Tuesday 28 April 2015

සරණ බන්ධන..........5 - අනෝරා වැසි

අවන්ති එක්ක කතා කළාට පස්සේ සමන්තාගේ හිතට බලාපොරොත්තු නොවිච්ච විදිහේ සැනසීමක් ලැබුණා. අවන්ති සමන්තා හිතාගෙන හිටියා වගේ කෙනෙක් නෙවෙයි. සුපුන් කවදාවත් අවන්ති වගේ කෙනෙකුට කැමති වෙයි කියලා සමන්තා හිතුවේ නෑ. 

සමන්තා දැනගෙන හිටපු සුපුන් දඟකාර, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති සමන්තාටයි ආදරේ කළේ. ඒත් ඒ මීට අවුරුදු ගාණකට ඉස්සර. සමන්තා ගැන සුපුන්ගේ ගෙදරින් දැනගත්තට පස්සේ, හරියටම කිව්වොත් සමන්තාගේ පවුලේ විස්තර සුපුන්ගේ ගෙදරින් දැනගත්තට පස්සේ ඒ දෙන්නගේ ආදරේට තහංචි වැටුනා. මුලදී සුපුන් ඒ තහංචි ගණන් නොගෙන හිටියත් ටිකෙන් ටික සුපුන්ගේ සැහැල්ලු ගතිපැවතුම් වෙනස් වේගෙන එන හැටි සමන්තාට දැනුණා. සමන්තාත් තමන්ගේ අම්මා තාත්තාත් අතර සුපුන් ලොකු පීඩනයකට මැදි වෙලා ඉන්න බව සමන්තාට ටිකෙන් ටික තේරුණා. කළින් ඉඳ හිටලා විතරක් බීපු සුපුන් හැමදාම මහ රෑ වෙනකල් බාර් එකේ කාලේ ගත කරන්න පටන්ගත්තා. කතා කරලා විසඳගන්න පුළුවන් මට්ටමටත් වඩා ඒ පීඩනය හුඟක් දරදඬු වුනා. අන්තිමට සමන්තා තීරණයක් ගත්තා. ඒ සුපුන්ගේම හොඳට. සමන්තා ලංකාවෙන් පිට වෙලා අම්මා ලඟට ගියා, නෙදර්ලන්තෙට. සමන්තා සුපුන්ගෙන් ඈත් වෙච්ච බව අහලා අම්මා ගොඩාක් වෙලා එයා දිහා බලාගෙන හිටියා. ඊලඟට ඇස් දෙකේ කඳුළු පුරෝගෙන අම්මා එච්චර කල් සමන්තාගෙන් රහසක් විදිහට හංගගෙන හිටිය කතාව සමන්තාට කිව්වා. 



දෛවයේ සරදම් ගැන කතා කොයිතරම් අහලා කියවලා තිබ්බත් තමන්ගේ කතාවත් ඒ වගේ එකක් වෙයි කියලා සමන්තාට කවදාවත් හිතුණේ නෑ. ඒත්, අවුරුදු ගාණකට කළින් සමන්තාගේ අම්මාටත් ඒ වාගේම තීරණයක් ගන්න සිද්ද වුනු බව දැනගත්තට පස්සේ සමන්තාට මුළු ලෝකේ ගැනම මහා කළකිරීමක් දැනුණා. සමන්තා අම්මා ලඟට ඇවිත් බව අම්මා දැනගෙන තියෙන්නෙත් ඒ තීරණය අරගෙන සති කීපයක් ගත වුනාට පස්සේ. ඒත් එතකොට ආපහු හැරෙන්න පරක්කු වැඩියි. එයාගෙ අම්මා එයාට වඩා දස දහස් ගුණයක වේදනාවක් විඳින්න ඇති බව සමන්තා තේරුම් ගත්තා. වෙන කෙනෙක් වෙනුවෙන් ඒ වගේ කැප කිරීමක් කරන්න ඇත්තටම හරිම උදාර හදවතක් තියෙන්න ඕනේ. ඒත් කොයි තරම් උදාර හදවතකට වුනත් දැනෙන වේදනාව දරාගන්න හුඟක් අමාරුයි. සමන්තා ඒ වේදනාවෙන් මාස ගානක් දුක් වින්දා. ආයෙමත් සුපුන්ව හොයාගෙන යන්න එයාට හිතුණ වාර අනන්තයි. ඒත් සමන්තා හිත තද කරගෙන හිටියා. 

අවුරුදු ගාණකට පස්සේ ලංකාවට ඇවිත් නතර වුණු හෝටලේ පල්ලෙහා රිසෙප්ෂන් හෝල් එක ලඟින් මොකද්දෝ වැඩකට යන අතරෙදි හෝල් එකෙන් ඇරුන දොරකින් එළියට ගලාගෙන ආපු සුපුන්ගේ කටහඬින් ගැයුන ආදර ගීතය කන නොවැකෙන්න, හෝල් එකේ දොර ලඟ තිබුණ පුවරුවේ 'Supun Wickramanayeka' කියන නම නොදකින්න ඒ තද කරගත්ත හිත තාමත් ඒ විදිහටම තියෙන්න තිබ්බා. 

ඒත්, ඒ දොර ලඟට යන්න හිතුණ සිතුවිල්ලට අවනත වෙච්ච සමන්තා, උත්සවයට ආපු අමුත්තන් එහා මෙහා යන වෙලාවක ආයෙමත් ඇරුණු දොර අතරින් ස්ටේජ් එක උඩ ඉඳන් සින්දු කියන සුපුන්ව දැක්කට පස්සේ එච්චර කාලයක් හිතේ පොදි ගැහිච්ච හැඟීම්, සිතුවිලි එකතු කරලා බැඳලා දාලා තිබ්බ බැමි හැම එකක්ම සුණු විසුණු වෙලා ගියා. නිළමේ ඇඳුමක් ඇඳගෙන හිටියත් ඒ ඉන්නේ සුපුන් බව අඳුරගන්න සමන්තාට අමාරු වුනේ නෑ. දොර ඇරිලා වැහුන තත්පර විස්සක තිහක කාලය ඇතුළත සමන්තා දස දහස් වාරයක් එතනම මැරි මැරී ඉපදුනා. ඉස්සර මූදු වෙරළේ ඔරුවක් උඩ ඉඳගෙන සමන්තාගේ කරට අතක් දාගෙන තුරුළු කරගෙන සුපුන් මේ සින්දුව මුමුණනවා සමන්තාට ඇහෙන්න. ඒක තමයි සමන්තාගේ ආසම සින්දුව. ඉස්සර. සුපුන්ගෙන් ඈත් වෙන්න තීරණය කළාට පස්සේ සමන්තා ඒ සින්දුව බැරි වෙලාවත් ඇහෙන්න කන් දෙකට ඉඩක් දුන්නෙ නෑ. සමන්තාගේ ඇස් ආයෙමත් දොර ලඟ තිබ්බ පුවරුව වෙත ගියා. 'Avanthi Deraniyagala'. සුපුන්ගේ නමත් එක්ක තිබ්බ අනිත් නම. සමන්තාට ඒ නමේ අයිතිකාරිවත් දැකගන්න ඕන වුනා. සුපුන්ගේ අම්මලා සුපුන්ව සමන්තාගෙන් හොරකම් කරගෙන බාර දුන්නේ කාටද කියලා දැනගන්න සමන්තාට ඕන වුනා. ඉක්මණින්ම ආයෙමත් දොර ඇරුනත් මනමාලි ඉන්න තැන එතනට පෙනුනේ නෑ. ටිකක් වෙලා කල්පනා කරපු සමන්තා ඒ ලඟම තිබ්බ රිසෙප්ෂන් එකට ගියා. මේ විවාහය තමන්ගේ මිතුරු දෙපලකගේ බවත්, දිගු කාලයක් විදෙස්ගතව සිටි නිසා ඒ මිතුදම දුරස් වුන බවත්, තමා ඔවුනට සුභ පතන්නට කැමති බවත්, හැඳ සිටින ඇඳුමින් ශාලාව තුළට යන්නට බැරි බවත් සමන්තා පිළිගැනීමේ නිලධාරිනියට කිව්වා. විදෙස් සංචාරකයින්ට හැකි උපරිමයෙන් සේවය කිරීමට සැදී පැහැදී සිටින හෝටල් කාර්ය මණ්ඩලයෙන් සමන්තාට ඉක්මණින්ම විසඳුමක් ලැබුණා. රිසෙප්ෂන් එකේ දුරකතනයකට සම්බන්ධ වෙච්ච අභ්‍යන්තර ජංගම දුරකථනයක් අරගෙන කාර්ය මණ්ඩලයේ කෙනෙක් හෝල් එක ඇතුලට ගියා. සමන්තා රිසීවර් එක කනේ තියාගෙන හිටියේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙද්දි. ඒත් අවන්ති එක්ක මොනවා කතා කරන්නද කියලා එයා ඒ වෙද්දිත් දැනං හිටියේ නෑ.

