,., |
ආ.......................හ්!!!!
එකපාරටම ඇහුනු වෙඩි සද්දෙත් එක්ක නැගුණු මර හඬ විජිත්ගෙ කන්වල දෝංකාර දුන්න..
ඒ හඬ තත්පර ගාණකට කලින් තමන් එක්ක කතා කරපු මනුස්සයගෙ බවට විජිත්ට සැකයත් තිබුණෙ නෑ...
අනේ මොකද්ද විජිත් මේ වෙන්නෙ?
කාමරේ මුල්ලක හිර වෙලා ඉඳගෙන විජිත්ගෙ පපුවට තුරුලුවෙලා මුවැත්තියක් වගේ ගෙවුණ ඒ මිනිත්තු දෙක අවසන සහේලි පියවි සිහියට ආව...
ෂ්... ෂ්..... සද්ද කරන්ඩ එපා සහේලි... විජිත් රහස් හඬින් කිව්ව...
වෙඩි සද්දෙන් පස්සෙ අගුලු වැටිල තිබුණ කන් නිදහස් වුණාට පස්සෙ අර බර අඩි එහෙ මෙහෙ දුවන සද්දෙටත් සහේලි තව තව විජිත්ට තුරුල් වුණා....
හරි ඌ ඉවරයි බොස්!!! කවුරු හරි කියනව ඇහුණ
මට හොඳටම ෂුවර් මෙතන බෝල සමරෙ විතරක් නෙවෙයි තව කට්ටිය හිටිය... දෙකක් නෑ... අර පත්තරේ කැමරා කාරයයි කෙල්ලයි...
සහේලි විජිත් දිහා බලල ඇස් තදින් පියාගත්ත...
එක පාරටම යමක් මතක් වෙච්ච විජිත් එක අතක් නිදහස් කරන් හෙමින් සැරේ ජංගමය අරන් අංකයක් එබුව
පද්මෙ... වැඩි වෙලා නෑ.... මට ඉක්මනට කියන්ඩ ඩග්ලස් හේවගේ කියන්නෙ කවුද??
විජිත් රහස් හඬින් දුරකථනයෙන් ඇහුව
එහා පැත්තෙන් උත්තර දුන්නු පද්මෙ කිව්ව දේට විජිත්ගෙ ඇස් උඩ ඉන්දුන හැටි සහේලි බලන් හිටියෙ යන අතක් හොයාගන්ඩ බැරුව අතරමං වෙච්ච හිතෙන්....
විජිත්ට ජංගමය සාක්කුවට දාගන්ඩ ලැබුණෙ නෑ!!!
දඩාස් !!
දොරට වැදුණු පා පහරත් එක්කම ඇරුණු දොරින් තුවක්කු මානාගෙන කලු ඇඳි ඇස් බැඳගත් වුන් පොදියක් සහේලියි විජිතුයි හිටිය කාමරේට වැදුණ...
.......................................................................................
හ්ම් හ්ම්..................පලයල්ල ඇතුලට....
සහේලිවයි විජිත්වයි කොහේ දෝ ඇතුලකට තල්ලු වුණා!!!
මේ වෙනකල් බැඳල තිබුණු ඇස්වල බැමි නිදහස් වුණත් ඇස් ඇරල කාමරේ දිහා බලන්ඩ සහේලිට බැරි වුණා...
නලලට අතක් තියල ආලෝකයෙන් ඇස් මුවා කරගත්තු ඈ හෙමින් සැරේ වටපිට බැලුව
විජිත් තාමත් අල්ලගෙන ආව විදියටමයි...
කීපදෙනෙක් ගිනි අවි මානාගෙන වටේට!!
එයත් හිටියෙ ඇස් අරින්ඩ අසාර්ථක උත්සාහයක යෙදෙමින්
හහ් හහ් හා... මෙයාද මේ මහ ලොකු පත්තර වාර්තාකාරිණිය??
සහේලී ඒ සමච්චල් හඬ ඇහිච්ච දිහා බැලුව
සුදු ඇඳගත්ත මූණ වැහෙන තරමට ලොකු කලු කණ්නාඩි දාගත්තු කෙට්ටු බොකුටු කෙස් තියෙන මිනිහෙක් සහේලි ඉදිරිපිට මේසෙට හේත්තු වෙලා හිටිය...
ඇයි අපිට මෙහෙම කරන්නෙ?? ඇයි ඔහේල අපි පස්සෙ පන්නන්නෙ???
