Tuesday 23 July 2013

සරණ බන්ධන ..... 1 අරවින්ද ගේ සුවිසැරිය




"අම්මප මේ වෙලාවට තමා මට පොල් ලෙල්ලක් හපාගෙන හපාගෙන යන්ට හිතෙන්නේ..."
ෆොටෝ කාරයගේ අණසක ට අරහෙට මෙහෙට හැරි හැරි කැමරාවට විරිත්තන ගමන්
අරවින්ද එහෙම හිතුවට කිව්වේ නෑ. දසුනි එහා පැත්තේ හිටපු නිසා.

උදේ අරවින්දලාට නිලමේ කිට අන්දපු එකා මහ අසමජ්ජාතියෙක්. මිනිහ ට තව වෙඩිමක් තියෙනවා කියල කස්ටියට ඇන්දුවේ අර මොකද්ද ගිනි අරගෙන වාගේ කලබලේට.
හිටු කියල අන්දලා, බඩවල් ඔතල තදකරල අන්තිමට කියාපි:
"මල්ලිලා ටොයිලට් යන්ට හෙම වෙන එකක් නෑනේ...අද වැඩිය වතුර බොන්ට එපා" කියල
එවෙලේ නම් අරවින්දට කටට ආව අහන්න වතුර නොබිව්වට බියර් බිව්වට කමක් නැද්ද කියල.
ඒත් ඇහුවේ නෑ.
දසුනි ගේ මලය හිටිය නේ...ඕකා ගිහින් කීවොත් හෙම අර අරවින්දය මහ බේබද්දෙක් කියල.

හැබැයි කෙල්ලන්ට නම් ඇත්තටම නියමෙට අන්දලා තිබුණා. ෂඃ බලන්ට එපාය අද දසුනි ගේ හැඩ! නිල් පාට ඔසරියට, කහ පාට මල් වලට කෙල්ල වෙනදටත් වඩා ලස්සනයි!
ෆොටෝ ෂූට් එක පටන් ගත්තු වෙලේ ඉඳන් අරවින්ද බැලුවේ කොයි වෙලේ හරි දසුනි එක්ක කතා කරන්ට.
කොහෙද...මේ වදකාර ෆොටෝ කාරයෝ එක්ක බෑනේ....


* * *
යන්තම් ෆොටෝ ෂූට්, පෝරුවේ චාරිත්‍ර ඉවර උණා. කට්ටිය කෑවා. දෙවන මනමාලයෝ හැර අනෙක් උන් බිව්වා.
ඒත් තවමත් අරවින්දගේ ආසාවට ඉඩක් ලැබුනේ නැහැ.
දෙවෙනි මනමාලිලාට හරි වැඩනේ...මනමාලිගේ සාරියේ පොට හදන්ට ලු, බොකේ එක අල්ලාගන්ට ලු, වෙඩින් කේක් අල්ලන්ට ලු...
හදිසියේම හෝල් එකේ කොනක ඉඳන් දසුනි තමන් දිහාට එනවා දැක්ක අරවින්ද ත් ටිකක් හරි බහි ගැහිලා ටිකක් වැදගත් පාටට මුණ හදාගත්ත. බොරුවට දසුනිගේ පැත්ත නොබලා ළඟ හිටි අනිත් දෙවන මනමාලය එක්කල කතාවක් පටන් ගත්තා.
"හා නී...මේ අරවින්ද පුතා නේ!"
එක පාරටම වේරම්භ වාතයක් වගේ කඩන් පාත්වෙලා තිබුනේ රත්නා ආන්ටි.
"පුතා දැක්ක කල්.... දැන් ගොඩා...ආආ ක් උසයි නේ!!" යන්තම් අඩි පහයි හයකට කිට්ටු අරවින්ද ගේ කම්මුල් මිරිකන ගමන් රත්නා ආන්ටි කිව්වා.
"කොහොමද කොහොමද...ආ ...ඊළඟ මගුල් ගෙදර ඔයාගේ තමා නේද? හිකි හිකි....මොකෝ රතු වෙන්නේ? දැන් එහෙ ඉන්නවද හොඳ කෙලි පොඩ්ඩක්? ඔසී කෙල්ලෙක්? මොකක්? අපෝ තාම නැද්ද? දැන් ජොබ් එකකුත් කරනවනේ..හිකි හිකි"
තල්මස් දෙනුවක් වාගේ රත්නා ආන්ටි හිනාවෙනකොට සරීරෙම හෙල්ලෙනවා. හරිම භයන්කාරයි.

ඒ භයන්කාර දර්ශනය බලන් ඉන්න බැරිව අහක බැලුවම තමයි අරවින්ද දැක්කේ දසුනි මග නැවතිලා අනිත් දෙවෙනි මනමාලි එක්ක මොනාද කලබලෙන් වගේ කියෝනවා.

"පුතා ඔයා ට මම අපේ දුව ඉන්ට්‍රෝඩියුස් කරන්ට හිටියේ...බලන්න අනේ එයාට අද නිවාඩු නැති උනානේ වෙඩින් එකට එන්න...අපරාදේ නේද?"
අපරාදේ? හුහ්...හොඳ වෙලාවට! කියල අරවින්දට හිතුනේ ලංකාවට ගොඩ බැහැපු දවසේ ඉඳන් මාමල නැන්දලා ආන්ටිලා අංකල්ලා ඔක්කොම එයාලගේ දූ සිඟිත්තන් ව තමුන්ට ජෝඩු කරන්ට දත කාපු නිසා.

"ඒක නෙවෙයි පුතා..."රත්නා ආන්ටි ආයෙත් පටන් ගත්තා.
"මේක ලවු මැච් එකක්ද?" ආන්ටි ඇහුවේ රහසින් වගේ.

නෑ ආන්ටි ටෙස්ට් මැච් එකක් කියල කියන්ට හිතුනත් අරවින්ද කීවේ "වෙන්නැති ආන්ටි" කියල විතරයි.

"අලවින්ද අයියේ අලවින්ද අයියේ!"
ඔන්න ඔය වෙලාවේ තමා දෙයියෝ එව්වා වාගේ මල් කුමාරියෙක් දුවන් ඇවිත් අරවින්දගේ  නිළමේ ඇඳුමෙන් අදින්ට ගත්තේ. බහ තෝරන වයසේ හන්දා පොඩි එකීට තවම හරියට අරවින්දගේ නම කියාගන්ට ත් බෑ.
"ඇයි රනූ බබා? මොකෝ උනේ?"
"එන්න්...නකෝ ඕ..."පොඩි එකී ෆුල් ඩම් දාලා අරවින්දගේ ඇඳුමෙන් අදිනවා.
හපොයි. මේක කඩන් වැටුනොත් හෙම වසල හමාරයි! අනිත් එක දසුනිත් ඉස්සරහ!
අරවින්ද බය උණා.
"හරි හරි අපි යමු...දැන් කොහෙද අපි යන්නේ?"
රනුලි බබා දසුනි දිහාට අත දික් කරා. "අලය ගාවට!"
හම්මේ කළින් කියන්ට එපාය! ඉබ්බා දියේ දැම්මම අර මොකද්ද කිව්වලු.
අරවින්දට එහෙම කියන්ට කටට ආවත් කිව්වේ නෑ. රත්නා ආන්ටි ඒ වෙද්දීත් එතන හිටපු නිසා.




***
වීරයා වගේ ආවත් දසුනි ළඟට ආ හැටියේ සුපුරුදු පරිදි අරවින්දගේ කටට අගුල් වැටුන. 

හෝල් එකේ ඒ සී තිබුනට දසුනිගේ මුණට දාඩියත් දාලා.
"මේ...දසුනි මේ රනූ..." කියද්දීම රනූ අරවින්දගේ අත ගසා දාල මල් කුමාරයෙක් පස්සෙන් හූ තියාගෙන එළවන්ට ගත්තා.
හුහ් මදැයි කොලා!

"අරවින්ද අයියව එක්කන් එන්ට කියල මමයි රනුලිව එව්වේ.."දසුනි බිම බලාගෙන කිව්වා.
 

දසුනි මාව එක්කන් එන්න කියල රනූ ව එවල!
වෙන වේලාවකදී නම් ඒක අරවින්දට ඉන්දියාව මැච් එකක් පැරදුනා වාගේ ඉහ වහා ගිය සතුටක් දැනෙන කාරණයක්. ඒත් මේ වෙලේ එහෙම දැනුනේ නැත්තේ දසුනි ගෙයි අනිත් දෙවෙනි මනමාලිගෙයි මුනවල් වල තිවුණු බය වෙච්චි පෙනුමට.


" ආහ් ඇයි දසුනි...මොකක් හරි ප්‍රශ්නයක් ද?"
අරවින්ද ඇහුවා.

"අනේ ඔව් අයියේ...අවන්ති අක්ක හොයාගන්න නෑනේ! අපි දෙන්න රූම් එකෙත් බැලුවා...සුපුන් අයියත් කලබල වෙලා ඉන්නේ"
දසුනි කියාගෙන කියාගෙන ගියා.
අවන්ති නෑ?
මගුල් ගෙදර මනමාලි නැති වෙන්ට පුලුවනිද?
අරවින්ද ට මේක මහා අපබ්‍රංශයක්.
"පොඩ්ඩක් ඉන්න...දසුනි...අපි පොඩ්ඩක් හෝල් එකෙන් එළියට යමු..."

ලා නිල් සහ කහ පාට මල් වලින් සරසලා තිබුණු හෝල් එකෙන්, අරවින්ද දෙන්න එක්කල හෙමීට එළියට ගියේ නෑදෑයෝ ඔක්කොම ඉස්සරහ කලබල කරන්ට හොඳ නැති හින්දයි.
"හරි ..දැන් හිමීට කියන්ට...මොකද්ද වෙලා තියෙන්නේ කියල"
දසුනි ලොකු හුස්මක් ගත්තා.
"අවන්ති අක්කා ට ටොයිලට් යන්ට ඕනි කියල දැන් විනාඩි විස්සකට විතර කළින් රූම් එකට ගිහින් තියෙනවා. ඒ ගියාමයි එයා කොහෙද කියල හොයාගන්ට නැහැ..."
"එයා තනියමද ගිහින් තියෙන්නේ?"
අරවින්ද ඇහුවේ සාමාන්‍යෙන් මනමාලි ඔය වාගේ වැඩවලට දෙවෙනි මනමාලි ව එක්කරන් යන හින්දා.


"ඔවු අයියේ...එයා සුපුන් අයියට කියල තියෙන්නේ මාත් එක්කළ යනවා කියලා. සුපුන් අයිය ඒ වෙලේ යාලුවෝ කට්ටියක් එක්කල කතා කර කර හිටපු නිසා ඒ කලබලේ එයා දැකල නැහැ හරියට අවන්ති අක්කා ගියේ කා එක්කල ද කියල. ගොයින් අවේ ඇඳුම අඳින්ටත් වෙලාව ළඟ නිසා එයාල කොහොමත් රූම් එකට යන්ට ඉඳල තියෙන්නේ...එයා යාලුවෝ එක්කල කතා කරලා ඉවර වෙලා මම හෝල් එකේ ඉන්නවා දැක්කම තමා මට කතා කරලා ඇහුවේ අවන්ති අක්ක රූම් එකේ තනියෙමද කියල...එතකොට තමා මම දන්නෙත් එයා රූම් එකට ගිහින් විත්තිය...මමයි නිපුනි යි එවෙලේම සුපුන් අයියත් එක්ක රූම් එකට ගිහින් බැලුවා...ඒත් ඒකෙ කවුරුත් නැහැ!"


"හරි...දැන් කෝ සුපුන්?"


"සුපුන් අයිය රූම් එකේ... හොඳටම කලබල වෙලා...හතර අතට කෝල් දෙනවා...ඔයාට කියන්ට කීවෙත් එයා...ජෝඩුව කෝ කියල අහපු අයට මම කීවේ ගොයින් අවේ ඇඳුම් අඳින්ට රූම් එකට ගිහින් කියල.
පවුල් වල කාටවත් මම කීවේ නැහැ මේ ප්‍රශ්නේ තවම..."


මේ වාගේ වෙලාවක කරන්ට ඕනි මොනවද කියල අරවින්දට හිතාගන්න ත් අමාරුයි.
හැබැයි හැමෝම කලබල වෙලා දඟලන්ට ගත්තොත් නම් ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා කියන එක නම් එයා තේරුම් ගත්තා. 


