Wednesday, 3 October 2012

සෙනෙහසේ නවාතැන ....The Sanctuary of Love.....5


“මචං සිරී... ජයසේනයත් නිවාඩුවට ගමට ගිහින් කියන්නේ”

උදෑසන ආහාරය ගන්නා අතරේ, කොනකට වන්නට තිබු මේසයකට වී තනිව කල්පනාවේ ගැලී සිටි මා උඩ ගොස් බිම වැටුනේ උපවංශගේ එවදන් ඇසීමත් සමගය‍.

“කවුද උඹට කිව්වේ?” ඒ බවක් නොහඟවා තේ උගුරකින් දිව තෙමා ගත් මම අතකින් හිසකෙස් පිරිමදින ගමන් ඇසුවෙමි.

“කිව්වා එකා කින්ද මන්ද වැඩක් නැහැනේ උඹට. සුභා නංගිත් ගමේ ගිහින්ලු නේද?” උපවංශගේ කපටි සිනාව දුටු මට අතැති තේ කෝප්පයෙන් දමා ගසන්නට තරම් කේන්තියක් ආවද, එය දරාගෙන තවත් තේ උගුරක් මුවට ගත්තේ පිළිතුරක් ගැට ගසා ගන්නට කල් මදී වූ නිසාවෙනි.

“හ්ම්........... ඔව් කාලෙකින් ගියෙත් නැහැනේ. යන්න ඕනෑය කිව්වා. මටත් නිවාඩු නැති නිසා දවස් දෙක තුනකට ගිහින් එන්න කියලා කිව්වා ඉතිං”

“ආහ් එහෙමද? මං ඒත් බැලුවා දෙන්නා අතරේ මොකක් හරි විරසකයක්වත්ද කියලා” උපවංශ නම් පිරිමියෙකු නොව ස්ත්‍රියක යැයි ඇතැමුන් පවසන දෙයෙහි සත්‍යයක් ඇති බව තව දුරටත් තහවුරු කරමින් ඔහු තව දුරටත් මාගේ තුවාලය හාරා පාරා දමයි. එක් අතකට මෙවන් තුවාලයක් මා විසින් හදා ගත්තේද මොහුගේ උදව්වෙන්ම බව වරින් වර සිහි නොවුනාමත් නොවේ. සුභා පිළිබඳ විවාහ යෝජනාව ගැන දැනගත් හැටියේ ඈ කාගේ කවුද පෙර විස්තර මොනවාදැයි හෝරාවක් යන්නට මත්තෙන් පැවසීමට තරම් උපවංශ කරුනු කාරණා සොයා ගත්තේය. සුභා පිළිබඳ ව අපහැදිලි චිත්‍රයක් මවා දෙන්නට උපවංශ සමත් වුවත් සුභා හා ජයසේන අතර පැවතී යැයි ඔහු පැවසූ සම්බන්ධයේ සැබෑ තත්ත්ව සුභා විසින් මා හට පැහැදිලි කොට පැවසුවා නොවෙද?


ඔයා ඔය අහන්නෙ ජයසේන අයිය ගැන නං... මට ඒ ගැන කියන්ට එහෙමට දෙයක් නෑ සිරී....

අපි දෙන්න කවදාවත් දෙන්නට දෙන්න ආදරෙයි කියාන නං නෑ තමා..

ඒත් ජයසේන අයියගෙ හිතේ නෑන වෙච්චි මං ගැන බලාපොරොත්තුවක් තිබුණ... මයෙ හිතෙත් තිබුන්නෑ කියල ඔයාට බොරු කියන්ට ඕනෙ නෑ මට...

සුබා.... අනේ ... හිත් අමනාප කරගන්ට කාරි නෑ... ඔව්ව ආයෙ....

නෑ සිරී මට කියන්ට ඉඩ දෙන්ට....

මුලදි අකමැත්තක් පෙන්නුවෙ නැති වුණාට පස්සෙංපහු, පස්සෙ අපෙ අප්පච්චිගෙ ඒ හැටි කැමැත්තක් තිබුණෙ නෑ තමා ... ඒ ජයසේන අයිය අපිට තිබුණු ඉඩකඩං හෙම දියුණු කරගන්ඩ ඒ හැටි උනන්දුවක් තිබුනෙ නැති හන්දයි.

අන්තිමේදි ජයසේන අයිය පොලොන්නරුවෙ රස්සාවට ගියා....

