විහාරමහා දේවී උද්‍යානය ඉදිරිපස කොළඹ නගර ශාලාවට මුහුණ ලා වැඩ හිඳිනා යෝධ බුදු රුවෙහි පසුපස විටින් විටින් විට හමා එන සුළඟින් ඒ මේ අත සෙලවෙන නුග ගසේ අතුඅතරින් දර්ශනය වුවද තණ බිස්සේ අතු පතර විහිද ගිය අඹ ගසක සෙවණේ වූ දැව පටි වලින් තැනුනු අසුනේ හිඳ සිටි යුවතියට ඒ දෙසම ඇසි පිය නොහෙලා බලා සිටිය ද ඒ කිසිවක් පෙණුනේ නැත.
ඇය සිත් තුල රිදුම් දුන්නේ එපමණ සුවිසල් ගැටළුවකි. අකලංක සහ උපමාලි අතර ඇති ගැටළුව කුමක්ද?.ඔහු විවාහාපේක්ෂිත මනාලයෙක් ලෙස ඇගේ නිවසට පැමිණ ආපසු යද්දී ඔහුගේ දුරකථන අංකය කඩදාසි කැබැල්ලක ලියා ඈ අත තබා බැගෑපත්ව ඉල්ලා සිටියේ එක් වරක් ඔහුට ඈ හමුවී කරුනු පැහැදිලි කිරීමට ඉඩ ලබා දෙන ලෙසය. පසුදින මුළුල්ලේ බොහෝ සේ කල්පනා කිරීමෙන් අනතුරුව ඇය තීරණයකට එළඹියාය.අකලංකගේ එම ඉල්ලීම එකහෙලාම ප්‍රතික්ෂේප කිර්‍රිමෙන් වන සුගතියක් නැත.
අවම වශයෙන් උපමාලීට සිදුවූයේ කුමක්ද යන්න සැක හැර දැනගත හැක්කේ අකලංකගෙන්ම පමණි.ඊයේ ඇය බොහෝ වරක් උපමාලිගේ ජංගම දුරකථනයට ඇමතූ නමුදු පටිගත කල පණිවිඩයකින් ඒ හැම විටම කියවුනේ ඒ අංකය තව දුරටත් සේවයේ නොපවතින බවකි.උපමාලිගේ නිවෙසට ඇය කිහිපවරක් විශ්ව විද්‍යාලයෙහි නිවාඩු සමයෙහි ගොස් තිබූ නමුදු ඇගේ නිවසේ දුරකථන අංකය ජංගමයේ මතක ගබඩාවෙහි තිබුණේ ද නැත. පසුගිය වසර ගණනකින් ඔවුන් හමුවී නොමැත. උපමාලී සමඟ වූ සමීප සබඳතාවය ඉබේම වාගේ දුරස්ව ගිය අතර තමරු දහස්වන වාරයටත් ඒ එසේ වීමට ඉඩදීම ගැන තමාටම දොස් පවරා ගත්තීය.
ෂෙහ්...උපා ගැන අහන්ට වත් කෙනෙක් නැහැනෙ......අකලංක දුන් දුරකථන අංකය දෙස දහස් වන වරටත් හොරැහින් බලමින් ඇය තමන්ටම කියා ගත්තාය.
මොන කෙහෙල්මලක්ද?....ඇයි මම බය වෙන්නෙ?...මම කාටවත් වරදක් කරල නෑනෙ..හිටපංකො..මේකෙ දෙකින් එකක් බේරගන්ට...
ඇය අංක හත එකින් එක එබුවාය.
" හෙලෝ?...."
" ඔව්..කවුද මේ?......"
ඒ අකලංකද?
" මේ..ඔය අකලංකද?....."
" ඔව්......."
" අකලංක මම තමරු……"
" ආ……''
ඉනික්බිති දුරකථනය දිගේ ගලා ආවේ නිහැඬියාවකි.ඉන්පසු අකලංක කතාකලේ කතා නොකර බැරිකමට වගේ කියල තමරුට හිතුනෙ ඇයි?