සහේලි හඬ අවදි කළා...
හෙහ් හෙහ් හෙහ් තමුන් කරල තියෙන දේ බරපතලකම තමුන් දන්නෙ නෑ නේද?? දැක්ක නේද තමුන්ගෙ ඇස් ඉදිරිපිටම අපි කියන දේ තුට්ටුවකට මායිං නොකරපු බෝල සමරෙට වෙච්ච දේ??
තුවක්කුව මානගෛන සහේලි දිහා බලාගෙන හඬ අවදිකරපු දැවැන්ත මනුස්සයව අත ඔසවා නිහඬ කරපු කණ්නාඩි කාරයා අඩි දෙකක් ඉදිරියට ආව....
මට කොලේ වහන්ඩ එන්ඩ එපා තමුසෙල... මාව තම්බන්ඩ තමුසෙල ලඟ තියෙන ලුණුගොරක මදි ඕයි.......
ඔය කියන තරං අහිංසක නං තමුසෙල මොකටද බෝල සමරෙව හම්බ වුනේ???
කවුද කෙනෙක් කතා කරල කිව්ව ඒ ගොඩනැගිල්ලට එන්ඩ කියල යමක් කියන්ඩ තියෙනව කියල.... පත්තර වාර්තාකාරයො විදියට අපි ඒවගේ හෝඩුවාවල් පස්සේ එනව....ඒක සාමාන්‍ය දෙයක්
ඒ විජිත්
ආ.... හැබෑට.. කියමු බලන්ඩ තමුන් දැනගත්ත දේවල් එහෙනං දැන්???
අපි දන්නෙ නෑ...ඒ මනුස්සය එක්ක කතා කරන්ඩ අපිට ලැබුණෙ නෑ....ඔහේල ඇයි අපිට කරදර කරන්නෙ???
හහ් හහ්.. තා.....ම කරදර වුනේ නෑ.... තා....ම කරදර වෙන්ඩ පටං ගත්තෙවත් නෑ........හැබැයි රජෝ අපිට අවශ්‍ය දේ නොලැබුණොත් නං ඉතිං සෑ.......හෙන්ඩ කරදර වෙන්ඩ වෙයි.....
සර්.......... කෝල් එකක්!!!
මරුමුස් පාට හීන්දෑරි මිනිහෙක් දුරකථනය අරන් ආව
ඔවු ඇමති තුමා සිකුරා කතා කරන්නෙ
..................................
ඔවු ඔවු ඔවු දෙන්නම දැන් අපි ලඟ ඉන්නව...
......................................................
තාම නෑ ඇමතිතුමා... මං වැඩේ ඉවරයක් කරලම කෝල් එකක් දෙන්නංකො....
........................................
හරි හරි හරි.... දන්නවනෙ ඉතිං සිකුර වැඩක් කළොත්....
..................................
දුරකථනය විසන්ධි වුණා
හ්ම්!! හරි.. ඉඳගමු බලන්ඩ දෙන්නම දැන්... අපිට තියෙනව කතාවක්!!!
සිකුරගෙ සගයො බලෙන්ම විජිත්වයි සහේලිවයි සිකුර ඉස්සරහ පුටුවල ඉන්දෙව්ව
දැන් මට කියමු බලන්ඩ පහුගිය සතියෙ තමුන් බලවර්ධන ඇමතිතුමාගෙ ඉන්ටවිව් එක වෙලාවෙ ගත්තු ෆොටෝ කොහෙද කියල??
ඒව ඉල්ලන්ඩ ඔහේ කවුද?? විජිත්ගෙ හඬ උස්ව ඇහුණ
ඉදිරියෙන් හිටිය අවිගත් මිනිහා තුවක්කුව විජිත්ගෙ කම්මුලට තියල තද කළා!!
සහේලි ඇස් දෙක තදින් පියාගත්ත!!
අනේ දෙයියනේ... මේ මොන හෙණ ගෙඩියක්ද පාත් වුණේ!!!!
මෙන්න සර් බඩු!!!.
අර ඔත්තුකාරයට පෙන්නන්ඩ අවශ්‍ය වුණොත් කියල ප්‍රින්ට් කරල අරන් ආව ෆොටෝදෙක මිනිහගෙ අතේ.....
කෝ මෙහෙ දෙනව....
සිකුර ඒ ෆොටෝ දෙක අරන් ... ඒ දිහා ටිකක් වෙලා බලන් ඉඳල විජිතුයි සහේලියි දිහා මාරුවෙන් මාරුවට බලමින් ඒව කීතු කීතු වෙන්ඩ ඉරුව.............
