Thursday 3 December 2015

සරණ බන්ධන.........7 - මෙහෙයුම

දසුනි උදේ පාන්දර දනිපනි ගාලා ලෑස්ති වුනේ යාළුවො එක්ක පාඩම් කරන්න කැම්පස් එකට යන්න. විභාගෙ ලබන මාසේ. කොණ්ඩෙ පීරන අතරෙදි රිංග් වෙච්ච ෆෝන් එක එයා ආන්සර් කළේ කෝල් එක කාගෙන්ද කියලවත් බලන්නෙ නැතුව. තමාලි වෙන්න ඇති නොවැරදීම. "හෙලෝ තමාලි! අනේ මං එනවා හොඳේ. ඔහොම ඉන්න. ඊයෙ අපෙ අක්කිගෙ වෙඩිං එකට ගිහින් ඇවිත් මහන්සියට නින්ද ගියා අනේ..." දසුනි කියාගෙන ගියේ තමාලි බණින්න පටන්ගන්න කළිං. ඒත් ඒ පැත්තෙන් සද්දයක් නෑ. "හෙලෝ! තමාලි!" දසුනි ෆෝන් එක කනෙන් ඈත් කරගත්තේ වොලියුම් වැඩි කරගන්න. එතකොට තමයි එයා ඩිස්ප්ලේ එක දිහා බැලුවේ. මළ කෙළියයි! මේ තමාලි නෙවෙයිනේ. වෙන මොකද්ද දන්නෙ නැති නම්බර් එකක්! දසුනිගෙ කටේ කෙළත් හිඳුනා. දසුනි පාට් ටයිම් ජොබ් එකකට ඇප්ලයි කළේ මේ ගිය සතියෙ. එතනින්ද දන්නෙත් නෑ. හාපෝ! විනාසයි! ෆෝන් එක ආපහු කනේ තියාගත්ත දසුනි සාන්ත දාන්ත විනීත කටහඬකින් කතා කළා. "හෙලෝ!"

"දසුනි?"

"යස්, ස්පීකිං?"

"නංගි, මම අරවින්ද." දසුනිගෙ හුස්ම හිර වුනා. එයා දන්න එකම එක අරවින්ද කෙනයි ඉන්නේ. කටහඬත් ඒ කටහඬම තමයි. ඒත් ඒ අරවින්දට දසුනිගේ නම්බර් එක ලැබුණේ කොහොමද? අවන්ති අක්කගෙන් ඉල්ලගත්තද දන්නෙ නෑ. හිත යටින් කැමැත්තක් තියෙන කෙනෙක්ගෙන් නොහිතපු වෙලාවක කෝල් එකක් ආවාම දැනෙන විදිහටම දසුනිගේ මූණ රතු වෙලා බෙල්ල දිගට සීතලක් ඇදිලා ගියා. පපුව ගැහෙන සද්දෙ එළියටත් ඇහෙන තරං.

"අරවින්ද අයියා?" දසුනි අමාරුවෙන් කටට පණ දුන්නා. ඒත් කෙළ හිඳිච්ච කටෙන් කතා කරගන්නත් අමාරුයි.

"නංගි ලොකු උදව්වක් ඕනේ."

මෙයාට මොකද්ද මගෙන් ඕන උදව්ව. අනික එයාට කොහෙන්ද මගෙ නම්බර් එක? මම දුන්නෙ නෑනේ. ඒක කොහෙන්ද ලැබුණෙ කියලවත් කියන්නෙ නැතුව මේ මොනවද කියන්නේ? මම ඇහුවොත් මොකද.

"මට නෙවෙයි, සුපුන්ටයි අවන්තිටයි." අරවින්ද ආයෙමත් කතා කළා.

"මගෙ නම්බර් එක අයියට දුන්නේ අවන්ති අක්කද?" දසුනිට එහෙම නාහා ඉන්න බැරි වුනා. ඒත් ඉන් පස්සේ ගෙවුණ නිහඬ තත්පර ගාණ ඇතුළතදි දසුනිට හිතුණේ එහෙම ඇහැව්වේ අපරාදේ කියලයි. ඒක නපුරු ප්‍රශ්නයක් වාගෙ දැනුණද දන්නෙ නෑ.

"ඔයාගෙ මල්ලිගෙ ෆෝන් එක මං ගාව. ඒකෙ තිබ්බේ." දසුනි හිතුවා හරි. කටහඬ පොඩ්ඩක් වෙනස් වෙලා. එයා කියපු දේ ගැන දසුනිගේ හිත යොමු වුනේ ඊට පස්සෙ. මල්ලිගෙ ෆෝන් එක? එහෙනං ඒක තමයි මේ. ඊයෙ රෑ තිස්සේ හංගගෙන ඔබ ඔබ ඉන්නේ මොකද්ද කියලා දසුනි කොච්චර හොයාගන්න හැදුවත් මල්ලිගෙන් ඒකට ඉඩක් ලැබුණෙ නෑ.

"අයියගෙ ෆෝන් එක මල්ලිට දුන්නද?"

"ඔව්."

"ඇයි ඒ?"

"දසුනි, අවන්තියි සුපුනුයි ලොකු අවුලක ඉන්නේ. ඒ දෙන්නට උදව් කරන්න මට ඔයාගෙ උදව් ඕනේ."

