Sunday 30 September 2012

සෙනෙහසේ නවාතැන ....The Sanctuary of Love.....3


පන්සල් ගිහිං ආ වෙලාවේ හිටං අයියගෙ මූණ හරි අමුතුයි. පොළොන්නරුවේ ඉඳං ඊයෙ ආවට පස්සෙ අයියගෙ මූණ ඔය හැටි එළිය වැටිලා තියෙනවා මං දැක්කමයි. රෑ කෑමෙං පස්සෙ අයියා ඉස්තෝප්පුවේ හාන්සි පුටුවෙ වාඩි වෙලා හඳ දිහා බලාන කල්පනා කරන දිහා මං ඩිංගක් වෙලා සද්ද නැතුව බලා උන්නා. අප්පච්චිගෙ හාන්සි පුටුවෙ වාඩි වෙලා ඉන්දැද්දි පැත්තට බැලුවහම අයියත් අප්පච්චි වගේම තමයි. මට හීල්ලුනා. 

අයියා ඔළුව හරෝලා බැලුවා. හීන් හිනාවක් දාලා ඉස්සරහා පඩිපෙළ ගාවට ගිය මං අයියට පිටුපාලා ඉස්තෝප්පුවෙ කණුවට හේත්තු වෙලා හඳ දිහාවෙ බැලුවා. "පන්සලේ සෙනගද අයියෙ?"

"හ්ම්. ඔය හිටියෙ. දැං කොහොමද අම්මට?" 

අම්මට හිටි හැටියෙම කොන්දෙ අමාරුවක් ආව හන්දා තමයි අම්මයි මායි දෙන්නම පන්සල් නොයා ගෙදර නැවතුනේ. "දැන්නං අඩුයි. වෙද මාමා දීපු බේත් තෙල් ගෑවහම අඩු උනා." 

ඩිංගක් වෙලා ඔහොම නිස්සද්දව ගෙවුනා. ඉස්සරනං අයියයි මායි අතරෙ නිස්සද්ද වෙලාවල් බොහොම අඩුයි. පුංචි සන්දියෙ වගේ අතිං පයිං රණ්ඩු ඇල්ලුවෙ නැතත් දෙන්නා එකතු වෙච්ච වෙලාවට අහළ පහළක ඉන්න උදවියට කනක් ඇහිල්ලේ ඉන්න හම්බ වෙන්නෙ නෑ. ඒත් හය මාසෙකට පස්සෙං පහු ගෙදර ආපු අයියා ඊයෙ හැන්දෑවෙත්, අද පන්සලට යනකලුත් උන්නෙ මුළු ලෝකෙම එපා වෙච්ච කෙනෙක් වාගෙ. ඊයෙ පඩිපෙළ උඩ ඉඳගෙන සුබා අක්කා ආයෙම ගම ඇවිදිං ඉන්න විත්තිය මං කීව වෙලාවෙ අයියගෙ මූණෙ මතු වෙලා නැති වෙලා ගිය එළිය දැං ආයෙත්.

"පරණ යාළුවො හෙම හම්බ උනැයි?" මං ඇහුවා.

"ගුණේලගෙ අම්මව හෙම හම්බුනා. ඒකාත් දැං ගමේ නෑ කියන්නේ."

"ඔව්, ගුණදාස අයියටත් ඔය කොහෙද දුර පළාතක රස්සාවක් හම්බ වෙලා ගියානේ."

"පන්සලට යන අතරෙ කඩේ ලඟදි සිරාවයි අනෙක් එවුන් ටිකයි හම්බුණා. 

"ඒගොල්ලො ඉතිං පංසලක් පැත්තෙ යන උදවියයැ, ගම පුරා රස්තියාදු වෙවී ඉන්නව මිසක."

ආයෙමත් දුරස් බව පිරිච්ච නිස්සද්දතාවයක්. හය මාසෙකට කළියෙං ගමෙන් ගිය මයෙ අයියා තාම පොළොන්නරුවෙද. මේ ඇවිදිං ඉන්නෙ වෙන කවුරුවක්වත්ද.

"මං සුබාව දැක්කා නංගී.." අන්තිමට අයියා ඇහෙන නෑහෙන හඬින් කියනවා මට ඇහුණා.

"පන්සලේදි?" මං අයියා දිහාවට හැරිලා ඇහුවා. අයියා ඔළුව වැනුවා. "මොකද සුබා අක්කා කියන්නෙ?"

"අපිට කතා කරන්න ඉඩක් ලැබුනෙ නෑ."

"ඒ මොකද?"

"මං පහන් පත්තු කර කර හිටියෙ. සුබා ඈත ඉඳං මයෙ දිහා බලාගෙන ඉන්නවා මං දැක්කෙ හිටි හැටියෙම. දෙන්නට දෙන්නා ඈත ඉඳං මූණට මූණ බලං හිටියා. ඒ මූණෙ ගොඩක් දේවල් ලියවිලා තිබුණා නංගි."

"අයියට ලඟට ගිහිං කතා කරන්න තිබ්බනෙ. අපරාදෙ, මං ගියානං කතා කරනවා. සුබා අක්කා ආයෙම ආවට පස්සෙ දකින්ඩම බැරි උනා."

"ඔයගොල්ලො දැං එහෙ යන්නෙම නැද්ද?"

"රාළහාමි මාමගෙ ඇණුම් පද අහගෙන කොහොම යන්ඩද අනේ. අම්මටත් එපා වෙලා තමයි ඔය එහෙ ගමන් නතර කරලා දැම්මෙ. ඉතිං දෙන්නා මූණට මූණ බලං හිටියා, එච්චරද?"

"හ්ම්. මැණිකෙ නැන්දයි, පොඩ්ඩි නගායිත් ඒ ගාවම හිටියෙ. මාව දැක්කට පස්සෙ නැන්දා සුබාව එතනිං අහකට එක්ක ගියා." අයියා දිග හුස්මක් පිට කරලා කකුල් දෙකත් හාන්සි පුටුව උඩට ගත්තා.

