Tuesday 8 December 2015

සරණ බන්ධන........10 - A Battle of Wits

සුපුනුයි අවන්තියි සමන්තා ලඟට යනකල් සාක්කු දෙකේ අත් දෙකත් දාගෙන බලං හිටපු අරවින්ද හුස්මක් හෙලලා දසුනි දිහා බැලුවා. දසුනි ඒ ලඟ කෙටි බැම්මකට හේත්තු වෙලා අත් දෙකේ නියපොතු දිහා බලාගෙන ඉන්නවා.

"දසූ."

සද්දයක් නෑ.

"නංගි."

"ඇයි?" දසුනි ඔළුව ඉස්සුවෙවත් නෑ.

"මා එක්ක තරහද?"

"නෑ."

"මගෙ විහිළු ගණන්ං ගන්න එපා. අර දෙන්නගෙ මූඩ් අප් කරන්නයි මම පොඩ්ඩක් විහිළු කළේ. අන්තිමට ඒකෙන් වුනේ ඔයාගෙ මූඩ් එකත් ඩවුන් වෙච්ච එකයි."

දසුනි කතා නෑ.

"ඔයා අවන්ති එක්ක ඉන්න ඩිසයිඩ් කරපු එක ලොකු දෙයක්. මම එවෙලෙ තැන්ක් යූ කිව්වෙ ඇත්තටමයි." ඔළුව හොල්ලන්නෙවත් නැතුව ඇස් දෙකෙන් විතරක් අරවින්ද දිහා බලපු දසුනි ආයෙ නියපොතු අතින් හැඩ කරන්න ගත්තා. "ඔයා හිතුවෙ ඒකත් විහිළුවට කිව්වා කියලා නේද?"

"කියන ඒවයෙ හැටියට ඇත්තට කියන්නෙ මොනවද විහිළුවට කියන්නෙ මොනවද කියලා හිතාගන්නෙ කොහොමද?"

ටික වෙලාවක් නිහඬවම ගෙවිලා ගියා. අරවින්ද ආයෙ වතාවක් සුපුන්ලා දිහා බැලුවා. තුන් දෙනා බර කතාවක. මූණු පේන්නෙ නෑ කාගෙවත්. ඉන් එහා තිබ්බ පුටු පේළියෙ ඉන්නේ සමන්තාගේ අම්මයි බබායි වෙන්න ඇති. අරවින්ද ආයෙ දසුනි දිහා බැලුවා. ඒ ගමන ෆෝන් එක අතට අරගෙන වැඩ.

"ඔයා ඊයෙ හරිම ලස්සනයි," අරවින්ද එකපාරටම කිව්වා. දසුනි ගැස්සිලා උඩ බැලුවත් අරවින්ද අහක බැලුවෙ නෑ. දසුනිගෙ ඇස් දෙක දිහාම බලාගෙන හිටියා. ඒ බලා ඉන්දැද්දිම දසුනිගෙ ලස්සන රත්තරන් පාට මූණ ටිකෙන් ටික රෝස පාට වෙලා ඊලඟට ජම්බු ගෙඩියක් වගේ රතු වුනා. අරවින්දගේ කට කොණේ හිනාවක් නළියන්න ගත්තා. අන්තිමේදි දසුනි අහක බලාගත්ත වෙලාවේ අරවින්දත් එයා ලඟට ඇවිත් කෙටි බැම්මට හේත්තු වුනා. "අන්න ඒකනම් මම කිව්වෙ විහිළුවට තමයි." එයා දසුනිගෙ ෆෝන් එකට එබෙන ගමන් හෙමීට කිව්වා.

ගස්සලා ෆෝන් එක අහකට අරගත්තත් දසුනිගේ කටෙන් පැනපු හිනාව එයාට නවත්තගනන් බැරි වුනා. හරියටම ඊයෙ ලිෆ්ට් එක කෙළවරේ ඉන්දැද්දි ආපු හිනාව වගේ. දසුනි ටිකක් එහාට වෙන්න ඉඳගෙන ආපහු ෆෝන් එක ඔබන්න ගත්තා. "දන්නවද," අරවින්ද ආයෙම කතා කළා. "මල්ලිත් එක්ක ෆෝන් එක මාරු කරගත්තෙ ඇයි කියලා ඔයා ඇහැව්වම මම දුන්නෙ එක හේතුවක් විතරයි." අරවින්ද දසුනිගේ පැත්තෙන් පේන මූණ දිහාම බලං හිටියා. ඒ මූණෙන් කිසි දෙයක් එළි වුනේ නෑ. "ඇත්ත හේතුව තමයි ඒ වෙලාවෙදි සුපුන් කියපු එක."