" තමරු...එදා මම ඔයාට කිව්වට මට කතා කරන්න ඉඩදෙන්න...කරුණාකරල මට කරුණු පැහැදිලි කරන්න ඉඩ දෙන්න කියල පස්සෙ ඒ හැඟීම් බර තත්වයෙන් මිදිල යථාර්තවාදීව මේ ප්‍රශ්නෙ දිහා බැළුවම මට තේරුන ඔයාට මේ වෙච්ච දේවල් ඔක්කොම කියන එක මම ඔයාට කරන ලොකු අසාධාරණයක් කියල.ඔයා මේකට ගාව ගන්න එක කොහොමවත් සදාචාරාත්මක නෑ. ඒ නිසා මම තීරණය කලා ඔයාව හම්බ නොවෙන්න. කරුණාකරල මාව වරදවා තේරුම් ගන්න එපා...ප්ලීස් "
තමරු ටික වෙලාවක් කතා නොකර හිටියෙ කතා කලොත් මොනව කියවෙයිද කියල තමරුටම හිතාගන්න බැරි නිසා...තරහ ගියාම තමරුගෙ කන් දෙක රතු වෙනව. මේ වෙලාවෙ නම් කන්දෙක විතරක් නෙවෙයි මුලු මූණම ජම්බෙ වගෙ රතු වෙල ඇති කියලයි එයාට හිතුනෙ...දැඩි නිහැඬියාව මැද ගෙවිල ගියා. තත්පර දහයක් ..විස්සක්...තිහක්...හතලිහක්...පණ.....
" තමරු ඔයා ඉන්නවද? … "
" අකලංක කරුණාකරල මට තව පොඩි වෙලාවක් දෙන්න. නැත්නම් මේ මට ඇවිත් තියෙන කේන්තියෙ හැටියට මම මොනව කතාකරයිද කියල කියන්න බෑ….."
තවත් විනාඩියක් විතරම තමරු එහෙම්මම හිටිය . දුරකථනය උකුලෙ තියාගෙන...ඊට පස් සෙ කතාකලා අකලංකට...
" අකලංක.... '
" තමරු මේ......"
" වචනයක්වත් කියන්න එපා අකලංක...කරුණාකරල මම මේ කියන ටික හොඳට අහගන්න. උපා කියන්නෙ මගෙ හොඳම යාළුව....එතකොට ඔයා ඇවිල්ල උපාගෙ ප්‍රේමවන්තය.ඔය දෙන්න මම දන්න කාලෙ බොහොම ආදරෙන් හිටිය. උපා ඔයාට පණවගේ ආදරේ කලා. එතකොට හිටි හැටියෙ ගහෙං ගෙඩි එන්න වගෙ ඔයා මෙන්න එනව අපෙ ගෙදර මගෙං බුලත් හෙප්පුව ගන්ට.ඒ කරල මම උපාට මොකද උනේ කියල ඇහුවම මම ඒ විස්තර ඔක්කොම කියන්නං කියල ඔයාගෙ නොම්මරේ මට දෙනව.මම දැන් ඔයාට කතා කලාම ඔයා වෙනම කතාවක් කියනව. මේ විස්තර මට කියන එක මට කරන අසාධාරනයක්ලු. මට මේකට සම්බන්ධ වෙන්න එපාලු...අරකද මේකද?...."
" තමරු ප්ලීස්...."
" මේ අකලංක මම කතා කරල ඉවර නෑ..පොඩ්ඩක් අහගෙන ඉන්න මම කියන දේ…."'
තමරු කිව්වෙ දත්මිටි කාගෙන...
" හරි හරි කියන්න..කියන්න.... "'
අකලංකගෙ හඬේ තිබ්බෙ පරාජිත බවක්ද?
