Sunday, 30 September 2012

සෙනෙහසේ නවාතැන ....The Sanctuary of Love.....3


පන්සල් ගිහිං ආ වෙලාවේ හිටං අයියගෙ මූණ හරි අමුතුයි. පොළොන්නරුවේ ඉඳං ඊයෙ ආවට පස්සෙ අයියගෙ මූණ ඔය හැටි එළිය වැටිලා තියෙනවා මං දැක්කමයි. රෑ කෑමෙං පස්සෙ අයියා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවෙ වාඩි වෙලා හඳ දිහා බලාන කල්පනා කරන දිහා මං ඩිංගක් වෙලා සද්ද නැතුව බලා උන්නා. අප්පච්චිගෙ හාන්සි පුටුවෙ වාඩි වෙලා ඉන්දැද්දි පැත්තට බැලුවහම අයියත් අප්පච්චි වගේම තමයි. මට හීල්ලුනා. 

අයියා ඔළුව හරෝලා බැලුවා. හීන් හිනාවක් දාලා ඉස්සරහා පඩිපෙළ ගාවට ගිය මං අයියට පිටුපාලා ඉස්තෝප්පුවෙ කණුවට හේත්තු වෙලා හඳ දිහාවෙ බැලුවා. "පන්සලේ සෙනගද අයියෙ?"

"හ්ම්. ඔය හිටියෙ. දැං කොහොමද අම්මට?" 

අම්මට හිටි හැටියෙම කොන්දෙ අමාරුවක් ආව හන්දා තමයි අම්මයි මායි දෙන්නම පන්සල් නොයා ගෙදර නැවතුනේ. "දැන්නං අඩුයි. වෙද මාමා දීපු බේත් තෙල් ගෑවහම අඩු උනා." 

ඩිංගක් වෙලා ඔහොම නිස්සද්දව ගෙවුනා. ඉස්සරනං අයියයි මායි අතරෙ නිස්සද්ද වෙලාවල් බොහොම අඩුයි. පුංචි සන්දියෙ වගේ අතිං පයිං රණ්ඩු ඇල්ලුවෙ නැතත් දෙන්නා එකතු වෙච්ච වෙලාවට අහළ පහළක ඉන්න උදවියට කනක් ඇහිල්ලේ ඉන්න හම්බ වෙන්නෙ නෑ. ඒත් හය මාසෙකට පස්සෙං පහු ගෙදර ආපු අයියා ඊයෙ හැන්දෑවෙත්, අද පන්සලට යනකලුත් උන්නෙ මුළු ලෝකෙම එපා වෙච්ච කෙනෙක් වාගෙ. ඊයෙ පඩිපෙළ උඩ ඉඳගෙන සුබා අක්කා ආයෙම ගම ඇවිදිං ඉන්න විත්තිය මං කීව වෙලාවෙ අයියගෙ මූණෙ මතු වෙලා නැති වෙලා ගිය එළිය දැං ආයෙත්.

"පරණ යාළුවො හෙම හම්බ උනැයි?" මං ඇහුවා.

"ගුණේලගෙ අම්මව හෙම හම්බුනා. ඒකාත් දැං ගමේ නෑ කියන්නේ."

"ඔව්, ගුණදාස අයියටත් ඔය කොහෙද දුර පළාතක රස්සාවක් හම්බ වෙලා ගියානේ."

"පන්සලට යන අතරෙ කඩේ ලඟදි සිරාවයි අනෙක් එවුන් ටිකයි හම්බුණා. 

"ඒගොල්ලො ඉතිං පංසලක් පැත්තෙ යන උදවියයැ, ගම පුරා රස්තියාදු වෙවී ඉන්නව මිසක."

ආයෙමත් දුරස් බව පිරිච්ච නිස්සද්දතාවයක්. හය මාසෙකට කළියෙං ගමෙන් ගිය මයෙ අයියා තාම පොළොන්නරුවෙද. මේ ඇවිදිං ඉන්නෙ වෙන කවුරුවක්වත්ද.

"මං සුබාව දැක්කා නංගී.." අන්තිමට අයියා ඇහෙන නෑහෙන හඬින් කියනවා මට ඇහුණා.

"පන්සලේදි?" මං අයියා දිහාවට හැරිලා ඇහුවා. අයියා ඔළුව වැනුවා. "මොකද සුබා අක්කා කියන්නෙ?"

"අපිට කතා කරන්න ඉඩක් ලැබුනෙ නෑ."