දසුනි අහපු ප්‍රශ්නෙට උත්තරයක් ලැබුණෙ නැතත් අරවින්ද අයියා කතා කරන්නේ බරපතල දෙයක් ගැන කියන එක දසුනිට තේරුණා. ඊයේ වෙඩින් එක වෙලාවේ වෙච්ච කලබලේ ඉවරයි කියලා දසුනි හිතං හිටියට එහෙමම වෙලා නැති පාටයි. "ඇයි අයියේ, මොකද වෙලා තියෙන්නේ?"

"ඒක මෙහෙම කියන්න බෑ. මට ඔයාව හම්බවෙන්න පුළුවන්ද?"

ටික ටික සැහැල්ලු වේගෙන එමින් තිබ්බ දසුනිගේ පපුව ආයෙම කෝච්චි එන්ජිමක් වගේ දුවන්න පටන් ගත්තා. අරවින්ද අයියගේ හිතේ තමුන් ගැන මොනවා හරි දෙයක් තියෙන බව දසුනිට ඊයේ පැහැදිලිවම තේරුණා. දසුනිගේ හිතේ තියෙන දේත් එයාට ඒ වගේ තේරිලා ඇත්ද? මේ හදන්නේ බොරුවක් කියලා ඇවිදින්න එක්ක යන්නද? එයාගෙන් යාළු වෙන්න අහන්නද? නැත්තං ඇයි මේ දසුනිටම අඬගහන්නේ? රතු වෙලා තිබ්බ මූණ තවත් රතු වෙනවා දසුනිට කණ්ණාඩියෙන් පෙනුණා.

"ඊයෙ වෙච්ච දේ ඒ දෙන්නා ඇරුණාම දන්නෙ ඔයයි මමයි විතරයි. ඒකයි මට ඔයාගෙ උදව් ඕනේ. ඒ ගැන තවත් කාටවත් කියන්න බෑ."

දසුනි පා වෙවී හිටිය වළාකුළෙන් බිමට ඇදගෙන වැටුණා. ඔව්නේ. මේ ඇත්තටම අවන්ති අක්කලාගේ වැඩකටම වෙන්න ඇති. ඊයෙ වෙච්ච දේ ගැන වෙන කාටවත් කියන්න බෑනේ. මටත් හිතෙන ඒවා. හිතට දැනුණ සැහැල්ලුවත් එක්ක මූණේ තිබ්බ රතු පාට ටික ටික අඩු වේගෙන යද්දි දසුනිට පොඩි දුකකුත් නොදැනුණාම නෙවෙයි. එයා මොකටද මගෙන් යාළු වෙන්න අහන්නේ. එයාට ඔසී වලදි හම්බවෙන්න ඇති ඕන තරං ලස්සන කෙල්ලෝ.

"ඔයාට උදේ වැඩද?" අරවින්දගේ වෙනස් වෙලා තිබ්බ කටහඬට තවත් මොකද්දෝ පසුබාපු ගතියකුත් එකතු වෙලා.

"යාළුවොත් එක්ක පාඩම් කරන්න යන්න කියලා හැදුවේ අයියේ."

"එහෙමද." සද්දයක් නැතුව තව ටික වෙලාවක් ගෙවුණා. "සුපුන්ගේ පරණ අෆෙයාර් එකක් ගැන අවන්ති ඊයෙ දැනගෙන. ඊයෙ අවන්ති හදිසියෙම ගිහින් තියෙන්නේ ඒ ගර්ල්ව හම්බවෙන්න. එයා හොඳටම අවුලෙන් ඉන්නේ. ඊයෙ මහ රෑ සුපුන් මට කතා කළා. පාන්දර දෙකහමාරට තුනට විතර. මට ඔයාට මෙහෙම කියන්න බැරි ප්‍රශ්නෙකුත් එතන තියෙනවා. මම සුපුන්ට ඊයෙ කිව්වා අද උදේ එන්නං කියලා. ඒත් මට සුපුන් එක්ක තනියම කතා කරන්න ඕනේ. ඒ වෙලාවෙදි අවන්ති එක්ක ඔයාට පොඩ්ඩක් ඉන්න පුළුවන්ද කියලා අහන්නයි මම කතා කළේ." නංගි, දසුනි, ආමන්ත්‍රණ මුකුත් නෑ. තරහෙන් කතා කරනවා වාගේ කතා කරන්නේ මෙයා. මම මොන වැරැද්දක් කළාටද? "කමක් නෑ, ඔයා පාඩම් කරන්න යන්න." උත්තරයක් නොදී දසුනි කල්පනා කරන අතරෙදි අරවින්ද ආපහු කිව්වා.

"අවන්ති අක්කලා කොහෙද ඉන්නේ?"

"මං ඊයෙ කිව්වේ මං ඒගොල්ලෝ නතර වෙලා ඉන්න ගෙස්ට් හවුස් එකට එන්නං කියලා. ඒත් ඔයා එනවනං මං කියන්නං ඒ දෙන්නට බෝධිරාජ පන්සලට එන්න කියලා. ඔයාටත් එන්න ලේසියිනේ එතනට?" ඒ ගමනනං යාන්තං පණක් ඇවිල්ලා කටහඬට.