මං ඩිංගක් වෙලා අයියා දිහා බලං හිටියා. පුංචි කාලේ හිටං ඒ දෙන්නගෙ තිබ්බ ඇඟෑලුං කම මං නොදන්නවා නෙවෙයිනෙ. මගෙම අක්කා කෙනෙක් තරමට සුබා අක්කා මටත් ලෙංගතුයි. එයාගෙ නංගි - අපි හැමෝම එයාට කිව්වෙ පොඩ්ඩි කියලා - මට වඩා අවුරුදු හතරක් විතර බාලයි, තාම ඉස්කෝලෙ යනවා. අයියයි සුබා අක්කයි මට වඩා අවුරුදු තුනක් ලොකුයි. ඉස්සර අපි තුන් දෙනාම ඉස්කෝලෙ ගියෙත් ආවෙත් එකට. ඒ ආවහම රාළහාමි මාමලගෙ ගෙදර තමයි හැන්දෑ වෙනකල්ම හිටියෙ. එකම පන්තියෙ හිටපු ඒ දෙන්නා පාඩං කළෙත් එකට. සෙල්ලං කරද්දි රණ්ඩු උනාමත් ඒ දෙන්නා හැම වෙලාවෙම එක පැත්තෙ. ඒ කාලෙදි මයෙ අයියාවත් මට නෑ කියලා මහා දුකක් දැනුනත් ටික ටික ලොකු වෙද්දි ඒ දුක සතුටකට පෙරළුනේ මගේම කියලා අක්කා කෙනෙකුත් ඉන්නවා කියලා මට දැනිච්ච හින්දයි. මං කොයි තරං ආසාවෙන් හිටියද අයියා සුබා අක්කව මෙහෙ කැන්දන් එනකල්. ඒත් හිතාගන්නවත් බැරි විදිහට හැම දේම වෙනස් උනා. "අයියට සුබා අක්කා එක්ක කතා කරන්න ඕනෙද?" මං ඇහුවෙ ඔය හැමදේම කල්පනා කරලා.

අයියා මයෙ දිහාව බැලුවා. ඊලඟට මූණ පිරෙන්න හිනා උනා. "හෙට අපි හම්බ වෙනවා."

"ඒ කොහොමද?" මට හිතාගන්නවත් බෑ. සුබා අක්කව තනි පංගලමේ ගෙයින් පිට අරින්නෙ නැති බව මං හොඳාකාරවම දැනගෙන උන්නා.

"සුබාලා බෝධිය ලඟින් ගියාට පස්සෙ මං පහන් පත්තු කරලා ඉවර වෙලා බෝධිය යටම ඉඳං හිටියා. හදිසියෙම පොඩ්ඩි දුවං ඇවිත් කිව්වා හෙට දහයට එයා අක්කත් එක්ක පුස්තකාලෙට එනවා, අක්කා එක්ක කතා කරන්න ඕනෙනං කොහොමහරි එන්න කියලා. ඒ කියලා ආපු හැටියෙංම දුවලා ගියේ. පන්සලේ කියලා සිහියක් නෑ ඒ කෙල්ලට, ඔයා වගේම තමයි."

මට හිනා ගියා. "ඒක තමයි මේ මූනට අද හඳ පායලා තියෙන්නේ." මං ඇදලා පැදලා කිව්වා.

"මූණෙ නෙවෙයි බං, අද පෝයනේ. අර පේන්නේ ආං බලහං අර හන්තානට උඩහිං පායලා තියෙන්නේ. අන්න ඒකටයි හඳ කියන්නේ. ඔය ඒකෙ එළිය තමයි මයෙ මූණට වැටිලා ඇත්තෙ."

ඊයෙ අයියා ආවට පස්සෙ සුබා අක්කා ගැන කියනවා ඇරෙන්න වෙන මුකුත් කතා කරන්න උනේ නෑ අයියටයි මටයි. අදත් උදේ හිටං අම්මගෙ කොන්දෙ අමාරුවට බේත් තෙල් ගාන්නයි, ගෙදර අනිත් වැඩයි එක්ක මට නිවීහැනහිල්ලේ අයියා එක්ක කතා කරන්න ලැබුණෙම නැති තරං. මං අයියා ඉඳං උන්නු හාන්සි පුටුව ලඟින් බිම ඉඳගෙන පුටු ඇන්දට ඔළුව හේත්තු කරගත්තා. අයියා හීනිවට ඇඟිලි තුඩු වලින් මයෙ ඔළුව අතගානවා මට දැනුනා. ඉස්සර අප්පච්චිගෙ සරං ඔඩොක්කුවෙ වාඩි උනහම අප්පච්චි අපෙ ඔළුව අතගෑවෙත් එහෙමයි.

"ඉතිං කොහොමද අයියෙ රස්සාව එහෙම?"

"ඇයි මං ලියලා එව්වෙ? මක් කළාද ඒ ලියුං, කියවන්නෙම නැතුව ලිපට දැම්මද?"

"අපෝ මහ ලොකු දෙයක් ලියල තිබ්බයැ ඒ ලියුං වල? ගිය සුමානෙ වැස්සා. අද පායලා. ඊයෙ ගල් විහාරෙ ගියා. ඔන්න ඕවනෙ ලියලා තිබ්බෙ."

"ඉතිං එච්චර තමයි. ඒ ගැන අහන්නෙ, මට කියලා ඉඳහං කැම්පස් එකේ විස්තර."

මට එතකොටයි මතක් උනේ නිවාඩුවට ගමේ එන්න කළින් වෙච්ච කතාවක්. "ආ, අයියා හොඳ වෙලාවට මතක් කළේ. දැං නිවාඩු කාලෙනෙ. එහෙ ඉන්නෙ මගෙ හොඳම යාළුවා සමාධි. කුරුණෑගල කෙනෙක්. මේ නිවාඩුවට අපේ ගෙදර එනවා කිව්වා. හෙට අනිද්දට ඒවි සමහරවිට."

"මදැයි කනක් ඇහිලා නිවාඩුවෙ ගෙදර ඉඳලා යන්න ආවා!" 

අයියා ඔය කියන්නෙ මාව අවුස්සන්න බව මං දන්නවා. ඒත් ඉතිං මට ඔහොම වෙලාවට කට පියං ඉන්න බෑනේ. "මේ, මං ආස්සරේ කරන්නෙ බොහොම වැදගත් යාළුවො හරිද. එක එක එව්වා කියන්න හෙම ලෑස්ති වෙන්න එපා ඒගොල්ලන්ට, තේරුණාද?"

"ඔය කැම්පස් එකේ නැද්ද හොඳ කොල්ලො එහෙම?"

"අර මොකටද?"

"නෑ මං කිව්වෙ මේ ඔයාගෙ හිත ගිය කොල්ලෙක් එහෙම?"

ඔන්න මගේ කන් දෙක රත් වේගෙන ආවා. ටිකකින් මුළු මූණම රතු වෙන බව මං දන්නවා. අයියා මේ වෙලාවෙදි මෙහෙම දෙයක් අහයි කියලා මං හීනෙකින්වත් හිතුවෙ නෑ. ඒ හින්දා මට හරි යන උත්තරයක් ගැගහගන්න ටිකක් වෙලා ගියා. "එක එක විදිහෙ කොල්ලො ඉන්නවා ඉතිං. තාම අවුරුද්දයිනෙ ගියෙ. මෙච්චර ඉක්මණට කොහොමද කාටවත් හිත යන්නෙ."

"කාගෙවත් හිත ඔයාට ගිහිල්ලත් නැද්ද?"

