Friday, 16 November 2012

හාදු කුමාරයා ...04




හවස් කරේ ගෙදර පාලුවට ගිහිල්ල තිබුණ..
අම්මටයි මැණිකටයි එකතු වෙලා පිරිතෙ වැඩවලට එළියට වැඩපු පිඟන් කෝප්ප පලඟාන් ආපහු පෙට්ටගංවල අහුරන්ඩ උදව්වෙච්ච වීණා ඉස්තෝප්පුවට ඇවිත් උලුවස්සට හේත්තු වෙලා පහල පාර දිහා බලන් හිටියෙ හිස් බැල්මෙන්.

මල පාලුයි!!

වෙනද මිදුලෙ අඹ ගස් පුරා කටකමසෙයියාවක් නැතුව නාද කරන කුරුලු රෑනත් කොහෙදෝ ගිහින්!!
පිරිත ඉවර වෙලා නෑදෑයො හැමෝම විසිරුණා!! අන්තිමට ශානියි නැන්දයිත් ගියා
ගෙදර පිරිල සෙනග හිටපු සතියකට පස්සෙ ආයෙමත් සුපුරුදු ජීවිතේ!! වීණට හිතුණ
ඒත් ඒ ජීවිතේ සුපුරුදු විදියටම ගෙවෙන එකක් නෑ කියලත් ඈට ඒ මොහොතෙම හිතුණෙ නුරාධ මතක් වෙලා.
ඒ පාර ඉස්තෝප්පුව පුරාම තැන් තැන්වල නුරාධගේ රුව හොල්මන් කරන්ඩ පටන් ගත්ත!!
කොණේ ඇඳි පුටුවෙ ඉඳගෙන නුරාධ වීණ දිහා හොරෙන් බලල හිනා වුණා
නුරාධ ඉස්තෝප්පු කාමරේ දොර රෙද්ද මෑත් කරන් ඇවිත් ඈ ලඟින් ගෑවී නොගෑවී යන කොට දැනෙන සිහින් සුළං රැල්ලත් ඈට දැණුන!!!
ඒ පාර ඇස්වලට කඳුලු ගුලි දෙකක් පිරුව!! ඒ අතරින් නුරාධගෙ රූපෙ බොඳ වෙලා හේදිලා ගියා....

වීණා... තවත් නුරාධ ගැන හිත හිත  අඬන්ඩ උඹට පිස්සුද?? උඹ ඊයෙ දිව්‍යාට කියල ආවෙ මොකක්ද??

ඇගෙ හිතට අරක් ගත්ත කවුදෝ ඇගෙන් ඇහුව...

වාන් දාන්ඩ ඔන්න මෙන්න තිබුණු කඳුලු පොකුණු දෙක නවත්තන්ඩ ඈ වේගෙන් ඇසි පිය හෙලුව...
මට පිස්සු!!!!
හිතට එන දාහක් දුක් අමතක කරන්ඩත් එක්ක ඈ මිදුලට බැස්ස..
දවල් කාලෙ ඉර අවුවට රත් වෙලා තිබුණ මිදුලෙ සුදු වැල්ලෙ රස්නෙ යාන්තමට දෙපයට දැණුනම ඈට සනීපයක් දැණුන...

පොඩ්ඩියෙ මේ මොකෝ මේ  තනියම..?? කෝ අම්ම??

කොහේදෝ ගිහින් ආව අප්පච්චි ගෙට ගොඩවෙනකල්ම වීණ හිටියෙ කල්පනාවෙ....

අම්ම මැණිකත් එක්ක පිඟන් බඩු අහුරණ ගමන් හිටියෙ.....  යං අප්පච්චි ගෙට...

ටිකකට කලින් කඳුලු පිරුණු ඇස් දෙක අප්පච්චි අඳුනගනියිද කියල බයේ ඈ තොල්වලට හිනාවක් ඇඳගත්ත....
ඒ ඇස් පුංචි වෙලා වැහිල යන්ඩ....

යමු ....!!!

සුජාතා......දැන් ටවුමෙදි මට වික්‍රමයි පුතයි හම්බ වුණා...!!

අප්පච්චිට තේ එකක් අරන් බරාඳෙ දිගේ එමින් හිටිය වීණා එක තැන ගල් වුණා!!!!

හැබෑට... ඉතිං මොකද කීවෙ.....??

ඔය දෙන්නව මතක් කරන්ඩ කිව්ව......පුතණ්ඩිය ආපහු යන්ඩ කලිං ආයෙ මේ පැත්තෙ ඇවිල්ල යන්ඩ එනව කිව්වෙ

අප්පච්චි තේ එක.....!!