"හෙලෝ?" 

සමන්තාට එක පාරටම ෆෝන් එක තියන්න හිතුණා. කටහඬ ලස්සනයි. එයත් ලස්සන ඇති.

"හෙලෝ?"

කතා කරන්න ඕනේ කියලා සමන්තා හිතුවා. "හෙලෝ, අවන්ති?"

"යස්, ස්පීකින්ග්?"

"මම සමන්තා..." එයා සමන්තා ගැන දන්නවා ඇතිද? සුපුන් එයාට සමන්තා ගැන කියලා ඇතිද?

"ඔහ්!" ඒ ප්‍රතිචාරය අනුව සමන්තාට කළින් හිතට ආපු ප්‍රශ්න වලට උත්තර ලැබුණා.

"කන්ග්‍රැජුලේෂන්ස්!" හදවත යට කරගෙන කෝච්චියක් ඇදීගෙන යද්දි සමන්තා කිව්වා.

"තැ-තැන්ක් යූ." අවන්තිගේ කටහඬ ඇහුණේ යාන්තමින්. දුරකතනය අතරිනුත් ගලාගෙන ආවේ සුපුන්ගේ ගායන හඬ. තවත් සින්දුවක්.

"මං අහම්බෙන් දැක්කෙ අද ඔයාලගෙ වෙඩිං එක කියලා. මං මෙහෙ නතර වෙලා ඉන්නේ." එච්චර විස්තර මොකටද සමන්තා අවන්තිට කියන්නේ? සමන්තා දන්නෙත් නෑ ඒකට හේතුව.

"මේ හොටේල් එකේ?"

"ඔව්."

ටිකක් වෙලා දෙපැත්තෙන්ම සද්දයක් නැතුව ගත වුනා. සමන්තාට ෆෝන් එක තියන්න කළින් තව එක දෙයක් කියන්න ඉතුරු වෙලා තිබුණා. සුපුන්ව පරිස්සමෙන් බලාගන්න කියලා. ඒත් ඒ වෙනුවට සමන්තාගේ කටින් පිට වුනේ වෙන දෙයක්. 

"සුපුන් ලස්සනට සිං කරනවා නේද?"

"ම්හ්?"

සමන්තා මේ කතා කරන දේවල් අවන්තිට දරාගන්න අමාරු ඇති බව - මේ මගුල් දවසේ කිසිම පෙර දැනුම්දීමක් නැතුව මනමාලයාගේ හිටපු ආදරවන්තිය මනමාලිට කතා කරනකොට ඇති වෙන්න පුළුවන් හැඟීම් දරාගන්න අමාරු ඇති බව - සමන්තාට නොතේරුණා නෙවෙයි. ඒත් එයාටත් නොදැනීම එයාගේ යටි හිත අවන්තිව අපහසුවට පත් කරලා සියුම් සතුටක් ලබනවදෝ කියලා සමන්තාට හිතුණා. ඒක නතර කරගන්න පුළුවන් හොඳම විදිහ මේ කතාව ඉක්මණට ඉවර කරලා ෆෝන් එක තියන එක. ඒත් -

"ඔයා ඇයි එයත් එක්ක සිං කරන්නෙ නැත්තේ? එයා මං සිං කරනවා අහන්නනං හරිම ආසයි." කියන්න හිතකවත් තිබ්බේ නැති වචන පේළියක් කටින් පිටවුනාට පස්සේ සමන්තා අතින් කට වහගත්තා.

සුපුන්ව දැක්කාට පස්සේ බැමි කැඩිලා විසිරිලා ගිහින් තිබ්බ යටි හිත එයාව පාලනය කරන්න හදන බව සමන්තාට තේරුණා. ඉක්මණටම ෆෝන් එක තියන්න ඕන බව සමන්තා තීරණය කළා. ඒත් එයා ඒ ගැන කියන්න කළින් අවන්ති කතා කළා.

"ඔයා සුපුන් ගැන ඔහොම කතා කරන්නේ ඇයි? එයා ඔයාව අමතක කරලා ඉන්නේ." අවන්තිගෙ කටහඬ හැඬුම්බරයි. ඒත් ඒ වචන, කොච්චර ඇත්ත බව දැනන් හිටියා වුණත්, ඒ වචන අවන්තිගේ කටින් ඇහෙද්දි, සුපුන්ව සමන්තාගෙන් හොරකම් කරපු අවන්තිගේ කටින් ඇහෙද්දි සමන්තාට කේන්ති ගියා.

"ඒ ඔයා හිතං ඉන්න හැටි!" ඒක කිව්වේ සමන්තාගේ යටි හිතයි උඩු හිතයි දෙකම එකතු වෙලා. ඇත්තටම සුපුන් සමන්තාව අමතක කරලාද? සමන්තා දන්නෙ නෑ ඒකට උත්තරේ. "ඔයාට මං ගැන සුපුන් කියලා ඇත්තේ බාගෙට!"

ආයෙමත් තත්පර කීපයක නිහැඬියාවක්. 

"සමන්තා, මට ඔයාව හම්බවෙන්න ඕනෙ." 

අවන්ති එකපාරටම කරපු ඒ ඉල්ලීම සමන්තා කොහොමටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. "ඒක කරන්න බෑ."

"ප්ලීස් සමන්තා, මට ඔයා ඉන්න තැන කියන්න, මං එන්නං."

"බෑ." සමන්තා ඇත්තටම කලබල වුනා. අවන්තිව මුණගැහිලා කතා කළොත් තමන්ගේ කටින් තවත් එයාගෙ හිත රිදෙන දේවල් කියවෙන්න පුළුවන් බව සමන්තාට හිතුණා. "මං ෆෝන් එක තියනවා. සුපුන්ව-"

"අනේ සමන්තා, ප්ලීස්. මට ඔයාව හම්බවෙන්න ඉඩ දෙන්න. සුපුන් මට ඔයා ගැන කිව්වේ බාගෙට තමයි. සමන්තා කියලා කෙනෙක් එක්ක එයා යාළු වෙලා හිටියා කියලා විතරයි මම දන්නේ. මට ඉතුරු ටික ඔයාගෙන්වත් දැනගන්න ඕනේ. අනේ සමන්තා, ප්ලීස්!"

මේ කෙල්ලට පිස්සුද මන්දා, සමන්තාට හිතුණා. මේ අද එයාගෙ වෙඩින් එක දවසේ මේ මොනවද කරන්න හදන්නේ.

ඒත්, සුපුන්ගෙ ආදරේ කියන්නේ කෙල්ලෙක්ව පිස්සු වට්ටන්න පුළුවන් දෙයක් කියලා සමන්තා දන්නවා. එයා කතා කරපු දේවල් නිසාත් අවන්ති තව අවුල් වෙන්න ඇති. ඒවා විසඳගන්න සමන්තා උදව් කළේ නැත්තන් අවන්තිගේ හිතට සැනසීමක් ලැබෙන එකක් නැති වෙයි. අවන්ති දැන් සුපුන්ගෙ වයිෆ්. අවන්ති සතුටින් හිටියෙ නැත්තං සුපුන්ටත් සතුටක් නැති වෙයි.

"ඕකේ දෙන්, පස් වෙනි තට්ටුවෙ ලොබී එකට එන්න. ඇවිත් 07xxxxxxxx නම්බර් එකට කෝල් එකක් දෙන්න." සමන්තා තව මුකුත්ම කියන්නෙ නැතුව ෆෝන් එක තිබ්බා. ඊටපස්සේ රිසෙප්ෂන් ටේබල් එකේ ස්ටාෆ් එකට තෑන්ක්ස් කරලා කෙලින්ම ගියේ පස් වෙනි තට්ටුවට. 

අවන්ති කිව්වා වගේම සමන්තාව හම්බවෙන්න ආවා. අවන්ති ලස්සනයි. මනමාලියෙක් විදිහට ඇඳලා ඉන්න හින්දා තවත් ලස්සනයි. හීන්දෑරියි. පුදුමයි, සුපුන් කැමති ටිකක් මහත ගෑණු ළමයින්ට. සමන්තා වගේ. ඒත් ඒ මීට අවුරුදු කීපයකට ඉස්සර. අවන්තිට ඉඳගන්න පුටුවක් පෙන්නපු සමන්තාත් තව පුටුවකින් වාඩි වුනා. "ඉතිං ඇයි මාව හම්බවෙන්න ඕනෙ කිව්වෙ?" සමන්තා කෙළින්ම අවන්ති දිහා බලාගෙන ඇහැව්වා.

"මට කියන්න, ඔයයි සුපුනුයි ගැන." අවන්ති හෙමීට වචන ගලපමින් කිව්වා.

"සුපුන් මොනවද අපි දෙන්නා ගැන කියලා තියෙන්නේ ඔයාට?"

"ඔයා එක්ක යාළු වෙලා හිටපු බව විතරයි."