"ඒ මොකද?"

"මං පහන් පත්තු කර කර හිටියෙ. සුබා ඈත ඉඳං මයෙ දිහා බලාගෙන ඉන්නවා මං දැක්කෙ හිටි හැටියෙම. දෙන්නට දෙන්නා ඈත ඉඳං මූණට මූණ බලං හිටියා. ඒ මූණෙ ගොඩක් දේවල් ලියවිලා තිබුණා නංගි."

"අයියට ලඟට ගිහිං කතා කරන්න තිබ්බනෙ. අපරාදෙ, මං ගියානං කතා කරනවා. සුබා අක්කා ආයෙම ආවට පස්සෙ දකින්ඩම බැරි උනා."

"ඔයගොල්ලො දැං එහෙ යන්නෙම නැද්ද?"

"රාළහාමි මාමගෙ ඇණුම් පද අහගෙන කොහොම යන්ඩද අනේ. අම්මටත් එපා වෙලා තමයි ඔය එහෙ ගමන් නතර කරලා දැම්මෙ. ඉතිං දෙන්නා මූණට මූණ බලං හිටියා, එච්චරද?"

"හ්ම්. මැණිකෙ නැන්දයි, පොඩ්ඩි නගායිත් ඒ ගාවම හිටියෙ. මාව දැක්කට පස්සෙ නැන්දා සුබාව එතනිං අහකට එක්ක ගියා." අයියා දිග හුස්මක් පිට කරලා කකුල් දෙකත් හාන්සි පුටුව උඩට ගත්තා.

මං ඩිංගක් වෙලා අයියා දිහා බලං හිටියා. පුංචි කාලේ හිටං ඒ දෙන්නගෙ තිබ්බ ඇඟෑලුං කම මං නොදන්නවා නෙවෙයිනෙ. මගෙම අක්කා කෙනෙක් තරමට සුබා අක්කා මටත් ලෙංගතුයි. එයාගෙ නංගි - අපි හැමෝම එයාට කිව්වෙ පොඩ්ඩි කියලා - මට වඩා අවුරුදු හතරක් විතර බාලයි, තාම ඉස්කෝලෙ යනවා. අයියයි සුබා අක්කයි මට වඩා අවුරුදු තුනක් ලොකුයි. ඉස්සර අපි තුන් දෙනාම ඉස්කෝලෙ ගියෙත් ආවෙත් එකට. ඒ ආවහම රාළහාමි මාමලගෙ ගෙදර තමයි හැන්දෑ වෙනකල්ම හිටියෙ. එකම පන්තියෙ හිටපු ඒ දෙන්නා පාඩං කළෙත් එකට. සෙල්ලං කරද්දි රණ්ඩු උනාමත් ඒ දෙන්නා හැම වෙලාවෙම එක පැත්තෙ. ඒ කාලෙදි මයෙ අයියාවත් මට නෑ කියලා මහා දුකක් දැනුනත් ටික ටික ලොකු වෙද්දි ඒ දුක සතුටකට පෙරළුනේ මගේම කියලා අක්කා කෙනෙකුත් ඉන්නවා කියලා මට දැනිච්ච හින්දයි. මං කොයි තරං ආසාවෙන් හිටියද අයියා සුබා අක්කව මෙහෙ කැන්දන් එනකල්. ඒත් හිතාගන්නවත් බැරි විදිහට හැම දේම වෙනස් උනා. "අයියට සුබා අක්කා එක්ක කතා කරන්න ඕනෙද?" මං ඇහුවෙ ඔය හැමදේම කල්පනා කරලා.

අයියා මයෙ දිහාව බැලුවා. ඊලඟට මූණ පිරෙන්න හිනා උනා. "හෙට අපි හම්බ වෙනවා."

"ඒ කොහොමද?" මට හිතාගන්නවත් බෑ. සුබා අක්කව තනි පංගලමේ ගෙයින් පිට අරින්නෙ නැති බව මං හොඳාකාරවම දැනගෙන උන්නා.

"සුබාලා බෝධිය ලඟින් ගියාට පස්සෙ මං පහන් පත්තු කරලා ඉවර වෙලා බෝධිය යටම ඉඳං හිටියා. හදිසියෙම පොඩ්ඩි දුවං ඇවිත් කිව්වා හෙට දහයට එයා අක්කත් එක්ක පුස්තකාලෙට එනවා, අක්කා එක්ක කතා කරන්න ඕනෙනං කොහොමහරි එන්න කියලා. ඒ කියලා ආපු හැටියෙංම දුවලා ගියේ. පන්සලේ කියලා සිහියක් නෑ ඒ කෙල්ලට, ඔයා වගේම තමයි."

