Tuesday 5 January 2016

සරණ බන්ධන........12 - හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්

හැමදේම හොඳින් විසඳුන හින්දා හතර දෙනාම හිටියේ හරිම සතුටෙන්, සැහැල්ලුවෙන්. තමන්ටත් මේ තරම් සතුටක් දැනෙනවනම් අවන්ති අක්කටයි සුපුන් අයියටයි කොහොම දැනෙනවා ඇත්ද කියලා දසුනිට හිතාගන්නවත් බෑ. හතර දෙනාම සෑහෙන බඩගින්නක හිටපු නිසා ආපහු එන අතරමග නතර වෙලා කඩේකින් කෑවා. කෑම කන අතරෙදි කවුරුවත් සිද්ද වෙච්ච දේ ගැන කතා කළේ නෑ. වෙන වෙන වල්පල් තමයි කතා කළේ. සුපුන් අයියයි අරවින්ද අයියයි තරගෙට දෙන්නා ඉස්කෝලෙ යන කාලේ වෙච්ච දේවල් මතක් කර කර මඩ ගහගත්තා. අවන්ති අක්කයි දසුනියි හිනා වෙවී ඒවා අහගෙන හිටියා.

කාලා ඉවර වෙලා කට්ටියම ආපහු වාහනේ ලඟට ආවා. දසුනි පිටිපස්සේ පුරුදු ආසනේ වාඩි වෙන්න දොර ඇරගත්තා. ඒත් ඒ වෙලාවේ අරවින්ද අයියා කියනවා ඇහුණ කතාව හින්දා එයා නතර වුනා. "ඒයි මේ සුපුන්, මං මුළු රෑ දෙකක් උඹ හින්දා නිදි මැරුවා. දැන් මට පොඩි ඇලට් එකක් දාගන්න ඕනේ. උඹ එළවපං වාහනේ." එයා වාහනේ වටෙන් ඇවිත් පිටිපස්සේ අනිත් දොර ඇරගෙන වාඩි වෙලා හරිබරි ගැහිලා හේත්තු වෙලා අත් දෙකත් බැඳගෙන ඇස් දෙකත් පියාගත්තා. දසුනි වාහනේට නගින්නෙත් නැතුව අවන්ති අක්කා දිහා බැලුවා. අවන්ති අක්කා සුපුන් අයියා දිහා බැලුවා. සුපුන් අයියා කාර් එක ඇතුළට එබිලා නිදිකුම්බරයා දිහා බැලුවා. "මං කාවවත් ගිලින්නෙ නෑ. මෙතන යන්න බැරි කෙනෙක් ඉන්නවනං ඩිකියට බැහැලා යන එකයි ඇත්තේ." කුම්භකරණයා ඇස් දෙක පියාගෙනම කිව්වා. අවන්ති අක්කා හිනාවෙලා දසුනිට ඉඳගන්න කියලා කිව්වා. සුපුන් අයියත් එහෙමම කිව්වා. දසුනි හෙමින් සැරේ වාඩි වෙලා දොර වහගත්තා. අවන්ති අක්කයි සුපුන් අයියයිත් ඉස්සරහා සීට් වලින් ඉඳගත්තා. 


"නංගි දැං කැම්පස් එකටද යන්නෙ?" සුපුන් අයියා ඇහැව්වා.

"ඔව් අයියේ, හවස් වෙනකල් යාළුවෝ ටික ඉන්නවා කිව්වා."

