............. ඔයාත් කැමතියි නේද? දැන් සම්බන්ධෙට කොච්චර කලක් වෙනවද?“ ඉස්කෝලේ හාමීනේ දුව දෙස එක එල්ලේ බලමින්, ඈ ඇහිලු හොර ගල් සියල්ල අල්ලා විසිකොට දැමුවාය.

 උපමාලිගේ සවන්පත් රත් ව දුම් විසිවන සෙයක් ඇයට දැනින. පොල් ගෙඩිය අත හැරි ඇගේ ම කකුල මතට වැටින. එය ඉතාමත් වේදනාකාරී සිදුවීමක් වුවද ඇයට එය නොදැනුනු තරම් විය.

“අනේ... අනේ... ගෑණු ළමයා........... මොකද ඔච්චර බය වෙන්නේ? මං කිව්වානේ කැම්පස් යද්දීම... ඔය කාලෙට ඔය වගේ දේවල් ඇති වනවා තමයි. දැන් පුංචි ළමයි නෙවීනේ............... ඒ ළමයාට කියන්න වෙලාවක මේ පැත්තේ ඇවිත් යන්ට එන්ට කියලා... කෑම ටිකක් එහෙම කාලා තාත්තා එක්කත් කථා බහ කරලා එහෙම යන්න බැරියැ“යි සිනා සලමින් පැවසුවා මිසක සිය මෑණියන්, අකලංකගේ වතගොත තබා නමවත් නොඇසීම ගැන උපමාලි පුදුමයට පත් වූවාය. ‘සමහරවිට අම්ම සේරම ඕන කරන දේවල් හොයාගෙන ද දන්නෙත් නැහැ‘

***********************************************

“ඔයාට නං විහිළු. මට නං බයේ බැහැ අනේ. අපේ තාත්තා වෙලාවකට හිතන දේවල් මොනවද කියලා හිතා ගන්න බැහැ“ සිදුවීම අසා සිටි අකලංක පෑ විසුළුවකින් අමනාපයට පත් වූ උපමාලි කියවන්නට වූවාය.

“ඉතිං?............ ඉතිං මොකද? ඔයාගේ තාත්තා විතරක් නෙමෙයි ළමයෝ........ හා හොදයි ඔයාට පුළුවන් ද දැන්, මේ දැන් මං හිතන්නේ මොනවද කියලා කියන්න“යි කියූ අකලංක උපමාලි දෙස නෙත් නොසලා බලා සිටියේය.

ඔහු දෙස බැලූ ඈ එමොහොතේ ඔහු සිතන්නේ කුමක්දැයි දස අතේ කල්පනා කරන්නට වූවාය. නුමුදු එක පි‍ළිතුරක් ගැන සිතා ගන්නට ඇයට නුපුළුවන් විය. ගත වූ තත්පර කිහිපය තුල ම එකිනෙකා දෙස නෙත් නොසලා බලා සිටිනා අතරේ එක් වනම ඉදිරියට නැමුනු අකලංක උපමාලිගේ තඹරුවන් වර්ණයෙන් යුතු වූ තොල් පෙති සිප ගත්තේ ඇයට සිතන්නටවත් ඉඩක් නොතබමිනි.

සැනෙන් ඔහු ව ඉවතට තල්ලු කර දැමු උපමාලි තිගැස්සි වෙව්ලමින් මෙන් නැගී සිටියාය.

“මොනවද අනේ මේ කරන විකාර වැඩ? කවුරු හරි දැක්කා නං එහෙම.........“

 “හෙහ්... හෙහ්... කොහේ දකින්නද ළමයෝ............ එහෙනං මං ඔයාව මෙතැනට එක්කං එනවද?“යි වටපිට බලමින් සිනාසෙමින් පවසන අකලංකගේ සිත තමන් ඇත්තට ම නොදන්නේ නොවේදැයි උපමාලිට සිතිණ.

 “ආ........... ආහ්........... එහෙනං මෙයා මේක ප්ලෑන් කරලා කරපු වැඩක්............. හරි ම නරකයි අකලංක..... හරි ම නරකයි... ඔයා මාව රවට්ටන්න හිතුවා......“ උපමාලිගේ සිත සැබවින් ම රිදී ඇති වග වටහා ගත් අකලංක කණගාටුවට පත්විය.

“ඔය ඉතිං........... දැන් ඇත්ත ම කියන්න......... ඔයා මං කරපු වැඩේට ඇත්තට ම අකමැත්තෙන් ද ඔය කෑ ගහන්නේ.........“උපමාලිගේ අතින් අල්වා තමන් ලඟින් වාඩි කරවා ගත් ඔහු ඈ දෙසට නැඹුරු වෙමින් අසා සිටියේය. එවර උපමාලි විගස ඉවත බලා ගත්තාය.

“ජයසේන ජයකොඩිගේ ගෝතම ගීතය පොතේ තියෙනවා ඔයාලාගේ ඔය වැඩේ ගැන කියැවෙන ඡේදයක්... දෙයියනේ කියලා ඒ පොත කියැව්වට පස්සේ තමයි මේ කෙල්ලන්ගේ අරුම පුදුම හැසිරීම ගැන සහසුද්දෙන් වටහා ගන්න මට හැකි වුනේ. අඩේ අප්පා ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ කොච්චර නං හිත් අමාරුවෙන් හිටියද ට්‍රයි කරපු කෙල්ලක් දමලා ගැහැව්වා වගේ උත්තරයක් දුන්නම හරි බැලුවහම හරි“
“මොකද්ද ඔයා කිව්වේ? ඇයි එයා මොකද්ද ඒ පොතේ කියලා තියෙන්නේ.........“ උපමාලි ඉවත බලාගෙන ම ඇසුවාය.

