Showing posts with label 02. සෙවණැලි අතරින්. Show all posts
Showing posts with label 02. සෙවණැලි අතරින්. Show all posts

Monday, 5 November 2012

සෙවණැළි අතරින්......අවසන් කොටස


'' නෑ?????....බලවර්ධන???? ...සිකුරව මරන්ට?????....''

එදා බලවර්ධනගෙ ඔෆිස් එකේදි ඒ දෙන්න අතර තිබ්බ සුහද තාවය මතක් වෙලා සහේළිට එක පාරටම කියවුනා.....

'' වෙන්ට බෑ...විජිත්...Are you sure about your source? '' 

සහේළිගෙ බියපත් විසල් දෑස දුටුව ඔහුගේ හිත ඈ කෙරෙහි ආදරෙන් ආයෙම වරක් පිරිල ඉතිරිල ගියා. 

'' Hundred percent Sure සහේළි...ඔයා පුදුම වෙන්නෙ අච්චර කිට්ටු යාළුවො වගෙ හිටපු තමන් කියපු කියපු හැමදේම කරපු මනුස්සයෙක් මරන්ට ඕඩර් එකක් දෙන්නෙ කොහොමද හිතක් පපුවක් නැතුව කියලනෙ ?...හෙහ්, හෙහ්, එව්ව මොනවද අනේ බලය කියන එක ලැබෙන්ට ලැබෙන්ට මිනිස්සු තිරිසන්නු වෙනව...නෑ ඇත්තම කිව්වොත් එහෙම කියන එක තිරිසන්නුන්ට කරන අපහාසයක්...තිරිසන්නු හොඳයි තව......." 

'' හරි ඒ කොහොම හරි කමක් නෑ...උන් දෙන්නගෙ මරාගැනිල්ල නිසා අපි දෙන්න බේරිච්ච එක ගැන නම මට තියෙන්නෙ පුදුම සන්තෝසයක්, සැහැල්ලුවක්...ඔයා අර ෆොටෝස් ඔක්කොම ඩිලීට් කලාය කිව්වට උන් ඒ කතාව විස්වාස නොකර අපි දෙන්නම මරල දාවිය කියල මගෙ හිතේ ලොකු බයක් තිබුන...''

සහේළි සුරත දිගහැර මේසය මත තිබූ විජිත්ගේ සුරත අල්ලා ගත්තාය.

'' අප්පෝ...දැන්නම් ඒ බය නෑ...හිතට මගෙ ලොකුම සහනයක් දැනෙන්නෙ. ''

ඇගේ දෑස දෙස එබී බැලූ විජිත් ඇගේ සුරත මිරිකූයේ මුව පුරා සිනා සෙමිනි. 

'' මට බය ඔයා ඔය හිතන එකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙයක් වෙයිද කියලයි මයෙ රත්තරන්......තෝරු මෝරු ගහගන්න කොට දන්නවනෙ හාල්මැස්සන්ට වෙන දේ......අනික මෙතන කාරණේ තවත් බරපතල වෙන්නෙ තෝර මෝර යුද්දෙදි හාල් මැස්සො ආයුදයක් විදිහට පාවිච්චි වෙන්න ඉඩ තියෙන එකයි....''

සහේළිගේ සිතේ සතුටට අකුල් හෙලිය නොයුතු බැවින් එසේ නොපැවසුවද විජිත්ගේ සිත තුල රැව් පිලිරැව් දෙමින් ඔහුට වද දුන්නේ එවන් සිතුවිල්ලකි. 

වට පිට බලා ඇගේ සුරත ගෙන සිපගත් විජිත් නැඟී සිටියේය. 

'' මං යන්නම් එහෙනම්...see you later Saheli " 

සහේළි මුව පුරා සිනාසීගෙන ඔළුව වැනුවා....ඇගේ හිත පිරිල තිබුනෙ අපමණ සැහැල්ලුවකින් ...ඒ වගේම සෙනෙහහකින්... 

අවුරුදු දෙකක් ගත වෙලා ගියා...ඒ අතරෙ සහේළි විජිත් ප්‍රේම නදිය හැල්මේ ගලා ගියා..සිකුරා ගැන කිසිම ආරන්චියක් නැතුව මිනිහව හැමෝටම අමතක වෙලාම ගියා....බලවර්ධන ටිකෙන් ටික තමන්ගෙ අභිප්‍රායට ඉලක්කයට ලිස්සන ගහේ මුදුනෙ තියන සිංහ කොඩියට ළඟා වුනා...ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයා පරදවල බලවර්ධන ජයග්‍රහණය කලා.සහේළි සහ විජිත් දෙන්නත් කන්ද මුදුනට ළඟාඋනා...ඒ ඇවිල්ල ප්‍රේම විජයග්‍රහණය නම් කඳු මුදුනට...ජනාධිපතිවරණය පැවැත්වෙලා හරියටම දින දෙකකින් නෑදෑ හිතවතුන් ආසිරි ගී මැද දෙන්න විවාහ උනා... 

ඔවුන් මධු සමයට පිටත් වෙලා ගියේ සිංහරාජය අබියස වන මැද පවත්වාගෙන ගිය හරිත පරිසර හිතකාමී නිවාඩු නිකේතනයකට. 

සහේළියි විජිතුයි දෙන්න රස්සාවෙන් හම්බවෙච්ච පඩියෙන් ඉතුරු කරගත්තු ගානක් තිබ්බ බැංකුවෙ...එහෙමට ලොකු ගානක්නම් නෙවෙයි..ඒකට සහේළිගෙ අප්පච්චිගෙන් ඉල්ලගත්තු මුදලකුත් දාල එයාල ගත්ත සුසූකි ස්විෆ්ට් එකක්....කළුම කළු පාට.... 

පාර දෙපැත්තෙ හංදියක් හංදියක් ගානෙ ඔවුන් දිහා බලාගෙන සිනා මුසු මුහුණින් හිටියෙ බලවර්ධන....ශ්‍රී ලංකාද්වීපයේ නවතම අතිගරු ජනාධිපති තුමා... 

'' මේ මනුස්සය යන යන තැන ඉන්නවනෙ...මට නිකම් බයකුත් වගෙ හිතෙනව.....'' 

විජිත් සහේළිගෙ අත මිරිකල හිනා උනා... '' දැන් එව්ව ඔක්කොම ඉවරයි...මැඩම් බය වෙන්න එපා....මම ඉන්නවනෙ... '' 

සහේළිත් විජිත්ගෙ අත මිරිකුවා... '' ඇත්ත තමයි.....ඔයා මාලඟ ඉන්දැද්දි මොකට බය වෙන්නද? '' 

මතුගම පහුවෙල අත්වැල්තොට හරියට යනකොට හවස අඳුර වැටෙන්න ඔන්න මෙන්න...වෙලාව පහටවත් නැතිඋනාට මේ කඳුකර පළාත්වලට බොහොම වේලාසන අඳුර ගලා වැටෙනව. ඒ වගේම හරිම ඉක්මනට...එක විනාඩියෙං කළුවර වෙලත් ඉවරයි. 

ඒ වෙනකොට සහේළිට හොඳටම නින්ද ගිහිල්ල.වාහෙනේ එළවන ගමන් ඈ නිදන අපූරුව දිහා සැරින් සැරේ හැරිල බැළුව විජිත්ගෙ හිතේ ඇතිවෙච්චි සෙනේහෙ හිත පුපුරන්ඩ තරමට හිතේ පිරිල දෝරෙ ගැලුව. 

එක පාරටම ඔවුන් නඟිමින් හිටිය කන්ද ඉවර උනා. ඒ කියන්නෙ ඔවුන් කඳු මුදුනට ළඟා උනා. එතනින් එහාට තිබ්බෙ ඈතිං පේන රක්වාන හෝ හිනිදුම කඳු පංති දක්වා පැතිරෙන සිංහරාජ වනාන්තරයට පල්ලම් බහින්ට.හරියටම කඳු මුදුනට ළඟාවෙනවත් එක්කම ගන සැරේට අහස වහගෙන තිබ්බ මිහිදුම් සළුතිර එකපාරටම තුනී වෙලා ගිහිල්ල බැස යන හිරුගෙ රත්තරන් පාට ආලෝකෙ මුළු අහස පුරාම පැතිරුනා...ඔවුන් ළඟාවුනු කඳුමුදුනත් ඒ ආලෝකය වැටිල දිලිහුනේ රත්තරන් ගෑව වගේ.. 


විජිත්ට තිරිංග පෑගුනේ ඉබේම.කාරෙක නවතිනවත් එක්කම සහේළිටත් ඇහැරුනා. 

'' ඇයි විජිත්?...'' ඈ විජිත් දිහාට හැරුනෙ කොණ්ඩෙ අතින් හදමින්... 

'' ෂ්ෂ්........ '' 

ඇගේ තොල්වලට ඇඟිල්ලක් තියල විජිත් ඈ නිහඬ කලා. ඊට පස්සෙ ඒ ඇඟිල්ලම දික් කරල වින්ඩ්ස්ක්‍රීන් එකෙන් එහා පෙනෙන අද්භූත දර්ශනය පෙන්නුව. 

'' Oh God....This is like a dream.........'' 

සහේළිගෙ නිදිමත කොහෙන් ගියාද නෑ...දෙන්නම කාරෙකෙන් බැස්සෙ හීනෙන් ඇවිදිනව වගෙ.... 

කාරෙකේ බොනට්ටුවට හේත්තුවෙලා දෙන්නම ඒ අපූර්ව දර්ශනය දිහා බලාගෙන හිටියෙ වශී වෙලා වගෙ...මත් වෙලා වගෙ..... අඩවන් වුනු දෑස් වලින් රත්තරන් පාට ලෝකය දිහා බලාන හිටපු සහේළි විජිත්ගෙ උරහිසට හිස තියාගත්තෙ මේ ස්ක්‍රිප්ට් එකේ ඊළඟ ෂොට් එක එහෙම වෙන්න ඕනය කියල තීරණය කලා වගේ. 

විජිත් ඈ හෙමිහිට තුරුළු කරගෙන නළලයි දෙකොපුලයි සිප ගත්ත.සහේළි වෙව්ලලා ගියේ සීතලටමද නැත්නම් මේ මොහොතේ චමත්කාරය දරන්න බැරුවද නැත්නම් ඒ දෙකම නිසාද? 

'' යමු නේද?...මට සීතලයි...'' ටික වෙලාවකින් ඈ කෙඳුරුවා... 

'' යමු......'' ඔහු ආයෙම ඇගේ නලල සිප ගත්තා. 

එළියෙ සීතලට පස්සෙ කාරෙක ඇතුලෙ හීටරේ උණුසුම ගෙනාවෙ අමුතුම සංවේදනයක්.... 

'' අහ්, ඉන්න පොඩ්ඩක්..... අම්ම කෝපි එකක් හදවල දුන්න ෆ්ලාස්ක් එකකට...'' 

විජිත් කාරෙක පනගන්වන්න ස්විච් එකට අත තියනවත් එක්කම සහේළි කිව්ව. 

මේ වෙනකොට ආයෙම මීදුම් සළුතිරෙං අහස වැහිල ගිහිල්ල පළාතම ආයෙම අඳුරු වෙලා...දුම් දමන කෝපි තොල ගාමින් ඔවුන් එකිනෙකා දිහා බලල වරින් වර හිනා උනා...කිසිම හේතුවක් නැතුවම... 

'' සහේළි.....'' 

'' ම්ම්ම්......'' 

'' ඔයා දන්නවද අපේ වෙඩිං එක ගැන මට තියෙන්නෙ එකම කනගාටුවයි...'' 