මට හිනා ගියා. "ඒක තමයි මේ මූනට අද හඳ පායලා තියෙන්නේ." මං ඇදලා පැදලා කිව්වා.

"මූණෙ නෙවෙයි බං, අද පෝයනේ. අර පේන්නේ ආං බලහං අර හන්තානට උඩහිං පායලා තියෙන්නේ. අන්න ඒකටයි හඳ කියන්නේ. ඔය ඒකෙ එළිය තමයි මයෙ මූණට වැටිලා ඇත්තෙ."

ඊයෙ අයියා ආවට පස්සෙ සුබා අක්කා ගැන කියනවා ඇරෙන්න වෙන මුකුත් කතා කරන්න උනේ නෑ අයියටයි මටයි. අදත් උදේ හිටං අම්මගෙ කොන්දෙ අමාරුවට බේත් තෙල් ගාන්නයි, ගෙදර අනිත් වැඩයි එක්ක මට නිවීහැනහිල්ලේ අයියා එක්ක කතා කරන්න ලැබුණෙම නැති තරං. මං අයියා ඉඳං උන්නු හාන්සි පුටුව ලඟින් බිම ඉඳගෙන පුටු ඇන්දට ඔළුව හේත්තු කරගත්තා. අයියා හීනිවට ඇඟිලි තුඩු වලින් මයෙ ඔළුව අතගානවා මට දැනුනා. ඉස්සර අප්පච්චිගෙ සරං ඔඩොක්කුවෙ වාඩි උනහම අප්පච්චි අපෙ ඔළුව අතගෑවෙත් එහෙමයි.

"ඉතිං කොහොමද අයියෙ රස්සාව එහෙම?"

"ඇයි මං ලියලා එව්වෙ? මක් කළාද ඒ ලියුං, කියවන්නෙම නැතුව ලිපට දැම්මද?"

"අපෝ මහ ලොකු දෙයක් ලියල තිබ්බයැ ඒ ලියුං වල? ගිය සුමානෙ වැස්සා. අද පායලා. ඊයෙ ගල් විහාරෙ ගියා. ඔන්න ඕවනෙ ලියලා තිබ්බෙ."

"ඉතිං එච්චර තමයි. ඒ ගැන අහන්නෙ, මට කියලා ඉඳහං කැම්පස් එකේ විස්තර."

මට එතකොටයි මතක් උනේ නිවාඩුවට ගමේ එන්න කළින් වෙච්ච කතාවක්. "ආ, අයියා හොඳ වෙලාවට මතක් කළේ. දැං නිවාඩු කාලෙනෙ. එහෙ ඉන්නෙ මගෙ හොඳම යාළුවා සමාධි. කුරුණෑගල කෙනෙක්. මේ නිවාඩුවට අපේ ගෙදර එනවා කිව්වා. හෙට අනිද්දට ඒවි සමහරවිට."

"මදැයි කනක් ඇහිලා නිවාඩුවෙ ගෙදර ඉඳලා යන්න ආවා!" 

අයියා ඔය කියන්නෙ මාව අවුස්සන්න බව මං දන්නවා. ඒත් ඉතිං මට ඔහොම වෙලාවට කට පියං ඉන්න බෑනේ. "මේ, මං ආස්සරේ කරන්නෙ බොහොම වැදගත් යාළුවො හරිද. එක එක එව්වා කියන්න හෙම ලෑස්ති වෙන්න එපා ඒගොල්ලන්ට, තේරුණාද?"

"ඔය කැම්පස් එකේ නැද්ද හොඳ කොල්ලො එහෙම?"

"අර මොකටද?"

"නෑ මං කිව්වෙ මේ ඔයාගෙ හිත ගිය කොල්ලෙක් එහෙම?"

ඔන්න මගේ කන් දෙක රත් වේගෙන ආවා. ටිකකින් මුළු මූණම රතු වෙන බව මං දන්නවා. අයියා මේ වෙලාවෙදි මෙහෙම දෙයක් අහයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒ හින්දා මට හරි යන උත්තරයක් ගැගහගන්න ටිකක් වෙලා ගියා. "එක එක විදිහෙ කොල්ලො ඉන්නවා ඉතිං. තාම අවුරුද්දයිනෙ ගියෙ. මෙච්චර ඉක්මණට කොහොමද කාටවත් හිත යන්නෙ."