විජිත් ලඟින් තුවක්කුව අරන් ඈත් වෙන්ඩ කියල අර මිනිහට සන් කළා....
මේ... මහත්තයා.... සිකුරත් එක්ක සෙල්ලං කරන්ඩ නං ලෑස්ති වෙන්ඩ එපා.......මේක ගොඩිං බේරගන්නවද නැත්තං බොහොම දුර ගෙනහිල්ල අර බෝල සමරෙ ට වෙච්ච දේම කරගන්ඩ ඕනෙද??
විජිත්ට එක පාරටම යමක් මතක් වුණා!!!!!
මහත්තය, ඔය බලවර්ධන ඇමතිතුමාගෙ මැර කල්ලිය මෙහෙයවන්නෙ සිකුරාජපති....ඔය මං දැං කිව්ව මනුස්සයත් කාලයක් මිනිහට වැඩ කරල දැන් ඈත් වෙලා බිස්නස් එකක් කරගෙන ඉන්න හාදයෙක්....මං බොහොම යාප්පුවෙන් තමා කැමති කරවගත්තෙ මේ වැඩේට.....
සහේලි එක්ක මේ හෝඩුවාව පාරෙ එන්ඩ කලින් පද්මෙ කතා කරල කිව්වෙ එහෙමයි...
ඒ කියන්නෙ මේ සිකුර තමයි සිකුරාජපති.......
මේ බොක්ස් එක ඇතුලෙ කැමරාවෙ තියෙන චිප් එකට අමතරව තව චිප් දෙකක් තියෙනව සර්!!!
හරි ගන්නව බලන්ඩ මෙහාට... අපි කොණක ඉඳල චෙක් කරමුකො....
සිකුරා කැමරාව අරන් මතක චිපයේ තිබුණු ඡායාරූප පරීක්ෂා කරන්ඩ පටං ගත්ත...
මං ඒ පින්තූර ටික මකල දැම්ම.... ටෙලිෆෝන් කෝල්ස් එන්ඩ ගත්තට පස්සෙ....
හ්ම් .... ඒකත් එහෙමද?? කමක් නෑ අපිම බලන්නංකො මකලද නැද්ද කියල....
නැවතත් සිකුරගෙ සමච්චල් හිනාව කාමරේ පුරාම දෝංකාර දුන්න
යාබද පුටුවෙ ඉඳගෙන තමන්ගෙ මූණ දිහා බලන් ඉන්න සහේලි දිහා බැලුව විජිත් හෙමින් සැරේ පුටු ඇන්ද මත තිබුණු ඇගේ අත අල්ලගත්ත..
විජිත් කැමරාවෙ තිබුණු ෆොටෝ ටික මැකුව කියල කිව්ව ඈට මතක තිබුණ....
ගත්ත කිව්ව කොපීස් දෙක වෙන්ඩ ඇති මේ ඉරල දැම්මෙ....ෂික් අපරාදෙ....හැබැයි.. විජිත් කිව්ව නේද ඔෆිස් එකේ සොෆ්ට් කොපි එකක් තියෙනව කියල...
මැරයන්ගෙන් ලද පහරවලින් තුවාලවෙච්ච විජිත් ගෙ නළලෙන් තාමත් ලේ ගලනව දැක්ක සහේලිගෙ හිත ඇතුලෙන් මහා වේදනාවක් පුපුරු ගහන්ඩ වුණා...කලු ඇඳගෙන මාර සේනාව වගේ ඇතුලට කඩාගෙන වැදුණු මිනිස්සු විජිත්වත් තමන්වත් එළියට ඇදගෙන ආහැටි....තුවක්කු බඳකින් විජිත්ට ගහද්දි සහේලි කෑගහපු හැටි,
අනේ පවු!!! මේ දේවල්වලට මාත් වගකියන්ඩ ඕනෙ.... ඒත් කවුද දන්නෙ මේ වගේ දරුණු අත්දැකීමකට මුහුණදෙන්ඩ වෙයි කියල..... යකාට බය නං සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ නෙ කියල පණ්ඩිතකමට විජිත් එක්ක කට මැත දෙඩෙව්වට..... විජිත් වුණත් හිතන්ඩ නෑනෙ මේ තරම් දෙයක්!! ඒ අතරේ විජිත් තමන් තුරුලට අරන් හිටි හැටි.... හෙමින් සැරේ පහත් වෙලා නළල සිපගත්තු හැටි මතක් වෙලා හදිස්සියෙම සහේලිට තමන්ගෙ නළල අතගෑවුණා....ඈට හොරෙන්ම විජිත් දිහා බැලුණ....