සමන්තාට එක පාරටම හිතුණේ අවන්තිගේ හිත බිඳිලා යන විදිහේ කතාන්දර ගොඩාක් කියන්න. එයාට සුපුන්ව එපා වෙන විදිහේ කතන්දර හදලා හරි කියන්න. ඒත් සමන්තා තමන්ගේ හිතටම තරවටු කරගත්තා. එහෙම කළොත් සුපුන් වෙනුවෙන් තමන් කරපු කැපකිරීමේ තේරුම මොකද්ද.

සමන්තා බොහොම පරිස්සමෙන් කතා කළා. එයයි සුපුනුයි අඳුරගත්ත හැටි ඉඳන්, සුපුන්ගේ ගෙදරින් ආපු බලපෑම් මත දෙන්නා අතර ඇති වෙච්ච දුරස් බව ගැනත්, අන්තිමේදී වෙන් වෙච්ච මොහොත වෙනකල්ම සමන්තා කිව්වා. එයා කිසිම බොරුවක් කිව්වෙ නෑ. ඒත් එක දෙයක් - එකම එක දෙයක් එයා වසන් කළා. ඒ ගැන කියනවාද නැද්ද කියන එක තීරණය කරන්න එයා අන්තිම මොහොත වෙනකල්ම කල් දැම්මා.

ඒ දේ ඇර, අනිත් හැමදේම කියලා ඉවර වුනාට පස්සේ සමන්තා අවන්තිගේ මූණ දිහා ටිකක් වෙලා බලං හිටියා. ඒ මූණේ තිබුණේ සැනසිල්ලක්. ඒ සැනසිල්ල නැති කරන්න ඕන නෑ කියලා අන්තිමේදී සමන්තා තීරණය කළා. "ඔන්න මං ඔයාට ඔක්කොම කිව්වා, දැන් සතුටුද?" සමන්තා ඇහැව්වේ නිවිච්ච හඬින්.

අවන්ති යාන්තමට හිනාවුනා. ඒත් ඒ අවංක හිනාවක් බව සමන්තාට තේරුණා. "ඔයා ආයෙ මැරි කළේ නැද්ද?"

අවන්තිගේ ප්‍රශ්නෙට සමන්තාගේ ඇස් දෙක බිමට බර වුනා. එයා නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා.

"තනියම ඉන්න එපා, ඔයත් මැරි කරන්න. හොඳ කෙනෙක් හම්බවෙයි ඉක්මණටම."

සමන්තා හිනා වෙලා පුටුවෙන් නැගිට්ටා. "ඔයාට උත්තර දැනගන්න ඕන ප්‍රශ්න වලට මං උත්තර දුන්නනේ. දැන් ඔයා යන්න. වෙඩින් එකේ මනමාලි නැතුව හරි කලබලයක් වෙයි නැත්තං."

අවන්ති පුටුවෙන් නැගිටලා ඇවිත් සමන්තාගේ අත් දෙක අල්ලගත්තා. "තැන්ක් යූ වෙරි මච් සමන්තා. ඔයා ගොඩාක් හොඳ කෙනෙක්. ඔයාට වරදින්නෙ නෑ." 

අවන්ති ඒක කිව්වේ හදවතින්ම බව සමන්තාට තේරුණා. ඒත් ඒක එයාගෙ හිතට ගෙනාවේ උදාසීන හැඟීමක් විතරයි.

"සුපුන්ව පරිස්සමෙන් බලාගන්න." ඒ වචන ටික කටින් පිට කරද්දි තමන්ගේ ඇස් දෙකේ කඳුළු පිරෙන බව සමන්තාට දැනුණා. "මේ දේවල් මං ඔයාට කිව්ව බව එයාට කියන්න එපා."

අවන්ති ඔළුව වැනුවා. "මං එහෙනං යන්නං. තැන්ක් යූ සෝ මච් අගේන් සමන්තා." 

"අම්මා!!!" 


ආපහු යන්න ලෑස්ති වෙච්ච අවන්ති එහෙමම නතර වුනේ එවේලේ එතනට දුවගෙන ආපු කෙවින් නිසා. කෙවින්ට තාම අවුරුදු හතරයි. උදේ ඉඳං සමන්තාගෙ අම්මත් එක්ක ෂොපින් ගිහිල්ලා දැන් තමයි ආපහු ඇවිත් තියෙන්නේ. කෙවින්ව වඩාගෙන හාදුවක් දීපු සමන්තා ආපහු හැරුණේ අවන්තිට එයාව අඳුන්නලා දෙන්න.

ඒත් අවන්ති ඒ වෙද්දි යන්න ගිහින්.


Monday 27 April 2015

සරණ බන්ධන..........4 - ගිගිරුම්

සුපුන්! අවන්ති හිතුවා වගේම සුපුන් කාමරේ හිටියා. දොරේ හැන්ඩ්ල් එක අල්ලගෙනම අවන්ති සුපුන් දිහා බලාගෙන හිටියේ හරියට කවදාවත් දැකලා නැති කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ. ඇත්ත. මේ සුපුන්ව අවන්ති මීට කළින් කවදාවත් දැකලා නෑ. මේ එයා දැනගෙන හිටිය සුපුන් නෙවෙයි. කවුදෝ අතින් අල්ලනවා දැනිලා තිගැස්සුන අවන්ති ඔළුව හරවලා බැලුවා. දසුනි කාමරේ ඉන්නවා අවන්ති දැක්කේ එතකොටයි. සුපුන් එයා ලඟට ඇවිදගෙන එනවා අවන්ති දැක්කා. සුපුන්ගේ මූණේ තියෙන්නේ තරහක්ද, දුකක්ද, බයක්ද... මොකක් වුනත් අවන්තිට මොකද. එයාගෙ හිත ඇතුලේ තියෙන දේවල් ඒ හැම දේකටම වඩා වැඩියි. අවන්ති ලඟට ආපු සුපුන් මුලින්ම කළේ අවන්තිගෙ අත දොරේ හැන්ඩ්ල් එකෙන් අයින් කරලා දොර වහලා දාපු එක. ඊලඟට අවන්ති ඉස්සරහා හිටගත්තා. සුපුන් අවන්තිට වඩා හරියටම අඟල් හතරක් උසයි. වෙනදටනම් සුපුන් මෙහෙම ඉන්නකොට ඔළුව උස්සලා සුපුන්ගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න අවන්ති හරි ආසයි. තද අළු පාට ඒ ලස්සන ඇස්. ඒත් මේ වෙලාවෙදි අවන්ති හිටියේ බිම බලාගෙන - ඇත්තටම ඔළුව බිමට බර වෙලා තිබ්බත් අවන්තිගේ ඇස් දෙක තිබුණේ එදා උදේ පෝරුව උඩදි සුපුන් එයාගේ වම් අතේ වෙදැඟිල්ලේ පලන්දාපු රත්තරන් මුද්දේ. 


"කොහෙද ගියේ?" සුපුන් අහනවා අවන්තිට ඇහුනා. ඒක ආදරෙන් පිරිච්ච හඬක් නෙවෙයි. සාදරණයි. මෙහෙම වෙලාවක මොන මනමාළයාටද ආදරෙන් කතා කරන්න හිතෙන්නේ. 

"යාළුවෙක් හම්බවෙන්න." අවන්ති වචන ගැටගහගත්තෙ බොහොම අමාරුවෙන්. උගුරෙ හිරකරගෙන ඉන්න ඉකිය හින්දා උගුර නොසෑහෙන්න රිදුම් දුන්නා.


"වෙඩින් එකට ආපු නැති කෙනෙක්?"


"ඔව්."


"මං සින්දු කියන වෙලාවෙ කෝල් කළෙත් එයාද?"
 

අවන්ති යාන්තමට ඔළුව ඉස්සුවත් සුපුන්ගෙ ඇස් දෙක දිහා බැලුවෙ නෑ. 
"ඔව්," එයා ආයෙමත් හෙමීට කිව්වා.
 

"ඉතිං ඇයි තනියම ගියේ?"
 

"මට දසුනිව හොයාගන්න බැරි වුනා." අවන්ති ඒ කිව්වෙ ඇත්තම ඇත්ත. එයා හෝල් එකෙන් යන්න දසුනිව හෙව්වා. මාමාගෙ දුව වුනත් දසුනි තමන්ගෙම නංගියෙක් තරමට අවන්තිට එකතුයි. ඒ වෙලාවෙදි දසුනිත් ලඟ හිටියනම් ඇත්තටම මේ දේවල් දරාගන්න අවන්තිට මීට වඩා හිතට හයියක් ලැබෙන්න ඉඩ තිබ්බා.
 

සුපුන් ටිකක් වෙලා සද්ද නැතුව බලාගෙන හිටියේ අවන්ති කියන්නේ ඇත්තමද කියලා දැනගන්න වෙන්න ඇති. එයා ඒවා බොරු කියලා හිතුවත් අවන්තිට මොකද. සුපුන් මොනවා හිතුවත් අවන්තිට වැඩක් නැහැ. අවන්තිගෙ හිතේ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.
 