'' ඈ????......'' සහේළි විජිත් දිහාට හැරුන.. '' මොකක්ද අනේ ඒ?...'' 

'' බලවර්ධනටයි, සිකුරටයි සාක්කියට අත්සන් කරන්ට ආරාධනා කරන්ට බැරිඋනු එක...'' විජිත් ඈ දිහා බලල හිනා උනා... 

සහේළිගෙ හිනා සද්දෙ වීදුරු ඔක්කොම වහල තිබ්බ කාරෙම ඇතුලෙ දෝංකාර දුන්න.. 

'' නෑ...විහිළුවක්මත් නෙවෙයි...ඒ දෙන්න නැත්නම් අපි දෙන්නට මෙහෙම එකතුවෙන්න ලැබෙයි කියල ඔයා හිතනවද? '' 

'' අද වගෙ දවසක විහිළුවටවත් ඒ වගෙ මිනිස්සු මතක් කරන්න එපා.... '' 

සහේළිගෙ හිනා හඬ ඒ එක්කම මැකිල ගියා... 

'' අපි යමුද එහෙනම්?......'' විජිත් සීට් බෙල්ට් එක දාගන්න ගමන් ඇහුව. 

ඒත් සහේළි මීදුම බැඳිච්චි ජනෙල් වීදුරුවෙන් ඈත බලාගෙන බර කල්පනාවක... 

'' සහේළි....'' විජිත් ඇගේ උරහිසට අත තියල හෙලෙව්ව... 

'' ආ...හරි හරි යමු...යමු...මොකක්ද ඔයා කිව්වෙ?.. ''.සහේලි කිව්වෙ හිනාවෙන්ට උත්සාහ දරන ගමන්, 

රාත්‍රි ආහාරයෙන් පස්සෙ දෙන්න කාමරේට ආවෙ හීතලෙන් වෙවුලමින්...මේ නිවාඩු නිකේතනයෙ ඉතාම දරුණු සීතල දවසක ඇරෙන්න හීටර්ස් පාවිච්චි කරන්නෙ නෑ..ස්වභාවික ගිනි උඳුන් තමයි කාමර වලත් තියෙන්නෙ. ඔවුන් එනකොට ගිණි උඳුන බුර බුරා ඇවිලෙනව...ගින්දරේ උණුසුමත් එක්කම සීතල මැකෙන්න ඔවුන් කලේ තව තවත් තදින් එකිනෙකාට තුරුළු වීමයි...... 

එක පාරටම විජිත්ට ඇහැරුණේ කකුල් දෙකට දැනුනු දැඩි සීතලක් නිසයි.ඒත් දණිස් වලින් උඩ වගෙ හරිය ඒ හැටි අමුත්තක් නෑ...ටිකෙන් ටික පියවි ලෝකෙට එනකොට ඔහුට තේරුණා තමන්ගෙ ලඟම තවත් කවුද හෙමිහිට හුස්ම ගන්න සද්දයක් ඇහෙනව කියල...ඒ එක්කම පපුව උඩ කාගෙද අතක නුපුරුදු බරකුත් ටිකෙන් ටික දැනෙන්න ගත්ත. ඒ එක්කම ඊයෙ දවස ගැන සිහිවෙලා තොල් අගට පොඩි හිනාවකුත් ආව. සහේළි..ඇගේ බර නුපුරුදුයි කියල ආයෙම කියන්න එහෙම අවසර නෑ...ඊයෙන් පටන් ගෙන ජීවිත කාලයක් ඈ මෙහෙම උදේ ඇහැරිනකොට මම ලඟ ඉඳීවි....

ඒ සිතුවිල්ලත් එක්ක හිතට මෝදු වෙච්ච සන්තෝසය පිටම හෙමිහිට සහේළිගෙ අත අයින් කරල ඇගෙ නලලෙ දෙතොල් ඔබාගෙන මොහොතක් ඉඳල විජිත් නැගිට්ට. ගිනි උඳුන නිවිල ගිහිල්ල...ගෑස් රෙගියුලේටර් එක පොඩ්ඩක් ඇරල විජිත් ගිණි උඳුන ආයෙම දැල්ලුව. ටිකෙන් ටික කාමරේ උණුසුම් වීගෙන එද්දි ඇඳ ඉද්දර තිබ්බ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකේ කවුළු තිර ඔහු ඈත් කලා...යාන්තමට එළියෙ ගහ කොළ පේන තරමට කළු කපා එළියක් නම් වැටිල... 

ඇඳ ලඟම කනප්පුව උඩ තිබ්බ ඔර්ලෝසුවෙ වෙලාව හයට දහයයි....ආයෙම පැත්තට හැරිල කොට්ටෙත් බදාගෙන නිදාඉන්න සහේළි දිහා ඇඳේ වාඩි වෙලා ඔහු බලා හිටිය ඇස් අහකට ගන්ට ලෝබ කමේ... 

පහමාරෙන් පස්සෙ ඕන වෙලාවක සර් අපි බෙඩ් ටී එක ගෙනත් දෙන්නම්...කෝල් එකක් දෙන්නකො...ඊයෙ රෑ හිටපු ඇසිස්ටන්ට් මැනේජර් කිව්වනෙ...හරි කෝල් කරන්න ඕන නෑ...මමම යන්න ඕන තේ දෙක අරන් එන්න...පත්තරෙත් ඇවිල්ල ඇති...පත්තර ජීවිතේ හැටි එහෙම තමයි...මධු සමය ගෙවන්ට ආව උනත් රටේ ලෝකෙ වෙන්නෙ මොනවද කියල දැන ගත්තෙ නැත්නං හරියට කෑවෙ නෑ වගේ... 

විජිත් අලුත් කමිසයක් දාගෙන සරම පිටින්ම හෙමිහිට දොර ඇර ගෙන පිට උනා.... 

ගිණි උදුන ටික ටික ඇවිලුනා...කාමරේ ටිකින් ටික උණුසුම් වීගෙන එනකොට සහේළිට ඇහැරුනා.එක් වරම තමන් මේ කොහෙද ඉන්නෙ කියල ගනිච්චියක් නැතුව එයා එහෙමම ඉඳල කල්පනා කලා...ඔන්න ඊයෙ දවස මතක් උනා. ඒ එක්කම සහේළි ඔලුව හරවල බැලුව..'' කෝ...මේ මනුස්සය කොහාටද මේ පාංදරම ගියේ?...ආපුදෙංකො...'' ඇය ඇඳ විට්ටමට කොට්ටෙ හේත්තු කරල ඒකටම වාරුවෙලා හිතුවා...දෙතොලට ඉබේම හිනාවකුත් ආව.. 

'' තමුං මේ කොහෙද ගියේ උදේ පාංදර?...හොඳට මතක තියාගන්නව මීට පස්සෙ මගෙං අවසර නැතුව එක අඩියක් හෙල්ලෙන්ට බෑ...තේරුණාද තමුංට? '' 

'' මුන්දැ මොනව කියයිද ඒකට?...එසේය මහ රැජිණියනි, ඔබගේ අණ එක හෙලා පිළිගන්නෙමි කියයිද?....නැත්නම්......'' 

කල්පනාව පිටම වෙලාව බලාගන්ට සහේළි ජංගම දුරකථනය ක්‍රියාත්මක කලා..ඊයෙ හවස ඕෆ් කරපු ගමන නෙව...අහ්, තාම හයයි දහයයි...බලමු කවුද කතා කරල තියෙන්නෙ කියල...මඟ හැරුණු ඇමතුම්...ම්ම් බලමු...දෙයියෝ සාක්කි...සහේළිගෙ ඇස් උඩ ගියා...මිස්ඩ් කෝල්ස් 23 ක්. ඒ අතර අම්මගෙනුයි යාලුවො දෙන්නෙක්ගෙනුයි කෝල්ස් තුනයි... ඉතිරි විස්සම Unknown Number........ 

සහේලි එහෙම්මම ඇඳේ ඉඳගත්ත නෙවෙයි ඉන්ද උනා...ආයෙම සැරයක් අවුරුදු දෙකකට කලින් වළදාපු...දැන් මේ පේන විදිහට නම වලදැම්මයි කියල හිතපු අතීතයක අඳුරු සෙවනැළි ඇගේ හිතේ හොල්මන් කරන්න ගත්තෙ මොනවත් හරිහැටි හිතන්නවත් ඇයට කිසිම අවස්තාවක් නොදී... 

එහෙම්මම තෝන්තු වෙලා වගෙ කොච්චර වෙලා එහෙම හිටියද කියල ඇයට කිසිම නිනව්වක් නෑ...සහේළි පියවි ලෝකෙට ආවෙ විජිත්ගෙ කටහඬින්...විජිත් දොර ඇරගෙන කාමරේට කඩා වැදුනෙ පිස්සෙක් වගේ.. 

'' සහේළි සහේළි...මේ බලන්නකො....අපේ පත්තරේ.... '' 

විජිත්ගෙ මූනෙ අර ඊයෙ තිබ්බ හිනාව සිරියාව කොහෙං ගියාද නෑ....එක දවසින් අවුරුදු විස්සක් වයසට ගියා වගෙ.......... 

විජිත්ගෙ මූන දිහාවෙ බලාගෙනම සහේළි අත දිගු කරල පත්තරේ ගත්ත.. 

'' ඈහ්හ්හ්හ්හ්හ්?????....'' 

ඇයගෙ අත වෙවුලනව වගෙ දැනුනු නිසා ඇය දෑතින්ම තරයේ පත්තරේ අල්ල ගත්ත...මුල පිටුවෙම තිබ්බෙ නව ජනාධිපති තුමාගෙ ඡායාරූපයක්...ඒකෙ අවුලක් නෑනෙ...අලුතෙන් ජනාධිපති කෙනෙක් පත් උනහම ඕනම පත්තරේක එතුමගෙ රූපයක් පලවෙනව...ඒකෙ කිසිම අමුත්තක් නෑ...ඒත් මෙතන විශේෂත්වය එතුමාගෙ කරට අත දාගෙන බොහෝම කුළුපග ලීලාවෙන් සිනාමුසු මුහුණින් පසුවන්නේ..ඩගී.....නොහොත්.... ඩග්ලස් හේවගේ නොහොත් දිවයිනට මත් ද්‍රව්‍ය සපයන අංක එකේ ජාවාරම්කරු...... 

'' දෙයියෝ සාක්කි මේ එදා අපෙ ඉන්ටවීව් එක වෙලාවෙදි විජිත් ගත්තු ෆොටෝ එකක් නේද?....එතකොට මේක කොහොමද?????? '' 

විජිත් සහ සහේළි එකිනෙකාගේ මුහුණු දිහාවෙ බලා හිටියෙ කිසිම දෙයක් කතා කරගන්ට බැරුව... 


ඒ දැඩි නිහඬතාවය බිඳීගියේ සහේළිගෙ ජංගම දුරකථනය නාදවන හඬින්... 

මා ලඟටම තව ලංවෙලා ...හිඳින්න නිහඬ නුවන් පියා...ඩබ්ලිව්. ඩී. ආරියසේන.....සහේලි කැමතිම ගීතයක්...එයාගෙ ෆෝන් එකේ රිංග් ටෝන් එකත් ඒක. 

මා සීතාවෝ.....සැතපෙන නින්..........සහේලි ස්ක්‍රීන් එක දිහාවෙ නොබලම කෝල් එක කට් කලා. 

'' ඇයි ඒ එහෙම කලේ? '' 

විජිත් සහේළි ලඟට ආව... 