"කාගෙවත් හිත ඔයාට ගිහිල්ලත් නැද්ද?"

"ඒවා ඉතිං මං දන්නෙ නෑ." 

"ඔය සමාධිද කවුද ආවහම මං අහලා බලන්නංකෝ."

"ආ, එයා මුකුත් කියන් නෑ ඒ ගැන."

"ආ," අයියට අලි හිනාවක් ගියා. "මොකක් ගැනද?"

මට දිවත් හැපුනා. විනාසයි! "මං කිව්වේ සමාධිගෙන් අයියට අහගන්න මුකුත් නෑ."

"හරි හරි අපි හොයාගන්නංකෝ..."

"මොකද බොලං මේ රෑ තිස්සෙත් රණ්ඩු කරන්නේ?" අම්මගේ කටහඬ ගේ ඇතුළෙන් ඇහුණා. මම ලඟ නැති බව දැනිලා අම්මට ඇහැරෙන්න ඇති. "දොරවල් වහලා දාලා මේ ඇතුලට ඇවිත් නිදාගනිල්ලා."

කියන පරක්කුවෙන් නැගිටගත්තු මං අයියට දිවත් දික් කරලා ගේ ඇතුළට දිව්වා.

***

පහුවදාට එළි උනා. බලන්න එපායැ උදේ හිටං අයියගෙ තිබ්බ සූදානම. ගමේ එනකොටත් දවස් හතරක පහක විතර වැවිලා තිබ්බ රැවුලත් කපලා. රහස දැනං හිටිය මට අයියව දකින දකින සැරේට හිනා. අම්මා ඉස්සරහදි දෙතුං විටක්ම මයෙ දිහා රවලා බලපු අයියා අන්තිමට ඉස්තෝප්පුවෙදි මාව අල්ලගත්තා. 

"නවත්තගන්නවද නැද්ද ඔය සිරික්කිය?" 

"ඇයි නවත්තගත්තෙ නැත්තං මොකෝ?" මාත් අරින් නෑ.

"මං අම්මට කියනවා ඔයාගෙ කොල්ලා ගැන."

"මට ඇති කොල්ලෙක් නෑ!" මගෙ හිනාව වාශ්ප වෙලා ගියා.

"මං කියනවා එහෙම ආරංචියක් තියෙනවා කියලා."

"ඉතිං දැං ඔය අද ගමන ගැන අම්මා දැනගත්තහම මොකෝ? අම්මා සුබා අක්කට අකමැති නෑනේ."

"ඒ ඉස්සර. දැං කොහොමද දන් නෑනේ."

"ඒ උනාට මට මේ මනමාල මූණ දැක්කම හිනා යනවනේ." මටත් නිකං ඉන්න බැරි හැටි.

"වහගන්නයි කිව්වෙ කට!" අයියා මට ගහන්න වගේ අත ඉස්සුවා.

මං මගේ කටහඬේ සද්දේ පිළිකන්නෙ උන්නු අම්මට ඇහෙන තරමට වැඩි කළා. "අම්මේ, අයියා අද සු-" අයියා අත් දෙකෙන්ම මගෙ කට තද කරලා වහගත්තා.

ඒ එක්කම ඉස්සරහා පඩිපෙළ පාමුළ නතර කරපු වාහනේක හෝන් සද්දයක් ඇහුනා. අයියව අහකට තල්ලු කරපු මං පඩි පෙළේ මැදක් වෙනකල් දුවං ගියා. සමාධි! කැම්පස් එකේ මගේ යාළුවා! ත්‍රීවිල් එකෙන් එයත් එක්ක තව එක්කෙනෙක් බැස්සා. සමාධි පඩි පෙළ උඩහ බලලා මාව දැකලා හිනා වෙලා අත වැනුවා. එයත් එක්ක ආපු අනිත් එක්කෙනා ත්‍රීවිල් එකට සල්ලි ගෙව්වට පස්සෙ ඒ දෙන්නම පඩි පෙළ දිගේ උඩට නගින්න ගත්තා. මං පහළට දුවං ගිහින් සමාධිගෙ අතේ තිබ්බ බෑග් එක ගත්තා. "කොහොමද? පාර හොයාගන්න අමාරු උනේ නෑනේ?"