"ඇයි එයා ඔයාගෙ ෆෝන් එකට කතා නොකර හොටේල් කමියුනිකේෂන් එකට කතා කළේ?"
 

මේ මොන උසාවියක්ද! හරිනං සුපුන්ගෙන් උසාවියක වගේ ප්‍රශ්න අහන්න ඕන අවන්තියි!
 

"ඇයි එයා හෝල් එකට ඇවිත් ඔයාට කතා කළේ නැත්තේ?"
 

අවන්ති තාමත් බිම බලාගෙන. සුපුන්ගේ කටහඬට නුහුරු කේන්තියක් එකතුවෙලා. එයාද ඇත්තටම කේන්ති ගන්න ඕන, අවන්තිට තේරෙන්නෙ නෑ. ඇත්තටම වෙලා තියෙන ගොඩක් දේවල් අවන්තිට තේරෙන්නෙ නෑ. දසුනි ආයෙමත් අවන්තිගෙ අතින් අල්ලගන්නවා දැනුනා.
 

"මොන එහෙකටද ඔයා අපි කාටවත් නොකියා එහෙම ගියේ? මෙතන අපි කොච්චර බය වුනාද? ඔයාගෙ ෆෝන් එකට මොකද වුනේ? ඇයි ඒක ඕෆ්-"
 

"මචං නවත්තපං. ඔය ඇති."
 

ඒ කවුද? අවන්ති ඔළුව ඉස්සුවා. අරවින්ද. එයත් ඒ ලඟම ඉන්නවා අවන්ති දැක්කෙ එතකොටයි. සුපුන්ගෙ හොඳම යාළුවා. අම්මා තාත්තවත් දන්නෙ නැති එකේ සුපුන්ගෙ වැඩ ගැන මෙයාවත් දන්නවද දන්නෙ නෑ. එක්කෝ දැන දැනම හැමෝම අපෙන් ඒ දේවල් හැංගුවද...

"මොකද ඔය අඬලා?" මෙච්චර වෙලා මූණ බිමට හරවගෙන හිටපු නිසා අවන්තිගෙ ඇස් වල තිබ්බ කඳුළු සුපුන්ට පේන්න ඇත්තේ දැන් වෙන්න ඇති. අවන්ති හෙමීට කඳුළු පිහදගත්තා. කඳුළු එක්ක දිය වෙච්ච නෙත් අඳුන් අවන්තිගේ ඇඟිලි වල කළු පාටට පැල්ලම් ඉතිරි කළා. අවන්ති ඒ දිහා බලාගෙන හිටියා. "පරණ කොල්ලව හම්බවෙන්නද ගියේ???"


ඒ ගමනනම් අවන්ති කෙළින්ම සුපුන් දිහා බැලුවා. ඒ තද අළු පාට ලස්සන ඇස්. මෙච්චර වෙලා අවන්තිගේ ඇස් කෙවෙනි වල රැඳිලා තිබ්බ කඳුළු සට සට ගාලා කඩා වැටෙන්න ගත්තා.


දසුනි අවන්තිව බදාගත්තා. "අවන්ති අක්කට එහෙම කෙනෙක් හිටියෙ නෑ," දසුනි කිව්වේ කේන්තියෙන්.


"සුපුන්, උඹට පිස්සුද බං?" අරවින්ද සුපුන්ව හයියෙන් අල්ලගන්නවා අවන්ති දැක්කා. සුපුන් අවන්තිට ගහන්න ලෑස්ති වෙයි කියලා හිතලා වෙන්නැති. ගහන්න ඕනෙනං ගහපුදෙන්. ඒ මොනවා කළත් සුපුන් නිවැරදිකාරයෙක් වෙන්නෙ නෑ.


"පිස්සුද කියලා අහපං මගෙන් නෙවෙයි මෙන්න මෙයාගෙන්!" සුපුන් කෙළින්ම අවන්ති දිහාට ඇඟිල්ල උරුක් කරලා කිව්වා.


"මේ, ප්‍රශ්නයක් තියෙනවනං කතා කරලා විසඳගනිං, බොරුවට කෑ නොගහා. අද උදේ උඹලා දෙන්නා කසාද බැන්දේ. දැං උඹලා දෙන්නා ගෑණියි මිනිහයි. මොළේ කල්පනා කරලා වැඩ කරපල්ලා රට්ටු හිනස්සන්නෙ නැතුව!" අරවින්ද ලොකු දේශනාවක් කළා.


අද උදේ උඹලා දෙන්නා කසාද බැන්දේ, අරවින්දගේ වචන අවන්තිගේ හිත ඇතුලේ දෝංකාර දුන්නා. අපරාදෙ. අවන්තිට ඇත්තටම එක මොහොතකට එහෙම හිතුණා. ඒ එක්කම තව වචන පේළියක් දෝංකාර දෙන්න ගත්තා - රට්ටු හිනස්සන්නෙ නැතුව! රට්ටු හිනාවෙන්නෙ කාටද? සුපුන්ටද අවන්තිටද? ඒ දෙන්නටම වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම තවත් කට්ටියකට ඒ හිනාවට ලක් වෙන්න වෙනවා. අවන්තිගෙ අම්මටයි තාත්තටයි. කිසිම දෙයක් නිසා අවන්ති සිද්ද වෙන්න ඉඩ තියන්නෙ නෑ ඒ දේනම්. අවන්ති එයාගෙ අම්මටයි තාත්තටයි හුඟක් ආදරෙයි. ඒ දෙන්නට අවන්ති ඇරුණාම වෙන කවුරුවත් නෑ. එයාලට නෑදෑයෝ ඉස්සරහා අසරණ වෙන්න ඉඩ දෙන්න බෑ අවන්තිට. ඒ දෙන්නා වෙනුවෙන් අවන්ති හැමදේම දරාගන්න තීරණය කළා. අමාරුවෙන් වුනත්.


"සොරි සුපුන්," අවන්ති ආයෙත් අමාරුවෙන් වචන ගැලපුවා. "මං හැමදේම කියන්නං. ඒත් දැන් බෑ."


"අක්කි අපි යන්නං?" දසුනි ඉක්මණට ඇහැව්වා.


"නෑ නෑ නංගි, ඔයාලා දෙන්නා ඉන්න හින්දා නෙවෙයි." අවන්ති හෙමීට ඇඳ ලඟට ඇවිදගෙන ගිහිල්ලා ඉඳගත්තා. "මට දැම්මම ඒ ගැන කතා කරන්න බෑ." 


සුපුනුත් අවන්ති ලඟින් ඇවිල්ලා ඉඳගත්තා. "අවන්ති." සුපුන් කතා කළේ බොහොම හෙමීට, පරිස්සමෙන්. කළින් තිබ්බ කේන්තිය නෑ ඒ කටහඬේ. ඒ සුපුන්ගේ හැටි, අවන්ති ඒක දන්නවා - සුපුන්ට කේන්ති යන්නේ බොහොම කලාතුරකින්, ඒත් කේන්ති ගියොත් හොඳටම කේන්ති යනවා, ඒ එක්කම ආයෙ ඉක්මණින්ම නිවිලා යනවා. එකම දේ, සුපුන් මීට කළින් කවදාවත් අවන්ති එක්ක මේ තරම් කේන්ති අරගෙන නෑ. "ඔයාට මේ කසාදෙ ඕන නැද්ද?"


අවන්තිගෙ පපුව හෝස් ගාලා ගියා. සුපුන්ගේ මේ කටහඬ එයාගෙ කේන්තියෙන් පිරුණ කටහඬට වඩා දරාගන්න අමාරුයි. අවන්ති කාමරේට එද්දි හිටියේ සුපුන් එක්ක කේන්තියෙන්, කළකිරීමෙන් තමයි. මේ කසාදේ සිද්ද වුනේ අපරාදේ කියලා දැන් මොහොතකට කළින් හිතුණා තමයි. ඒත් සුපුන් ඒ ගැන එහෙම ඇහැව්වාම ඒ හැමදේම අනිත් පැත්තට පෙරලුනා. හිත ඇතුලේ එකකට එකක් පරස්පරව නැගෙන සිතුවිලි දරාගන්න අවන්තිට අමාරු වුනා. එයා අත් දෙකේ මූණ ඔබාගෙන මහ හයියෙන් අඬන්න පටන්ගත්තා. ඒ වෙලාවෙදි අඬන අවන්තිව තුරුළු කරගත්තේ දසුනි නංගි නෙවෙයි සුපුන්මයි. ටික වෙලාවක් යනකල් කාමරේ ඇහුනේ අවන්ති ඉකිගහන සද්දෙ විතරයි. 


"මචං අපි යන්නං එහෙනං?" අරවින්දගේ කටහඬ ඇහුනා.