එයාට ඕනෙ වුනේ නිදහසේ රස්සාවක් කරගෙන ජිවත් වෙන්ඩයි....අප්පච්චිට හොඳටම තරහ ගියා...

අන්තිමට මං හැම දේම අමතක කරල ඔයා එක්ක ආව...

ඔන්න ඕකයි උනේ සිරී...

මං දන්නෙ නෑ ඹයා ඒක ගැන මොනවද හිතන්නෙ කියල... ඒත් ඇත්ත තමයි ඒ....




එදා මම ඇගේ දෙනෙත් දෙස එක එල්ලේ බලනු නුහුනු ව බලවත් අපහසුතාවට පත්වීමි. නුමුදු ඈ මා දෙසම බලා සිටියාය. ඇගේ අවංක කම සුළු වු චලනයකින් පවා ඔප්පු වූ නමුදු දින දින ගත වී සති මාස වන විට නැවතත් මා පෙර පරිදිම ඈ පිළිබඳ ව සැක සිතින් සිතන්නට ගත්තේ මන් දැයි මට අදද වටහා ගත නොහැකිය. එක් දිනක් සැක සිත මුව මතට ආවේ මටත් නොදැනීමය.


එදින මා වැඩ නිමවී නිවසට එනවිට වෙනදා මිදුලේ අහල පහලක සිටින සුභා දක්නට නොවුවාය. දිනයේ වෙහෙසින් හෙම්බත්ව පැමිණි මාගේ සිතෙහි සිහින් නොරිස්සුමක් ජනිත කරවීමට එම සිදුවිම සමත් වූයේ දින දෙක තුනක සිට සුභාගේ හැසිරීමෙහිද වෙනසක් දුටු නිසා විය යුතුය. මම සෙමින් සෙමින් කාමරය වෙත පිය මැනීමි. මා ප්‍රිය බිරින්දැ කොට්ටයක් තුරුළු කොටගෙන සුව නින්දේය. සිහින් සිනාවක් ඇගේ වත කමලේ ඇඳී නොඇඳී තිබුණු බව එදින සිහිකරන විට අද වැටහුණද එදා මා හට ඈ කෙරෙහි පැන නැගුනේ තද බල කෝපයකි. නිවි හැනහිල්ලේ සිතන විට, එම නුසුදුසු වූ කෝපයට හේතුව මා සිතෙහි ඈ කෙරෙහි පැන නැගී තිබුනු අස්ථාන සැකයම බව දැන් දැන් වැටහෙයි.

“සුභා..................... සුභා.................” මගේ හඬින් තිගැස්සි ඇහැරුණු ඈ බය බිරාන්තව මා දෙස බලා සිටියාය.

“මොකද මේ දවල් දවස තිස්සේ නිදි? ‍ඔහොම නිදියගත්තම වගතුවක් තියෙයිද? ඉදලක් කොස්සක් අරං ගෙයක් දොරක් සුද්ද කලොත් නරක් වෙයි” මම කමීසය වැරෙන් ගලවා දමමින් ඈ වෙත වදන් ප්‍රහාර එල්ල කලෙමි.

“ඇයි සිරී මේ... මට නිකං කරකැවිල්ල වගේ දැනුනා ඒකයි ටිකක් ඇලවුනේ. ඉතිං අම්මා කැමති නැහැනේ මං ගෙදර දොරේ වැඩ කරනවට........ ඒවාට කට්ටිය ඉන්නවානේ සිරී” ඇය තිගැස්සීමෙන් ම පවසා සිටියාය.

“මේ... මේ... මේ... ඔයාගේ කම්මැලි කම් වලට මයේ අම්මා ගාව ගන්න එපා හරී? අම්මලා කියන දේවල් ම කරන දෝණියැන්දලා....... මොකටද මගේ කට” මා වම් කෙලවරේ රේල් පීල්ලේ සිට රේල් පීලි දෙක තුනක් පසු කරගෙන දකුණු කෙලවරේ රේල්පීල්ලට මාරු වූයේ, එසේ මාරු වන්නට කිසියම් හෝ පදනමක් නොමැති අවස්ථාවක බව පසුව වැටහිණි.

ඇය කොණ්ඩය එක් කර ගැට ගසා ගන්නා අතරතුරේ සයනයෙන් නැගී සිටියාය. අනතුරුව මා දෙස එක එල්ලේ බලා සිටියාය.