"බය වෙන්න එපා දසුනි...අවන්ති එහෙම නැති වෙන්ට පුළුවනි ද?...මොකක් හරි මිස් අන්ඩස්ටෑන්ඩින් මෙතන වෙලා ඇත්තේ...අවන්ති වැරදි කාමරේකට ගියාද දන්නේ නැහැනේ...නැත්නම් ෂුවර් එකටම සුපුන්ව බය කරන්ට අවන්ති ප්‍රෑන්ක් එකක් කරනවා වෙන්ට ඇති..

ජෝඩුව පිටත් වෙන්න තව පැය දෙකක්ම තියෙනවා නේ... හරි හරි අපි කොයිකටත් දැන් යමු රූම් එකට..."

 
දසුනිගේ හිත හදන්ට අරවින්ද එහෙම කිව්වත් මෙතන ලොකු අලකලංචියක් සිද්ද වෙලා තියෙන වග අරවින්දට දැනුනේ ඉවෙන් වාගේ.
කොහොම නමුත් ඔක්කොටම කලින් සුපුන් ගේ තත්වේ බලන්ට ඕනි...තමන්ගේ මගුල් දවසේ තමන්ගේ මනමාලි එකපාරටම අතුරුදහන් උනාම මනමාලය ට මොනවා හිතේවිද?


අනික සුපුන් කොහොමත් හිත මෙළෙක් එකා.
මීට අවුරුදු ගානකට කලින් සුපුන්ව මුලින්ම මුණ ගැහුණු දවස අරවින්දට මතක් උනා...
ඉස්කෝලේ පළවෙනි වසරේ ළමයි ඇතුළත් කරගත්තු දවස. එදත් පුංචි සුපුන් කාගෙන්දෝ වස්වර්තියෙකුගෙන් ගුටි කනකොට  අරවින්ද ගිහින් තමා බේර ගත්තේ. එදා ඉඳන් දෙන්නා හැදුනේ එක කුස උපන් සහෝදරයෝ දෙන්නෙක් වාගේ. ඇත්තටම අවුරුදු හතරකට කලින් අරවින්ද ඔස්ට්‍රේලියාවට යන්න කලින් සුපුන්ගේ ජීවිතේ සිද්ද වෙන හැම දෙයක්ම අරවින්දත්, අරවින්දගේ ජීවිතේ වෙන හැම දෙයක්ම සුපුනුත් දැනන් හිටියා...


 ඒත්... කිලෝ මීටර් දාස් ගාණක් ඈතින් ඉන්නකොට, විශ්ව විද්‍යාලේ වැඩයි, පාට් ටයිම් වැඩත් එක්කල යාලුවාගේ දුක සැප හොයා බලන්ට අරවින්දට වැඩි කාලයක් තිබුණේ නැහැ.
අරවින්ද නැති අතරේ සුපුන් ගැන හොයල බලන්ට කෙනෙක් නැති උනාද? අවන්ති යි සුපුන් අතරේ මොකක් හරි ප්‍රශ්නයක්ද?
දහසකුත් ප්‍රශ්න අරවින්දගේ හිතට ආවේ පොඩි වරදකාරී හැඟීම ක් නැතිවමත් නෙවෙයි
...

රූම් එක තිබුණේ හෝටලේ තුන්වෙනි තට්ටුවේ.
අරවින්දලා කට්ටියම උදේ ෆොටෝ ගන්න රූම් එකට ගිය හින්දා ආයේ තියෙන තැන හොය හොය ඉන්න උවමනාවක් තිබුනේ නැහැ.
තුන්දෙනාම ලොබී එක පහුකරන් ගිහින් විදුලි සෝපානය ළඟ නැවතුනේ තට්ටු දහයක උඩ ඉඳන් සෝපානය එයාල හිටපු බිම් මහලට එනතුරු.


ඔන්න ඔය වෙලාවේ තමයි ආදර්ශමත් හෙළ බොදු තරුණයෙක් හැටියට අරවින්දට අපේ පුරාණ කියමනක් මතක් උනේ.
කල දුටු කල වළ ඉහගනු!

 
"මේ...නංගි..." අරවින්ද මුණ එල්ලගෙන හිටපු අනිත් දෙවෙනි මනමාලිට කතාකලා.
"අපි ඔක්කොම එක පාරට හෝල් එකේ නැති උනොත් ටිකක් හරි නෑ වගේ නේද? ම්ම්...ඔයා යන්ට හෝල් එකට...අපිව හෙව්වොත් පොඩ්ඩක් ශේප් කරන්ට...අවුලක් ඇති බවක් පෙන්නන්ට එපා හොඳද? අපි දෙන්න ගිහින් සුපුන්ව බලන්නම්."

ඒ කියල කට ගන්න හම්බු උණේ නැහැ සෝපානයේ දොර ඇරුනා.
දසුනි එක්කල තත්පර තිහක් තනියම සෝපානයේ යාම නිමිති කරගෙන පහළ උනු අහිංසක සතුටෙන් අරවින්ද දසුනිත් එක්ක සෝපානේ ඇතුළට ගොඩ උනා.


අවාසනාවක මහත!
සෝපානේ දොර වැහීගෙන එනකොටම, කොළඹ අවුවේ ඇවිදලා රතු උනු සුද්දෝ සුද්දියෝ රංචුවක්ම "Wait for us!" කියාගෙන පැනගෙන ගොඩ උනේ නැතැයි! 


හැබැයි ඒකෙත් එක හොඳක් තිවුනා. 

සුද්දෝ රොත්තට ඉඩ දෙන්න අරවින්දයි දසුනියි සෝපානේ කෙළවරටම ගියා.
දසුනි අරවින්ද ගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ලං වුණා.
දසුනි ගල්වල තිබුණු මහනෙල් මල් මුසු වෙච්චි විලවුන් සුවඳින් පෙනහැලි පුරව ගත්තු අරවින්ද තත්පර තිහක් දෙව්ලොව ගියා!



Sunday 2 June 2013

05. තමරුගේ කතාව (අටවෙනි සහ අවසාන කොටස )


තමරු ගේ ඇස්වලින් කඳුළු කැට කඩා හැලුනේ ඈටත් නොදැනී.
හන්තාන කඳු පාමුල රොබරෝසියා මල් වරුසා මැද්දෙන් යුවතියන් දෙදෙනෙක් ඈගේ මතකයේ කොනක ඉඳන් සිනාසුනා...
යුවතියන් වියපත් වුවත් හන්තාන හැමදාම තරුණයි..ඈ සුසුමක් හෙලුවා.

අකලංක ඔහු අතේ තිබුණු සේයාරුව නැවත වරක් පිරිමැද්දා. ඒ සේයාරුවේ ඉඳන් ඔවුන් දිහා බලන් හිටියේ උපමාලි...

"දුව..."තමරු කටහඬ අවදි කළා. "දුව දැන් ලොකු ළමයෙක්...අපි මේ සේරම දුවගෙන් අද වෙනකන් වහන් කරන් හිටියේ දූගේ පුංචි හිතට මේවා බර වැඩි වේවි කියල...ඒත් දැන් දුව දන්නවා...."
තමන්ගේ උරිස්සට තුරුළු වෙලා ඉකි ගහන යුවතිය ගේ හිස ආදරෙන් පිරිමදින ගමන් තමරු කිව්වා.

දූගේ විසි එක්වෙනි උපන් දිනේ දා හැම දෙයක්ම කියන්ට ඕනා කියල අකලංකව පොරොන්දු කරගත්තේ තමරු මයි. නමුත් හැමදේම අහන් ඉඳල අන්තිමට දූ තමන්ව බදාගෙන අඬන්ට පටන් ගත්තම තමුන් කරේ මෝඩ වැඩක් දෝ කියලත් තමරුට හිතුනා.
නැහැ...එහෙම කලොත් උපා ට මම ජාති ජාතිත් ණයයි. මගේ සතුට කියල මෙතුවක් කලක් මම වින්දේ උපාට අයිති සතුට...මගේ මහත්තයා...මගේ දරුවා...
තමරුගේ පපුව පිච්චිලා ගියා...ඇගේ දරුවා? උපන්දා ඉඳන් හදල වඩල පණටත් වඩා ආදරේ කරත් මේ ඇගේ දරුවාද?
තමරුට මතක් උනා අවුරුදු ගානකට කළින් ගෙවීගිය රාත්‍රියක්...

අසනි වැසි ඇද හැලුණු අඳුරු රාත්‍රියක්....
.......................................

එකවර නැගුනු උපමාලිගේ විලාපය ඇහිලා තමරු නිදි ඇඳුමෙන්ම ඒ දිහාට දුවගෙන ගියා.
ඈ අඩවන් කරල තිබුණු උපාගේ කාමරේ දොර ඇරියේ දෙවරක් නොසිතා. ඒ වෙලාවේ තමරුගේ හිතේ තිබුනේ තමන්ගේ යෙහෙළියට උදව් වෙන්න ඕනේ කියන හැඟීම විතරයි.

තමරු දුටු දෙයින් ඈ හිරි වැටිලා ගියා.

උපා හිටියේ කෙස් වැටිය ලෙහාගෙන ඇඳ මත වාඩිවී ඉකි ගසමින්. අකලංක කිසිත් කර කියා ගත නොහැකිව අසරණ බැල්මකින් සිට ගෙන.
තමරු දුටු සැණින් උපා ඈ වෙත දිව ගෙන ආවේ බියෙන් තැති ගත්තු මුවදෙනක් වගේ.
"අනේ මාව බේරාගන්ට!" උපමාලි පැවසුවේ වෙව්ලමින්.
"අනේ උපා..."අකලංක බැගෑපත් උනා. "ඔයාට මාව ආයෙත් අමතකද වස්තුව? ඔයා මගේ වයිෆ්! මම ඔයාගේ හස්බන්ඩ්!"
උපමාලි අකලංක දිහා බැලුවේ පිළිකුලින්.
"මට ඇති හස්බන්ඩ් කෙනෙක් නැහැ!!" උපා උමතු ලෙසින් කෑගැහුවා.
ඒ එක්කම ඈ සිහි සුන්වී තමරුගේ ඇඟ මතට වැටුනා. තමරු අකලංක ගේත් උදව් ඇතිව ඈව ඇඳට වත්තන් කලේ මේ කිසිම දෙයක් වටහා ගන්ට බැරුව.

උපා ගැන බියවුණු අකලංක එවෙලේම ඈ රෝහල වෙත ගෙන ගියා.
නමුත් එයින් පසු කවදාවත් උපා ප්‍රකෘති සිහිය ලැබුවේ නැහැ.

දොස්තරලා නම් කීවේ උපමාලි ගේ වෙනස ඔවුන් බලාපොරොත්තු වුවක් බව.
"මේ වගේ පේෂන්ට්ස්ලා බොහොමයක් මෙහෙම එකපාරටම හොඳ අතට හැරෙන්ට වගේ පෙනුනට ඒක තාවකාලික දෙයක්...මේක පුදුමයක් නෙවෙයි. මිස්ට අකලංක තමන්ට දොස් කියාගන්න කාරී නැහැ...එදා ඔයාල අතර එහෙම දෙයක් නොවුනත් මිසිස් උපමාලිගේ ටියුමර් එකේ කන්ඩිෂන් එකේ හැටියට මේ දේ වෙන්න තිබුණා" අකලංක ගේ උරිස ට තට්ටුකරමින් උපමාලි ට බෙහෙත් නියම කල වයිද්යවරයා කාරුණිකව පැවසුවා.

ඒ වුනත්...එදා රැයේ උපා ඔවුන් අමතක කරන්ට කළින් උපාත් අකලංකත් එක්ව සොඳුරු මතකයක් පින්තාරු කරලා තිබුණා...ඒ බව පැහැදිලි උනේ ඊට මාස කීපෙකින් උපාගේ වෙනසක් පෙනුණාම...

උපමාලි මවක් වෙන්න යන බව දැනගත් දිනේ අකලංක කොපමණ හැඬුවා ද? දොස්තරලා මොනවා කියුවත් හොඳ අතට හැරෙමින් තිබුණු උපාගේ සිහිය එක්වරම නැවත අවුල් වුනේ තමන් එදා හදිසි උන නිසා ඇතිවුණු කම්පනයෙන් කියා සිතුව අකලංක කවදාවත් තමන්ට සමාව දුන්නේ නැහැ.
තමන්ට ලැබෙන්නට යන උතුම් පදවිය ගැන කිසිත් නිනව්වක් නැතිව ඔහේ බලාගත් අත බලාගෙන සිටි උපමාලි දකින වාරයක් පාසා තමරු ගේ හිත කීරි ගැහුණා. තමුන් මිත්තණියක් වන්නට යන බව ආරංචි උණු අකලන්කගේ මව අවසානයේ උපමාලිට සමාව දී තිබුනා. නමුත් ඒ වෙන විට උපමාලි ඇයව දැන සිටියේ නැහැ...