සුපුන් අයියා වාහනේ ස්ටාර්ට් කළා. ටික දුරක් කිසිම කතාබහක් නැතුව ගියාට පස්සේ සුපුන් අයියා රේඩියෝ එක දැම්මා. දසුනි ආසම ලස්සන සිංදුවක්. 'සිනා පිපෙනා මේ වසන්තය...' දසුනි හෙමීට ඇඟිලි වලින් කකුලට තට්ටු කර කර තාලෙ ඇල්ලුවා. එකපාරටම දැනුණ වෙනසක් නිසා දසුනි දකුණු පැත්ත බැලුවා. එච්චර වෙලා බැඳගෙන හිටපු අත් දෙක සීට් එක උඩ. වම් අත ටිකෙන් ටික දසුනි ඉන්න පැත්තට ඇවිත් සීට් එක මැද නතර වුනා. ඒත් ඇස් දෙකනම් පියවිලා. දසුනි දැක්කෙ නෑ වගේ අහක බලාගත්තා. එයාගෙ පපුව ගැහෙන වේගේ එයාටම දරාගන්න බෑ. මූණ රතු වෙලා කියලා ආයෙ කණ්ණාඩියකින් බලන්න දෙයක් නෑ, එයාටම හොඳටම දැනෙනවා.

විනාඩියක් ගෙවුනා. දෙකක් ගෙවුනා. සිංදුවත් ඉවරයි. දසුනි නිතර අහන රේඩියෝ චැනල් එකක්. ඊලඟට පටන්ගත්තේ දසුනි ආසම තවත් සින්දුවක්. 'අහස් ගැබේ තරු කැට ගානේ...' ඇයි අද මේ ඔක්කොම සින්දු එයාටම කියන ඒවා වගේ දැනෙන්නේ. දසුනි ආයෙමත් සීට් එක දිහා බැලුවා. ඒ අත එතනමයි. අඟලක්වත් මෙහාට ඇවිල්ලත් නෑ, එහාට ගිහිල්ලත් නෑ. '...නිල් සයුරේ රළ පෙළ ගානේ - ආදරෙයි මං ආදරෙයි...' දසුනිත් ඇස් දෙක පියාගත්තා. අඩු ගානේ අවන්ති අක්කයි සුපුන් අයියයිවත් මුකුත් කතා කරන්නේ නෑ. මොනවා කතා කරන්නද කියලා දසුනිට හිතාගන්නත් බෑ. 


'මී ලඟට ගී පැදුරෙන් ඔබ වෙත ගෙන එන්නේ එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ ගායන ශිල්පියාගේ ඉතාමත් මියුරු ගීතයක්. පද රචනය අමරසේන කංකානම්ගේ. සංගීතය රෝහණ වීරසිංහයන්ගෙන්.' 

සංගීත නාද රටාව ඇහෙද්දිම ඒ මොන සින්දුවද කියලා දසුනි අඳුරගත්තා. තවත්නම් මේ අත මෙතන තියෙද්දි, ඒ අතේ අයිතිකාරයා මේ එහාපැත්තේ ඉඳගෙන ඉන්දැද්දි දසුනිට මේ සින්දු වලට කන් දීගෙන ඉන්න පුළුවන් කමක් නෑ.

දසුනි ආදරේ කරන්න පටන් අරගෙන.

දසුනි අරවින්ද අයියට ආදරෙයි.

'නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී...' දසුනි ආයෙත් සීට් එක උඩ තිබුණ අත දිහා බැලුවා. ලස්සන දිග ඇඟිලි. ඒ අත එහෙම තියාගෙන ඉන්නෙ ඇයි කියලා දසුනි හොඳටම දන්නවා. අවන්ති අක්කයි සුපුන් අයියයි සමන්තා එක්ක කතා කරන්න ගිය වෙලාවේ කතා කරපු ගොඩක් දේවල් වලින් අරවින්ද අයියා කියන්න හැදුවේ මොකද්ද කියලා දසුනි හොඳටම දන්නවා. ඒත් ඒක එකපාරටම පිළිගන්න දසුනිට බයයි. මේ වගේ හැඟීමක් දසුනිට ජීවිතේටම ඇති වුනේ මේ පළවෙනි පාරට. ඒ ආදරේ වෙන්න ඕනෙ කියලා දසුනි දන්නවා. ඒත් ඒ ගැන හොඳටම දන්න කෙනෙක් එක්ක කතා කරන්නේ නැතුව ඒ ආදරේ පිළිගන්න දසුනිට බය හිතුණා. එයාට ආයෙ දකුණු පැත්ත බැලුණේ ආයෙමත් වෙනසක් ඒ පැත්තේ දැනුණ නිසා.

