Thursday 7 January 2016

සරණ බන්ධන........ පසු වදන

සිය දියණිය හා කුඩා මුණුපුරා නිදනා දෙස මොහොතක් බලා සිටි හෙලේනා නිහඬ පියවර තබමින් තම කාමරය වෙත ඇවිද ගියාය. ගුවන් තොටුපොළේදී සමන්තාව මුණ ගැසීමට පැමිණි අමුත්තන් පිළිබඳව ඇය ගුවන් ගමන අතරතුරේදී සිය මවට හෙළි කොට තිබුණි. පෙර දිනයේ පටන් සිදු වූ සියල්ලට හෙලේනා කන් දී සිටියේ ඇදහිය නොහැකි දෙසවනින් යුතුවය.

පෙර දින සවස් යාමයේ ඔවුන් නතර වී සිටි හෝටලයේ පහත මාලයේ වූ විවාහ උත්සවය නිමා වන මොහොතේ අහම්බයකින් මෙන් ඒ අසළින් ඇවිද ගිය මොහොතේ සිත සසල කරවන රුවක ඡායාවක් ඇගේ නෙත ගැටුණි. එම රුව බොහෝ සෙයින්... ඔහුට... සමානය. ඇගේ සිත විසි හත් වසරකට එපිට අතීතයකට ගෙන යාමට එම රුව එම මොහොතේදී සමත් විය. මැදි වියද සමග උරුම වූ දුර්වල පෙනුම හේතුවෙන් ඒ ඔහුමදැයි සැක හැර දැනගැනීමට නොහැකි වුවද ඒ ගැන වැඩි වේලාවක් සිත නොයොදවා ගිය කාරියද පසෙක දමා ඇය නැවත උඩු මහළ වෙත ගියාය. ගුවන් තොටුපොළේදී සමන්තාව හමු වීමට පැමිණ තිබුණේ එම විවාහ උත්සවයේ මනාළ යුවලයි. එම මනාළයා සමන්තාගේ පැරණි පෙම්වතායි.

තම දෛවයට තම දියණියටද එලෙසින්ම මුහුණ දෙන්නට සිදු වූයේ මන්දැයි ඇයට සිතාගත නොහැක.

කාමරයට ඇතුළු වූ ඇය අබලන් වූ මේස ලාච්චුවක් විවර කර එහි පතුලේම තැන්පත්ව තිබූ ලියුම් කවරයක් අතට ගත්තාය. එහි සඳහන්ව තිබුණේ ඇය ශ්‍රී ලංකාවේ අවසන් වරට පදිංචිව සිටි නවාතැනේ ලිපිනයයි. ඇය ඒ තුළ වූ ලිපිය දිග හැරියාය. තමා යළි කිසිදා ඔහුව හමු නොවන බව පවසා ඔහුගෙන් සමුගෙන ඇගේ මාතෘ භූමිය වූ නෙදර්ලන්තය බලා පැමිණීමෙන් පසු ඔහු එවා තිබූ ලිපිය එයයි. එය ඈ අතට පත් වූයේ ඔහු එය එවා සත් මසක් පමණ ගත වීමෙන් පසුවය.


 My Dearest Heli,

I don't know why you left me. I looked for you everywhere but you were gone. Please forgive me for my ignorance. But as I told you again and again, my parents were and are bothering me with all those proposals. I only needed time my dear. I only wanted you to give me a little more time to convince them. But you didn't have the patience. I.........
 

හෙලේනා ලිපිය කියවීම නතර කර දැමුවාය. ඇය සිවු වසරකට අධික කාලයක පටන් ඔහු ඉල්ලනා කාලය ලබා දුන්නා නොවේද? එපමණ කල් බලා හිඳීමෙන් අනතුරුවද ඔහු පවසන්නේ ඇයට ඉවසීම නොමැති බවයි. ඇය තනිවම සිනාසුණාය. ඒ සියල්ල ඇයට දරාගත හැකිය. තවත් ඕනෑ තරම් කල් වුවද ඇයට බලා සිටිය හැකිය. නමුත්, නමුත් ඔහු ඔහුගේ ජීවිතය විනාශ කරගන්නා අන්දම ඇයට බලාසිටිය නොහැකිය. ඇය ඔහුගෙන් සමුගන්නට තීරණය කළේ එබැවිනි.