"හරි මචං. තෑන්ක්ස්." සුපුන් උත්තර දෙනවා ඇහුනා.
 

"අක්කි, අපි යන්නං?" දසුනි හෙමීට අවන්තිගේ අතින් අල්ලගෙන ඇහැව්වා. අවන්ති ඔළුව උස්සලා යාන්තමට හිනා වෙලා ඔළුව වැනුවා.  
"තව ටිකකින් සැලෝන් එකෙන් එයි නේද අක්කි, ගොයින් අවේ ඩ්‍රෙස් කරන්න?"
 

"ඒක කැන්සල් කරමු." අවන්ති ඒ කියපු දේට සුපුන්, දසුනි විතරක් නෙවෙයි දොර ලඟට ගිහින් හිටිය අරවින්දත් ගැස්සිලා අවන්ති දිහා බැලුවා.
 

"අවන්ති!" සුපුන් එයාගෙ නම කියාගත්තෙ ගොඩක් අමාරුවෙන් බව අවන්තිට දැනුණා.
 

"මං කිව්වෙ ගොයින් අවේ චේන්ජ් කරන්න ඕන නෑ, මෙහෙමම යමු." අවන්ති දිගටම කතා කළේ බිම බලාගෙන.
 

"ආ, එහෙනං එච්චරයි," අරවින්ද කියනවා ඇහුනා.
 

"ඇයි මේ?" සුපුන් ඇහැව්වා. "ඔයා කොච්චර ආසාවෙන්ද ඇඳුම් ලෑස්ති කරගෙන මේකට ප්ලෑන් කළේ?"
 

"අක්කි, දැන් පල්ලෙහා ඔයාලා නැති වෙලාවේ කවුරුහරි ඇහැව්වොත් නිපුනිට කියන්න කියලත් අපි කිව්වෙ ඔයාලා ගොයින් අවේ එකට චේන්ජ් කරන්න උඩට ආවා කියලයි."
 

"ඔව්, ඒකනං එහෙම තමයි," අරවින්දත් ආයෙ කල්පනාවකට වැටුනා. 

"දැන් ඔය දෙන්නා ආයෙ ඔහොමම පල්ලෙහාට ගියොත් කට්ටිය බලයි මොකද කියලා."
 

"ඔව් අවන්ති, අනික අපෙ අම්මලත් අහයි ඇයි එහෙම තීරණය කළේ කියලා හිටි ගමන්ම."

අවන්ති ලොකූ හුස්මක් හෙලුවා. ඒත් එයාගේ හිතේ තිබ්බ බරනං ඒකෙන් හෑල්ලු වුනේ නෑ. එයාට වැඩ කරන්න වෙලා තියෙන්නේ අනිත් අයව සතුටු කරන්න, අනිත් අයගෙ ප්‍රශ්න කිරීම් වලට ලක් නොවෙන්න. මේ තරම් හිතේ පීඩනයක් අවන්තිට මතක ඇති කාලෙකට දැනිලා නෑ. "එහෙනං ඉතින් එන්න කියන්න," අවන්ති කිව්වේ බිම බලාගෙනම.
දසුනියි අරවින්දයි කාමරෙන් පිට වෙලා යනවා ඇහුණත් අවන්ති ඔළුව ඉස්සුවේ නෑ. සුපුන් ලඟින්ම වාඩි වෙලා එයා දිහාම බලාගෙන ඉන්න බව අවන්තිට දැනුණත් අවන්ති ඔළුව ඉස්සුවේ නෑ.
 

එයාගෙ හිත ඇතුළේ සුළි කුණාටුවක් වගේ කරකැවිකැවී තිබ්බ එකකට එකක් ගැලපෙන්නේ නැති හිතුවිලි ගොන්න අතරින් සැරෙන් සැරේට උඩට මතු වෙන එක කාරණයක් නිසා අවන්තිට ඔළුව උස්සලා සුපුන් දිහා බලන්න හිත හදාගන්න බෑ. ඒ ගැන දැම්මම සුපුන් එක්ක කතා කරනවද? ඒත් මොනවා කියලද ඒ ගැන අහන්නේ? ඒ කාරණාව හිත ඇතුළේ තියෙද්දි මේ තරම් වේදනාවක් ගේනවනම් ඒක වචන වලට පෙරලගන්නවත් අවන්තිට පුළුවන් වෙයිද? මේ වෙලාවේ මේ කාරණාව ගැන කතා කරලා හිත නිදහස් කරගත්තේ නැත්තම් මේ යන ගමන සතුටින් යන්න පුළුවන් වෙයිද? සුපුන් එක්ක ඉදිරි ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් වෙයිද? අඩුම තරමේ සතුට කියන දේට ආයෙ කවදාවත් අවන්තිට උරුමකම් කියන්න පුළුවන් වෙයිද?
 

"සුපුන්."
 

ඒ දේ දැම්ම කතා කරනවද නැද්ද, කොතනින් පටන්ගන්නද කියලාවත් නිනව්වක් නැතුව අවන්ති කතා කරන්න පටන්ගත්තා.
 

"මම ගියෙ..." අවන්ති වචන අතර අතරමං වුනා. ඇයි එයා ගියෙ, කොහෙද ගියෙ, කාවද හම්බ වුනේ, මොනවද කතා කළේ, ඒ හැමදේම අවන්තිට මොහොතකට අමතක වුනා. එයා දිහාම බලාගෙන හිටපු සුපුන්ගේ ඒ තද අළුපාට ලස්සන ඇස් දෙක දිහා අවන්ති මෝහනය වෙලා වගේ බලාගෙන හිටියා. ඒ මෝහනය ඇතුළෙන් අවන්තිට පෙනුනේ එකම දෙයයි...
 

හෝටලේ පස් වෙනි තට්ටුවේ ලොබි එකේ ඉඳන් සමන්තා එක්ක කතා කරලා ඉවර වෙලා ආපහු එන්න ලෑස්ති වෙද්දිම කොරිඩෝ එකක් දිගේ දුවගෙන ඇවිත් අම්මා කියාගෙන සමන්තාගේ ඇඟේ එල්ලිච්ච පුංචි පිරිමි ළමයා...



 එයාට තිබුණෙත් තද අළු පාට ලස්සන ඇස්...
 

සුපුන්ගේ වාගෙම තද අළු පාට ලස්සන ඇස්...

එක පාරටම ඇහුනු දොරට තට්ටු කරන හඬින් අවන්ති මෝහනයෙන් මිදුණා. "අක්කි, සැලෝන් එකෙන් ඇවිල්ලා," කියාගෙන දසුනි රූම් එකේ දොරෙන් එබුනා.




Saturday 25 April 2015

සරණ බන්ධන..........3 - අකුණු

අරවින්දව එක්ක එන්න කියලා දසුනියි නිපුනියි රූම් එකෙන් ගියාට පස්සේ ඇඳ උඩ ඉඳගත්ත සුපුන්ට දන්නෙම නැතුව හීල්ලුනා. මේ මොකද්ද සිද්ද වෙලා තියෙන්නේ. අවන්තියි සුපුනුයි පෝරුව උඩදි මුදු මාරු කලේ මේ එදා උදේ නේද? ඒ වෙලාවෙදි අවන්තිගෙ මූණේ තිබ්බ බලාපොරොත්තු වලින් පිරිච්ච අහිංසක හිනාව සුපුන්ට තාමත් මතකයි. ඒ හිනාවට තමයි සුපුන් වැඩියෙන්ම ආදරේ කළේ. ඒ දෙන්නා අඳුරගත්තෙ විවාහ යෝජනාවකින් වුනත් එදා ඉඳන් අද දවාලේ රෙජිස්ට්‍රාර් ඉස්සරහා පොතේ අත්සන් කරලා නීතියෙන් විවාහ වෙනකල් ගෙවිච්ච අවුරුදු එකහමාරක කාලය පුරාම සිද්ද වුනේ ඒ ඇඳුනුම්කම හිතවත්කමකටත් එතනින් ආදරේකටත් පෙරලෙන්න හේතු වෙච්ච දේවල් විතරමයි. සුපුන් අවන්තිට ආදරේ කළා. ඇත්තටම ආදරේ කළා. එයාගෙ අහිංසක කමට, හැදිච්ච කමට ආදරේ කළා. අවන්ති සුපුන්ගේ පළවෙනි ආදරේ නොවුනත්. 

සමන්තා.



සුපුන්ගේ හිතේ ඉඳ හිට තාමත් මතු වෙන අකුණු සැරයක් ඇතිවෙලා නැතිවෙලා ගියා.

අවන්තිව අඳුරගෙන ආදරේ කරන්න පටන්ගත්තට පස්සේ සුපුන් සමන්තාගේ මතකයට උඩට එන්න වැඩිය ඉඩක් දුන්නෙ නෑ. ඒත් එයාටත් හොරෙන් මේ වගේ අකුණු ඉඳහිට මතුවෙන එකනම් එයාට නවත්තගන්න බැරි වුනා. ඒත් මේ වෙලාවෙදි කොහොමටවත් සමන්තා ගැන හිතන්න සුපුන්ට ඕන වුනේ නෑ. සුපුන් දැන් හිතන්න ඕන අවන්ති ගැන. 