තරු කැට දෙකක් අතරමං වෙච්ච දසුනිගෙ හිතට පාර පෙන්නන්න වගේ එයා දිහා බලාගෙන හිටියා. වාහනේ දකුණු පැත්තේ දොරට හේත්තු වෙලා අරවින්ද අයියා එයා දිහා බලාගෙන හිටියා. 

'සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පා වෙමින් - හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්...'

ඒ ඇස් දෙකෙන් ගලාගෙන ආවෙත් ඒ වචන. දසුනි ආයෙම සීට් එක උඩ තිබුණ අත දිහා බැලුවා. ඊලඟට එයාගෙ දකුණු අතත් ඒ ගාවින්ම තිබ්බා, සුළැඟිල්ල යාන්තමින් ගෑවෙන්න. අරවින්ද අයියගේ අත හෙමීට ඉස්සිලා දසුනිගේ අත උඩින් තියාගන්න දිහා බලාගෙන හිටපු දසුනිගේ මූණේ තිබ්බ රතු පාට පපුවට බැහැලා පපුව පුරාම සමනල්ලු පියාඹන්න පටන්ගත්තා. ආයෙ ඔළුව උස්සපු දසුනි දැක්කේ ආපහු ඇස් පියාගෙන ඔළුව සීට් එකට හේත්තු කරගෙන නිදා ඉන්න එයාගෙ ආදරවන්තයාව. ඒ මූණේ ලස්සන හීන් හිනාවක් ඇඳිලා තිබ්බා.

වාහනේ කැම්පස් එක ලඟ නතර වෙද්දි දසුනි හිටියේ රත්තරන් පාට වළාකුළක නැගලා අහසේ පා වෙවී. එයා ආදරේ කරන එයාගෙ දිව්‍ය කුමාරයා එයාගෙ අතින් අල්ලගෙන ඒ වළාකුළේම නැගලා හිටියා. දසුනි ඇස් ඇරියේ අවන්ති අක්කා කකුලට දාපු තට්ටුව නිසා. "ඒයි මැඩම්, ක්ලාස් යනවා කියලා නේද කිව්වෙ? නැගිටින්න නැගිටින්න." අවන්ති අක්කයි, සුපුන් අයියයි දෙන්නම පිටිපස්ස හැරිලා හිනා වේගෙන බලන් ඉන්නවා. දසුනිට ලැජ්ජාවේ බෑ. එයාගෙ අත තාමත් අරවින්ද අයියගේ අතේ. එයාට හොඳටම නින්ද ගිහිල්ලා. පව්. "අයියෙ මං බහිනවා," දසුනි හෙමීට ඒ අත තද කළා. අරවින්ද අයියා හෙමීට ඇස් ඇරියා. ඊලඟට නෝන්ඩි හිනාවක් දාගෙන බලං හිටපු සුපුන් අයියට එරෙව්වා. ඊලඟට දසුනි දිහාට හැරුණා. "බහිනවද?"

"ඔව්. අපේ කැම්පස් එක ලඟ ඉන්නෙ දැන්."

නැමිලා දසුනිගේ පැත්තේ ජනේලෙන් එළිය බලපු අරවින්ද දසුනිගේ අත අත ඇරියා.

"අක්කී, මං යනවා එහෙනං. හෝම් කමිං එකේදි ලස්සනට ඉන්න හොඳේ." දසුනි අවන්ති අක්කා දික් කරපු අත අල්ලගෙන කිව්වා.

"තැන්ක් යූ වෙරි මච් නංගි. සොරි අපි හින්දා ඔයාට කරදර වෙන්න වුනාට. හොඳට පාඩම් කරන්න."