"නෑ, ඔයා ඇඳලා දීපු පාර හරියටම හරි." හිනාවෙලා කිව්ව සමාධි එයා එක්ක උන්නු අනිත් කෙනා දිහාට හැරුණා. "මේ ඉන්නෙ මගෙ අක්කා. අම්මා එන්න හිටියෙ මාව ඇරලලා යන්න. ඒත් අක්කා මේ සතියෙ ගෙදර ආවා, ඉතිං මං එයා එක්ක ආවා."

අපි තුන් දෙනාත් එක්ක පඩිපෙළ නගින්න ගත්තා. "ඒක හොඳයි. අක්කත් ඉමු මෙහෙ සමාධිත් එක්ක." මං කිව්වා.

"අනේ බෑ නංගි. මං ආයෙ අද හවසට යනවා. ආපහු සඳුදා වැඩට-" අක්කගෙ කතාව එකපාරට නතර උනා. අපි දෙන්නම අක්කා දිහාට හැරුණා. අක්කා පඩිපෙළ මුදුන දිහා බලාගෙන. අපි දෙන්නත් ඒ දිහා බැලුවා. අයියා එතන. "ජයේ?"

"සරෝජිනී?"

"ඈ? ඔය දෙන්නා අඳුරනවද?" මං දෙන්නගෙ මූණු දිහා මාරුවෙන් මාරුවට බැලුවා.

"අක්කෙ, මේ ඉන්නෙ ඔයා කියපු ජයසේන අයියද?" ඒ අස්සෙ සමාධි අක්කගෙන් ඇහුවා.

අක්කගෙ මූණ ලොකු හිනාවකින් එළිය වෙලා. අයියගෙ මූණ බිරන්තට්ටු වෙලා. "මං දන් නෑනෙ අපෙ නංගිගෙ යාළුවා ඔයාගෙ නංගියි කියලා. වෙන එකක් තියා මං ඔයාට නංගි කෙනෙක් ඉන්නවා කියලවත් දැනගෙන හිටියෙ නෑනේ." අක්කා පඩිපෙළෙන් මිදුළට ගොඩ වෙන ගමන් අයියා දිහා බලාගෙන කිව්වා.

"සරෝජිනී අපේ ඔෆිස් එකේ වැඩ කරන්නෙ නංගි," අයියා මං දිහා බලාගෙන කියලා අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවා. මං හිමීට සමාධිගෙ ඔරලෝසුව දිහා බැලුවා. දහයට පහයි, මට යාන්තමට පෙනුණා.

"ජයේ කොහෙවත් යන්නද?" ජයේ. එච්චර කිට්ටු ආමන්ත්‍රණයක්.

"මං මේ පොඩ්ඩක් ලඟට ගිහිං එන්න කියලා." අයියා ආපහු මං දිහාව බැලුවා. මොනවා කියන්නද කියලා මං දැනගෙන හිටියෙ නෑ. ඒත් අයියා මට මෙච්චර දවස් නොකිව්ව තවත් ලොකු කතාවක් තියෙනවා වගෙයි කියලා මට යාන්තමට තේරුණා.

"අපි යංකෝ ඉතිං ගෙට. අක්කටයි සමාධිටයි මහන්සි ඇතිනේ." මං දකුණු අතේ තිබ්බ බෑග් එක වම් අතට මාරු කළා. "අයියා ඉක්මණට ගිහිං එයි. අපි යමු. අම්මත් ඇතුළේ ඉන්නවා. එන්න. අම්මේ - " මං අම්මට ඇහෙන්න ගේ ඇතුළට එබිලා කෑ ගැහැව්වා.

"යමු අක්කේ," සමාධිත් ඉස්තෝප්පුවට ගොඩ උනා.

"අනේ, දෝණිගෙ යාළුවා ආවැයි?" අම්මාත් ඒ වෙලාවෙ ඉස්තෝප්පුවට ආවා. අම්මගෙ කොන්දෙ කැක්කුම ඒ වෙද්දි හොඳටම හොඳ වෙලා තිබුණෙ.

"ඔව් අම්මේ. මේ සමාධි. මේ එයාගෙ අක්කා - සරෝජිනී නේද අක්කගෙ නම?"

"ඔව්. කොහොමද අම්මේ? මාත් මේ ජයසේන වැඩ කරන තැනමයි වැඩ කරන්නේ." අක්කයි සමාධියි දෙන්නම අම්මට වැන්දා.