දිනෙන් දින දුර්වල උණු උපා ගේ ජීවිතය ගැන වත්, ලැබෙන්ට සිටි දරුවා ගැනවත් වයිද්යවරු වැඩි බලාපොරොත්තු තැබුවේ නැහැ.
අන්තිමට....ඈ පිළිසිඳ ගත් අඳුරු වැහි දිනයට හාත්පසින්ම වෙනස් හිරු එළියෙන් නැහැවුණු රන්වන් උදයක පුංචි දූ ඉපදුනා...ඒත් ඒ අලුත් දවස බලන්ට උපා හිටියේ නැහැ...පුංචි දූ ව විතරක් තියල උපා සදහටම යන්න ගියා...........................................................

"අම්මා..." දූ ගේ කටහඬින් තමරු නැවතත් වර්තමානයට ආව.
"අම්මා මගේ වැදූ අම්ම නොවෙන්ට පුළුවනි...ඒත් මම දන්නේ එක අම්මයි...ඒ තමා මේ ඉන්නේ" දූ තමරුව ආයෙත් බදා ගත්ත. "මයේ අම්ම...මාව ආදරෙන් හැදුව අම්ම...අම්මම විතරයි!"

දූගේ කඳුළු වලට තමරුගේ කඳුළු ත් එක්වෙලා ගලාගියා. තමන්ගෙයි උපාගෙයි ආදරයේ සලකුණ වුනු තමන්ගේ දෝණි වෙනුවෙන් ජීවිතේම කැපකරලා, තමන්ටත් ආයෙත් ජීවිතේ දුන්නු තමන්ගේ බිරිඳ තමරු දිහා මොහොතක් බලන් හිටිය අකලංකත්, එක්ව හඬන මව සහ දියණිය වෙත ගොස් ඔවුන් දෙන්නා තුරුල් කර ගත්තා....

හදවත් බන්ධනයෙන් බැඳී මේ පුංචි පවුල මෙසේ එකිනෙකා ගේ උණුසුමේ වෙලී සිටිද්දී රාමු කරවූ සේයාරුවක් ඔවුන් දෙස මෑත සිට බලා සිටියා...ඒ සේයාරුවේ සිටි දඟකාර දෑස හිමිකාරියගේ මුවේ රැඳවී තිබුනේ ආදරණීය මන්දස්මිතයක් ....

Happy 21st Birthday Upamali! 
ඒ අසලම වැටුණු උපන්දින සුභ පැතුම් පතේ ලියැවී තිබුණා...




Wednesday 6 March 2013

05. තමරුගේ කතාව (හත්වෙනි කොටස )







වෙනදාට වඩා රාත්‍රිය නිසසලයි. ගහක් කොලක් පවා හෙල්ලෙන හඬක්වත් ඇහුනේ නැති තරම්.

තවත් දවසක නිමාවක්!!!

දොරට යමෙකු තදින් ගසන හඬින් තිගැස්සී ගිය තමරු , උපමාලි දෙස බැලුවා.

'අකලංක වෙන්ට ඇති' උපමාලි කීවේ දෑස් පියාගෙනම.

විවරවූ දොරෙන් එබුනේ අකලංක. 'ඔහුගේ මත හොඳටම වැඩිවෙලා වගේ' තමරුට සිතුනා.
'මම ආවේ අද මම නිදන්නේ, මගේ වයිෆ් ලඟ කියලා කියන්ට'

උපමාලි දෙනෙත් විවර කලෙත්, තමරු හිස පීරමින් සිටි පනාව බිම වැටුනෙත් එක්වැර.
'අකලංක' තමරුගේ හඬ යාන්තමට වෙව්ලලා ගියා.

'ඔයා මේ හොඳ සිහියෙන්ද කතා කරන්නේ?'

උපමාලිට ඇසුනේ තමරුගේ  ස්වරය උච්ච වෙනවා වගෙයි.

'ඔයා අද ඉන්නේ බීලා. ඒ වගේම හෙට උදේට උපාට මේ හැමදේම අමතක වෙලා තියෙන්ට පුලුවන්. ඒ වෙලාවට ඔයාට මොනවා හිතෙයිද කියලා ඔයා කල්පනා කලාද?'

තමරුගේ දෑසේවූ වේදනාව දුටු උපමාලි නැවතත් දෙනෙත වසා ගත්තා.

'එහෙම උනොත්, මගේ ජීවිතේටම, මම ජීවත්වෙන්නේ අද විතරයි කියලා මම හිතාගන්නම්...'
අකලංක සිරුර කාමරයේ දොරට වාරු කරගත්තා.  නිතර අතැඟිලි ඒ අතුරින් යවීම නිසාදෝ,ඔහුගේ හිසකෙස් අවුල්ව තිබුනා. 'අදට මගේ කාමරයේ නිදන්ට' ඔහු ඇයට පැවසුවා.

එය ඉල්ලීම නෙමේ , විධානයක්!!!

තමරු නැවී, බිමවූ පනාව අහුලා ගත්තේ සෙමෙන්. ඊලඟට උපමාලි දෙස හැරී 'මම යනවා උපා' කියා කීවෙත් ඇසෙන, නෑහෙන හඬකින්. ඇගේ දෑසේ එල්වී තිබූ, කඳුලු බිඳු අකලංක නොදැක්කාම නොවේ.

ඔහු ඇගේ ඒ විසල් දෑස මග ඇරියා කීවොත් නිවැරදී. ඇය, ඔහු පසු කරමින් ගමන් කලේ, නමාගත් හිසින් යුතුව.

තමරු, තමාගේ කාමරය දෙසට යනුත්, එහි දොර තදින් වැහෙන හඬත් ඔහුට ඇසුනා.
උපමාලි දෑස් විවර කලේ නෑ. ඇයට දැනුනේ තමා පසෙකින් වැටෙන අකලංකගේ සිරුරේ උණුසුම.

ඇගේ හදවත ගැහෙන්ට පටන් ගත්තේ වේගෙන්. තමා පසෙකින් උන් අකලංකගේ සුපුරුදු උණුසුම ඇගේ ගතට දැනුනා. හරියට කාලෙකට පස්සේ තමන්ගේ නිවසට ආවා වගේ. තමා මේ උණුසුමට පූසියක් මෙන් කීවරක් නම් තුරුල් වෙන්නට ඇද්ද? තමා පසෙකින්වූ, ඒ පුලුල් උරහිසේ මූන සඟවා ගන්නට ඇත්ද? ඔහුගේ පිජාමා කමිසමේ බොත්තම් ගලවා ඒ තුල මුහුන ඔබා ගැනීමේ ආසාවක් ඈ තුල හැමදාම තිබුනා.


ඈට එක්වරම මතකයට නැගුනේ සරසවි යුගයේ ඈ හා අකලංක එක්ව ගතකළ රාත්‍රියයි.

තමා ගැහැණියක වූ රාත්‍රියයි.


උපමාලිගේ දෙනෙත් වටා කලුපැහගැන්වී ඇති අන්දමත්, ඇගේ දෙනෙත් ගිලී ගොස් තිබූ හැටිත්, සිරුර හා මුහුන වැහැරී ගොස් තිබු හැටිත්, අකලංක දුටුවේ නෑ.

ඔහු ඈ වෙත හැරී ඇයව දෑතින්ම තුරුල් කරගත්තා. ඒත් උපමාලි දෑස් විවර කලේ නෑ. තම දෑතින් මූන් වසාගෙන ඔහුගේ පපුවෙහි මුහුන ඔබා ගත්තා.

ඇයට සිහිපත් වූයේ අකලංකගේ මවගේ මුහුන.

'මට මැරෙන්ට කලින් මගේ මුණුබුරෙක් හරි මුණුබිරියෙක් හරි දැකගන්ට වාසනාවක් නැති උනු හැටි' ඇය තමා බැලීමට පැමිනි දිනක් හඬමින් අකලංකට කියනු උපාට මෙනේ වූවා. ඔවුන් සිතුවේ ඇගේ කල්පනාව ඒ මොහොතේ නොවූ බවයි. අකලංක සිය මවගේ හිස, ඔහුගේ උරහිස මත තබා පිරිමදිනු දුටු, ඇගේ හදවත දහස් වාරයක් ගිණි ගත්තා කීවොත් වැරදි නෑ.
හිතපු නැති මොහොතක, සමහර දර්ශන, තමාගේ හිතේ කොනක යටපත්වූ, මතකයන් සියල්ල එලියට දමන බැව් ඈ  නිතරම ඔවුන්ට පැවසුවේ නෑ. ඒ මොහොතේ අකලංකගේ දෑස් වේදනාවෙන් පිරී යනු ඈ හොඳ හැටි දුටුවා ...

එදා ඇගේ දෑසින් ගැලූ කඳුලු ඔවුන් දුටුවේ නෑ.

ඊලඟට ඇගේ සිත තුල ඇඳී ගියේ තමරුගේ ආදරණීය මුහුන. තමාගේ සහෝදරියක මෙන්, දිවා, රෑ තමා වෙනුවෙන් වෙහෙසෙන තමරුගේ දයාබර මුහුන. දැන් මොහොතකට කලින් ඒ දෑසේ දිස් වූයේ මොන තරම් වේදනාවක්ද? ඇය දුක්වූයේ තමන් වෙනුවෙන්ද? අකලංක වෙනුවෙන්ද? උපාගේ දෑස් පිරී ඉතිරී ගිය කඳුලු කපොල් ඔස්සේ ගලා යනු අකලංක අදත්  දුටුවේ නෑ.


*****************************************************************


අකලංකගේ කාමරය වෙත ගිය තමරු එහි ඇලවුනේ විඩාවෙන්. ඈ හිස තැබු කොට්ටයෙන් හමා ආවේ අකලංක වෙතින් නික්ම එන සුවඳක්. ඈ වහා එය පසෙකට විසි කර, බිත්තියට හේත්තු කොට තිබූ කුඩා කොට්ටයක් ගෙන හිස තබා ගත්තා.

අකලංකගේ සිරුර හා එතුනු උපාගේ සිරුර මෙනෙහිවීමෙන් ඇගේ හදවත ගින්නකින් පිලිස්සෙන්නේ ඇයි? ඒ බුර , බුරා නැගෙන ගින්නෙන් තමා කොයි මොහොතක හෝ පිලිස්සෙනු ඇතැයි ඇයට දැනුනේ බියක්. ඈ කොට්ටයට මූන ඔබා ඇඳේ අනෙක් පසට හැරුනා.


රාත්‍රිය අවදි වීමට පටන් ගත්තේ ඒ මොහොතේ.

හිටි හැටියේ මහ වැස්සක් කඩා වැටෙන්ට පටන් ගත්තේ කොහොමද? වහලට වැටෙන වතුර පාරේ සැරට වහල පාත්වේදැයි බියක් තමරුගේ සිතට දැනුනා. හුලං පාරට කවුලු පියන් පත් හෙල්ලුනා. අකුණක් වැදී, කාමරය ආලෝකමත්වී සැනෙකින් යලි අඳුරේ ගිලුනා.

මොහොතකින් මුලු නිවසම පිරී ගියේ කන් බිහිරි කරවන කෑගෑසීමකින්. සිත් බියට පත් කරනා එහි වූයේ අමානුෂිකබවක්. සම්පූර්ණයෙන් වියරුව ගිය ගැහැනියකගේ හඬක්.

තමරු වහා ඇඳෙන් බැස, උපාගේ කාමරය වෙත දුවන්නට උනා.



"love hurts, love scars, love wounds and marks...."

ප/ලි: විශේෂ ස්තූතිය මා අමාරුවේ දමා ඉන් ගොඩ ගත් ජනුවාට. :D:D:D



Saturday 2 March 2013

05. තමරුගෙ කතාව - සය වන කොටස


ගෙදර යා යුතු බව පවසමින් උපමාලි දිගින් දිගටම රථය තුළ අරගල කරද්දී අකලංක රෝහල වෙත රථය ධාවනය කළේය. ඇය සන්සුන් වූයේ වෛද්‍යවරයා ලබාදුන් එන්නතෙන් පසුවය. උදෑසන පටන් සිදු වූ සෑම දෙයක්ම තමරුත් අකලංකත් අකුරක් නෑර වෛද්‍යවරයාට හෙළි කළෝය. මෙතරම් ඉක්මණින් තත්පර කිහිපයකට වුවද උපමාලිට යළි මතකය ලැබීම සුභ ලකුණක් බව ඒ සියල්ල පුදුමයෙන් අසා සිටි වෛද්‍යවරයා පැවසුවේය. බෙහෙත් මාත්‍රාව මඳක් වෙනස් කළ ඔහු තවත් උපදෙස් කිහිපයක් ලබා දී ඔවුන්ව පිටත් කර හැරියේය.

