Monday 7 December 2015

සරණ බන්ධන.....9 - හමුව

වාහනේ කටුනායක ගුවන් තොටුපොළ රථ ගාලේ නතර වුනා. යතුර කරකවලා අරවින්ද වාහනේ එන්ජිම නතර කරන දිහා සුපුන් බලාගෙන හිටියා. සමන්තාව හම්බ වෙලා ඇත්ත දැනගන්න කොයිතරම් උවමනාව තිබ්බත් සුපුන්ට වාහනෙන් බහින්න හිතක් නෑ. එයාගෙ කකුල් හිරි වැටිලා වාගේ. එයා ඇස් දෙක පියාගෙන සීට් එකට ඔළුව හේත්තු කරගත්තා. අරවින්ද උරිස්සට තට්ටුවක් දානවා සුපුන්ට දැනුණා. "බහිමු මචං."

"සුපුන්," ඒ වෙලාවෙදි අවන්ති කතා කළා.

මුළු ගමන පුරාම එක වචනයක්වත් කතා නොකරපු අවන්ති මේ වෙලාවේ කියන්න හදන්නේ දරාගන්න අමාරු තරම් බරපතල දෙයක් බව සුපුන්ට තේරුණා. අවන්තිට කැමති තීරණයක් ගන්න ඉඩ දෙනවා කියලා සුපුන් කියලා තිබ්බත් ඒක කරන්න කොච්චර අමාරුද කියලා සුපුන්ගේ යටි හිත දන්නවා. සුපුන් අවන්තිට ආදරෙයි. ඇත්තටම ආදරෙයි. තමුන් නිසා ඒ අහිංසක කෙල්ලට මේ තරං අඬන්න වෙච්ච එක ගැන සුපුන් හිටියෙ ලොකු දුකකින්. ඒත් සුපුන්ට දැන් රැවුලයි කැඳයි දෙකම ඕනෙ වෙලා ඉන්නේ. අවන්තිත් ඕනේ, තමුන්ගේ දරුවා ගැන දැනගන්නත් ඕනේ. ඒත් ඒ දෙකටම තමන්ගේ ජීවිතේ එක වෙලාවේ ඉඩක් නොලැබෙන බව සුපුන් දන්නවා. ඒ තමුන්ගේ දරුවා වුනත් අවන්තිගෙ දරුවෙක් නෙවෙයිනේ. සුපුන් අමාරුවෙන් හිත හදාගෙන පිටිපස්ස හැරිලා අවන්ති දිහා බැලුවා. ඒ ඇස් වල අළුත් කඳුළු. දසුනි නංගි අවන්තිගේ අත් දෙකෙන්ම අල්ලගෙන. පොඩි කෙල්ල හොඳ වෙලාවට හිටියෙ. නැත්තං මේ වෙලාවේ අවන්තිගේ හිත හදන්න සුපුන්ටවත් බෑ.

"සුපුන්, බහින්න කළින් මං මේක කියන්න ඕනේ." අවන්ති කතා කළේ අමාරුවෙන්. "සමන්තාගේ පුතා ඔයාගෙ බව සමන්තා පිළිගත්තොතින් මම ආයෙ ඔයත් එක්ක එන්නෙ නෑ. ඔයා සමන්තාවයි පුතාවයි බාරගත්තත් නැතත් මට කරන්න දෙයක් නෑ. ඒත් ඇත්ත ඒකනම් මට ඔයත් එක්ක ඉන්න බෑ. මම ආපහු ගෙදර යනවා."

අරවින්දත් හැරිලා අවන්ති දිහා බැලුවා. "ඔයාට සුපුන්ට සමාව දෙන්නම අමාරුද?" එයා ඇහැව්වෙ බොහොම හෙමීට.

අවන්ති ඔළුව දෙපැත්තට වැනුවා. "මේක සමාව දෙන එක ගැන ප්‍රශ්නයක් නෙවෙයි අරවින්ද. සුපුන්ගේ දරුවෙක් එයාගෙ අම්මත් එක්ක තනි වෙලා ඉන්දැද්දි මට හිත හදාගෙන සුපුන් එක්ක ඉන්න බෑ. ඒකයි. ප්ලීස්."

ඔළුව වනපු අරවින්ද අවන්ති කියපු දේ පිළිගත්තා. ගමන අතරමගදි තිබ්බ සැහැල්ලු බව අරවින්ද ලඟත් දැන් නෑ.

"අක්කි," ඒ වෙලාවෙදි දසුනි කතා කළා. "අපි හිතමු හැමදේම හොඳට විසඳුනා කියලා. අපි හිතමු ඒ බබා සුපුන් අයියගෙ නෙවෙයි කියලා. අක්කි එතකොට මොකද කරන්නේ?"

