Friday, 2 November 2012

සෙවණැළි අතරින්......6

සහේළි සහ විජිත්ගෙ ප්‍රේම කතාව ඊට පස්සෙ කිසිම අතුරු ආන්තරා හැල හැප්පීම් වලින් තොරව ගලා ගියා හරියට නියං කාලෙ කැලණි ගංගා තොමෝ නිසලව සුදු වැලි මතුපිට පෙණ බිඳු ඉස ඉස ගලා බසින්නා සේ.... 

ජීවිතේ එහෙම පැහැදිලි අනතුරකට ලක්ව තියෙද්දි දෙන්නෙක් එකිනෙකා වෙනුවෙන් කරන කැපවීම ඒ තමන්ගෙ ජීවිතය හෝ නොතකා අනෙකා වෙනුවෙන් කරන පරිත්‍යාගය කියන එක තරම් දෙන්නෙක් ආසන්න කරවන්න හදවත් දෙකක් ළං කරවන්න බලයක් තියන වෙන කිසිම දෙයක් නෑ... 

තමන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්ට හරි සූදානම් කියල හිතෙන කොල්ලෙක් වෙනුවෙන් තමන්ගෙ ආදරය පුද කරන්ට කවුද අකමැති වෙන කෙල්ල?...සහේළිත් එහෙමයි...ඇත්තටම තමන්ට බාර වෙන රාජකාරිය අකුරටම කරන්ට වෑයම් කරන තමන්ගෙ පෞද්ගලික සිතුම් පැතුම්, සබඳතා , මති මතාන්තර ඒකෙදි යටපත් කරල කටයුතු කරන්ට හැකියාවක් තියන වෘත්තීය පත්‍ර කලාවේදිනියක් උනාට ඇයත් සාමාන්‍ය ලෙයින් මසින් සැදුනු ගැහැණියක්... 

ඒත් ජීවිතේ කිසිම තීරණයක් හැඟීම් බරව, ආවේගයන් මත ගන්ට ඇය කැමති උනේ නැහැ. ඒ නිසා විජිත් ගැන හිතේ කොණක අහු මුල්ලක උපන් ප්‍රේමණීය හැඟීම ගැන එහෙමට ඇය කලබල උනේ නෑ. එක්කො දළු දාල වර්ධනය වෙලා හදවතම සුවඳින් පුරවාලන්න එහෙමත් නැත්නම් එහෙමම මැලවිලා මුකුලිත වෙලා යන්න කාළයට බාර දීල ඇය සුපුරුදු පරිදි රාජකාරි වල යෙදුනා.මේ කාලෙදි විජිත් එක්ක එකට වැඩ කරන්ට ඇයට අවස්තාවක් ලැබුනෙම නැති තරම්. ප්‍රවෘත්ති හඹායාමේදී ඡායාරූප ශිල්පියෙක් අවශ්‍යද එහෙම අවශ්‍ය නම් ඒ සඳහා අනුයුක්ත කරන්නෙ කවුද කියන එක තීරණය කරන්නෙ තනිකරම ප්‍රවෘත්ති කර්තෘ. 

ඒ ගැන බලපෑමක් කරන්න අදාල වාර්තාකරුට හෝ කාරිනියට කිසිම විදිහකින් බෑ. විජිත් මේ ඊයෙ පෙරේද ෆීල්ඩ් එකට ආපු නවකයෙක් නෙවෙයි. මේ Status Quo එක නොදැන හිටිය නම් නෙවෙයි. ඒත් විජිත්ගෙ හිතේ ලොකු හිස් බවක් අඩුවක් ඔහුටම තේරුණා. එදා අර සිද්ධිය වෙලාවෙ සහේළි තමන්ට තුරුළු වෙලා හිටපු විදිහ, තමන් ඇගේ හිස් මුදුන හෙමිහිට සිපගත් විදිහ විජිත්ගෙ හිතෙං මැකිල ගියේම නෑ. හැම මොහොතක් මොහොතක් ගානෙම ඒ සදාදරණීය මොහොත ඔහුට මැවි මැවී පෙනුන. 

අර සිද්ධියෙන් මාසෙකට විතර පස්සෙ දවසක..... 