විජිත් බර කල්පනාවක!!
මොනව හිතනවද මන්ද මමත්.... මේ වෙච්ච දේවල් අස්සෙ....
ඊලඟ මොහොතෙ පියවි සිහියට ආව ඈට ඈ එක්කම තරහ ගියා!!!
හ්ම්...... මේවගෙ ඒ ෆොටෝ නෑ............දැං කියමු බලන්ඩ අපි කොහොමද විස්වාස කරන්නෙ තමුන් ලඟ මේ තියෙන චිප් විතරමයි තියෙන්නෙ කියල.....?? ආහ්?
සහේලිත් විජිතුත් ගැස්සිලා තමන්ගෙ කල්පනා ලෝකෙන් මිදුනෙ සිකුරගෙ ගෝරනාඩුවට...
කතා නෑ නේද.......?? හොඳයි ඒකටත් මංම විසඳුමක් යොදන්නංකො.....
සිකුරා තමන්ගෙ සගයන් දිහාට හැරුණ
යනව ලක්සරණ පත්තර කන්තෝරුවට.... ගිහිල්ල දල්ලා හම්බ වෙනව.... මං දල්ලට කියල ඇති කරන්ඩ ඕනේ දේ කලින්ම..... වැඩේ කරල නැත්තං ඒක ඉක්මං කරවන හැටි මං කියල දෙන්ඩ ඕනෙ නෑනෙ??
හ්ම්!!! අපේ ඔෆිස් එකෙත් එතකොට මේ මිනිහට උදව් කාරයො ඉන්නව!!!! ගැලවිල්ලක් නැති වෙන හැඩයි...
විජිත්ගෙ හිත කීරි ගැහුණ... ඔෆිස් එකේ තියෙන ඩිජිටල් කොපි එක මතක් වෙලා
ඇත්ත කියන එක නුවණට හුරුයි.....!!!
ඒ ෆොටෝස්වල කොපි එකක් ඔෆිස් එකේ මගෙ කම්පියුටරේ තියෙනව....
විජිත් කිව්වම සහේලි විජිත් දිහා බැලුවෙ ඇස් උඩ ඉන්දන්!!! මේ මිනිහට මේ මොකක් වෙලාද කියල තමයි ඒ බැල්ම කිව්වෙ
හහ් හහ් හහ් හහ් හහ් හහ්..... සිකුරට හිනාව නවත්තගන්ඩ බැරි වුණා....ඒ හිනාවට වටේ තුවක්කු මානගෙන හිටිය දෙතුන් දෙනත් එකතු වුණා...
ඔය කතා කරන්නෙ.....
දැන් මං කිව්වනෙ ඒව තියෙන තැන......කරුණාකරල අපිට යන්ඩ දෙන්ඩ.... මේ ළමයගෙ ගෙවල්වලින් දැන් කළබල වෙලා හොයනවත් ඇති...
පොඩ්ඩක් ඉන්නව මහත්තය.... එහෙම තමුසෙ කියන කියන වෙලාවට රිලීස් කරන්ඩ පුලුවන් මිනිස්සු ජාතියක් නෙවෙයි තමුසෙල.... දැන් මේ දැරිවි තනියම ඔහේ එක්ක අර පාලු ගබඩාව ලඟට ආවෙ ගෙදරින් අහල නෙවෙයි නෙ.... ඒ තමුසෙලගෙ රස්සාවෙ හැටි...අනික අපි දන්නවද තමුසෙල රස්සාවට කියල ඔය ඔත්තු හම්බ වෙන හැමතැනම යන එකේ මොනව කරනවද කියල ඔය ගියාම... ආ? ඒ හන්ද ගෙවල්වලින් අමුතුවෙන් බය වෙන්ඩ දෙයක් නෑ නේ.....!!!
දෙයියනේ මේ මිනිහ කියන කැත කතා.... සහේලිගෙ ඇස් දෙකෙන් ගින්දර පිට වුණා..... විජිත් දත් මිටි කමින් ඉවසන් හිටියෙ වෙලාවෙ හැටියට වෙන කළ හැකි යමක් නොතිබුණ හන්දයි....
