Tuesday 23 July 2013

සරණ බන්ධන ..... 1 අරවින්ද ගේ සුවිසැරිය




"අම්මප මේ වෙලාවට තමා මට පොල් ලෙල්ලක් හපාගෙන හපාගෙන යන්ට හිතෙන්නේ..."
ෆොටෝ කාරයගේ අණසක ට අරහෙට මෙහෙට හැරි හැරි කැමරාවට විරිත්තන ගමන්
අරවින්ද එහෙම හිතුවට කිව්වේ නෑ. දසුනි එහා පැත්තේ හිටපු නිසා.

උදේ අරවින්දලාට නිලමේ කිට අන්දපු එකා මහ අසමජ්ජාතියෙක්. මිනිහ ට තව වෙඩිමක් තියෙනවා කියල කස්ටියට ඇන්දුවේ අර මොකද්ද ගිනි අරගෙන වාගේ කලබලේට.
හිටු කියල අන්දලා, බඩවල් ඔතල තදකරල අන්තිමට කියාපි:
"මල්ලිලා ටොයිලට් යන්ට හෙම වෙන එකක් නෑනේ...අද වැඩිය වතුර බොන්ට එපා" කියල
එවෙලේ නම් අරවින්දට කටට ආව අහන්න වතුර නොබිව්වට බියර් බිව්වට කමක් නැද්ද කියල.
ඒත් ඇහුවේ නෑ.
දසුනි ගේ මලය හිටිය නේ...ඕකා ගිහින් කීවොත් හෙම අර අරවින්දය මහ බේබද්දෙක් කියල.

හැබැයි කෙල්ලන්ට නම් ඇත්තටම නියමෙට අන්දලා තිබුණා. ෂඃ බලන්ට එපාය අද දසුනි ගේ හැඩ! නිල් පාට ඔසරියට, කහ පාට මල් වලට කෙල්ල වෙනදටත් වඩා ලස්සනයි!
ෆොටෝ ෂූට් එක පටන් ගත්තු වෙලේ ඉඳන් අරවින්ද බැලුවේ කොයි වෙලේ හරි දසුනි එක්ක කතා කරන්ට.
කොහෙද...මේ වදකාර ෆොටෝ කාරයෝ එක්ක බෑනේ....


* * *
යන්තම් ෆොටෝ ෂූට්, පෝරුවේ චාරිත්‍ර ඉවර උණා. කට්ටිය කෑවා. දෙවන මනමාලයෝ හැර අනෙක් උන් බිව්වා.
ඒත් තවමත් අරවින්දගේ ආසාවට ඉඩක් ලැබුනේ නැහැ.
දෙවෙනි මනමාලිලාට හරි වැඩනේ...මනමාලිගේ සාරියේ පොට හදන්ට ලු, බොකේ එක අල්ලාගන්ට ලු, වෙඩින් කේක් අල්ලන්ට ලු...
හදිසියේම හෝල් එකේ කොනක ඉඳන් දසුනි තමන් දිහාට එනවා දැක්ක අරවින්ද ත් ටිකක් හරි බහි ගැහිලා ටිකක් වැදගත් පාටට මුණ හදාගත්ත. බොරුවට දසුනිගේ පැත්ත නොබලා ළඟ හිටි අනිත් දෙවන මනමාලය එක්කල කතාවක් පටන් ගත්තා.
"හා නී...මේ අරවින්ද පුතා නේ!"
එක පාරටම වේරම්භ වාතයක් වගේ කඩන් පාත්වෙලා තිබුනේ රත්නා ආන්ටි.
"පුතා දැක්ක කල්.... දැන් ගොඩා...ආආ ක් උසයි නේ!!" යන්තම් අඩි පහයි හයකට කිට්ටු අරවින්ද ගේ කම්මුල් මිරිකන ගමන් රත්නා ආන්ටි කිව්වා.
"කොහොමද කොහොමද...ආ ...ඊළඟ මගුල් ගෙදර ඔයාගේ තමා නේද? හිකි හිකි....මොකෝ රතු වෙන්නේ? දැන් එහෙ ඉන්නවද හොඳ කෙලි පොඩ්ඩක්? ඔසී කෙල්ලෙක්? මොකක්? අපෝ තාම නැද්ද? දැන් ජොබ් එකකුත් කරනවනේ..හිකි හිකි"
තල්මස් දෙනුවක් වාගේ රත්නා ආන්ටි හිනාවෙනකොට සරීරෙම හෙල්ලෙනවා. හරිම භයන්කාරයි.