වීණා හිටියෙ සිහියෙන් නං නෙවෙයි!!!
කතාවට සම්බන්ධ වෙලා තව තොරතුරු දැනගන්ඩ හිතක් නොතිබ්බ ඈ අප්පච්චිට තේ කෝප්පෙ දුන්න පමාවෙන් ඈ කාමරේට වැදුණ..

හිතේ තරහක්ද දුකක්ද කියල අඳුනගන්ඩ බැරි තරං හැඟීම් පොදියක් ඇගේ හිතේ පිරිල!!!
ඒ නුරාධ ගැනද තමන් ගැනද කියලවත් දන්නෙ නෑ!!!

මොකට ආයෙ මෙහෙ එන්ඩ හදනවද මන්ද??

නොසන්දුන් හිත සන්සුන් කරගන්ඩ හිතල ඈ ලියන මේසෙ ලඟ ඉඳගත්ත...
කවියක් ලියාගන්ඩවත් බැරි තරමට හිත ඔද්දල් වෙලා තිබුණ!!
අහම්බෙන් වගේ දිනපොතට අත ගියා...
වෙනදට දවස ගානෙ දුක සැප බෙදාගන්න දිනපොත දවස් තුනහතරකින් අතටවත් ගත්තෙ නෑ නේද කියල ඈට මතක් වුණේ එතකොටයි

තටස්!!!

දිනපොත ඇතුළෙ තිබුණු හතරට නවාපු කොළයක් මේසෙ උඩට වැටුණ...
වීණාගෙ හිත අස්සෙ කොහෙදෝ නොදන්නා කොණක විදුලියක් කෙටුව....!!!
බඩේ ඉදල පපුව  දිහාට සීතල යකඩයක් ඇදගෙන යනව දැණුන
ඈ ගැහෙන දෑතින් කොළය අතට ගත්ත

ආදර වීණු...
අපි තව ටිකකින් යනවා!!! ඔයාව හැම තැනම හොයලා නැති තැනයි මේක ලියල යන්නෙ....
ඔයා කොහෙද?? ඇයි මග අරින්නෙ මාව??  මූණ බලලවත් යන්ඩ බැරි වෙයිද මට??
මට ඔයාව මුණගැහෙන්ඩ ඕනෙ වීණා... ඉක්මණින්ම. ප්ලීස්
මට කතා කරන්ඩ!!!
071*******
ආදරෙයි!! ගොඩාක් ආදරෙයි!!!
නුරාධ

ඈ කලබලෙන් වට පිට බැලුවෙ අම්මවත් කාමරේට එබෙයිද කියල....

කුරුමිණි අඬුවගේ අකුරෙන් ලියපු ලියුමෙ අන්තිම පේලියෙ දුරකථන අංකය දැක්කම වීණට හිතුණෙ කතා කරන්ඩම!!

ඒත්!!!!
දිව්‍යාට වෙච්ච පොරොන්දුව!!!!
එපා!!! ඕනෙ නෑ!! ඕනෙම නෑ!!!
බොරු කාරයො!! සැරෙන් සැරේ හිත්  වෙනස් කරන!
පාඩුවෙ ඉන්ඩ දෙන්නෙ නැතුව ආව මගෙ හිතට අරක් ගන්ඩ!!!

වීණා තරහෙන් දිනපොත වහල ලියමන ලාච්චුවෙ පරණ පැන්සල් පෙට්ටිය ඇතුළට දැම්ම...

දුව මෙන්න සචිත් කතා කරනව!!

සචිත්!! මේ වෙලාවෙ... පුටුවෙන් නැගිට්ට වීණා දුරකථනය වෙත ආවෙ පුදුමෙන්!!

හෙලො සචිත්!!

හෙලෝ වීණු... මං සචිත් නෙවෙයි... නුරාධ

ආයෙමත් පාරක් සීතල ඉරක් ඇඳුණ හිත මත්තෙ!!

හ්ම්... කියන්ඩ.... කවුරුත් ඉන්නවද ලඟපාත කියල  කලබල හොර බැල්මක් දාල හුස්මක් අරන් පාතට හෙලපු ඈට කියවුණා..
අම්මා මැහුමත් අරන් ඉස්තෝප්පුවෙ පුටුවක

මෙසේ ඇමතුවේ දින පුස්තකාභ්‍යන්තරයේ මා  තැබූ හසුන්පත කුමරියගේ හස්තප්‍රාප්ත වුණාදැයි දැනගනු පිණිසයි..!!

