Saturday 2 January 2016

සරණ බන්ධන.......11 නැවුම් ඇරඹුමක්

අවන්ති හිටියේ පා වෙවී. එයාගේ හිතට දැනුණෙ පුදුම සැහැල්ලුවක්. එදා මගුල් දවසේ හදිසියේ සමන්තාගෙන් ආපු ඇමතුම ට පස්සේ අතරමග නැවතුනු හුස්ම ආයෙත් වැටෙන්ට අරං...

ගොඩාක් වෙලා කතා කර කර හිටියට පස්සේ සමන්තා අම්මායි බබායි එක්ක චෙක්-ඉන් කවුන්ටර් එක ලඟට යන්න පිටත් වෙන්න කළින් අවන්ති සමන්තාව වැළඳගෙන සමු දුන්නේ කියන්න බැරි තරම් ස්තූති පූර්වක හැඟීමකින්. ඒ ගැන කියන්න ඇත්තටම එයා ලඟ වචන තිබ්බෙ නෑ. මේ හැමදේම විසඳලා දුන්නට, සුපුන්ව අවන්තිටම සින්නක්කරේටම තියාගන්න දුන්නට, ඒ දෙන්නට හදවතින්ම අවංකවම සුබ පැතුවට, පුංචි පුතා නිසා එයාගේ ජීවිතේ සම්පූර්ණ වෙලා තියෙන බව ආයෙ ආයෙත් සුපුන්ටයි අවන්තිටයි කිව්වට - ඒ හැම දේකටම අවන්ති සමන්තාව වැළඳගෙන ස්තූති කළා.

සමන්තාගේ ජීවිතේ සම්පූර්ණ කරපු පුංචි පුතා සුපුන්ගේ නෙවෙයි...

සමන්තාගෙත් නෙවෙයි.

එයා එයාව හදාගන්න අරගෙන තියෙන්නේ අනාථ නිවාසෙකින්. ඒ මීට අවුරුදු දෙකකට උඩදි. ඒ හුරතල් පුංචි පැටියා අත්තම්මාගේ උකුළේ නිදා ඉන්න දිහා බලාගෙන හිටපු අවන්තිට එයා ඇත්තටම සුපුන්ට වඩා කොච්චර වෙනස්ද කියලා ඒ වෙලාවෙදී තේරුම් ගියා. කොණ්ඩේ, මූණෙ හැඩේ ඒ හැම දේම වෙනස්. එදා හිතේ තිබුණ කළබලෙත් එක්ක අවන්තිට පෙනුණේ ඒ තද අළු පාට ලස්සන ඇස් දෙක විතරයි. තමුන්ගේ මෝඩකම ගැන අවන්ති පසුතැවුනා. ඒ වෙලාවෙම ඒ ගැන සමන්තාගෙන් හරි හැටි අහගන්නේ නැතුව තමුන් කලබල වෙලා කරපු පටලැවිල්ල ගැන එයා ඇත්තටම දුක් වුනා. ඒ ඇරෙන්න, සුපුනුයි සමන්තායි අතරේ සිද්ද වුන දේ ගැන එදා නොකියා හිටියේ අවන්තීගෙම හොඳට බව සමන්තා කිව්වා. ඒක ඇත්තක් බව අවන්තිට පිළිගන්න සිද්ද වුනා.

ඒ අතරෙදි සුපුන්? මුළදිම පුතා ගැන අහපු ප්‍රශ්නෙ ඇරෙන්න සුපුන් එක වචනයක්වත් කතා කළේ නෑ. එයාට දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද කියලා ඇත්තටම අවන්තිට හිතාගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. මේ කරපු කලබගෑනියට සුපුන් අවන්තිට සමාවක් දෙයිද? අවන්තිටයි සමන්තාටයි ඇති තරම් කතා කරගන්
 ඉඩ දීලා එයා පැත්තකට වෙලා දෙන්නා දිහාම බලං හිටියා. ඇත්තටම සමන්තාගෙන් සමුගන්නකල්ම සුපුන් එක වචනයක්වත් කතා කළේ නෑ. 