ඒ භයන්කාර දර්ශනය බලන් ඉන්න බැරිව අහක බැලුවම තමයි අරවින්ද දැක්කේ දසුනි මග නැවතිලා අනිත් දෙවෙනි මනමාලි එක්ක මොනාද කලබලෙන් වගේ කියෝනවා.

"පුතා ඔයා ට මම අපේ දුව ඉන්ට්‍රෝඩියුස් කරන්ට හිටියේ...බලන්න අනේ එයාට අද නිවාඩු නැති උනානේ වෙඩින් එකට එන්න...අපරාදේ නේද?"
අපරාදේ? හුහ්...හොඳ වෙලාවට! කියල අරවින්දට හිතුනේ ලංකාවට ගොඩ බැහැපු දවසේ ඉඳන් මාමල නැන්දලා ආන්ටිලා අංකල්ලා ඔක්කොම එයාලගේ දූ සිඟිත්තන් ව තමුන්ට ජෝඩු කරන්ට දත කාපු නිසා.

"ඒක නෙවෙයි පුතා..."රත්නා ආන්ටි ආයෙත් පටන් ගත්තා.
"මේක ලවු මැච් එකක්ද?" ආන්ටි ඇහුවේ රහසින් වගේ.

නෑ ආන්ටි ටෙස්ට් මැච් එකක් කියල කියන්ට හිතුනත් අරවින්ද කීවේ "වෙන්නැති ආන්ටි" කියල විතරයි.

"අලවින්ද අයියේ අලවින්ද අයියේ!"
ඔන්න ඔය වෙලාවේ තමා දෙයියෝ එව්වා වාගේ මල් කුමාරියෙක් දුවන් ඇවිත් අරවින්දගේ  නිළමේ ඇඳුමෙන් අදින්ට ගත්තේ. බහ තෝරන වයසේ හන්දා පොඩි එකීට තවම හරියට අරවින්දගේ නම කියාගන්ට ත් බෑ.
"ඇයි රනූ බබා? මොකෝ උනේ?"
"එන්න්...නකෝ ඕ..."පොඩි එකී ෆුල් ඩම් දාලා අරවින්දගේ ඇඳුමෙන් අදිනවා.
හපොයි. මේක කඩන් වැටුනොත් හෙම වසල හමාරයි! අනිත් එක දසුනිත් ඉස්සරහ!
අරවින්ද බය උණා.
"හරි හරි අපි යමු...දැන් කොහෙද අපි යන්නේ?"
රනුලි බබා දසුනි දිහාට අත දික් කරා. "අලය ගාවට!"
හම්මේ කළින් කියන්ට එපාය! ඉබ්බා දියේ දැම්මම අර මොකද්ද කිව්වලු.
අරවින්දට එහෙම කියන්ට කටට ආවත් කිව්වේ නෑ. රත්නා ආන්ටි ඒ වෙද්දීත් එතන හිටපු නිසා.




***
වීරයා වගේ ආවත් දසුනි ළඟට ආ හැටියේ සුපුරුදු පරිදි අරවින්දගේ කටට අගුල් වැටුන. 

හෝල් එකේ ඒ සී තිබුනට දසුනිගේ මුණට දාඩියත් දාලා.
"මේ...දසුනි මේ රනූ..." කියද්දීම රනූ අරවින්දගේ අත ගසා දාල මල් කුමාරයෙක් පස්සෙන් හූ තියාගෙන එළවන්ට ගත්තා.
හුහ් මදැයි කොලා!

"අරවින්ද අයියව එක්කන් එන්ට කියල මමයි රනුලිව එව්වේ.."දසුනි බිම බලාගෙන කිව්වා.
 

දසුනි මාව එක්කන් එන්න කියල රනූ ව එවල!
වෙන වේලාවකදී නම් ඒක අරවින්දට ඉන්දියාව මැච් එකක් පැරදුනා වාගේ ඉහ වහා ගිය සතුටක් දැනෙන කාරණයක්. ඒත් මේ වෙලේ එහෙම දැනුනේ නැත්තේ දසුනි ගෙයි අනිත් දෙවෙනි මනමාලිගෙයි මුනවල් වල තිවුණු බය වෙච්චි පෙනුමට.


" ආහ් ඇයි දසුනි...මොකක් හරි ප්‍රශ්නයක් ද?"
අරවින්ද ඇහුවා.

"අනේ ඔව් අයියේ...අවන්ති අක්ක හොයාගන්න නෑනේ! අපි දෙන්න රූම් එකෙත් බැලුවා...සුපුන් අයියත් කලබල වෙලා ඉන්නේ"
දසුනි කියාගෙන කියාගෙන ගියා.
අවන්ති නෑ?
මගුල් ගෙදර මනමාලි නැති වෙන්ට පුලුවනිද?
අරවින්ද ට මේක මහා අපබ්‍රංශයක්.
"පොඩ්ඩක් ඉන්න...දසුනි...අපි පොඩ්ඩක් හෝල් එකෙන් එළියට යමු..."