දසුනි තොල් දෙක මාරුවෙන් මාරුවට හප හප කල්පනා කළා. "මට ගෙදරට බොරු කියලා එන්න වෙන්නෙ අයියේ..."

ඒ ගමන ඇහුණේ සමච්චල් හිනාවක්. "අනේ බබා! මීට කළින් බොරුවක් කියලම නැතුව ඇති ගෙදරට!"

දසුනිට ඒ වතාවෙදිනං හොඳටම තරහා ගියා. මෙයා මං කවුරු කියලද හිතාගෙන ඉන්නේ? "නෑ තමයි!!!"

"හා! එතකොට අර ගිය සුමානේ ක්ලාස් කැන්සල් වෙච්ච වෙලාවේ යාළුවොත් එක්ක ෆිල්ම් බලන්න ගියේ ගෙදරට කියලද?" දසුනිගෙ ඇස් දෙක පීරිසි දෙකක් වගේ ලොකු වුනා. මෙයා කොහොමද ඒ ගැන දන්නේ? "අපිට ඕවා ආරංචි වෙනවා නංගි, හරි???"

"මං ගිහින් ඇවිත් අම්මලාට කිව්වනේ..."

"හරි හරි, ඒවයෙන් වැඩක් නෑ. දැන් ඔයා එනවද?" ආපහු සීරියස් කටහඬ.

බෝධිරාජ පන්සලට යන එකනම් මහ දෙයක් නෙවෙයි. තමාලිනං පොඩ්ඩක් බණියි. ඒකට මොකද. ඒ වුනාට මෙයාගෙ ආඩම්බර බලාපල්ලකෝ. එන්න බෑ කියලා කියන්න ඕනේ. ඒත් පව් අවන්ති අක්කා. ඊයෙත් එයා හොඳටම අප්සෙට් එකෙන් හිටියේ. සුපුන් අයියගෙ පරණ අෆෙයාර් එකක්? හ්ම්... මේ යාළුවටත් පරණ අෆෙයාර් තිබ්බද දන්නෙ නෑ. මොකද්ද මේ මෙහෙම කියන්න බැරි ප්‍රශ්නෙ?

"දසූ..." තව ටිකෙන් දසුනිගෙ අතෙන් ෆෝන් එකත් අත ඇරෙනවා. දසූ? "ප්ලීස්. ඔයාගෙ අක්කටයි, මගේ යාළුවටයි මේ වෙලාවේ අපේ උදව් ඕනේ. අපි දෙන්නා ඇර වෙන කවුරුවත් ඊයෙ වෙච්ච දේ දන්නෙ නෑ, එහෙම දැනගත්තොත් ඒක ඒ දෙන්නට හොඳ නෑ. ප්ලීස් නංගි?"

අන්න එහෙම එන්නකො අයියා. දසුනිට හිනාවක් ගියා. "හරි මං එන්නං පන්සලට. කීයටද?"

"නවයට?"

"අක්කලාව හම්බ වෙලා කතා කළාට පස්සෙ මට ආපහු කැම්පස් එකට යන්න පුළුවන් නේද?"

"ඔව්, බලමු."

"හරි එහෙනං. මම යාළුවට කතා කරලා කියන්න ඕනේ උදේ එන්නෙ නෑ කියලා. නවයට එන්නං පන්සලට. බායි." දසුනිත් ආමන්ත්‍රණ මුකුත් නැතුව කතා කළා. එයාට විතරයැ එහෙම පුළුවන්?

"ඕකේ දසූ. සී යූ."

ඒ කෝල් එක ඉවර වෙලා අනිත් අතට තමාලිට කෝල් එකක් ගත්ත දසුනි පාඩම් කරන්න එන්න පරක්කු වෙන බව කියලා, බැණුමකුත් අහලා, කැම්පස් යන විදිහටම අම්මටයි තාත්තටයි කියලා පාරට බැස්සා. වෙනදා යන බස් හෝල්ට් එකටම ගිහින් කැම්පස් යන බස් එක මග ඇරලා බෝධිරාජ පන්සල පැත්තට යන බස් එකේ නැග්ගා. කවුරුත් දකියිද? කමක් නෑ, මං වැරදි වැඩකට යන්නෙ නෑනේ. අක්කලාගෙ ප්‍රශ්නෙ විසඳගත්තට පස්සේ ඕනනං හෙමින්සැරේ අම්මලාට කියන්න බැරියැ.