......................................

වීණු... ඔයා ඉන්නවද??

වෙනද නං වීණ නුරාධගෙ මේ පණ්ඩිත කතාවලට පුදුම තරම් හිනා වෙනව... මේ අමුත්ත දරාගන්ඩ බැරි වුණු නුරාධ ඇහුව
........................................

ඔවු ඉන්නව....ඒක ලැබුණ

ප්ලීස් කතා කරන්ඩ... අපි හම්බවෙන්ඩ ඕනෙ..ඇයි මට කතා නොකළෙ...??

ඒක කරන්ඩ විදියක් තිබුණෙ නෑ

ඇයි මේ ඔයාගෙ වෙනස??  මගෙන් වැරැද්දක් වත් වුණාද?? ඇයි එදා අපි එන දවසෙ පේන්ඩවත් හිටියෙ නැත්තෙ.??  මං හැම තැනම හෙව්ව...

නුරාධගෙ කට හඬින් දැනුණෙ නොයිවසිල්ලක්!! කාලයන් නොදුටු පෙම්වතී දකිනතුරු හිතේ සැනසිල්ලක් නැති පෙම්වතෙක්ගෙ පරාජිත හඩ!!

අයි ඈම් වෙරි සොරි...ඔයාගෙ ඉල්ලීම ඉෂ්ට කරන්ඩ විදියක් මට නෑ.....

මොනවද මේ කියන්නෙ ඔයා?? ඔතන කවුරු හරි ඉන්නවද?? ආ හරි හරි .අම්ම ඉන්නව නේද??


වීණු ..... හෙට හවස හතරට මං ගඟ ලඟ ඉන්නව..ප්ලීස් එන්ඩ.... .මං දන්නව ඔයා එනව!!
ඔයාගෙ හිතේ මං ගැන ආදරයක් තියෙනව නං....මගෙ ආදරේ ඔයාට දැනෙනව නං ඔයා එනව!!
මං තියනව එහෙනං....  ඔයා එනකල් මං මග බලන් ඉන්නව.... බායි....!! බුදු සරණයි!!

කිසිම දෙයක් නොකියා රීසිවරය තියපු වීණා හීනෙන් ඇවිදිනව වගේ කාමරේට ඇදිල ගියා!!!

වීණු මං දැනගත්ත ඔයා එනවයි කියල....

වීණව දැක්ක ගමන් ගඟට පාත් වෙච්ච කුඹුක් ගස් හෙවණෙ ගල් තලාවෙ ඉඳන් හිටිය  නුරාධ කෑ ගහගෙන දුවගෙන ආවෙ වීණාව බදාගන්ඩ....
ඒත් වීණගෙ වෙනසක් දැක්ක නුරාධ  ඇගෙ අත අල්ලගෙන ඉද්ද ගැහුව වගේ නතර වුණා!!

වීණු... ඔයා හොඳින් නේද?? නුරාධ වීණගෙ නිකටෙන් අල්ලල ඔසවද්දි වීණා තමන්ගෙ අතින් ඊට විරෝධය පෑව...

නුරාධ, කරහ වෙන්ඩ එපා මාත් එක්ක.........මං ආවෙ අපි මේක නවත්තමු කියන්ඩයි නුරාධ...

මොනව?? නවත්තන්ඩ?? මොකක්ද ඔයාට මේ වෙලා තියෙන්නෙ??  වීණු, මොනවද අපි මේ කතා කරන්නෙ?? ඔයා විහිලු කරනව නේද මේ??

නුරාධ වීණගෙ අතැඟිලි හෙව්වත් ඈ ඊට ඉඩ නොතියා අඩියක් පස්සට තිබ්බ....

මට දිව්‍යා මුණ ගැහුණ නුරාධ... මං හැම දේම දැනගත්ත...

නුරාධගෙ මූණ මැලවුණා!! ලෝකෙම හිස මත කඩාගෙන වැටුණ වගේ දැණුන
අතරින් පතර රැහැයි හඬක් විතරක් නැගුණු පරිසරයට නුරාධ හඬ අවදි කලේ සැහෙන වෙලාවකට පස්සෙ....
වීණු ඔයා මාත් එක්ක තරහින් නේද??