'' මම උදේ ෆෝන් එක ඔන් කරනකොට මිස්ඩ් කෝල්ස් විස්සක් තිබ්බ Unknown Number කියල......මේකත් එහෙම වෙන්න ඇති '' සහේලි තිරය දිහා බැලුව...'' හරි...'' ඇය ෆෝන් එක විජිත්ට දුන්න...Unknown Number...... 

'' මොකද අනේ අපි දැන් කරන්නෙ?....'' ඇය එහෙම අහපු අසරණ විලාශයට විජිත්ගෙ පපුව පත්තු උනා...ඒත් දෙන්ට උත්තරයක් ඔහු ගාව තිබුනෙ නෑ සහේළිගෙ මූණ බලාගෙන ඉන්නව මිසක. 

සහේළිගේ පැණයට පිළිතුරු ලෙස දෝ ඒ සමඟම කුටිය පුරා පැතිර ගිය නාදයකින් ඔවුහු තිගැස්සී ගියෝය. ඒ ශබ්දය නිකුත් වූදෙස හැරුනු ඔවුනට කුටිය පුරා කෙමෙන් පැතිර යන වැහි අඳුර නිසා අඩාල වූ මන්දාලෝකයෙන් දැකගත හැකිවූයේ දොරටුව අසලම තෙපා කනප්පුවක් මත තිබූ පැරණි මාදිලියේ කළු පැහැ අංක ඇඟිල්ලෙන් කරකැවිය යුතු දුරකථනයකි. 



ඉන් නිකුත් වූ අමිහිරි ශබ්දය සහේළි සහ විජිත්ගේ සිත් අනියත බියකින් පුරවාලන්නට සමත් වූයේ නිතැනිනි. 


'' කවුරුවත් අපි මෙහෙ ඉන්නව කියල දන්නෙ නැහැනෙ ? '' සහේළී පැවසුවෙ ඇසෙන නෑසෙන තරමේ හඬකිනි. 


'' ඔව්, අනික ඊයෙ මම රිසෙප්ෂන් එකට කිව්ව අපිට ඩිස්ටර්බ් කරන්න එපා අපි කතා කරනකල් කියල..'' විජිත් එසේ පවසමින් ටෙලිෆෝනය අසලට ගියද රිසීවරය එසවීමට කිසිදු වෑයමක් නොදැරීය. 

සහේළි ද සෙමෙන් එතැනට පැමිණියේ සිහිනෙන් ඇවිදින්නියක මෙනි. 


ඔවුන් දෙදෙන තීරණයක් ගත නොහී එකිනෙකා දෙස බලා සිටියදී එක්වරම ටෙලිෆෝනය නිහඬ විය. 

ඉන්පසු පැතිර ගිය දැඩි නිශ්ශබ්දතාවය බිඳ වැටුනේ සහේළි මෙතෙක් ඉහලට ඇදගෙන සිටි හුස්ම ළය සැහැල්ලුවී යන පරිදි පහතට හෙලූ හඬිනි. 


'' විජිත්............'' 

සහේළි කුමක් දෝ පැවසීමට උත්සාහ කල ද ඇගේ දෙතොලට තම දබරැඟිල්ල තබමින් විජිත් එය වැළැක්වූයේ කාමරයේ දොර දෙසට හිසින් සන් කරමිනි. 

කාමරයෙ දොර දෙසට පැමිණෙන පියවර හඬක්.... බරට අඩි තබා පැමිණෙන පියවර හඬක්.... සහේළිට ඇසුනේ එවිටය. කාමරයේ දොරටුව අසලටම පැමිණි කවුරුන් හෝ ඒ පුද්ගලයා දොරටුව අබියස නතර විය. 


දෑස විසල් කොටගත් සහේළි හිස හරවා විජිත් දෙස බැලූ නමුදු ඔහු සිටියෙ දොරටුව දෙස යොමු කොටගත් බැල්මෙනි. 

සහේළී විසල් වූ දෑසින් යුතුව විජිත් වෙත ගොස් ඔහුගේ උරහිස වැළඳ ගත්තේ ද කාමරයේ දොරටුවට තට්ටු කරන හඬ ඔවුන්ගේ සවන් විදගෙන ගියේ ද එකම මොහොතකදීය.


Sunday, 4 November 2012

සෙවණැළි අතරින්......7

විජිත්ගෙ හිනාව මූණ පුරාම පැතිරුනෙ එක නිමේසෙකදි. 

'' එදින ඒ භයංකර ජවනිකාව රඟ දැක්වෙන අතරතුර උක්ත ඡායාරූප ශිල්පී තෙම පුවත්පත් කලාවේදිනියගේ ශීර්ෂ මස්තකය සිප ගන්නේ අපමණ සෙනෙහසකිනි. එසඳ ඕ තොමෝ ද ඔහුට තුරුළුව සිටින්නී ඔහුගේ උණුසුම මුළු මහත් ජීවිත කාළය තුලම ලබනු වස් පෙරුම් පුරන්නියක විලසිනි. '' 

විජිත් කිව්වෙ නාට්‍යයක රඟ පාන විදිහට හඬ උස් පහත් කරමින්. 

'' එබැවින් ඒ පහස යලි විඳිනු උදෙසා මෙලොව තමනට හිමි එකම නිශ්චල දේපල පවා අළුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දැමීමට ඒ ඡායාරූප ශිල්පී තෙම උදක්ම සූදානම්ය..එහෙත් අහෝ ඛෙදයකි. පුවත්පත් පත් කලාවේදිනිය තෙමේ මේ කිසිවක් නොදත්තී ඔහු කෙරෙහි කිසිදු ස්නේහයක් නොපාන්නීය. '' 

සහේළි එහෙමම නැවතුනා...හිටි පියවරම හිඳිමින් ඇය කල්පනා කලා...ජීවිතේ සමහර දේවල් තියනව සමහරවිට බොහොම වැදගත් තීරණ මේ එක මොහොතකින් ගතයුතු යයි අපිට බල කෙරෙන තීරණ.ඒ තීරණ ප්‍රත්‍යාවලෝකනයේදී අපිට වැටහෙන්න පුලුවන් සමහරවිට හරි සමහරවිට වැරදි කියල. ඒ මොක වුනත් බොහොම කෙටිකාලයකදි ඒ වගෙ තීරණ ගන්න කියල අපිට බල කෙරෙනව දෛවයෙන්...මේත් ඒ වගේ අවස්ථාවක්...සහේළි තීරණයක් ගත්තා...හරි හෝ වැරදි හෝ....ඒක පස්සෙ බලාගමු... 

ඇය දිග හුස්මක් පහළට හෙලුව..හෙමිහිට විජිත් ළඟට කිට්ටු උනා. ඔහු තාමත් ඉන්නව උඩට ගත්තු හුස්ම අල්ලගෙන ...ඉස්සරහ බිත්තිය දිහා බලාගෙන... 

සහේළි පිටිපස්සෙන් ගිහිල්ල නැවිල විජිත්ගෙ බෙල්ල වටේ අත් දෙක යැව්ව. ඒ කරල විජිත්ව වැළඳගෙන ඔහුගෙ උරහිස උඩ නිකට තිබ්බ. ඒ කරල ඔහුගෙ කණට කට තියල රහසක් කිව්ව. 

'' ඒ කැමරා කාරයට කියන්ට ඒ පත්තර කාරි කිව්වය කියල තියෙන එකම ගේ උගස් තියල මිනීමරුවන්ට සල්ලි දෙන්ට ඕන නෑය, ඔච්චරම ඉස් මුදුන ඉඹින්ට ආසයි නම් පත්තර කාරි ඕන වෙලාවක ලෑස්තියි කියල එහෙම ඉඹින්ට ඉඩ දෙන්ට...'' එහෙම කියල සහේළි හෙමිහිට විජිත්ගෙ කම්මුල ඉම්බ...විජිත්ගෙ හිනාව දෙගොඩ තලා ගියේ එක මොහොතින්..... 

ඔතනින් පස්සෙ ප්‍රේම කතාවට මොනම බාධකයක් වත් ආවෙ නෑ....අවුරුදු දෙකක් දෙන්න බොහොම සන්තෝසෙන් ගත කරල අන්තිමට තීරණය කලා විවාහ වෙන්ට ඕනය කියල...ආ, පොඩ්ඩෙන් නම් අමතක මතක බැරි වෙනව...ඔය අතර එක වැදගත් සිද්ධියක් උනා... 

'' සහේළි මාර වැඩක්නෙ...'' දවසක් කලබලෙන් දුවගෙන ආපු විජිත් සහේළිගෙ මේසෙ ඉස්සරහ ඉඳගත්ත. කලින් දවසෙ සුප්‍රසිද්ධ පුරා විද්‍යාඥයෙක් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක සටහන් ආයෙම කියවමින් හිටි සහේළි ඔලුව උස්සල බැලුව.. 

'' පහුගිය සුමානෙ අර විපක්ෂෙ මන්ත්‍රීට වෙඩි තියපු එක මතකද?...'' ඊට කලින් සුමානෙ ආණ්ඩුව දරුණු විදිහට විවේචනය කරපු විපක්ෂ මන්ත්‍රී වරයෙකුට වෙඩි තියල තිබුන...මිනිහ දැන් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ...රටේ කතාව පැතුරුනේ මේක ආණ්ඩුවෙන් කරවපු එකක්ය කියල...විශේෂයෙන්ම මේකට අඟිල්ල දිගු උනේ බලවර්ධන ඇමති තුමාට.අර විපක්ෂ මන්ත්‍රී තුමා විශේෂයෙන් විවේච්නය කලේ බලවර්ධන ඇමති තුමාව... 

'' ඒ වැඩේ කරවල තියෙන්නෙ සිකුරා..ඒත් පිටරටවල් වලින් එන බලපෑම් නිසා ආණ්ඩුවට මේ ගැන පරීක්ෂණයක් නොතිය බැරි වෙලයි තියෙන්නෙ...දන්නවද ඒකට අත් අඩංගුවට අරං තියෙන්නෙ සිකුරගෙ ප්‍රධානම ගෝලය...සිකුර කියල බලවර්ධනට මිනිහව එලියට දාන්නය කියල.ඒත් හැම පැත්තෙන්ම ප්‍රෙෂර් එක වැඩි නිසා බලවර්ධන වැඩේට බෑ කියල අත පිහදාගෙන...ලබන අවුරුද්දෙ ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එකනෙ . බලවර්ධන කැමති නෑ නම සවුත්තු වෙන වැඩ කරන්ට...'' 

'' ඒ උනාට බලවර්ධන නම් කිව්වෙ වැඩේ කරන්ටෙයි කියල අර මිනිහ එලියට දාන එකක් එයාගෙම වගකීමනෙ...'' සහේළි පුටුවෙ පස්සට ඇදිල හේත්තු උනා. 

'' දේශපාලනයෙ එහෙම වගකීම් සහ යුතුකම් කියල දේවල් නෑ සහේළි, තමන්ගෙ ඉදිරිගමනට වාසිවෙන ඕනම දෙයක් කරන්ට වගේම ඒකට බාධාවෙන ඕනම දෙයක් නොකර ඉන්ටත් දේශපාලකයො පසුබට වෙන්නෙ නෑ. විශේෂයෙන් බලවර්ධන වගෙ ඉහළටම යනට බලාපොරොත්තු වෙන අය... '' 

'' හිහ්, හිහ්....හරි හරි...ඔයා ඉතිං මොකද?....මේ ඉර හඳ යට තියන සියලු සබ්ජෙක්ට්ස් ගැන විකාරද නෙ......'' සහේළි මහ හඬින් හිනැහුණා.ඔෆිස් එක ඇතුලෙ...විජිත්ට වටපිට බැලුනෙ ඉබේටමයි....හොඳ වෙලාවට වැඩිය කවුරුත් නෑ...මේ වෙලාවෙ,වම් පැත්තෙ වීදුරු කාමරේ ඇතුලෙ හිටිය ප්‍රවෘත්ති කර්තෘ විතරයි..මිනිහත් ටෙලිෆෝන් එකත් කණේ ගහගෙන පුටුවෙ දිග ඇදිල බර කතාවක්...ඇහෙන්න නැතුව ඇති එකත් එකටම.. 