විජිත් එදා ගියේ ගුවන් පාළමක් විවෘත කිරීමේ උත්සවයක ඡායාරූප ගන්ට. ප්‍රධාන අමුත්තා අතිගෞරවාර්හ ධුරන්ධර මහේශාක්‍ය බෝධිසත්ව ගුණෝපේත බලවර්ධන ගරු අමාත්‍ය තුමා.....ඔහුගේ පෞද්ගලික සහායක තැන්පත් සිකුරාජපති මැති තුමා ද ඔහුගේ දකුණු පස සුපුරුදු ලෙස....සිකුරාජපති මහතාගේ තියුණු දෑස එකම වරක් පමණක් විජිත්ගේ දෑස හා ගැටුණ ද මොහොතකට පසු ඔහු ඉවත බලාගත්තේ දෑසින් කිසිදු හැඟීමක් පල නොකරමිනි. 

ඔය අර සිද්ධියෙන් පස්සෙ සිකුරාව විජිත් දැක්කමයි. ආයෙම එදා සිද්ද වෙච්චි දේවල් මතක් වෙලා විජිත්ගෙ හිතේ බයක් වගෙ දේකුත් ඒ එක්කම සහේලි මතක් වෙලා සදාදරණීය සුන්දර හැඟීමකුයි අන්තිමට ඒ දෙකම මිශ්‍ර වෙච්ච මහ අමුතුම හැඟීමකුයි කියන තුනම හොල්මන් කරන්න ගත්ත. 

ඒ කල්පනාවෙන්ම හිත බරවෙලා ආපහු ඔෆිස් එකට ඇවිල්ල විජිත් මඟදි ගත්ත බත් පාර්සලෙත් අරගෙන ලන්ච් රූම එකට ඇතුලු උනේ උදේටත් හරිහැටි කෑමක් නැතුව බඩගින්න ඉවසන් ඉන්ට බැරිතරමට උත්සන්න වෙලා තිබුනු නිසාමයි. 

ඒත් කෑම කාමරේ දොරෙන් ඇතුලු වුන ගමන් විජිත් එහෙමම නතර උනා. බුර බුරා නැඟෙමින් තුබූ සුදහ ගින්න එකෙනෙහිම ඔහුගේ සිතින් අතුරුදන් වූයේ මෙතෙක් සිත් පෙලූ අමිහිරි හැඟීම් ද සමඟිනි. 

කෑම කාමරේ දිග මේසෙ එහා කෙලවරේ ඔහුට පිටුපාල හිස නවාගෙන ආහාර ගනිමින් හිටියෙ.......ඔව්...හිතවත ඒ....සහේළි... 

එදා සිද්ධියෙන් පස්සෙ සහේළි තනියම හම්බ වෙන්න අවස්ථාවක් විජිත්ට ලැබුනෙම නැහැ..''දෙන දෙයියෝ හොම්බට ඇන ඇදෙනවලු...'' විජිත්ට ඉබේම කියවුනා... 

සහේලි එක් වරම ආපහු හැරිල බැලුවෙ කටත් බාගෙට ඇරගෙන. ඒක දැකල විජිත්ට හිනා ගියේ ඉබේටම. 

'' කෝළං... '' 

සහේළි ආපහු හැරුනෙ තොල් අතරින් පනින්ට ආපු හිනාව තොල් හපාගෙන වලක්ව ගන්න ගමන්. ඒ එක්කම හිත ඇතුලෙ හීන් සතුටකුත් මෝදු වෙනව ඇයට දැනුන. ඇත්ත. පහුගිය කාලෙ අධික වැඩ නිසා විජිත් එක්ක කතා කරන්ටවත් වෙලාඅවක් ලැබුනෙ නැති ගානයි.විජිත් දැක්කම ආයෙම එදා සිද්ධිය මතක් වෙලා බෙල්ලෙ ඉන්දං උඩහට ලේ පුරාගෙන එනව ඇයට දැනුන. 

මූණ රතුවෙනව විජිත් දකියි කියල ඇය කලේ මුහුණ පහතටම නවාගෙන හෙමිහිට ආයෙම බත් කන්න පටන් ගන්න එකයි. 

සහේළි තොල් හපාගෙන හිනාව වළක්වගන්න උත්සාහකරනව වත් ඇගේ මුහුණ රතු වෙනව වත් විජිත් දැක්කෙ නෑ.ඒ වගේම ඇගේ හිතේ කොණක උපන් පුංචි සතුටේ මල් කැකුළ ගැනත් විජිත් අඳෝ සංසාරයක් දැනගෙන හිටියෙ නෑ. ඔහු දැක්කෙ සහේළි කෝළං කියල අමනාපෙන් අහක බලාගත්තු හැටි විතරයි.විජිත්ගෙ හිතේ පිරිල තිබ්බ සංතෝසේ එහම්මම නැතිවෙලා ගියෙ ඔහුගෙ තොලගට නැඟුනු සිනහවත් අතුරුදන් කරමිනුයි. ඒත් සහේලිත් මේ මොකවත් දැක්කෙ නෑ...ඈ හිටියෙ විජිත්ට පිටුපාල ඔළුවත් පහතට නවාගෙන. 