“මට ඒකේ තිබ්බ වචන එහෙමම මතක නැහැ දැන් නං. මෙන්න මේ වගේ අදහසක් තිබුනේ. හැබැයි ඔන්න මාත් එක්ක තරහා වෙන්න බැහැ මං මෙහෙම කිව්වා කියලා හරිද?“

“හා හා හරිද වැරදිද බලන්න කියන්න බලන්න“
“ස්ත්‍රීන් හැටි එසේමය. ඔවුහු අප ඔවුන් පසු පස එන්නේ නම් රවා බලති, සිප ගත්තේ නං හූරති, පහරදෙති, අප පෙරලා යන්නේ නම්, හූල්ලති, වැළපෙති.... ස්ත්‍රීන්ගේ හැටි එසේමය.... ඔන්න ඔහොම තමයි ඒකේ ලියලා තිබුනේ“
“හ්ම්.............. ඒකත් එහෙමද? මං ඉතිං ඔයා තරම් පොත් කියවලා නැහැ. ඒත් ඔයා දැන් ටිකකට කලින් කරපු වැඩේ කලේ ප්ලෑන් කරලා නම්, මට කියන්න තියෙන්නේ, මටත් කියලාම කරා නම් වැඩේ මීට වඩා අපට ලස්සනට කරන්න තිබුනා“ යි පැවසූ උපමාලි සිය සුරතින් අකලංකගේ හිස ගෙන නලල් තලයට උණුසුම් හාදුවකින් සෙනෙහස පෑවාය. අනතුරුව කිකිණි හඬින් සිනා සලමින්, අසුනින් නැගිට ඉවත දිව ගියාය. සිද්ධ වූ දේ පිළිබඳ ව සිතන්නට මොහොතක් පමා වූ අකලංක ද අනතුරුව සිහි එළවාගෙන, ඇගේ පසු පසින් විගස ඇදී ගියේය.

අනතුරු ව ගත වූ කාලයේ සුන්දර වූ ආදර අන්දරය සුන්දර ලෙසින් ම ලියැවෙන්නට විය. පැවැත්වුනු සෑම පරීක්ෂණයකින් ම ඉහළම සාමාර්ථ ගැනීමට අකලංක හා උපමාලි යුවළට හැකි වූයේ එකිනෙකා එක් ව අධ්‍යාපන කටයුතු මනා අයුරින් සිදුකල නිසා බව විශ්ව විද්‍යාල ආචාර්යය මණ්ඩලයට පවා රහසක් නොවිණ. සිව්වන අධ්‍යයනය වර්ෂය වන විට, නොයෙකුත් හේතු නිසා විශ්ව විද්‍යාලය වසා දැමූ කාල සීමාවන්ගේ එකතුවත් සමගින් ඔවුන්ගේ ප්‍රේම කථාවට වර්ෂ 6ක් පමණ සම්පූර්ණ වී තිබිණ.

ආත්මීය පෙම්වතුන් ලෙසින් එක්ව ගෙන සිටි ඔවුන්ගේ ජීවිත තුල ජීවිත දෙකක් නොවිණ. සිරුර දෙකක් තුල ගැහෙන එක ම හදවතින් ඔවුන්ගේ පණ නල රැකි ඇතැයි යන්න දෙදෙනාගේ ම විශ්වාසය විය.

සම්බන්ධයේ පරතෙරට ම පැමිණි දින................

“ඇයි උපා ඔයා අඬන්නේ නැත්තේ..............?“ තමන් අතින් සිදු වූයේ බලවත් වැරැද්දක් යැයි මනස්තාපවෙමින් සිටි ඔහු අසා සිටියේය.

“ඇයි අකලංක මං අඬන්න ඕනේ...............?“ සිය සුරතින් ඔහුගේ අක්බමරු වන් කෙස් කළඹ පිරිමදිමින් සිටි ඇය සෙමින් නමුදු ස්ථිරසාරව අසා සිටියාය.
අනතුරු ව එළඹුණු සතියේ අග භාගයේ, උපමාලිගේ කිසි ම ඉල්ලීමකින් තොරව ම ඔවුන්ගේ විවාහ ලියාපදිංචිය විශේෂයෙන් ලබාගත් අවසරයක් මත සිදු කෙරින. මෙම කටයුත්ත ගැන දැන සිටියේ විවාහයට සාක්ෂිය පිණිස අත්සන් තැබූ  අකලංකගේ මිතුරාත් උපමාලිගේ යෙහෙළිය වු නිසංසලාත් පමණකි. මෙම සිදුවීම උපමාලි සිය හොඳම මිතුරිය වූ තමරුගෙන් සැඟවූයේ ඇය මේ පිළිබඳ ව දැනගතහොත් නිසංසලා මෙන් ප්‍රශංසා නොකරන බව දන්නා නිසාය.
 