"මං දන්නවා," දසුනි උත්තර දුන්නේ කිසි ගාණක් නැතුව.

ඒ වෙලාවෙදි එහෙම උත්තරයක් දෙයි කියලා අරවින්ද කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ. එයාගෙ මූණෙ ලොකු හිනාවක් ඇඳුනා. "එහෙනං දන්නෙ නෑ වගේ ඇහැව්වෙ?"

"හරියටම දැනගන්න."

අරවින්ද ආයෙමත් දසුනි ලඟට ලං වුනා. "ඔයාට තව මොනවද හරියටම දැනගන්න ඕනේ? ඕනෙ දෙයක් අහන්න."

දසුනි ෆෝන් එක පහළ දැම්මා. "ම්..." එයා කල්පනා කළා. "අහසෙ තරු කීයක් තියෙනවද?"

අරවින්ද හිනාවුණා. "IQ ටෙස්ට් එකට මං වෙන දවසක උත්තර ලියන්නං. මං ඇහැව්වෙ ඔයාට මං ගැන දැනගන්න ඕනෙ මොනවද කියලයි."

"මං මොකටද ඔයා ගැන දැනගන්නෙ?"

අරවින්දගේ හිනාව ටිකක් විතර අඩු වුනා. "ඇයි? ඕනෙ නැද්ද?"

"නෑ." දසුනි ආයෙම ෆෝන් එක අතට ගත්තා.

ටිකක් වෙලා දසුනි දිහා බලන් හිටපු අරවින්ද ආපහු නැගිටලා සුපුන්ලා දිහා බැලුවා. දැන්මම කතාව ඉවර වෙන පාටක් නෑ. මේ ආඩම්බරකාරිගෙ ආඩම්බර බල බල තව කොච්චර වෙලා ඉන්න වෙයිද දන්නෙ නෑ. මෙච්චර හොඳින් කතා කරලත් බලන්ඩ එපායැ ගණන්!

අරවින්ද ඒ ගමන වාඩි වුනේ ටිකක් ඈතින්. ෆෝන් එක අතට අරගත්ත අරවින්දත් එයාගෙ පාඩුවේ ඒකෙ ගේම් එකක් ගහන්න පටන්ගත්තා. අමාරු ගේම් එකක්. පොඩි එකාගෙ ෆෝන් එකත් මරුනෙ. දෙතුන් සැරයක්ම ගේම් ඕවර් වුනත් අරවින්ද වැඩේ අත ඇරියෙ නෑ. තව හොඳට හරි බරි ගැහිලා ඉඳගෙන ආයෙත් පටන්ගත්තා. එකපාරටම ෆෝන් එක එක සැරයක් දෙදරලා නතර වුනා. එස් එම් එස් එකක්. සුපුන්ද දන් නෑ. ගේම් එක නතර කරපු අරවින්ද අළුතෙන් ආපු පණිවිඩේ ඕපන් කළා.

"YOU STUPID SILLY IDIOT!"

මේ බඩ්ඩනෙ මේ. කැපිටල් අකුරෙන්ම ලියලා. අඩි දෙක තුනක් එහායින් ඉඳගෙන හිටපු දසුනි දිහා අරවින්ද ඇස් කොනෙන් බැලුවා. වගේ වගක් නැතුව ෆෝන් එක ඔබ ඔබ ඉන්නවා. ඉඳපං උඹට.

"YES, MY GORGEOUS LITTLE PRINCESS?"

අරවින්ද ආපහු ගේම් එක ගහන්න පටන්ගත්තා. දිනාගන්න ඔන්න මෙන්න තියෙද්දි ආපහු ෆෝන් එක දෙදරුවා. වීරයා යකාට අහු වුනා. චැහ්! ඒ ගමන මොකද්ද එවලා තියෙන්නෙ? "How did you know about my last week trip to the film hall with my friends?"

"Why do you want to know?" අරවින්ද අහලා යැව්වා.

හැරෙන තැපෑලෙන්ම උත්තර ආවා. "Because, the question is about ME, not about YOU."