"ඒවා ඉතිං මං දන්නෙ නෑ." 

"ඔය සමාධිද කවුද ආවහම මං අහලා බලන්නංකෝ."

"ආ, එයා මුකුත් කියන් නෑ ඒ ගැන."

"ආ," අයියට අලි හිනාවක් ගියා. "මොකක් ගැනද?"

මට දිවත් හැපුනා. විනාසයි! "මං කිව්වේ සමාධිගෙන් අයියට අහගන්න මුකුත් නෑ."

"හරි හරි අපි හොයාගන්නංකෝ..."

"මොකද බොලං මේ රෑ තිස්සෙත් රණ්ඩු කරන්නේ?" අම්මගේ කටහඬ ගේ ඇතුළෙන් ඇහුණා. මම ලඟ නැති බව දැනිලා අම්මට ඇහැරෙන්න ඇති. "දොරවල් වහලා දාලා මේ ඇතුලට ඇවිත් නිදාගනිල්ලා."

කියන පරක්කුවෙන් නැගිටගත්තු මං අයියට දිවත් දික් කරලා ගේ ඇතුළට දිව්වා.

***

පහුවදාට එළි උනා. බලන්න එපායැ උදේ හිටං අයියගෙ තිබ්බ සූදානම. ගමේ එනකොටත් දවස් හතරක පහක විතර වැවිලා තිබ්බ රැවුලත් කපලා. රහස දැනං හිටිය මට අයියව දකින දකින සැරේට හිනා. අම්මා ඉස්සරහදි දෙතුං විටක්ම මයෙ දිහා රවලා බලපු අයියා අන්තිමට ඉස්තෝප්පුවෙදි මාව අල්ලගත්තා. 

"නවත්තගන්නවද නැද්ද ඔය සිරික්කිය?" 

"ඇයි නවත්තගත්තෙ නැත්තං මොකෝ?" මාත් අරින් නෑ.

"මං අම්මට කියනවා ඔයාගෙ කොල්ලා ගැන."

"මට ඇති කොල්ලෙක් නෑ!" මගෙ හිනාව වාශ්ප වෙලා ගියා.

"මං කියනවා එහෙම ආරංචියක් තියෙනවා කියලා."

"ඉතිං දැං ඔය අද ගමන ගැන අම්මා දැනගත්තහම මොකෝ? අම්මා සුබා අක්කට අකමැති නෑනේ."

"ඒ ඉස්සර. දැං කොහොමද දන් නෑනේ."

"ඒ උනාට මට මේ මනමාල මූණ දැක්කම හිනා යනවනේ." මටත් නිකං ඉන්න බැරි හැටි.

"වහගන්නයි කිව්වෙ කට!" අයියා මට ගහන්න වගේ අත ඉස්සුවා.

මං මගේ කටහඬේ සද්දේ පිළිකන්නෙ උන්නු අම්මට ඇහෙන තරමට වැඩි කළා. "අම්මේ, අයියා අද සු-" අයියා අත් දෙකෙන්ම මගෙ කට තද කරලා වහගත්තා.

ඒ එක්කම ඉස්සරහා පඩිපෙළ පාමුළ නතර කරපු වාහනේක හෝන් සද්දයක් ඇහුනා. අයියව අහකට තල්ලු කරපු මං පඩි පෙළේ මැදක් වෙනකල් දුවං ගියා. සමාධි! කැම්පස් එකේ මගේ යාළුවා! ත්‍රීවිල් එකෙන් එයත් එක්ක තව එක්කෙනෙක් බැස්සා. සමාධි පඩි පෙළ උඩහ බලලා මාව දැකලා හිනා වෙලා අත වැනුවා. එයත් එක්ක ආපු අනිත් එක්කෙනා ත්‍රීවිල් එකට සල්ලි ගෙව්වට පස්සෙ ඒ දෙන්නම පඩි පෙළ දිගේ උඩට නගින්න ගත්තා. මං පහළට දුවං ගිහින් සමාධිගෙ අතේ තිබ්බ බෑග් එක ගත්තා. "කොහොමද? පාර හොයාගන්න අමාරු උනේ නෑනේ?"

"නෑ, ඔයා ඇඳලා දීපු පාර හරියටම හරි." හිනාවෙලා කිව්ව සමාධි එයා එක්ක උන්නු අනිත් කෙනා දිහාට හැරුණා. "මේ ඉන්නෙ මගෙ අක්කා. අම්මා එන්න හිටියෙ මාව ඇරලලා යන්න. ඒත් අක්කා මේ සතියෙ ගෙදර ආවා, ඉතිං මං එයා එක්ක ආවා."

අපි තුන් දෙනාත් එක්ක පඩිපෙළ නගින්න ගත්තා. "ඒක හොඳයි. අක්කත් ඉමු මෙහෙ සමාධිත් එක්ක." මං කිව්වා.

"අනේ බෑ නංගි. මං ආයෙ අද හවසට යනවා. ආපහු සඳුදා වැඩට-" අක්කගෙ කතාව එකපාරට නතර උනා. අපි දෙන්නම අක්කා දිහාට හැරුණා. අක්කා පඩිපෙළ මුදුන දිහා බලාගෙන. අපි දෙන්නත් ඒ දිහා බැලුවා. අයියා එතන. "ජයේ?"

"සරෝජිනී?"

"ඈ? ඔය දෙන්නා අඳුරනවද?" මං දෙන්නගෙ මූණු දිහා මාරුවෙන් මාරුවට බැලුවා.

"අක්කෙ, මේ ඉන්නෙ ඔයා කියපු ජයසේන අයියද?" ඒ අස්සෙ සමාධි අක්කගෙන් ඇහුවා.

අක්කගෙ මූණ ලොකු හිනාවකින් එළිය වෙලා. අයියගෙ මූණ බිරන්තට්ටු වෙලා. "මං දන් නෑනෙ අපෙ නංගිගෙ යාළුවා ඔයාගෙ නංගියි කියලා. වෙන එකක් තියා මං ඔයාට නංගි කෙනෙක් ඉන්නවා කියලවත් දැනගෙන හිටියෙ නෑනේ." අක්කා පඩිපෙළෙන් මිදුළට ගොඩ වෙන ගමන් අයියා දිහා බලාගෙන කිව්වා.

"සරෝජිනී අපේ ඔෆිස් එකේ වැඩ කරන්නෙ නංගි," අයියා මං දිහා බලාගෙන කියලා අත් ඔරලෝසුවෙන් වෙලාව බැලුවා. මං හිමීට සමාධිගෙ ඔරලෝසුව දිහා බැලුවා. දහයට පහයි, මට යාන්තමට පෙනුණා.

"ජයේ කොහෙවත් යන්නද?" ජයේ. එච්චර කිට්ටු ආමන්ත්‍රණයක්.