එම ලිපිය ඇගේ අතට පත් වූයේ ඔහුගේ දියණිය ඇගේ කුසින් එළිය දුටු දිනයේය. එම ලිපිය රැගෙන ආ ඇගේ ශ්‍රී ලංකික ඥාතිවරියට සැල වී තිබුණු අන්දමට ඔහුගේ විවාහ දිනයේය.

එනමුදු, ඇය ඔහුට ආදරය කළාය. ඔහු එවා තිබූ එම ලිපියට ආදරය කළාය.

එනමුදු, එය තව දුරටත් තමා සන්තකයේ තබාගත නොයුතු බව ඇය තීරණය කළාය. එය අයිති අතීතයටය. කෙතරම් අමතක කර දැමීමට සිතා සිටියද එම අතීතය ඇගේ දියණිය පසුපසද හඹා විත් ඇති අන්දම සිතාගැනීමටවත් නොහැක. ලිපියද රැගෙන කාමරයේ වූ ගිනි උදුන වෙත ගිය ඇය එය දල්වා ලිපිය දිග හැර රඟ දෙන ගිනි දළු වලට හසු වන සේ එය අල්ලාගෙන සිටියාය. මදින් මද දැවී කළු වී අවසානයේ ඇගේ අතැඟිලි ආසනයේ වූ කොටස පමණක් ඉතිරි වී ඉතිරිය අළු ලෙසින් වා තලයට මුසුව ගියේය. එහි ඉතිරි වී තිබුණේ ඔහුගේ නමයි. 


Saman Deraniyagala

සුසුමක් හෙලූ ඇය එයද ගිනි උඳුන තුළට අත හැර දෑත් පිස දමාගත්තාය. ඇගේ සිත තුළ වෛරයක් නොමැත. කෝපයක්ද නොමැත. තමාද, තම දියණිය ගැනද සිතේ ඉතිරිව තිබූ සන්තාපය ඇය එම ලිපියත් සමගම දවා හළු කොට දැම්මාය. ඇය තම දියණියද සුරතල් මුණුපුරාද සමග ජීවිතයට අලුතෙන් මුහුණ දෙන්නට ඉටා ගත්තාය.


~ සමාප්තයි ~




Tuesday 5 January 2016

සරණ බන්ධන........12 - හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්

හැමදේම හොඳින් විසඳුන හින්දා හතර දෙනාම හිටියේ හරිම සතුටෙන්, සැහැල්ලුවෙන්. තමන්ටත් මේ තරම් සතුටක් දැනෙනවනම් අවන්ති අක්කටයි සුපුන් අයියටයි කොහොම දැනෙනවා ඇත්ද කියලා දසුනිට හිතාගන්නවත් බෑ. හතර දෙනාම සෑහෙන බඩගින්නක හිටපු නිසා ආපහු එන අතරමග නතර වෙලා කඩේකින් කෑවා. කෑම කන අතරෙදි කවුරුවත් සිද්ද වෙච්ච දේ ගැන කතා කළේ නෑ. වෙන වෙන වල්පල් තමයි කතා කළේ. සුපුන් අයියයි අරවින්ද අයියයි තරගෙට දෙන්නා ඉස්කෝලෙ යන කාලේ වෙච්ච දේවල් මතක් කර කර මඩ ගහගත්තා. අවන්ති අක්කයි දසුනියි හිනා වෙවී ඒවා අහගෙන හිටියා.

කාලා ඉවර වෙලා කට්ටියම ආපහු වාහනේ ලඟට ආවා. දසුනි පිටිපස්සේ පුරුදු ආසනේ වාඩි වෙන්න දොර ඇරගත්තා. ඒත් ඒ වෙලාවේ අරවින්ද අයියා කියනවා ඇහුණ කතාව හින්දා එයා නතර වුනා. "ඒයි මේ සුපුන්, මං මුළු රෑ දෙකක් උඹ හින්දා නිදි මැරුවා. දැන් මට පොඩි ඇලට් එකක් දාගන්න ඕනේ. උඹ එළවපං වාහනේ." එයා වාහනේ වටෙන් ඇවිත් පිටිපස්සේ අනිත් දොර ඇරගෙන වාඩි වෙලා හරිබරි ගැහිලා හේත්තු වෙලා අත් දෙකත් බැඳගෙන ඇස් දෙකත් පියාගත්තා. දසුනි වාහනේට නගින්නෙත් නැතුව අවන්ති අක්කා දිහා බැලුවා. අවන්ති අක්කා සුපුන් අයියා දිහා බැලුවා. සුපුන් අයියා කාර් එක ඇතුළට එබිලා නිදිකුම්බරයා දිහා බැලුවා. "මං කාවවත් ගිලින්නෙ නෑ. මෙතන යන්න බැරි කෙනෙක් ඉන්නවනං ඩිකියට බැහැලා යන එකයි ඇත්තේ." කුම්භකරණයා ඇස් දෙක පියාගෙනම කිව්වා. අවන්ති අක්කා හිනාවෙලා දසුනිට ඉඳගන්න කියලා කිව්වා. සුපුන් අයියත් එහෙමම කිව්වා. දසුනි හෙමින් සැරේ වාඩි වෙලා දොර වහගත්තා. අවන්ති අක්කයි සුපුන් අයියයිත් ඉස්සරහා සීට් වලින් ඉඳගත්තා. 