නිදා සිටින උපමාලිව දෑතින් ඔසවාගෙන පැමිණ ඇඳෙන් තැබූ අකලංක ඇගේ හිස අතගා මඳ වේලාවක් එලෙසම හිඳ නිහඬවම කාමරයෙන් පිටව ගියේය. ඔහු සිටින්නේ කෙතරම් සිත් වේදනාවකින්ද යන බව තමරුට හොඳින් වැටහුණි. එදින රාත්‍රී ආහාර ගන්නා වෙලාවේදී අවදි වූ පසුවද උපමාලි සිටියේ අකලංකව නුරුස්නා ස්වභාවයෙනි. අවම වශයෙන් සමාව ගැනීමට හෝ ඇය ඔහුට ඉඩක් ලබා දුන්නේ නැත.

නමුත් පසුවදා වන විට සියල්ල යථා තත්ත්වයට පත්ව තිබිණ. උපමාලි වෙනසක් නොමැතිව අකලංක හා තමරු සමග එක්ව හිඳ උදෑසන ආහාරය ගත්තාය. "ඊයෙ වෙච්ච දේට ඔයා මා එක්ක තරහා නෑ නේද උපා?" අකලංක විමසා සිටි මොහොතේදී උපමාලි ඔහු දෙස බැලුවේ පුදුමයෙනි. "ඇයි? ඊයෙ මොකද උනේ?"
අකලංකත් තමරුත් මුහුණින් මුහුණ බලාගත්තා මිස කිසිවක් නොකීවෝය.

මෙලෙසින් සති කිහිපයක් ගෙවී ගියේය. තමරුද රැකියාවට යාමට පටන් ගත් අතර දිවාකාලයේ උපමාලිව බලාගැනීම පිණිස කරුණාවතී එහි පැමිණියාය. ඒ අතර කිහිප වරක් උපමාලිගේ මතකයද යළිත් ලැබී නැවත නැති වී ගියේය. දෙවැනි වරට එය සිදු වූයේ ඔවුන් තිදෙනා දළදා මාළිගාවට ගොස් පැමිණි දිනයේදීය. එදින ඇගේ මතකය පැය භාගයක් පමණ යහපත් මට්ටමේ පැවතුණි. එදින ඇගේ මතකය යළි ගිලිහී ගිය මොහොතේ අකලංක එය දරාගැනීමට සමත් විය. ඔවුන් මේ වන විට තේරුම් ගෙන තිබූ ආකාරයට, එසේම වෛද්‍යවරයාද උපදෙස් දී තිබූ ලෙසට, උපමාලිගේ මතකය යළි ලබාගැනීමට සුදුසුම ක්‍රමය වර්තමානය ඔස්සේ ඇයට ඉබේම අතීතය මතක් වීමට ඉඩ සැලැස්වීම මිස අතීතය බලෙන් ඇයට සිහිපත් කරවීමට උත්සාහ කිරීම නොවීය. කිහිප විටෙක අකලංක උපමාලිගේ දෙමව්පියන්ව එහි කැඳවාගෙන ආ අතර ඇතැම් දිනෙක ඔවුන් තිදෙනාම එක්ව ඇගේ දෙමව්පියන් බැලීමට ගියෝය. එසේ ගිය එක් දිනකදී උපමාලිගේ මතකය පැය දෙකක් පුරා යහපත් මට්ටමේ පැවතුණි. කෙමෙන් කෙමෙන් ඇගේ මතකය රඳා පවතින කාලය වැඩි වීම සැම දෙනාගේම සැනසීමට හේතුවක් විය. වෛද්‍යවරයා වරින් වර ලබාගත් උපමාලිගේ මොළයේ ස්කෑන් වර්තා නැවත නැවතත් එකිනෙක පිරික්සුවේ ඉතාමත් විශ්මයෙනි. ඔහු ඒවා කොළඹ සිටිනා වෛද්‍යවරයෙකුටද පෙන්වා සාකච්ඡා කළ යුතු බව පවසා සිටියේය. ඔහුගේ අදහසට අනුව උපමාලිගේ රෝගී තත්ත්වය සුව අතට හැරෙමින් ඇත.

දිනක් අකලංකත් තමරුත් නිවසේ නොවූ උදෑසනක උපමාලි සාලය වී රූපවාහිනිය නරඹමින් සිටියාය. කරුණාවතී ඈ දෙස වරින් වර බලමින් මුළුතැන් ගෙයි කටයුතු වල නිරතව සිටියාය. ඇය මෙම තිදෙනාගේ කතාන්දරය අකුරක් නෑර හොඳින් දැන සිටියාය. තමරු ඒ ගැන ඇයට පවසා සිටියේ මුල් දින වලදීමය. එක්වරම උපමාලි මහ හඬින් හඬනු ඇසී කරුණාවතී වහා සාලයට දිව ආවාය. ඇය සිටියේ මැද සාලයේ කැලැන්ඩරය අසළ බිත්තියට හිස තබා හේත්තු කරගෙන හඬමිනි. ඇගේ අතේ කහ අරලිය මල් දෙකක් විය.

"අනේ ඇයි උපමාලි නෝනා, මොකද උනේ?"

"මට අද දවස කවදද කියන්න..." උපමාලි ඉල්ලා සිටියාය. මතක අමතක අතර දෝලනය වෙමින් දින ගෙවන ඇයට දින වකවානු පිළිබඳව නිනව්වක් නොවීම පුදුමයක් නැත. 

"අද ඔක්තොම්බර් දොළහ නෝනේ..." උපමාලිගේ හැඬීම වැඩි විය. "අනේ, ඇයි මේ? මොකද උනේ?"

"අද අකලංකගෙ උපන් දිනේ...... කෝ එයා?"

කරුණාවතීගේ මුහුණට සිනහවක් නැගුණි. "අනේ නෝනට ඒක මතක තිබ්බද? අකලංක මහත්තයයි තමරු නෝනයි දෙන්නම වැඩට ගිහින්නේ. මං කතා කරලා කියන්නං."

ඇය දුරකථනය වෙත යාමට පා එසවූවාය. උපමාලි ඇගේ අතින් අල්ලා නවත්වාගත්තාය. "මේවා කොහෙන්ද?" ඇය අරලිය මල් දෙක පෙන්වමින් ඇසුවාය. එම වත්තෙහි අරලිය මල් ගසක් නොවූ බව ඇය දනියි.

"අද උදේ අපේ දිහෑ ගහේ ලොකු පොකුරු දෙකක් පිපිලා තියෙනවා දැකලා මං එකක් මෙහෙ අරං ආවා නෝනේ. ඔය තමරු නෝනා ඒක තමයි අද සාලේ මේසෙ වාස් එකට දාලා තිබ්බේ."

"එයාගෙ එක උපන්දිනේකදි මට මතකයි එයා අපේ ගෙදර ආවා. අපේ ගෙදරත් ඒ කාලේ තිබ්බා කහ අරලිය ගහක්. අපි ඒ මල් කඩාගෙන එදා පන්සල් ගියා. එදා අපි අපි දෙන්නා ගැන ගොඩාක් දේවල් ප්‍රාර්ථනා කළා."

"ඉන්නකො නෝනා, මං අකලංක මහත්තයට පණිවිඩේ දෙන්නං. මහත්තයා ඉක්මණට එයි," කරුණාවතී උපමාලිගේ හිස අතගා දුරකථනය වෙත ගියාය.

අකලංක පණිවිඩය ලැබුණු විගසින් එදිනට ඉතිරිව තිබූ සියලුම දේශන නවත්වා දමා ගෙදර ආවේය. උපමාලි සිනාසෙමින් ඉදිරියට පැමිණ ඔහුව පිළිගෙන සුභ උපන් දිනයක් පැතුවාය.

"මගෙ වස්තුවේ, මේක තමයි ඔයා මට දීපු හොඳම උපන් දින තෑග්ග," අකලංක ඇයව වැළඳගෙන කීවේය.

"අපි තමරුටත් කියමුද?" උපමාලි ඇසුවාය.

"ඔව්, එයාටත් හරිම සතුටු හිතෙයි." අකලංක වහා ඇයට ඇමතුමක් ගත්තේය.

ආරංචියෙන් බෙහෙවින් සතුටට පත් තමරු පෙම්වතුන් යුවළට මොහොතක් තනි වීමට ඉඩ දිය යුතු යැයි කල්පනා කරමින් තමාට එදින වැඩ රාශියක් නිම කිරීමට ඇති බවත් හැකි වුවහොත් කෙටි නිවාඩුවක් දමා සවස හතරට පමණ පැමිණෙන්නට උත්සාහ කරන බවත් පැවසීය. අකලංකගෙන් දුරකථනය අතට ගත් උපමාලිද ඈ හා කථා කළාය. "ඔන්න තමරු, පුළුවන් ඉක්මණට එන්න ඕනේ. අපි අද සෙලිබ්‍රේට් කරන්න ඕනේ, අකලංකගේ බර්ත්ඩේ එකනේ."

"ඒකනෙ, මේ කියනකල් මං දන්නෙත් නෑ." තමරු පිළිතුරු දුන්නාය. "ඇයි ඒක විතරක්යැ. ඔයා ගැනත් සෙලිබ්‍රේට් කරන්න එපැයි."

"හරි හරි, ඔන්න ඉක්මණට එන්න හොඳේ."

"හරි උපා. මං එන්නංකෝ."

උපමාලි දුරකථනය යළි අකලංක අතට දෙමින් කතා කළාය. "පව් තමරු. එයා ලොකු කැපවීමක් කරන්නේ මං හින්දා."

"ඔව් උපා. අපි දෙන්නම හින්දා. මටත් දුකයි එයා ගැන. මං තමයි මේකට එයාව පටලවගත්තෙ නිකං අපරාදෙ."

"කොහොමද අකලංක ඇත්තට මෙච්චර කාලෙකට පස්සෙ එයාව හම්බුණේ. ඔය දෙන්නගෙන් එක්කෙනෙක්වත් මට තාම හරියට ඒ ගැන කිව්වෙ නෑ."

"දවසක් ටවුමෙදි හම්බුනා උපා. එතකොට එයා ඔයා ගැන ඇහැව්වා. මං ඉතිං ඇත්තම කිව්වා. ඒ ගමන එයාට ඔයාව බලන්න එන්න ඕන උනා. ඉතිං එහෙම තමයි එයා අපිට උදව් කරන්න ආවේ."

"අපි එයාටත් හොඳ කෙනෙක් හොයලා දෙමු අකලංක."

"මටත් ඕක හිතේ තියෙනවා. ඒත් තමරු මොනා කියයිද දන් නෑනේ."

"ඔයා දන්න හොඳ කෙනෙක් ඉන්නවද?"

"ඔව්, මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳං යාළුවෙක්. මිනිහා ඒ ලෙවල් ඉවර කරලා රට ගියා. දැං ඩිග්‍රී මාස්ටර්ස් ඔක්කොම කරලා ඇවිත් ඉන්නවා. කොළඹ ඉන්නෙ. මේ දවස් වල රිසර්ච් එකකට අපේ කැම්පස් එකට ඇවිත් ඉන්නවා මාසෙකට."

"හොඳ කෙනෙක් කියලා විශ්වාසද?"

"ඔව් උපා. මගෙ ඒ කාලෙ ඉඳලම යාළුවා. තාමත් එහෙමමයි. ලොකුකං මුකුත් හිතේ නෑ."

"මං ගැනත් දන්නවද?"

"ඔව්, මං කියලා තියෙන්නේ. තමරු ගැනත් ටිකක් දන්නවා, එයා අපිට කරන උදව් ගැන."

"අපි මුණගස්සලා බලමු."

"කොහොමද?"

"අද අපි රෑට එළියට යනවා නේද?"

"යමු."

"එයාටත් එන්න කියන්න."

"එහෙම කමක් නැද්ද?"

"කමක් නෑ."

ඉන් පසුව එළැඹුණු හෝරා කිහිපය තුළ ඔවුනට කතා බස් කරන්නට බොහෝ දේ තිබිණ. ඔවුන්ගේ අතීතය ගැන, අනාගතය ගැන, බලාපොරොත්තු සහ සිහින ගැන.

"උපා."

"ම්?"

"ඔයාට මෙහෙම වෙලාවට ඔයාට මතකය නැති වෙලාවට වෙච්ච දේවලුත් මතකද?"

"ඔව් අකලංක. මට හැමදේම මතකයි. මං හින්දා ඔයාට දුක හිතුණු වෙලාවල් ගැනත් මට මතකයි. එදා ඔයාව බංකුවෙන් තල්ලු කරලා මං බැණපු හැටි..."