මට සමා වෙන්න.. මං දිව්‍යා ගැන හැම දේම ඔයාට කිව්වෙ  නැති වුණාට සමා වෙන්ඩ....
දිව්‍යා ඔයාට කිව්වෙ මං නිසා එයාට දරුවෙක් ලැබෙන්ඩ ඉන්නව කියන එකද?? ඒක එයාගෙ බොරුවක් වීණු!!
අපි අතරෙ දැන් කිසිම සම්බන්ධයක් නෑ ..

නුරාධ... ඒක ඇත්තක් වුණත් ඒකෙන් මට වැඩක් නෑ... ඒත් තාමත් ඒ ළමය ඔයාට පණටත් වැඩිය ආදරෙයි!!!
එහෙම කෙනෙක්ගෙ ආදරේට පිටුපාට ඔයා මගෙ ලඟට එන්ඩ හදන්නෙ ඇයි නුරාධ?? ඒ ළමයට දුක් දීල මාවත් දුකට ඇදල දාන්ඩ හදන්නෙ ඇයි??
මං කොහොමද කෙල්ලෙක් වෙලා මං වගේම හිතේ ආදරේ පුරවගෙන ඉන්න කෙල්ලෙක්ට ද්‍රෝහී වෙන්නෙ??

වීණා.... ඔයා කතාව දන්නෙ දිව්‍යාගෙ පැත්තෙන් විතරයි.. දිව්‍යට මං ආදරේ කළා කියල මං ඔයාට කිව්වනෙ.. .ඒත් ඒ සම්බන්ධෙ නතර වෙන්ඩ මගේ පැත්තෙනුත් සාධාරණ හේතු කියෙනව කියල ඔයා අමතක කරන්ඩ එපා...

අපි අතරෙ ගොඩක් නොගැලපීම් තිබුණ වීණා.... අදහස් අතින් අපි දෙන්න අහස පොළව වගේ කියල දැනෙන්ඩ ගන්න කොට අපි ආදරේ කියල හිතාගත්ත මායාවක පැටලිලා සෑහෙන දුර ඇවිල්ල...!!!
සෑහෙන කාලයක් ඒක තිබුණ.. ඔහේ ඇදි ඇදී..  අන්තිමට අපි කතා කරල සම්බන්දෙ නැවැත්තුව වුණත් දිව්‍යට ඕනෙ වුණා මාව රිද්දන්ඩ..ඔය කතාව ගොතාගෙන ලංකාවට ආවෙත් මම ආව කියල දැනගෙන.... සැක හිතෙන්ඩ ඇති මං ප්‍රොපෝසල් එකක් බලන්ඩ ආව කියල....

නුරාධ... මං තීරණයක් අරන් ඉවරයි!!! මං දිව්‍යාට පොරොන්දුවක් වුණා!! ඔයාල මැද්දට එන්නෙ නෑ කියල..
මට ඒක වෙනස් කරන්ඩ බල කරන්ඩ එපා නුරාධ... අපි ආයෙ මුණ ගැහෙන්නෙ නෑ....

එතකොට මෙච්චර කාලයක් පණ වගේ ආදරේකරල... ඕකද අපි දෙන්න ගැන ඔයාගෙ තීරණය??
අතරමං වෙලා හිටපු මට ආයෙමත් ආදරේ හරි පාර පෙන්නල අතර මගදි මාව දාල යන්ඩ එපා වීණා

මට සමා වෙන්ඩ නුරාධ!! හිතට එකඟ නැති දෙයක් කරන්ඩ මට බෑ!! බල කරන්ඩත් එපා!!
මං ගිහින් එන්නං... දැන් අම්මල මා ව හොයනවත් ඇති.....සමාවෙන්ඩ ආයෙ කවදාවත් මට කතා කරන්ඩ එපා නුරාධ.....කවදාවත්ම...

වීණා!! ... වීණා!!!

නුරාධ නැවත නැවතත් කතා කළාට වීණ නෙවෙයි හැරුණෙ ආපහු...

සිවිලිමේ හිටිය මීයෙක් හිටි අඩියෙම කළබලෙන් දිව්ව!!

වීණා ගැස්සුණා.......ඇඳේ වැතිරිලා හිටියට නින්ද අහලකවත් නෑ!!

හැන්දෑවෙ ගඟ ලඟදි නුරාධ හමුවුන වෙලාවෙ ජවනිකා ඇගේ හිතේ ඇඳුණෙ හරියට චිත්‍රපටයක වගේ!!
මුහුණුපොතේ කතාබහ... නොහිතුව විදියට හිත්වල උපන්න ආදරේ, නුරා වෑහුණ හාදුවල මතක අමතක කරන්ඩ ඈ දඟලන්ඩ දඟලන්ඩ නුරාධ ගැන මතක අලුත් වුණා!!