"නංගි දැං කැම්පස් එකටද යන්නෙ?" සුපුන් අයියා ඇහැව්වා.

"ඔව් අයියේ, හවස් වෙනකල් යාළුවෝ ටික ඉන්නවා කිව්වා."

සුපුන් අයියා වාහනේ ස්ටාර්ට් කළා. ටික දුරක් කිසිම කතාබහක් නැතුව ගියාට පස්සේ සුපුන් අයියා රේඩියෝ එක දැම්මා. දසුනි ආසම ලස්සන සිංදුවක්. 'සිනා පිපෙනා මේ වසන්තය...' දසුනි හෙමීට ඇඟිලි වලින් කකුලට තට්ටු කර කර තාලෙ ඇල්ලුවා. එකපාරටම දැනුණ වෙනසක් නිසා දසුනි දකුණු පැත්ත බැලුවා. එච්චර වෙලා බැඳගෙන හිටපු අත් දෙක සීට් එක උඩ. වම් අත ටිකෙන් ටික දසුනි ඉන්න පැත්තට ඇවිත් සීට් එක මැද නතර වුනා. ඒත් ඇස් දෙකනම් පියවිලා. දසුනි දැක්කෙ නෑ වගේ අහක බලාගත්තා. එයාගෙ පපුව ගැහෙන වේගේ එයාටම දරාගන්න බෑ. මූණ රතු වෙලා කියලා ආයෙ කණ්ණාඩියකින් බලන්න දෙයක් නෑ, එයාටම හොඳටම දැනෙනවා.

විනාඩියක් ගෙවුනා. දෙකක් ගෙවුනා. සිංදුවත් ඉවරයි. දසුනි නිතර අහන රේඩියෝ චැනල් එකක්. ඊලඟට පටන්ගත්තේ දසුනි ආසම තවත් සින්දුවක්. 'අහස් ගැබේ තරු කැට ගානේ...' ඇයි අද මේ ඔක්කොම සින්දු එයාටම කියන ඒවා වගේ දැනෙන්නේ. දසුනි ආයෙමත් සීට් එක දිහා බැලුවා. ඒ අත එතනමයි. අඟලක්වත් මෙහාට ඇවිල්ලත් නෑ, එහාට ගිහිල්ලත් නෑ. '...නිල් සයුරේ රළ පෙළ ගානේ - ආදරෙයි මං ආදරෙයි...' දසුනිත් ඇස් දෙක පියාගත්තා. අඩු ගානේ අවන්ති අක්කයි සුපුන් අයියයිවත් මුකුත් කතා කරන්නේ නෑ. මොනවා කතා කරන්නද කියලා දසුනිට හිතාගන්නත් බෑ. 


'මී ලඟට ගී පැදුරෙන් ඔබ වෙත ගෙන එන්නේ එඩ්වඩ් ජයකොඩි ප්‍රවීණ ගායන ශිල්පියාගේ ඉතාමත් මියුරු ගීතයක්. පද රචනය අමරසේන කංකානම්ගේ. සංගීතය රෝහණ වීරසිංහයන්ගෙන්.' 

සංගීත නාද රටාව ඇහෙද්දිම ඒ මොන සින්දුවද කියලා දසුනි අඳුරගත්තා. තවත්නම් මේ අත මෙතන තියෙද්දි, ඒ අතේ අයිතිකාරයා මේ එහාපැත්තේ ඉඳගෙන ඉන්දැද්දි දසුනිට මේ සින්දු වලට කන් දීගෙන ඉන්න පුළුවන් කමක් නෑ.