අකලංක මඳ සිනහවක් පා සුරතින් අල්වාගෙන සිටි ඇගේ අත තද කළේය. "ඒකට කමක් නෑ."

"මට ඒකට ඔයාට සොරි කියන්නවත් බැරි උනා අකලංක. සොරි. මට ගොඩක් දුකයි එහෙම දේවල් වෙනවට."

"ඔයා ඒවා හිතලා කරන දේවල් නෙමෙයිනේ බබෝ. ඒකට කමක් නෑ."

"මට ආපහු හැම දේම මතක් වෙන්න ගන්න දවසට මට තියෙන ලොකුම බය ආපහු ඔයාව අමතක වෙන එක. මට ඒක දරාගන්න බෑ අකලංක. ඔයා, මට ආදරේ කරන අනිත් හැමෝම මං හින්දා විඳින දුකත් මට ඒ වෙලාවට මතක් වෙනවා. එතකොට මට හිතෙනවා මට මතකෙ නෑවිදින්ම තියෙනවනං හොඳයි කියලා."
අකලංක වහා ඇගේ මුව අතින් වැසුවේය. "එහෙම කියන්න එපා. ඔයාට දැන් ටික ටික සනීප වෙනවා. දොස්තර ඒ බව කියලා තියෙන්නේ. ඔයා හිත දුර්වල කරගත්තොත් කොහොමද අපි ඔයාව සනීප කරගන්නේ?"

"මට සනීප වෙනකල් තව කොච්චර කාලයක් බලං ඉන්නද අකලංක..." ඇය සිය හිස ඔහුගේ උරහිසට හේත්තු කරගත්තාය. "මාව ආපහු අම්මලාගෙ ගෙදර ඇරලලා ඔයා මාව අමතක කරලා දාලා වෙන කෙනෙක්ව බැඳලා සතුටින් ඉන්න අකලංක."

සුසුමක් හෙලූ ඔහු ඇගේ හිසට සිය හිස හේත්තු කරගත්තේය. "දන්නවද ඔහොම කතා කියන කොට මට ඔයාට බණින්න හිතෙනවා කියලා."

උපමාලි සිනාසුණාය. "ඉතිං බණින්න."

සන්ධ්‍යාවේ තමරු එන විටද උපමාලි යහපත් තත්ත්වයෙන් සිටියාය. අකලංක පසු වූයේ කිව නොහැකි තරම් ප්‍රීතියකිනි. ඒ වනවිට එදින උපමාලිට මතකය ලැබී පැය හතක් පමණ ඉක්ම ගොස් තිබූ අතර එතෙක් එය රඳා පැවති දිගම කාලය එය විය. එයට අමතරව සුමාන ගණනකින් ඔහු හා කතා නොකළ ඔහුගේ මවද දුරකථන ඇමතුමක් දී ඔහුට උපන් දිනයට සුභ පතා තිබුණි.

රාත්‍රී හතට පමණ අකලංකත්, උපමාලිත්, තමරුත් නුවර නගරයේ වූ අවන්හලක් කරා ගියහ. තිදෙනාම ප්‍රීතියෙන් කතා බස් කරමින් අඩ හෝරාවක් පමණ ගෙවා දැමූහ. ඒ වනතුරුත් අකලංකගේත් උපමාලිගේත් කුමන්ත්‍රණය ගැන තමරු කිසිවක් දැන සිටියේ නැත. එබැවින් එක් වරම ඔවුන් සිටි මේසයට පැමිණ අසුන් ගත් අමුත්තා දුටු ඇය පුදුම වූවාය.

"අකලංක, හැපි බර්ත්ඩේ මචං."

"කැළුම්! කිව්ව හැටියට මං හිතුවේ තව පරක්කු වෙයි කියලා." අකලංක මිතුරාගේ සුභ පැතුම් පිළිගනිමින් කීවේය. "මේ ඉන්නේ උපමාලි, මගෙ වයිෆ්. මේ මිස් තමරු."

"හෙලෝ!" කැළුම් ඔවුන් දෙදෙනාටම සිනාසී ආචර කළේය.

"මං දැනං හිටියෙ නෑනේ තවත් අමුත්තෙක් එනවා කියලා." එක එල්ලේ එසේ පැවසීම ආචාරශීලී නොවූවත් තමරුට එසේ නොපවසා හිඳින්නට බැරි විය.

"තමරු, කළිං කියන්න බැරි උනානේ ඔයාට. මේ මගෙ ඉස්කෝලෙ කාලෙ ඉඳලම යාළුවෙක්. කැළුම්. මොරටුවෙ ඉංජිනියරිං ෆැකල්ටි එකේ ලොක්කෙක්. ගිය සුමානෙ නුවර ආවා අපේ කැම්පස් එකේ කට්ටියක් එක්ක රිසර්ච් එකකට. මගේ පරණ යාළුවා හින්දා අද ඉන්වයිට් කළා."

තමරු යන්තම් සිනාසී ඉවත බලාගත්තාය.


තවත් පැයක් පමණ ඔවුහු නොයෙක් දෑ කතා බස් කරමින් එහි රැඳී සිටියෝය. කැළුම් කීප විටක්ම තමරුව කතාවට අල්ලාගැනීමට උත්සාහ කළද ඒ සෑම විටකම ඇය කෙටි පිළිතුරු දී මග හැරියාය. අවසානයේදී රාත්‍රී නවය පසු වී වැඩි වේලාවක් යන්නට පෙරම ඇය ආපසු යාමට යෝජනා කළාය.

"උපාටත් දැන් මහන්සි ඇති අකලංක, අපි ගියොත් හොඳයි නේද?"

නමුත් අකලංක ඒ වනවිටද මඳක් බීමත්ව සිටියේය. වෙරි වන තරමටම නොවූවද, නිතර මධුවිත පානය කරන්නෙකු නොවූ ඔහුට එයද මඳක් වැඩි වී ඇති බව පෙනෙන්නට තිබුණි. මත්පැන් ඇණවුම් කරන්නට පෙර එයට කමක් නැත්දැයි උපමාලිගෙන් පමණක් ඇසූ ඔහු තමරුගේ දෙනෙතේ රැඳුණු රැවුම දුටුවේ නැත. නමුත් එය දුටු කැළුම් වීදුරු බාගයකට වඩා පානය කළේ නැත.

අවසානයේ ඔවුන් තිදෙනාව අකලංකගේ රථයෙන් නිවෙසට ගෙනැවිත් ඇරලූ කැළුම් එම රථයෙන්ම යළි අවන් හල අසළ වූ සිය නවාතැන්පළ බලා ගියේය.

තමරු පසු වූයේ කේන්තියෙන් පිපිරෙමිනි. "මොකද්ද අකලංක ඔයා ඒ කරපු වැඩේ?" ඇය නිවෙසට පා තැබූ සැණින් ආපසු හැරී කෝපයෙන් විමසුවාය.

"ඇයි, මොකද්ද මං කළේ?" උපමාලිගේ අතින් අල්ලාගෙන පියගැට පෙළ නගිමින් සිටි ඔහු ඇසුවේය.

"මේ, මට කපුකං කරන්න ලෑස්ති වෙන්න විතරක් එපා, තේරුණාද?"

"ඈ? උපා, මේ බලන්නකො මෙයා කියන කතා."

උපමාලි සිනාසෙමින් කාමරය වෙත ගියාය. "මට මහන්සියි අනේ, මාව ඕවට අල්ලගන්න එපා."

"මේ අකලංක, මට මනමාලයෙක් හොයාගන්න ඕනනං මට පුළුවං ඒක කරගන්න. ඒ නැත්තං මගෙ අම්මා අප්පච්චි ඉන්නවා මට ඒ දේවල් කරලා දෙන්න. ඔයා නිකං මහන්සි වෙන්න ඕනෙ නෑනේ." 

"දැං මොකද ඔය හැටි කෑ ගහන්නෙ?"

"මොකටද අර තව මනුස්සයෙක්ට එන්න කිව්වෙ? දන්නවනං මං මේ ගමන කීයටවත් අද යන්නෙ නෑ."

"ඇයි අප්පා මං කිව්වෙ, ඒ මගේ පොඩි කාලෙ ඉඳංම හොඳ යාළුවෙක්. මේ ගොඩ කාලෙකට පස්සෙ අපි දෙන්නා හම්බුණේ ගිය සුමානේ. තව සුමාන තුනයි ඒකා මෙහෙ ඉන්නෙ. ඉතිං අද මේ ස්පෙෂල් දවසේ ඌටත් මං එන්න කිව්වා අපේ සතුට බෙදාගන්න."

"ඉතිං මට ඒ ගැන කළිං කිව්වෙ නැත්තෙ?"

"කිව්වනං ඔයා එන්නෙ නෑනේ."

"ඒක තමයි මං කියන්නෙ මේක කුමන්ත්‍රණයක් කියලා. උපා," තමරුද කාමරය දෙසට ගියාය. "ඔයත් මේ ගැන දැනං හිටියද?"

"අනේ මං කිව්වනේ, මාව ඕවට අල්ලගන්න එපා. මට නිදිමතයි."

තමරු සිය කෝපය වහා අමතක කර දැමුවාය. "හා හා, ඉන්න, දැම්ම නිදාගන්න එපා. බෙහෙත් බොන්න එපැයි." ඇයද කාමරය තුළට ගියාය. 

සියලු කටයුතු අවසානයේ නිදන්නට සූදානම්ව තමරු හිස පීරන මොහොතේ උපමාලි කල්පනාකාරී හඬින් කතා කළාය. "තමරු."

තමරු ඈ දෙස හැරී බැලුවාය. "උපා, මං හිතුවෙ ඔයා නිදි ඇති කියලා."

"මට අද දවසෙම මතකෙ හොඳින් තිබුණා." උපමාලි සිවිලිම දෙස බලාගෙන කතා කළාය.

"ඔව් උපා. ඒ ගැන හරිම සතුටුයි. හෙටම ඒ ගැන දොස්තරට කියන්න ඕනෙ. ඔයාට ඉක්මණට සනීප වෙයි උපා," තමරු කාරුණික හඬින් කීවාය.

"මං හෙට නැගිටින කොට මට මේ හැමදේම ආපහු අමතක වෙලා තිබුණොත්?"

එයට පිළිතුරක් ගලපාගැනීමට තමරුට මඳ වේලාවක් ගත විය. "එහෙම වෙන එකක් නෑ උපා. අපි හැම වෙලාවෙම හොඳම දේ බලාපොරොත්තු වෙමුකො හොඳේ. අපි හිතමු හදිසියෙවත් එහෙම උනා කියලා. ඒත් කමක් නෑ, ඔයාට ආයෙත් මතකය එයි. අද දවසම මෙහෙම හිටියා කියන්නේ ඊලඟ වතාවෙදි මීටත් වැඩි වෙලාවක් ඔයාගෙ මතකය තියෙයි. එහෙම ගිහින් අන්තිමේදී ආයෙත් දවසක් එයි ඔයාගෙ මතකය හැමදාටම ඔයා ලඟම තියෙන."

Tuesday 26 February 2013

05. තමරුගෙ කතාව - පස් වන කොටස


"උපා, ඔයාට මතකද මෙතන?"

තමරු සිය මිතුරියව අවසානයේදී කැඳවාගෙන ආවේ දම් පැහැ රබරෝසියා මලින් වැසී ගිය පියගැට පෙළක් වෙතටයි. විශ්ව විද්‍යාල භූමියේ සොඳුරුතම ස්ථානයන්ගෙන් එකක් වූ එය එළිමහන් රංග පීඨයක් ලෙසින්ද භාවිතා වූ අතර, සරසවි සිසු සිසුවියන් නිරන්තරයෙන් සිය නිදහස් කාලය ගත කිරීමට එක් රොක් වූ තැනකි. තමරු, උපා ඇතුළු මිතුරියන් පිරිස එකළ පාඩම් කිරීමටද, කඩචෝරු සපමින් ඕපාදූප කියවීමටද පැමිණියේ මෙතැනටය. උදෑසන අකලංක සමගම විශ්ව විද්‍යාලය වෙත පැමිණ ඔහුගේ උදෑසන වරුවට නියමිතව තිබූ දේශනය නිම වන තෙක් උපමාලි සමග ඒ මේ අත ඇවිදිමින් ඇයට සිහිපත් කරගත හැකි කිසිවක් ගැන ඉඟියක් හෝ ලබාගැනීමට උත්සාහ දැරුවද තමරුගේ ඒ සෑම උත්සාහයක්ම ඒ වන විට ව්‍යර්ථව ගොස් තිබුණි.