"හරි." ඊලඟට දසුනි සුපුන් අයියා දිහා බැලුවා. "මං යනවා අයියෙ එහෙනං."

"හරි නංගි. තෑන්ක්ස්. තාත්තට කෝල් එකක් දීලා කියන්න ආපහු කැම්පස් එකට ආවා කියලා."

"ඔව්, කියන්න ඕනේ." දසුනි අන්තිමටම අරවින්ද අයියා දිහා බැලුවා. "බායි!"

අරවින්ද අයියා අර හීන් හිනාවත් එක්කම අත වනලා බායි කිව්වා. 'හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්...' දසුනිට ඒ පේළි ටික ආයෙ ආයෙත් ඇහෙනවා වගේ. එයා දොර ඇරගෙන එළියට බැස්සා. ඒත් ඒ එක්කම අරවින්ද අයියත් වාහනෙන් එළියට බැස්සා. "උඹ ඔය කොහෙද දුවන්නෙ?" සුපුන් අයියා අහනවා ඇහුණා. "පොඩ්ඩක් හිටපන්," කියාගෙන අරවින්ද අයියා වාහනේ වටෙන් දසුනි ලඟට ආවා. කතාවක් නැතුවම ඇවිදගෙන ගිය දසුනි පස්සෙන් එයත් ගේට්ටුව ලඟටම ආවා. ගේට්ටුව ලඟදි
දසුනි නතර වෙලා අරවින්ද අයියා දිහා බැලුවා. එයා අත් දෙක කලිසම් සාක්කු වල දාගෙන දසුනි දිහා බලං හිටියා.

"මම එන්නද හවසට ගෙදර එක්ක යන්න?" එයා ඇහැව්වා.

දසුනි බිම බලාගෙන එපා කියන්න ඔළුව වැනුවා.

අරවින්ද අයියා ටිකක් වෙලා තොල් හපාගෙන කල්පනා කළා. "එහෙනං රෑට කෝල් එකක් දුන්නට කමක් නැද්ද?"

ඒකටනම් දසුනි හා කියන්න ඔළුව වැනුවා.

"හෙට කොහොමද හම්බ වෙන්නෙ?"
 

දසුනි හිනා වුනා. "අනිද්දා හෝම් කමිං එකේදි අපි හම්බවෙනවනේ."

"හෙට බැරිද?" 

දසුනි සද්ද නැතුව බිම බලාගෙන හිටියා. උත්තරයක් දෙන්න එයාට බය හිතුණා. හා කියන්නත් බයයි, බෑ කියන්න ඊටත් වඩා බයයි.

අරවින්ද ඔළුව වැනුවා. "හරි කමක් නෑ. පරිස්සමෙන් ඉන්න. හොඳට පාඩම් කරන්න. හවසට ගෙදර ගිහින් මට කියන්න."

දසුනි හිනා වෙලා ඔළුව වැනුවා. අරවින්ද එයාගෙ ඔළුව අතගෑවා. දසුනිව ආයෙමත් හීතල වෙලා ගියා. "යන්න ඇතුළට," අරවින්ද අයියා කිව්වා.

ආයෙමත් අත වනපු දසුනි ගේට්ටුවෙන් ඇතුල් වෙලා හෙමීට ඇවිදගෙන ගියා.







13 comments:

  1. ලස්සනට ලියල..
    ඔයාගෙ බ්ලොග් එකත් මුල ඉඳන් කියවන්න වෙනව දැන් :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි කසුන්. මගේ බ්ලොග් එක කිව්වෙ, කවි පොතද? කියවන්න කියවන්න, ඒකෙ තියෙනවා කවි, කතන්දර, තේරවිලි, ඔක්කොම ජාති. :D

      ආ, මේ, මේ කතන්දරේ තාම ඉවර නෑ හොඳද? :)

      Delete
    2. ඔව්, කවි පොත දැන් කියවගෙන එනව.. (Y)

      Delete
    3. ඔව්වොව්වොව් මට පේනවා, මට පේනවා. :D

      Delete
    4. එකේ තීන ෆැසිඩෝනියා කතාව අනිවා කියවන්ට හොඳේ !