ලා නිල් සහ කහ පාට මල් වලින් සරසලා තිබුණු හෝල් එකෙන්, අරවින්ද දෙන්න එක්කල හෙමීට එළියට ගියේ නෑදෑයෝ ඔක්කොම ඉස්සරහ කලබල කරන්ට හොඳ නැති හින්දයි.
"හරි ..දැන් හිමීට කියන්ට...මොකද්ද වෙලා තියෙන්නේ කියල"
දසුනි ලොකු හුස්මක් ගත්තා.
"අවන්ති අක්කා ට ටොයිලට් යන්ට ඕනි කියල දැන් විනාඩි විස්සකට විතර කළින් රූම් එකට ගිහින් තියෙනවා. ඒ ගියාමයි එයා කොහෙද කියල හොයාගන්ට නැහැ..."
"එයා තනියමද ගිහින් තියෙන්නේ?"
අරවින්ද ඇහුවේ සාමාන්‍යෙන් මනමාලි ඔය වාගේ වැඩවලට දෙවෙනි මනමාලි ව එක්කරන් යන හින්දා.


"ඔවු අයියේ...එයා සුපුන් අයියට කියල තියෙන්නේ මාත් එක්කළ යනවා කියලා. සුපුන් අයිය ඒ වෙලේ යාලුවෝ කට්ටියක් එක්කල කතා කර කර හිටපු නිසා ඒ කලබලේ එයා දැකල නැහැ හරියට අවන්ති අක්කා ගියේ කා එක්කල ද කියල. ගොයින් අවේ ඇඳුම අඳින්ටත් වෙලාව ළඟ නිසා එයාල කොහොමත් රූම් එකට යන්ට ඉඳල තියෙන්නේ...එයා යාලුවෝ එක්කල කතා කරලා ඉවර වෙලා මම හෝල් එකේ ඉන්නවා දැක්කම තමා මට කතා කරලා ඇහුවේ අවන්ති අක්ක රූම් එකේ තනියෙමද කියල...එතකොට තමා මම දන්නෙත් එයා රූම් එකට ගිහින් විත්තිය...මමයි නිපුනි යි එවෙලේම සුපුන් අයියත් එක්ක රූම් එකට ගිහින් බැලුවා...ඒත් ඒකෙ කවුරුත් නැහැ!"


"හරි...දැන් කෝ සුපුන්?"


"සුපුන් අයිය රූම් එකේ... හොඳටම කලබල වෙලා...හතර අතට කෝල් දෙනවා...ඔයාට කියන්ට කීවෙත් එයා...ජෝඩුව කෝ කියල අහපු අයට මම කීවේ ගොයින් අවේ ඇඳුම් අඳින්ට රූම් එකට ගිහින් කියල.
පවුල් වල කාටවත් මම කීවේ නැහැ මේ ප්‍රශ්නේ තවම..."


මේ වාගේ වෙලාවක කරන්ට ඕනි මොනවද කියල අරවින්දට හිතාගන්න ත් අමාරුයි.
හැබැයි හැමෝම කලබල වෙලා දඟලන්ට ගත්තොත් නම් ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා කියන එක නම් එයා තේරුම් ගත්තා. 


"බය වෙන්න එපා දසුනි...අවන්ති එහෙම නැති වෙන්ට පුළුවනි ද?...මොකක් හරි මිස් අන්ඩස්ටෑන්ඩින් මෙතන වෙලා ඇත්තේ...අවන්ති වැරදි කාමරේකට ගියාද දන්නේ නැහැනේ...නැත්නම් ෂුවර් එකටම සුපුන්ව බය කරන්ට අවන්ති ප්‍රෑන්ක් එකක් කරනවා වෙන්ට ඇති..

ජෝඩුව පිටත් වෙන්න තව පැය දෙකක්ම තියෙනවා නේ... හරි හරි අපි කොයිකටත් දැන් යමු රූම් එකට..."

 
දසුනිගේ හිත හදන්ට අරවින්ද එහෙම කිව්වත් මෙතන ලොකු අලකලංචියක් සිද්ද වෙලා තියෙන වග අරවින්දට දැනුනේ ඉවෙන් වාගේ.
කොහොම නමුත් ඔක්කොටම කලින් සුපුන් ගේ තත්වේ බලන්ට ඕනි...තමන්ගේ මගුල් දවසේ තමන්ගේ මනමාලි එකපාරටම අතුරුදහන් උනාම මනමාලය ට මොනවා හිතේවිද?