“ඔයා දැන් ‍මොනවද කියන්න හදන්නේ සිරී? පැහැදිලිව කථා කරන්න. මං කිසිම දෙයක් ඔයාට හංගලා නැහැ. මේ ගෙදරට ආ දවසේ ඉඳන් ඔයාට කිසිම වරදක් කරලා නැහැ. ඉදිරියටත් එහෙම බලාපොරොත්තුවක් නැහැ. ඒත් මට ඉදිරිය ගැන ස්ථිරයෙන් කියන්න බැරි තැනට කටයුතු කරන්න එපා”

“ආහ්......... හා.... කුමාරිහාමි............... මට තර්ජනය කරන්න එනවද? හිතන්න එපා මං දන්නේ නැහැ කියලා තමුන්ගේ කියුම් කෙරුම්” ඇගේ වදනින් චංචල වූ සිත නිශ්චල කරගන්නට මා උත්සහ දැරුවේ ඒ අයුරින් වීම කෙතරම් නම් අභාග්‍යයක්ද?

ඇය මා දෙස බලා සිටියාය. නිමේෂයකින් කඳුළු පිරුනේ, ඇගේ නිල්වන් දෙනෙත් බොඳව විකෘති වී යන පරිද්දෙන්ය. පිරුණු කඳුළු බිඳු ඇහි වේල්ල බිඳගෙන පහලට ගලා යාමට පෙර ඇය කාමරයෙන් ඉවතට දිව ගියාය.

එදින රාත්‍රියේ තදබල හිසේ කැක්කුමක් බව පවසමින් සුභා ආහාර ගැනීම වර්ජනය කලාය. අම්මා දෙතුන් විටක් අයට කථා කලද, ඇගේ තීරණයේ වෙනසක් නොවීය.

“මොන මගුලක්ද? අම්මා මෙන්න මෙහාට වෙලා ඉන්න” මා අවසානයේ අම්මා වෙත අවසන් නියෝගය නිකුත් කලේ එදින හවස් භාගයේ සිදු වූ සිදුවීමට අනුව ඇය කිසි ලෙසකින් කෑම මේසයට නොඑන වග දන්නා නිසාවෙනි.

“අනේ මන්දා දරුවෝ. ඒ ළමයා දැන් දවස් දෙක තුනක ඉඳන් අසනීප ගානේ ඉන්නේ. ඔහොම බඩගි....”

“මං කිව්වානේ අම්මා. පැත්තකට වෙලා ඉන්න. බඩගිනි නං කොයි වෙලේ හරි කයි”

එදින රෑ සුභාගේ සුසුම් හඬින් පිරුණු කාමරයේ අවකාශය මගේ හුස්ම හිර කරවන්නට වූයේන් මමද ඈ සේම රෑ තුන්යම පුරා නිදි නැතිව ගත කලෙමි.

පසුදින මා රාජකාරියට පිටත් වන විටත් නින්දේ පසු වූ සුභා හවස මා එන විට නිවසේ නොසිටියාය.

“අප්පච්චිට කථා කරලා එන්න කියලා ඒ ළමයා මටත් කියලා තමයි ගියේ. ඔය විදිහට කෑ කොස්සන් ගහන්න එපා ළමයෝ. මේවා හිමින් විසඳ ගන්න ඕනෑ දේවල්. සතියක් විතර යන්න ඇරලා ගිහින් ඒ ළමයාව එක්කගෙන එන්න. ගියාට පස්සේ ගේත් එක්කම පාළුයි” මගේ විකාර රැඟුම් බලා සිටිය නොහැකි වූ තැන, කවදත් සන්සුන් ව කටයුතු කරන්නියක වූ අම්මා පවසා සිටියාය. දැන් යන විදිහට නම් මා හට සතියක් දෙකක් තබා තව එක් දිනක්වත් බලා සිටිය නොහැකි බව මගේ සියලු සිතුවිලි එක්ව ගෙන පවා සිටියි. ඒ මදිවාට ජයසේනයාත් ගම ගොස්ලු.

මගේ ප්‍රතිචාර එතරම් හොඳ නොවූ තැන උපවංශ වෙනත් මේසයකට ගොස් ඇති සේය. කුකුළු බෙට්ටත් බෙහෙතට ඇවැසි වන අවස්ථා තිබේලු. උපවංශ නැවතත් පැමිණේ නම් වටින් ගොඩිං කාරණා දැනගත හැකිය. එබැවින් ඔහු සිටින දෙස කිහිප වරක් උවමනාවෙන් බැලුවෙමි. මාගේ සිතැඟි ඉවෙන් මෙන් දැනගත්තා සේ ඔහු මා දෙසට ඇදුනේය.