" හරි මට වැඩි දෙයක් කියන්න නෑ...මට ඔයාව හම්බවෙන්න ඕන...හම්බවෙලා මට ඔයාගෙ කටින්ම දැන ගන්න ඕන උපාට මොකද උනේ?...ඔයා මේ රට හැමතැනම මනමාලියො බල බල යන එකේ තේරුම මොකක්ද කියල...ඔයා ඒ සම්පූර්ණ විස්තරේ අකුරක් නෑර කිව්වට පස්සෙ...මම තීරණය කරන්නම්...ඔව් අකලංක ඒක තීරණය කරන්නෙ... මම තමරු...ඔයා නෙවෙයි...මම තීරණය කරන්නම් මේ ප්‍රශ්නෙට මම මැදිහත් වෙනවද? එහෙනම් ඒ කොයි විදිහෙන්ද කියල..ඒ නිසා කරුණාකරල මට ඔයාව හම්බ වෙන්න වෙලාවක් සහ තැනක් විතරක් කියන්න...එච්චරයි..."
තැනින් තැන දුඹුරු පැහැවී හේබාගිය තණ පිටිය හරහා වැටුණු හතරැස් සුමට ගල් ඇල්ලූ පෙත්මඟ දිගේ පැමිණෙන කිසිවකුගේ පියවර හඬ කෙමෙන් උස්ව නැඟෙන්නට විය.ඒ කවරෙකුදැයි විපරම් කරන්නට හෝ ආපසු නොහැරුණු තමරු දිග සුසුමක් හෙලා දෑස් වසා ගත්තාය. කිසිවකු ඉතා සෙමින් පියවර තබමින් පැමිණෙනු මෙන්ම ඒ පැමිණි තැනැත්තා තමා හිඳ සිටි අසුනේම අසුන් ගනුද දැනුනු මුත් තමරු දෑස් පියාගත්වනම පසුවූවාය.
අඹ ගසේ අතුපතර විහිද හමා ආ සුළං රැල්ලක් ඇගේ කෙහෙරල අවුල් කරලීය. එහෙත් ඇය දෑස් වසාගත්වනම පසුවූවාය. ඒ සුළංරැල්ලෙන්ම ගිලිහුනු අඹ මල් රේණුවක් පලමුබ ඇගේ නළල් තලය මත පතිතව අනතුරුව ඇකය මත රැඳුනේය. එහෙත් ඇය දෑස් වසාගෙනම පසුවූවාය. අවසන ඇය හඬ අවදි කලේද දෑස් වසාගෙනමය.
" අකලංක හරි කියන්න..ඔයාට කියන්න තියෙන ඔක්කොම කියන්න..අපේ ගෙදර ආපු දවසෙ ඔයා මගෙන් ඉල්ලුවෙ එහෙමනෙ.මට ඔයා එක්ක කියන්ඩ කතාවක් තියෙනව... ඒක අද කියන්ඩ බැරි, මුණ ගැහිල දීර්ඝව කතා කළ යුතු දෙයක්... මේ ඔයාගෙම වචන.....හරි දැන් කියන්න "
ඇය දෑස් පියාගත්වනම ළයමත දෑත බැඳගත්තාය.නොදැනුවත්ම සිදුවුවද ඒ ඉරියව්ව ඕනෑම දෙයකට මුහුණ දීමට සූදානම් බව අචේතනිකව හැඟවීමක් බව කෙදිනකහෝ කියැවූ මිනිස් චර්යාවක් පිළිබඳ ලියැවුණු පොතක සඳහන්වූ බව ඇයට හදිසියේම සිහිවූයේ මඳ සිනහවක් දෙතොලඟට එක් කරවමිනි.
" මම උපාව බැන්ද...... "
අකලංකගේ ආරම්භක වචන තුන මෙතෙක් පියාගෙන සිටි ඇගේ දෑස් විවර කරවීය.ළයමත බැඳගෙන හුන් දෑත ඇකය මත වැටිණි. වහා ඔහු දෙස හැරුණු ඇය විසල් කොටගත් දෑසින් යුතුව ඔහු දෙස බලා සිටියාය.