දෙයියනේ මේ මිනිහ කියන කැත කතා.... සහේලිගෙ ඇස් දෙකෙන් ගින්දර පිට වුණා..... විජිත් දත් මිටි කමින් ඉවසන් හිටියෙ වෙලාවෙ හැටියට වෙන කළ හැකි යමක් නොතිබුණ හන්දයි....
ජංගමය නාද වුණා.....
කියනව....
හ්ම්....! ලෑස්ති කරනවල ගෙනියන්ඩ
ටික වෙලාවකට පස්සෙ සිකුරගෙ අණින් වටේ හිටිය කට්ටිය එකතු වෙලා නැවතත් සහේලිගෙයි විජිත්ගෙයි අත් බැඳල දැම්ම.....
දෙයියනේ මොනව වෙන්ඩද මේ යන්නෙ.... අනේ මගෙ අහිංසක අම්ම....!!!!
සහේලිගෙ ඇස්වලින් කඳුලු ගලාගෙන ආව.....
අඬන්ඩ දෙයක් නෑ........තමුන් දන්නවනෙ දැන්!!! තමුන් අත ගහල තියෙන වැඩේ බරපතල කම.... ඒක තේරෙනව නං, ඒකෙන් තමුන්ට වෙන්ඩ පුලුවන් දේවලුත් වැටහෙන්ඩ එපැයි......
තමන්ගෙ ජංගමය තමන්ගෙ අතේ මිට මෙලවෙනව විජිත්ට දැණුන....
පිටට තැබුණ අත් දෙකකින් තල්ලුවුණ සහේලියි විජිතුයි විසි වෙමින් ඉදිරියට ඇදුණ
..........................................................................................
බරාස්!!!!
වෑන් රිය තිරිංග තද වුණේ මහ හඬින්
කඩිමුඩියෙ ඇස් බැමි, අත් බැමි ලෙහුණ.....
සහේලිත් විජිතුත් එළියට තල්ලු වුණා.... වැටිච්ච වේගෙට සහේලි බිම ඉන්දවුණා.....
සහේලිගෙ හෑන්ඩ් බෑග් එකයි, විජිත්ගෙ කැමරා ආම්පන්න බෑග් එකයි එලියට විසි කරපු වෑන් රිය ඉවතට ඇදුනෙත් දොර මහ හඬින් වැහුණෙත් එකටම වාගෙ
සහේලි... ඔයාට තුවාලද??
සිහිඑලවාගත්තු මොහොතෙ විජිත් නැගිටගන්ඩ බැරුව ඉන්න සහේලිට නැගිටින්ඩ වාරු දුන්න....
හරි මට ලොකු අමාරුවක් නෑ..... අර බෑග් දෙක අහුලගන්ඩ....
ශික්.... මගේ කැමරාව ඉවර ඇති!!!
විජිත් හෑන්ඩ් බෑග් එක සහේලිට දෙන ගමන් කිව්ව....
බලන්ඩ බලන්ඩ... මොකද වෙලා තියෙන්නෙ කියල....
හම්මේ!!! අපි දෙන්නගෙ මාරකයක් පැන්නද කොහෙද ...!!! මේ .... ඒව බල බල ඉන්ඩ වෙලාවක් නෑ. සහේලි .. ඉක්මනට මේ යන ත්‍රීවීල් එකක නගිමු.... වැඩි වෙලා ඉන්ඩ හොඳ නෑ මෙතන
දොළහ හමාරයි....
අනේ විජිත් ආන්ටිගෙන් කෝල් විසි තුනක්!!!!! ආන්ටි හොඳටම බය වෙලා ඇති... පොලීසියට කියලද දන්නෙත් නෑ.... බැනුං අහන්ඩත් වෙයි හොඳටෝම.....අම්මට නං මං කතා කළානෙ ඔෆිස් එකෙන් එන්ඩ කිට්ටුව...දැන්වත් ආන්ටිට කෝල් එකක් දෙන්ඩ ඕනෙ....
ඒ අස්සෙ ජංගමය එලියට ඇදල බලපු සහේලිට දෙලොව රත් වුණා
දැන් එපා සහේලි... අපි වෙන දෙයක් වෙන්ඩ කියල කෙලින්ම එහෙට යමු... ආන්ටි මොනව හරි කිව්වොත් මං හරි ඇවිත් කියන්නං හදිස්සියෙ මිනිස්ට්‍රියක මීටිමක් කවර් කරන්ඩ වුණා අපි දෙන්නට... කෝල් එකක්වක් දෙන්ඩ විදියක් තිබුණෙ නෑ ෆෝන් ඕෆ් කරල සෙකියුරිටි ලඟ තියල යන්ඩ වුණා කියල... එතකොට හරි නෙ...