ආදරේ... කොච්චර පුදුමද...
පුංචි ගිනි පුලිඟු ආදරේ නිසා ගිනි ජාලා වෙනවා... හරියට එදා සුපුන්ට තියෙන ආදරේ නිසා අවන්ති ගේ පපුව ගිනි ගත්තා වගේ....

සමන්තා අම්මායි බබායි එක්ක දොර පිටිපස්සෙන් නොපෙනී ගියාට පස්සේ අවන්ති සුපුන් දිහාට හැරුණා. "සොරි සුපුන්." එයාට ඊට වඩා දෙයක් කියාගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. එයාගෙ ඇස් දෙකේ ආපහු කඳුළු පිරීගෙන එන්න පටන්ගත්තා. කිසිම කතාවක් නැතුව එයාගෙ ඇස් දෙකෙන් ගලාගෙන ආපු කඳුළු පිහදැම්ම සුපුන් එයාගෙ අත් දෙකෙන් අල්ලගත්තා. 

ගිනි ඇවිලුණු අවන්තිගේ හිතට සීතල වතුර බින්දු එක දෙක වැටෙමින් තිබුනේ... 
මහා ගිනි ජාලාත් ආදර බින්දු එක දෙක වැටෙද්දී නිවිලා සැනෙහිලා යනවාලු...

"දැන් ඔක්කොම හරි. ඔයාට ඒ හැමදේම දැන් අමතක කරලා දාන්න පුළුවන්."

"මේ හැමදේම අවුල් කළාට ඔයා මට සමාව දෙනවද සුපුන්?"

"ඔයා මට සමාව දෙනවා වගේම මමත් ඔයාට සමාව දෙනවා."

එදා මගුල් දවසත් මෙදා මේ මොහොතත් අතරමැද සිද්ද උණු දුක්බර හැම දෙයක්ම බොඳ වෙලා යනවා අවන්තිට දැනුණා.  
ඒත් එක්කම අවන්ති ට මතක් උනේ මගුල් දවසට කලින් දවසේ සවස...