" මොකක් කිව්ව?....ඔය දෙන්න බැන්ද?...උපා මට නිකමටවත් ....ඉතිං එහෙමත් තියෙද්දිද ඔයා මේ මනමාලියො බලන්ට යන්නෙ?..කෝ දැන් උපා? …"
එකපිට එක නිකුත් වූ ඇගේ ප්‍රශ්න වැලට පිළිතුරු වශයෙන් ඔහු කලේ ඈ දෙස හෝ නොබලා දෑත මතට බරකරගත් හිසින් යුතුව දිගු සුසුම්ක් හෙලීමයි
" අපිට බඳින්ට සිද්ද උනා.කිසි කෙනෙක් දන්නෙ නෑ ඒක. නිසංසලා මතකද?...නිසංසලා විතරයි දන්නෙ...ඒකත් එයා සාක්කියට අත්සන් කරපු නිසා...උපා ඔයාට කිව්වෙ නැත්තෙ ඔයා දොස් කියන බව දන්න නිසා…"
" දැන් ඔයාලගෙ ගෙදර අය එතකොට උපාලගෙ අම්ම එහෙම මේ ගැන දන්නවද?....."
හැඟීම් වැර වෑයමින් පාලනය කොටගත් තමරු විමසූයේ සුරති නලල පිරිමදිමිනි. උපාට නිකමටවත් මට කියන්න තිබුණා. සිතෙහි උපමාලි පිළිබඳ හටගත් නොපහන් හැඟීම යටපත් කිරීමට ඈ උත්සාහ ගනිමින් සිටියාය..මොනව උනත් මට කියන්න තිබ්බ....අපි දෙන්න හොඳම යාළුවො…..
" අපි බැන්දයි කියල දන්නෙ නෑ. ඒත් අපෙ අම්ම ඒ වගේම උපාලගෙ අම්ම දෙන්නම මේ ගැන දන්නව…"
" එයාල විරුද්ධ උනාද?...."
" නෑ එහෙම විරුද්ධ වෙන්න හේතුවක් තිබුනෙ නෑ...අපි ලබන අවුරුද්දෙ උත්සවේ ගන්නයි හිටියෙ…"
" ඉතිං? "
ඇය ඇසූයේ නොඉවසිල්ලෙනි.
" උපාට දැන් මාස දෙකකට විතර ඉස්සරවෙලා උණක් හැදුන...උන බහින්නෙම නැතිනිසා හොස්පිටල් ඇඩ්මිට් කලා…"
අකලංක පලමු වරට එක එල්ලේ ඇය දෙස බැලූයේ ඔහු ඊලඟට පවසන්නට යන කරුණෙහි ඇති වැදගත්කම ඇයට අවධාරණය කරවන්නට මෙනි.
" මොලේ ස්කෑන් එකක් කලා අන්තිමට ..උපාගෙ මොලේ ඇබ්නෝමල්ටි එකක් තියනව කියල ඩොක්ටර්ල ඩයග්නෝස් කලා. "
" ඉතිං මොකද දැං වෙලා තියෙන්නෙ?...අකලංක කියන්න ප්ලීස් "
තවත් ඉවසා සිටිය නොහැකි වූ ඇය කෑගැසුවාය.
අකලංක ඇය දෙස වරක් බලා නැවත නලලට අත තබා හිස බිමට නැඹුරු කොට ගත්තේය. ඔහු කතා කලේ කොඳුරන්නාක් මෙනි.
" උපාට කිසිදෙයක් මතක නෑ තමරු...ඇම්නීසියා කියන්නෙ අන්න ඒ අසනීපෙ...එයාට මතක තියෙන්නෙ එක දවසක් විතරයි.අද මතක තියෙන්නෙ ඊයෙ සිද්ද වෙච්ච එව්ව විතරයි. හෙට මතක තියෙන්නෙ අද වෙච්ච එව්ව විතරයි.."
" මගෙ දෙයියනේ......."
දෑස් තරව පියාගත් තමරු හිසෙහි අත් ගසාගත් වනම හිඳ සිටි බංකුවෙහි ඇන්දට හේත්තු වූවාය.
දෙනෙත් පුරා පිරීගිය උණු කඳුලු බොහෝ වේලාවක් ඇසි පිය යටම රැඳී තිබිණි, අනතුරුව නෙතඟින් ඉවත ගලා ගිය කඳුළු බිඳු එකිනෙක පසුපස කොපුල් තල ඔස්සේ ගලා ගොස් ඇගේ ඇකයට පතිතව සැඟව ගියේය.