දසුනි ආදරේ කරන්න පටන් අරගෙන.

දසුනි අරවින්ද අයියට ආදරෙයි.

'නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී...' දසුනි ආයෙත් සීට් එක උඩ තිබුණ අත දිහා බැලුවා. ලස්සන දිග ඇඟිලි. ඒ අත එහෙම තියාගෙන ඉන්නෙ ඇයි කියලා දසුනි හොඳටම දන්නවා. අවන්ති අක්කයි සුපුන් අයියයි සමන්තා එක්ක කතා කරන්න ගිය වෙලාවේ කතා කරපු ගොඩක් දේවල් වලින් අරවින්ද අයියා කියන්න හැදුවේ මොකද්ද කියලා දසුනි හොඳටම දන්නවා. ඒත් ඒක එකපාරටම පිළිගන්න දසුනිට බයයි. මේ වගේ හැඟීමක් දසුනිට ජීවිතේටම ඇති වුනේ මේ පළවෙනි පාරට. ඒ ආදරේ වෙන්න ඕනෙ කියලා දසුනි දන්නවා. ඒත් ඒ ගැන හොඳටම දන්න කෙනෙක් එක්ක කතා කරන්නේ නැතුව ඒ ආදරේ පිළිගන්න දසුනිට බය හිතුණා. එයාට ආයෙ දකුණු පැත්ත බැලුණේ ආයෙමත් වෙනසක් ඒ පැත්තේ දැනුණ නිසා.

තරු කැට දෙකක් අතරමං වෙච්ච දසුනිගෙ හිතට පාර පෙන්නන්න වගේ එයා දිහා බලාගෙන හිටියා. වාහනේ දකුණු පැත්තේ දොරට හේත්තු වෙලා අරවින්ද අයියා එයා දිහා බලාගෙන හිටියා. 

'සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පා වෙමින් - හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්...'

ඒ ඇස් දෙකෙන් ගලාගෙන ආවෙත් ඒ වචන. දසුනි ආයෙම සීට් එක උඩ තිබුණ අත දිහා බැලුවා. ඊලඟට එයාගෙ දකුණු අතත් ඒ ගාවින්ම තිබ්බා, සුළැඟිල්ල යාන්තමින් ගෑවෙන්න. අරවින්ද අයියගේ අත හෙමීට ඉස්සිලා දසුනිගේ අත උඩින් තියාගන්න දිහා බලාගෙන හිටපු දසුනිගේ මූණේ තිබ්බ රතු පාට පපුවට බැහැලා පපුව පුරාම සමනල්ලු පියාඹන්න පටන්ගත්තා. ආයෙ ඔළුව උස්සපු දසුනි දැක්කේ ආපහු ඇස් පියාගෙන ඔළුව සීට් එකට හේත්තු කරගෙන නිදා ඉන්න එයාගෙ ආදරවන්තයාව. ඒ මූණේ ලස්සන හීන් හිනාවක් ඇඳිලා තිබ්බා.

වාහනේ කැම්පස් එක ලඟ නතර වෙද්දි දසුනි හිටියේ රත්තරන් පාට වළාකුළක නැගලා අහසේ පා වෙවී. එයා ආදරේ කරන එයාගෙ දිව්‍ය කුමාරයා එයාගෙ අතින් අල්ලගෙන ඒ වළාකුළේම නැගලා හිටියා. දසුනි ඇස් ඇරියේ අවන්ති අක්කා කකුලට දාපු තට්ටුව නිසා. "ඒයි මැඩම්, ක්ලාස් යනවා කියලා නේද කිව්වෙ? නැගිටින්න නැගිටින්න." අවන්ති අක්කයි, සුපුන් අයියයි දෙන්නම පිටිපස්ස හැරිලා හිනා වේගෙන බලන් ඉන්නවා. දසුනිට ලැජ්ජාවේ බෑ. එයාගෙ අත තාමත් අරවින්ද අයියගේ අතේ. එයාට හොඳටම නින්ද ගිහිල්ලා. පව්. "අයියෙ මං බහිනවා," දසුනි හෙමීට ඒ අත තද කළා. අරවින්ද අයියා හෙමීට ඇස් ඇරියා. ඊලඟට නෝන්ඩි හිනාවක් දාගෙන බලං හිටපු සුපුන් අයියට එරෙව්වා. ඊලඟට දසුනි දිහාට හැරුණා. "බහිනවද?"