"මං මේ පොඩ්ඩක් ලඟට ගිහිං එන්න කියලා." අයියා ආපහු මං දිහාව බැලුවා. මොනවා කියන්නද කියලා මං දැනගෙන හිටියෙ නෑ. ඒත් අයියා මට මෙච්චර දවස් නොකිව්ව තවත් ලොකු කතාවක් තියෙනවා වගෙයි කියලා මට යාන්තමට තේරුණා.

"අපි යංකෝ ඉතිං ගෙට. අක්කටයි සමාධිටයි මහන්සි ඇතිනේ." මං දකුණු අතේ තිබ්බ බෑග් එක වම් අතට මාරු කළා. "අයියා ඉක්මණට ගිහිං එයි. අපි යමු. අම්මත් ඇතුළේ ඉන්නවා. එන්න. අම්මේ - " මං අම්මට ඇහෙන්න ගේ ඇතුළට එබිලා කෑ ගැහැව්වා.

"යමු අක්කේ," සමාධිත් ඉස්තෝප්පුවට ගොඩ උනා.

"අනේ, දෝණිගෙ යාළුවා ආවැයි?" අම්මාත් ඒ වෙලාවෙ ඉස්තෝප්පුවට ආවා. අම්මගෙ කොන්දෙ කැක්කුම ඒ වෙද්දි හොඳටම හොඳ වෙලා තිබුණෙ.

"ඔව් අම්මේ. මේ සමාධි. මේ එයාගෙ අක්කා - සරෝජිනී නේද අක්කගෙ නම?"

"ඔව්. කොහොමද අම්මේ? මාත් මේ ජයසේන වැඩ කරන තැනමයි වැඩ කරන්නේ." අක්කයි සමාධියි දෙන්නම අම්මට වැන්දා.

"හැබෑට ? පොළොන්නරුවෙ? රත්නත්තරේ පිහිටයි!" අම්මා දෙන්නගෙම ඔළු අතගෑවා. මං තවමත් ගල් ගැහිලා බලං ඉන්න අයියා දිහාවට හැරුණා. "මං එහෙනං ගිහිං එන්නං." අයියට හදිසියෙම මතක් වෙලා ආපහු කිව්වා.

"කොහෙ යන්නද මේ ඇවිදිං ඉන්නෙ යාළු මිත්තරයො වෙච්චි?" අම්මා ඩිංගක් සැරෙන් ඇහුවෙ අමුත්තො ආව හැටියෙම එහෙම මග ඇරලා යන එක හොඳ දෙයක් නොවිච්ච නිසාම වෙන්න ඇති.

"නෑ අම්මෙ, අයියා විගහට එයි. මමයි කිව්වෙ අයියට පොඩ්ඩක් කඩේට ගිහිං එන්න කියලා, බඩු වගයක් ගෙන්නගන්න." මං ආයෙම අයියා දිහා බැලුවා. "අයියෙ මතක ඇතුව අයිස් ක්‍රීම් එකකුත් ගේන්න හොඳද? අද මේගොල්ලොත් ආව එකේ අපි හොඳට කන්න දෙන්න එපැයි."

"අනේ අනේ ඒ විශේෂ ඕන නෑ. මං කිව්වනෙ, මෙහෙ කන බොන විදිහටම තමයි මාත් කන්නෙ බොන්නෙ." සමාධි විගහට කිව්වා.

"එහෙම කොහොමද, අද මේ අක්කත් ඉන්නවනේ," මං ආයෙත් අයියා දිහා බැලුවා. "චොකලට් අයිස් ක්‍රීම් හොඳද."

"ආයි ආවම සල්ලි දෙනවා, හරිද?" අයියා එහෙම කියාගෙන පඩිපෙළ බහින්න පටන්ගත්තා.

"ලෝබයා!" අයියට ඇහෙන්න එහෙම කියපු මම ආපහු අම්මයි, සමාධියි, සරෝජිනී අක්කයි හිටපු දිහාවට හැරුණා. 

මං මේ කරපු උදව්වටනං අයියේ අයියට තමයි මට ගාස්තුව ගෙවන්න වෙන්නේ.

Friday 28 September 2012

සෙනෙහසේ නවාතැන ....The Sanctuary of Love.....2



හඳ එළිය ඉහිල පලාතම එළිය වෙලා... වා කවුලු අස්සෙන් කාමරේටත් රිංගන්ඩ හදනව....
ඒ එළියට වශී වෙච්ච මං සඳලු තලේට ගියා නෙවෙයි ... ඉබේම වගේ යැවුණ
ඈත අරලිය ගස්වල මල් සුවඳ දැනුනම මට අපේ ගෙදර මතක් වුණා....
අම්මයි අප්පච්චියි මෙලහකට මොනව කරනව ඇද්ද??
අප්පච්චි මෙලහකට ඉස්තෝපුප්පුවෙ හාන්සි පුටුවෙ දිගෑදිලා සුරුට්ටුවකුත් බොන ගමන ඉඩකඩංවල වගතුග කල්පනා කරනව ඇති....
අම්ම ඒ ලඟ මිටි පුටුවෙ වාඩිවෙලා දවසෙ විස්තරේ කියනව ඇති අප්පච්චිට....
හූමිටි තැබිල්ලක් නැති වුණාට අප්පච්චි ඉන්නෙ  ඒ සේරොම දේවල් අහගෙන...
ඕනෙ තැනට උත්තරේ දීල ඇති...
චුට්ටි නංගි...?? පාඩං කරනව ඇති!!
මට නොදැනීම මහ හුස්මක් හෙලුණ.....


මොකද... සුබා කුමාරිහාමි රහත් වෙන්ටවත්ද කල්පනාව... නැත්තං පොලොන්නරු ගිය ගමේ මස්සිනා පොඩ්ඩ මතක් වුණාවත්ද??

සිරීගෙ අනපේක්ෂිත කට හඬෙන් විතරක් නෙවෙයි අහපු විදියෙනුත් මාව තිගැස්සිලා ගියා!!!

හිත යටිං මොකද්දෝ නන්නනාඳුනන කීරි ගැස්සිල්ලක්!!!

රබර් බෝලයක් වතුරෙ ඔබාන ඒක ගිල්ලවන්ඩ තනන්නා වගේ මං මයෙ හිතෙන් අකා මකා දාන්ට හදනදේ!!
ඇයි දෙයියනේ!! මට කොහෙංවත් සැනසිල්ලක් නැත්තෙ??

උන්නු හිටි තැන් අමතක වෙලා මහ  හයියෙන් අඩන්ට තිබුණු උවමනාව බලෙං යටපත් කරගනිද්දි දුකක් දැනුණාම ඩිංගක්වත් මට අඩංගු නැති මයෙ ඇස් තෙත් වෙලා ගියා... වචනයක්වත් කියාගන්ට බැරි විදියට උගුර වේලිලා ගියා...