**********************************************
එදා අවන්තිලාගේ ගෙදර කඩි ගුලක් ඇවිස්සුනා වාගේ කලබල...
පේරාදෙණියේ ඉඳන් ආපු අප්පච්චිගේ නෑදෑයෝ කට්ටිය එදා දවල් කෑමට අවන්තිලාගේ කොළඹ ගෙදරට සැපත් වෙලා තිබුණා. පස්සෙන්දා උදෙන්ම මගුල් ගෙදර යන්ට තියෙන නිසා එයාල එදා රාත්‍රියේ එහෙ නවතින්ට ඇවිත් තිබුනේ. 
අවන්තිගේ අම්මාගේත් ගම් පළාත් උඩරට උනාට ළඟ නෑයෝ ඒ වෙන විට කොළඹ අවට පදිංචි වෙලා හිටියේ. ඒ උනත් උදව්වට ඒ පිරිසෙනුත් කීප දෙනෙක් ඒ  වෙන විටත් ඇවිත් සිටියේ...
මේ මහ පිරිසක් මැද්දේ උනත් එදා සවස අවන්ති ගේ හිතට දැනුනේ හරිම පාළු තනිකමක්. සුපුන්ටවත් කතා කරන්ට තිබුණා නම්...ඒත් සුපුන් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ... කොහොමත් ඒ වෙලේ කැමරාමන්ව හමුවෙන්න සුපුන් යන බව අවන්තිට කියා තිබුනා. 
අවුරුදු විසි පහක් හැදුණු වැඩුණු නිවස හැර දාලා හෙට අවන්තිට යන්ට වෙනවා... ඒ යන්නේ අවන්තිගේ කුළුදුල් ආදරේ සුපුන් එක්කල බව ඇත්ත. ඒ උනාට ගෙදරින් පිට අම්මා අප්පච්චි නැතුව අවන්ති මේ යන්ට ඉන්නේ ජීවිතේ පළවෙනි වතාවට...අවන්තිගේ අම්මයි අප්පච්චියි අවන්තිව හැදුවේ මලක් හදනවා වගේ. පාසැල් කාලෙදිවත් යෙහෙළියන් එක්ක වැඩිපුර විනෝද ගමන් යන්ට අවන්තිට අවසර තිබුනේ නැහැ. ගෙදරින් පිට ඉන්ට නම් කොහොමත් තහනම්. 
දැන් එක පාරටම ජීවිතේ උඩු යටිකුරු වෙන්ට යනවා... අවන්ති මේසේ උඩ තිබුණු මංගල ඇරයුම් පත පෙරළුවා.
Dr. Saman Deraniyagala and Mrs. Malinie Deraniyagala cordially invite you to the wedding of their beloved daughter Avanthi Deraniyagala - 
"දුව..."
අවන්ති එක පාරටම ගැස්සිලා බැලුවා. අප්පච්චි කාමරේ දොර ළඟ හිටගෙන එයා දිහා බලාගෙන ඉන්නවා.
"මොකද දුව කල්පනාව?"
අප්පච්චිගේ ඇස් වල තිබුනේ අමුතු දිස්නයක්. 
"නැහැ අප්පච්චි...කම්මැලියි..."
අවන්ති හිමින් කිව්වා.
අප්පච්චි කාමරේ ඇතුලට ඇවිත් ඇඳ උඩින් වාඩි උනා.
"මගේ දූත් එන්න අප්පච්චි ගාවින් වාඩි වෙන්ට..." 
අවන්ති පුටුවෙන් නැගිටලා ගිහින් අප්පච්චි ළඟින්ම වාඩි උනා.
"මයේ පුංචි දෝණි හෙට ලස්සන මනමාලියක් වෙලා යන්ට යනවා..." අප්පච්චිගේ හඬ අමුතු උනු නිසා අවන්ති ඔලුව උස්සලා බැලුවා. අප්පච්චිගේ ඇස් වලින් කඳුළු ගලනවා!
"අනේ අප්පච්චි..."අවන්ති ටත් හැඬුම් ආවා.
"දුවේ...මම ඔයාව හැදුවේ ගොඩක් නීති දාලා... ඒත් මම එහෙම කලේ දූට තියෙන ආදරේ නිසා... දූ මේ ලෝකෙට අහිංසක වැඩියි... පොඩි දේකින් උනත් මයේ දෝණිගේ හිත රිදෙනවා...ඒ හන්දයි මායි දූගේ අම්මයි පුළුවන් තරම් දූව ආරක්ෂා කළේ..." 
නිතරම මහා තේජසින් ඉන්න අප්පච්චි - හැමදෙනා ගරු කරන කීර්තිමත් දොස්තර දැරණියගල - කවදාවත් නැතිව අද පොඩි ළමයෙක් වගේ අඬනවා. 
අප්පච්චිගේ කඳුළු හරි බරයි. ඒ බර අවන්තිට ඉවසන්ට බැහැ.
"මම දන්නවා අප්පච්චි..." අවන්ති අප්පච්චිගේ කඳුළු පිහින ගමන් කිව්වා.
අප්පච්චිට තුරුළු වෙලා අවන්ති ටික වෙලාවක් එහෙම්මම හිටියා. පොඩි කාලෙ ඉඳන්ම අප්පච්චිගේ තුරුලේ තියෙන උණුහුමට අවන්ති හරි ලෝබයි.