එහෙම කියල විජිත් ඇදල යන ත්‍රීවීල් එකකට අත දැම්ම....දෙන්නටම සැනසිල්ලෙ හුස්මක් වැටුණෙ ඒකෙ ඉඳගත්තමයි
චෙක් අපරාදෙ........ඇයි සර් අරුන්ට යන්ඩ දුන්නෙ......දැන් උන් ඔය ඉස්ටෝරිය පත්තරේ දැම්මොත් ඒම අපිට ලොවෙත් ඉන්ඩ වෙන්නෙ නෑ නෙ....
හෙහ් හෙහ්.....උඹලට තේරෙන්නෙ නෑ... උන් දෙන්නගෙ මූණු දැක්කෙ නැද්ද?
ඇස් පණාපිටම තමන්ට තොරතුරු දෙන්ඩ ආව මිනිහ මැරිල වැටිල ඉන්නව දැක්කට පස්සෙ උන්ට ඕක පත්තරේ දාන්ඩ හිතේ හයියක් හිටින්නෙ නෑ....
අනිවාර්යයෙන්ම උන් දෙන්නගෙ මොකක් හරි ලව් සීන් එකකුත් තියෙනව... එහෙම තියෙද්දි කොල්ල ලඟ තව කොපි තිබුනත් කීයටවත් ඕක පබ්ලිෂ් කරල අවදානමක් ගන්නෙ නෑ......
අනික අර කෙල්ලගෙ ගෙදරින් පොලිසියට එහෙම නිකං හරි කිව්ව නං ඒකත් කරදරයක්
වෙනව...මේවගේ වැඩ කරද්දි තුවක්කු ඉස්සර කරගෙන බෑ... මොලේ පාවිච්චි කරන්ඩ ඕනෙ... මොලේ... මොලේ.....
හා හා.. ඔන්න ඔය ගන්නව ඇමති තුමාට කොල් එකක්....යාන්තං ඒ හිසරදේත් ඉවරයි
විජිත්, ඔයා පරිස්සමෙන් ගියා නේද??
ඔවු සහේලි.... කෑවද??
කෑව....ඔයා??
මගින් නවත්තල කොත්තුවක් අරන් ආව....කන්ඩ පිරියක් නෑ... අත ගාල අතගාල කටක් දෙකක් කාල ඩස්බින් දැම්ම. ඒක නෙවෙයි ආන්ටි මොනවත් ඇහුවෙ නැද්ද??
නෑ ....මට පුදුමයි විජිත්... ආන්ටි කිසිදෙයක් ඇහුවෙත් නෑ....මුලදි නං මූණ කොරහක් විතර වෙලා හිටියෙ... පස්සෙ මං කිව්ව අර ඔයා කියපු විදියටම කතාව... මිනිස්ට්‍රි එකේ රෑ වෙනකල් මීටිමක් තිබුණ කියල.... ඒ පාර සද්ද නැතුව ඉඳල දැන් මහන්සිත් ඇතිනෙ......වොෂ් එකක්දාගෙන කෑම කන්ඩ කිව්ව
හ්ම්!!! යන්තං ඇති... මං බයේ හිටියෙ... මේ අස්සෙ ඔයාව බෝඩිමෙනුත් එළියට දායි කියල...
නෑ.. එහෙම අවුලක් නෑ.... ඔයාගෙ නළලෙ තුවාලෙ රිදෙනවද??
ඔවු ටිකක් ඇදුං කනව.....
හ්ම්!!!!
දුක් වෙන්ඩ එපා සහේලි ඒක ඇරිල යයි.....