විනාඩි විස්සක විතර ගමනකින් පස්සේ දසුනි බස් එකෙන් බැස්සා. අක්කලා ඇවිත් ඇත්ද දන්නෙ නෑ. මේ වෙලාවේ අක්කට කෝල් එකක් දුන්නොත් මොකද? එක්කො ඕන නෑ. එයාලා එනකල් මං පන්සල ඇතුළට වෙලා ඉන්නවා. පන්සලට යන්න පාර මාරු වෙන්න ඕනේ. හෝල්ට් එක ලඟින් ආපස්සට ටිකක් දුර ඇවිදගෙන ගිය දසුනි කහ ඉර ලඟට ඇවිත් පාරෙන් අනිත් පැත්ත බැලුවා. ආපහු සැරයක් උදේ වගේ මූණ රතු වෙනවා දසුනිට දැනුණා. මෙච්චර කාලෙකට තිබ්බෙ නැති ලෙඩක්. ඊයෙන් පස්සෙ තමයි මේ ඔක්කොම. ඒ ලෙඩේට හේතු වෙච්ච කෙනා අර ඉන්නේ පාරෙන් අනිත් පැත්තේ විරිත්තගෙන. ඒ මූණ දැකපු දසුනිටත් හිනා නොවී ඉන්න බැරි වුනා. වාහනයක් යනකල් බලා හිටපු දසුනි අනිත් වාහනේ එන්න කළින් අත දික් කරලා කහ ඉර උඩින් දුවගෙන ගියා. පාර දෙකට මැදින් වෙන් වෙච්ච පටු තීරුව උඩට ගොඩ වෙලා ආපහු ඉස්සරහා බලපු දසුනි දැක්කේ හිනාව අතුරුදහන් වෙලා ඔරෝගෙන ඉන්න මූණක්. අත් දෙකත් ඉණේ. ඒ මොකද කියලා දසුනිට තේරුණා. පාරේ ඉතුරු ටික එයා පැන්නේ බොහොම පරිස්සමෙන්, ඔක්කොම වාහන ටික යනකල් විනාඩි දෙකක් විතර බලා ඉඳලා. පොඩි ඉඩක් හම්බ වුණත් පැන්නෙ නෑ. අන්තිමේදී පාරෙන් අනිත් පැත්තට පැනපු වෙලාවෙත් අර මූණේ වෙනසක් නෑ.

"කෝ අක්කලා ආවද?" දසුනි දැක්කේ නෑ වගේ ඇහැව්වා.

"ඔහොමද පාර පනින්නේ?" එයත් ඒක ඇහුන් නෑ වගේ ඇහැව්වා.

"නැත්තං වෙන කොහොමද?" 


"ඇති අවුරුදු විසි දෙකක් පණ රැකගෙන හිටියා."

හහ්, වයසත් හොයාගෙන. "ඉතිං මං මේ ඉතුරු ටික පරිස්සමෙන් පැන්නේ?"

"ඒ ටික පනින්න මොකටද එච්චර වෙලාව ගත්තේ?"

ඒ ගමන දසුනිත් අත් දෙක ඉනේ තියාගත්තා. "දැන් මට එන්න කිව්වෙ මෙතන ඉඳං රණ්ඩු වෙන්නද?"


තව තත්පර දෙකක් ඔරෝගෙනම හිටපු අරවින්ද ආපහු හැරිලා පන්සල පැත්තට යන්න පිටත් වුනා.

දසුනිත් අඩි දෙකක් විතර පිටිපස්සෙන් ඇවිදගෙන ගියා. මහා ආඩම්බරකාරයෙක්, හුහ්! පන්සල ඇතුළට යනකල් දෙන්නගෙන් එක්කෙනෙක්වත් කතා කළේ නෑ. එක අයිනක සුපුන් අයියගේ වාහනේ නවත්තලා තියෙනවා දසුනි දැක්කා. "අක්කලා ආවද," අන්තිමේදි දසුනි ඇහැව්වා.

"ඔව්. මං ගිහින් එක්කං ආවා. බෝධිය ලඟ ඇති. මං වාහනේ හෙවණෙන් දාලා එන්නං. අතන අව්වයි. බෑග් එක වාහනෙන් දාන්න ඕනෙනං දෙන්න." දසුනි දීපු බෑග් එකත් අරගෙන අරවින්ද වාහනේ දිහාවට ඇවිදගෙන ගියා. දසුනි හෙමින් හෙමින් බෝධිය පැත්තට ගියා. සමහර දවස් වලට සෙනග පිරිලා ඉන්න පන්සලක් වුනත් ඒ වෙලාවේ එච්චර සෙනග හිටියෙ නෑ. අවන්ති අක්කා බෝධිය ලඟ බිම ඉඳගෙන ඇස් පියාගෙන වැඳගෙන ඉන්නවා දසුනි ඈතදිම දැක්කා. ඊට එහා පැත්තෙ සුපුන් අයියා පහන් වැට ගාව හිටියේ පහන් පත්තු කර කර. දසුනිව දැකලා ඔළුව උස්සලා බලපු සුපුන් අයියා ආයෙ බිම බලාගත්තා. එයාගෙ මූණෙ තිබ්බේ ලොකූ වැරැද්දක් කරපු කෙනෙකුගේ පෙනුමක්. දසුනිට එයා එක්ක කේන්ති ගියා. එයාට බැරි වුනාද වෙඩිං එකට කළින් අවන්ති අක්කට මේ දේවල් ගැන කියලා තියන්න. එහෙම වුනානං මේ කිසි ප්‍රශ්නයක් නෑනේ. පව් අවන්ති අක්කා, එයා කොච්චර අහිංසකයිද.
 

දසුනි හෙමින් හෙමින් අවන්ති ලඟට ගියා. අවන්ති ඇස් ඇරියා. දසුනිව දැක්ක වෙලාවේ එයාගේ ඉදිමිලා තිබ්බ ඇස් දෙකේ ආයෙමත් කඳුළු පිරෙන්න පටන්ගත්තා. ඉක්මණටම අවන්ති අක්කා ලඟින් බිම වාඩි වෙච්ච දසුනි එයාගෙ අත් දෙකෙන් අල්ලගත්තා. "අනේ ඔහොම අඬන්න එපා අක්කි."