'' මොකද හලෝ..වට පිට බලන්නෙ මේ...නිකං හරියට මිනියක් මරල වගේ....මොකද ඔච්චර බය? '' සහේළි සමච්චල් හිනාවකින් එහෙම ඇහුවට හඬ පහත් කරල තමයි ඇහුවෙ වටපිට එහෙම බලල..... 

'' හුහ්..තමුන්ට නම් මොකද?....පෙලක් උදවිය නම් රස්සාවල් කරන්නෙ නිකම් ජොලියටනෙ...නිකං කාල ඉන්ට බැරුවට....මේ.......හරියට....'' .විජිත් කියන්ට ආපු දේ ගිලගත්තා... 

සහේළි පත්තර රස්සාව කලාට සෑහෙන දේපලක් තිබුණු උඩරට හොඳ පවුලක එකම දරුවා බව විජිත් මේ වෙනකොට දැනගෙන හිටියෙ දෙපාරක් විතර සහේළිගෙ ගෙදර ගිහිල්ල තිබුනු නිසයි. 

'' මේ හරියට මොකක්ද?....හරියට පශ්චාද් භාගයෙහි බලවත් වූ කශානා රෝගයක් වැළඳී ඇති සේද?....හිහ්, හිහ්, හිහ්.....'' ඒ පාරනම් සහේළිගෙ හිනාවට ප්‍රවෘත්ති කර්තෘ තුමා ඔලුව උස්සල බැලුව ටෙලිෆෝන් එකේ රිසීවරේ කණෙන් ඉවතට අරගෙන.... 

'' මේ වැඩේ හරියන්නෙ නෑ...තමුං මෙතන ඇවිල්ල මේ කරන වැඩේ හින්ද මම වැටෙනව ලොකු අමාරුවක...දැං කියන්ට ආපු එක කියල ඉවර නම් කරුණාකරල යනවද...මගෙ වැඩක් කරගන්ට දීල පාඩුවෙ...'' සහේළි බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන කිව්වෙ මේසෙ වැළමිටි රඳවල ඒ මතට වාරුවෙල ඉස්සරහට නැමිල විජිත්ගෙ ඇස් දිහාවෙ කෙලින්ම බලාගෙන 

'' ඔන්න බලාපල්ලකො ඉතිං ඒකත් මයෙ වැරැද්ද?...මට කියන්ට ආපු දේ කියන්ට දෙන්නෙ නැතුව රටේ නැති බූත කතා කරේ.... එතකොට මේක දෙවනත් වෙන්ට කැකිරි පැලුවෙ....මමද එතකොට?....'' විජිත් ඇහුවෙ සහේළි වගේම වැළමිටි මේසෙ උඩ තියල වාරුවෙල සහේළිගෙ මූණෙ වදින්ට නොවදින්ට ගානට මූණ කිට්ටු කරල.. 

'' කෝළං කරන්ට එපා ඔන්න.. '' සහේළි එක පාරට පස්සට උනා. 

මේසෙ දෙපැත්තෙ වාඩි වෙල කතාවක් බහක් නැතුව ගෙවිල ගිය මිනිත්තුවක් දෙකකට පස්සෙ... 

මේසෙ උඩ තිබ්බ කහපාට හයි ලයිටර් පෑනක් ඒ මේ අත පෙරලමින් කතාකරපු විජිත් එක පාරට ඒක අතඇරල ඔලුව උස්සල සහේළි දිහා බැලුව. 

'' දැන් බලවර්ධනයි සිකුරයි ජන්මාන්තර තරහයි. සිකුරා ආගිය අතක් නෑ...මගෙ කන්ටෑක්ට් එකකින් මට බොහොම විශ්වාස කටයුතු ආරංචියක් ආව බලවර්ධන සිකුරට කන්ට්‍රෑක්ට් එකක් දීල කියල...'' විජිත් බොහොම හෙමිහිට කිව්වෙ වචන පැහැදිල්ව එකින් එක උච්චාරනය කරමින්.ඒ තමන් කියනදේ තියන වැදගත් කම සහේළිට ඒත්තු ගන්වන්න කරන උත්සාහයක් කියල සහේළිට තේරුනා එක පාරටම. 

'' කන්ට්‍රෑක්ට් එකක්ය කිව්වෙ?....'' 

'' ටර්මිනේෂන් කන්ට්‍රෑක්ට් එකක්......සිකුරව මරන්ට.... '' 

මතු සම්බන්ධයි 

Friday, 2 November 2012

සෙවණැළි අතරින්......6

සහේළි සහ විජිත්ගෙ ප්‍රේම කතාව ඊට පස්සෙ කිසිම අතුරු ආන්තරා හැල හැප්පීම් වලින් තොරව ගලා ගියා හරියට නියං කාලෙ කැලණි ගංගා තොමෝ නිසලව සුදු වැලි මතුපිට පෙණ බිඳු ඉස ඉස ගලා බසින්නා සේ.... 

ජීවිතේ එහෙම පැහැදිලි අනතුරකට ලක්ව තියෙද්දි දෙන්නෙක් එකිනෙකා වෙනුවෙන් කරන කැපවීම ඒ තමන්ගෙ ජීවිතය හෝ නොතකා අනෙකා වෙනුවෙන් කරන පරිත්‍යාගය කියන එක තරම් දෙන්නෙක් ආසන්න කරවන්න හදවත් දෙකක් ළං කරවන්න බලයක් තියන වෙන කිසිම දෙයක් නෑ... 

තමන් වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරන්ට හරි සූදානම් කියල හිතෙන කොල්ලෙක් වෙනුවෙන් තමන්ගෙ ආදරය පුද කරන්ට කවුද අකමැති වෙන කෙල්ල?...සහේළිත් එහෙමයි...ඇත්තටම තමන්ට බාර වෙන රාජකාරිය අකුරටම කරන්ට වෑයම් කරන තමන්ගෙ පෞද්ගලික සිතුම් පැතුම්, සබඳතා , මති මතාන්තර ඒකෙදි යටපත් කරල කටයුතු කරන්ට හැකියාවක් තියන වෘත්තීය පත්‍ර කලාවේදිනියක් උනාට ඇයත් සාමාන්‍ය ලෙයින් මසින් සැදුනු ගැහැණියක්... 

ඒත් ජීවිතේ කිසිම තීරණයක් හැඟීම් බරව, ආවේගයන් මත ගන්ට ඇය කැමති උනේ නැහැ. ඒ නිසා විජිත් ගැන හිතේ කොණක අහු මුල්ලක උපන් ප්‍රේමණීය හැඟීම ගැන එහෙමට ඇය කලබල උනේ නෑ. එක්කො දළු දාල වර්ධනය වෙලා හදවතම සුවඳින් පුරවාලන්න එහෙමත් නැත්නම් එහෙමම මැලවිලා මුකුලිත වෙලා යන්න කාළයට බාර දීල ඇය සුපුරුදු පරිදි රාජකාරි වල යෙදුනා.මේ කාලෙදි විජිත් එක්ක එකට වැඩ කරන්ට ඇයට අවස්තාවක් ලැබුනෙම නැති තරම්. ප්‍රවෘත්ති හඹායාමේදී ඡායාරූප ශිල්පියෙක් අවශ්‍යද එහෙම අවශ්‍ය නම් ඒ සඳහා අනුයුක්ත කරන්නෙ කවුද කියන එක තීරණය කරන්නෙ තනිකරම ප්‍රවෘත්ති කර්තෘ. 

ඒ ගැන බලපෑමක් කරන්න අදාල වාර්තාකරුට හෝ කාරිනියට කිසිම විදිහකින් බෑ. විජිත් මේ ඊයෙ පෙරේද ෆීල්ඩ් එකට ආපු නවකයෙක් නෙවෙයි. මේ Status Quo එක නොදැන හිටිය නම් නෙවෙයි. ඒත් විජිත්ගෙ හිතේ ලොකු හිස් බවක් අඩුවක් ඔහුටම තේරුණා. එදා අර සිද්ධිය වෙලාවෙ සහේළි තමන්ට තුරුළු වෙලා හිටපු විදිහ, තමන් ඇගේ හිස් මුදුන හෙමිහිට සිපගත් විදිහ විජිත්ගෙ හිතෙං මැකිල ගියේම නෑ. හැම මොහොතක් මොහොතක් ගානෙම ඒ සදාදරණීය මොහොත ඔහුට මැවි මැවී පෙනුන. 

අර සිද්ධියෙන් මාසෙකට විතර පස්සෙ දවසක..... 

විජිත් එදා ගියේ ගුවන් පාළමක් විවෘත කිරීමේ උත්සවයක ඡායාරූප ගන්ට. ප්‍රධාන අමුත්තා අතිගෞරවාර්හ ධුරන්ධර මහේශාක්‍ය බෝධිසත්ව ගුණෝපේත බලවර්ධන ගරු අමාත්‍ය තුමා.....ඔහුගේ පෞද්ගලික සහායක තැන්පත් සිකුරාජපති මැති තුමා ද ඔහුගේ දකුණු පස සුපුරුදු ලෙස....සිකුරාජපති මහතාගේ තියුණු දෑස එකම වරක් පමණක් විජිත්ගේ දෑස හා ගැටුණ ද මොහොතකට පසු ඔහු ඉවත බලාගත්තේ දෑසින් කිසිදු හැඟීමක් පල නොකරමිනි. 

ඔය අර සිද්ධියෙන් පස්සෙ සිකුරාව විජිත් දැක්කමයි. ආයෙම එදා සිද්ද වෙච්චි දේවල් මතක් වෙලා විජිත්ගෙ හිතේ බයක් වගෙ දේකුත් ඒ එක්කම සහේලි මතක් වෙලා සදාදරණීය සුන්දර හැඟීමකුයි අන්තිමට ඒ දෙකම මිශ්‍ර වෙච්ච මහ අමුතුම හැඟීමකුයි කියන තුනම හොල්මන් කරන්න ගත්ත. 

ඒ කල්පනාවෙන්ම හිත බරවෙලා ආපහු ඔෆිස් එකට ඇවිල්ල විජිත් මඟදි ගත්ත බත් පාර්සලෙත් අරගෙන ලන්ච් රූම එකට ඇතුලු උනේ උදේටත් හරිහැටි කෑමක් නැතුව බඩගින්න ඉවසන් ඉන්ට බැරිතරමට උත්සන්න වෙලා තිබුනු නිසාමයි. 

ඒත් කෑම කාමරේ දොරෙන් ඇතුලු වුන ගමන් විජිත් එහෙමම නතර උනා. බුර බුරා නැඟෙමින් තුබූ සුදහ ගින්න එකෙනෙහිම ඔහුගේ සිතින් අතුරුදන් වූයේ මෙතෙක් සිත් පෙලූ අමිහිරි හැඟීම් ද සමඟිනි. 

කෑම කාමරේ දිග මේසෙ එහා කෙලවරේ ඔහුට පිටුපාල හිස නවාගෙන ආහාර ගනිමින් හිටියෙ.......ඔව්...හිතවත ඒ....සහේළි... 

එදා සිද්ධියෙන් පස්සෙ සහේළි තනියම හම්බ වෙන්න අවස්ථාවක් විජිත්ට ලැබුනෙම නැහැ..''දෙන දෙයියෝ හොම්බට ඇන ඇදෙනවලු...'' විජිත්ට ඉබේම කියවුනා... 

