Saturday, 6 October 2012

සෙනහසේ නවාතැන The Sanctuary of Love (අවසාන කොටස)




'චීයා'

'ඇයි මොකෝ?'

'කකුලේ හරක් කක්කා ගෑ උනා'

දණිස් දක්වා වැටුනු තුන් කාලේ කලිසමකිනුත්, ටීෂර්ටයකිනුත් සැරසුනු තරුණිය දෙස බැලු අනෙක් දෙදෙන සිනාසුනේ මහ හඬින්.

'හරක් කක්කා නෙමේ පොඩි මැණිකේ' පවනි කීවා. කිංකිණිගේ හිචිහිචිය නම් ඒ වෙනකොටත් නතරවෙලා තිබුනේ නෑ. මුලු ගමටම ඇහෙන්ට ඇති ඒ හිනාව. 'ඕවට කියන්නේ ගොම' ඈ කීවේ සුපුරුදු කටකාර විදියට.

'මම කීවත් එක්ක මට බූට්ස් දාගෙන එන්ට ඕනි කියලා' ආන්යා කීවේ ගොම ගෑවුනු සෙරෙප්පුව තණ ගොල්ලේ පිස්දමමින්.  'ෂිහ් මේ කැලේ කූඩැල්ලොත් පිරිලා ඇති'
'මේ පැත්තේ ඇති කූඩැල්ලෙක් නෑ.' පවනි කීවේ මුදු ලෙස. නමටම ගැලපෙන විදියට ඈ නම් හුලං පොදක් වගේ. ඒකට කිංකිණි. ආන්යාගේ නම අහපු හැටියේ කොච්චර හිනා උනාද

'ආන්යා ඒ කොහේ නමක්ද?'

'බෙංගාලි භාෂාවෙන් ආන්යා කියන්නේ precious  කියන එකට.' කිංකිණි හිටියේ ඒක නෑහුන විදියට.

එදා ඉඳන් ආන්යාට පෙනුනේ ඈ තමාට නොදැනෙන්ට හිනාවෙනවා වගේ. ඔන්න කිංකිණි තවත් මොනවාදෝ කියනවා.

'බූට්ස් දාගෙන පොඩි මැණිකේ මේ ගමේ ඇවිද්දොත් අපේ සායමත් ඉවරයි' ඔලුව උස්සලා බලපු ආන්යාට පෙනුනේ හිනාව නවත්තගෙන මූනට බැරෑරුම් පෙනුමක් එකතු කරගත්තු කිංකිණි කෙනෙක්.

උදෙන් පිපුණු, නැවුම් මලක් බඳු, සුන්දර තරුණිය, කිංකිණිට පෙනුනේ, දෙලොවක් අතර අතරමංවූ එකියක් විදියට. උදෑසන හීන් හුලඟට වැනෙන ගොයම් යාය මැදින්, කුරුලු හඬට සවන් දෙමින්, ගල්මුල්වල හැපී වැටෙන්ට යමින් ඈ අසු ප්‍රශ්නත්, ඇගේ හැසිරීමත්, ඔවුන්ට ගෙන දුන්නේ විනෝදයක් හා ප්‍රබෝධයක්....

නියර දිගේ හනිකට එන සුනෙත් අය්යා ලඟට එනකල් ඔවුන් දුටුවේ නෑ. ඉතා පටු නියර උඩින් දෙදෙනෙකුට එකවර මාරු විය නොහැකි බව ආන්යා අවබෝධ කරගත්තේ ඒ වෙලාවේ. 
'මට නම් බෑ වෙලට බහින්ට. ඒකේ මඩ' ආන්යා කීවේ මුරන්ඩු විදියට. ඔහු ඈ දිහා බැලුවේ නුපුරුදු හඬක් නිසා. තමාගේ දෑසට එබී බැලු ඔහුගේ දෑස ඇය දුටුවේ එවිටයි. අන්න ඒ මොහෙතේ තමා මුලු ලෝකයම නතර උනේ.

සායම් ගිය ඩෙනිමක්, පොඩිවී ගිය නිල් කොටු කමිසයක් හැඳ සිටි ඔහුගේ අවුල්වූ කෙස් කළඹ ගෙල මුල දක්වා වැවී තිබුනා. දින දෙක තුනකින් නොකැපූ රවුල මුහුනට එක්කලේ රලු පෙනුමක්.  ' Wow   ' ආන්යා හිතුවා.