" දොස්තරල කියන්නෙ මතකය ආයෙම සම්පූර්ණයෙන් එන්නත් පුළුවන්, කොටසක් එන්නත් පුළුවන් ඔය විදිහට හැමදාමත් තියෙන්නත් පුළුවන් කියල.මෙහෙම වෙන්නෙ ඇයි කියලත් හරියටම තාම හේතුවක් හොයාගෙනත් නැතිලු. කරන්න පුලුවන් එකම දේ උපාව සන්තෝසෙන් තියන එකයි එයාගෙ ජීවිතේ පහුගිය සිද්ධීන් ගැන නිතරම එයාත් එක්ක කතා කරන එකයි විතරයි ...සමහරවිට එහෙම එයාට ගොඩක් කිට්ටුවෙන්ම හිටපු අය නිතරම එයා එක්කම ඉඳල පහුගිය සිද්ධීන් ගැන කතාකරනකොට මතකය ආපහු එන්නත් ඉඩ තියනවලු..ඒත් ඒ ඔක්කොම අනුමාන විතරයි..එහෙම වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්..."
" තමරු ඔහොම ඉන්න...මම ගිහිල්ල අපිට බොන්න මොකවත් ගේන්නම්..."
අකලංක නැඟී සිටියේය. තවමත් කඳුලින් බොඳව ගිය දෑසින් යුතුව ඈ හිස වනා එකඟත්වය පල කලාය.ඇත්තටම ඔහු එසේ ඉවත්ව නොගියේනම් තව මොහොතකින් ඇය ඔහුගෙන් මෙසේ ඉල්ලීමක් කරන්නට බොහෝ සේ ඉඩ තිබිණි. අකලංක ප්ලීස් චුට්ටක් මට තනියම ඉන්ට ඉඩ දෙනවද? මට විනාඩි දහයක් තනියම ඉඳල මේ දුක විඳගන්න ඕන....
දෙපස රත් පැහැ බෝගන්විලා මල් වැවුණු පෙත් මඟ දිගේ පා තබමින් ඔහු නොපෙනී ගිය වහාම හිස පහත් කරගත් ඇය හඬ නඟා හැඬුවාය.ඉකි බිඳිමින් හැඬුවාය. සිතෙහි තෙරපී බුබුළු ලමින් ඉහළට නැඟ එන අනේක දුක් දොම්නස් සංතාපයන් දෙනෙතින් පිටකර හරිමින් ළය විරේක කරගැන්ම ඉටා ගත් සේ හඬ නඟා ඉකිබිඳ හැඬුවාය. අවසන තවත් හැඬීමට කඳුලු ඉතිරි නොවූ කල දිගු සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගත්තීය.
අකලංක සිසිල් බීම බෝතල දෙකක්ද රැගෙන පැමිණියේ ඇය එසේ හඬා අවසාන වූ පසුවය. ඔහු බොහෝ විට ඇය හඬා අවසාන වනතෙක් බලා සිටියා විය හැක. ඒ එසේ වුවද ඇය ඒ පිළිබඳව තැකීමක් නොකලාය. එසේ ඇය හඬා අවසන් වනතෙක් ඔහු බලා සිටියේ නම් ඇත්ත වශයෙන්ම ඔහුට ස්තූතිකලයුතු බව ඇය සිතා ගත්තාය.
" දැන් මොකද අපි කරන්නෙ අකලංක?..... "
සිසිල් බීම උගුරු කිහිපයක් පානය කල පසු ඇය ඇසුවාය. මොකද ඔයා කරන්නෙ යනුවෙන් නොව ඇය ඇසූයේ මොකද අපි කරන්නෙ යනුවෙන් බව ඔහුට වැටහුනද ඔහු ඒ පිළිබඳව කිසිදු සඳහනක් නොකලේය.