"හැබෑට ? පොළොන්නරුවෙ? රත්නත්තරේ පිහිටයි!" අම්මා දෙන්නගෙම ඔළු අතගෑවා. මං තවමත් ගල් ගැහිලා බලං ඉන්න අයියා දිහාවට හැරුණා. "මං එහෙනං ගිහිං එන්නං." අයියට හදිසියෙම මතක් වෙලා ආපහු කිව්වා.

"කොහෙ යන්නද මේ ඇවිදිං ඉන්නෙ යාළු මිත්තරයො වෙච්චි?" අම්මා ඩිංගක් සැරෙන් ඇහුවෙ අමුත්තො ආව හැටියෙම එහෙම මග ඇරලා යන එක හොඳ දෙයක් නොවිච්ච නිසාම වෙන්න ඇති.

"නෑ අම්මෙ, අයියා විගහට එයි. මමයි කිව්වෙ අයියට පොඩ්ඩක් කඩේට ගිහිං එන්න කියලා, බඩු වගයක් ගෙන්නගන්න." මං ආයෙම අයියා දිහා බැලුවා. "අයියෙ මතක ඇතුව අයිස් ක්‍රීම් එකකුත් ගේන්න හොඳද? අද මේගොල්ලොත් ආව එකේ අපි හොඳට කන්න දෙන්න එපැයි."

"අනේ අනේ ඒ විශේෂ ඕන නෑ. මං කිව්වනෙ, මෙහෙ කන බොන විදිහටම තමයි මාත් කන්නෙ බොන්නෙ." සමාධි විගහට කිව්වා.

"එහෙම කොහොමද, අද මේ අක්කත් ඉන්නවනේ," මං ආයෙත් අයියා දිහා බැලුවා. "චොකලට් අයිස් ක්‍රීම් හොඳද."

"ආයි ආවම සල්ලි දෙනවා, හරිද?" අයියා එහෙම කියාගෙන පඩිපෙළ බහින්න පටන්ගත්තා.

"ලෝබයා!" අයියට ඇහෙන්න එහෙම කියපු මම ආපහු අම්මයි, සමාධියි, සරෝජිනී අක්කයි හිටපු දිහාවට හැරුණා. 

මං මේ කරපු උදව්වටනං අයියේ අයියට තමයි මට ගාස්තුව ගෙවන්න වෙන්නේ.

6 comments:

  1. විශිෂ්ටයි, කතාව මුලින් හිතපු විදිහට නෙමෙයි යන්නේ, අද කතාව නංගිගේ කෝණයෙන්, කියවගෙන යනකොට එපා වෙන්නේ නැති සුපිරිම කතාවක්, ජය වේවා. ඉතුරු කොටස් ඉක්මනට දාන්න.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි පැතුම්. දිගටම අපේ කතා කියවන්න එන්න. අපේ අනිත් අය මේ කතාව කොයි අතට ගෙනියයිද කියලා අපිවත් තාම දන්නෙ නෑ හරියට. :)

      Delete
    2. "අපේ අනිත් අය මේ කතාව කොයි අතට ගෙනියයිද කියලා අපිවත් තාම දන්නෙ නෑ" හරියට.

      ඒ කියන්ෙන ෙම්ක ෙමගා ද...?
      මම නම් ෙමගා වලට වැඩිය අාස නෑ.....

      රවී මහත්තයට කියන්ෙන ෙම්ගානම් ඒපා

      Delete
    3. නෑ නෑ.. මේක මෙගා වෙන්නෙ නෑ අසේල... දැනට ලියන්නෙ අපි හය දෙනෙක් නෙ... ඉතින් එක කතාවක බොහෝ විට කොටස් හයක් තියේවි. කලාතුරකින් එක්කෙනෙක් කාර්යබහුල වුනොත් ඒක කොටස් පහක් වේවි...

      Delete
  2. මගෙන් කට්ටියටම සුබ පැතුම්... කට්ට්ටිය ගොඩක් ඉන්න නිසා.. එක්කෙනෙක් බිසි වුණත් අනිත් කට්ටිය හරි ලියයිනේ.. ඒක නිසා දිගටම කියවන්ඩ දේවල් තියෙයි නේද.....

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි මනේකා. අනිවාර්යෙන්ම කියවන්න දේවල් තියෙයි මෙතන. එක එක විදිහෙ කතා ගොඩක් ලියවෙයි. ඒ හැම කතාවක්ම අපි එක එක්කෙනා මේ විදිහට ලියයි. ඔයාලගෙ හෘදයාංගම ප්‍රතිචාර තමයි අපිව දිරිමත් කරන්නේ. :)

      Delete