“උඹ හරි ම වාසනාවන්තයි කෙල්ලේ............ අකලංක මොන තරම් හොඳ මනුස්සයෙක්ද.........“ නිසංසලා කාමරයට පැමිණි පසු උපමාලිගේ දෙඅත් ගෙන තදින් අල්වා ගනිමින් පැවසුවාය.

 “හ්ම්.................... එයා හොඳ කෙනා. එතකොට මංද නරක කෙනා............“ උපමාලි බොරු තරහක් පෙන්වමින් අසා සිටියාය.

 “හ්ම්........... නැතුව නැතුව........... අහිංසකයාව රවට්ටලා අල්ලා ගත්ත මදිවට නාස් ලණුවත් ඔය දාගත්තේ අගේට...........“යි පැවසූ නිසංසලා, උපමාලිගේ නහයෙන් අල්ලා සෙලෙව්වාය.

“විහිළු නෙමෙයි නිසංසලා... අකලංක නොවේ නම් මම කවදාවත් මේ තරම් වෙන කිසිම පිරිමියෙකුට ලං වෙන්නේ නැහැ. ඒක විශ්වාසයි. අකලංක කියන්නේ, ගැහැණියකට හරි ම කලාතුරකින් හමුවෙන ජාතියේ පිරිමියෙක්.......... ඒ වගේ උත්තම පුරුෂයෙකු වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට තියෙන්න බැහැ නිසංසලා................“

“හා හා........ ඇති ඇති උත්තම, පුරුස ප්‍රථම පුරුසයාගේ වරුණාව............ යමන් දැන් කන්න“

 එයින් අනතුරුව එළඹුණු මාසයේ දිනෙක් අකලංක විසින් සිය අනාගත සහකාරිය වශයෙන් උපමාලි ව සිය දෙමව්පියන්ට හා වැඩිමහල් සොයුරියට හඳුන්වා දුන්නේය. විය යුතුසේම එම පාර්ශ්වයෙන් ද ආශිර්වාදය ඔවුන් දෙදෙනා හට කිසිඳු පැකිලීමකින් තොරව ම ලැබිණ. කුලගොත් සේම අධ්‍යාපන තත්ත්වයද ගැලපීම එයට හේතුවිය.

අවාසනාව ඔවුන් සොයා පැමිණෙන විට ඇය මෙන් ම අකලංක ද රජයේ දෙපාර්තමේන්තු දෙකක උසස් නිල දරමින් සිටි අතර එළඹෙන වර්ෂයේදී ඔවුන්ගේ විවාහ උත්සවය සඳහා කටයුතු සැකසීම ද දෙදෙනාගේ බලාපොරොත්තුව වී තිබිණ. සියල්ල නොපිට හැරීමට ගතවන්නේ කෙතරම් සුළු කාලයක්ද? උපමාලිවත් අකලංකවත් කෙදිනකවත් නොසිතූ, සිහිනෙන්වත් කිසිලෙසකින්වත් නොපැතූ එම අවාසනාවන්ත තොරතුර රැගත් වෛද්‍ය වාර්තාව ඇගේ දෑතට ලැබුනේ සුව නොවන උණ රෝගී තත්ත්වයකින් පෙලීම හේතුවෙන්, තෙසතියක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතරේ කරන්නට යෙදුනු අනේක විධ පරීක්ෂණ බොහොමයක් අවසානයේ දීය.

Wednesday 16 January 2013

තමරුගෙ කතාව.... පළමුවන කොටස



පොඩ්ඩියේ!! ඇවිල්ල මේ කලමනා ටික ගෙට ගන්ඩ  උදව් වෙන්ඩ..

අම්ම කියන සද්දෙ ඇහුණම නංගි දිව්ව...

අම්මල පොලේ ගිහින් ඇවිත්!!

සඳුද ඉඳලම අම්මගෙ කරදරේ සිකුරාද හවස ගෙදර එන්ඩ කියල...

ඒ ආව පාර සෙනසුරාද දවසෙ කරන්ඩ වැඩක් නැති කමට ඇඳේ වැතිරිලා ගැහැණු ළමයි පොත දහ වෙනි පාරටත් කියවන්ඩ අරන් ඒ ගමන් කල්පනා ලෝකෙක අතරමං වෙලා හිටිය තමරුට අඩු ගාණෙ මෝටර් සයිකලේ එන සද්දෙවත් ඇහුණෙ නෑ...

ඇදෙන් නැගිට්ට තමරු ඉස්තෝප්පුවට යන ටිකටත් නංගි ලොකු බඩු මල්ලක් උස්සගෙන ගෙට එනව...
සීරුවට මෝටර් සයිකලෙන් බැහැල හෙල්මට් එක ගලවන අම්මගෙ මූණෙ තිබුණෙ දැඩි වෙහෙස කර බවක්!!

මං අර සියදෝරිස්ලගෙ ගෙදරට මේ ගමන්ම  පොඩ්ඩක් ගිහිං එන්නං.. උන්දැට කෙසෙල්කනක් බිංකරන්ඩ කිව්ව... මක්කලාද දන්නෙ නෑ නෙ...

අම්ම බැස්ස ගමන්ම තාත්ත ආපහු හැරුණ...

අම්මයි දූල දෙන්නයි වැඩි කතා බහක් නැතුව කුස්සිය පැත්තට ආව

ලොක්කියෙ වතුර එකක් දෙන්ඩකො... පිපාසෙ දිව ගිලෙන්ඩ එනව...