"ඔව්. අපේ කැම්පස් එක ලඟ ඉන්නෙ දැන්."

නැමිලා දසුනිගේ පැත්තේ ජනේලෙන් එළිය බලපු අරවින්ද දසුනිගේ අත අත ඇරියා.

"අක්කී, මං යනවා එහෙනං. හෝම් කමිං එකේදි ලස්සනට ඉන්න හොඳේ." දසුනි අවන්ති අක්කා දික් කරපු අත අල්ලගෙන කිව්වා.

"තැන්ක් යූ වෙරි මච් නංගි. සොරි අපි හින්දා ඔයාට කරදර වෙන්න වුනාට. හොඳට පාඩම් කරන්න."

"හරි." ඊලඟට දසුනි සුපුන් අයියා දිහා බැලුවා. "මං යනවා අයියෙ එහෙනං."

"හරි නංගි. තෑන්ක්ස්. තාත්තට කෝල් එකක් දීලා කියන්න ආපහු කැම්පස් එකට ආවා කියලා."

"ඔව්, කියන්න ඕනේ." දසුනි අන්තිමටම අරවින්ද අයියා දිහා බැලුවා. "බායි!"

අරවින්ද අයියා අර හීන් හිනාවත් එක්කම අත වනලා බායි කිව්වා. 'හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්...' දසුනිට ඒ පේළි ටික ආයෙ ආයෙත් ඇහෙනවා වගේ. එයා දොර ඇරගෙන එළියට බැස්සා. ඒත් ඒ එක්කම අරවින්ද අයියත් වාහනෙන් එළියට බැස්සා. "උඹ ඔය කොහෙද දුවන්නෙ?" සුපුන් අයියා අහනවා ඇහුණා. "පොඩ්ඩක් හිටපන්," කියාගෙන අරවින්ද අයියා වාහනේ වටෙන් දසුනි ලඟට ආවා. කතාවක් නැතුවම ඇවිදගෙන ගිය දසුනි පස්සෙන් එයත් ගේට්ටුව ලඟටම ආවා. ගේට්ටුව ලඟදි
දසුනි නතර වෙලා අරවින්ද අයියා දිහා බැලුවා. එයා අත් දෙක කලිසම් සාක්කු වල දාගෙන දසුනි දිහා බලං හිටියා.

"මම එන්නද හවසට ගෙදර එක්ක යන්න?" එයා ඇහැව්වා.

දසුනි බිම බලාගෙන එපා කියන්න ඔළුව වැනුවා.

අරවින්ද අයියා ටිකක් වෙලා තොල් හපාගෙන කල්පනා කළා. "එහෙනං රෑට කෝල් එකක් දුන්නට කමක් නැද්ද?"

ඒකටනම් දසුනි හා කියන්න ඔළුව වැනුවා.

"හෙට කොහොමද හම්බ වෙන්නෙ?"
 

දසුනි හිනා වුනා. "අනිද්දා හෝම් කමිං එකේදි අපි හම්බවෙනවනේ."

"හෙට බැරිද?" 

දසුනි සද්ද නැතුව බිම බලාගෙන හිටියා. උත්තරයක් දෙන්න එයාට බය හිතුණා. හා කියන්නත් බයයි, බෑ කියන්න ඊටත් වඩා බයයි.

අරවින්ද ඔළුව වැනුවා. "හරි කමක් නෑ. පරිස්සමෙන් ඉන්න. හොඳට පාඩම් කරන්න. හවසට ගෙදර ගිහින් මට කියන්න."

දසුනි හිනා වෙලා ඔළුව වැනුවා. අරවින්ද එයාගෙ ඔළුව අතගෑවා. දසුනිව ආයෙමත් හීතල වෙලා ගියා. "යන්න ඇතුළට," අරවින්ද අයියා කිව්වා.

ආයෙමත් අත වනපු දසුනි ගේට්ටුවෙන් ඇතුල් වෙලා හෙමීට ඇවිදගෙන ගියා.







Saturday 2 January 2016

සරණ බන්ධන.......11 නැවුම් ඇරඹුමක්

අවන්ති හිටියේ පා වෙවී. එයාගේ හිතට දැනුණෙ පුදුම සැහැල්ලුවක්. එදා මගුල් දවසේ හදිසියේ සමන්තාගෙන් ආපු ඇමතුම ට පස්සේ අතරමග නැවතුනු හුස්ම ආයෙත් වැටෙන්ට අරං...