සහේලි එක් වරම ආපහු හැරිල බැලුවෙ කටත් බාගෙට ඇරගෙන. ඒක දැකල විජිත්ට හිනා ගියේ ඉබේටම. 

'' කෝළං... '' 

සහේළි ආපහු හැරුනෙ තොල් අතරින් පනින්ට ආපු හිනාව තොල් හපාගෙන වලක්ව ගන්න ගමන්. ඒ එක්කම හිත ඇතුලෙ හීන් සතුටකුත් මෝදු වෙනව ඇයට දැනුන. ඇත්ත. පහුගිය කාලෙ අධික වැඩ නිසා විජිත් එක්ක කතා කරන්ටවත් වෙලාඅවක් ලැබුනෙ නැති ගානයි.විජිත් දැක්කම ආයෙම එදා සිද්ධිය මතක් වෙලා බෙල්ලෙ ඉන්දං උඩහට ලේ පුරාගෙන එනව ඇයට දැනුන. 

මූණ රතුවෙනව විජිත් දකියි කියල ඇය කලේ මුහුණ පහතටම නවාගෙන හෙමිහිට ආයෙම බත් කන්න පටන් ගන්න එකයි. 

සහේළි තොල් හපාගෙන හිනාව වළක්වගන්න උත්සාහකරනව වත් ඇගේ මුහුණ රතු වෙනව වත් විජිත් දැක්කෙ නෑ.ඒ වගේම ඇගේ හිතේ කොණක උපන් පුංචි සතුටේ මල් කැකුළ ගැනත් විජිත් අඳෝ සංසාරයක් දැනගෙන හිටියෙ නෑ. ඔහු දැක්කෙ සහේළි කෝළං කියල අමනාපෙන් අහක බලාගත්තු හැටි විතරයි.විජිත්ගෙ හිතේ පිරිල තිබ්බ සංතෝසේ එහම්මම නැතිවෙලා ගියෙ ඔහුගෙ තොලගට නැඟුනු සිනහවත් අතුරුදන් කරමිනුයි. ඒත් සහේලිත් මේ මොකවත් දැක්කෙ නෑ...ඈ හිටියෙ විජිත්ට පිටුපාල ඔළුවත් පහතට නවාගෙන. 

විජිත් හෙමිහිට ඇවිල්ල සහේලි ඉස්සරහම පුටුවක් ඇදල වාඩි උනා...බත් එක දිගඇරගත්තෙ බොහොම පරිස්සමින්...මේ ලෝකෙ තියෙන වැදගත්ම වැඩේ බත් එක දිගාරිනව කියල හිතාගෙන වගෙනෙ ඉන්නෙ මෙයා ඇහි පිහාටු අස්සෙං විජිත් දිහා බලපු සහේළි තමන්ටම කියාගත්ත. ඒ එක්කම යාන්තමට හිනාවකුත් ඇගෙ දෙතොල මාතට ගොඩ වෙන්ට තැනුව.... 

දැඩි නිශ්ශබ්ද තාවය බිඳුනෙ කෑම කාමරේ දොර ගාවම එල්ලල තිබ්බ සුදුපාට මූණතකින් යුතු බිත්ති ඔරලෝසුවෙ ටක... ටක ....ටක...ටක නාදයෙන් විතරයි. දෙන්නම ඔළු නවාගෙන නිශ්ශබ්දව බත් කෑව...සහේළි කාල ඉවරවෙලා ලන්ච් ෂීට් එක ඔතන සද්දෙට විජිත් හිස උස්සල බැලුව.. 

'' මට අද සිකුරා හම්බ උනා....'' ඔහු කිව්වෙ එක පාරටම 

ලන්ච් ෂීට් එකත් අතේ ගුලි කරගෙන පුටුවෙන් නැඟිටින්න ගිය සහේළි ආපහු පුටුවෙම ඉන්ද උනා... 

''නෑ...කොහෙදිද?...'' සහේළි ඇහුවෙ ඇස් ලොකු කරගෙන.....මෙයා බොරුවක් වත් කියනවද?....එහෙම එක පාරටම හිතුනත් ඒ එක්කම ඒ සැකේ නති වෙලා ගියා...නෑ...වෙන්න බෑ...විජිත් එහෙම බොරු කියන කෙනෙක් නෙවෙයි...විශේෂයෙන්ම මේ වගේ දෙයක් ගැන...ඊටත් මේ මට... 

''මම අද ගියෙ කටු කුරුන්දෙ ෆ්ලයි ඕව එකේ ඕපනිං සෙරිමනි එක කව කරන්ට...විවෘත කලේ බලවර්ධන...සිකුර නැතිවෙන්නෙ නෑනෙ බලවර්ධන ඉන්න තැනක...මිනිහත් ඇවිල්ල හිටිය...'' විජිත් තාම කතා කලේ ඔළුව පාතට හරෝගෙන... 

'' ඔයාව අඳුන ගත්තද? '' 

''එකම පාරක් කෙලින්ම මගෙ මූණ බැලුව. ටික වෙලාවක් එහෙමම බලාඉඳල අහක බලාගත්ත. අඳුන ගන්න ඇති..ඒත් මූණෙන් නම් ඒ විත්තියක් පෙන්නුවෙ නෑ.එහෙම අඳුනාගත්ත උනත් ඔය වගෙ මිනිස්සු එව්ව මූණෙන් දැනෙන්ට අරින්නෙ නෑ...සිකුරා වගෙ මිනිස්සු නම් බැරිය මම දන්න තව අය ඉන්නව බොහොම දක්ෂයි තමන්ගෙ හැඟීම් පිටට නොපෙන්නා හංගා ගෙන ඉන්න...'' විජිත් යටි තොල හපාගෙන ක්ෂණිකව සහේළිගෙ මූණ බලල ආයෙම බිම බලාගත්ත. 

සහේළිගෙ තොල් ගුලි උනේ ඇය නොදැනුවත්වම..නළල රැලි වැටුනෙත් ඒ එක්කම... 

''ඒක ඇත්ත වෙන්න ඇති..ඒත් මම දන්න අය නම් ගොඩක් ඉන්නෙ අනුන්ගෙ හැඟීම් තමන්ට තේරුම් ගන්න පුළුවන්ය කියල දවල් හීන ලෝකවල ජීවත් වෙන අය...'' සහේළි පුටුව පස්සට ඇදල නැඟිට්ට. 

විජිත්ට පිටු පාල සින්ක් එක ලඟ අත හෝදන අතරෙ ඇය ආපහු උරහිස උඩින්හිස හරවල ඔහු දිහා බැලුව...විජිත් ඔලුවත් නවාගෙන පාඩුවෙ කෑම කනව...ඇයට හිනාවක් පැන්නෙ ඉබේම. ''පව්.....'' 

අත හෝදල ඈ ආපහු හැරුන... 

''සෙරිමනි එක ඉවර වෙලා මම සිකුරාට කතා කලා....''විජිත් ආයෙම කිව්වෙ ගහෙං ගෙඩි එන්නා වගෙ... 


''ඈ.????"...සහේළිගෙ ඇස් දෙක ඒ පාරනම් නළලෙම තමයි නැවතුනේ.. "පිස්සුද ඔයාට? මොන කෙහෙල්මලකටද ඒ යක්සය හම්බ වෙන්ට ගියේ..."

ඈට පෙනුනෙ පිටුපාල ඉන්න විජිත්ගෙ හිසේ පිටුපස්ස විතරයි. ඒ නිසා ඔහුගෙ දෙතොලග නටන සිනා රැල්ල ඇයට කොහොමවත් පෙනුනෙ නෑ... 

''මම ඇහැව්ව මිනිහගෙන් අර පත්තරේක වැඩ කරන කෙල්ලයි, කැමරා කාරයයි පස්සෙං පන්නල වෙඩි තියල කරපු පලහිලව්වට බලවර්ධන කීයක් ගෙව්වද කියල...'' 

සහේළිගෙ අත් දෙක ඉණට ගියේ ඉබේම. ඒ පාරනම් කටත් ඇරුන බාගෙට නෙවෙයි ඔක්කොම...මේ මනුස්සය බොරුවක් නේද මේ කියන්නෙ කියලත් එක පාරක් හිතුනත් විජිත්ගෙ ස්වරයෙ තිබ්බ සීරියස් ගතිය ඇගේ හිතට ආයෙම සැකයක් ඇති කලා...ඇත්තටම විජිත් එහෙම ඇහුව වත්ද? 

" දැං ඔය මොකටද එහෙම කතාවක් අර යකාගෙං තමුං ඇහුවෙ?'' 

සහේළි තමුං කියන්නෙ අන්තිමට තද උනාම තමයි...විජිත්ගෙ හිනාව තවත් පළල් උනා. 

''නෑ අර කැමර කාරයට ඕනලු ආයෙම පාරක් ඒ මාරක නාඩගම රඟ දක්වන්ට..සිකුර අය කරන ගාන ගමේ තියන ගේ පොඩ්ඩ හරි විකුනල ගෙවල දාල ආයෙම ඒ සීන් එක රඟපාන්ට ඕනය කියනවනෙ ඒ මනුස්සය..'' 

සහේළිට බකස් ගාල හිනාවක් පැන්නත් අතින් කට වහගෙන ටිකක් වෙලා හිටිය හිනාව පාලනය කර ගන්ට.. 

විජිත් කෑමත් නවත්තල ඉස්සරහ තියෙන බිත්තිය දිහා බලාගෙන හිටියෙ සහේළිගෙ ඊළඟ ප්‍රතිචාරය තීරණාත්මක බව ඉවෙන් වගෙ දැනගෙන. 

''මල කෝලං '' කියල ගස්සගෙන යයිද?....'' කැමරා කාරයගෙ මොලේ කොලොප්පං මං හිතන්නෙ '' එහෙම කියල මහ හයියෙං හිනා වෙයිද? 

විජිත් හුස්මත් අල්ලගෙන බලාපොරොත්තු උන ප්‍රතිචාරය..සහේළිගෙ ප්‍රතිචාරය ඔන්න අන්තිමට ආව. 

''ඒ මොකටද ඒ කැමරා කාරය එහෙම දෙයක් කරන්නෙ '' ඈ ඇහුවෙ රහසක් කියනව වගෙ.. 


මතු සම්බන්ධයි 

Monday, 22 October 2012

සෙවනැලි අතරින්... 5


,.,




ආ.......................හ්!!!!

එකපාරටම ඇහුනු වෙඩි සද්දෙත් එක්ක නැගුණු මර හඬ විජිත්ගෙ කන්වල දෝංකාර දුන්න..
ඒ හඬ තත්පර ගාණකට කලින් තමන් එක්ක කතා කරපු මනුස්සයගෙ බවට විජිත්ට සැකයත් තිබුණෙ නෑ...

අනේ මොකද්ද විජිත් මේ වෙන්නෙ?

කාමරේ මුල්ලක හිර වෙලා ඉඳගෙන විජිත්ගෙ පපුවට තුරුලුවෙලා මුවැත්තියක් වගේ ගෙවුණ ඒ මිනිත්තු දෙක අවසන සහේලි පියවි සිහියට ආව...

ෂ්... ෂ්..... සද්ද කරන්ඩ එපා සහේලි... විජිත් රහස් හඬින් කිව්ව...

වෙඩි සද්දෙන් පස්සෙ අගුලු වැටිල තිබුණ කන් නිදහස් වුණාට පස්සෙ අර බර අඩි එහෙ මෙහෙ දුවන සද්දෙටත් සහේලි තව තව විජිත්ට තුරුල් වුණා....