අම්ම කිව්වෙ කුස්සියෙ මිටි පුටුව උඩ ඉඳගන්න ගමන්

මොකටද අම්මෙ ඔය හැටි ලෑස්ති වෙන්නෙ.. ඒ මිනිස්සුන්ට තේ ටිකක් දුන්නම මදිද?? දැන් එන එන හැමෝටම මෙහෙම දවල් කෑම දෙන්ඩ ගියොත් වෙන වැඩක් නැති වෙයි නෙ...

තමරු අම්මට කිව්ව

ඒක නේන්නං හලෝ කියන්නෙ... ඔය එන එක්කෙනෙක්ට කැමති වෙන්ඩ කියල....  දැං කීදෙනෙක්ද.......නැද්ද අම්මෙ???

නැත්තං මේ මෙයාව බලන්ඩ මෙහෙම මනමාලයො එන ගානට බඩු මලු උස්සල අපේ තමයි රිස්ස යන්නෙ..

පොඩ්ඩි කියාගෙන කියාගෙන යන්නෙ විහිලුවට වුණත් තමරුගෙ හිත රිදුණ

පොඩ්ඩී............... බොහොම වැඩියි කට. නොදන්න එව්වට කට නොදා ගිහිං වැඩක් බලා ගන්නව...

අම්ම කිව්වෙ තමරුගෙ හිත රිදුන කියල දැනිල

තමරු මිටි බංකුව ඇදල අරන් ඉඳගෙන මල්ලෙ තිබුණු එළවලු ජාති වට්ටියකට අස් කළා...

සෙදෝනිස් උන්නැහේ නං කිව්වෙ.. පවුලෙ එකම ළමය කියල... වැරැල්ලගමලු.....දැන් පේරාදෙනියෙ විශ්වවිද්‍යාලෙ උගන්නනවලු
නම නං කිව්ව ඒත් මට හරියට මතක නෑ ලොක්කියෙ... කමන්නෑ.. හෙට ආවම දැනගන්ඩ බැරියැ...

හ්ම්!!!

හැමදේටම දාන බකමූණූ සද්දෙ දාල තමරු උන්න තැනින් නැගිට්ටෙ වැඩේ අහවර කරල...

මං පොඩි නෝනට එන්ඩ කිව්ව මේ අච්චාරුව හදාගන්ඩ පොඩ්ඩක් උදව්වෙන්ඩ කියල.. තාම නෑ නෙව....

අම්ම පාර බැලුව...

ආ ලොක්කියෙ අන්න අර හැට්ටෙ මහල අරන් ආව පොළට ගිය ගමන... ඇඳල බලල වෙනසක් හෙම තියේ නං හවස් කරේ අරං එන්ඩ කිව්ව රණසිංහ නෝන... හදල දෙන්නං කියල...

අනේ අම්මෙ ඔය මහ ලොකුවට මහන්සි වෙන්නෙ නැතුව ඉන්ඩ... ඕක හැමදාම කරන්ඩ පුලුවන් වැඩක් නෙවෙයි නෙ...
එහෙම කියාගෙන තමරු කාමරේ පැත්තට ඇදුණ
අනේ අර කියන්නෙහෙ දැන් කීදෙනෙක් නං කියල බැලුවද........මේක වත් හරි ගියොත්!!!
අම්මට හිතුණ!!
...................................................
විගහිං ලෑස්ති වෙන්ඩ ලොක්කියෙ ඒ මිනිස්සු දැන් මග එනවත් ඇති නෙ...

කුස්සියෙ වැඩපල අස්සෙ අම්ම කී පාරක් කාමරේට එබුණද දන්නෙ නෑ...

අම්ම මස්සවගෙන ආව හැට්ටෙ ඇඳල ඔසරියෙන් සැරසිච්ච තමරුට විල්ලුද පෙට්ටිය ඇතුළෙ දාල තිබුණ මුතු පොටට අත ගියේ ඉබේම

ඒක උපා මගේ උපන්දිනේකට දුන්න එකක්!! තමරුට මතක් වුණා!!

උපමාලි කියන්නෙ තමරුගෙ හොඳම යෙහෙලිය.. ගම පිලිමතලාව.... දෙන්න මුණ ගැහුණෙ විශ්වවිද්‍යාලෙ නේවාසිකාගාර කාමරේදි.... 
තමරු කළේ සිංහල, උපා කළේ ආර්ථික විද්‍යාව.. ඒත් දෙන්න හොඳ යාලුවො වෙලා හිටිය
අවසන් වසරෙ විභාගෙ ඉවර වෙලා තාවකාලික කථිකාචාර්ය පත්වීම් ලබල දෙන්නම එකට විශ්ව විද්‍යාලෙ ඉගැන්නුවත් එක්ක'
පස්සෙ තමරු පරිපාලන සේවා විභාගෙ ලියල පාස් වෙලා  තලාවට පත්වීම ලැබුණයිං දෙන්නගෙ ආස්සරේ අඩු වුණා...
උපා කැමති වුණේ තව ඉගෙන ගන්ඩනෙ...කොහොම හරි රස්සාවෙ කාර්යබහුල කම හන්ද දෙන්නම ඉඳ හිට කතා කරන එකත් නැවතුනා...!! දැන් නං අවුරුදු දෙකකින්වත් අපි කතා කරල නෑ!!