'මම මේ වෙද ගෙදරට යන ගමන්' ඔහු පැවසුවේ පවනිට. ආන්යාගේ ගත, ඒ හඬට කිලිපොලලා ගියා.

'අය්යට වෙද ගෙදර යන්ට පරක්කු වෙන හන්දා අපි වෙලට බහිමු' කී පවනි තමාත් ඇදගෙන වෙලට බහින තුරු ආන්යාට දැනුනේවත් නෑ.

'නරකද මේ පාරවල් මීට වඩා ලොකුවට හැදුවානම්' ආන්යාගේ කතාවට තරුනයාගේ මුවගට හීන් හිනාවක් නැගුනා.

'අපි යනවා '

'හොඳයි අය්යණ්ඩිපවනි කීවා.

'මේවා පාරවල් නෙමේ . නියරවල්' කිංකිණි කීවා.

'කවුද ඒ' ආන්යා ඇහුවේ පවනිගෙන්.

'ඒ අපේ අය්යා කෙනෙක්. ඔයාට වැඩක් නෑ ගමේ කොල්ලෝ ගැන හොයන්ට. අපිට ලොකු මැණිකෙගෙන් සෝලි තියෙයි' කිංකිණි කඩා පැන්නා.

'මෙන්න වැඩක් ' ආන්යාට ඇත්තටම තරහා ගියා. 'දන්නේ නැති හින්දා නේ ඇහුවේ. දන්නවා නම් අහන්නේ නෑනේ. වැඩේමයි මේ ගමේ ඉන්න ගොඩේ කොල්ලෝ ගැන හොයන්ට '
පවනිත්, කිංකිණිත් එකිනෙකාගේ මූනු බලාගත්තා.

අඹ, වෙරලු ගස්වලට ගල්ගහලා, ගඩාගෙඩි ඇතිවෙන්නට කාලා, පහල දොලේ කකුල් දාගෙන මාලුවන්ට කියලා කොටවගෙන, කට්ටිය වලව්ව පැත්ත ගියේ හොඳටම දවල් වෙලා. ඒ කරලා මැණිකා උයලා තිබුනු පොලොස් මාලුව, බිං හතු මාලුව, අඹ ඇඹුල, කරවල බැදුම , පලා මැල්ලුම එක්ක බඩ පැලෙන්ට  බත් කෑවා.

ආන්යා කෑමෙන් පස්සේ ඇඳේ වැතිරෙන්ට ගියත්, ඇස් පියවෙන වාරයක් පාසා ඇගේ මතකයට ආවේ ඔහුගේ දෑසයි. 'සුනෙත්...නමටම ගැලපෙන ඇස් දෙක...'

ඔහු කවුද?

ඈ අවුරුදු ගානකට පස්සේ ලංකාවට ආවේ, අම්මත්, අප්පච්චිත් මුවින් නොපැවසූ අණකට කීකරු වෙලා. හැමදාමත් වගේ වලව්වේ කතා නොකෙරුනු මාතෘකාවක් තිබුනා. අත්තම්මා, උයනගේ මැණිකා, වත්ත පිටියේ වැඩකල මිනිස්සු පවා ඒ ගැන දැන හිටියා කියලයි ආන්යාට හිතුනේ.

ඇත්තටම ආන්යා නොදන්න ඒ රහස කුමක්ද?

ආන්යාගේ දෑස පිය උනා.

'මම ආසයි ඔයාගේ රැළි කොන්ඩේ මගේ අතින් තවත් ටිකක් රැළි කරන්ට...'

'මට ආසයි ඔයාගේ ඇස් දෙකට එබිලා මම ඔයාට ගොඩක් ආදරෙයි කියන්ට'

'මට ඕනි ඔයාව තුරුල් කරගෙන ඉර බහින හැටි බලාඉන්.'

'මට ඕනි ඔයා මගේ පපුව උඩ ඔලුව තියන් නිදන් හැටි බලන්ට...මට ඔයාව ඕනි '

ඈ තිගැස්සිලා ඇහැරුනා. ඒ කට හඬ ඇයට ඇහුනේ හීනෙන්ද? නැත්නම් හැබැහින්ද? ඇහකට නැගුනු කඳුලු බිංදුවක් නවත්තනට ඈ කලේ අසීරු උත්සාහයක්.