වොෂ් රූම් එකට යන්න දසුනි එක්ක රූම් එකට යනවයි කියලා අවන්ති හෝල් එකෙන් යන වෙලාවේ සුපුන් හිටියේ කාලෙකින් හම්බ වෙච්ච ගජ යාළුවෝ ටිකක් වට කරගෙන. ඒ නිසා අවන්ති ඇත්තටම දසුනි එක්ක ගියාද කියලා සුපුන් ඒ වෙලාවෙදි දැක්කෙ නෑ. කොහොමහරි අවන්ති හෝල් එකෙන් එළියට ගිහින් තියෙන්නේ දසුනි එක්ක නෙවෙයි කියලා සුපුන් දැනගත්තේ විනාඩි දහයකට විතර පස්සේ. දසුනිලාත් සුපුන්ලාගේ ගොයින්-අවේ කාර් එකේ ඩෙකරේෂන්ස් බලන්න එළියට ගිහින් එවෙලෙ තමයි ආපහු හෝල් එකට ඇවිත් තියෙන්නේ. තුන්දෙනාත් එක්කම ඉක්මණටම රූම් එකට ගියේ දසුනිව හොයාගන්න බැරුව අවන්ති තනියම රූම් එකට යන්න ඇති කියලා හිතාගෙනයි.

ඒත් රූම් එකේ කවුරුවත්ම හිටියෙ නෑ.

සුපුන්ට ආයෙමත් හීල්ලුනා. අවන්තිට මොනවා වෙන්න ඇතිද? තනියම ඇවිත් පාර වැරදුණාද? නැත්තං කරදරයක් වුනාද? නැත්තං - නැත්තං - වෙන්න පුළුවන් ඊලඟ දේ ගැන හිතාන්න ඕන කමක් සුපුන්ට තිබ්බෙ නෑ. ඊටත් එහෙම දෙයක් කරනවනං අවන්ති මුදු මාරු කරලා පොතේ ලියලා කසාද බඳිනකල්ම ඉන්න ඕනෙ නෑනේ. කොහොමත් අවන්ති එහෙම කරන්නෙ නෑ - සුපුන් තදින්ම ඒ ගැන විශ්වාස කළා. හිත සනසගන්න සුපුන්ට උදව්වට හිටියේ ඒ විශ්වාසය විතරයි. මේ ගැන වැඩිහිටියෙක් එක්ක කතා කරලා උපදෙසක් ගන්න තරම් සුපුන්ට හිතට හයියක් තිබ්බෙ නෑ. මේ ගැන කතා කරන්න හොඳම කෙනා විදිහට සුපුන්ට කල්පනා වුනේ අරවින්දව. පුංචි කාලේ ඉඳං දුකට සැපට එකටම හිටිය යාළුවා. ඒකයි අරවින්දව එක්ක එන්න කියලා සුපුන් දසුනිලාව යැව්වේ. නිළමේ ඇඳුම ඇඳන් ඉන්න හින්දා අරවින්ද ගාව ෆෝන් එකක් නැති බව සුපුන් දන්නවා.

ඒත් අවන්තිගෙ ෆෝන් එක මේ වෙලාවේ අවන්ති ලඟ තියෙන්නෙ කියලා සුපුන් දන්නවා. එයා හෝල් එකෙන් යන්න කළින් එයාගෙ තාත්තා ලඟට ගිහින් තාත්තගෙ සාක්කුවේ තිබ්බ එයාගේ ෆෝන් එක ඉල්ලගන්නවා සුපුන් දැක්කා. එයා තවත් වතාවක් - තිස් වෙනි වතාවද, හතළිස් වෙනි වතාවද? දන්නෙ නෑ, කොහොමටත් තිහට අඩු වෙන්න බෑ - අවන්තිගෙ නම්බර් එක ඩයල් කළා. 'ඔබ ඇමතූ දුරකතනයෙන්-' සුපුන් කෝල් එක කට් කරලා ෆෝන් එක ඇඳ උඩට දමලා ගැහැව්වා. සමහරවිට බැට්‍රි බැහැලා ඇති, සුපුන් හිතුවා. සුපුන් හොඳම දේ ගැන බලාපොරොත්තු තියාගෙන නරකම දේට සූදානම් වෙන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඒක එයා ඉගෙනගත්තෙ...

සමන්තා.

ආයෙමත් අකුණක්.

ඒ ගමනනං අකුණෙන් පස්සේ ගොරවන සද්දෙකුත් ඇහුනා. සුපුන් ගැස්සුනා. කාමරේ ඇතුළට කඩාගෙන ආවේ අරවින්ද. දසුනිත් ඒ පස්සෙන් ආවා. "මොකද මචං කේස් එක?"

සුපුන්ට එකපාරටම මතක් වුනේ ඉස්කෝලේ එක වසරෙ පන්තිය. 'ඇයි මොකද වෙලා තියෙන්නේ' කියලා අහගෙන එදත් ආවේ මේ අරවින්දමයි. "අවන්ති නෑ බං."

"ඇයි කොහෙ ගිහිල්ලද?"

"දන්නෙ නෑ. ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ."

"උඹට මොනා කියලද ආවේ?"

"වොෂ් රූම් යන්න ඕනෙ කියලා දසුනිත් එක්ක උඩට එනවා කිව්වා. ගොයින් අවේ එකට චේන්ජ් කරන්නත් වෙලාව ලඟ නිසා එහෙමම මෙතන ඉන්නවා කිව්වා. ඒත් පස්සෙ මං දසුනිව දැකලා අහද්දි එයා අවන්තිව දැකලත් නෑ. පස්සෙ අපි මෙහෙට ඇවිත් බැලුවා. අවන්ති මෙහෙත් නෑ." සුපුන් කිව්වේ දසුනි දිහාත් බලලා. දසුනිත් ඔළුව වැනුවා.

"මාර වැඩක්නෙ මේක!" අරවින්ද කණ්ණාඩි මේසේ ලඟ තිබ්බ ස්ටූල් එක ඇදලා අරං වාඩි වුනා. "උඹලා දෙන්නා රණ්ඩු උනාද?"

"පිස්සුද බං! මේ මගුල් දවසෙ?"

"මීට කළිං හරි?"

"නෑ." සුපුන් කිව්වෙ හෙමීට, කල්පනා කර කර, ඔළුවත් දෙපැත්තට වන වන. ඇත්තටම සුපුනුයි අවන්තියි අතර කවදාවත් ලොකු රණ්ඩු තිබිලා නෑ, ඉඳහිට ඇතිවෙච්ච නොහොඳ නෝක්කාඩු මිසක. ඒවත් පැයෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් ඉවරයි. ඉස්සර සමන්තා එක්කනම් එහෙම නෑ.

ආයෙමත්.

අවුරුදු හතරකට එහා මතකයකින් - අමතක කරලා දාන්න හදන ඒත් තවමත් අමතක කරගන්න බැරි වෙච්ච මතකයකින් - දැනෙන මේ අකුණු පාර බොහොම සැරයි.

අවන්ති දවස් ගාණක්ම කතා නොකර හිටියේ සුපුන් ඒ අකුණේ අයිතිකාරි ගැන කියන්න ගිහිල්ලා. ඒ අවන්තිව අඳුරගෙන මාස තුනකින් විතර. ඒ සුපුන් අවන්තිට කළින් වෙන කෙනෙකුට ආදරේ කළ නිසා නෙවෙයි. සුපුන් සමන්තා ගැන මුළු කතාවම කියනවා කියලා පටන්ගත්තත් වාක්‍ය හතරකට පහකට වඩා එයාට ඒ ගැන කියාගන්න බැරි වෙච්ච හින්දයි. සුපුන් එදා ගොළු වුනා. ඒ මතකය ඊට කළින් කවදාවත් වචනෙට පෙරලන්න උත්සාහයක් දරලා නැති සුපුන්ට ඒක කොච්චර අමාරු දෙයක්ද කියලා එදා තේරුණා. එයා එතනින් එහාට එක වචනයක්වත් සමන්තා ගැන කතා කරන්න කැමති වුනේ නෑ. අවන්ති කරදර කර කර ඇහැව්වෙත් නෑ. ඒත් එදයින් පස්සේ දවස් කීපයක් යනකල් ෆෝන් එක ආන්ස කළෙත් නෑ, මෙසේජ් වලට රිප්ලයි කළෙත් නෑ. දවස් තුන හතරක් බලා ඉඳලා සුපුන් අවන්තිගේ ගෙදර ගියා. එදා එයා අවන්තිට කිව්වා සමන්තා එයාගේ මුල්ම ආදරේ වුනත් දැන් ඒක මතකයක් විතරයි, ආයෙ සමන්තා ගැන කතා කරන්නෙවත් නෑ කියලා. එයා දැන් ඇත්තටම ආදරේ කරන්නේ අවන්තිටයි කියලා. විවාහ යෝජනාවකින් සම්මත වෙච්ච ඇඳුනුම්කම ඇත්තම ආදරේකට පෙරලුනේ එදායි, එහෙමත් නැත්තම් ඒ ගැන මුළින්ම එළිපිටම කතා කළේ එදායි. 