විජිත් හෙමිහිට ඇවිල්ල සහේලි ඉස්සරහම පුටුවක් ඇදල වාඩි උනා...බත් එක දිගඇරගත්තෙ බොහොම පරිස්සමින්...මේ ලෝකෙ තියෙන වැදගත්ම වැඩේ බත් එක දිගාරිනව කියල හිතාගෙන වගෙනෙ ඉන්නෙ මෙයා ඇහි පිහාටු අස්සෙං විජිත් දිහා බලපු සහේළි තමන්ටම කියාගත්ත. ඒ එක්කම යාන්තමට හිනාවකුත් ඇගෙ දෙතොල මාතට ගොඩ වෙන්ට තැනුව.... 

දැඩි නිශ්ශබ්ද තාවය බිඳුනෙ කෑම කාමරේ දොර ගාවම එල්ලල තිබ්බ සුදුපාට මූණතකින් යුතු බිත්ති ඔරලෝසුවෙ ටක... ටක ....ටක...ටක නාදයෙන් විතරයි. දෙන්නම ඔළු නවාගෙන නිශ්ශබ්දව බත් කෑව...සහේළි කාල ඉවරවෙලා ලන්ච් ෂීට් එක ඔතන සද්දෙට විජිත් හිස උස්සල බැලුව.. 

'' මට අද සිකුරා හම්බ උනා....'' ඔහු කිව්වෙ එක පාරටම 

ලන්ච් ෂීට් එකත් අතේ ගුලි කරගෙන පුටුවෙන් නැඟිටින්න ගිය සහේළි ආපහු පුටුවෙම ඉන්ද උනා... 

''නෑ...කොහෙදිද?...'' සහේළි ඇහුවෙ ඇස් ලොකු කරගෙන.....මෙයා බොරුවක් වත් කියනවද?....එහෙම එක පාරටම හිතුනත් ඒ එක්කම ඒ සැකේ නති වෙලා ගියා...නෑ...වෙන්න බෑ...විජිත් එහෙම බොරු කියන කෙනෙක් නෙවෙයි...විශේෂයෙන්ම මේ වගේ දෙයක් ගැන...ඊටත් මේ මට... 

''මම අද ගියෙ කටු කුරුන්දෙ ෆ්ලයි ඕව එකේ ඕපනිං සෙරිමනි එක කව කරන්ට...විවෘත කලේ බලවර්ධන...සිකුර නැතිවෙන්නෙ නෑනෙ බලවර්ධන ඉන්න තැනක...මිනිහත් ඇවිල්ල හිටිය...'' විජිත් තාම කතා කලේ ඔළුව පාතට හරෝගෙන... 

'' ඔයාව අඳුන ගත්තද? '' 

''එකම පාරක් කෙලින්ම මගෙ මූණ බැලුව. ටික වෙලාවක් එහෙමම බලාඉඳල අහක බලාගත්ත. අඳුන ගන්න ඇති..ඒත් මූණෙන් නම් ඒ විත්තියක් පෙන්නුවෙ නෑ.එහෙම අඳුනාගත්ත උනත් ඔය වගෙ මිනිස්සු එව්ව මූණෙන් දැනෙන්ට අරින්නෙ නෑ...සිකුරා වගෙ මිනිස්සු නම් බැරිය මම දන්න තව අය ඉන්නව බොහොම දක්ෂයි තමන්ගෙ හැඟීම් පිටට නොපෙන්නා හංගා ගෙන ඉන්න...'' විජිත් යටි තොල හපාගෙන ක්ෂණිකව සහේළිගෙ මූණ බලල ආයෙම බිම බලාගත්ත. 

සහේළිගෙ තොල් ගුලි උනේ ඇය නොදැනුවත්වම..නළල රැලි වැටුනෙත් ඒ එක්කම... 