ආ මං මොකටද දුක්වෙන්නෙ?? මං මොකද කියල ඇහුව විතරයි.... මට ඔයා එක්ක පුදුම තරහයි විජිත්... බලන්ඩ ඔයා අර කොපීස් දෙකමත් අද දාගෙන ඇවිල්ල... ඒක අර මිනිස්සුන්ට අහු වුණා... ඒ මදිවට ඔෆිස් එකේ තිබුණ කොපි එක ගැනත් ඔයා කිව්වනෙ..... දැන් ඒකත් ඩිලීට් කරන්ඩ ඇති අර මිනිස්සු.....ශික්!!!!ඔයා නං හරිම කෙයාලස් පිරිමියෙක් විජිත්.... අපරාදෙ....දැ
සහේලි, මේ අහන්ඩ... මම කෙයාලස් පිරිමියෙක් කිව්ව නෙ ඔයා දැන්... ඔයා ඔය වගකීමෙන් කරන ප්‍රකාශයක් නෙවෙයි, දැන් මේ සිද්ධිය ගැන හෝ ඒකෙ බරපතලකම ගැන හරි හැටි දන්නෙ නැති නිසා කරන ප්‍රකාශයක් කියල දන්න නිසා මං තරහ ගන්නෙ නෑ ඔයා එක්ක..
ඒත් පොඩ්ඩක් මටත් ඇහුම් කන් දෙන්ඩ...
ඉතින් කියන්ඩ.....
සහේලි, මතකනෙ අර කාමරේ හිරවෙලා ඉන්න අතරේමං පද්මෙට කතා කරල ඇරහුව අර ඩග්ලස් හේවගේ කවුද කියල....
ඔවු....
ඒ කවුද දන්නවද?? මිනිහව ෆීල්ඩ් එකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ බෝවල ඩගී කියල. ඒ ඇවිල්ල ලංකාවෙ අංක එකේ මත්කුඩු ජාවාරම්කාරය... අන්න ඒකයි පද්මෙ මට ඒ වෙලාවෙ කිව්වෙ.....දැන් පද්මෙගෙ ජීවිතේ පවා අනතුරේ...මට එතකොටයි තේරුණේ අහම්බෙන් අපි ගත්තු ෆොටෝවල මේ හැටි වටිනාකම මොකද්ද කියල...අපි ඔය ෆොටෝස් ඉරිද පබ්ලිෂ් කළා නං මිනිස්ටර් බලවර්ධන බලයෙ ඉඳල ඉවරයි!!! ඔය සිකුර කියන්නෙ මිනිස්ටර් බලවර්ධනගෙ සේරම මැර වැඩ මෙහෙයවන සිකුරාජපති කියන මිනිහ.... ඔයාට තේරෙනවද?? අපි මේ කරන්නෙ මහ අවදානම් වැඩක්... ඒ සේරම දැනගෙන තවත් සෙල්ලං කරන්ඩ බෑ අපිට....
හ්ම්... අයි ඈම් සෝ සොරී.. විජිත්........මං ඔයාට රූඩ් විදියට කතා කළාට.. මට දැනුයි තේරෙන්නෙ... අපි අතගහපු වැඩේ බරපතලකම.... හ්ම්.. අම්මේ... ඒ ගැන හිතද්දිත් මාව ගැහෙනව වගේ!!!!
සහේලි, ඒ වෙලාවෙ මං ඒ ඩිජිටල් කොපි එක ගැන කිව්වෙ.. මට මගේ ජීවිතේ ගැන ගත්තත් ඔයාගෙ ජීවිතේ ගැන අවදානමක් ගන්ඩ බැරි හන්දයි......මොන දේටත් වඩා මම ඒ වෙලාවෙ ඔයාව ආරක්ෂා කරගන්ඩ ඕනෙනෙ....
අහම්..... අහම්...
සහේලිට කැස්සකුත් ආව එකපාරටම විජිත් කියපු දේට....
හ්ම්...!!! සහේලි මොනවත් නොවුණ වගේ රඟපාල කතාකළාට.. අහම්බෙන් විජිත් නළල සිපගත්තු ඒ නිමේෂය ආයෙමත් ඇගේ මුවගට සිනාවක් එක්කළා.....
හොඳ වෙලාවට මොබයිල් එකෙන් විජිත්ට මගෙ මූණ පෙන්නෙ නැත්තෙ... ඈට හිතුණ....
සහේලි...අපිට තියෙන තර්ජන බලපෑම් එක්ක අපි මේ වෙලාවෙ කිසිම විදියකින් මේ වෙච්ච දේවල් කිසිම කෙනෙක්ට හෙලි කරන එක හොඳ නෑ, දැන් අපි දන්නවනෙ... අපේ ඔෆිස් එකේ පවා ඒ මිනිස්සුන්ගෙ උදව්කාරයො ඉන්නව කියල...
ඔවු.. විජිත් අපි පරිස්සං වෙන්ඩ ඕනෙ තමයි!! ඒත් මේ අසාධාරණ වැඩ තවත් ඉවසන්ඩ පුලුවන්ද විජිත්...මිනිහෙක් අමු අමුවෙ මරල දාන එක උන්ට කිරි කජු කන්න වගේ!!!