      Delete
    5. ෆැසිඩෝනියා? මේ, එඩ්වඩ්ගෙ රටේ නම ෆැසිනෝඩියා හරිද? :P

      My longest story so far. :)

      Delete
    6. ඒක කියවලා ඉවරයි දැන් :)

      Delete
  2. එක දවසකට අමා, තව දවසකට සිත්තමී. අනේ මන්දා.
    ලස්සනයි, ඔයාගෙ කතාව ඇතුලෙ අපිව ජීවත් කරවන්නනම් ඔයා ගොඩාක් දක්ෂයි සිත්තමී.
    අමා මං එක්ක තරහ වෙන්නෙනැත්නම් මං පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි, පුලුවන්ද 11 කොටස සිත්තමීගෙ වචන වලිනුත් ලියන්න.

    ReplyDelete
    Replies
    1. පැසසුමට ගොඩාක් ස්තූතියි වරා මලී.

      ඔයාගෙ ඉල්ලීමනම් ඉටු කරන්න විදිහක් නෑ, සමා වෙන්න. 11 වෙනි කොටස මම අවන්තිගෙ දෘෂ්ටි කෝණයෙන් ලියපු ටික සාර්ථක නෑ. ඒ සමහර විට මට මේ අනිත් චරිත දෙක ගැන වැඩිපුර ලියලා, ඒ දෙන්නව වැඩියෙන් හිතට දැනිලා තිබුණ නිසා වෙන්න ඇති. මම ලියපු ඒ කොටස හරිම නීරසයි. ඒ නිසා මම ඒක පළ කරන්නෙ නැතුව මල්දමේ යාළුවන්ගෙන් උදව් ඉල්ලුවා. අමා අක්කා ඒ කොටස ගොඩාක් ලස්සන කරලා ඔයාලට කියවන්න දුන්නා. ඉතින් ඒ මදෑ. :)

      Delete
    2. හපොයි මොකට තරහ වෙන්ට ද වරා!
      සිසී ගේ වචන තමා ඒකෙ බාගයක්ම තීන්නේ. මං අර පොඩ්ඩක් පොඩ්ඩක් කෑලි එකතු කරේ අවන්ති ට දැනෙන දේ ටිකක් විස්තර කරන්ට. අවන්ති කියන්නේ මොන වාගේ කෙනෙක් ද සහ අවන්තිගේ අප්පච්චි ගැනත් පොඩි ඉඟියක් දෙන්ට. මේ කතාව ලියන්ට පටන් ගන්න කොට මගේ හිතේ මැවුනු අවන්ති පාරම්පරික පසුබිමක් තීන ගෙදරක හැදුනු තැලිලා පොඩි වෙලා නැති කෙල්ලක්. සිසී ට වගේම මටත් අවන්තිව ආවේස කරගන්ට අමාරු උනා. මට ගොඩක් ලඟින්ම දැනුනේ අරවින්ද සහ සමන්තා!
      අරවින්ද නම් ඇත්තටම මම දන්න කොලු ගැටයෙක් ආශ්‍රයෙන් ලිව්වේ!

      Delete
  3. සින්දු අහන ගමන් දසුනිට ශෘන්ගාර සිතුවිලි දැනුනු හැටි හරිම ලස්සනයි...මම ආසම ඒ කොටසට!

    //අරවින්ද අයියා හෙමීට ඇස් ඇරියා. ඊලඟට නෝන්ඩි හිනාවක් දාගෙන බලං හිටපු සුපුන් අයියට එරෙව්වා.//
    මෙන්න මේකත් මරු! romance වගේම comedy ත් අපුරුවට තියෙනවා

    ReplyDelete