දැන් ඉතිං සෙල්ලං කාලයක්යැ.... අපි කැම්පස් අවුට් වෙලත් අවුරුදු පහක්නෙ...

තමරුට කොල්ලෙක්  හිටියෙ නැති වුණාට ඒ කාලෙ ඉඳල උපාට නං  සම්බන්දෙකුත් තිබුණ නෙ... මොකද්ද මේ අකලංක නේද නම... හොඳට ගැලපෙන ජෝඩුව... දැන් බැඳලද දන්නෙත් නෑ.. අපරාදෙ අපිට ඒ යාලුකම දිගටම පවත්තගන්ඩ බැරි වුණ එක නං.....

 ආං කට්ටිය ආව!!

පොඩ්ඩි කාමරේට එබෙනකල්ම තමරු හිටියෙ මුතු පොට දිගේ උපාගෙ මතක දිග හැරගෙන

ඕක දාගන්ඩ.... ලස්සනයි!! පොඩ්ඩි කිව්ව!!

ලා රෝස පාට සාරියෙ තිබුණ මුතු පාට වියමන හන්ද ඒ මුතු පොට තමරුට හොඳට ගැලපුණා...
හෙමින් හෙමින් ගෙදර කතා බහ පිරෙන හැටි මුතු පොට ගෙලේ බඳින තමරුට ඇහුණ!!

යමු ලොක්කියෙ!!


අම්ම වෙනද වගේ බුලත් හෙප්පුව අතට දීල තමරුගෙ හිස අතගෑව...

අදවත් මේ නාඩගම ඉවරයක් වෙනව නං!!

හෙප්පුව අරන් කාමරෙන් එළියට එන ගමන් තමරුට හිතුණ

ඈ හිටියෙ හෙප්පුව දිහා බලාගෙන.. වෙනද වගේම අම්ම කණ වැල අල්ලාන වගේ සාලෙට එක්කන් ආවම මනමාලය නැගිට්ට හන්ද තමරු හෙමින් සැරේ පාවෙලා ඇවිල්ල පුරුද්දට වගේ මනමාලය ලඟ හිට ගත්ත...

හෙප්පුව අමුතුවෙන් දෙන්ඩ වුණෙත් නෑ...

යාන්ත්‍රිකව සිද්ධ වෙච්ච හෙප්පුව පිලිගැන්වීමෙන් පස්සෙ ආචාර කරන්ඩ අත් දෙක එක්කාසු කරන ගමන්  උඩ බැලුවම තමන් බලන්ඩ ඇවිල්ල හිටිය මනමාලයගෙ මූණ දැක්ක තමරු ගල් වුණා!!!

පුරුදු පරිදි හිනාවෙන් මුව සරසාගෙන හෙප්පුව අතට අරන් මනමාලිගෙ මූණ බැලුව මනමාලයගෙ හිනාව මැකිල ගියෙත් ඒ වේගෙන්මයි

තමරුගෙ හදවත ගැහෙන සද්දෙ එලියට ඇහෙන ගානයි!!දෙමෝලෙන් පිටි කොටනව වගේ!!

අකලංක!!

තමරු කවදාවත්ම හීනෙකින්වත් හිතුවෙ නැති විදියට විශ්වවිද්‍යාලයේදි ඇගේ යෙහෙළියගේ පෙම්වතා තමන් අතින් හෙප්පුව ගන්ඩ ඇවිල්ල හිටිය!!

ඉඳගන්ඩ දුව...

ඈ පියවි සිහියට ආවෙ අකලංකගෙ අම්මගෙ හඬින්...

ඊලඟ විනාඩි දහය පහළොව තමරු ඉඳගෙන හිටියෙ සිහිනයක් දකිනව වගේ හැඟීමකින්...

අකලංකත් බිම බලාගෙන උන්න...
වැඩිහිටියො කතා කළා!!
ඒව දෙන්නගෙම කන්වලට වැටුණෙ නෑ...

මොකද මේ දෙන්න කතා නැත්තෙ..??
කවුරු මොනව කිව්වත් වැඩක් නෑනෙ.. .මේ දෙන්න එපැයි ජීවත් වෙන්ඩ...
ආයෙ පොඩි ළමයි නෙවෙයි නෙ... දෙන්න කතා බහ කරල අඳුන ගන්ඩල...

අකලංක ඉද්ද ගැහුව වගේ නැගිට්ට... එසැනින් තමරුත් නැගිට්ට... යාන්ත්‍රිකව...

ආ... දෙන්න ඉඳල තියෙන්නෙ අපි කොයි වෙලේ කියයිද කියල වගේ අඳුනගන්ඩ නේද??

වැඩිහිටියෙක්ගෙ හිනා හඬ මැද්දෙ අකලංක පස්සෙන් තමරු ගියේ තරහත්, දුකත් වේදනාවත්,පසුතැවිල්ලත් මිශ්‍ර වෙච්ච මොකද්ද කියල හිතාගන්ඩ බැරි හැඟීමක් හිතේ තද කරගෙන..

අකලංක.. ඔයා මොකද මෙහෙ කරන්නෙ...?? කෝ උපා...??