අවන්ති තොල් දෙක තද කරගෙන ඇස් පියාගෙන ඇඬිල්ල නවත්තගන්න හැදුවත් ඒක කරගන්න බැරි වුනා. දසුනිගේ උගුරෙත් මොනවදෝ හිර වෙලා වගේ එයාට දැනුණා. "සුපුන් මාව රැවැට්ටුවා නංගි... එයා මට බොරු කළා..."

"අක්කි අඬන්නෙ නැතුව ඉන්නකෝ. මම හරියටම ඔක්කොම විස්තර දන්නෙ නෑ. උදේ අරවින්ද අයියා කෝල් කරලා කිව්වා ඔය දෙන්නාට ප්‍රශ්නයක් තියෙනවා කියලා, එයා සුපුන් අයියා එක්ක කතා කරනකල් ඔයත් එක්ක ටිකක් වෙලා ඉන්න මට එන්න කියලා... මොකද්ද අක්කි වුනේ?"

"සුපුන්ගෙ පරණ ගර්ල් ෆ්‍රෙන්ඩ්ව මට ඊයෙ හම්බ වුනා නංගි. ඒ අෆෙයාර් එක අවුරුදු හතරකට විතර කළින් බ්‍රේක් වෙච්ච එකක්. සුපුන් මට කළින් ඒ ගැන කියලා තිබ්බෙ. ඒකෙ ප්‍රශ්නයක් නෑ, එයා ඒ ගැන අමතක කරලා හිටියෙ. මට එහෙම කිව්වා. සුපුන්ගේ ගෙදරින් කැමති වෙලා නෑ එයාට. ඒකයි. ඒ ගර්ල් රට ඉඳලා නිවාඩුවකට ඇවිත් ඊයේ අපේ වෙඩිං එක තිබ්බ හොටේල් එකේ නතර වෙලා ඉඳලා තියෙන්නේ. ඒ සුපුන්ගේ වෙඩිං එක කියලා එයා අහම්බෙන් දැකලා මට කතා කළා විශ් කරන්න. මම දවල් හදිසියෙම ගියෙ එයාව හම්බවෙන්න. මට ඕනෙ වුනා හැම දේම දැනගන්න. එයාට පුතෙක් ඉන්නවා නංගි." අන්තිම ටික කියද්දී අවන්තිගේ ඇඬිල්ල ආයෙමත් වැඩි වුනා.

ඊයේ හදිසියේම එහෙම එළියට ගිහින් ආවට පස්සේ අවන්ති අක්කා හිටපු විදිහ දසුනිට මතක් වුනා. ඇත්ත, ඔහොම දෙයක් දැනගත්තට පස්සේ කාටද අඬන්නෙ නැතුව ඉන්න පුළුවන්. එයා පහන් වැට දිහාව හැරිලා බැලුවා. සුපුන් අයියා එතන නෑ. ඉන් ටිකක් එහා ඝණ්ඨාර කුළුණ ලඟ පඩියක් උඩ එයයි අරවින්ද අයියයි ඉඳගෙන හිටියා. දෙන්නගෙම මූණු කළු වෙලා. එකපාරටම අරවින්ද ඔළුව උස්සලා බලපු වෙලාවේ දසුනි ඒ දිහා බලාගෙන ඉන්නවා දැක්කා. දසුනි ඉක්මණටම ආපහු අවන්ති අක්කා දිහාවට හැරුණා.

"සුපුන් අයියා මොකද කියන්නේ ඉතින්?"

"ඒ බබා සුපුන් වාගෙමයි නංගි. එයාගෙ ඇස් දෙකමයි තියෙන්නේ. ඒකයි මට ඉවසගන්න බැරි වුනේ. ඒත් මගේ හිතේ පොඩි බලාපොරොත්තුවක් තිබ්බා සුපුන් වැරැද්දක් කරලා නැතුව ඇති කියලා. ඒ වෙන බබෙක් වෙන්න ඇති කියලා. මං ඊයෙ රෑ එයත් එක්ක කතා කළා මේ ගැන. මං සමන්තාව හම්බ වෙච්ච බවයි, අපි කතා කරපු දේවලුයි, පුතා ගැනයි ඒ ඔක්කොම කිව්වා. ඊට පස්සෙ එයාගෙන් මං ඇහැව්වා මොකද්ද ඇත්ත කියලා. එයා වැරැද්ද පිළිගත්තා නංගි. එයා... සමන්තා එක්ක..." ඊලඟට අවන්ති ඔළුව හයියෙන් දෙපැත්තට වැනුවා. "ඔයා තාම පොඩියි නංගි, ඔයාට මේවා තේරෙන්නෙ නෑ."

දසුනි මොනවා කියන්නද කියලා හිතාගන්න බැරුව බලාගෙන හිටියා. ඒත් එයාට අවන්ති අක්කා කියපු දේවල් තේරුණේ නැත්තෙ නෑ. "ඒ කියන්නේ ඒ බබා සුපුන් අයියගෙද?"