"Oh yes! I forgot that. Sorry! Well, I met your cousin sister and my friend on that day and got to know that they had to postpone a trip to the dress maker because you were having classes. And on my way to home, I saw you coming out of Savoy with a bunch of nutty friends. Happy?"

ටික වෙලාවක් යනකල් අරවින්දට පාඩුවේ ගේම් එක ගහගෙන යන්න පුළුවන් වුනා.

"How did you know my age?"

දැන් දැන් අරවින්දට ඉවසීමේ සීමාව පැනගෙන එනවා. අහන්ඩ ඕනෙ එකක් මේ අඩි දෙකක් එහා පැත්තේ ඉඳගෙන අහන්නෙ නැතුව මළ සමයං කරනවා. "I asked from Avanthi. You want to know why? Because I was curious about you and I didn't want to play the damn nonsense of pride and prejudice!"

එක පාරට එහා පැත්තෙන් ඇහුණේ හුස්ම හිර වෙන සද්දයක්. අරවින්ද ඒ දිහා බැලුවා. යවපු වචන සැර වැඩියිද මන්දා. ඒත් ඒ මූණේ තිබ්බේ හිනාවක්. ආඩම්බරකාරි අරවින්ද දිහා බැලුවා. "අයියා ඒ පොත කියවලා තියෙනවද? මමනං ආසම පොතක් ඒක. ඩාර්සියි එලිසබතුයි නියමයි නේද? ඒ ජාතියෙ ක්ලැසික් නවල්ස් වලට මම හරිම ආසයි. අයියගෙ ආසම පොත මොකද්ද?" දසුනි කියවගෙන කියවගෙන ගියා.

අරවින්ද ඒ දිහා බලන් හිටියා. ඊලඟට දෙසැරයක් ඇස් පිල්ලම් ගැහැව්වා. "මොකද්ද ඇහැව්වේ? මම මේ ගෑණු ළමයෙක් එක්ක පොඩි චැට් එකක් දාගෙන හිටියේ."

දසුනි ලස්සනට හිනා වුනා. හරියට ඊයෙ වගේම. "මං දන්නවා ඒ බව. කියන්නකො අයියගෙ ආසම පොත මොකද්ද කියලා."

"ඇයි ඔයාට මං ගැන දැනගන්න ඕනෙ?" අරවින්ද බැට් කරන්න පටන් ගත්තා.

"අයියා ගැන නෙවෙයි මං මේ පොත් ගැන අහන්නේ." හිට් විකට් අවුට්.

"මේ, මම පොත් කියවන්න ආස නෑ. මං ඔය කියපු පොත කියවලවත් නෑ. මං දන්න ඩාර්සියෙකුත් නෑ, එළිසබතෙකුත් නෑ!"

"ඈ?"

"ඇයි මොකද?"

දසුනි ආයෙමත් අර ලස්සන හිනාව දැම්මා. "පොත් කියවන්න ආස නැත්තම් අයියගෙ හොබීස් මොනවද?" තීරණය තෙවැනි විනිසුරු අතේ.


අරවින්ද ආයෙත් ෆෝන් එක දිහා බලාගත්තා. "දැන් ඔය අහන්නෙත් මං ගැන නෙවෙයිද?"

"දැන්නං අහන්නේ ඔය stupid silly idiot ගැන තමයි."

"Well, I gave you the chance and you missed it."

"A second chance please?"

"No second chances."

දසුනි දිව දික් කරලා විරිත්තපු හැටි අරවින්ද ඇස් කොණෙන් දැක්කා. හිනාවෙන්න ඕනෙ වුනත් එයා හිනාව තද කරගෙන හිටියා. සද්දයක් නැතුව ගෙවුණ ටික වෙලාවකට පස්සේ කෙටි බැම්මෙන් නැගිට්ට දසුනි සුපුන්ලා හිටිය පැත්ත බැලුවා. "තාම කතාව ඉවරයක් නෑ වගේ."

අරවින්දත් ඒ පැත්ත බැලුවා. "හ්ම්."

"අයියත් සුපුන් අයියගේ වයසෙමද?"

ඔය එන්නෙ ආයෙමත් පොල් පැලේ දිහාවට. "හ්ම්," අරවින්ද කෙටියෙන් උත්තර දුන්නා.

"එක ඉස්කෝලෙද?"

"හ්ම්."