වැඩිහිටියොන්ගෙන් ඈත් වෙලා මිදුලට ගිය ගමන් තමරු ඇහුවෙ සෑහෙන්ඩ තරහ පාලනය කරගත්ත හඬකින්..
තමරු... මට සමා වෙන්ඩ..... මං දන්නෙ නෑ මං බලන්ඩ එන්නෙ ඔයාව කියල... එහෙනං මං කවදාවත් මේ ගමන එන්නෙත් නෑ...
හරි දැන් කොහොම හරි ඔයා ඇවිල්ලනෙ... මට දැනගන්ඩ ඕනෙ උපා කෝ කියල.. ඔයාල දෙන්නට මොකද වුනේ කියල.... ඔයාලගෙ සම්බන්ධෙ ගෙදරින් පවා දැනගෙන හිටියනෙ....දැන් මොකද මේ ඔයා මනමාලියො බලන්නෙ...?? උපා දන්නවද මේ ගැන?? ඔයාලගෙ සම්බන්ධෙට මොකද්ද වුනේ එතකොට??

තමරු ආවේගෙට ප්‍රශ්න වැලක් අහගෙන අහගෙන ගියා

තමරු.. කලබල වෙන්ඩ එපා... මට කතා කරන්ඩ ඕනෙ ටිකක් ඔයා එක්ක

මං ඔයා එක්ක මොනව කතා කරන්ඩද?? හැබැයි ඔයා උපාට වංචාවක්, ද්‍රෝහි කමක් නං මේ කරන්නෙ, මං දැන්මම මේක උපාට කියනව...


අනේ ප්ලීස් තමරු.. ඒක නං කරන්ඩ එපා... පොඩ්ඩක් මං කියන දේ අහන්ඩ... පොඩ්ඩක් කලබල වෙන්නෙ නැතුව..

ඒ කියන්නෙ ඒ සම්බන්ධෙ දැන් නැද්ද??

තමරු ප්ලීස්!! තේරුම් ගන්ඩ... මට මෙහෙම කතා කරල බෑ... මෙතන ඒ ගැන කතා කරන්ඩ වාතාවරණයක් නෑ කියල ඔයාට තේරෙනව නෙ... මට ඔයාට මේ කතාව කියන්ඩ ඕනෙ... වෙනම මුණ ගැහිල

මට එහෙම අවශ්‍යතාවක් පේන්ඩ නෑ අකලංක.. කරුණාකරල ඔයා දැන් ආව විදියටම අම්මල තාත්තල එක්ක ගෙදර යන්ඩ.. මං කියන්නං මේකට මං කැමති නෑ කියල... එතකොට අපේ ගෙදරින් ඒක ඔයාලගෙ ගෙදරට දන්නයි නෙ...

තමරු... ඔයාට ඕනෙ තීරණයක් ගන්ඩ අයිතිය ඔයාට තියෙනව... ඒත් මං ආයෙමත් ඉල්ලන්නෙ මගේ කතාව කියන්ඩ මට ඉඩක් දෙන්ඩ...ඊට පස්සෙ ඔයා හරියි කියල හිතන, ඔයා කැමති ඕනෙම දෙයක් කරන්ඩ!! ඒත් එක වතාවක් මට ඉඩ දෙන්ඩ!!

දෙන්නත් එක්ක කෑම කන්ඩ ආව නං දැන්.. දැන් ඉතිං බැරියැ කතා බහ කරන්ඩ.. ඉස්සර වගේ ආයෙ ලියුං එනකල් මග බලාන ඉන්ඩ දෙයක් නෑනෙ.. අංකෙ එබුව කතා කළා නෙ...

තමරු කෝපයෙන් දැවුණ.... මේ කට හැකර වැඩිහිටිය කතා කරන්නෙ හරියට සේරම දේවල් අදම තීන්දු වුනා වගේනෙ...

දෙයියනේ....අකලංක..බලන්ඩ ඔයා මාව දාපු අමාරුවක මහත...දැන් මං මොකද්ද කරන්නෙ??
තමරු මේ මං හිතාමතා කරපු දෙයක් නෙවෙයි... ප්ලීස් තේරුම්ගන්ඩ!!

තමරු නැගිටල ගෙට ගියා!!

අකලංකත් හෙමින් සැරේ නෑදැයොන්ට එක්කාසු වුනා....

කට්ටිය කෑම කාල තවත් ටිකක් වෙලා පුටු රත් කරල අන්තිමට යන්නං කියල ආචාර කරන්ඩ යද්දි අකලංක හිතාමතාම අත දික්කළා...

ආයුබෝවන් කියන්ඩ ආව තමරුට කරගන්ඩ දෙයක් නැතිවුණා...

රොබෝ අතක් වගේ දිගුවුණු තමරුගෙ අත ගත්තු අකලංක තම අත්ලේ තිබුණු යමක් ඈ අතේ මිටමෙලෙව්ව!!
හැමෝම විසිරිලා ගියාට පස්සෙ හෙමින් සැරේ කාමරේට ගිහින් මිට මොලවපු කඩදාසිය අරන් කියවපු තමරුගෙ ඇස්වලින් නොදැනුවත්වම කඳුලු කඩා වැටුණ...