සුපුන් අවන්තිට ඇත්තටම ආදරෙයි.

"මචං සුපුන්," අරවින්ද එකපාරටම කතා කළා. "මට දැන් මතක් වුනේ. අර උඹ සින්දු කියපු වෙලාවේ අවන්තිට කෝල් එකක් ආවනේ."

ඇත්ත නේන්නං! සුපුන්ටත් මතක් වුනා. සුපුන් කියන්නේ යාළු මිත්‍රයෝ අතර නම් දරාපු ගායකයෙක්. වෙන යාළුවන්ගෙ නෑදෑයන්ගෙ මගුල් ගෙවල් වලදි ඕන තරම් සින්දු කියලා තිබ්බත් තමන්ගෙ මගුල් ගේ දවසේ සින්දු කියන්න නිකම් මහ මොකද්දෝ වගේ දැනුනේ සුපුන්ට. ඒත් බේරෙන්නම බැරි වුනා යාළුවන්ගෙන්. මේ ඉන්න අරවින්දයා තමයි සුපුන්ව බලෙන්ම ඇදගෙන යන්න හැදුවේ ස්ටේජ් එක ලඟට. අන්තිමට අවන්තිත් සුපුන්ගේ සින්දුවක් අහන්න ආසයි කිව්වහම තමයි අන්තිමට සුපුන් නැගිටලා ගියේ. සින්දු තුන හතරක්ම කියලා ඉවර වෙනකල් සුපුන්ට බහින්න හම්බවුනේ නෑ. ඒ අතරෙදී අවන්ති කා එක්කදෝ ෆෝන් එකකින් කතා කරනවා සුපුනුත් දැක්කා. එන්න බැරි වෙච්ච යාළුවෙක් විෂ් කරන්න කතා කරන්න ඇති, සුපුන්ට එවෙලේනම් හිතුණේ එහෙම.

ඒත් දැන්...

කවුද ඒ කෝල් කරන්න ඇත්තේ? දසුනි එක්ක රූම් එකට යනවා කියලා අවන්ති සුපුන්ට ඇත්තමද කියන්න ඇත්තේ? අවන්තිගේ මූණ අමුතු වෙලා තිබ්බේ ඒ කෝල් එක නිසාද? සුපුන් කළින් හිතුවේ මහන්සියට වෙන්න ඇති කියලා. 

"අනික අවන්තිගෙ ෆෝන් එකටත් නෙවෙයි කෝල් එක ඇවිත් තිබුණේ," අරවින්ද ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. "මං දැක්කා කෝල් එක ඉවර වෙලා ස්ටුවර්ඩ් කෙනෙක් අතට ෆෝන් එක දෙනවා. එයාගෙ ෆෝන් එක තිබ්බේ අංකල් ගාවනේ?" 

"ඔව්," සුපුන් ඔළුව වැනුවේ බොහොම හෙමීට. "රූම් එකට එනවා කියලා එතනින් එන්න කළින් තමයි තාත්තා ලඟට ගිහින් ෆෝන් එක ඉල්ලගත්තේ."

ඊලඟට ටිකක් වෙලා යනකල් කවුරුවත්ම කතා කළේ නෑ. ටිකකින් හීන් හඬින් කතා කරනවා ඇහුනේ දසුනි, "සුපුන් අයියේ, මම පහළට යන්නද?"

සුපුන්ට කළින් ඒ පැත්ත බැලුවේ අරවින්ද. "ඔයා කොහොමද තනියම පල්ලෙහාට යන්නේ? අතරමං වෙයි."

"නෑ මට පුළුවන්." 

දසුනි ඉන්නේ අඬන්න ඔන්න මෙන්න කියලා සුපුන්ට තේරුණා. සුපුනුයි අරවින්දයි දෙන්නත් එක්ක අවන්තිව වැරදිකාරි කරන්න ලෑස්ති වෙනවද කියලා දසුනිට හිතෙන්න ඇති, සුපුන් හිතුවා. අනික මේ පිට කොල්ලෝ දෙන්නෙක් එක්ක තනියම ඉන්න බයත් ඇති පොඩි කෙල්ලට. සුපුන් අරවින්ද දිහාවට හැරුණේ දසුනිව ආපහු පල්ලෙහාට ඇරලලා එන්න කියන්න. ඒත්-

රූම් එකේ දොරේ හැන්ඩ්ල් එක කරකැවෙන සද්දෙ ඇහිලා තුන්දෙනාම එකපාරට ඒ පැත්තට හැරුණා. හෙමින්සැරේ දොර ඇරගෙන කාමරේට ඇතුල් වුනේ-

අවන්ති!



Wednesday 22 April 2015

සරණ බන්ධන ..... 2 Born and Raised in a Summer Haze


බ්ලොග් කියවන යාලුවන්ටයි -  අන්දර මල්දම එක්ක මුල ඉඳලම රැඳිල හිටපු, අපව දිරිගන්වපු ඔයාලා ඔක්කෝටම බොහොම ස්තූතියි.තනි පුද්ගලයෙක් ලියන කතාවක් වගෙ නෙවෙයි කණ්ඩායමක් එකතුවෙලා ලියන සාමූහික කතාවක් උනහම ඔයාල දන්නව අපහසුකම් මතුවෙනව කතාව ඉස්සරහට ගෙනියද්දි. 

ඒ කොහොම හරි පළවෙනි කතා 5 අපි සාර්ථකව ලියල ඉවර කලා.ඒ වගේම ඔයාල කියෙව්වා.. ප්‍රතිචාර දැක්වූවා. අපේ හයවෙනි කතාව සරණ බන්ධන පළවෙනි කොටස ඔයාල කියෙව්වෙ මීට අවුරුදු දෙකකට වගෙ ඉස්සර. ඊට පස්සෙ ඉතිං නොයෙක් බාධක දුෂ්කරතා සහ  අතපසුවීම් නිසා සරණ බන්ධන ඉස්සරහට ගියේ නෑ. ඔයාලගෙන් අපි සමාව ඉල්ලනව ඒ වෙනුවෙන්.
හරි ඒ නිධාන කථාව සහ පොඩි පැහැදිලිකිරීමක්...ඉතින් කියවන්නකො සරණ බන්ධන ඉස්සරහට...ස්තූතියි!

*******************************************************************************************************************



"සොරි. මගේ ෆ්ලයිට් එකට දැන් වෙලාව ළඟයි...ඉක්මනට පිටත් වෙන්ඩ ඕන..."
"අනේ සමන්තා මාව තේරුම් ගන්න. මට ඔයාව එක විනාඩියකට හම්බෙන්න ඕන...ප්ලීස්....."

අන්තිමට එහා පැත්තේ යුවතිය කරපු ඉල්ලීමට ඉඩ දෙන්න සමන්තා එකඟ උණා. ඒ එතන තමුන් හිටිය නම්, තමුනුත් ඔය ඉල්ලීම කරාවි කියල එයාට හිතුනු නිසා.

ඕනෙවට වඩා අනිත් මිනිස්සු ගැන හිතන්න ගිහින් නැති කරදර පටලගන්නවා කියල ඉස්සර දවසක් සුපුන් දොස් කිව්ව හැටි මතක් උණු සමන්තා ට හීනි හිනාවක් ගියා.

සුපුන්...
ගෙවුණු අවුරුදු තුනේදී සුපුන්ව අමතක කරන්න සමන්තා කවදාවත් උත්සාහ නොගත්තේ ඒක කවදාවත් කරන්න බැරි විත්තිය එයා හොඳින්ම දැනගෙන හිටි නිසා.
ඇත්තටම මම සුපුන්ට ආදරේ කරාද?
සමන්තා දහස් වෙනි වාරෙටත් තමන්ගෙන් ප්‍රශ්න කරේ ඒ ප්‍රශ්නෙට උත්තරයක් ලෑස්ති කර ගන්න ඕනි නිසා.
අවුරුදු තුනකට කලින් අවසාන වතාවට සුපුන්ව හම්බුණු දවසේ... සමන්තා එයාව හම්බුවෙන්න ආයේ එන්නේ නැති බව එයාට කිව්ව වෙලේ...එයා ගේ මුණේ තිබුණු අසරණ බැල්ම සමන්තාට ආයෙත් මතක් උණා. 
සුපුන් මට ඇත්තටම ආදරේ කරා.
ඔව්. සමන්තා ඒක දැනගෙන හිටියා.
ඒ උනත්...ආදරේ විතරක් ජීවිතේට මදි. ඒක සමන්තා ඉගෙන ගත්තේ ගොඩක් පොඩි කාලේදී.