හරි ඌ ඉවරයි බොස්!!!  කවුරු හරි කියනව ඇහුණ

මට හොඳටම ෂුවර් මෙතන බෝල සමරෙ විතරක් නෙවෙයි තව කට්ටිය හිටිය... දෙකක් නෑ... අර පත්තරේ කැමරා කාරයයි කෙල්ලයි...
දුවන අඩි සද්ද ඇහුණ.......මුන් මේ කොහෙ හරි හැංගුණා!!
යන්ඩ දෙන්ඩ එපා හොයපල්ලා!!!!

සහේලි විජිත් දිහා බලල ඇස් තදින් පියාගත්ත...

එක පාරටම යමක් මතක් වෙච්ච විජිත් එක අතක් නිදහස් කරන් හෙමින් සැරේ ජංගමය අරන්  අංකයක් එබුව

පද්මෙ... වැඩි වෙලා නෑ.... මට ඉක්මනට කියන්ඩ ඩග්ලස් හේවගේ කියන්නෙ කවුද??

විජිත් රහස් හඬින් දුරකථනයෙන් ඇහුව

එහා පැත්තෙන් උත්තර දුන්නු පද්මෙ කිව්ව දේට විජිත්ගෙ ඇස් උඩ ඉන්දුන හැටි සහේලි බලන් හිටියෙ යන අතක් හොයාගන්ඩ බැරුව අතරමං වෙච්ච හිතෙන්....

විජිත්ට ජංගමය සාක්කුවට දාගන්ඩ ලැබුණෙ නෑ!!!

දඩාස් !!

දොරට වැදුණු පා පහරත් එක්කම ඇරුණු දොරින් තුවක්කු මානාගෙන කලු ඇඳි ඇස් බැඳගත් වුන් පොදියක් සහේලියි විජිතුයි හිටිය කාමරේට වැදුණ...
.......................................................................................

හ්ම් හ්ම්..................පලයල්ල ඇතුලට....

සහේලිවයි විජිත්වයි කොහේ දෝ  ඇතුලකට තල්ලු වුණා!!!

මේ වෙනකල් බැඳල තිබුණු ඇස්වල බැමි නිදහස් වුණත් ඇස් ඇරල කාමරේ දිහා බලන්ඩ සහේලිට බැරි වුණා...

නලලට අතක් තියල ආලෝකයෙන්  ඇස් මුවා කරගත්තු ඈ හෙමින් සැරේ වටපිට බැලුව

විජිත් තාමත් අල්ලගෙන ආව විදියටමයි...

කීපදෙනෙක් ගිනි අවි මානාගෙන වටේට!!

එයත් හිටියෙ ඇස් අරින්ඩ අසාර්ථක උත්සාහයක යෙදෙමින්

හහ් හහ් හා... මෙයාද මේ මහ ලොකු පත්තර වාර්තාකාරිණිය??

සහේලී ඒ සමච්චල් හඬ ඇහිච්ච දිහා බැලුව

සුදු ඇඳගත්ත මූණ වැහෙන තරමට ලොකු කලු කණ්නාඩි දාගත්තු කෙට්ටු බොකුටු කෙස් තියෙන මිනිහෙක් සහේලි ඉදිරිපිට මේසෙට හේත්තු වෙලා හිටිය...

ඇයි අපිට මෙහෙම කරන්නෙ?? ඇයි ඔහේල අපි පස්සෙ පන්නන්නෙ???

සහේලි හඬ අවදි කළා...

හෙහ් හෙහ් හෙහ් තමුන් කරල තියෙන දේ බරපතලකම තමුන් දන්නෙ නෑ නේද?? දැක්ක නේද තමුන්ගෙ ඇස් ඉදිරිපිටම අපි කියන දේ තුට්ටුවකට මායිං නොකරපු බෝල සමරෙට වෙච්ච දේ??
මෙයා බොහොම දැඟලුව සර්... දෙන්නත් එක්ක පැනල දුවන්ඩත් හැදුව.... තව පොඩ්ඩ එහෙ මෙහෙ වුණානං ගේන්ඩ වෙන්නෙ ඉතිං ම.....

තුවක්කුව මානගෛන සහේලි දිහා බලාගෙන හඬ අවදිකරපු දැවැන්ත මනුස්සයව අත ඔසවා නිහඬ කරපු කණ්නාඩි කාරයා අඩි දෙකක් ඉදිරියට ආව....

මට කොලේ වහන්ඩ එන්ඩ එපා තමුසෙල... මාව තම්බන්ඩ තමුසෙල ලඟ තියෙන ලුණුගොරක මදි ඕයි.......

ඔය කියන තරං අහිංසක නං තමුසෙල මොකටද බෝල සමරෙව හම්බ වුනේ???

කවුද කෙනෙක් කතා කරල කිව්ව ඒ ගොඩනැගිල්ලට එන්ඩ කියල යමක් කියන්ඩ තියෙනව කියල.... පත්තර වාර්තාකාරයො විදියට අපි ඒවගේ හෝඩුවාවල් පස්සේ එනව....ඒක සාමාන්‍ය දෙයක්

ඒ විජිත්

ආ.... හැබෑට.. කියමු බලන්ඩ තමුන් දැනගත්ත දේවල් එහෙනං දැන්???

අපි දන්නෙ නෑ...ඒ මනුස්සය එක්ක කතා කරන්ඩ අපිට ලැබුණෙ නෑ....ඔහේල ඇයි අපිට කරදර කරන්නෙ???

හහ් හහ්.. තා.....ම කරදර වුනේ නෑ.... තා....ම කරදර වෙන්ඩ පටං ගත්තෙවත් නෑ........හැබැයි රජෝ අපිට අවශ්‍ය දේ නොලැබුණොත් නං ඉතිං සෑ.......හෙන්ඩ කරදර වෙන්ඩ වෙයි.....

සර්.......... කෝල් එකක්!!!

මරුමුස් පාට හීන්දෑරි මිනිහෙක් දුරකථනය අරන් ආව

ඔවු ඇමති තුමා සිකුරා කතා කරන්නෙ

..................................

ඔවු ඔවු ඔවු දෙන්නම දැන් අපි ලඟ ඉන්නව...

......................................................

තාම නෑ ඇමතිතුමා... මං වැඩේ ඉවරයක් කරලම කෝල් එකක් දෙන්නංකො....

........................................

හරි හරි හරි.... දන්නවනෙ ඉතිං සිකුර වැඩක් කළොත්....

..................................

දුරකථනය විසන්ධි වුණා

හ්ම්!! හරි.. ඉඳගමු බලන්ඩ දෙන්නම දැන්... අපිට තියෙනව කතාවක්!!!

සිකුරගෙ සගයො බලෙන්ම විජිත්වයි සහේලිවයි සිකුර ඉස්සරහ පුටුවල  ඉන්දෙව්ව

දැන් මට කියමු බලන්ඩ පහුගිය සතියෙ තමුන් බලවර්ධන ඇමතිතුමාගෙ ඉන්ටවිව් එක වෙලාවෙ ගත්තු ෆොටෝ කොහෙද කියල??

ඒව ඉල්ලන්ඩ ඔහේ කවුද??  විජිත්ගෙ හඬ උස්ව ඇහුණ

ඉදිරියෙන් හිටිය අවිගත් මිනිහා තුවක්කුව විජිත්ගෙ කම්මුලට තියල තද කළා!!

සහේලි ඇස් දෙක තදින් පියාගත්ත!!

අනේ දෙයියනේ... මේ මොන හෙණ ගෙඩියක්ද පාත් වුණේ!!!!

මෙන්න සර් බඩු!!!.
විජිත්ගෙ කැමරා ආම්පන්න බෑගය අවුස්සපු එක මිනිහෙක් කෑ ගැහුව

අර ඔත්තුකාරයට පෙන්නන්ඩ අවශ්‍ය වුණොත් කියල ප්‍රින්ට් කරල අරන් ආව ෆොටෝදෙක මිනිහගෙ අතේ.....

කෝ මෙහෙ දෙනව....

සිකුර ඒ ‍ෆොටෝ දෙක අරන් ... ඒ දිහා ටිකක් වෙලා බලන් ඉඳල විජිතුයි සහේලියි දිහා මාරුවෙන් මාරුවට බලමින් ඒව කීතු කීතු වෙන්ඩ ඉරුව.............

විජිත් ලඟින් තුවක්කුව අරන් ඈත් වෙන්ඩ කියල අර මිනිහට සන් කළා....

මේ... මහත්තයා.... සිකුරත් එක්ක සෙල්ලං කරන්ඩ නං ලෑස්ති වෙන්ඩ එපා.......මේක ගොඩිං බේරගන්නවද නැත්තං බොහොම දුර ගෙනහිල්ල අර බෝල සමරෙ ට වෙච්ච දේම කරගන්ඩ ඕනෙද??

විජිත්ට එක පාරටම යමක් මතක් වුණා!!!!!

මහත්තය, ඔය බලවර්ධන ඇමතිතුමාගෙ මැර කල්ලිය මෙහෙයවන්නෙ සිකුරාජපති....ඔය මං දැං කිව්ව මනුස්සයත් කාලයක් මිනිහට වැඩ කරල දැන් ඈත් වෙලා බිස්නස් එකක් කරගෙන ඉන්න හාදයෙක්....මං බොහොම යාප්පුවෙන් තමා කැමති කරවගත්තෙ මේ වැඩේට.....

සහේලි එක්ක මේ හෝඩුවාව පාරෙ එන්ඩ කලින් පද්මෙ කතා කරල කිව්වෙ එහෙමයි...

ඒ කියන්නෙ මේ සිකුර තමයි සිකුරාජපති.......
මේ බොක්ස් එක ඇතුලෙ කැමරාවෙ තියෙන චිප් එකට අමතරව තව චිප් දෙකක් තියෙනව සර්!!!

හරි ගන්නව බලන්ඩ මෙහාට... අපි කොණක ඉඳල චෙක් කරමුකො....

සිකුරා කැමරාව අරන් මතක චිපයේ තිබුණු ඡායාරූප පරීක්ෂා කරන්ඩ පටං ගත්ත...

මං ඒ පින්තූර ටික මකල දැම්ම.... ටෙලිෆෝන් කෝල්ස් එන්ඩ ගත්තට පස්සෙ....

හ්ම් .... ඒකත් එහෙමද?? කමක් නෑ අපිම බලන්නංකො මකලද නැද්ද කියල....

නැවතත් සිකුරගෙ සමච්චල් හිනාව කාමරේ පුරාම දෝංකාර දුන්න

යාබද පුටුවෙ ඉඳගෙන තමන්ගෙ මූණ දිහා බලන් ඉන්න සහේලි දිහා බැලුව විජිත් හෙමින් සැරේ පුටු ඇන්ද මත තිබුණු ඇගේ අත අල්ලගත්ත..