සුපුනුයි අරවින්දයි දෙන්නම ආපහු අවන්ති දිහා බැලුවා. සුපුන් අත දික් කරලා අවන්තිගේ අතක් අල්ලගත්තා. ඒත් අවන්ති හෙමීට ඒ අත අත ඇරියා. ලොකු හුස්මක් අරන් පිට කරපු අවන්ති කතා කළේ ටික වෙලාවක් ගියාට පස්සෙ. "එහෙම වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි. මං බොරු බලාපොරොත්තු තියාගන්න කැමති නෑ."

"නෑ අවන්ති, අපි හිතමු එහෙම වුනොත් කියලා?" අරවින්දත් ආයෙම කතා කළා.

සුපුන්ටනම් මුකුත්ම කතා කරගන්න බෑ. අවන්තිගේ තීරණය ගැන කතා කරන මේ මොහොත, තමුන්ගේ අනාගතය තීරණය වෙන සමන්තාව මුණ ගැහෙන ඊලඟ මොහොත - සුපුන්ගේ හිතේ තිබුණේ ලොකු පීඩනයක්, තිගැස්මක්, බයක්.

"එහෙම වුනොත් - එහෙම වුනොත් - මේ හැම ප්‍රශ්නයක්ම අමතක කරලා දාන්න මං ලෑස්තියි."

සුපුන්ගේ හිතට මහා සැහැල්ලුවක් දැනුණා. හැම දේම හොඳින් විසඳෙන්න පොඩි ඉඩක් තියෙනවා එහෙනං? තමන් අතින් සිද්ද වුන ඒ වැරැද්දට සමාව දෙන්න අවන්ති ලෑස්තියි. අවන්ති පිළිගත්ත සදාචාරයට අනුව ඒක මහා බරපතල වැරැද්දක් වුණත්, ඒ වැරැද්දේ අතුරු ප්‍රතිඵල නැත්තම් ඒ වැරැද්දට සමාව දෙන්න අවන්ති ලෑස්තියි. ඉස්සරහට හැරුණ සුපුන් ආයෙමත් ඇස් පියාගත්තා. වැරැද්දක්? අතුරු ප්‍රතිඵලයක්? දරුවෙක් ගැන එහෙම හිතන්නෙ කොහොමද. බෑ... නෑ... මේ හැමදේම ඇයි හීනයක් වෙන්නෙ නැත්තේ? ඇයි මං? ඇයි මටම මෙහෙම වෙන්නේ? සුපුන් ඉස්සරහා ඩෑෂ් බෝඩ් එකේ ඔළුව ගහගත්තා. මට බෑ... සමන්තාව හම්බ වෙන්න යන්න බෑ මට... ඇයි මං එයාට කතා කළේ? ඇයි අවන්ති ඊයෙ එයාව හම්බ වෙන්න ගියේ? ඇයි එයා අවන්තිට කතා කළේ? ඇයි මං හිතාගෙන හිටියා වාගෙම තනියම ඉන්නෙ නැතුව අවන්තිව බඳින්න කැමති වුනෙ? ඇයි මං සමන්තාට යන්න ඉඩ දුන්නේ? ඇයි මං - ඇයි මං අම්මලාගේ අකමැත්ත ගැන හිතන්නෙ නැතුව සමන්තාව බැන්දෙ නැත්තේ? ඇයි මං සමන්තා එක්ක යාළු වුනේ? ඇයි මං ඉපදුණේ? මොන එහෙකටද මං ඉපදුණේ?

"මචං! ඒයි සුපුන්!" සුපුන්ට අරවින්ද තමුන්ගේ උරිස්සෙන් අල්ලලා හොළවනවා දැනුණා. "ඕක නවත්තපං බං. අර අවන්තිත් ආයෙ අඬනවා." සුපුන් හිතට ගලාගෙන ආපු සිතුවිලි නතර කරගත්තා. ඒ වෙනකල් කොයිම වෙලාවකවත් හයියෙන් අඬපු නැති අවන්ති ඉකි ගගහා අඬන සද්දෙ සුපුන්ට ඇහුණා. සුපුන් ආපහු කෙළින් වුනා. ඉස්සරහා මුකුත් පේන්නෙ නෑ. එයා ඇස් දෙක පිහදැම්මා. තෙතයි. කඳුළු? සුපුන්ට මතක ඇති කාලෙදි මීට කළින් කඳුළු පනිනකල් අඬලා තියෙන්නේ ජීවිතේ එකම එක පාරයි. එදා තමයි එයා ජීවිතේ වැඩියෙන්ම බීපු දවස. සමන්තා ගැන ආපහු සැරයක් අම්මලත් එක්ක රණ්ඩු වෙලා ගෙදරින් තරහා වෙලා ඇවිත් බාර් එකට වෙලා හිටියේ. සමන්තා ඇවිත් එයාව හොයාගන්නකොටත් සුපුන් හිටියේ බාර් එකේ. එදා රෑ සුපුන් ගෙදර ගියෙ නෑ. මේ හැම දේටම මුල් වෙච්ච දේ සිද්ද වුනේ එදා.