"නෑ අනේ, කොහෙද මේ?" උපමාලි පඩියක් මතින් හිඳගනිමින් ඇසුවාය.

"මේ තමයි වළ. මෙතන ඉඳන් අපේ කට්ටිය කොච්චර ලස්සන නාට්‍ය කරලා තියෙනවද? මතකද, ඒ දවස් වල අකලංකත් මෙතන කොච්චර නාට්‍ය වලට හිටියද. මතක් කරන්නකො කෙල්ලෙ."

"අකලංක?"

"එයා ඔයාට තමයි මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ."

"කවුද ඒ?"

තමරුට මහා දුකක් දැනුණි. ඒ කා ගැනදැයි ඇයම දැන සිටියේ නැත. "අනේ උපා..."

"ඇයි එයා මට ආදරේ කරන්නෙ?"

"එයාට ඕනෙ ඔයා ඉක්මණින් සනීප වෙනවා දකින්න. ඔයාට අද උදේ බෙහෙත් ටිකත් පෙව්වෙ, මතකද?"

"ආ, දොස්තර මහත්තයා!" උපාගේ මුහුණ එක්වරම එළිය වැටුණි.

"දොස්තර?" තමරුට කිසිවක් සිතාගත නොහැකි විය.

"අද උදේ මට බෙහෙත් දුන්නෙ දොස්තර මහත්තයා නේද? එයා ඇත්තටම හරි කරුණාවන්තයි තමයි." උපමාලි මොහොතක් දෑත් දෙකොපුලේ තබාගෙන කල්පනා කළාය. අනතුරුව පුළුල් සිනහවකින් මුව සරසාගෙන කතා කළාය. "හරි හරි, මට දැන් තේරෙනවා. ඒ දොස්තර මහත්තයා. එතකොට ඔයා නර්ස් නේද? ඔය දෙන්නා තමයි මාව බලාගන්නෙ, එහෙම නේද?" අනතුරුව ඇගේ මුහුණ යළිත් කල්පනාවෙන් බර විය. "ඇයි මාව එහෙම බලාගන්නෙ? මට සනීප නැද්ද? මොකද්ද මට තියෙන ලෙඩේ?"

තමරු කුමන පිළිතුරක් දෙන්නදැයි නොදැන බලා සිටියාය.

"මෙතන මොනාද පෙන්නපු නාට්‍ය?" උපමාලි එක්වරම කතාව වෙනස් කළාය. මෙම අසනීප තත්ත්වය හා ගනුදෙනු කරද්දී තමා මෙවැනි දේවල් වලට පුරුදු විය යුතු බව තමරු වටහාගත්තාය.

"එක එක ජාතියේ නාට්‍ය. සමහර දාට අපේ කට්ටියම හදපුවා, රජ කතා, ජාතක කතා, ඔහොම එක එක විදිහේ ඒවා. ඔයාට මතකද එක සැරයක් නාට්‍යයකට ඔයත් ලෑස්ති උනා. අකලංක ඔයාව බලෙන්ම කැමති කරවගත්තෙ. ඔයා කැමති උනේ එහෙම නොකළොත් එයා තරහ වෙයි කියන බයට. ඒ සුමාන දෙකේ ඔක්කොම පාඩම් පැත්තක තියලා ඔයා නාට්‍යය දෙබස් තමයි පාඩම් කළේ. ඔයත් එක්ක ඉඳලා අන්තිමට මටත් දෙබස් පාඩම් හිටියා. මතකද ඊට පස්සෙ මොකද උනේ කියලා?"

"නෑ. මොකද උනේ?"

එම මොහොතේ තමරුගේ ජංගම දුරකථනය නාද විය. "හෙලෝ... ඔව් අකලංක... අපි වළේ ඉන්නෙ... හරි... එහෙනං එන්න මෙතනට..." දුරකථනය ක්‍රියා විරහිත කළ ඇය "අකලංකත් එයි දැන්," යැයි උපමාලිට කීවාය.

"ඉතින් නාට්‍යට මොකද උනේ?"

"ඔයා අන්තිම මොහොතෙදි බෑ කිව්වනෙ නාට්‍යට එන්න."

"හපෝ, මං හරි නරකයිනේ. ඉතිං මොකද උනේ?"

"අකලංකට හොඳටම තරහා ගිහිං හිටියේ. එයාගෙ ස්ක්‍රිප්ට් එක. එයයි මේන් ඇක්ටර්. එයාට ඕන උනේ ප්‍රධාන නිළියට ඔයාව ගන්න. අන්තිම මොහොතෙදි ඔයා බෑ කිව්වම එයාට හොඳටම තරහා ගියා."

"දොස්තර මහත්තයට?"

"එයා දොස්තර කෙනෙක් නෙමෙයි උපා."

"ඉතිං නාට්‍යට මොකද උනේ?"

"අන්තිමට මටයි රඟපාන්න උනේ ඒ චරිතෙ. ඔයාට දෙබස් පාඩං කරන්න උදව් වෙලා මටත් ඒවා පාඩම් හිටලනෙ තිබ්බෙ."

එක්වරම අකලංකගේ කටහඬ පිටුපසින් ඇසුණි. "දෙන්නා බර කතාවක වගේ." ඔහු පැමිණ උපමාලි අසළින් හිඳගත්තේය.

ලැජ්ජාවෙන් රතු වූ මුහුණ බිමට හරවාගත් ඇය තමරුට මඳක් ආසන්න වූවාය. අකලංක ඇයට කැමැත්තෙන් පසු වූ මුල් දිනවල උපමාලිගේ හැසිරීම අකලංකටත් තමරුටත් යළි සිහිපත් විය. 

"මොනවා ගැනද දෙන්නා කතා කර කර හිටියේ?"

"අපිට අවුරුදු හයක දේවල් තියෙනවනේ මතක් කර කර කතා කරන්න, නේද උපා?" තමරු ඇසුවාය.

"අවුරුදු හයක්?"

"ඔව්, අපි මේ කැම්පස් එකේ අවුරුදු හයක්ම හිටියනේ. අර පේන්නේ," ඇය ඈතින් දිස් වූ නේවාසිකාගාර ගොඩනැගිල්ල වෙත අත දිගු කළාය, "අපේ හොස්ටල් එක."

"මං හිතුවේ අද තමයි අපි මුළින්ම මෙහෙට ආවේ කියලා."

තමරුත් අකලංකත් මුහුණින් මුහුණ බලාගත්තෝය. අනතුරුව අකලංක කතා කළේය. "එන්නකෝ, අපිට බලන්න තව තැනක් තියෙනවා."

ඔවුන් ඇවිද ගියේ සුන්දර සරසවි භූමිය මැදින් ඇදී ගිය මහවැලි නදිය වෙතටය. ඇහැළ මලින් වැසී ගිය මාවත් දිගේ අතිනත් පටලාගෙන ඇවිදින යොවුන් ආදරවන්තයෝ සිය ආචාර්යවරයා දැක වහා මෑත් වෙමින් ඔවුනට ඉඩ දුන්නෝය. අකලංකගේ කතාව කලා පීඨයේ ආචාර්ය මඬුල්ලේ සියල්ලෝම මෙන්ම ඇතැම් සිසු සිසුවියන්ද දැන සිටියෝය. එය ඔවුන් තුළ ඔහු කෙරෙහි ඇති ගෞරවය තව තවත් වැඩි වීමට හේතුවක් විය.

මහවැලි නදිය පෙනෙන මානයේ වූ බංකුවක් අසළට පැමිණි අකලංක නතර විය. ඒ වන විට මහත් වෙහෙසට පත්ව සිටි උපමාලි වහා ඒ මතින් වාඩි විය. 

"අකලංක වාඩිවෙනවද?" තමරු ඇසුවාය.

"නෑ තමරු, ඔයා වාඩි වෙන්න. වාඩි වෙලා මං මේ උපාට කියන දේවල් ඇහෙන් නෑ වගේ ඉන්න."

තමරු සිනාසුණාය. "ඉතිං මං අහකට යන්නංකෝ. වාඩි වෙලා දෙන්නත් එක්ක ඕන දෙයක් කතාකරගන්න." ඇය ඉවතට යාමට සූදානම් වුවද උපමාලි වහා ඇගේ අතේ එල්ලුනාය. 

"නෑ තමරු, ඔයත් ඉන්න. නැත්තං මේ පොඩි එකෙක් එහෙම දැක්කොත් හරි නෑ," අකලංක කීවේය.

එවර උපමාලි අසළින් බංකුවේ වාඩි වූ තමරු ගල්කැට අහුරක් අතට ගෙන ගලා යන නදියේ රැළි අතර සැඟවී යන ලෙසින් ඒ එකින් එක විසි කරන්නට වූවාය.

"උපා ඔයාට මතකද මෙතන?"

"නෑ ඩොක්ටර්."

"ඩොක්ටර්?" අකලංක තමරු දෙස බැලුවාය.

"එයා හිතං ඉන්නෙ ඔයා එයාගෙ ඩොක්ටර්,  මං නර්ස් කියලා." තමරු පැහැදිලි කළාය.

අකලංක යළි උපා වෙත හැරුණේය. "මං ඩොක්ටර් නෙමෙයි උපා. මං ඔයාගෙ අකලංක."

"මගෙ? අකලංක?" උපා වදන් වෙන වෙනම උච්ඡාරණය කළාය.

"ඔව්. ඔයාට මතකද, ඔයා මුළින්ම අපි දෙන්නා ගැන ඔයාගෙ ගෙදරට කියපු විස්තරේ ඇවිත් මට කිව්වෙ මෙතන ඉඳන්."

"අපි දෙන්නා ගැන ගෙදරට කිව්වා? මං? ඇයි ඒ?"

"ඔයයි මමයි යාළුයි කියලා."

උපා තමරුගේ උරහිසින් ඇද්දාය. "මෙයා ඇත්තද මේ කියන්නේ?" ඇය තමරුගෙන් ඇසුවාය.

"ඔව් උපා."

"දොස්තර මහත්තයා මාව කළිං ඉඳන් දන්නවද?"

අකලංක නැවත කෙළින් වී ඉවතට හැරුණේය. තමරු උපමාලි දෙසට හැරුණාය. "උපා, මම අර ඉස්සල්ලා කිව්වෙ වළේ නාට්‍ය ගැන, ඔයාට කැමැත්තෙන් හිටපු, ඔයාට ආදරේ කරපු අකලංක ගැන. මේ එයාමයි."

"ඉතිං ඒ නාට්‍යෙ අන්තිමට රඟපෑවෙ ඔයානේ."

"අනේ දෙයියනේ," තමරු හිස දෑතේ හොවාගත්තාය. අකලංකද හිස දෙපසට වැනුවේය.

"මට මේ මුකුත් තේරෙන් නෑ අනේ." උපමාලි රැළි කරගත් නළල අතගෑවාය.

අකලංක යළිත් ඈ වෙත නැඹුරු විය. "උපා, ඔයාට කියන්න පුළුවන්ද මට දැන් හිතෙන දේ?" උපමාලි ඔහු දෙස බලා සිටියාය. "මගෙ ඇස් දෙක දිහා හොඳට බලලා කියන්න."

"දොස්තර මහත්තයා දුකෙන්." උපමාලි මඳ වේලාවක් ඔහුගේ දෑස් දෙස බලා හිඳ කීවාය.

"මම දොස්තර මහත්තයා නෙමෙයි, අකලංක - ඔයාගෙ අකලංක."

"අක-ලංක - දුකෙන්." ඇය වදන් එකින් එක ගැලපුවාය.

"මං දුකෙන් ඉන්නෙ ඇයි කියලා දන්නවද?" ඔහු ඇගේ දෑස් මට්ටම තෙක් පහත් වී අසළ වූ ගසකට පිට දී ඇණ තියාගත්තේය.

උපමාලි නැතැයි කීමට හිස දෙපසට වැනුවාය.

අකලංක ඇගේ දෑතින් අල්ලාගන්නට උත්සාහ කළේය. නමුත් ඇය ප්‍රවේශමෙන් සිය දෑත් යළි මුදාගත්තාය. "ඔයාට කොහොමද උපා මාව අමතක වෙන්නෙ? මගෙ ආදරේ අමතක වෙන්නෙ? මෙතන අමතක වෙන්නෙ?"

"මෙතන?" උපමාලි හිස හරවා වටපිට බැලුවාය.

"ඔව්? මතකද?"

උපමාලි යළි ඔහු වෙත හැරුණාය.

"මතකද?" අකලංක යළි ඇසුවේය.

උපමාලි දිගටම ඔහුගේ දෙනෙත් දෙසම බලා සිටියාය. කෙමෙන් එම දෑසට කඳුළු උනා ආවේය. 