දුකම හොයාගෙන යන කීව නාහන දඩබ්බර හිත ට දඬුවමක් දෙන්ඩ හිතපු වීණ ජංගමයව අතට අරන් දිව්‍යාට කෙටි පණිවිඩයක් යැව්වා....


නුරාධ එක්ක මගේ සියලු බැඳීම් අවසානයි!! ඔයාගෙ හිත රිදෙව්ව නං මට සමා වෙන්ඩ....
ඔයාල දෙන්නට සුබ අනාගතයක් - වීණා!!

8 comments:

  1. මේක ඉවර නෑ නේද? මෙගා සීරීස් එකක් කරන්න පුළුවන් වගේ මේ යන විදිහට. :)

    ReplyDelete
    Replies
    1. පොතේ හැටියට නං තව කොටස් දෙකක් තියෙන්ට ඕන.. ඒ වුනාට ඔය රන්දියායි, සිත්තමීයි ෂුවර් නෑ නෙවැ බොලං.. ;)

      Delete
    2. නෑ, නෑ ඉවර නෑ...ජනූට මතු හම්බන්දයි කෑල්ල දාන්ට අමතක මතක බැරිවෙලා...:) :)

      සිත්තමී තුමී තොමෝ දිව විකාගෙන තොල් හපාගෙන නැක්ස්ට් ඇපිසෝඩය ලියන්නීය. එතෙක් ඉවසා හිඳිනු මැනව :)

      Delete
    3. තරහ අවසර.. කලබලේ ලියල පබ්ලිෂ් කළේ.. ඉතිං කෑලි බෑලි අඩුවෙලා මුහුදු....
      ආ.. බූරයිය එහෙම කිව්වට ඔන්න බලන්ඩකො දෙන්නත් එක්ක කතාව අරන් යයි ඔයාලට හිතාගන්ඩ වත් බැරි වෙනසකට...

      Delete
  2. ගෙදර නැති උනත්, වැඩ බහුල උනත්, නිවාඩු වෙලාවක් හම්බ උනු හැටියේ බ්ලොග් බලන්ට දුවගෙන එන්ට හිතෙනවා. හරියට අර මොනවද කාලා වගේ.

    කතාව නියමෙට ගලා යනවා ජනු...ලස්සනයි. හිත ගත් තැන් ගොඩයි.

    //නුරාධ ඉස්තෝප්පු කාමරේ දොර රෙද්ද මෑත් කරන් ඇවිත් ඈ ලඟින් ගෑවී නොගෑවී යන කොට දැනෙන සිහින් සුළං රැල්ලත් ඈට දැණුන!!!//

    //දවල් කාලෙ ඉර අවුවට රත් වෙලා තිබුණ මිදුලෙ සුදු වැල්ලෙ රස්නෙ යාන්තමට දෙපයට දැණුනම ඈට සනීපයක් දැණුන...//

    බලමු අපේ සිත්තමියි, රන්දියි මේක කොහෙන් ඉවර කරයිද කියලා. නැත්නම් ඉතින් අමාටම ඇවිත්, දර මඩුවේ තව පැණි උම්මා එකකින් (යට තොල හෝ උඩ තොල. මට නම් කමක් නැත. හී හී...) කතාව ඉවර කරන්ට කියමු.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි අක්කෙ... ඔයාගෙ ලෝක සවාරිය හොඳෙයි??

      //නුරාධ ඉස්තෝප්පු කාමරේ දොර රෙද්ද මෑත් කරන් ඇවිත් ඈ ලඟින් ගෑවී නොගෑවී යන කොට දැනෙන සිහින් සුළං රැල්ලත් ඈට දැණුන!!!//

      කතාවෙ හැමෝටම වැදිච්ච තැන එතනද මන්ද නේද?? පහලින් අමා කියල තිබුණෙත් ඒකමනෙ....
      බලමු බලමු සිත්තමී මොනව කරයිද කියල..

      Delete
  3. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. අනේ අමා.. ඔයාගෙ ලස්සන කමෙන්ට් එක මගෙ අතින් මැකුණා!! අයියෝ!!! සමා වෙන්ඩ...ගොඩක් ස්තූතියි.. ලස්සන කතාවක් පටන් අරගත්ත ඔයාටත්... අපි මෙහෙම අකුරු අමුණන්නෙ ඒ පටන්ගැන්මට නෙ....

      Delete