"ඒයි බකමූණෝ," දසුනි ඇවිත් අරවින්ද අතේ තිබ්බ ෆෝන් එකට එබුණා.

අරවින්ද සුටුස් ගාලා ඒක හංගගත්තා. "ඇයි මොකද?"

දසුනි අරවින්ද ළඟින් ඉඳගත්තා. "අයියා මීට කළින් වෙන ගෑණු ළමයි එක්ක යාළු වෙලා ඉඳලා තියෙනවද?"


අරවින්ද දසුනි දිහා බැලුවේ ඇස් දෙකත් ලොකු කරගෙන. "මොකක්?" දසුනි මේ වෙලාවේ එහෙම දෙයක් අහයි කියලා අරවින්ද කීයටවත් හිතුවෙ නෑ.

"නෑ මං ඇහැව්වේ, දැන් බලන්න සුපුන් අයියට වෙලා තියෙන දේ. ඒ වගේ මොනවාහරි අයියටත් කළින් තිබ්බද? මං ඇත්තට අහන්නේ."


අරවින්ද ටිකක් වෙලා දසුනි දිහා බලං හිටියා. "ඇයි ඔයාට දැනගන්න ඕනෙ කියලා මං අහන්න එපාද?"

"එපා."

"හරි එහෙනං." අරවින්ද ලොකු හුස්මක් ගත්තා. "කීප දෙනෙක්ම ඉඳලා තියෙනවා."


දසුනිගෙ මූණ කළු වෙච්ච හැටි අරවින්ද දැක්කා. "කීප දෙනෙක්ම කිව්වෙ? දහයක් පහළවක්?"

අරවින්ද හිනා වුනා. "අපොයි නෑ, එච්චර නෑ. දෙතුන් දෙනෙක් මං කිව්වෙ." දසුනි කල්පනා කරන්න පටන්ගත්තා. "හැබැයි බය වෙන්න එපා, ඔය සුපුන් කරගෙන තියෙන ඒවනං මං මුකුත් කරලා නෑ."

"හ්ම්..." දසුනි ආයෙත් කල්පනා කළා. "ඇයි ඒවා බ්‍රේක් වුනේ?"


අරවින්ද ආයෙමත් ලොකූ හුස්මක් ගත්තා. හිතේ උඩ පැන පැන නළියන හිනාව එළියට පිට නොවී තියාගන්න එයාට සෑහෙන්න මහන්සි වෙන්න වුනා. "පළවෙනියා නිෂාදි. එයාට මාව එපා කියලා මාව අත ඇරලා දැම්මා. මට මේ ලඟදිත් හම්බ වුනා. එයත් ඉන්නෙ ඔසී වල. එහෙ මගෙ යාළුවෙක්වම තමයි බැඳලා ඉන්නේ. සුද්දෙක්ව."

"කොයි කාලෙදිද එයත් එක්ක යාළු වෙලා හිටියේ?" දසුනිගෙ කටහඬ ඇහෙන නෑහෙන ගානයි.

"ගොඩාක් ඉස්සර."

"එතකොට අනිත් දෙන්නා?"

"දෙවෙනියා අනුරාධා. එයාවනං මමමයි එපා කියලා අත ඇරලා දැම්මේ. කච කචේ ඉවරයක් නෑ. අනිත් එක්කෙනා අනුෂ්කා, මේ ලඟක් වෙනකල්ම මට එයාවනං හිතෙන් අහක් කරගන්න බැරුව හිටියේ. හරිම හොඳ ළමයෙක්. ඒත් එයා ඒ දවස් වලම පවුල පිටින්ම රට ගියා. ඊට පස්සෙ අපිට හම්බවෙන්නවත් කතා කරන්නවත් විදිහක් තිබ්බෙ නෑ." අරවින්ද කතා කළේ අහසෙ පාවෙන වළාකුළු දිහා බලාගෙන.

දසුනි ගොඩක් වෙලා යනකල් සද්දයක් නැතුව හිටියා. ඊට පස්සෙ හෙමින් සැරේ කතා කළා. "අයියා මේ කියන්නේ ඇත්තම ඇත්ත නේද? මට බොරු කියනවා නෙවෙයි නේද?"

අරවින්ද දසුනි දිහා බැලුවා. "නෑ නංගි. මං ඒ කියපු හැම වචනයක්ම ඇත්ත."