විජිත් කැමරාවෙ තිබුණු ෆොටෝ ටික මැකුව කියල කිව්ව ඈට මතක තිබුණ....
ගත්ත කිව්ව කොපීස් දෙක වෙන්ඩ ඇති මේ ඉරල දැම්මෙ....ෂික් අපරාදෙ....හැබැයි.. විජිත් කිව්ව නේද ඔෆිස් එකේ සොෆ්ට් කොපි එකක් තියෙනව කියල...
යාන්තං ඇති..... ඈට හිතුණා

මැරයන්ගෙන් ලද පහරවලින් තුවාලවෙච්ච විජිත් ගෙ නළලෙන්  තාමත් ලේ ගලනව දැක්ක සහේලිගෙ හිත ඇතුලෙන් මහා වේදනාවක් පුපුරු ගහන්ඩ වුණා...කලු ඇඳගෙන මාර සේනාව වගේ ඇතුලට කඩාගෙන වැදුණු මිනිස්සු විජිත්වත් තමන්වත් එළියට ඇදගෙන ආහැටි....තුවක්කු බඳකින් විජිත්ට ගහද්දි සහේලි කෑගහපු හැටි,

අනේ පවු!!! මේ දේවල්වලට මාත් වගකියන්ඩ ඕනෙ.... ඒත් කවුද දන්නෙ මේ වගේ දරුණු අත්දැකීමකට මුහුණදෙන්ඩ වෙයි කියල..... යකාට බය නං සොහොනෙ ගෙවල් හදන්නෙ නෑ නෙ කියල පණ්ඩිතකමට විජිත් එක්ක කට මැත දෙඩෙව්වට..... විජිත් වුණත් හිතන්ඩ නෑනෙ මේ තරම් දෙයක්!!  ඒ අතරේ විජිත් තමන් තුරුලට අරන් හිටි හැටි.... හෙමින් සැරේ පහත් වෙලා නළල සිපගත්තු හැටි මතක් වෙලා හදිස්සියෙම සහේලිට තමන්ගෙ නළල අතගෑවුණා....ඈට හොරෙන්ම විජිත් දිහා බැලුණ....

විජිත් බර කල්පනාවක!!

මොනව හිතනවද මන්ද මමත්.... මේ වෙච්ච දේවල් අස්සෙ....

ඊලඟ මොහොතෙ පියවි සිහියට ආව ඈට ඈ එක්කම තරහ ගියා!!!

හ්ම්...... මේවගෙ ඒ ෆොටෝ  නෑ............දැං කියමු බලන්ඩ අපි කොහොමද විස්වාස කරන්නෙ තමුන් ලඟ මේ  තියෙන චිප් විතරමයි තියෙන්නෙ කියල.....?? ආහ්?

සහේලිත් විජිතුත් ගැස්සිලා තමන්ගෙ කල්පනා ලෝකෙන් මිදුනෙ සිකුරගෙ ගෝරනාඩුවට...

කතා නෑ නේද.......?? හොඳයි ඒකටත් මංම විසඳුමක් යොදන්නංකො.....

සිකුරා තමන්ගෙ සගයන් දිහාට හැරුණ

යනව ලක්සරණ පත්තර කන්තෝරුවට.... ගිහිල්ල දල්ලා හම්බ වෙනව.... මං දල්ලට කියල ඇති කරන්ඩ ඕනේ දේ කලින්ම..... වැඩේ කරල නැත්තං ඒක ඉක්මං කරවන හැටි මං කියල දෙන්ඩ ඕනෙ නෑනෙ??

හ්ම්!!! අපේ ඔෆිස් එකෙත් එතකොට මේ මිනිහට උදව් කාරයො ඉන්නව!!!! ගැලවිල්ලක් නැති වෙන හැඩයි...

විජිත්ගෙ හිත කීරි ගැහුණ... ඔෆිස් එකේ තියෙන ඩිජිටල් කොපි එක මතක් වෙලා

ඇත්ත කියන එක නුවණට හුරුයි.....!!!

ඒ ෆොටෝස්වල කොපි එකක් ඔෆිස් එකේ මගෙ කම්පියුටරේ තියෙනව....

විජිත් කිව්වම සහේලි විජිත් දිහා බැලුවෙ ඇස් උඩ ඉන්දන්!!! මේ මිනිහට මේ මොකක් වෙලාද කියල තමයි ඒ බැල්ම කිව්වෙ

හහ් හහ් හහ් හහ් හහ් හහ්..... සිකුරට හිනාව නවත්තගන්ඩ බැරි වුණා....ඒ හිනාවට වටේ තුවක්කු මානගෙන හිටිය දෙතුන් දෙනත් එකතු වුණා...

ඔය කතා කරන්නෙ.....

දැන් මං කිව්වනෙ ඒව තියෙන තැන......කරුණාකරල අපිට යන්ඩ දෙන්ඩ.... මේ ළමයගෙ ගෙවල්වලින් දැන් කළබල වෙලා හොයනවත් ඇති...

පොඩ්ඩක් ඉන්නව මහත්තය.... එහෙම තමුසෙ කියන කියන  වෙලාවට රිලීස් කරන්ඩ පුලුවන් මිනිස්සු ජාතියක් නෙවෙයි  තමුසෙල....  දැන් මේ  දැරිවි තනියම ඔහේ එක්ක අර පාලු ගබඩාව ලඟට ආවෙ ගෙදරින් අහල නෙවෙයි නෙ.... ඒ තමුසෙලගෙ රස්සාවෙ හැටි...අනික අපි දන්නවද තමුසෙල රස්සාවට කියල ඔය ඔත්තු හම්බ වෙන හැමතැනම යන එකේ මොනව කරනවද කියල ඔය ගියාම... ආ? ඒ හන්ද ගෙවල්වලින් අමුතුවෙන් බය වෙන්ඩ දෙයක් නෑ නේ.....!!!

දෙයියනේ මේ මිනිහ කියන කැත කතා.... සහේලිගෙ ඇස් දෙකෙන් ගින්දර පිට වුණා..... විජිත් දත් මිටි කමින් ඉවසන් හිටියෙ වෙලාවෙ හැටියට වෙන කළ හැකි යමක් නොතිබුණ හන්දයි....

ජංගමය නාද වුණා.....
කියනව....
..............
ෂුවර්ද තමුසෙට වෙන එකක්වත් නෑ කියල... සේරම කම්පියුටර්වල බැලුවද??
............
මකලම දැම්මද? ආයෙ පොඩි ඇදයක්වත් තියාගන්ඩ නං එපා.... දන්නවනෙ මේක කාගෙ වැඩක් ද කියල....??
..........
ඕකේ!!!
සැනසුම් සුසුමක් හෙලල ජංගමය විසන්ධි කරපු සිකුර කල්පනාවට වැටුන....

හ්ම්....! ලෑස්ති කරනවල ගෙනියන්ඩ

ටික වෙලාවකට පස්සෙ සිකුරගෙ අණින් වටේ හිටිය කට්ටිය එකතු වෙලා නැවතත් සහේලිගෙයි විජිත්ගෙයි අත් බැඳල දැම්ම.....

දෙයියනේ මොනව වෙන්ඩද මේ යන්නෙ.... අනේ මගෙ අහිංසක අම්ම....!!!!

සහේලිගෙ ඇස්වලින් කඳුලු ගලාගෙන ආව.....

අඬන්ඩ දෙයක් නෑ........තමුන් දන්නවනෙ දැන්!!! තමුන් අත ගහල තියෙන වැඩේ බරපතල කම.... ඒක තේරෙනව නං, ඒකෙන් තමුන්ට වෙන්ඩ පුලුවන් දේවලුත් වැටහෙන්ඩ එපැයි......
තමුන්ල හොඳ........ට මතක තියාගන්නවල.... මෙතන සිද්ධ වෙච්ච දේවල් හෝ තමන් ලඟ තිබුණ ෆොටෝස් හෝ පබ්ලිෂ්වෙලා තිබුණොත් තමුන්ට ලැබෙන උත්තර මීට වඩා බොහෝ.........ම දරුණු වෙන බව.... ඒ නිසා පණට ආදරයක් තියෙනව නං දෙන්නම පරිස්සමෙන් වැඩ කළොත් හොඳයි... ආයෙ අපිට මේ ගැන තමුසෙලට මතක්  කරල දෙන්ඩ ඉඩ තියන්ඩ නං එපා!!! ප්‍රතිඵල සෑහෙන්ඩම දරුණු වෙයි....හා බඳිනවල දෙන්නගෙ ඇසුත්..... !!
මෙන්න තමුසෙගෙ මොබයිල් එක.... තමුසෙ පො....ඩ්ඩක්වත් අමතක කරන්ඩ එපා තමුසෙට මේ ගැන ඔත්තුව දුන්න එකා හොයාගන්න එක අපිට ඒ හැටි අමාරු වැඩක් නෙවෙයි කියන එක... ඒ හන්ද බොහො.....ම පරිස්සං වෙලා ඉන්ඩ කියනව ඌටත්....

තමන්ගෙ ජංගමය තමන්ගෙ අතේ මිට මෙලවෙනව විජිත්ට දැණුන....
පිටට තැබුණ අත් දෙකකින් තල්ලුවුණ සහේලියි විජිතුයි විසි වෙමින් ඉදිරියට ඇදුණ
..........................................................................................


බරාස්!!!!

වෑන් රිය තිරිංග තද වුණේ මහ හඬින්

කඩිමුඩියෙ ඇස් බැමි, අත් බැමි ලෙහුණ.....

සහේලිත් විජිතුත් එළියට තල්ලු වුණා.... වැටිච්ච වේගෙට සහේලි බිම ඉන්දවුණා.....

සහේලිගෙ හෑන්ඩ් බෑග් එකයි, විජිත්ගෙ කැමරා ආම්පන්න බෑග් එකයි එලියට විසි කරපු වෑන් රිය ඉවතට ඇදුනෙත් දොර මහ හඬින් වැහුණෙත් එකටම වාගෙ

සහේලි... ඔයාට තුවාලද??

සිහිඑලවාගත්තු මොහොතෙ විජිත් නැගිටගන්ඩ බැරුව ඉන්න සහේලිට නැගිටින්ඩ වාරු දුන්න....

හරි මට ලොකු අමාරුවක් නෑ..... අර බෑග් දෙක  අහුලගන්ඩ....

ශික්.... මගේ කැමරාව ඉවර ඇති!!!

විජිත් හෑන්ඩ් බෑග් එක සහේලිට දෙන ගමන් කිව්ව....

බලන්ඩ බලන්ඩ... මොකද වෙලා තියෙන්නෙ කියල....

හම්මේ!!! අපි දෙන්නගෙ මාරකයක් පැන්නද කොහෙද ...!!! මේ .... ඒව බල බල ඉන්ඩ වෙලාවක් නෑ. සහේලි .. ඉක්මනට මේ යන ත්‍රීවීල් එකක නගිමු....  වැඩි වෙලා ඉන්ඩ හොඳ නෑ මෙතන
දැන් වෙලාව කීයද??

දොළහ හමාරයි....

අනේ විජිත් ආන්ටිගෙන් කෝල් විසි තුනක්!!!!! ආන්ටි හොඳටම බය වෙලා ඇති... පොලීසියට කියලද දන්නෙත් නෑ.... බැනුං අහන්ඩත් වෙයි හොඳටෝම.....අම්මට නං මං කතා කළානෙ ඔෆිස් එකෙන් එන්ඩ කිට්ටුව...දැන්වත් ආන්ටිට කෝල් එකක් දෙන්ඩ ඕනෙ....

ඒ අස්සෙ ජංගමය එලියට ඇදල බලපු සහේලිට දෙලොව රත් වුණා

දැන් එපා සහේලි... අපි වෙන දෙයක් වෙන්ඩ කියල කෙලින්ම එහෙට යමු... ආන්ටි මොනව හරි කිව්වොත් මං හරි ඇවිත් කියන්නං හදිස්සියෙ මිනිස්ට්‍රියක මීටිමක් කවර් කරන්ඩ වුණා  අපි දෙන්නට... කෝල් එකක්වක් දෙන්ඩ විදියක් තිබුණෙ නෑ ෆෝන් ඕෆ් කරල සෙකියුරිටි ලඟ තියල යන්ඩ වුණා කියල... එතකොට හරි නෙ...