"දුව..." අප්පච්චි ආයෙමත් කතා කරන්ට ගත්තා.
"හෙට දූ ගේ අලුත් ජීවිතේ පටන් ගන්නවා... සුපුන් දූ ව ආදරෙන් බලාගනී වි කියන එක තමයි මගෙයි අම්මගෙයි පැතුම... දූගේ අප්පච්චියි අම්මයි කසාද බඳින කොට අපි දෙන්නට දෙන්න තනිවම කතා කරලා වත් තිබුනේ නැහැ. ඒ උනත් අපි දෙන්නා හෙමිහිට දෙන්නගේ සිතුම් පැතුම් තේරුම් ගත්තා...ඒක ලේසි නෑ දුව..."

අප්පච්චි ඈත බලාගෙන සුසුමක් හෙළුවා.

"මට දූට කියන්ට ඕනි උනේ... කසාදයක් බඳින එකට වඩා අමාරුයි ඒ කසාදෙ  සාර්ථක කර ගන්ට එක... අපේ අතින් වැරදි වෙනවා...වැදගත් වෙන්නේ ආයෙත් අලුතින් පටන් ගන්න එක..."
**********************************************

ඔව් වැදගත් වෙන්නේ ආයෙත් අලුතින් පටන් ගන්න එක...


අවන්ති බිම බලාගෙන හිනාවුනා. "අපි දැන් යමු සුපුන්..."

සුභ මොහොතින් මනාලයා එක්ක නැවුම් මනාලියක් විදිහට මංගල ගමනට පිටත් වෙන්නේ දැන් කියලා එයාට හිතෙන් ගත්තා.





පලි: මේ කොටස මුලින්ම ලිව්වේ සිත්තමි. මම ඒකට එහෙන් මෙහෙන් සුට්ටි කෑලි ටිකක් එකතු කළා... මේ කතාව මේ තරම් දුර ඇදගෙන ආ සිත්තමී ට ගොඩක් ස්තුති!

පපලි: හෝව් හෝව් ! කතාව ඉවරයි කියල හිතුවට ඉවර නෑ...තව කොටස් කීපයක් තියෙනවා හොඳේ...

6 comments:

  1. මං හිතුවා ගියපු හැටියට ඛේදාන්තෙකින් අහවර වෙන්න යනවයි කියලා.. ගොඩ දාලා තියෙන්නෙ ඔය..)))

    .. දැන් ඉතින් අනික් සරණ බන්ධනේ තමා වෙන්න තියෙන්නෙ.. අර ජේන් ඔස්ටන්ගෙ පොත් කියවන සාහිත්‍යශූරී කපල් එකත් බන්දලා දාන්න එපැයි..!!

    ReplyDelete
    Replies
    1. නැතුව නැතුව! ඒ ඩබල ත් ගොඩ දාන්න එපාය

      Delete
  2. අවන්තිගේ කොටසට මේ විදිහට ලස්සනට පණ දුන්නට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කේ. :) මං අර අහක් කරන්න කිව්ව කෑල්ල අහක් කරලා නෑ හැබැයි. >:(

    ReplyDelete
  3. මොකක් කිව්ව? තව කොටස් කීපයක්?......මට පේන්නෙ එකත් එකටම උඹල දෙන්න එකතුවෙලා මෙතන මොකක් හරි නාඩගමක් නටන්ඩ වගෙ හදන්නෙ...හෙහ්,හෙහ්...නැත්තං කොටස් කීපයක් තව අහවල් දෙයක් ලියන්ටද?..

    හරි හරි මොනව උනත් කමක් නෑ බොහොත් ෂුක්රාන් හොඳද? අවුරුදු දෙකක් විතර ඇදිච්චි වැඩේ අපූරුවට ගොඩ දැම්මට...:)

    ReplyDelete
    Replies
    1. බෙහෙත් ශු...?! මොකක් කිව්වා?
      ආ රවී අයියගේ තෙල් බෙහෙතේ නමද? ඔව්ව ඔහොම තමා අයියේ දැන් තින් නහින දෙහින කාලේ නොවැ. අයිය තරුණ කාලේ කොරාපු වැඩ දැන් කරාන්ට ගියාම තෙල් බේත් ගාන්ට වෙනවා තමා :P :P :P

      Delete