“තේ එකක් අරං එන්නම්”

“උඹ කැමති නං මේක බීපං. මම උදෙත් එකක් බීලා ඉන්නේ” කියූ සැනින් ඔහු කෝප්පය අතට ගෙන යාබද අසුන මතින් හිඳ ගත්තේය.

“බැන්දට පස්සේ ජයසේන අයියලාගේ ගෙදර යන්න බැරි වුනා. අයියා පොළොන්නරු ගිහින් නිසා ඉන්න වෙලාවක් බලලා යන්න අපි දෙන්නා හිටියේ. දැන් ඇවිත් නිසා ගියා නං හරි කියලා බැලුවේ. කවද්ද මිනිහා ඇවිත් තියෙන්නේ?” මම පිඟානේ වූ ඉතිරිය එකතු කරමින් වදන් ගැට ගසන්නට වීමි.

“ඊයේ දවල් තමයි ඔෆිස් එකෙන් ගිහින් තියෙන්නේ. ඔෆිස් එකේ කෙල්ලක් එකක් මොකද්ද හුට පටයකුත් තියෙනවා කියලා තමයි ආරංචි.” මගේ තේ කෝප්පයේ ඉතිරිය බොන අතරේ උපවංශ පැවසුවේ මගේ සිතට සිසිලක් ගෙනෙන ආරංචියකි.

“ඒ වුනාට ඒ කථාව එච්චරම විශ්වාස ගන්නත් බැහැ. කවුරු හරි කථා බහ කලා කියලා යාළුයි කියන්න බැහැනේ” එවර ඔහු පැවසුවේ ඇණුම් පදයක් බව වටහා ගන්නට ඒ හැටි වේලාවක් ගියේ නැතත් මේ වෙලාවේ ගැලපෙන පිළිතුරු දී නිකම් සතා තරහා කර ගත යුත්තේ මන්ද?

“හ්ම්.......... ඒක ඇත්ත. වේලාවත් ඉවරයි වගේ. මං යනවා”යි පැවසූ මම ඔ‍රලෝසුව දෙස බලමින් කාලය ගණනය කරන අතරේ එතැනින් පිට වීමි.

‘දැන් ම ගියොත් ගෙදර ගිහින් කාර් එක අරගෙන දවල් වෙන්න කලියෙන් ගුන්නෑපානට යාගත හැකියි’

ප්‍රධානියාට පවසා දිනක නිවාඩුවක් අනුමත කරගත් මම වහ වහා කාර්යාලයෙන් පිටත් වීමි. කුමක්දෝ හේතුවක් නිසා ‘අද නැත්නම් කවදාවත් නොවේ’ යන අදහස විටින් විට මගේ හිස තුල කරක්ගසන්නට විය. සමහරවිට ජයසේන ගමට ගිය බව අසන්නට ලැබුනු නිසා මගේ සිත අස්ථාන බියකින් ඇලලී ගොස් විය යුතුය.

සැකය නම් භයානක සර්පයෙකි. දලින් පමණක් නොව වලිග අගින් ද විස නිකුත් කරන්නා වූ මහා භයානක සර්පයෙකි. මා සිත අරක්ගෙන සිටිනා වූ සර්පයා වහා ගෙන ගෙල මුලින් සිඳ මරා දැමිය යුතුය. එහිදී සුභා සැබෑවටම සැකකාරියකද නැද්ද යන වග නොසලකා හැරිය යුතුව ඇත. නැතහොත් කසාදයද දික්කසාදය යන දෙකින් එකක් තෝරා ගැනීමට මා හට සිදුවනු නොඅනුමානය. ඇරත් මේ ජයසේන ගම ගොස් සිටින අවස්ථාවේදී..........

මා නිවසට ගොඩවන විට අම්මා නිවසේ නොසිටියාය. සුභාගේ නිවසට දුරකථන ඇමතුමක් ගම්දෝ නොගම්දෝ යන දෙගිඩියාවේ මද වේලාවක් පසු වූ මා, ඇමතුම නොගෙන ම පිටවන්නට තීරණය කලේ ඇගේ ඉරියව් පරීක්ෂා කිරීමට නම් උන් හිටි හැටියේ එහි යා යුතු වග වටහා ගත් නිසාවෙනි. සර්පයෙකු ලෙහෙසියෙන් මරා දැමිය නොහැක. සමහර සර්පයින්ට ඇත්තේ සවි ශක්තිය ඇති පණකි.