මං කාමරේ පොඩි කනප්පුව උඩ තිබුණු වතුර වීදුරුව බීගෙන බීගෙන ගියා!!!

මං කොලොප්පමක් කළේ සුබා!! තරහ ගියාද??

මට තරහ ගියා කියල මගෙ මූණෙං පෙනෙන්ඩ ගත්තම සිරී එහෙම කිවවට මට දැණුන ඒක ඇහුවෙ කොලොප්පමටම නෙවෙයි කියල....
ඒක අද නිකමට ඇහුව ප්‍රශ්නයක් නෙවෙයි කියල...
ඒක දවස් ගාණක් අහන්ඩ හිතේ තියං ඉඳල... ඔත්තු බලල එහෙම ඇහුව කියල හිතට දැනෙනකොට මේ මිනිහ මාව සැක කරනව නේද අනීවාරතේ කියල හිතුණාම අර හිතුවක්කාර කඳුලු සට සට ගාල බිමට වැටෙන්ඩ ගත්ත
මං ඇඳේ කොණක ඉඳ ගත්ත

අසනීපෙංවත්ද සුබා??

අම්මත් කිව්ව දැන් දවස් ගාණක්ම ඔයා හැම තිස්සෙම කල්පනා කරනව කියල...මොනවත් අඩුපාඩුවක් වුණාවත්ද අපෙං??

ඔය සැරෙං සැරේ වහෙං ඔරෝ ඇහුව දේ ඕකනෙ....
අද එලිපිටම මල්ලෙං පැන්න!!!

අනේ මං හිත රිද්දන්ට හිතාන ඇහුව නෙවෙයි සුබා... නිකං කටට ආවට ඇහුවෙ...මට සමා වෙන්ට

සිරී ඇවිල්ල මයෙ ලඟින් වාඩිවෙලා මයෙ අත අල්ලගත්ත

මං උන්නෙ කිසි හැඟීමක් දැනීමක් නැති දර කොටයක් වගේ!!!

මගෙ කට ඇරුණෙ කොහොම ද කියන්ඩ මංදන්නෙ නෑ......ඒත් මං හිතේ වේගෙට කියාන කියාන ගියා

ඔයා ඔය අහන්නෙ ජයසේන අයිය ගැන නං... මට ඒ ගැන කියන්ට එහෙමට දෙයක් නෑ සිරී....
අපි දෙන්න කවදාවත් දෙන්නට දෙන්න ආදරෙයි කියාන නං නෑ තමා..
ඒත් ජයසේන අයියගෙ හිතේ නෑන වෙච්චි මං ගැන බලාපොරොත්තුවක් තිබුණ... මයෙ හිතෙත් තිබුන්නෑ කියල  ඔයාට බොරු කියන්ට ඕනෙ නෑ මට...

සුබා.... අනේ ... හිත් අමනාප කරගන්ට කාරි නෑ... ඔව්ව ආයෙ....

නෑ සිරී මට කියන්ට ඉඩ දෙන්ට....

මුලදි අකමැත්තක් පෙන්නුවෙ නැති වුණාට පස්සෙංපහු, පස්සෙ අපෙ අප්පච්චිගෙ ඒ හැටි කැමැත්තක් තිබුණෙ නෑ තමා ... ඒ ජයසේන අයිය අපිට තිබුණු ඉඩකඩං හෙම දියුණු කරගන්ඩ ඒ හැටි උනන්දුවක් තිබුනෙ නැති හන්දයි.
අන්තිමේදි ජයසේන අයිය පොලොන්නරුවෙ රස්සාවට ගියා....
එයාට ඕනෙ වුනේ නිදහසේ රස්සාවක් කරගෙන ජිවත් වෙන්ඩයි....අප්පච්චිට හොඳටම තරහ ගියා... 
අන්තිමට මං හැම දේම අමතක කරල ඔයා එක්ක ආව...
ඔන්න ඕකයි උනේ සිරී...
මං දන්නෙ නෑ ඹයා ඒක ගැන මොනවද හිතන්නෙ කියල... ඒත් ඇත්ත තමයි ඒ....

දෙන්නගෙන්ම වචනයක්වත් පිට නොවිච්ච විනාඩියක් දෙකක් ගෙවිල ගියා!!

මයෙ හිත හෑල්ලු වුණා!!!  මෙතුවක් හිතේ හිර වෙලා තිබුණ සේරෝම දේවල් එලියට දැම්මට පස්සෙ!!

සමාවෙන්ට සුබා!!
මං කෙනෙක් මට කිව්ව පලියට හරියට දැනගෙන හිටියෙ නැති දෙයක් කියල ඔයාගෙ හිත රිද්දුවට...

ජයසේනගෙ යාලුවෙක් උසාවියෙ වැඩ කරනව...

හ්ම්... උපවංශ වෙන්ඩ ඇති.... වෙන කවුද ඉතිං..... සිරී නම කිව්වෙ නැති වුණාට මට හිතුණ...


ඔයා මට තීන්දු වුනා කියල දැනගත්තාම තමයි මට කිව්වෙ... ජයසේනත් එක්ක සම්බන්ධයක් තිබුණ කියල..ඔයාලගෙ අප්පොච්චි අකමැති හන්ද ජයසේන පොලොන්නරු ගියා කියල

කවුරු වුණත් ඔයාට කියල තියෙන්නෙ බොරු කතාවක්......
එතනිං එහාට ආයෙ මං වචනයක්වත් කිව්වෙ නෑ... කියන්ඩ දෙයක් තිබුණෙත් නෑ....

ඒත් ඒ වෙලාවෙවත් ගැන මං ඒ හැටි හිතුවෙ නෑ....!! අනික ඔයා ගැන අවිස්සාසයක් තිබුණ නං මං ඔයාව බඳින්නෙ නෑනෙ සුබා....මට සමා වෙන්ඩ...

අපි යමු කෑම කන්ට....!!

හ්ම්!!
කතා බහ එතනින් ඉවර වුණා!!
කසාදෙන් සතියකට පස්සෙ  අපි අතරෙ මුල්ම හිත රිදිල්ල ඇති වුණේ අන්න එහෙමයි!!

වලව්වක්ය කියල ආරංචි වුණාට කසාද බැඳල කැන්දං එනකල්ම මං දැනං උන්නෙ නෑ මේ හැටි විසාල එකක් කියල...
ඒ තියා සිරි  එක්ක එක වචන පහක් කතා කරලවත් තිබුණයැ මං??
අම්මගෙ බලේට ඔසරියක් ඇන්දට.. මාලයක් හෙම දාල සැරසුනාට මොකද හිත කිව්වෙම අකමැති වෙයං... එහෙං මේකට අකමැති වෙයං කියලනෙ

ආං ආව.... හැන්සම්  හැන්සම්!!! හැබැයි  මූණ පුරා රැවුල වවල.....