අවුරුදු විසි පහකට එහාට සමන්තා ගේ හිත ඉගිල්ලුනා...

එදා පුංචි ගේ මගුල් දවස... ලස්සන සුදු ගවුමක් ඇඳන් දිග වේල් එකක් දාපු පුංචිව සමන්තා ට පෙනුනේ පල්ලියේ පියතුමා කියා දීපු කතාවල ඉන්න දේව දුතියක්‌ වාගේ. ඒත් පුංචි නම් කීවේ ක්‍රීම් පාට දිග ගවුම් පොඩියක් එක්ක පුංචි රෝස පොහොට්ටු මල් ඉත්තකුත් හිසේ පළන්දන් මල් කුමාරිට හිටි, සමන්තා තමයි දේව දුතිය කියලා.


පුංචි අම්මගේ කපාපු පලුව වාගේ. සමන්තා අම්මගේ කපාපු පළුව වාගේ. තුන් දෙනා එකට ඉන්න කොට සමනලියෝ දෙන්නයි පුංචි සමනලී යි වාගේ. එහෙම කීවේ සීය පප්පා. මම්මා ආච්චි ගේ සුද යි, ඕඩ්රි හෙප්බර්න් ගේ වාගේ වක් වෙච්චි ඇහි බැම යි එක්කල සීය පප්පා ගේ කැරලි කොන්ඩේ ඇවිත් තිබුනා මේ තුන් දෙනාටම. සමන්තා ඉපදෙන කොට මම්මා ආච්චි දෙවියන් වහන්සේ ළඟට ගිහින්. ඒ හන්දා මම්මා ආච්චිගේ ලස්සන බලන්න ඉතුරු වෙලා තිබුනේ ෆොටෝ ටිකක් විතරයි. ඒ උණත් හැමෝම කිව්වේ අම්මයි පුංචියි දෙන්නටම වඩා සමන්තා ට මම්මා ආච්චිගේ හැඩ රුව ඇවිත් කියලා. 
එදා මගුල් ගෙදර දී සමන්තා හිතුවේ තමුන් සුරංගනා ලෝකෙකට ගිහින් කියලා. පල්ලියේ හැම තැනම මල් ගහලා සරසලා තිබුනා. හැමෝම හරි ලස්සනට ඇඳන් ඇවිත්. පුංචි සීය පප්පා එක්කල අල්තාරේ ළඟට යනකොට ඊටත් ඉස්සරහින් පොරි ඉහින්නත් තිබුණා සමන්තාට. ඒ රාජකාරිය නිසා ටිකක් ආඩම්බරයකුත් දැනුණා.


සමන්තා ගේ සුරංගනා ලෝකේ ඉරි තලන්න පටන් ගත්තේ හෝටලේ දවල් කෑම ඇරිය වෙලේදී. 
මගුල් ගෙදර අනිත් මල් කුමාරි එච්චර වෙලා හිටියේ සමන්තා එක්ක සෙල්ලම් කර කර. ලොකු අය බත් කන්න පටන් ගන්නවා දැක්ක සමන්තා ටත් පුංචි බඩගින්නක් ඇවිත්.
"අපි බයි කමු?" සමන්තා අනිත් මල් කුමාරිගෙන් ඇහුවා.
"හා. මට අද තාත්ති කවනවා කිව්වා...ඔයාට කවන්නේ කවුද?"

සමන්තා කල්පනා කරන්න කරුණු කාරණා දෙකක් තිබුණා. එක - මතක ඇති කාලෙක සමන්තාට "තාත්ති" කෙනෙක් උන්නෙ නැහැ. දෙක - ගෙදරදී අම්ම බත් කවන්න හැදුවත් සමන්තා කැමති උනේ තනියම කන්න. 

අනිත් මල් කුමාරිගේ තාත්ති ඇවිත් එයාව වඩා ගත්තේ බයි කන්න යමු නෝනේ කියාගෙන. එයා ගොඩක් උස සීය පප්පා වගේ රැවුල වවපු එක්කෙනෙක්. ඒත් සීය පප්පගේ පුළුන් කැටි වගේ සුදු රැවුල වගේ නෙවෙයි එයාට තිබුනේ කළුම කළු හීනි රැවුලක්. එහෙම අය හිටියා සමන්තාගේ කතන්දර පොත්වල රූප වල. ගොඩ වෙලාවට අස්සයෙක් පිට නැගල ආඩම්බර තාලෙට. නැත්නම් කඩුවක් අතින් අරං මකරෙක් එක්ක ඔට්ටු වෙවී. 

* * *

මල් පෙති වරුසා මැද්දේ පුංචි, මාමි කෙනෙක් එක්ක ලස්සන මල් ගැහුව කාර් එහෙක නැගල යන්න ගියා...

මගුල් ගෙදර වැඩ ඉවර වෙලා, ගෙදර ගිහින් අම්ම සමන්තා එක්කල කාමරේ ඇඳෙන් වාඩි උනේ ඇඳුම් මාරු කරන ගමන් මහන්සි අරින්න. උදේ සමන්තා ගේ ඔලුවේ ගහපු මල් පරවීගෙන යන්න අරන්.. සාරි පොටෙන් පවන් ගහන ගමන් අම්මා සමන්තගේ ඔලුවේ කටු ගලවන්න ගත්තා.

"අම්මා...තාත්තිලා ඉන්නේ කොහෙද?"  සමන්තා ඇහුවේ නළල රැළි කරන්.

ඒ ප්‍රශ්නෙන් අම්මා මොහොතක් ගල් ගැහුණා. 
"ඒ මොකෝ සුදු දූ එහෙම ඇහුවේ?"

"ටානිය ට නම් තාත්ති කෙනෙක් ඉන්නව අම්මා. එයා තමා ටානියට බයි කැව්වෙත්..." සමන්තා කිව්වේ අනික් මල් කුමාරි ගැන කියල අම්මට තේරුණා.


"හ්ම්..." අම්මා ඇහුණා නෑහුනා ගානට කටු ගලවනවා.

"අම්මා..." 
"හ්ම්...?"

"අනේ අම්මා...තාත්තියෙක් අරන් දෙන්න කෝ මටත්..." සමන්තා කිව්වා.

හුස්මක් හෙළුව අම්ම කටු ගලවන වැඩේ නැවැත්තුව. එතකොට තමා සමන්තා දැක්කේ අම්මගේ ඇස් වල ලොකු කඳුළු ගුලි දෙකක් දිලිසෙනවා. 

"පොඩියක් එන්නකෝ දූ මෙහෙට" 
සමන්තාගේ මුණ ඉම්බ අම්ම එයාව උකුළට අරං තුරුළු කර ගත්තා.

"දූ ... හැම බබෙක්ටම ජේසු බබා තාත්ති කෙනෙක් දීල තියෙන්නේ .. හොඳද... ඒ උනාට සමහර බබාලට එයාලගේ තාත්ති ලව හම්බෙන්නේ එයාල ටිකක් ලොකු උනාම...දූගේ තාත්ති ත් ඒවි දූව බලන්න තව ටිකක් කල් ගිහාම...සුදු දූ ටිකක් උස ගිහින්...ලොකු ඉස්කෝලෙට යද්දී...හොඳද දු...."

"ඇයි අම්මා තාත්ති මං ලොකු උනාම එන්නේ?" සමන්තා ඇස් ලොකු කරන් ඇහුවා.

" එයා ඉන්නේ ගොඩක් දුර නේ දූ... ඒකයි... "
"පිට රට ද?" ඒ දවස්වල සමන්තා හිතන් හිටියේ 'පිටරට' කියන්නේ ලෝකේ දුරම තැන කියල.


"ඔව් දුව...පිට රට තමයි...ඉතින් එයා දූ ට තෑගි අරං එන්න තමා එහෙ ගියේ...තෑගි ගොඩාක් අරං, එයා ඒවි දූ ව බලන්න..." 


* * * 

එදා එහෙම කිව්වත්, ටිකෙන් ටික ලොකු වෙනකොට, කරුණු කාරණා තේරුම් යනකොට, තමන්ගේ 'තාත්ති' තෑගි අරං එන දවස ගැන තිබුණ බලාපොරොත්තුව සමන්තා දිය කරලා ඇරියා...


"ට්‍රීං!"
ජංගම දුරකතනය ට කෙටි පණිවිඩයක් ඇවිත්.

"I'm on my way. See you soon. Pls don't tell Supun. Avanthi"                                          




You know how the time flies
Only yesterday was the time of our lives
We were born and raised in a summer haze
Bound by the surprise of our glory days


Never mind, I'll find someone like you
I wish nothing but the best for you, too
Don't forget me, I beg, I remember you said
Sometimes it lasts in love, but sometimes it hurts instead
Sometimes it lasts in love, but sometimes it hurts instead