ගොඩාක් වෙලා කතා කර කර හිටියට පස්සේ සමන්තා අම්මායි බබායි එක්ක චෙක්-ඉන් කවුන්ටර් එක ලඟට යන්න පිටත් වෙන්න කළින් අවන්ති සමන්තාව වැළඳගෙන සමු දුන්නේ කියන්න බැරි තරම් ස්තූති පූර්වක හැඟීමකින්. ඒ ගැන කියන්න ඇත්තටම එයා ලඟ වචන තිබ්බෙ නෑ. මේ හැමදේම විසඳලා දුන්නට, සුපුන්ව අවන්තිටම සින්නක්කරේටම තියාගන්න දුන්නට, ඒ දෙන්නට හදවතින්ම අවංකවම සුබ පැතුවට, පුංචි පුතා නිසා එයාගේ ජීවිතේ සම්පූර්ණ වෙලා තියෙන බව ආයෙ ආයෙත් සුපුන්ටයි අවන්තිටයි කිව්වට - ඒ හැම දේකටම අවන්ති සමන්තාව වැළඳගෙන ස්තූති කළා.

සමන්තාගේ ජීවිතේ සම්පූර්ණ කරපු පුංචි පුතා සුපුන්ගේ නෙවෙයි...

සමන්තාගෙත් නෙවෙයි.

එයා එයාව හදාගන්න අරගෙන තියෙන්නේ අනාථ නිවාසෙකින්. ඒ මීට අවුරුදු දෙකකට උඩදි. ඒ හුරතල් පුංචි පැටියා අත්තම්මාගේ උකුළේ නිදා ඉන්න දිහා බලාගෙන හිටපු අවන්තිට එයා ඇත්තටම සුපුන්ට වඩා කොච්චර වෙනස්ද කියලා ඒ වෙලාවෙදී තේරුම් ගියා. කොණ්ඩේ, මූණෙ හැඩේ ඒ හැම දේම වෙනස්. එදා හිතේ තිබුණ කළබලෙත් එක්ක අවන්තිට පෙනුණේ ඒ තද අළු පාට ලස්සන ඇස් දෙක විතරයි. තමුන්ගේ මෝඩකම ගැන අවන්ති පසුතැවුනා. ඒ වෙලාවෙම ඒ ගැන සමන්තාගෙන් හරි හැටි අහගන්නේ නැතුව තමුන් කලබල වෙලා කරපු පටලැවිල්ල ගැන එයා ඇත්තටම දුක් වුනා. ඒ ඇරෙන්න, සුපුනුයි සමන්තායි අතරේ සිද්ද වුන දේ ගැන එදා නොකියා හිටියේ අවන්තීගෙම හොඳට බව සමන්තා කිව්වා. ඒක ඇත්තක් බව අවන්තිට පිළිගන්න සිද්ද වුනා.

ඒ අතරෙදි සුපුන්? මුළදිම පුතා ගැන අහපු ප්‍රශ්නෙ ඇරෙන්න සුපුන් එක වචනයක්වත් කතා කළේ නෑ. එයාට දැනෙන්නේ මොනවගේ හැඟීමක්ද කියලා ඇත්තටම අවන්තිට හිතාගන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ. මේ කරපු කලබගෑනියට සුපුන් අවන්තිට සමාවක් දෙයිද? අවන්තිටයි සමන්තාටයි ඇති තරම් කතා කරගන්
 ඉඩ දීලා එයා පැත්තකට වෙලා දෙන්නා දිහාම බලං හිටියා. ඇත්තටම සමන්තාගෙන් සමුගන්නකල්ම සුපුන් එක වචනයක්වත් කතා කළේ නෑ. 

ආදරේ... කොච්චර පුදුමද...
පුංචි ගිනි පුලිඟු ආදරේ නිසා ගිනි ජාලා වෙනවා... හරියට එදා සුපුන්ට තියෙන ආදරේ නිසා අවන්ති ගේ පපුව ගිනි ගත්තා වගේ....

සමන්තා අම්මායි බබායි එක්ක දොර පිටිපස්සෙන් නොපෙනී ගියාට පස්සේ අවන්ති සුපුන් දිහාට හැරුණා. "සොරි සුපුන්." එයාට ඊට වඩා දෙයක් කියාගන්න පුළුවන්කමක් තිබ්බෙ නෑ. එයාගෙ ඇස් දෙකේ ආපහු කඳුළු පිරීගෙන එන්න පටන්ගත්තා. කිසිම කතාවක් නැතුව එයාගෙ ඇස් දෙකෙන් ගලාගෙන ආපු කඳුළු පිහදැම්ම සුපුන් එයාගෙ අත් දෙකෙන් අල්ලගත්තා. 