පො ඩ්ඩි දොර රෙද්ද  මෑත් කරල දිව දික්කළා!!!

පලාපත්වල මහ විසාල වලව්වක්ය කියල කපු උන්නැහේ කිව්වෙ.... අනේ මන්ද රාලහාමි  අපිට පෑහෙන්ට පුලුවං වෙයිද කියල....

හුහ්.... එහෙම අපිට බැරි මොකදැ මැණිකෙ.... මොකෝ අපිට කියල දේපල නැතුවයැ... මේ සාගරයක්වගෙ තියෙන දේවල් සේරෝම මේ කෙල්ලො දෙන්නට නෙව...
ආයෙ අකමැති වෙලා මොකෝ...??

දැං ඔය ලොක්කි බයේ ඉන්නෙ ලැබෙන්ඩ තියෙන ගුරු පත්වීමට යන්ඩ වෙන එකකුත් නෑ කියල...
එදා කතා කරපු හැටියෙං නං ඒ පැත්තෙං ඒ හැටි කැමැත්තක් නෑ වගේ ගෑණු රස්සා කරන්ඩ යනවට...

ගෑනු ගෙවල්වල වැඩපල ටික බලං හිටියම මදෑ.. දැං ඔය මැණිකෙ ඉන්නෙ යසට කෙල්ලො දෙන්නත් බලාන...


අනේ එහෙන් අකමැති වෙයං!!! මං ඒ අතරෙ ප්‍රාර්ථනා කළා....

කුඩේ කරකෝ කරකෝ කපු උන්නැහේ හිනා වෙවී එද්දිම මං දැනගත්ත....

ආයෙ මොනවද එක පයිං කැමති වුණා මැණිකෙ...

හැබෑට....
ආං දන්නන්ට කිව්ව මැණිකෙල එහෙ එන දවසක්!!
මං කතා කොරපු මගුලක් එහෙම වැරදිලා තියෙනවයැ!!!

එහෙං කියන්නෙත් පුලුවන් තරං ඉක්මනට කටයුතු එකලාසයක් කරමු කියලයි මැණිකෙ ...

ඔවු ඔවු... ලොක්කි ඔය හිත එකලාසයක් කරගෙන ඉන්න වෙලාවෙ ඒක එකලහක් කරල දාමු...
ආයෙ හිත් නෙ... වෙනස් වෙන්ඩ මහ වෙලාවක් යන්නෙ නෑ ඕං...

අප්පච්චි කිව්වට මේ පලාපත්වල වලව්වෙ මට කරන්ඩ කිසිම වැඩක් පලක් තිබුනෙ නෑ....!!!
ගෙදර දොරේ වැඩ කටයුතු සේරෝටම හිතින් ගතින්ම කැප වෙච්ච සේවකයො හිටියනෙ.
සිරී උදේ උසාවියට පිටත් වුණාට පස්සෙ මං මිදුලෙ ඇවිද්ද,
මිදුල හරි අතු ගාන්ඩ තිබුණ නං කියල හිතුණට ඒ වැඩ කරන කරෝලිස් ඉදල අල්ලන්ඩවත් ඉඩක් දුන්නෙ නෑ....
දුව ඕව කරන්ඩ ඕනැන්නෙ නෑ... මොටද දූවිලි ගාගන්නෙ... ඔය මිනිස්සු ඉන්නෙ ඇති පදං ඒ වැඩ කරන්ඩ

සිරීගෙ අම්ම කිව්ව...

අනේ මයෙ නවකතා පොත් ටිකක් ආයෙ අම්මල එද්දි අරන් එනවද??

සතියකට පස්සෙන්පහු නෑගං ආව අම්මට මං කිව්ව

ඇයි දුවේ....??
නෑ අම්මෙ.. නිකංම ඉන්නකොට කම්මැලියි... කියවන්ඩ මොනව හරි තිබුණ නං කියල හිතුණ

අම්ම සියදෝරිස් මාම අතේ පොත් මල්ලක් එවල තිබුණයිං සතියක් දෙකක් ගත කරගන්ඩ පුලුවන් වුණා...

ඈතින් ඇහුණු වෙඩි සද්දෙට මං ගැස්සුණා!!!

කවුරු හරි ඌරෙකුට බැන්ද වෙඩිල්ලක් වෙන්ඩ ඇති!!

රැහැයි නාදෙ හතර වටෙන් ඇහෙද්දි ජනේලෙන් පේන මිදුලෙ අඹ ගහට මෙපිටින් එලි කැරකෙනව පෙනුණෙ කළාමැදිරියො වෙන්ඩ ඕනෙ....

අක්ක බර කල්පනාවක නේද හිටියෙ... මං දැං සෑහෙන වෙලාවක ඉඳල බලාගෙන උන්නෙ...
චිමිනි ලාම්පුවෙ එලියෙන් මේසෙ උඩ පාඩං කරන පොඩ්ඩි මයෙ දිහා බලං උන්න බවක් මං දැක්කෙ නෑ!!
මං දන්නව අක්කෙ... ඔයා සිරී අයියව බැන්දෙ ඒ හැටි කැමැත්තකින් නෙවෙයි කියල...
අක්කගෙ හිත තිබුණෙ ජයේ අයිය ලඟනෙ....
මට එයා එක්කත් පුදුම තරහයි......අම්මයි අප්පච්චියි කියන දේ අහන්නෙ නැතුව ඔයාල දෙන්න පැනල ගියා නං ඉවරයි නෙ... මේ මොන ප්‍රශ්නයක්වත් නෑ නෙ......
ඒත් දැන් ගිය දේ ගියා.. උණ දේ උණා... අක්කගෙ හිතේ තියෙන දුක මටත් දෙන්ඩ අක්කෙ...
ඔයා ඇයි තනියම මූණ දෙන්ඩ යන්නෙ සේරම දේවලට??

මං මෝඩ හිනාවක් තොල්දෙකේ ඇඳගත්ත!!

පොඩ්ඩි මොනවද දන්නෙ පොඩ්ඩියේ....??? මං හිතිං හිතුව
පොඩ්ඩි ලොකු හුස්මක් හෙළල ආපහු පොත දිහා බලාගත්ත...

දැං ලොක්කි මොකද කියන්නෙ මැණිකෙ.....

අනේ මන්ද රාලහාමි... මට වෙලාවකට හිතෙනව අපි ඉක්මං වුණා වැඩිද කියලත්!!