ඒ තරහටද දුකටද, පසුතැවිල්ලටද කියල හිතාගන්ඩවත් ඈට බැරි වුණා

තමරු,
මාව වරදවා තේරුම් ගන්ඩ එපා. මේක හිතා මතා ආව ගමනක් නෙවෙයි..මට ඔයා එක්ක කියන්ඩ කතාවක් තියෙනව... ඒක අද කියන්ඩ බැරි, මුණ ගැහිල දීර්ඝව කතා කළ යුතු දෙයක්...
ප්ලීස් මට කතා කරන්ඩ...
ඔයා මගේ කතාව ඇහුවට පස්සෙ ඔයාගෙ තීරණය උපාට මේ ගැන කියනව කියන එක නං.. මං ඔයාව නවත්තන්නෙ නෑ... අපි දෙන්න ගැන වගේම ඒ සම්බන්ධවත් කැමති තීරණයක් ගන්න එක ඔයාට බාරයි!!
මේ
අකලංක
071XXXXXXX


මතු සම්බන්ධයි

Friday 4 January 2013

සිත්තමක ලියැවුණු කවිය..... 08 වන කොටස

"මල්ලි අනේ බොහොම ඉස්තුතියි ඔයා කරපු උදව්වට...ඉන්ට මම මෙව්වා ටික ගෙයින් තියල එන්නම්. දැන් අම්ම තේ හදාගෙන ඒවී"

බරට බරේ පොත් මිටියත් තුරුළු කරන් මුතූ එහෙම කිව්වේ සුජිත් මල්ලිට. සුජිත් කියන්නේ මුතුගේ හොඳම යාලුවා සඳා ගේ මල්ලි. ටවුමේ ඉඳන් එද්දී රෑ බෝ උණු හන්දා සඳා මල්ලිව එව්ව මුතුව ගෙදෙට්ට බස්සන්ට කියල.

මුතු සාලේ පහුකරන් කාමරේට හැරෙද්දීම තමා ඒ දිහාට එන විජේ අයියව දැක්කේ.

"ආ විජේ අයියේ..."

විජේ අයිය මොකද මේ වෙලාවේ අපේ ගෙදර? මුතු හිතුව.  


"නගේ ... මේං මේක අර ගොබිලය දෙන්නය කිව්වා උඹට"

"ගොබිලය? මොකක්? කවුද?"

"කවුද? හෙහ් අනේ නෑනේ උඹ මේ ගහ දන්නා මිනිහට කොළ කඩා පාන්ට තනන්ට එපා බං! වෙන කවුද ඉතින්! අපේ සිත්තර මලය මිසක්...හ්ම් හ්ම් ගනින් බන් මේ ඉලව්ව විජහට. නැන්දම්මා දැක්කොතින් මාත් ගස්" 

විජේ අයිය මොකද්දෝ පොතක් දික් කරා.

සිත්තරා දුන්න?
වික්‍රම?!
වික්‍රම තමන්ට විජේ අයිය අතේ එවුවේ මොකද්ද කියල බලනකම් මුතු ට ඉවසුම් නැහැ. දඩි බිඩි ගාල ඒක විජේ අයියගෙන් උදුරගත්තු මුතූ කාමරේට දිව්වා.

හනික කාමරේ දොර අඩවල් කරපු මුතු බැලුවේ මොකද්ද මේ වික්‍රම දුන්නු පොත කියල.

ඈ මේ අපේ දහම් පාසලේ ගිය අවුරුද්දේ සමරු කලාපේ නේ. මේක මොකටෙයි මට දෙන්නේ? ඇරත් මා ගාවත් මෙයින් එකක් තීනවනේ...අර මම සඳ කිඳුරු ජාතකේ ගැන ලියපු රචනාවත් පල උනේ...
වික්‍රම ට පිස්සුද කොහෙද..විකාර!

එහෙම හිත හිත මුතු පොත පෙරලුවේ ඕනවට එපාවට...

පොත දිගෑරිය ගමන් පෙරලුනේ මුතු අර ලියපු රචනාව තිබුණු පිටුවටමයි.
ඒ පිටුව අස්සේ තිබුණේ චිත්‍රයක්... චුට්ටන් වටකුරු මුණක හීනි දිගටි නහයක් තියෙන ගෑනු ළමෙක් ඒ චිත්‍රෙ ඉඳන් හිනාවෙනවා. තනි කරලට ගොතාපු කොන්ඩේ එක උරිසකින් ඉස්සරහට දමල. දාංගලේ හැදිච්චි එක කෙස් රොදක් විතරක් චුට්ටක් නළල ගාවින් මුණට වැටිලා. හැබැයි ඒ ගෑනු ළමයගේ ඇස් දෙක තිබුනේ ඈත කොහේ හරි දිහාකට එල්ල වෙලා... කාටවත් නොපෙනෙන එයාට විතරක් පේන දිහාක් බලන් හිනා වෙන බවක් තමා මුතුට පෙනුනේ...හරියට මුතුත් අර හිටි ගමන් තනියම හිනා වෙන්නේ...

ම්ම්ම් මේ ඉන්නේ...මේ ඉන්නේ මම නේද අයියො! හඃ මං නේන්නම්! මේ ඇඳන් ඉන්නෙත් අර මයේ ලා කහ පාට අත් නැති ගවුම නේ... මං අර මොකක් හරි පිස්සුවක් හිත හිතා හිනාවෙන විදිහ ෆොටෝ එකක් ගත්ත වාගේ නේ!


එතකොට තමා මුතුට මතක් උනේ එදා වික්‍රම ගල් තලාව ගාව චිත්‍ර ඇඳ ඇඳ ඉන්දැද්දී මුණ ගැහෙද්දි තමුන් ඇඳන් හිටියෙත් මේ ගවුමම නේද කියල.