මා මෝටර් රථය ගරාජයෙන් ඉවතට ගන්නා විට වේලාව උදෑසන 9 පසු වුනා පමණය. යා හැකි උපරිම වේගයෙන් ගියහොත් 10 වන විටවත් සුභාගේ නිවසට ලඟා විය හැකිය.

සතියේ දවසක් නිසාවෙන්දෝ පාරේ එතරම් වාහන තදබදයක් ද නොවීය. කෙතරම් වේගයෙන් ගමනාන්තයට ලඟා වුවද අවසන් හරියේදී වාහනයේ රෝද පැකිලෙන බවක් දැනෙන්නට වූයේ මගේ හිත හඳුනාගත්තාක් මෙනි. නුමුදු හිතට වෙර ගෙන ඇගේ නිවසේ මිදුලට වාහනය ඇතුලු කරන ගමන් මගේ නෙත් සෙවූයේ නිවසේ ආලින්දයට පෙරමං බලා දිව එන මාගේ බිරිඳගේ මුහුණ නොවෙද? එහෙත් ඇය එලෙසින් නොපැමිණියාය. බලාපොරොත්තු කඩවීමෙන් ඔද්දල් වූ හිතත් ඔසවාගෙන, ඔසවාගන්නට නොහැකි තරම් වූ පා යුග අපහසුවෙන් ඔසවාගෙන පිය ගැට පෙල නැග ආලින්දයට ගොඩ වීමි.

“සුභා.....................”

“සුභා.....................”

ඇය නොපැමිණියාය. නුමුදු ඇගේ අම්මා පැමිණියාය.

“ආහ්.......... අනේ මේ පුතානේ. මං බැලුවා කවුද කියලා......... ඉඳගන්න මයේ පුතේ” අම්මා දුටු සැනින් මම ඇයට වැන්දෙමි. ඒ අතරේ ඇය මාගේ හිස අතගාමින් එසේ පැවසුවාය.

“කෝ අම්මේ එයා............” මම ගෙතුලට නෙත් යොමන අතරේ අසුන් ගතිමි.

“නංගිත් එක්ක ආන් පුස්තකාලෙට ගිහින් එන්නම් කියලා ගියා”

පුස්තකාලයට ගොස් පොත් ගෙනවිත් කියවන්න තරම් ඇගේ සිත සන්සුන් වීද? මගේ සිත තව තවත් ඔද්දල් විය. අම්මා එය වටහා ගත්තා සේය.

“ආ දවසේ ඉඳන් හිසේ ඇම්මයි කිය කියා උන්නා. හරියකට කෑවෙත් බීවෙත් නැහැ. අඬ අඬා කල්පනා කර කර උන්නා. ඊයේ හවස පන්සල් ගිහින් ආවාට පස්සේ තමයි රත්නත්තරේ පිහිටෙන් ටිකක් හරි මූණ එළිය වුනේ. නංගිගේ බලේට තමයි ඔය අදත් ගියේ මං හිතන්නේ” අම්මා ඔසරි පොට ගෙන දෙනෙත් මත තබා තද කලාය.

“කොහිද අම්මේ පුස්තකාලේ තියෙන්නේ?”

“ටවුන් එකට යන පාරේ ටවුමට හැතැක්ම කාලක් විතර මෙහායින් තියෙන කඳු ගැටේ. එතැනට ගියහම පේනවා බෝර්ඩ් එක ගහලා තියෙනවා. පුතා අනිත් පැත්තෙන් වෙන්ටැ එන්න ඇත්තේ. ඒකයි දුවලා හමු නොවුනේ. තාම දෙන්නා යනවා ඇති මයේ හිතේ” අම්මා පැවසූ මං සලකුණු සිතේ ධාරණය කරගෙන අසුනින් නැගී සිටියෙමි.

“පුතා ඔය යන්නද? අනේ දුව එනකං ඉඳලා කෑම ටිකක් කාලාම දෙන්නට යන්ට බැරියෑ” අම්මා බලාපොරොත්තු රැඳි දෑසින් බලා සිටියාය.