රට්ටු දැංමම කතන්දර කියන්ඩ පටං අරං මැණිකෙ.... අපේ ලොක්කිට ළමයි නැති හන්ද වලව්වෙං ගෙනත් ඇරලලලු... ඒ ළමයට වෙන මගුල් හොයනවලු....
දෙයියනේ අහස පොලව නූහුලන කතා!!! ළමයි හම්බ වෙන්ඩ කසාද බැඳල මහ ලොකු කාලයක් ගත වුණායැ???

ඒ ළමයගෙ කියන්ඩ වැරැද්දකුත් නැත්තං... රට්ටු හිනස්සන්නෙ නැතුව ආයෙ ගිහිං ඇරලුව නං හොඳ නැද්ද මැණිකෙ??

අනේ මන්ද... ඕවට බල කරන්ඩ ගිහිං මොකකිං මොකක් වෙයිද කියල රාලහාමි... ලොක්කි අපිට නොකිය හිතේ තද කරං ඉන්න මොනව හරි දෙයක් තියෙනව!!!

චිමිනි ලාම්පුවෙ එළිය එක පාරටම කොහෙන්දෝ ආව හුලං රැලකින් නිවෙන්ඩම ගියා!!!

චිමිනිය වටේ කැරකි කැරකි හිටපු කුරුමිණියෙක් එක පාරටම අතරමං වෙලා චිමිනිය ඇතුලට වැටුණ...
පවු !!!
ඌ දැවිල අඟුරු වෙලා ගියේ බලංගෙන ඉඳිද්දිමයි...!!!

කොච්චර අමතක කරල, නොහිත ඉන්ඩ හැදුවත් කොහෙන් හරි ඇවිල්ල ජයේ අය්ය ගැන මතක මයෙ හිතෙ හොල්මන් කරන්ඩ පටන් අරන්!!!
ඒ තරං මතක පොදියක් හිතේ හිර කරං මං ජයේ අයිය අමතක කරල වෙන දීගෙක ගියාය කියන එක මටවත් අදහගන්ඩ බෑ!!!

අයියෙ, මේ ගාණ මට තේරෙන්නෙ නෑනෙ...කියල දෙන්ඩකො

කෝ බලන්ඩ....?? අයියෝ.... මේ පුංචි ගාණ හදන හැටිවත් තේරෙන්නෙ නැද්ද මෝඩිට....??

අනේ යන්ඩ අයියෙ... අයිය ඉතිං හැමදාම මට හිනා වෙන එක නෙ කරන්නෙ...
ඕනෙ නෑ... මං තනියම හදාගන්නං

ආ.... පෝ..... සුබා නංගිට තරහ යන තරං .....කොච්චි මිරිස් ගෑවිලා වගේ නෙ... ඉන්ඩ කියල දෙනකල්!!

ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල ජයේ අයිය නංගිත් එක්ක ගෙදර යන්නෙ අපේ ගෙදරින් නාල කාල සෙල්ලං කරල ඉස්කෝලෙන් දෙන ගෙදර වැඩ ටිකත් ඉවර කරලයි...

පුංචි කාලෙ ඉඳල එකම පන්තියෙ ඉගෙන ගත්ත  අපි දෙන්න නෑනයි මස්සිනයි කියල ඉස්කෝලෙ ගුරුවරුත් දැනගෙන හිටිය හන්ද වෙන්ඩ ඇති කවුරුත් විහිලුකළා මිසක වැරැද්දක් ගත්තෙ නෑ....

අයියටත් වඳින්ඩ දුවේ!!!

දැං ඉතිං මයෙ පුතා එකම මස්සිනා වෙච්චි,  නෑනන්ඩිව බලාගන්ට වෙයි ඇහැක් වාගෙ!!

මං ගෙට වෙලා වතුර නාවපු දවසෙ අප්පච්චි  කිව්ව..

නැතුව නැතුව... ආයෙ වෙන කවුරු බලාගන්ටද?? මාමණ්ඩිත් එහෙම කිව්ව

ජයේ අයිය ලැජ්ජාවෙන් වගේ හෙමින් සැරේ එතනින් අහකට ගියාට පසසෙ දවසක ඇවිල්ල මිදුලෙ අඹගහේ   අලුත් අවුරුද්දට බැඳපු ඔංචිල්ලාවෙ පැද්දි පැද්දි ඉන්න මං ලඟින් යද්දි

සුබා නංගි ලස්සන වෙලා!!! කිව්ව හැටි!!

හෙමින් හෙමින් මටත් හොරා... ජයේ අයිය ගැන මයෙ හිතේ ආදරේ උල්පත උපන්නෙ ඕං ඔහොමයි!!!

කාලෙ ගත වුණේ අපි දෙන්නටම හොරා...

අපි ඉස්කෝලෙ ගිය ගුරුපාර.. පුංචි සන්දියෙ බැහැල තිත්ත පැටවු අල්ලාපු දිය පාර, ජයෙ අයිය අත් අල්ලාන මාව එගොඩ කරවපු ඒ දණ්ඩ අපේ කතන්දරේට සාක්කි කියාවි!!!


මට විශ්වවිද්‍යාලෙ යන්ඩ වෙන්නෙ නෑ සුබා නංගි... මොකක් හරි රස්සාවක් හොයාන යන්ට වෙනව.. අප්පච්චි නැති වෙච්ච දා ඉඳල අම්ම ඉහ ගහන්නෙ පුදුම අමාරුවකිං..... අම්ම ලව්ව මං වෙනුවෙං තවත් වියදං කරවන්ඩ මට බෑ නෙ...

අප්පච්චි කැමති වෙයිද අයියෙ?? මං ඇහුවෙ රස්සාවට යන එක ගැන නෙවෙයි කියල අයියට නොතේරුණා වෙන්ඩ බෑනෙ....

මන් දන්නෙ නෑ නංගි.... මං කවද හරි එනකල් ඔයා ඉන්නවද??

අයිය එහෙම අහද්දි මයෙ හිත කඩා වැටුණ ආකහේ ඉඳං උල්කාවක් පොළවට පාත් වුණා වගේ...

මං කොහොම උත්තරයක් දෙන්ටද අයියෙ....

ඇයි  දෙයියනේ ජයේ අයිය අහන්නෙ නැත්තෙ.. ඕනෙ එකක් වෙද්දෙං කියල මයෙත් එක්ක යං සුබා කියල??

රාලහාමි මාම මට බැණ අඬගානවලු නේද ගංගොඩේ!!!

මට කියන්ට දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ...මාමණ්ඩි නැතිවෙච්ච දා පටං නැන්දම්ම ඉඩකඩං හිලව්වට තියල අපෙ අප්පච්චිගෙං සල්ලි ඉල්ලගත්තුවග අයියත් දැනං උන්න..

වචනයක් වත් නොකිව්වට හිතේ හිරවෙලා තිබුණු දාහක් වචන හිත මත්තෙම යට වුණා!!