"අයියට තාමත් ඒගොල්ලන්ව මතක් වෙනවද?"

"නෑ. මං තවත් ඒගොල්ලො ගැන හිතන්නෙ නෑ. මේ ලඟකදි ඉඳං මට හීනෙනුත් පේන වෙන එක්කෙනෙක් ඉන්නවා." අරවින්ද ඒ කිව්වේ දසුනි දිහාම බලාගෙන. ඒ කිව්වෙ කා ගැනද කියලා දසුනි දන්න බව අරවින්ද දන්නවා.

ඉස්සෙල්ලා තරමටම රතු නොවුණත් ලා රෝස පාටක් දසුනිගේ කම්මුල් වලට එකතු වුණා. "ඒත් අයියට එයාවත් එපා වුණොත්?"

අරවින්දට දසුනිගේ අතින් අල්ලගන්න හිතුණා. ඒත් බොහොම අමාරුවෙන් හිත පාලනය කරගෙන අරවින්ද ඔළුව වැනුවා. "එහෙම වෙන්නෙ නෑ දසූ. එයාට මාව එපා වුණොත් මිසක් මට එයාව එපා වෙන්නෙ නෑ." ලා රෝස පාට ආයෙමත් තද රතු ජම්බු ගෙඩියක පාටට හැරුණා. "මට මේ ටික ඔයාට කියන්න බැරි වුනානේ. නිෂාදි එක්ක මම යාළු වුනේ ඉස්කෝලේ තුන වසරෙදී." දසුනිගේ ඇස් දෙක ලොකු වෙන හැටි අරවින්ද දැක්කා. "අපේ ප්‍රයිමරි එක මික්ස්ඩ් එකක්. අනුරාධා එක්ක පහ වසරෙදි. අනුෂ්කාව හම්බ වුනේ අට වසරෙදි මැත්ස් ක්ලාස් යද්දි. සුපුනුත් දන්නවා ඒ තුන් දෙනාවම." දසුනි ඔළුවෙ අත ගහගත්තා. අරවින්ද හිනාවෙන්න පටන්ගත්තා. "ඒ ඇරෙන්න වෙන කවුරුවත්ම හිටියෙ නෑ. ප්‍රොමිස්."

"මෙයත් එක්ක කතා කරන්නනං වෙනම කෝස් එකක් කරලා එන්න වෙයි මට." දසුනිත් හිනා වෙවීම කිව්වා.

"වෙන කෝස් ඕනෙ නෑ, මමම උගන්නන්නං. කැමතිද?"

උත්තරයක් නොදීපු දසුනි කෙටි බැම්මෙන් බැහැලා සුපුන්ලා හිටපු පැත්ත බැලුවා. "අරවින්ද අයියේ! අන්න අරගොල්ලෝ එනවා!"


බැම්මෙන් නැගිට්ට අරවින්ද දසුනි ලඟට ආවා. "කැමතිද?" එයා නැවිලා කනට ලං වෙලා ආයෙමත් ඇහැව්වා.

දසුනි උත්තරයක් නොදීම හෙමීට ඇවිදගෙන අවන්තිලාව හම්බවෙන්න ඉස්සරහට ගියා.



12 comments:

  1. හ්ම්ම්ම් .......... කතාව 1 වෙනි කොටසේ ඉඳලා කියවගෙන ආවා .

    ReplyDelete
    Replies
    1. ඒකනේ, කතාව මුළ ඉඳං මතක් කරගන්නෙ නැතුව බෑනේ. ස්තූතියි වයලීනෝ. :)

      Delete
  2. ඩාර්සි.. එලිසබෙත්.. හම්මෝ ඉතිං.. පරණ යාලුවන්ගෙ නම් කියද්දිත් ආසයි.ආපහු පොත කියවන්න හිතුණා..

    ReplyDelete
    Replies
    1. ඒ නම් ලේසියෙන් අමතක වෙන්නෙ නෑ නේද? ස්තූතියි නංගි. :)

      Delete
  3. ඔන්න ඕකනෙ වෙලා තියෙන්නෙ..බොලාටත් පිටරට එකක් නං ඉහටත් උඩිං..ඩාසි සහ එළිසබෙත්...කෙහෙම්මල...ඩාසිල එළිසබෙත්ල නෙවෙයි බං අපේ දේශීය චරිත අගය කරන්ට පුරුදු වෙයල්ල.