වෙනදා වගේම බෝ මලුව හඳ එලියෙන් නෑවිලා. කවුදෝ බෝ මලුවේ මිදුල ලස්සන රටාවකට අතුගාලා...හඳ එලියට සුදු ඇඳුම් අඳගත්තු මිනිස්සු පෙනුනේ, වෙලයායේ උදේ පාන්දර දැකපු කොක්කු රෑන් වගේ ආන්යා හිතුවා. ඈ හෙමිහිට ඔවුන් අතරින් පියවර මැන්නේ කිංකිණි හා පවනි හොයාගෙන. අම්මත්, අප්පච්චිත් ඈට මදක් නුදුරින් ඈ පසුපසින් ආවා.

'අපි යමු ලොකු හාමුදුරුවෝ මුන ගැහෙන්ට' අප්පච්චි කියනවා ඇහුනා.

පවනි හා කිංකිණි සමග ඉදිරියට එන ඔහුගේ රුව ඈ දුටුවේ එවිටයි. පය ඔසවා ගත නොහැකිව ඈ එතනම නතර උනා.

'ජයේ' අම්මාගේ හඬ ඇහුනේ කෙඳිරිල්ලක් වගේ. එවිට තමා ආන්යා දැක්කේ ඔහුත් සමග හිටි, මැදිවයස් යුවල. ඔවුන් දෙදෙනාත් ඇස් අදහා ගත නොහැකිවාක් මෙන් හිටි තැනම උන්නා....

ඔහු ඈ ඉදිරියේ නතර උනා. ලෝකයත් ඒ එක්කම නතර උනා. මලගිය ඒ අතීත කතාව කුමක් උනත්, සුන්දර අලුත් කතාවක් බිහිවෙන බව ඒ දැස් එකිනෙකාට කියාගත්තා.



\ලි: කෑම වට්ටෝරුව සාදාදීමෙන්, හා සමහර වචන කියාදීමෙන් උදව් කල අත්තම්මාට විශේෂ ස්තූතිය.

ජායාරූපය සොයා දුන් ඔබටත් ස්තූතියි.





12 comments:

  1. මම අද මේ කතාවෙ කොටස් 6ම කියෙව්වෙ. හරිම ලස්සන කතාවක්. 6 දෙනාගෙ අදහස් 6ක්. හැබැයි අන්තිම කොටස කියවනකොට මුලදි ටිකක් හිතුවා මේ මොකද වෙන්නෙ කියල. අන්තිමටනෙ ඒ කතාව තේරුනේ.

    // හරක් කක්කා //

    ඒකට නම් හොඳටම හිනාගියා.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩක් ඔලුව කැරකුනාද?:)

      අනෙක් අය ආදරේ රහම රහ කරලා ලියද්දි පොඩ්ඩිට හිතුනෙම පැණි කෑවා වැඩී කියලා හී හී... ඉතින් පොඩ්ඩි මෙහෙම කරයි කියලා හිතුනු දේ කලා....

      Delete
  2. ඔයා වෙනස්ම විදිහට ඉවර කරලා පොඩ්ඩි. කෙනෙක්ට ටිකක් හිතන්ට ඉඩ ඇරලා ලියල තීන්නේ...ඒ විදිහට මාත් කැමති!
    ම්ම් මට හිතුනේ ජයේ සුභා ව බැඳලා නෑ කියල. සරෝ වම බැන්දද නැද්ද කියන්ට අමාරු උනත් මට හිතෙනවා සරෝ තමා බැන්දේ කියල.

    ReplyDelete
    Replies
    1. පොඩ්ඩි කියන කතාවේ හැටිය ජයේ සුබාව බැන්දේ නෑ. බඳින්නේ සරෝව. ඒ දෙන්නාගේ ලමයි තමා ආයම කවදා හරි හම්බ වෙලා තියෙන්නේ.

      එයාලගේ දෙමව්පියන්ට බැරි උනත්, මේ දෙන්නා නම් කවදා හරි ආදරෙන් ජය ගනීවි. පරම්පරා දෙකක කතාවක් ඒ විදියට එකතු කලා.

      ඒ ලමයා පොඩ්ඩි නම් කරන්නේ සුනෙත්ව කොහොම හරි බැඳගන්න එක...:D

      Delete
  3. මම නම් අදමයි අවෙ කතව නම් ලස්ස්නයි හිතට අල්ලුවා ඉතිරියත් කියවන්නම්... ජය,,,,

    ReplyDelete
    Replies
    1. මුල ඉඳන්ම කියවන්ට. නැත්නම් ටිකක් පැටලෙයි. අනෙක කතාව එක, එක්කෙනා ගෙනියන්නේ තමන්ට ඕනි පැතිවලට කියලා තේරුම් ගියාද? :D

      Delete
  4. සමහර කොටස් කියවලා තිබුණේ නැති නිසා මතකය අලුත් කරගන්න මුල ඉඳන් කියවන්න උනා... මේ දාලා තියෙන විදියට අන්දර මල්දම ගොතන්නේ නියම මල් කාරයෝ, මල් කාරියෝ ටිකක් හින්දා වැඩේ ලස්සනට යාවි ... :) මගින් නවත්තන්නේ නැතුව දිගටම ලියන්න... සුභපැතුම්..!