අවන්ති ආයෙමත් ඔළුව දෙපැත්තට වැනුවා. "දන්නෙ නෑ. සුපුන් දන්නෙත් නෑ. ඒ ගැන සමන්තා මුකුත් කිව්වෙත් නෑ. මම ඇහැව්වෙත් නෑ. සුපුන් දැනගෙන ඉඳලත් නෑ සමන්තාට බබෙක් ඉන්න බව. ඒත් නංගි-" අවන්ති ලොකු හුස්මක් ගත්තා. "ඒ බබා සුපුන් වාගේ. වයස අවුරුදු හතරක් විතර වගේ. ඉතිං එතකොට? ඒක වෙන්න බැරි නෑනේ?"

ලොකු හුස්මක් හෙලපු දසුනි ටිකක් වෙලා කල්පනා කළා. "ඉතින් අක්කි මොකද කරන්න හිතුවේ දැන්?"

"මං දන් නෑ නංගි. මට මුකුත් හිතෙන්නෙ නෑ. මට හැමදේම එපා වුනා. පව් මගෙ අම්මයි තාත්තයි."

දසුනි අවන්ති අක්කාගේ අත මිරිකුවා. එයාගෙ හිත හැදෙන විදිහට කියන්න පුළුවන් මොනවගේ දෙයක්ද කියලා දසුනිට හිතාගන්න බෑ. "අක්කිට මොනවද කරන්න ඕනේ?"

"මං දන් නෑ."

"සුපුන් අයියට සමාව දෙන්න අක්කිට බැරි වෙයිද?"

අවන්ති ඔළුව උස්සලා දසුනි දිහා බැලුවා. ඊලඟට ආයෙත් බිම බලාගත්තා. "පුළුවන්නම් මම එහෙම කරනවා. ඒත් සුපුන් හින්දා ඉපදිච්ච දරුවෙක් මේ ලෝකෙ ඉන්දැද්දි, ඒ දරුවා එක්ක ඒ අම්මා තනියම ඉන්දැද්දි මම කොහොමද නංගි සුපුන් එක්ක සතුටෙන් ඉන්නෙ?"

"ඉතින් අපි හරියටම දන්නෙ නෑනේ ඒ බබා සුපුන් අයියගෙමද කියලා?"

"එහෙම නොවෙන්න හේතුවක් නෑ. සමන්තා තාමත් ආදරේ සුපුන්ට. අනික ඒ අවුරුදු හතරකට කළින් ඉපදිච්ච බබෙක්. ඒ වෙන කාගෙවත් බබෙක් වෙන්න බෑ. අනික ඒ දෙන්නා අතර එහෙම දෙයක් වෙච්ච බව සුපුන්ම පිළිගත්තනේ." අවන්ති අක්කා කතා කළෙත් ඔළුව දෙපැත්තට වන වන.

දසුනි ආයෙමත් කතා කරන්න කට ඇරියත් ඒ වෙලාවේදී එතනට සුපුනුයි අරවින්දයි ආවා. "අවන්ති," අරවින්ද අයියා කතා කළා.

අවන්ති අක්කා ඒ දෙන්නා දිහා බැලුවෙවත් නෑ. "යාළුවාගෙ වැඩ ගැන ඔයාවත් දැනගෙන හිටියෙ නැද්ද අරවින්ද? ඇයි එයාට මේ විදිහට මාව රවට්ටන්න දුන්නෙ?"




අරවින්ද අයියා ඒ ගැන මුකුත් දැනගෙන හිටියෙ නෑනේ, දසුනි හිතුවේ එයා ඒ ගැන කියයි කියලා. ඒත් ඒ වෙනුවට එයා දුන්නේ දසුනිට කේන්ති යන විදිහේ උත්තරයක්: "සුපුන් හිතා මතා ඔයාව රැවැට්ටුවේ නෑනේ අවන්ති. එයා ඒ ගැන සම්පූර්ණයෙන්ම අමතක කරලා දාලා හිටියේ. ඔයානෙ ඊයෙ ගිහින් සමන්තාව හම්බ වෙලා මේ ඔක්කොම අළුත් කරගත්තේ."

දසුනි අරවින්ද දිහා බැලුවේ ඔරවලා. මෙච්චර දුකෙන් ඉන්න අවන්ති අක්කට එයා කොහොමද එහෙම කතා කරන්නේ? "මචං, අවන්තිට සමන්තානේ මුළින් කතා කළේ," සුපුන් අයියත් කතා කළා. "ඒකනේ එයා හම්බවෙන්න ගියේ. ඔහොම කතා කරන්න එපා."

"එයා මට කතා කළත් නැතත්, මං එයාව හම්බවෙන්න ගියත් නැතත් සුපුන් හින්දා එයාට ඉපදිච්ච ළමයෙක් ඉන්නවා කියන එක වෙනසක් වෙන්නෙ නෑනේ?" අවන්ති අක්කා කතා කළේ බිම බලාගෙනම. ඒත් එයාගේ හිතේ තිබ්බ දුකයි කේන්තියයි ඔක්කොම ඒ වචන වල තිබුණා.

"කොහොමද දන්නේ ඒ සුපුන්ගෙම පුතා කියලා? සමන්තා එහෙම කිව්වද?" අරවින්ද අයියා ආයෙමත් ඇහැව්වා.