අකලංකගේද දෙනෙත් රත් පැහැ ගැන්වෙන්නට පටන්ගත්තේය. "ඔයාට මතකයි නේද උපා? එදා මෙතන - "

"අනේ මට... මුකුත් මතක නෑ....." උපමාලි ඉකිබිඳිමින් හඬන්නට වූවාය.

අකලංක වහා ඇගේ දෑතින් අල්ලාගත්තේය. "කමක් නෑ මගෙ වස්තුවේ, අනේ අඬන්න එපා..." ඔහු කතා කළේද අපහසුවෙනි. තවත් එතැන හිඳිය නොහැකි වූ තමරු නැගිට දෑස් පිසදමමින් ගං ඉවුර වෙත ඇවිද ගියාය.
අකලංක උපමාලිගේ දෑත් අතගාමින් ඇයව සනසන්නට උත්සාහ කළේය. "සොරි උපා. අනේ අඬන්න එපා... මගෙ මැණික... උපමාලි..."

ඇගේ ඉකිබිඳීම එක් වරම නතර විය. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. 

"මොන දේ උනත් මං ඔයා ලඟම ඉන්නවා... ඉතිං අඬන්න එපා..." ඔහු තමරුගෙන් හිස් වූ බංකුවේ අනෙක් පස හිඳගෙන උපමාලිව තුරුළු කරගත්තේය. ඇය එයට විරෝධයක් නොපා සිටීම ඔහුගේ මහත් සැනසීමට හේතු විය. අවම වශයෙන් ඇයට එම මතකයෙන් හෝ එදින ඉතිරි හෝරා කීපය ඔහුට ආදරය කිරීමට හැකි වනු ඇත. එක් වරක් තමරු සිටින දෙසත් අවටත් වෙත නෙත් යොමු කළ අකලංක එක් වරම පහත් වී උපමාලිගේ දෙතොල් සිය දෙතොලින් ස්පර්ශ කළේය. අනතුරුව සෙමෙන් ඈ වෙතින් මෑත් වූ ඔහු ඈ කිනම් ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි ඇගේ මුහුණට එබී බැලුවේය. නැවතත් කඳුළු උනා එන දෑසින් ඔහු දෙස බලා සිටි ඇය ඔහුගේ උරහිසේ මුහුණ හොවාගත්තාය. "අකලංක... මගෙ අකලංක..." ඇය ඉකිබිඳින හඬ ඇසුණි.

"මගෙ වස්තුවේ..... ඔයාට මතක් උනාද?" අකලංක ඇයව තුරුළු කරගෙන ඇසුවේය.

"ඔව්....... ඔයා මට පළවෙනි හාදුව දුන්නෙ මෙතනදි..."

අකලංක ඇගේ හිස අතගෑවේය. ඔහුගේ දෑසින්ද කඳුළු ගලමින් තිබුණි. "ඔයාට සනීපයි....."

"අදත් එදා වගේ ප්ලෑන් කරලද මේක කළේ?" උපමාලි හිස ඔහුගේ උරහිසේ සඟවාගෙනම කතා කළාය.

අකලංක කඳුළු අතරින් සිනාසුනේය. "ඔව්."

"එහෙනං මට එදා කියපු එකම තමයි කියන්න තියෙන්නේ."

එක් වරම තමරුගේ කටහඬ ඇසුණි. "අකලංක, ළමයි කට්ටියක් මේ පැත්තට එනවා." ඇය ඔවුන් දෙදෙනා සිටි දෙසට හැරුණාය. පෙම්වතුන් යුවළ එකිනෙකාට තුරුළු වී සිටිනු දුටු ඇයට දෑස් අදහාගත නොහැකි විය. ඇගේ මුහුණ සිනහවකින් පිරී ගියේය. "උපා?"

නමුත් ඊලඟ නිමේශයේ ඈ ඇසිපිය හෙළා බලනා විට අකලංක සිටියේ බංකුව පාමුලය. ඔහු දුහුවිලි පිසදමමින් නැගී සිටිනා අතරේ උපමාලි වහා තමරු වෙත දිව ආවාය. "නර්ස්, මේ පිස්සු දොස්තරට කියන්න තමුංගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න කියලා!" ඇය තමරුට මුවා වෙමින් අකලංක වෙත දබරැඟිල්ල දිගු කරමින් චෝදනා කළාය. 

අකලංක වෙව්ළන යටි තොල විකාගෙන උපමාලි දෙස මොහොතක් බලා හිඳ කලිසම් සාක්කුවේ වූ ලේන්සුව පිටතට ගනිමින් ආපසු හැරුණේය.
"ගෙදර යං." ඔහු බිඳුණු හඬින් පවසනු ඇසුණි.

Friday 22 February 2013

05 තමරුගෙ කතාව - සිව් වන කොටස



තමරු හා අකලංක විහාර මහා දේවී උද්‍යානයේ හමුව කතාබස් කළ දින සිට මේ දක්වා සිදු වූ සිද්ධි දාමය දෙස බලන්නෙකුට එය අනුපමේය මිත්‍රත්වයක් උදෙසා සැපයිය හැකි කදිම පූර්වාදර්ශයකැයි සිතිය හැකිය. අසනීපයෙන් පසු වූ සිය මිතුරියව මුල් වරට දුටු දිනයේ තමරු සිය කඳුළු වළක්වාගෙන සිටියේ ඉමහත් අපහසුවෙනි. ඒ උපමාලිත්, ඇගේ අසරණ මව්පියනුත් වෙනුවෙනි. සිය එකම දියණිය තමාව නොහඳුනන බව දැනගත් මුල්ම දිනයේ හෘදයාබාධයකට ලක් වූ උපමාලිගේ පියාද ඒ වන විට සිටියේ බෙහෙවින් දුර්වලවය. උපමාලිගේ මවගේ සිතේ දිරිය නිසාම නොවන්නට මෙය කිසිසේත් තනිවම කරගෙන යා හැකි අරගලයක් නොවීය. මෙම අසරණ පවුලට ඇති එකම පිහිට අකලංක බව තමරු වටහාගත්තාය. තමා මෙයට මැදිහත් විය යුතුදැයි අමුතුවෙන් සිතන්නට දෙයක් ඇයට තිබුණේ නැත, තමරු ඒ වන විටත් එය තීරණය කොට හමාරය. මේ සිටින්නේ සරසවි දිවියේ සය වසරක් පුරා සිය ප්‍රාණ සම මිතුරිය වී කඳුළත් සිනහවත් එක්ව බෙදාගත් තැනැත්තියයි. එම මිතුදම කෙමෙන් දුරස් වී ගියේ කාගේ අතපසු වීමෙන්දැයි නොදත්තද එය එසේ සිදුවීමට ඉඩ දීම ගැන තමරු සිය දහස් වැනි වතාවටද පසුතැවිලි වූවාය. මේ එළැඹ තිබෙන්නේ එය නිවැරදි කරගැනීමට අවස්ථාවයි. 

එම තීරණය සිතෙහි දරාගෙන එදින එම නිවසින් පිටත් වූ තමරු නැවතත් ඉන් දෙමසකට පසු අකලංක සමග එහි පැමිණියේ උපමාලිව කැටුව යාමටය. අකලංක ඒ වන විට කිහිප විටක්ම පැමිණ උපමාලිගේ මව සමග කතාබස් කොට මේ සඳහා ඇගේත්, පියාගේත් අනුමැතිය ලබාගෙන තිබුණි. තමරු සිය රාජකාරි ස්ථානයෙන් නුවරට මාරුවක් ලබාගත්තේද, අකලංක නුවරින් නිවසක් කුලියට ගත්තේද ඉන් පසුවය. 

"අම්මා පොඩ්ඩක්වත් බය වෙන්න එපා, අපිට මෙහෙම කරන්න වෙන්නේ උපාගෙම හොඳට, අම්මා දන්නවනේ?" අකලංක කඳුළු සලමින් සිටිනා මව අස්වසන්නට නැවත නැවතත් උත්සාහ කළේය.

"මාත් ඉන්නවනේ නැන්දේ. මාමවයි උපාවයි දෙන්නවම බලාගන්න නැන්දට තනියම බෑනේ. අනික අපි දැන් යන තැන ටවුමෙන් ටිකක් ඇතුළට වෙන්න තියෙන හරි නිස්කලංක තැනක්. උපාට හොඳයි එහෙම තැනක ඉන්න එක. හොස්පිට්ල් එකටත් ලඟයිනේ," තමරුද එකතු කළාය.

"නුවරට මෙහෙ ඉඳන් ඒ හැටි දුරකුත් නෑනේ. ඕන වෙලාවක අම්මට ඇවිල්ලා උපාව බලලා යන්න බැරියැ. එන්න ඕන උනාම කියන්නකො, මං ඇවිත් අම්මවයි අප්පච්චිවයි එක්ක යන්නම්. කොහොමත් අපි උපාව මාසෙකට සැරයක්වත් ගෙදර එක්කං එන්නං."

"අර අත් උදව්වට එනවයි කිව්ව ගෑණු එක්කෙනා විශ්වාසද?" අවසානයේදී මව කඳුළු පිසගෙන ඇසුවාය.

"ඔව් අම්මේ. අපෙ කැම්පස් එකේම ප්‍රොෆෙසර් කෙනෙක් තමයි හොයලා දුන්නේ. එයාගෙ බබා පුංචි කාලෙදි බලාගත්තු ආයම්මා. ඒ පැත්තෙමයි ඉන්නේ. දවල් වරුවට ඇවිත් යන්න එනවා, රෑට අපි දෙන්නම ඉන්නවනේ." අකලංක කීවේය.

"මං උපා ලෑස්තිද බලලා එන්නං," තමරු නැගිට උපමාලිගේ කාමරය වෙත ගියාය.

"පුතේ," උපමාලිගේ මව අකලංකව ඇමතුවාය. "මං දන්නවා පුතා මගෙ දරුවට හුඟක් ආදරේ බව. තමරු දූත් එහෙමයි. පුතාල මේ හැමදේම කරන්නේ මගෙ දූට තියෙන ආදරේට බවත් මං දන්නවා. ඒත් පුතේ..." ඇය නැවතත් කඳුළු සලන්නට වූවාය, "මගෙ කෙල්ල මට බරක් නෙමෙයි..." අකලංක මෙම සැලැස්ම පිළිබඳව මුල් වරට හෙළි කළ දිනයේද ඈ පැවසූවේ මෙම වදන් ය.

"අපි දන්නවා අම්මේ. අපි උපාව එක්ක යන්න හදන්නේ එහෙම දෙයක් නිසා නෙවෙයිනේ ඉතිං. දොස්තරලා කිව්වා මතකද එයාට පහුගිය සිද්ධි ගැන ආයෙ ආයෙත් මතක් කරලා දෙන කොට මේක සමහරවිට හොඳ අතට හැරෙන්නත් පුළුවන් කියලා? මායි තමරුයි කරන්න හදන්නෙ ඒක. තමරු උදව්වට ආවෙ නැත්තං මට මේක කරගන්න වෙන්නෙ නෑ අම්මෙ."

උපමාලිගේ අතින් අල්ලාගෙන ඇගේ ගමන් මල්ලද අනෙක් අතින් ඔසවාගෙන තමරු කාමරයෙන් එළියට ආවාය.

"අපි කොහෙද යන්නෙ?" කිසිවෙකු දෙස හෝ නොබලා එසේ විමසූ උපමාලි අනතුරුව ඔවුන් එකිනෙකාගේ මුහුණු දෙස හොඳින් බැලුවාය.

"අපි යන්නෙ ඔයාගෙ අළුත් ගෙදරට." අකලංක තමරු අතින් බරැති ගමන් මල්ල අරගන්නා අතර පැවසුවේය.

"කවුද අපි?"

"ඔයයි, මමයි, තමරුයි..."

"කවුද තමරු?" උපමාලි හිස පසෙකට ඇල කරමින් ඇසුවාය.

"මමනෙ," තමරු පිළිතුරු දුන්නාය.

"එතකොට ඔයා කවුද?" උපමාලි එක එල්ලේ අකලංකගෙන් ඇසුවාය. ඔහුට පිළිතුරු දීගත නොහැකිව හදවත සිර වන පැනය එයයි. එම වදන් සැබැවින්ම ඔහුට දරාගත නොහැක.

"මේ දෙන්නම මගෙ පුතාගෙ හොඳම යාළුවො. ගිහිං ටික දවසක් ඒගොල්ලොත් එක්ක ඉඳලා එන්නකෝ..." ඇගේ මව ඇගේ හිස අතගාමින් පවසා යළිත් වරක් කඳුළු පිසදාගත්තාය.