    ReplyDelete
    Replies
    1. අනෙක් මල්කාරයෝ මල්කාරියෝ වගේ දක්ෂ නෑ පොඩ්ඩි කියලා හිතෙනවා ඇති. එයාලා ලියලා තියන රස වෑහෙන කතා අතරේ පොඩ්ඩි ගොඩ නගලා තියෙන්නේ එයාගේ චරිතය...:D

      //සායම් ගිය ඩෙනිමක්, පොඩිවී ගිය නිල් කොටු කමිසයක් හැඳ සිටි ඔහුගේ අවුල්වූ කෙස් කළඹ ගෙල මුල දක්වා වැවී තිබුනා. දින දෙක තුනකින් නොකැපූ රවුල මුහුනට එක්කලේ රලු පෙනුමක්. ' Wow ' ආන්යා හිතුවා.//
      මේ තියෙන්නේ පොඩ්ඩි හිතන හැටි.:)))

      බීට්ල්ට ගොඩක් ස්තූතියි ඇවිත් කමෙන්ට් කලාට.

      Delete
  5. කතාවේ අන්තිම කොටස හැර ඉතුරු ඔක්කොම තේරුනා, ඒත් අන්තිම කොටසෙන් මම ගොඩක් හිර වුනා. ඒ කියන්නේ තේරෙන්නේ නැතුව ගියා.

    ReplyDelete
    Replies
    1. තේරුනේ නැද්ද හී හී...

      නොකීව කතාව මේකයි. සිරී, සුබාව අරගෙන පිටරට යනවා. එයාලගේ දුව තමා ආන්යා. ජයේ , සරෝව බඳිනවා. එයාලගේ පුතා තමා සුනෙත්. ආන්යා ගමට ආපු වෙලාවක සුනෙත්ව දැකලා අලුත් ආදර කතාවක් පටන් ගන්නවා. එයාලගේ දෙමව්පියන් ආදරෙන් පැරදුනාට මේ දෙන්නට නම් එහෙම වෙන එකක් නෑ. ගොඩක් ඒවා මවාගන්ට දීලයි කතාව ඉතුරු කලේ.

      නැත්නම් සුබාට දරුවෙක් ලැබෙන්ට ඉන්නවා...සියල්ලෝ සතුටින් විසිර ගියා කියලා ලියන්ටත් තිබුනා.ඔහොම ලීවේ කියවන එක්කෙනාට කැමති දෙයක් හිතාගන්ට ඇරලා.

      දැන් ආපහු කියවලා බලන්ට...:D

      Delete
  6. අනේ මන්දා, මුල් කොටස් වලට නොගැලපෙන ගතියක් මේ අවසාන කොටසේ තියෙනවා වගෙයි මට නම්. කතාවේ ලස්සන තියා ගෙන මුලට ගැලපෙන විදියට අවසාන උනා නම් මීට වඩා ලස්සනයි. කොහොම උනත් ඔයාලා හැමෝම එකතු වෙලා ගොතන මේ මල්දමට මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
  7. කතාව කියවගෙන කියවගෙන යද්දි පොඩ්ඩි කොහොම ලියල ඇද්ද කියල හිතුනා. මොකද හැම කෙනාම එක එක්කෙනාගෙ චරිත ඇසුරැ කරගෙන ලියද්දි පොඩ්ඩිට චරිතයක් ඉතුරැ නොවුන හින්ද? ඒත් මං හිතුවෙ පොඩ්ඩි පොඩ්ඩිගෙම චරිතයෙන් කතාව ඉවර කරයි කියලා. අපි හිතන දේම කතාවක වෙනවනන් ඒකත් වැඩක් නෑනෙ නේද? කතාවට පොඩ්ඩි එකතු කරපු චරිතෙ කතාව වෙන පැත්තකට ගෙනිච්චත් හොදම විදහ ඒකයි කියල හිතෙනව.

    එක හුස්මට කියෙව්ව නියමයි....

    ReplyDelete