“මං ගිහින් එයාව එක්කගෙන එන්නම්කෝ අම්මේ” මද සිනාවකින් ඇයට සංග්‍රහ කල මම විගස මිදුලට පැමිණියෙමි.

මම වැඩි වේගයක් නොමැතිව වාහනය ගෙන ගියේ පාරේ පටු බව නිසාත්, ඔවුන් මග හැරෙන්නට ඉඩ ඇති නිසාත්ය.

එසේ සෙමින් සෙමින් ඉදිරියට යන විට ඉදිරියෙන් ආ ‍ලොරි රථයකට මග හදන්නට අයිනට කර මෝටර් රථය නැවතූ මොහොතේ මා පසුකොට පා නැගූ යුවල දුටු විට මට මගේ ඇස් අදහාගත නොහැකි විය. ලොරි රථය යනතුරු නොඉවසිල්ලෙන් පසු වූ මා අනතුරුව ඔවුන් අසල වාහනය නතර කොට නලාව හැඬවීමි.

පිරිමියා නැමී මා දෙස බැලීය.

“ආහ්............... කුසුම්සිරි මල්ලී. මේ කොහිද මේ?” ඔහුගේ දෙනෙත් වපර වී ඇති සැටියක් මට දැනින. ඒ තරම් වූ ව්‍යාකූල ස්වභාවයක් ඔහු කෙරෙන් දිස්විය. හරියට ම ගහෙන් වැටුනු මිනිහාට ගොනා ඇන්නා වාගේ හෝ කොරේ පිටට මරේ ‍වැනි හෝ උපමාවකට ගැලපෙනම මූණක් ඒ අවස්ථාවේදී ඔහුට හිමිව තිබිණ.

“සුභා ගියා මේ ටවුන් එක පැත්තට. යනවා එක්කාගෙන එන්න කියලා. අයියලා කොහිද යන්නේ?” මම අමුත්තක් නොපෙන්වා පවසා, අසා සිටීමි.

“ආහ්...අපි... අපි දෙන්නාත් යන්නේ ඒ පැත්තට තමයි”ජයසේන ඔහු සමඟ වූන් ඇත්තිය දෙස බලා නැවත මා දෙස බලා පැවසුවේය.

“හා එහෙනං නගින්ට. මාත් එක්කම යන්ට බැරියෑ” මම ඉදිරිපස දොරත් පිටුපස දොරත් හැරියෙමි.

“සරෝ එහෙනං ඔයා පස්සෙන් නගින්ට.” යි පැවසූ ජයසේන ඇයට නගින්නට සලස්වා දොර වසා මා අසලින් හිඳගෙන දොර වසා ගත්තේය.

“අයියලායේ අහ එන්නත් බැරි වුනානේ. අපි මේ අයියාත් ගම ආ වෙලාවේ ඒ පැත්තේ එන්නයි කියලා ඉන්නේ. අයියා කවදෙයි ආයේ යන්නේ” මම කටේ දිවේ නොගෑවී බොරු ඇද බෑවෙමි. ජයසේනගේ මූණ මේ දැන් ගහෙන් වැටුනු වරකා ගෙඩියක් සේ අවුල් වී යන අයුරු නරඹා සිහින් සතුටකින් සිත දෝවනය කර ගත් මා පිළිතුරක් අපේක්ෂාවෙන් බලා සිටියෙමි.

“ආහ් බදාදා විතර යන්න තමයි ඉන්නේ මල්ලි.”ඔහු ඈත බලාගෙන පැවසුවේය. එයින් අනතුරුව එළඹුනු වංගුව පසු වනවාත් සමගම මා බිරින්දෑත් ඇගේ සොයුරියත් ඈත යන අයුරු අපි දෙදෙනාම දුටුවෙමු. එහෙත් කිසිවෙකු ඒ ගැන සඳහන් කලේ නැත.

“කවුද අයියේ මේ? ගෑණු ළමයාද?” මම පසුපස බලා ඈ සමඟ සිනාසීමි. ඇය රතුව ගොස් ලැජ්ජාවෙන් මෙන් දෙනෙත් බිමට හරවා ගත්තාය.

“ඕහ්............. හ්ම්.......... ආහ්....... අපි එහෙම කියමුකෝ. සරෝජනී. මගේ කන්තෝරුවෙ වැඩ කරන්නේ.” ජයසේන අපහසුවෙන් පදවැල් අමුණයි.