හ්ම්!!! ඔයා හරි.....අද පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නං අපි දෙන්නටත් ඒ ඉරණමම තමයි සහේලි... මොකද්දෝ වාසනාවක් තිබුණ හන්ද තමයි ඔයයි මායි අද මේ මෙහෙම කතා කරන්ඩ ඉතුරු වෙලා ඉන්නෙ
ඒ වුණාට.. මේව එහෙම ලේසියෙන් අතාරින්ඩ පුලුවන් දේවල් ද විජිත්?? ඇයි ඔයාට තේරෙන්නෙ නැත්තෙ.. මේ ලොකු මිනිස්සු මේ රට හූරගෙන කන්ඩ ඕනෙ කමට ලං කරන් ඉන්න ජාවාරං කාරයො ගැන අපි හෙලි කළේ නැත්තං වෙන කවුද මේව රටට කියන්නෙ?
මං නං කියන්නෙ විජිත් අඩු ගානෙ අපි ෆොටෝ නැතත් ඒ ගැන පත්තරෙන් ඉඟියක් හරි දෙන්ඩ ඕනෙ රටට
සහේලි.............
ඇයි විජිත්...
සහේලි, මේ අහන්ඩ................
දැන් මේවෙලාවෙ ඔයා ඔය ආටිකල් එක ලියල දැම්මොත්... අපි දෙන්නටම වෙන්නෙ අර බෝල සමරෙ කියන අපි නන්නාඳුනන මනුස්සයට වෙච්ච දේමයි.....මිනිස්ටර් බලවර්ධනට තියෙන හයිය ඔයා දන්නවනෙ... බලවර්ධනයි බෝවල ඩගියි අතරෙ තියෙන සම්බන්ධකං ගැන හෙලි කරන්ඩ ගිහින් මට ඔයාව නැති කරගන්ඩ බෑ සහේලි... මොනම දෙයක් හන්දවත් මට ඔයාව නැතිකරගන්ඩ බෑ........මං දන්නව ඔයාටත් ඒක එහෙමයි.. ඔයා දැන් මං මෙහෙම කිව්වට ඒක පිලිගන්න එකක් නෑ.. ඒත් මගේ හිත දන්නව....ඒක ඔයාගෙ හිතත් දන්නව.. ප්ලීස් සහේලි තේරුංගන්ඩ....අපි කැමති වුණත්... අකමැති වුණත් .. අපිට කරන්ඩ වෙන්නෙ එක දෙයයි......
විජිත්ගෙ හඩට පරාජිත ස්වරයක් ගැබ් වෙලා තිබුණ කියල සහේලිට දැණුන....
ඒ මොකද්ද විජිත්?? සහේලි ඇහෙන නෑහෙන ස්වරයෙන් ඇහුව
ඒ තමයි මේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ වගේ ඉස්සරහට යන එක.......මේක අමතක කරල දාන එක!!!
අර සිකුරාජපති කිව්ව වගේ සදහටම ..... සදහටම ඒ සිද්ධීය අමතක කරල දාන එක...
එචිචරයි.......!!!
එචිචරයි.......!!!
හ්ම්ම්.... අමතක කරලා හරියන්නේ නෑ නේද? කතාව දිග වුණත් කියවගෙන කියවගෙන ගියා... කියවන්න කියවන්න ආස හිතෙනවා.... අපූරුවට ලියලා තියෙනවා... ඊළගට මොකද වෙන්නේ?
ReplyDeleteජය වේවා ඔබට....
කෝච්චියේ කෙළවරටම ආවා. බලමු ඊළඟ කොටසත්...:D
ReplyDeleteදිග වැඩිද මන්දා.නැති නම් මට පරක්කු වෙන නිසා ද.ඒත් සම්පුර්ණ කියෙව්වා.මම දැන් දුවන්න යනවා.ඉඩක් ලැබුනොත් අපේ නිවහනටත් ගොඩ වදින්න.
ReplyDeletehttp://manasindiviyata.blogspot.com/
කතාව දිගටම කියෙව්වා. කලින් තිබුණ් අද්භූත රසය නැතිවෙලා. දේශපානයට මම ආස නැති නිසාද මන්දා කතාව ටිකක් ඒකාකාරී වෙලා වගේ. බලමුකෝ අනිත් කොටසත් කියවලා.
ReplyDelete