"මං - මං අප්පච්චිට කියලා එන්නං," බෑගය අසළ පුටුව මතින් තැබූ අකලංක වහා ඇතුළු කාමරය වෙත ඇවිද ගියේය.

"අප්පච්චියි අම්මයි එන්නෙ නෑ?" උපමාලි ඇසුවාය. ඈ ඒ විමසා සිටියේ ඈ එදින උදයේ හඳුනාගත් මවත් පියාත් පිළිබඳවය. සෑම උදෑසනකම තමාට බෙහෙත් දෙන්නට පැමිණෙන්නේ තමාගේ මව බව ඇය ඉගෙනගන්නීය. ඒ සෑම විටෙකම ඇගේ පියා ගැනද ඇයට සිහිපත් කරන්නට මව අමතක කරන්නේ නැත. අකලංකගේ වදනින් ඇයට නැවතත් ඔවුන් දෙදෙනාව සිහිපත් විය.

"අපි එන්නංකෝ දෝණිව බලලා යන්න."

සිය මිතුරියගේ මව පසුවන්නේ කෙතරම් වේදනාවකින්දැයි වටහාගැනීමට තමරුට අපහසු වූයේ නැත. ඇය සෙමින් කතා කළාය. "නැන්දේ, මට එක පුංචි උදව්වක් ඕනේ."

"කියන්න පුතේ. ඔය දරුවො මේ කරන උදව් වලට..." ඇයට ඉන් එහා කතා කරගත නොහැකි විය.

තමරු එක් අතකින් උපමාලිගේ අතින් අල්ලාගෙන සිටින අතරේ අනෙක් අතින් ඇගේ මවගේ අත අල්ලාගත්තාය. "නැන්දේ, මං අපේ අම්මලාට කියලා තියෙන්නේ මං නුවරට මාරුව හදාගෙන ඇවිත් උපාලගෙ දිහා නවතිනවා කියලා, ඒ කියන්නේ මෙහෙ. අම්මලා මෙහෙට කතා කළොත් එහෙම ඔන්න මාව බේරගන්න පුළුවන් නේද?"

"අනේ ඇයි දරුවෝ ඉතිං එහෙම බොරු කරන්නේ? හැබෑවටම මෙහෙ නතර වෙලා මේ වැඩේ කරන්න බැරිද?"

"ඒක අමාරුයි නැන්දේ. අනික නැන්දට තවත් වැඩ වැඩි වෙනවා එතකොට. ඉස්පිරිතාලෙට එක්ක යන්න එන්න උනත් ලේසියිනෙ අපි දැං යන තැනට ගියාම."

අකලංක ඒ මොහොතේ ආපසු ආවේය. "අපි යමුද එහෙනං? බෙහෙත් ටිකත් ඔක්කොම ගත්තා නේද තමරු?"

"ඔව්. නැන්දේ අපි ගිහිං එන්නං එහෙනං." තමරු දණ නමා ඇයට වැන්දාය. 

"තුණුරුවන්ගෙ පිහිටයි පුතේ. අනේ මේ දරුවගෙ අප්පච්චි අසනීප ගානෙ නැත්තං අපි දෙන්නත් අද එනවා එහෙ ඇවිත් යන්න." 

"ඒකට කමක් නෑ අම්මේ. අප්පච්චිට ඔය මේ අවුරුද්දට දෙවෙනි වතාව සෙම ඇවිස්සුනු. පරිස්සං වෙන එක හොඳයි. අප්පච්චි සනීප උනාම මං ඇවිත් අම්මවයි අප්පච්චිවයි එක්ක යන්නංකෝ එහෙ," අකලංකද ඇයට වැන්දේය. ඒ දෙස බලා සිටි උපමාලිද ඈ පාමුල දනින් වැටුණු මොහොතේ ඇගේ මව හඬ නගා ඉකිබිඳින්නට පටන්ගත්තාය. "තුණුරුවන්ගේ පිහිටයි මගෙ දරුවන්ට. මේ වගේ යාළුවො ලබන්න පිං කරලා තියෙන මගෙ දෝණිට ඇයි මෙහෙම උනේ?" උපමාලිගේ හිස සිපගනිමින් ඇය කඳුළු සැලුවාය. 

පෙර පටන්ම අනෙකෙකුගේ කඳුළු දෙස බලා සිටිය නොහැකි වූ උපමාලිද කඳුළු සලන්නට පටන්ගත්තාය. "අම්මා අඬන්න එපා. මං ට්‍රිප් එක ගිහිං ඉක්මණට එන්නං."


***

කාමර දෙකකින් යුත් කුඩා නිවසේ එක් කාමරයක් උපමාලිට හා තමරුටත්, අනෙක් කාමරය අකලංකටත් වෙන් විය. ඔවුන් එන තෙක් එහි බලා සිටි කරුණාවතී අම්මා නිවසේ මුළුතැන්ගෙයි කළමනා ඇති තැන් තමරුට පෙන්වා නැවත පසුවදා උදෑසනින්ම පැමිණෙන බව පවසා නික්ම ගියාය. ඇය සැබැවින්ම කරුණාවන්ත තැනැත්තියක වීම තමරුගේ සැනසීමට හේතු විය. අකලංක සොයාගත් තැනැත්තිය සැබැවින්ම තමා හා ඔහු රැකියාව සඳහා පිටත්ව ගොස් නැවත එන තෙක් උපමාලිගේ සම්පූර්ණ වගකීම බාර කළ හැකි තැනැත්තියකදැයි ඇගේ සිතේ එතෙක් තිබූ සැකය පහව ගියේය.

රාත්‍රී ආහාරයෙන් පසුව උපමාලිගේ බෙහෙත් සියල්ල පරීක්ෂා කර බලා නියමිත බෙහෙත් ලබා දුන් තමරු කාමරයේ වූ ඇඳන් දෙකම සකසා මදුරු දැල් දැමුවාය. උපමාලිගේ දෑස් ඒ වනවිටත් නිදි බරව තිබුණි. බෙහෙත් සැර හේතුවෙන් ඇයට බොහෝ සෙයින් නිදි මත දැනෙන බව තමරු දැන සිටියාය. 

"උපා, ඔයාට මහන්සිත් ඇතිනේ. නිදාගන්න. අපිට හෙට කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා." මාරුව ලබා ආ නව ශාඛාවේ වැඩ බාර ගැනීමට නියමිතව ඇත්තේ එලැඹෙන සඳුදාය. එබැවින් තවත් තෙදිනක්ම ඇයට නිදහසේ කල් ගෙවිය හැකිය.

එහෙත් උපමාලිගේ නිදිබර දෑස් තුල කල්පනාකාරී බවක් ගැබ්ව තිබුණි. "කෝ, ට්‍රිප් එකක් කියලා අපි ආවේ නිකම්ම ගේකටනේ? මං හිතුවේ කඳු නගින්න, ගඟේ පීනන්න එහෙම ඇති කියලා."

තමරු සිනාසුණාය. "අපි හෙට යංකෝ හොඳ ට්‍රිප් එකක්."

"කොහෙද?"

"ලස්සන තැනකට. ඔයා ගොඩාක් ආදරේ කරපු තැනකට," තමරු සිනහවෙන්ම කීවාය. 

"කොහෙද කියන්නකො."

"ගියාම බලමුකො." 

උපමාලි අලි ඈනුමක් ඇරියාය. 

"දැන් නිදාගන්න උපා. මං ලයිට් ඕෆ් කරන්නං. ගුඩ් නයිට්."

කාමරයේ විදුලි පහන් නිවා දැමූ තමරු සාලයේ විදුලි පහන්ද නිවා දැමීමට සිතා පිටතට පැමිණියද ඒ වන විටත් ආලින්දයට යොමු වූ ඉදිරිපස දොරටුව විවර වී ඇති අන්දම ඇය දුටුවාය. ආලින්දයේ ඇඳි පුටුවට බර දී අකලංක ගැඹුරු කල්පනාවක නිරතව සිටියි.

"අකලංකට තේකක් හදලා ගේන්නද? දුර ඩ්‍රයිව් කරලා මහන්සිත් ඇති නේද?" ඇය එදෙසට යමින් ඇසුවාය.

"ඕන නෑ තමරු. ඔයා නිදාගන්න." ඔහු නොසෙල්වීම පිළිතුරු දුන්නේය.

"ඇයි මේ හැටි කල්පනාව? අපි මේ කරන දේ ගැන සැකයක් දැනෙනවද?" ඇය උළුවස්සට හේත්තු වූවාය.

"එහෙම දෙයක් නෑ තමරු. මේක තමයි කරන්න තියෙන හොඳම දේ. ඒකෙ සැකයක් නෑ."

තමරු කිසිවක් පැවසුවේ හෝ ඇසුවේ හෝ නැත. අකලංකගේ සිතට වද දෙන කුමන හෝ කරුණක් ඇති බව පමණක් ඇයට වැටහුණි. 

අවසානයේදී සුසුමක් හෙලූ අකලංක කතා කළේය. "මං උපා ගැන ඇත්තම කිව්වා අපෙ අම්මලට."

"අම්මලා දැනගෙනනේ හිටියේ උපාට අසනීපයි කියලා."

"මං එයාව දැනටම බැඳලා බවත් කිව්වා."

එය මුළින්ම ඇසූ මොහොතේදී තමා තුළද ඇති වූ විශ්මය මුසු කම්පනය ඇයට සිහිපත් විය. "ඉතිං?"

"නැත්තං ඔය කොච්චර කිව්වත් අම්මලා මට මනමාලියො හොයන එක නතර කරන්නෙ නෑ."

"ඉතිං මොකද අම්මලා කිව්වෙ?"

"බැන්නා."

"ඒවා හරි යයි අකලංක. අම්මලාට ඔය තරහා අමතක වෙනවා."

"දැං සුමාන දෙකක ඉඳං මා එක්ක කතා කරන්නෙ නෑ අම්මයි, අප්පච්චියි, අක්කයි ඔක්කොම. අක්කගෙ මහත්තයා - සමන්ත අයියා විතරයි මාව තේරුං ගත්තේ. ඕන උදව්වක් තිබුණොත් කියන්න මල්ලි, පුළුවං දෙයක් කරන්නං කියලා කිව්වෙ එයා විතරයි."

තමරුට මේ ආදරණීය ආදරවන්තයා ගැන සැබැවින්ම පුදුම සිතුණි. "ඒ ගැන වැඩිය හිතන්න එපා අකලංක, ඒ හැම දේම හරි යයි. ඔයා දන්නවනේ ඔයා කරන්නෙ හරි දෙයක් කියලා."

"ඔයගොල්ලන්ගෙ ගෙදරින් මොකද කියන්නෙ ඔයාගෙ කසාදෙ ගැන?"

"ආයෙනං මට මනමාලයො හොයන්න එපා කියලා තමයි මං නුවරට මාරුව හදාගෙන ආවෙ," තමරු සිනාසුණාය.

අකලංක ඈ දෙස බැලුවේය. "ඔයා ලොකු කැපකිරීමක් මේ කරන්නේ තමරු. මං එදත් කිව්වා වගේ ඔයාට පින් දෙන්න වචන මගෙ ලඟ නෑ."

"ඒක මගේ සතුට අකලංක. උපා ඔයා එක්ක යාළුවෙන්න කළින් මගේ යාළුවා උනේ."

"අම්මලාට මාව තේරුං ගන්න බැරි උන එක ගැන මට දුකයි. ඒත් කරන්න දෙයක් නෑ. මේ වෙලාවෙදි මාව වැඩියෙන්ම ඕන කරන්නේ උපාට. එයාටයි, එයාගෙ අම්මලටයි මේ වෙලාවෙදි උදව් කරන්න වෙන කවුරුත් නෑ. ඒ නැතත් එයා මගෙ බිරිඳ. එයාට මාව මතක නැති උනත් මට එයාව හොඳට මතකයි."

සිය මිතුරිය සැබැවින්ම පින්වන්තියක බව තමරු වටහාගත්තාය. ඇය උළුවස්ස වෙතින් මෑත් වී නැවතත් ගෙතුළට හැරුණාය. "නිදාගන්න අකලංක. හෙට උදේ ලේක්චර්ස් නේද?"

"ඔව්, හෙට උදේ වරුව විතරයි. හෙට කැම්පස් එකට යනවා කියලා උපාට කිව්වද?"

"තැන කිව්වෙ නෑ. එයා ගොඩක් ආදරේ කරපු තැනකට යනවා කියලා විතරයි කිව්වේ."

"ඒක හොඳයි."

"ගුඩ් නයිට් අකලංක."

"ගුඩ් නයිට්."