    දැං බලාපං අර " සදාතනික ප්‍රේමයේ ලැව්ගින්න" කතාවෙ නිම්සර ප්‍රබාස්වර සහ නිලුපුල්නයනී ලෝහිතා ..එහෙමත් නැත්නම් " සෙනෙහස් ගඟුල ගලා ගියෙමි " කතාවෙ ස්වප්න මෝචන සහ අපිචර්මී ස්වේදග්‍රන්ථිකා..අන්න නියම ප්‍රේමවන්තයො. බොලා එයාලව දෙකේ කොලෙට දාල ඩාසිල එලිසබෙත්ල පස්සෙ දුවනව. ෂේම් ඔන් යූ..ෂේම් ඔන් යූ....

    ReplyDelete
    Replies
    1. මෙයා මේ මගුලක් කතා කරනවා. මම මෙතනට දාන්න හිටියෙ ඔය මොකවත් නෙවෙයි අනන්‍යාගෙයි රෝස්ට් කුකුළාගෙයි ප්‍රේම වෘතාන්තය ගැන. ආයෙ ටිකක් වෙලා කල්පනා කරගෙන යන කොට හිතුණා, නෑ නෑ, ඒක හරි යන්නෙ නෑ මෙතනට දාන්න ඕනේ ක්‍රිශ්ගෙයි අසෝකාගෙයි අනුවේදනීය අනබිභවනීය ප්‍රේම වෘතාන්තය ගැන, අර අනුස්කා කියලා තව කෙල්ලෙක් මැද්දට පැනලා ඒක තුන් කොන් පළහිලව්වක් කළා නේද? ඉතිං ඔය ඔක්කොම කල්පනා කර කර ලිය ලිය ඉන්න අතරේ මට නින්ද ගිහිල්ලානේ. ඇයි ඉතිං රෑ නිදි මරාගෙන බොහොම ඇප කැප වෙලා අපි ලිව්වෙ ඔව්වා. එහෙමයි කියලා මේ සී ඊ ඕ තුමෙක් ඉන්නවා අපිට ඕ ටී වත් ගෙවන එකක්යැ. ඉතිං කොහොමහරි නින්දෙදි හීනෙන් මට ඩාර්සිවයි ලිසීවයි පෙනිලද කොහෙද මං ඕක ඔහොම තමා ලියලා තියෙන්නෙ. :P

      Delete
    2. ඇයි තව අර හෙළ තලගොයි ප්‍රේම පුරාණය?

      Delete
    3. ආ, ඔව් නේ? අක්කේ ඒ තලගොයි කතාවෙ නේද අර පිට සක්වල ජීවියෙකුයි දඩයක්කාරියෙකුයි හිටියෙ? මගෙ මතකෙ හරිනං ඒ කතාන්දරේ පිටසක්වල ජීවියා අන්තිමට පොළොවේ බින්න බහිනවා. බැහැලා ඒ කාලේ පොළොවේ තිබ්බ දියුණු තාක්සනේ ගැන එහෙම ආපහු උන්දැගෙ ලෝකෙට පණිවිඩ යවනවා. පිටසක්වල ජීවියො ලඟ ආයෙ අපෙ වගේ වයර්ලස් තාක්සන නෑනේ, එයා පණිවිඩ යැව්වෙ හස්ත මුද්‍රාවෙන්. හරි නේ? අනේ ඒ තලගොයි දෙන්නාගෙ කතාව තමයි ඒ කාලේ මගේ ආසම කතාන්දරේ. ඇයි තලගොයි දෙන්නගෙ දෙබස්? හප්පා, කතාව පිරෙන්න දෙබස්. මේ බැට්ල් ඔෆ් විට්ස් මොකද්ද, අන්න එව්වනෙ දෙබස්. :D

      Delete
  4. මේ අරවින්ද ට බූට් එක තියල තීන්නෙත් එතකොට අනුෂ්කා නේහ් ! ඈ රවී අයියේ...මේ අර ඔයාට බූට් එක තියපු අංගනාවි ම වෙන්ටෑ?

    ReplyDelete
    Replies
    1. නැත නැත, මේ අනුස්කාව ගැන ලියනා විට ඒ අනුස්කාව සිතට නැගි නමුදු මේ අනුස්කාව ඒ අනුස්කාව නොවනා බව කරුණාවෙන් සලකන්න. :D

      Delete