ගිනි ඇවිලුණු අවන්තිගේ හිතට සීතල වතුර බින්දු එක දෙක වැටෙමින් තිබුනේ... 
මහා ගිනි ජාලාත් ආදර බින්දු එක දෙක වැටෙද්දී නිවිලා සැනෙහිලා යනවාලු...

"දැන් ඔක්කොම හරි. ඔයාට ඒ හැමදේම දැන් අමතක කරලා දාන්න පුළුවන්."

"මේ හැමදේම අවුල් කළාට ඔයා මට සමාව දෙනවද සුපුන්?"

"ඔයා මට සමාව දෙනවා වගේම මමත් ඔයාට සමාව දෙනවා."

එදා මගුල් දවසත් මෙදා මේ මොහොතත් අතරමැද සිද්ද උණු දුක්බර හැම දෙයක්ම බොඳ වෙලා යනවා අවන්තිට දැනුණා.  
ඒත් එක්කම අවන්ති ට මතක් උනේ මගුල් දවසට කලින් දවසේ සවස...


**********************************************
එදා අවන්තිලාගේ ගෙදර කඩි ගුලක් ඇවිස්සුනා වාගේ කලබල...
පේරාදෙණියේ ඉඳන් ආපු අප්පච්චිගේ නෑදෑයෝ කට්ටිය එදා දවල් කෑමට අවන්තිලාගේ කොළඹ ගෙදරට සැපත් වෙලා තිබුණා. පස්සෙන්දා උදෙන්ම මගුල් ගෙදර යන්ට තියෙන නිසා එයාල එදා රාත්‍රියේ එහෙ නවතින්ට ඇවිත් තිබුනේ. 
අවන්තිගේ අම්මාගේත් ගම් පළාත් උඩරට උනාට ළඟ නෑයෝ ඒ වෙන විට කොළඹ අවට පදිංචි වෙලා හිටියේ. ඒ උනත් උදව්වට ඒ පිරිසෙනුත් කීප දෙනෙක් ඒ  වෙන විටත් ඇවිත් සිටියේ...
මේ මහ පිරිසක් මැද්දේ උනත් එදා සවස අවන්ති ගේ හිතට දැනුනේ හරිම පාළු තනිකමක්. සුපුන්ටවත් කතා කරන්ට තිබුණා නම්...ඒත් සුපුන් ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ... කොහොමත් ඒ වෙලේ කැමරාමන්ව හමුවෙන්න සුපුන් යන බව අවන්තිට කියා තිබුනා. 
අවුරුදු විසි පහක් හැදුණු වැඩුණු නිවස හැර දාලා හෙට අවන්තිට යන්ට වෙනවා... ඒ යන්නේ අවන්තිගේ කුළුදුල් ආදරේ සුපුන් එක්කල බව ඇත්ත. ඒ උනාට ගෙදරින් පිට අම්මා අප්පච්චි නැතුව අවන්ති මේ යන්ට ඉන්නේ ජීවිතේ පළවෙනි වතාවට...අවන්තිගේ අම්මයි අප්පච්චියි අවන්තිව හැදුවේ මලක් හදනවා වගේ. පාසැල් කාලෙදිවත් යෙහෙළියන් එක්ක වැඩිපුර විනෝද ගමන් යන්ට අවන්තිට අවසර තිබුනේ නැහැ. ගෙදරින් පිට ඉන්ට නම් කොහොමත් තහනම්. 
දැන් එක පාරටම ජීවිතේ උඩු යටිකුරු වෙන්ට යනවා... අවන්ති මේසේ උඩ තිබුණු මංගල ඇරයුම් පත පෙරළුවා.
Dr. Saman Deraniyagala and Mrs. Malinie Deraniyagala cordially invite you to the wedding of their beloved daughter Avanthi Deraniyagala - 
"දුව..."
අවන්ති එක පාරටම ගැස්සිලා බැලුවා. අප්පච්චි කාමරේ දොර ළඟ හිටගෙන එයා දිහා බලාගෙන ඉන්නවා.
"මොකද දුව කල්පනාව?"
අප්පච්චිගේ ඇස් වල තිබුනේ අමුතු දිස්නයක්. 
"නැහැ අප්පච්චි...කම්මැලියි..."
අවන්ති හිමින් කිව්වා.
අප්පච්චි කාමරේ ඇතුලට ඇවිත් ඇඳ උඩින් වාඩි උනා.
"මගේ දූත් එන්න අප්පච්චි ගාවින් වාඩි වෙන්ට..." 
අවන්ති පුටුවෙන් නැගිටලා ගිහින් අප්පච්චි ළඟින්ම වාඩි උනා.
"මයේ පුංචි දෝණි හෙට ලස්සන මනමාලියක් වෙලා යන්ට යනවා..." අප්පච්චිගේ හඬ අමුතු උනු නිසා අවන්ති ඔලුව උස්සලා බැලුවා. අප්පච්චිගේ ඇස් වලින් කඳුළු ගලනවා!
"අනේ අප්පච්චි..."අවන්ති ටත් හැඬුම් ආවා.
"දුවේ...මම ඔයාව හැදුවේ ගොඩක් නීති දාලා... ඒත් මම එහෙම කලේ දූට තියෙන ආදරේ නිසා... දූ මේ ලෝකෙට අහිංසක වැඩියි... පොඩි දේකින් උනත් මයේ දෝණිගේ හිත රිදෙනවා...ඒ හන්දයි මායි දූගේ අම්මයි පුළුවන් තරම් දූව ආරක්ෂා කළේ..." 
නිතරම මහා තේජසින් ඉන්න අප්පච්චි - හැමදෙනා ගරු කරන කීර්තිමත් දොස්තර දැරණියගල - කවදාවත් නැතිව අද පොඩි ළමයෙක් වගේ අඬනවා. 
අප්පච්චිගේ කඳුළු හරි බරයි. ඒ බර අවන්තිට ඉවසන්ට බැහැ.
"මම දන්නවා අප්පච්චි..." අවන්ති අප්පච්චිගේ කඳුළු පිහින ගමන් කිව්වා.
අප්පච්චිට තුරුළු වෙලා අවන්ති ටික වෙලාවක් එහෙම්මම හිටියා. පොඩි කාලෙ ඉඳන්ම අප්පච්චිගේ තුරුලේ තියෙන උණුහුමට අවන්ති හරි ලෝබයි.