මුතුටත් නොදැනී මුතුගේ මුණේ හීන් හිනාවක් ඇඳුනා.

මුතු චිත්‍රෙ අනික් පැත්ත පෙරලුවේ නිකමට වාගේ.
එතකොට තමා එයා ඒ පැත්තේ ලියල තිවුණු කවිය දැක්කේ...


හිත බැඳුණේ නුඹේ ලස්සන හිත දැකලා
නෙතු රිදුනේ නුඹේ රන්වන් රුව දැකලා
මුතු මැණිකේ මගේ කිඳුරී ලෙස පතලා
ඉන්නේ මම නුඹ ගැන නිතරම සිතලා


මුතූට දැනුන පපුවේ මොකක් හරි හිර වෙලා වාගේ ගතියක්. අඬන්ට එනවද හිනාවෙන්ට එනවද කියල එයාටම හිතාගන්ට බැරි උණා.
මුතූ ගෙදරින් එලියට පැනල කුසුමේ අක්කල ගේ ගෙදෙට්ට දුවපු හැටිවත්, ඒ පස්සෙන් අම්ම කෑගහගෙන එන්ට තනද්දී විජේ අයිය අම්මව නවත්ත ගත්තු හැටිවත්, කුසුමේ අක්කට කෑගහල ගෙයි දොර අරගත්තු හැටිවත්, මුතුට මතක තිවුනේ නැහැ.
එයා දුවල දුවල වික්‍රමගේ කාමරේ දොර ගාවට ඇවිත් නැවතුණා හති දම දම.


"වික්‍රම!"

"අක්කේ මට අද කන්ඩ බැහැ වගේ..අක්කල කාල -"
වික්‍රම කාමරෙන් එලියට ආවේ කතා කරේ කුසුමේ අක්ක කියල හිතාන...
අක්ක වෙනුවට නංගි ඉන්නවා දැක්ක වික්‍රම ගල් පිළිමයක් වගේ නැවතුණා. මුතුගේ අතේ තිවුන චිත්‍රෙ දැක්ක වික්‍රමගේ දිවට අගුළු වැටුණ.

දෙන්නට දෙන්න කතා නැතිව එහෙම්ම හිටන් හිටිය විනාඩියක්...දෙකක්...විනාඩි පහක්? එවෙලෙ ඔරලෝසුවේ කටු නැවතුණා කියල තමා දෙන්නටම හිතුනේ.

ඉස්සෙල්ලම කතා කරේ මුතූ.

"මෝඩය!"
වික්‍රම බිම බලා ගත්ත.
"මැට්ටා!"
වික්‍රම නෙවෙයි කට හෙල්ලුවේ.
ඕන් ඒ පාර මුතු ගේ ඇස් දෙකින් කඳුළු කැට වැටෙන්ට ගත්ත සට සට ගාල.

 
"ඕන් ඉතින්...මුතු...අඬන්ට දෙයක් උනේ නෑනේ...ඔයා අකමැති නම්...මම...මම ඔයාට සුභ පතනවා මුතු...සුජිත් එක්ක...මම ඒක දැනන් හිටියේ නෑ...එහෙව් සම්බන්ධයක් ගැන...අනේ අඬන්න එපා ඉතින්...කෝ...නවත්තන්ඩ ඕක...දෙන්ඩ ඔය චිත්‍රේ මුතු..ඔය මෝඩ චිත්රේ ඉරල විසික් කරන්ඩ...අනේ ඉතින් කිව්වම අඬන එක නවත්තන්ඩ කෝ..."
වික්‍රම එහෙම මුතුට කියද්දී මුතූට වාවන්නේ නැති උනා. එයාට තව හයියෙන් ඇඬුනා.


අනේ මම මේ හිතට කොච්චර දුක් දීලද...එයාට හිතුන.

 
"මේ චිත්‍රෙ ..මේ චිත්‍රෙ තමයි මගේ ලොකුම වස්තුව...ඒක මං ගාව හැමදාම තියාගන්නව"
මුතු කිව්වේ ඉකි ගගහ.


වික්‍රම පුදුම වෙලා මුතු දිහා බැලුව.

 
"මොනවා නගා! එතකොට සුජිත්...?"
අඬන ගමන් උණත් මුතූට ඒකට නම් ඕන් හිනාවක් ගියා.

 
"අනේ මැට්ට...සුජිත් මල්ලි...සඳා ගේ මල්ලි නේ...ඒ ළමය ආවේ මාව ඇරලවල යන්ට.."


වික්‍රමට දැනුන හරියට ඉරවල් දාහක් පෑව්වා වගේ එතෙක් වෙලා හිතේ රජ කරන් උන්නු අන්දකාරේ නැති වෙලා යනව...
 
"හෙනම්...මුතු...මුතු මැණිකේ...මගේ මැණිකේ ..."


මුතූ මුකුත් නොකියම හීන් සැරේ වික්‍රමට තුරුළු උනා. 




~   සමාප්තයි ~

ප ලි:
විශේෂ ස්තුතිය - කතාවේ සිරවූ වෙලා වලදී අදහස් වලින් උදව් දුන් සහ කතාව පමාවූ වෙලාවලදී විගසින් ලියන්නට මා යොමු කෙරෙවූ සිත්තමී නංගා ට... :)