"නෑ," අවන්ති අක්කා ඔළුව වැනුවා. "ඒත් මේ ඇස් දෙක එහෙමම එයාට තිබ්බා." අවන්ති අක්කා පළවෙනි වතාවට ඔළුව උස්සලා සුපුන් අයියා දිහා බලලා ඇඟිල්ලත් එයාගෙ පැත්තට දික් කරලා කිව්වා.

"අවන්ති, ඔයාට බැරිද සුපුන්ට සමාව දෙන්න?" දසුනි අහපු එකම අරවින්ද අයියත් ඇහැව්වා.

"අරවින්ද හිතනවද මට සුපුන් එක්ක සතුටෙන් ඉන්න පුළුවන් වෙයි කියලා? මේ ඔක්කොම ඇත්ත හිතේ තියෙද්දි?"

"අවන්ති, ඔයාට කැමති තීරණයක් ගන්න. මං විරුද්ධ වෙන්නෙ නෑ." සුපුන් අයියා කිව්වා. දසුනිට නැගිටලා එයාගෙ හොම්බට දෙකක් අනින්න හිතුණා.

"මේ ඕයි," අරවින්ද අයියා කතා කළා. "මං හදන්නේ උඹලා දෙන්නව සමාදාන කරන්න. සමන්තාට ආයෙ උඹලා මැද්දට එන්න දෙන්න එපා. එයාගෙත් එහෙම බලාපොරොත්තුවක් නෑ මට තේරෙන විදිහට. එහෙම නේද අවන්ති? සමන්තාට එහෙම ඕන කමක් තිබ්බෙ නෑනේ?"


අවන්ති අක්කා ඔළුව දෙපැත්තට වැනුවා. "මං කතා කරන්න එනවටවත් එයා මුලදි කැමති වුනේ නෑ."

අරවින්ද අයියා ආපහු සුපුන් අයියා දිහාවට හැරුණා. "ඒකනෙ බං. ඒ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දීලා උඹලා දෙන්නා හොඳින් ඉඳපං."

සුපුන් අයියා ඇස් දෙකත් තද කරලා පියාගෙන එක අතකින් නළල අල්ලගෙන කල්පනා කළා. "මට ආයෙ සමන්තා ගැන හිතන්න ඕන කමක් නෑ. ඒත් මට දැනගන්න ඕනේ ඒ මගේ පුතාද කියලා. මං උඹට ඊයෙ කිව්වේ. එහෙම කෙනෙක් මේ ලෝකේ ඉන්නවානං ඒ බව අවන්තිට වගේම මටත් අමතක කරලා දාලා ඉන්න බෑ."

අවන්ති අක්කා ආයෙමත් අඬන්න ගත්තා. දසුනි හිටගෙන එයාවත් නැගිට්ටවගත්තා. ආදරේ කරන එක මෙච්චර අමාරුද? කසාද බඳිද්දි මේ තරං ප්‍රශ්න වලට මූණ දෙන්න වෙනවද? එහෙනං මේ ඉන්න විදිහටම ඉන්න එක හොඳයි.

"ඉතිං උඹ මෙච්චර කල් හිටියේ?" අරවින්ද අයියා ආපහු ඇහැව්වා.

"ඒ එහෙම දෙයක් මම දැනගෙන හිටපු නැති නිසා."

අරවින්ද අයියා ඔළුව දෙපැත්තට වන වන කල්පනා කළා. "ඒත් දැන් කොහොමද ඒක හරියට දැනගන්නේ?" ඊලඟට එයා අවන්තියි දසුනියි දිහාවට හැරුණා. "අපි දෙන්නා කතා කළා හොටේල් එකට. ඒගොල්ලෝ ඊයෙ රෑ එහෙන් පිටත් වෙලා. එයාගෙ කන්ටැක්ට් නම්බර් එකක්වත් හොටේල් එකෙන් දුන්නෙ නෑ."

අවන්ති අක්කා ලොකූ හුස්මක් හෙලුවා. "මං ගාව තියෙනවා," එයා බොහොම උදාසීන කටහඬකින් අහක බලාගෙන කිව්වා.

අරවින්දයි සුපුනුයි මූණට මූණ බලාගත්තා.




10 comments:

  1. ඔයා කතාව පණ පිහිටුවලා ලියනවා.
    මේවා කටාර් වල උණුවෙලා වැක්කෙරෙන බටර් වගේ නෙවෙයි කියවද්දි හිතට දැනුන දේ.

    ඔය බටර් අයියලා අක්කලා අමතක කරලා ඔයා දිගට මේක ලියාගෙන යන්න සිත්තමී. අර එදා කොටස කියවන්න ගිහින් කතාව නැව්තුන තැන මතක් කරගන්න සෑහෙන වෙලාවක් ගියා. ඔයා ආයෙ එහෙම වෙන්න දෙන්න එපා

    ReplyDelete
    Replies
    1. කටාර් වල උණු වෙලා වැක්කෙරෙන බටර් වලින් මීට වඩා ගොඩාක් ලස්සන කතන්දර ලියලා තියෙනවා සඳු. ඒගොල්ලෝ බටර් ගගා කියන දේම නේන්නං ඔයත් මට මේ කියන්නේ. :)