" අපෙ අම්මල මට බඳින්නෙයි කියල බල කරනව. එයාල දන්නෙ නෑ අපි බැඳල කියල.අනික අපේ පවුලෙ අක්කයි මායි විතරයි. ඉතින් අම්මට වැරැද්දක් කියන්නත් බෑ. "
" එතකොට ඔහොම මනමාලියො බලන්න ගිහිල්ල මොකක්ද ඔයා බලාපොරොත්තු වෙන්නෙ? "
" මම හිතාගෙන ඉන්නෙ අම්මගෙ හිත සනසන්න මෙහෙම යනව. ඒ එක්කම මාව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් හම්බ උනොත් හොඳයි. එහෙම නොවුනොත් ඉතිං කරන්න දෙයක් නෑ. "
" එතකොට උපාට මොකද වෙන්නෙ? "'
" උපා මගෙ බිරිඳ..මම එයාව කවදාවත් තනි කරන්නෙ නෑ. මේ වෙලාවෙ තමයි එයාට මාව ඕනම කරන වෙලාව…මම කොහොම හරි එයාව සනීප කර ගන්නව"
අකලංකගේ හඬෙහි වූයේ දැඩි අධිෂ්ඨානයකි.
The Notebook
තමරුට එකවරම මතකයට ආවේ එනමින් යුත් නවකථාවයි. උපාගේ ප්‍රියතම නවකථාව වූ එය පිළිබඳව සරසවි නේවාසිකාගාරයේ නිදන කාමරයේ සිට ඔවුන් දෙදෙන සහස් වරක් කථා කරන්නට ඇත.
" නෝවා තමයි මම හිතන විදිහට මේ ලෝකෙ හොඳම ආදරවන්තයා.එහෙම ආදරයක් ලබන්න ...විඳින්න නම් හුඟාක් පින් කරල තියෙන්න ඕන. ඇලී ගැන මට ඊරිසියයි "
එහා ඇඳේ විට්ටමට හේත්තුකරගත් කොට්ටයට හිස තබාගෙන The Notebook පොත කියවමින් සිට එක්වරම දිදුලන දෑසින් යුතුව උපමාලී පැවසූ අයුරු සිහිකල තමරුගේ දෑස නැවතත් කඳුලින් වැසිණි.
" අනේ මෙහ්..බුදියගනිං...උඹේ නෝව එයි රෑට හීනෙං උඹ හොයාගෙන...නෝවෙක් ගැන ඔයාකාර හිතන්නෙ...ඇයි අර අකලංකයද මොකාද ඌ හොඳ නැද්ද?...."
තමරු පැවසුවේ උපාට පිටුපා හිසේ සිට දෙපතුල දක්වා පොරෝනයෙන් වසා ගනිමිනි.
ඒ අකලංක උපමාලි ගැන උනන්දුවක් දක්වන බව ඔවුන් දෙදෙනාටම වැටහෙමින් තිබුණු මුල්දින කිහිපය විය.
" නෑ එහෙම නෙවෙයි අකලංක හොඳයි ඒත් මම වඩාත්ම කැමති අකලංක නෝවා වගේ වෙනව නම්…"
එම නවකථාවෙහි වූයේද වයස්ගතව මතකය අහිමි වන තම බිරිඳ වෙනුවෙන් ඔවුන්ගේ ආදර කථාව ඇයට ඇසෙන සේ කියවන සදාදරණීය සැමියකුගේ කතාවකි.
" තමරු දන්නවද උපාගෙ ෆේවරිට් නවල් එක මොකක්ද කියල......"
අකලංකගේ හඬින් ඇය නැවත වර්තමානයට පිවිසියාය.
ඔහු කතා කලේ මෙතෙක් කතාකල පරාජිත ස්වරයෙන් නොවේ.ඒ හඬෙහි වූයේ දැඩි අධිෂ්ඨානශීලී බවකි.
" The Notebook...උපා දවසක් මා එක්ක කිව්ව මම කැමතියි අකලංක ඔයා නෝව වගේ වෙනවනම් කියල..ඔව් උපා මම ඔයා වෙනුවෙන් නෝවා කෙනෙක් වෙනව……"
හපොයි මට මේ අන්තිම ටික කියවද්දි ඇඬෙන්න ආවා අනේ....
ReplyDeleteදහදාහකින්වත් හොයා ගන්න බැහැ මේ වගේ ආදරවන්තයෙක්ව :)
ReplyDelete