එහෙම කියල විජිත් ඇදල යන ත්‍රීවීල් එකකට අත දැම්ම....දෙන්නටම සැනසිල්ලෙ හුස්මක් වැටුණෙ ඒකෙ ඉඳගත්තමයි
............................................................................................................................................

චෙක් අපරාදෙ........ඇයි සර් අරුන්ට යන්ඩ දුන්නෙ......දැන් උන් ඔය ඉස්ටෝරිය පත්තරේ දැම්මොත් ඒම අපිට ලොවෙත් ඉන්ඩ වෙන්නෙ නෑ නෙ....

හෙහ් හෙහ්.....උඹලට තේරෙන්නෙ නෑ... උන් දෙන්නගෙ මූණු දැක්කෙ නැද්ද?

ඇස් පණාපිටම තමන්ට තොරතුරු දෙන්ඩ ආව මිනිහ මැරිල වැටිල ඉන්නව දැක්කට පස්සෙ උන්ට ඕක පත්තරේ දාන්ඩ හිතේ හයියක් හිටින්නෙ නෑ....

අනිවාර්යයෙන්ම උන් දෙන්නගෙ මොකක් හරි ලව් සීන් එකකුත් තියෙනව... එහෙම තියෙද්දි කොල්ල ලඟ තව කොපි තිබුනත් කීයටවත් ඕක පබ්ලිෂ් කරල අවදානමක් ගන්නෙ නෑ......

අනික අර කෙල්ලගෙ ගෙදරින් පොලිසියට එහෙම නිකං හරි කිව්ව නං  ඒකත් කරදරයක් 
වෙනව...මේවගේ වැඩ කරද්දි තුවක්කු ඉස්සර කරගෙන බෑ... මොලේ පාවිච්චි කරන්ඩ ඕනෙ... මොලේ... මොලේ.....

හා හා.. ඔන්න ඔය ගන්නව ඇමති තුමාට කොල් එකක්....යාන්තං ඒ  හිසරදේත්  ඉවරයි
............................................................................

විජිත්, ඔයා පරිස්සමෙන් ගියා නේද??

ඔවු සහේලි.... කෑවද??

කෑව....ඔයා??

මගින් නවත්තල කොත්තුවක් අරන් ආව....කන්ඩ පිරියක් නෑ... අත ගාල අතගාල කටක් දෙකක් කාල ඩස්බින් දැම්ම. ඒක නෙවෙයි ආන්ටි මොනවත් ඇහුවෙ නැද්ද??

නෑ ....මට පුදුමයි විජිත්... ආන්ටි කිසිදෙයක් ඇහුවෙත් නෑ....මුලදි නං මූණ කොරහක් විතර වෙලා හිටියෙ... පස්සෙ මං කිව්ව අර ඔයා කියපු විදියටම කතාව... මිනිස්ට්‍රි එකේ රෑ වෙනකල් මීටිමක් තිබුණ කියල.... ඒ පාර සද්ද නැතුව ඉඳල දැන් මහන්සිත් ඇතිනෙ......වොෂ් එකක්දාගෙන කෑම කන්ඩ කිව්ව

හ්ම්!!! යන්තං ඇති... මං බයේ හිටියෙ... මේ අස්සෙ ඔයාව බෝඩිමෙනුත් එළියට දායි කියල...

නෑ.. එහෙම අවුලක් නෑ.... ඔයාගෙ නළලෙ තුවාලෙ රිදෙනවද??

ඔවු ටිකක් ඇදුං කනව.....

හ්ම්!!!!

දුක් වෙන්ඩ එපා සහේලි ඒක ඇරිල යයි.....

ආ මං මොකටද දුක්වෙන්නෙ?? මං මොකද කියල ඇහුව විතරයි.... මට ඔයා එක්ක පුදුම තරහයි විජිත්... බලන්ඩ ඔයා අර කොපීස් දෙකමත් අද දාගෙන ඇවිල්ල... ඒක අර මිනිස්සුන්ට අහු වුණා... ඒ මදිවට ඔෆිස් එකේ තිබුණ කොපි එක ගැනත් ඔයා කිව්වනෙ..... දැන් ඒකත් ඩිලීට් කරන්ඩ ඇති අර මිනිස්සු.....ශික්!!!!ඔයා නං හරිම කෙයාලස් පිරිමියෙක් විජිත්.... අපරාදෙ....දැ

සහේලි, මේ අහන්ඩ... මම කෙයාලස් පිරිමියෙක් කිව්ව නෙ ඔයා දැන්... ඔයා ඔය වගකීමෙන් කරන ප්‍රකාශයක් නෙවෙයි, දැන් මේ සිද්ධිය ගැන හෝ ඒකෙ බරපතලකම ගැන හරි හැටි දන්නෙ නැති නිසා කරන ප්‍රකාශයක් කියල දන්න නිසා මං තරහ ගන්නෙ නෑ ඔයා එක්ක..
ඒත් පොඩ්ඩක් මටත් ඇහුම් කන් දෙන්ඩ...

ඉතින් කියන්ඩ.....

සහේලි, මතකනෙ අර කාමරේ හිරවෙලා ඉන්න අතරේමං පද්මෙට කතා කරල ඇරහුව අර ඩග්ලස් හේවගේ කවුද කියල....

ඔවු....

ඒ කවුද දන්නවද??  මිනිහව ෆීල්ඩ් එකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නෙ බෝවල ඩගී කියල. ඒ ඇවිල්ල ලංකාවෙ අංක එකේ  මත්කුඩු ජාවාරම්කාරය... අන්න ඒකයි පද්මෙ මට ඒ වෙලාවෙ කිව්වෙ.....දැන් පද්මෙගෙ ජීවිතේ පවා අනතුරේ...මට එතකොටයි තේරුණේ අහම්බෙන් අපි ගත්තු ෆොටෝවල මේ හැටි වටිනාකම මොකද්ද කියල...අපි ඔය ෆොටෝස් ඉරිද පබ්ලිෂ් කළා නං මිනිස්ටර් බලවර්ධන බලයෙ ඉඳල ඉවරයි!!! ඔය සිකුර කියන්නෙ මිනිස්ටර් බලවර්ධනගෙ සේරම මැර වැඩ මෙහෙයවන සිකුරාජපති කියන මිනිහ.... ඔයාට තේරෙනවද?? අපි මේ කරන්නෙ මහ අවදානම් වැඩක්... ඒ සේරම දැනගෙන තවත් සෙල්ලං කරන්ඩ බෑ අපිට....

හ්ම්... අයි ඈම් සෝ සොරී.. විජිත්........මං ඔයාට රූඩ් විදියට කතා කළාට.. මට දැනුයි තේරෙන්නෙ... අපි අතගහපු වැඩේ බරපතලකම.... හ්ම්.. අම්මේ... ඒ ගැන හිතද්දිත් මාව ගැහෙනව වගේ!!!!

සහේලි, ඒ වෙලාවෙ මං ඒ ඩිජිටල් කොපි එක ගැන කිව්වෙ.. මට මගේ ජීවිතේ ගැන ගත්තත් ඔයාගෙ ජීවිතේ ගැන අවදානමක් ගන්ඩ බැරි හන්දයි......මොන දේටත් වඩා මම ඒ වෙලාවෙ ඔයාව ආරක්ෂා කරගන්ඩ ඕනෙනෙ....

අහම්..... අහම්...

සහේලිට කැස්සකුත් ආව එකපාරටම විජිත් කියපු දේට....
හ්ම්...!!! සහේලි මොනවත් නොවුණ වගේ රඟපාල කතාකළාට.. අහම්බෙන් විජිත් නළල සිපගත්තු ඒ නිමේෂය ආයෙමත්  ඇගේ මුවගට සිනාවක් එක්කළා.....
හොඳ වෙලාවට මොබයිල් එකෙන් විජිත්ට මගෙ මූණ පෙන්නෙ නැත්තෙ... ඈට හිතුණ....

සහේලි...අපිට තියෙන තර්ජන බලපෑම් එක්ක  අපි මේ වෙලාවෙ කිසිම විදියකින් මේ වෙච්ච දේවල් කිසිම කෙනෙක්ට හෙලි කරන එක හොඳ නෑ, දැන් අපි දන්නවනෙ... අපේ ඔෆිස් එකේ පවා ඒ මිනිස්සුන්ගෙ උදව්කාරයො ඉන්නව කියල...

ඔවු.. විජිත් අපි පරිස්සං වෙන්ඩ ඕනෙ තමයි!! ඒත් මේ අසාධාරණ වැඩ තවත් ඉවසන්ඩ පුලුවන්ද විජිත්...මිනිහෙක් අමු අමුවෙ මරල දාන එක උන්ට කිරි කජු කන්න වගේ!!!

හ්ම්!!! ඔයා හරි.....අද පොඩ්ඩක් එහෙ මෙහෙ වුණා නං අපි දෙන්නටත් ඒ ඉරණමම තමයි සහේලි... මොකද්දෝ වාසනාවක් තිබුණ හන්ද තමයි ඔයයි මායි අද මේ මෙහෙම කතා කරන්ඩ ඉතුරු වෙලා ඉන්නෙ

ඒ වුණාට.. මේව එහෙම ලේසියෙන් අතාරින්ඩ පුලුවන් දේවල් ද විජිත්?? ඇයි ඔයාට තේරෙන්නෙ නැත්තෙ.. මේ ලොකු මිනිස්සු මේ රට හූරගෙන කන්ඩ ඕනෙ කමට ලං කරන් ඉන්න ජාවාරං කාරයො ගැන අපි හෙලි කළේ නැත්තං වෙන කවුද මේව රටට කියන්නෙ
මං නං කියන්නෙ විජිත් අඩු ගානෙ අපි ෆොටෝ නැතත් ඒ ගැන පත්තරෙන් ඉඟියක් හරි දෙන්ඩ ඕනෙ රටට

සහේලි.............

ඇයි විජිත්...

සහේලි, මේ අහන්ඩ................

දැන් මේවෙලාවෙ ඔයා ඔය ආටිකල් එක ලියල දැම්මොත්... අපි දෙන්නටම වෙන්නෙ අර බෝල සමරෙ කියන අපි නන්නාඳුනන මනුස්සයට වෙච්ච දේමයි.....මිනිස්ටර් බලවර්ධනට තියෙන හයිය ඔයා දන්නවනෙ... බලවර්ධනයි බෝවල ඩගියි අතරෙ තියෙන සම්බන්ධකං ගැන හෙලි කරන්ඩ ගිහින් මට ඔයාව නැති කරගන්ඩ බෑ සහේලි... මොනම දෙයක් හන්දවත් මට ඔයාව නැතිකරගන්ඩ බෑ........මං දන්නව ඔයාටත් ඒක එහෙමයි.. ඔයා දැන් මං මෙහෙම කිව්වට ඒක පිලිගන්න එකක් නෑ.. ඒත් මගේ හිත දන්නව....ඒක ඔයාගෙ හිතත් දන්නව.. ප්ලීස් සහේලි තේරුංගන්ඩ....අපි කැමති වුණත්... අකමැති වුණත් .. අපිට කරන්ඩ වෙන්නෙ  එක දෙයයි......

 විජිත්ගෙ හඩට පරාජිත ස්වරයක් ගැබ් වෙලා තිබුණ කියල සහේලිට දැණුන....

ඒ මොකද්ද විජිත්?? සහේලි ඇහෙන නෑහෙන ස්වරයෙන් ඇහුව

ඒ තමයි මේ සිද්ධ වෙච්ච කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ වගේ ඉස්සරහට යන එක.......මේක අමතක කරල දාන එක!!!

අර සිකුරාජපති කිව්ව වගේ සදහටම ..... සදහටම ඒ සිද්ධීය අමතක කරල දාන එක...
එචිචරයි.......!!!