      හරි හරි, කමක් නෑ. කොහොමත් මම දැන් හිතාගෙන ඉන්නේ මේක ඉවරයක්ම කරලා දාන්න තමයි. ඔන් යුවර් මාර්ක්, ගෙට් සෙට්, රෙඩී, ගෝ! ඔන්න මට චියර් කරන්න එන්න හොඳද. ලියන්න පටන්ගත්තට පස්සේ මට බ්‍රේක් නැති වෙන ලෙඩක් තියෙන නිසා මේකේ තව කොටස් කීයක් ලියවෙයිද දන්නෙ නෑ. :)

      ගොඩාක් ස්තූතියි සඳු කමෙන්ට් එකට. :)

      Delete
    2. මම මුල සිට අගට " අන්දර මල්දම" කියවලා තියෙනවා එක දිගට. හැබැයි ඔයාලා ඒකෙ ලිවීමත් නතර කරලා සෑහෙන කාලෙකට පස්සෙ. ඒ නිසා කමෙන්ට් නොකරට මතකෙ හරිනම් ඒකෙ එක කතාවක් විතරයි මට ෆිට් උනේ නැත්තෙ. ඉතිරි ඔක්කොම ලස්සනයි. ඊටත් වඩා කීපදෙනෙක් එකතු වෙලා ලියන නිසා ඒකෙ වටිනාකමත් වැඩියි.
      ඔයා බ්‍රේක් නැතුව ලියන්න. මම පුළුවන් හැමවෙලේම ඉන්නවා චියර් කරන්න.

      Delete
  2. කලින් කොටස කියවද්දී හිතුනේ දසුනි ට අරවින්ද ගැන හිතෙන විදිය කොහොම ඇතිද කියලා. දැන් ඔයා ඒ විදිහට ලියලා...හරිම අගෙයි සිසි! කතාවල මෙන්න මේ 'pre-ප්‍රේම' අවධිය සම්බන්ධ කෑලි ඔලට මන් හරි ආසයි.

    හරි ඒ දසු-අරා කපල් එක. දැන් මෙතන සීරියස් කතාව වෙන්නේ අවා-සුපු කපල් එකනේ. මේක කියවද්දී මම අවන්ති උනානම් මොනා හිතෙයිද මොනා කරාවිද කියලා හිතුනා.

    ReplyDelete
    Replies
    1. ඔව් නේ? එහෙම pre-ප්‍රේම අවධියේදී ඒ චරිත වල සිතුවිලි ගැටෙන හැටි ලියන්න මාත් හරි ආසයි. තැන්ක් යූ අක්කේ. :)

      දසු-අරා ගේ pre-ප්‍රේම කතාවයි, අවා-සුපූ-සමාගේ තුන් කොන් ආදර කතාවයි, තව මුකුත් ඔයාට එපාද? :P ඔයාට එපා වුනාට කමක් නෑ, මම දැන් මේකට තව කතාන්දරයක් ගෙනල්ලා බස්සන්නයි ඉන්නේ. කියන්ඩ බෑ, මේක මෙගා ටෙලියක් වෙන්ඩත් ඉඩ තියෙනවා ඔන්න ඈ. :D

      Delete
  3. මේ කතාව හරිම ලස්සනයි. ඒත් කතාව ගොඩාක් කල් නොදා හිටිය එක නම් හරිම වැරදියි. ආයෙ එහෙම කරන්න එපා.

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි වරා මලී. ඇත්ත, ඒ චෝදනාව සාධාරණයි. ඒත් අපේ මල්දමේ සහෝදර සහෝදරියන් හය දෙනා තම තමන්ගේ අනිත් වැඩත් එක්ක කාර්ය බහුල වුනාම මෙහෙම දේවල් සිද්ද වෙනවා. ඒ ගැන අපි හය දෙනාම වෙනුවෙන් මම සමාව ඉල්ලනවා. ආයෙමත් එහෙම දෙයක් නොවෙන්න පුළුවන් තරම් උත්සාහ කරන්නම්කෝ. :)

      Delete
  4. ආ.ආ..ඔය තියෙන්නෙ..ඔය තියෙන්නෙ…. තෙල් ටිකට වැඩේ දීල....

    මම මේ බල බලා හිටියෙ ඇම්ඩ මැක්ක ගැන ලිව්ව වගෙ කොයි වෙලාවෙද අරවින්දයි දසුනිවයි පන්සලකට රිංගවන්නෙ කියල...හෙහ්,හෙහ්, දැං හරි..කතාව අංග සම්පූර්ණයි.

    ReplyDelete
    Replies
    1. ඒකනෙ, අපි වැඩක් කළොත් එහෙම තමයි. අංග සම්පූර්ණයි, අති විශිෂ්ඨයි, උත්කෘෂ්ඨයි, අසමසමයි, පරම රමණීයයි. පන්සල් යන හොඳ සැදැහැවත් උපාසක උපාසිකාවන්ගේ ප්‍රේම වෘතාන්ත වලට රෝස් කුකුළෝ අඬලන්නේ නෑනේ. මේ අයියේ, නරකද අර අනන්නියාවයි කිරිස්වයිත් පන්සලකට යැව්වොත්. සේතං ලොක්කා මුකුත් කියන එකක් නෑ. :P

      Delete