ආං.. අරූ පොලොන්නරු යන්ඩලු යන්නෙ... රස්සා කොරන්ඩ...!!

කෑ ගහන්ට එපා රාලහාමි!!..... ඒ ළමයයෙ කැමැත්ත නෙව ඒ...

මැණිකෙ ආං අර සෙදෝරිස්  කපුවට එන්ට කියල පයින්ඩයක් යවන්ට..... ආයෙ බලං ඉන්ඩ දෙයක් තියෙන එකක්යැ...

අක්ක අමනාප වෙයි නෙව රාලහාමි.. පුංචි සන්දියෙ ඉඳල තිබිච්ච ඇයි හො....

කිව්වාම අහල කියන එකක් කරන්ට මැණිකෙ මයෙ යකා අවුස්සන්නෙ නැතුව....

අප්පච්චිගෙ ගෝරනාඩුවට බයේ අම්මත් පස්සට වැටුණ පාර මෙතුවක් කාලයක් ආදරේ කියල මයෙ හිතේ උපන්න උල්පත හරස් කරල වේලි බඳින්ඩ වුණා

උඩහ පුතා එක්ක වැඩි පයුරුපාසානෙට යන්ට එපා ලොක්කියෙ....ඒ ළමයට තවත් බලාපොරොත්තු දෙන්ට ඕනැන්නෙ නෑ....අප්පච්චි එක හෙලාම විරුද්ධයි නෙව....

අන්තිමට කතාබහක්, සමු ගැනිල්ලක් නැතුවම අපි ඈත් වුණා....

ජයේ අයිය පොලොන්නරු ගියා කියල ආරංචි වුණා... පලාපත්තලිං ආවෙ ඒ අතරෙ

වත්තෙගම හාමුදුරුවංගෙ කවිබණ දවසෙ හැන්දෑවෙ පන්සලේ බෝධි ප්‍රාකාරෙ ලඟ ජයේ අයිය පහන් පත්තු කරනව මං දැක්කෙ අහම්බෙන්!!!
ඒ තමයි අපි මුණ ගැහිච්ච අන්තිම දවස...

අම්මෙ මං බෝධිය ලඟට ගිහිං එන්නං....
දැං මේ වෙලාවෙ යන්ඩ එපා... කවිබණ පටං ගන්ඩයි යන්නෙ ලොක්කියෙ....
මං විගහිං එන්නං අම්මෙ... පහන් දෙකක් පත්තු කරල
අනේ මන්ද ඉක්මනට.... අප්පච්චි දැක්කොත් මට විසුමක් නැති වෙයි තනියම යවල...


හුළඟට  පහලට නැවිච්ච බෝකොළ හෙලවිලා ජයේ අයියගෙ අකීකරු කෙහෙරැල් එක්ක ඔට්ටු ඇල්ලුව...
අයිය අතින් හුළඟ මුවා කරල  පහන් තිරේ පත්තු කළා

අයියෙ......

මොහොතකට ගල් ගැහිච්ච අයිය හෙමින් සැරේ ඔලුව උස්සල මයෙ දිහා බැලුව

ඒ බැල්ම!!!
මට කවදාවත් අමතක නොවෙන ජයේ අයියගෙ ඇස් මට කිව්වෙ ගම නොහිට ගත වෙච්ච මාස දෙකට සිද්ද වෙච්ච විපර්යාස දරාගන්ඩ දඟලල හෙම්බත්වෙච්ච බවක්!!

මයෙ කඳුලු පොකුණු පිරෙන්ඩ ඇහිපිය ගහන වෙලාවක්වත් ගියේ නැති තරං...

බෝගහේ කොළ පවා හෙලවුණේ නැතිව ගෙවිච්ච විනාඩි ගාණකට පස්සෙ  

අයිය මාත්එක්ක තරහද??

කියල අහන්ඩ හිතේ හයියක් මට කොහෙන් ආවද??

ජාති ජාතිවත් නෑ. මයෙ නංගියේ ජාති ජාතිවත් නෑ....මම ඔයා එක්ක තරහ නෑ...කවදාවත් මට තරහ වෙන්ටත් බෑ...''

අයිය එයාගෙ හිතේ හිර වෙච්ච සේරෝම දුක් දෝමනස්ස දියකරන්ට වාගෙ එදා එහෙම කියල හෙලපු සුසුම මට දැනුණෙ හරියට  මාව ගහගෙන යන්ට ආව සුලිසුළඟක් වාගෙ!!!

ලොක්කියෙ... රෑ වුණා හොඳටම දෙන්නම ඇවිල්ල කාල ඉන්ඩ....

අම්මගෙ හඬිං මං පියවිලෝකෙට ආව...
මහා දුර ගමනක් ගියා වගේ හිතට තෙහෙට්ටුවක් දැණුන... ඇඳෙන් නැගිටගන්ඩවත් බැරි ගාණට

උඩහ ගෙදර පුතත් ගමේ ආවයි කියන්නෙ!!!

පස්සෙන්දා ගල් ලිඳට නාන්ඩ ගිය වෙලාවෙ රෙදි හෝදන ගමන් හිටපු පිල්ලෑවෙ ගෙදර නැන්දම්ම කිව්වෙ ඇඟට පතට නොදැනී!!!‍
වචනයක් වත් කීවෙ නැතුව හිටියට මයෙ හිතේ මල් දාහක් එක පාරට පිපුණ වගේ මට දැනුණෙ....

සුබා... උඹ බැඳපු ගෑනියෙක්!!!  යසයි!!!

මයෙ හිත අස්සෙ ඉන්න කවුදෝ මයෙ ඔලුවට මහ හයියෙන් පාරක් දුන්න!!

ලොක්කියෙ කාමරේටම වෙලා ඉන්නෙ නැතුව පිච්ච මල් ටිකක් කඩහං... අද පාලොස්සක දා පන්සලටවත් ගිහිං එමු

හැන්දෑකරේ අම්ම එහෙම කිව්වාම ආයෙමත් අර හිතේ පිපිච්ච මල්වල සුවඳ දැනෙන්ඩ පටංගත්ත

දෙනෝදාහක් ගැවසෙන පන්සලේ, මං හෙවුවෙ නෙත් දෙකක්!!!

මං හොයන නෙත් දෙක අදත් එදා වගේම බෝධි ප්‍රාකාරෙ ලඟ පහන් වැට ලඟ  පහන් දල්වන හැටි!!

ඒ පහන්වල රස්නෙ මයෙ පපුවට දැණුන...!!

අඳුර අස්සෙන් පන්සල සිසාරා ඒ ඇස් සැරිසරනව මං දැක්ක!!!

අන්තිමට අපේ ඇස් හමු වුණා!!!!




මතු සම්බන්ධයි

පින්තූරය ලැබුණෙ දයල් බතීගෙන්