අනික සුපුන් කොහොමත් හිත මෙළෙක් එකා.
මීට අවුරුදු ගානකට කලින් සුපුන්ව මුලින්ම මුණ ගැහුණු දවස අරවින්දට මතක් උනා...
ඉස්කෝලේ පළවෙනි වසරේ ළමයි ඇතුළත් කරගත්තු දවස. එදත් පුංචි සුපුන් කාගෙන්දෝ වස්වර්තියෙකුගෙන් ගුටි කනකොට  අරවින්ද ගිහින් තමා බේර ගත්තේ. එදා ඉඳන් දෙන්නා හැදුනේ එක කුස උපන් සහෝදරයෝ දෙන්නෙක් වාගේ. ඇත්තටම අවුරුදු හතරකට කලින් අරවින්ද ඔස්ට්‍රේලියාවට යන්න කලින් සුපුන්ගේ ජීවිතේ සිද්ද වෙන හැම දෙයක්ම අරවින්දත්, අරවින්දගේ ජීවිතේ වෙන හැම දෙයක්ම සුපුනුත් දැනන් හිටියා...


 ඒත්... කිලෝ මීටර් දාස් ගාණක් ඈතින් ඉන්නකොට, විශ්ව විද්‍යාලේ වැඩයි, පාට් ටයිම් වැඩත් එක්කල යාලුවාගේ දුක සැප හොයා බලන්ට අරවින්දට වැඩි කාලයක් තිබුණේ නැහැ.
අරවින්ද නැති අතරේ සුපුන් ගැන හොයල බලන්ට කෙනෙක් නැති උනාද? අවන්ති යි සුපුන් අතරේ මොකක් හරි ප්‍රශ්නයක්ද?
දහසකුත් ප්‍රශ්න අරවින්දගේ හිතට ආවේ පොඩි වරදකාරී හැඟීම ක් නැතිවමත් නෙවෙයි
...

රූම් එක තිබුණේ හෝටලේ තුන්වෙනි තට්ටුවේ.
අරවින්දලා කට්ටියම උදේ ෆොටෝ ගන්න රූම් එකට ගිය හින්දා ආයේ තියෙන තැන හොය හොය ඉන්න උවමනාවක් තිබුනේ නැහැ.
තුන්දෙනාම ලොබී එක පහුකරන් ගිහින් විදුලි සෝපානය ළඟ නැවතුනේ තට්ටු දහයක උඩ ඉඳන් සෝපානය එයාල හිටපු බිම් මහලට එනතුරු.


ඔන්න ඔය වෙලාවේ තමයි ආදර්ශමත් හෙළ බොදු තරුණයෙක් හැටියට අරවින්දට අපේ පුරාණ කියමනක් මතක් උනේ.
කල දුටු කල වළ ඉහගනු!

 
"මේ...නංගි..." අරවින්ද මුණ එල්ලගෙන හිටපු අනිත් දෙවෙනි මනමාලිට කතාකලා.
"අපි ඔක්කොම එක පාරට හෝල් එකේ නැති උනොත් ටිකක් හරි නෑ වගේ නේද? ම්ම්...ඔයා යන්ට හෝල් එකට...අපිව හෙව්වොත් පොඩ්ඩක් ශේප් කරන්ට...අවුලක් ඇති බවක් පෙන්නන්ට එපා හොඳද? අපි දෙන්න ගිහින් සුපුන්ව බලන්නම්."

ඒ කියල කට ගන්න හම්බු උණේ නැහැ සෝපානයේ දොර ඇරුනා.
දසුනි එක්කල තත්පර තිහක් තනියම සෝපානයේ යාම නිමිති කරගෙන පහළ උනු අහිංසක සතුටෙන් අරවින්ද දසුනිත් එක්ක සෝපානේ ඇතුළට ගොඩ උනා.


අවාසනාවක මහත!
සෝපානේ දොර වැහීගෙන එනකොටම, කොළඹ අවුවේ ඇවිදලා රතු උනු සුද්දෝ සුද්දියෝ රංචුවක්ම "Wait for us!" කියාගෙන පැනගෙන ගොඩ උනේ නැතැයි! 


හැබැයි ඒකෙත් එක හොඳක් තිවුනා. 

සුද්දෝ රොත්තට ඉඩ දෙන්න අරවින්දයි දසුනියි සෝපානේ කෙළවරටම ගියා.
දසුනි අරවින්ද ගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ලං වුණා.
දසුනි ගල්වල තිබුණු මහනෙල් මල් මුසු වෙච්චි විලවුන් සුවඳින් පෙනහැලි පුරව ගත්තු අරවින්ද තත්පර තිහක් දෙව්ලොව ගියා!