"දුව..." අප්පච්චි ආයෙමත් කතා කරන්ට ගත්තා.
"හෙට දූ ගේ අලුත් ජීවිතේ පටන් ගන්නවා... සුපුන් දූ ව ආදරෙන් බලාගනී වි කියන එක තමයි මගෙයි අම්මගෙයි පැතුම... දූගේ අප්පච්චියි අම්මයි කසාද බඳින කොට අපි දෙන්නට දෙන්න තනිවම කතා කරලා වත් තිබුනේ නැහැ. ඒ උනත් අපි දෙන්නා හෙමිහිට දෙන්නගේ සිතුම් පැතුම් තේරුම් ගත්තා...ඒක ලේසි නෑ දුව..."

අප්පච්චි ඈත බලාගෙන සුසුමක් හෙළුවා.

"මට දූට කියන්ට ඕනි උනේ... කසාදයක් බඳින එකට වඩා අමාරුයි ඒ කසාදෙ  සාර්ථක කර ගන්ට එක... අපේ අතින් වැරදි වෙනවා...වැදගත් වෙන්නේ ආයෙත් අලුතින් පටන් ගන්න එක..."
**********************************************

ඔව් වැදගත් වෙන්නේ ආයෙත් අලුතින් පටන් ගන්න එක...


අවන්ති බිම බලාගෙන හිනාවුනා. "අපි දැන් යමු සුපුන්..."

සුභ මොහොතින් මනාලයා එක්ක නැවුම් මනාලියක් විදිහට මංගල ගමනට පිටත් වෙන්නේ දැන් කියලා එයාට හිතෙන් ගත්තා.





පලි: මේ කොටස මුලින්ම ලිව්වේ සිත්තමි. මම ඒකට එහෙන් මෙහෙන් සුට්ටි කෑලි ටිකක් එකතු කළා... මේ කතාව මේ තරම් දුර ඇදගෙන ආ සිත්තමී ට ගොඩක් ස්තුති!

පපලි: හෝව් හෝව් ! කතාව ඉවරයි කියල හිතුවට ඉවර නෑ...තව කොටස් කීපයක් තියෙනවා හොඳේ...