''ඒක ඇත්ත වෙන්න ඇති..ඒත් මම දන්න අය නම් ගොඩක් ඉන්නෙ අනුන්ගෙ හැඟීම් තමන්ට තේරුම් ගන්න පුළුවන්ය කියල දවල් හීන ලෝකවල ජීවත් වෙන අය...'' සහේළි පුටුව පස්සට ඇදල නැඟිට්ට. 

විජිත්ට පිටු පාල සින්ක් එක ලඟ අත හෝදන අතරෙ ඇය ආපහු උරහිස උඩින්හිස හරවල ඔහු දිහා බැලුව...විජිත් ඔලුවත් නවාගෙන පාඩුවෙ කෑම කනව...ඇයට හිනාවක් පැන්නෙ ඉබේම. ''පව්.....'' 

අත හෝදල ඈ ආපහු හැරුන... 

''සෙරිමනි එක ඉවර වෙලා මම සිකුරාට කතා කලා....''විජිත් ආයෙම කිව්වෙ ගහෙං ගෙඩි එන්නා වගෙ... 


''ඈ.????"...සහේළිගෙ ඇස් දෙක ඒ පාරනම් නළලෙම තමයි නැවතුනේ.. "පිස්සුද ඔයාට? මොන කෙහෙල්මලකටද ඒ යක්සය හම්බ වෙන්ට ගියේ..."

ඈට පෙනුනෙ පිටුපාල ඉන්න විජිත්ගෙ හිසේ පිටුපස්ස විතරයි. ඒ නිසා ඔහුගෙ දෙතොලග නටන සිනා රැල්ල ඇයට කොහොමවත් පෙනුනෙ නෑ... 

''මම ඇහැව්ව මිනිහගෙන් අර පත්තරේක වැඩ කරන කෙල්ලයි, කැමරා කාරයයි පස්සෙං පන්නල වෙඩි තියල කරපු පලහිලව්වට බලවර්ධන කීයක් ගෙව්වද කියල...'' 

සහේළිගෙ අත් දෙක ඉණට ගියේ ඉබේම. ඒ පාරනම් කටත් ඇරුන බාගෙට නෙවෙයි ඔක්කොම...මේ මනුස්සය බොරුවක් නේද මේ කියන්නෙ කියලත් එක පාරක් හිතුනත් විජිත්ගෙ ස්වරයෙ තිබ්බ සීරියස් ගතිය ඇගේ හිතට ආයෙම සැකයක් ඇති කලා...ඇත්තටම විජිත් එහෙම ඇහුව වත්ද? 

" දැං ඔය මොකටද එහෙම කතාවක් අර යකාගෙං තමුං ඇහුවෙ?'' 

සහේළි තමුං කියන්නෙ අන්තිමට තද උනාම තමයි...විජිත්ගෙ හිනාව තවත් පළල් උනා. 

''නෑ අර කැමර කාරයට ඕනලු ආයෙම පාරක් ඒ මාරක නාඩගම රඟ දක්වන්ට..සිකුර අය කරන ගාන ගමේ තියන ගේ පොඩ්ඩ හරි විකුනල ගෙවල දාල ආයෙම ඒ සීන් එක රඟපාන්ට ඕනය කියනවනෙ ඒ මනුස්සය..'' 

සහේළිට බකස් ගාල හිනාවක් පැන්නත් අතින් කට වහගෙන ටිකක් වෙලා හිටිය හිනාව පාලනය කර ගන්ට.. 

විජිත් කෑමත් නවත්තල ඉස්සරහ තියෙන බිත්තිය දිහා බලාගෙන හිටියෙ සහේළිගෙ ඊළඟ ප්‍රතිචාරය තීරණාත්මක බව ඉවෙන් වගෙ දැනගෙන. 

''මල කෝලං '' කියල ගස්සගෙන යයිද?....'' කැමරා කාරයගෙ මොලේ කොලොප්පං මං හිතන්නෙ '' එහෙම කියල මහ හයියෙං හිනා වෙයිද? 

විජිත් හුස්මත් අල්ලගෙන බලාපොරොත්තු උන ප්‍රතිචාරය..සහේළිගෙ ප්‍රතිචාරය ඔන්න අන්තිමට ආව. 

''ඒ මොකටද ඒ කැමරා කාරය එහෙම දෙයක් කරන්නෙ '' ඈ ඇහුවෙ රහසක් කියනව වගෙ.. 


මතු සම්බන්ධයි 

1 comment:

  1. අද තමා කතාව ඉතිරිය කියවන්න ආවේ. දැන්නම් ත්‍රාසය හොයන්නවත් නෑ වගේ

    ReplyDelete