“මේ පැත්තේ කෙනෙක්ද?

“නැහැ මෙයා කුරුණෑගල. අද අපේ අහා ආවා නංගිත් එක්ක. නංගිලා දෙන්නා කැම්පස් එකේ එක බැච් එකේ”

මේ අතරේ අපි සුභා ලා ආසන්නයට ලංවීමු. මම නලාව නාද කරමින් ඔවුන් අසල වාහනය නතර කලෙමි. පසු පස හැරී බැලූ සුභාව වැඩිපුරම භයට පත් කලේ මාද ජයසේන ද යන වග නොදන්නෙමි. නුමුදු ඇගේ මුහුණ භීතියේත් පුදුමයේත් ව්‍යාකූලත්වයේත් තවත් බොහෝ බොහෝ දේවල් වලත් සංකලනයක් මොනවට ප්‍රදර්ශනය කරන්නට විය. සර්පයා මාගේ අතේ සිට එහෙට මෙහෙමට වෙරෙන් වැනෙන්නට විය. මා ඌ අල්ලා ගෙල සිඳ දමා වාහනයෙන් පිටතට පැමිණීමි.

“පුස්තකාලෙට යන්නම ඕනෑද?” මම ඈ අසලට ගොස් ඇගේ අත අල්වාගෙන අසා සිටියෙමි. ජයසේන අසුන මත ඇඹරෙනු ඇස් කොනට දුටුවෙමි.

“නැහැ නේද නංගී? මට දැන් මහන්සිත් වගේ” සීතලව ගිය ඇගේ අත සෙමින් පිරි මැදීමි. ඈ මා දෙස බැලුවාය. මම සිනා සීමි. ඇයද වෙහෙසකර සිනාවක් පෑවාය.

“අපි යමු”

මම ජයසේන දෙස බැලීමි. “යමු ඔයාලාව ටවුන් එකට ඇරලලා එන්නම්”

ඔහු මගේ බැල්ම හඳුනාගත්තා සේ වාහනයෙන් බැස පිටපස අසුනට ගොඩ වුනේය. සුභා මා අසලින් ද, නංගි, සරෝජනී අසලින් අසුන් ගත්තෝය. මම රටක් රාජ්‍යයක් දිනුවකු සේ වාහනය නිසි ලෙස මාර්ගයට අවතීරණ කර ගතිමි.

3 comments:

  1. අනේ මන්දා.. කී පාරක් නම් ලීවාද කියලා.. ඇයි මන්දා මේ එක එක බැධා?

    මුල්ම කොටස ලිවු දාම කියෙව්වත් අනිත් නකාටස් සේරම කියවූයේ අද තමා ඕන්..

    හැමෝම Ravi, ජනූ, සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත, අමා, RanDil ලස්සනට ලියලා.. එකකට එකක් හරියටම ගලපලා... දැන් ඉතින් අවසන් කොටස මේකද නැත්නම් පොඩ්ඩිත් මොනා හරි එකතු කරාවිද?

    අපේ මේ අද කථාවේ කතෘතුමියගෙන් පවුල් සංස්ථාව සම්බන්ධ ලිපිවලදි දුකාන්ත අවසානයන් කවදාවත් නොලැබෙන බවනම් දනිමි...

    කොහොම උනත් කොයි දේ වෙන්නෙත් හොඳටම තමයි... ඇත්තෙන්ම සරෝ පැමිණීමටත් වඩා සරෝ ජයේ සමඟ හන්දියට පැමිණීම සියළු ප්‍රශ්න එසැණින් දුරුකරවූ නොපෙනෙන බලවේගයක මහිමයක්... අපේ ජීවිතවලත් අඩු වැඩි වශයෙන් මේ අත්දැකීම් ඇතිවාට සැක නෑ... සමහර දේ දරා ඉඳීම තුළ දුක තුලින් පන්නරය වන ජීවිතයක සදාකාලික සැපත අත්වේ...

    ReplyDelete
  2. අන්තිම කොටස ලියන්ට වෙලා තියෙන්නේ පොඩ්ඩිට.:(

    අනිත් අය ලීව ලස්සන රටාවට බාධා නොකර කතාවක් ගොතමින් මේ ඉන්නේ.:)

    ReplyDelete
    Replies
    1. හෙ හෙ ජයවේවා හෙනන්!! ගොතල ඉවරවෙනකම් බලාන ඉන්නවා ඔන්න... :)

      Delete