අරවින්ද දික් කරපු ටිෂූ එක අතට ගත්ත සුපුන් මූණ පිහිදගත්තා. එයාට අවන්ති දිහා බලන්න හිත හදාගන්න බෑ, එයා තාමත් අඬනවා. දසුනි එයාගේ ඇඬිල්ල නවත්තන්න මොන මොනවදෝ කියනවා.

"බැහැපං." සුපුන්ගේ පිටට තට්ටුවක් දාපු අරවින්ද දොර ඇරගෙන එළියට බැස්සා. ඒ එක්කම සුපුනුත් බැස්සා. ටික වෙලාවකින් අවන්තියි දසුනියිත් බැස්සා. සුපුන් ඒ වෙලාවෙදි අවන්ති දිහා බැලුවා. කඳුළු පිහදාගෙන. ඒත් ඇස් දෙකයි නහයයි හොඳටම රතු වෙලා. සුපුන්ට අවන්ති ගැන කියාගන්න බැරි තරම් දුකයි.

"සමන්තා කොතනද ඉන්නවා කිව්වෙ?" අරවින්ද ඇහැව්වා.

"එළියෙ ඇති. අපි එනකල් චෙක්-ඉන් නොකර ඉන්නම් කිව්වා වෙලාව තියෙන හින්දා."

සුපුනුයි අරවින්දයි ඉස්සරහිනුත් අවන්තියි දසුනියි ඒ පිටිපස්සෙනුත් ඇවිදගෙන ගියා.

"සමන්තා එක්ක තව කවුද ඉන්නේ?" ආයෙමත් අරවින්ද.

සුපුන් දන්නෙ නැති බව කියන්න උරිස් ඇකිළුවා.

අරවින්ද ආපහු හැරිලා අවන්ති දිහා බැලුවා. "ඊයෙ එහෙදිනම් මම දැක්කේ එයාවයි, බබාවයි, අම්මවයි විතරයි. තව කවුරුත් ඒගොල්ලො එක්ක ඉන්නවද කියලා මං දන්නෙ නෑ."

ටික වෙලාවක් එහෙ මෙහෙ ඇවිද්දට පස්සේ සුපුන් ඒගොල්ලන්ව දැක්කා. සමන්තා. ඉස්සර හිටියා වගේමයි. එතන පහුකරගෙන යන්න ගිය අරවින්දව සුපුන් නතර කරගත්තා. අවන්තියි දසුනියිත් ඒ එක්කම නැවතුණා. සමන්තා ඒ වෙනකොටත් ඒගොල්ලෝ දිහා බලාගෙන හිටියේ. ඒ මූණෙ පිරිලා තිබ්බේ මොන වගේ හැඟීම්ද කියලා අඳුරගන්න සුපුන්ට හරියට පෙනුණෙ නෑ, දුර වැඩියි. සමන්තාගෙන් මොහොතකට ඇස් දෙක මුදවගත්ත සුපුන් අවන්ති දිහා බැලුවා. අවන්ති බලාගෙන හිටියේ සමන්තා හිටපු තැනින් පොඩ්ඩක් එහාට වෙන්න සමන්තාගේ අම්මාගේ උකුලේ නිදාගෙන හිටපු පොඩි එකා දිහා. සුපුන්ගේ පපුව නතර වුනා. ඒ මගේ පුතාද? අවන්ති කිව්වා හරි. අවුරුදු හතරක විතර පැටියෙක්. සමන්තා හෙමීට සුපුන්ලා ඉන්න පැත්තට ඇවිදගෙන එන්න පටන්ගත්තා. සුපුන් ආයෙමත් අවන්ති දිහා බැලුවා. කඳුළු හිර කරගෙන තොල් හපාගත්ත අවන්තිත් සුපුන් දිහා බැලුවා. ඒ ඇස් වල තිබුණේ මහා දුකක්. ඒ ඇරෙන්න කිසිම තරහක්, වෛරයක් ඒ ඇස් වල තිබ්බෙ නෑ. "සොරි අවන්ති," සුපුන් අමාරුවෙන් කියාගත්තා. ඊයෙ රෑ එයා ඒ වචන දෙක දහස් වතාවකට වඩා කියන්න ඇති. ඔළුව වනපු අවන්ති ඒ වෙනකොටත් එයාගෙ අත අල්ලගෙනම හිටපු දසුනි නංගි දිහා බැලුවා. "නංගි, ඔයා ඉන්න," එයා කිව්වා.

"අක්කිට ෂුවර්ද?"

යාන්තමට හිනාවෙච්ච අවන්ති ඔළුව වැනුවට පස්සේ දසුනි එයාගෙ අත අත ඇරියා.

අරවින්දගේ සොහෝදරත්වයෙන් පිරිච්ච බර අත ආයෙමත් වතාවක් සුපුන්ට උරිස්ස මතින් දැනුණා.

ලොකු හුස්මක් ගත්ත සුපුන් අවන්ති එක්ක සමන්තා ලඟට යන්න පිටත් වුනා.





2 comments: