Wednesday 26 December 2012

සිත්තමක ලියැවුණු කවිය..... 07 වන කොටස

"මලේ....වික්‍රම මලේ..."
 
විජේ අයියගේ කටහඬින් මම ගැස්සිලා බැලුවේ මගේ කිඳුරි එක්ක හිටපු හීන ලෝකෙන් මිදිලා.


"ඈ මල්ලියේ...උඹ කොයි ලෝකෙද බං හිටියේ?" විජේ අයිය හිනාවෙනවා.


කට උත්තර නැතිව මම ඔහේ හිටිය කෝපි කෝප්පේ පතුල දිහා බලාන. මොකෝ කිඳුරියක්  ගැන හිත හිත හිටි වගක් කියන්නය විජේ අයියට? 


"ඒක නෙවෙයි මලේ...පොඩි වැඩක්‌ කර ගන්ට තියෙනවා මට උඹට කියල. මේ..."


"අයියෝ කියන්න අයියේ...මොකද්ද කෙරෙන්න ඕනේ?"


"නෑ බං අපේ මාමණ්ඩි මට දැන් ටික දොහක ඉඳන් කියනවා උන්දලාගේ අර ගේ පිටිපස්සේ ඉස්ටෝරු කාමරේ වයරින් වැඩේ පොඩ්ඩක් එකලාසයක් කොරල දෙන්නය කියල. මට ඔයි වැඩ ඉතින් හොඳට පුරුදු එකා නෙව. ඒ හැටි ලොකු වැඩක් නෑ...මට අර අත් උදව්වට කෙනෙක් නැතුව මම කල් දම දම හිටියේ...ඔය උඩ නැගගෙන ඉන්දැද්දී බුරුව ව අල්ලගන්ට, ආයුධ යක් හොයල අරන් දෙන්ට හෙම කෙනෙක් එපාය...මොකෝ අපේ නෑනන්ඩි ට කියල ඔය වැඩට උදව්වක් ගන්නය...හෙහ් හෙහ්... හෙට දිහාට කරන්ට හිතාන ඉන්නේ...උඹට පුළුවන් වෙයිද මලේ?"

 
මේ මුතු ලගේ ඉස්ටෝරු කාමරේ වැඩක් නේ...කවදාවත් වයරින් වැඩක් කරලා නැති උනත් මේ වැඩේට නෑ බෑ කියල බැහැනේ. හඃ වැඩේට මුතුව ත් සෙට් කරගන්ට බැරි වෙන එකක් නෑ...
හෙට කොහොම හරි යාළු කරගන්ට ඕනේ...කෙල්ල අඩු ගානේ තේ එකක් වත් හදල ගෙනත් දෙයි නේ.

"සුළු දෙයක්නේ අයියේ...මම එන්නම්"
 මම කීවේ මුතුළහ ගෙවල් දිහා ඇස් කොනෙන් බලන ගමන්.

* * *


ඇඳිරි වැටෙන්ට ලං වෙලත් මුතු පේන්න නැත්තේ ඇයි? වැඩේ හමාර වෙන්ටත් ළඟයි... ඒත් අද දවසට දැක්කෙම නැහැ! එදා තරහ තවම තියෙනවද මේ කෙල්ල? විජේ අයියගෙන් අහන්ටත් හිතේ මේ කෙල්ලට මක් වෙලාද කියල...හ්ම් ඕනෑන්නේ නැහැ...ඊටත් නැන්ද ට ඇහුනොතින්...

"නැන්දම්මේ ... අපේ නෑනන්ඩි කොහේ අන්තර්ධාන වෙලාද අද?" විජේ අයියට මයේ හිතේ කියවන්න පුලුවන්ද මන්ද.


 "ඔය උදේම ගියේ යාලුවෝ කට්ටියක් එක්කල ටවුමට යන්ටෝනේ කියල. ඔයි මොකද්ද පොත් ප්‍රදර්ශනයක් තියෙනවා කියන්නේ ටවුමේ..." ළිඳ ගාව රෙදි වැලෙන් රෙදි ගන්න ගමන් නැන්ද කිව්වා.
හ්ම් ඒකයි නැන්ද දැන් ටික වෙලාවක ඉඳන් පාර පැත්ත දිහා බල බල උන්නේ. 


"අනේ මන්ද පුතේ මේ ළමයාගේ වැඩ.." නැන්ද ආයේ කියන්ට ගත්ත පාර දිහා බලාගෙන. "බලන්ට තවම ආවේ නැහැ. හය පහුවෙන්ට ඔන්න මෙන්න...ගෑණු ළමයෙක් ගමන් බිමන් යන වේලාවක්ද ඇත්තට... අප්පච්චි ගේ හුරතලේ! ආදෙන්කෝ අද..."

 
අහන්කාරි ට අද බැනුම් අහන්ට වෙනවා! හඃ හොඳ වැඩේ රෝන්දේ ගියාට ...  


හ්ම්...මුතු...එදා අන්තිමට කතා කරපු දවසේ මුතුගේ මුණ රතු වෙලා...ඇස් දෙක දිලිහි දිලිහි...අත් දෙකත් ඉනට තියාන මට බැනගෙන බැනගෙන ගිය හැටි...

හ්ම්...එයාට එච්චර සෝලි ගන්ට මොකද්ද මං අතින් උණු වැරැද්ද? මං අර හිතේ ඇඳිච්ච රූපේ ගැන කිව්ව එකද?
කෝ මේ කෙල්ල ඇහුවේ නැහැනේ කවුද ඒ රූපේ අයිතිකාරි කියල...මා දිහාට කඩන් පැන්න මිසක්...නැත්නම්...
හ්ම්...


* * * 

වැඩේ පටන් ගත්ත වෙලේ හිටන් වික්‍රම වට පිට විපරම් කර කර බලන විලාසේ දැක්ක විජේ අයිය හිටියේ හිනාව තද කරන්. ඔය හොයන්නේ කාවද කියල අහන්ට හිතුනත් ආයෙත් නිකා හිටියේ වික්‍රම ට ලැජ්ජා හිතිලා ඒ අල්ලපනල්ලේ ඕක වයරින් මාරු කරලා අල්ලයි කියල. 


අඩේ අද නෑනන්ඩි ගෙදර නැති උණ එක මහා අපරාදයක් නෙව...මගේ පැලෑන වතුරේ ගියා නේ මේකි රෝන්දේ ගිය එකෙන්...ශිහ්... 


විජේ අයිය හිතුවේ ඔරලෝසුව දිහා බල බල. 
නැන්දම්මා මුතුට ආඩපාලි කිය කියා ගෙයි ඇතුළට ගියා.
ඒ අව් අස්සේ වික්‍රම මුණ දෙක කරන් හුල්ල හුල්ල...

අනේ අම්මප මේකි කරන විජ්ජුම්බර...හෙහ් හෙහ්
ඕන් ඔයි වෙලාවේ තමයි විජේ අයිය දැක්කේ වික්‍රමගේ කලිසන් සාක්කුවේ තිබිල මොකද්දෝ රෝල් කරපු පොත් පිංචක් වැටෙනවා. වික්‍රම උඩ නැගගෙන වැඩ. මාමණ්ඩි ත් ඒ දිහාට එනවා පෙනුන ඒ වෙලේ.

මලේ මොකද්ද වැටුන කියන්ට කට ඇරියත් මේකේ මොකක් හරි මගඩියක් තියෙනවා කියල විජේ අයියට හිතුන නිකමට. ඒ පාර මාමණ්ඩි ටත් ඔව්ව එලි වෙලා මයේ බෙල්ලත් යයි කියල හිතුන නිසා විජේ අයිය කරේ එවෙලේ කරන්ට තිවුන එකම දේ.

එයා සුටුස් ගාල ඒක අරන් එයාගේ සාක්කුවේ දාගත්ත මාමණ්ඩි දකින්ට කලින්.


***

හැන්දෑවේ හත හමාර වෙන්න ඔන්න මෙන්න වෙද්දී තමා මුතු එදා ගෙදර ආවේ. එතකොට වික්‍රම යි විජේ අයියයි වැඩේ අහවර කරලා ළිඳ ගාව මුණ කට හෝදන්ට ගෙහුං. කළුවර වැටිලා තිවුණත් පාර දිගේ එන මුතුව සුටුස් ගාල අඳුන ගන්ට වික්‍රමට බැරි උනේ නැහැ.

නිවිලා තිබිච්චි පහන් වැටක් ආයේ පත්තු කරා වාගේ වික්රමට දැනුන හිමීට පාර දිගේ ඇවිදන් එන මුතුව දැකල.
ඒත් ... ඒත් එක්කම දැක්ක දෙයින් සැඩ සුළඟක් ඇවිත්  පහන් වැටම නිවුවා වාගේ වික්‍රම ට දැනුනේ...
මුතු ආවේ තනියම නෙවෙයි. කවුදෝ උස මහත ඉලන්දරියෙකුත් එයා පස්සෙන්.

මේ කවුද? ගෙදෙට්ටම ගෙනත් ඇරලවන්ට තරම් ඇයි හොඳයියක්...
නැන්දා ගේට්ටුව ලඟට යනවා වික්‍රම බලාගෙන. මුතු බිම බලාගෙන. 

නැන්දා අර ඉලන්දාරියා එක්ක යසට භජනේ...තේ කක් බීල යන්ට ත් ඉන්ටලු...හ්ම්ම්...එහෙනම් නැන්දලගේත් අනුමැතිය ඇතිව මෙව්වා සිද්ද වෙලා තියෙන්නේ.
ඒ ඉලන්දාරියා එක්ක ලොකු කේන්තියක් එක්කම තමන්ගේ පපුව පැලෙන්ට යනවා වගේ වික්‍රම ට දැනුන. තව එක මොහොතක් වත් එතන ඉන්ට එයාට හිත දුන්නේ නෑ.

"මලේ ඕන් අපේ නෑනන්ඩි සැපත් උණා. අර සුජිත් මලය ඇරලවන්ට ආපු එකින් උන්දැ බේරුණා ... හෙහ් හෙහ් ...නැත්නම් නැන්දම්මා ගෙන් අද අහගන්ට හිටියේ උන්දැ" විජේ අයිය මුණ පිහින ගමන් කිව්වා.

සුජිත්? සුජිත්! සුජිත් ඉන්න තැන වික්‍රම මොකටද?
"අයියේ හෙනම් අපි යමු නේද.."


"ඇයි මලේ එක පාරටම? නෑනන්ඩි ගත්තු පොත් හෙම බලන්නේ නැද්ද? මං බලාන පොත් මිටියක්ම උස්සන් එනවා"

"නෑ අයියේ මයේ හිස ආයේ ඇදුම් කනවා...පොඩ්ඩක් ඇල උනොත් හොඳයි වගේ...මම මේ පැත්තෙන්ම යන්නම්...අයිය හෙනම් නැන්දලාට කියන්ට මම ගියාය කියල" වික්‍රම එහෙම කිව්වේ වැට මායිමේ කඩුල්ල දිහාට ඇවිදගෙන යන ගමන්.




[කතාව දික් වීම ගැන පාඨක පිරිසගෙන් සමාව අයදිමි...තව එකම එක කොටසකින් හමාර කරන වග පවසමි.]

Tuesday 25 December 2012

සිත්තමක ලියැවුණු කවිය..... 06 වන කොටස

"රුවක් ඇඳෙනවා කවුදෝ එනවා..මීවිත ඇඳිරිය දෑස වසනවා,
හද පොදි බැඳි දුක දියකර පාකර ඔබේ ලොවට මා……. මොහොතින් එනවා...

සොඳුරු යොවුන්විය මල් මඟ මුල ඉඳ කිම තොල මී විත පුරවන්නේ,
නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා විතින් මා දෙතොල තෙමන්නේ,

නැඟුනු නුරා ගිනි මී පොද වැටිලා හතර අතින් දළු ලා එනවා,
අවන් හලේ මී විත තනි කරලා වරෙන් මලේ පියවර නඟලා,

රුවක් ඇඳෙනවා කවුදෝ එනවා...මීවිත ඇඳිරිය දෑස වසනවා,
හද පොදි බැඳි දුක දියකර පාකර ඔබේ ලොවට මා……. මොහොතින් එනවා......."

 
රේඩියෝ එකේ යන්නේ මම කැමතිම සින්දුවක්...

රෑ කෑමෙන් පස්සේ කුසුමේ අක්ක හදා දුන්නු කෝපි කෝප්පේ තොල ගගා මායි විජේ අයියයි උන්නේ ඉස්තෝප්පුවේ හාන්සි පුටු දෙකක දිගා වෙලා.
"රුවක් ඇඳෙනවා කවුදෝ එනවා...." විජේ අයියත් හිමිහිට තාලේ අල්ලනවා...
මගේ හිතේ ඇඳිලා තියෙන රූපේ හිමිකාරී දැන් මොනවා කරනවා ඇත්ද... හ්ම්...

තාලේ අල්ලන එක නවත්තපු විජේ අයිය මා දිහා බැලුව. "මල්ලි...දැන් ඉසේ කැක්කුම අඩුද?"
මගේ හිතේ ලොකු ප්‍රශ්නයක් තියෙන බව විජේ අයියට තේරුනා වෙන්න ඕනේ.

"අයියේ...අයිය සඳ කිඳුරු දා වත කියවල තියෙනවද?"
"සඳ කිඳුරු..?"
විජේ අයිය අමුතු විදිහට මන් දිහා බැලුවේ කොහෙද යන්නේ මල්ලේ පොල් වාගේ මන් ඒ ඇහුව ප්‍රශ්නේ නිසා වෙන්ටෝනේ. මුට පිස්සු කියල හිතනවා ඇති...
 

"හෙහ් හෙහ්...මලේ...සඳ කිඳුරු නේද? නැතුව නැතුව...හැබැයි මලේ ඔය සඳ කිඳුරු සිද්ධිය ගැන විශේෂඥය ඇවිල්ල නම් මම නෙවෙයි"

"
විශේෂඥය කිව්වේ අයියේ?"


"
මලේ ඔය සඳ කිඳුරු ජාතකේ...සඳ කිඳුරු දා වතේ කවි සේරෝම ...එතකොට සඳ කිඳුරු නාඩගම...ඔව්ව සේරෝම හොඳ හැටි දන්නේ අපේ නෑනන්ඩි. හෙහ් හෙහ් උන්දැට වතාවක් ඔය සඳ කිඳුරු පිස්සුවක් වැහිලා ඔයි කවි ගායනා සේරෝම ටික හොයා ගන්ට ඕනේ කීව නෙව. අනේ ඉතින් මම ඒ දවස්වල අපේ කුසුමෙට ආලවන්ත කම් පාන සන්දියේ වෙච්චි
නෑනන්ඩි අතේ නේ පණිවුඩ සේරෝම යවන්ට තියා ගත්තේ...මට තමා ඉතින් උන්දැ ගේ වන්දිභට්ටකම් කරන්ට  උනේ...විජේ අයියේ අරක හොයා දෙන්ට මේකේ තාලේ කියා දෙන්ට...අනේ අම්මප...හෙහ් හෙහ්"

සඳ කිඳුරු...සඳ කිඳුරි...


"වත සුපිපි පියුමෙ කි
නෙත සුනිල් මිණි යුවලෙ කි
ගත ගනරන් රුවෙ කි
වනත නත මුත් කවුරු වෙති හැකි"


මගේ කිඳුරි...ඔව් මගේ කිඳුරි ත් හරියට උදේ පින්න එක්ක පිපිච්චි සුදු සමන් මලක් වගේ..

ඒ මගේ කිඳුරි ම යි කියල මට හරියටම දැනෙන්ට පටන් ගත්තේ එදා පෝය දවසේ පන්සලේදී...


ලොකු හාමුදුරුවට ඕනේ උනා දහම් පාසලේ කාර්යාල කාමරේ ටිකක් අස් කර ගන්ට.
පෝය දවසේ පින්කමට පන්සලේ මිනිස්සු පිරිල. හැමෝන්ටම ඕනි වෙලා තිවුන පන්සලේ බිතු සිතුවම් අඳින්ට ආපු සිත්තරාව බලා කියා ගන්ට.
ඒත් මට මහා තනියක් දැනුන.
මට ඕනේ උනේ පැත්තකට වෙලා තනියෙන් ඉන්න පොඩ්ඩක්.
මම කැමැත්තෙන්ම අස් කරන වැඩේ බාර ගත්තේ ඒ හන්ද.
ශිෂ්‍ය වාර්තා පොත්, පරණ විභාග ප්‍රතිපල, දහම් පාසලේ එක එක උත්සව, තරඟ වලට හදපු පත්‍රිකා, සමරු පොත්....හප්පේ ඒකෙ තිබිච්චි දේවල්...පොඩි හාමුදුරුවෝ එවල තිබිච්චි තේ කහට එක බොන ගමන් මම එතන විසි කරන්ට දාපු පොත් පිංචක් පෙරලා බැලුවේ නිකමට. ඒක ගිය අවුරුද්දේ දහම් පාසලේ තෑගී බෙදා දීමේ උත්සවේට අච්චු ගහපු පොඩි සමරු කලාපයක් වගේ එකක්.  ඕනවට එපාවට ඒකෙ පිටු පෙරලද්දී මගේ ඇහැ නැවතුනා එක තැනක.


"සඳ කිඳුරු ජාතකය"

"මා සඳ කිඳුරු ජාතකය උගත්තේ අම්මාගෙනි. ඒ ඈ මා කුඩා කාලයේ ගායනා කල සඳ කිඳුරු දා වතේ කවි වල අභාශයෙනි. '
නිදුකින් සමඟ පෙම් බැඳැ සැප විඳැ සොඳිනේ - බසෙකින් විතර වෙනසක් නොවැ  ඉඳින දිනේ' වැනි එහි ඇතැම් කොටස් ගායනා කරන විට ඇගේ දෙනුවන් කඳුලින් බර වෙයි. කැන්දන් ආ දා පටන් වචනයකින් වත් ඈ හට අඩුවක් නොකරන අප්පච්චි සිහිකරමින් ඈ ඒ කඳුළු පිසගනී..."

එහෙම පටන් අරන් ඒ ලියල තිබ්බේ සඳ කිඳුරු ජාතකය ගැන පොඩි විග්‍රහයක්...
ඒ ලියල තිබුන විදිහ!...ඒ විදිහට මාව වශී උනා කිව්වොත් බොරුවක් නෙවෙයි. සංසාරගත ප්‍රේමයක් ගැන මේ වගේ හිතන පතන කෙල්ලක් ලැබෙන කොල්ල මොන තරම් වාසනාවන්ත ද කියල මට හිතුන. මම ඒ රචනාව කියෝගෙන
කියෝගෙන ගියේ තිබහේ මැරෙන්ට ගිය මිනිහෙක් වතුර බීගෙන බීගෙන යනව වගේ.

අන්තිම පිටුව පෙරලුවම යටින් දාල තිබුන ඒ ලීව කෙනාගේ පොඩි පින්තුරයක් නමත් එක්ක.






[එක කොටසකින් අවසන් කරන්නට පටන් ගත්තද කතාවේ තවත් කොටසක් ලියන්ට සිදුවෙන බවද, ඒ කොටස මා හැකි ඉක්මනින් ලියා පල කරන බවද, දැනුම් දෙමින් පාඨක ජනතාවගේ සමාව භජනය කරමි]

Monday 10 December 2012

සිත්තමක ලියැවුණු කවිය..... 05 වන කොටස



මුතූගෙ පපුව මොහොතකට නැවතුණා!!
ඊලඟ තත්පරේදි මොකක්දෝ නන්නාඳුනන රිද්මයකට ගැහෙන්ඩ ගත්ත...

හිනා වෙවී වැටේ කණුවකට අත තියන් තමා දිහා බලන් ඉන්න වික්‍රමගෙ ඇස් ඉර එළියට දිලිසුනා....
ඒ ඇස් දිහා මුතූ බලන් හිටියෙ හරියට වශී ගුරුකමක් කරල වගේ...!!

ඒත් එක්කම කලබල වෙලා මේ ලෝකෙට ආව මුතූ වටපිට බලල උගුර පෑදුව...
මහ දවාලෙත් අමුතු අමුතු හීන ඇස් ඉදිරියෙ පෙනෙද්දිත් මුතූ හිතට බොරු කළා...

ඇයි මොකෝ??

හා... පෝ..... ඔහොම මිනිස්සුන්ට ඇඟට කඩා පයින්ඩ එපා නගා... හැන්දෑවක එහෙම වුණා නං මං බය වෙලා මට නූල් හිට බඳින්ඩ වෙයි!!

ආ.. ඒ පාර විජේ අයිය වගේ මෙයත් පටං ගත්තද?? අනේ හැබෑට මං මොකට බාල්දු වෙනවද මේ පිටගංකාරයොන්ට....??  

මුතූගෙ තරහ නහය දෙපැත්ත රතු කරගෙන එළියට පයින්ඩයි ලෑස්ති වුණේ....

තරහ ගන්ඩ එපා නගා!! මං නගා මුණ ගැහෙන්ඩ බොහොම උවමනාවෙන් හිටියෙ.....ඔච්චර කියලත් ඇයි පන්සල පැත්තෙ නිකමටවත් නාවෙ??

ඒ මොකටද මං කවුරුවත් කියනවට පන්සල් එන්නෙ??

මුතූට හොරා වික්‍රම එක්ක තරහෙන් හිටපු හිත පැන පැන කතා කරන්ඩ ගත්ත....
නවත්තපු තැනින් ඉඳල උස්සපු මුතූ අතුගාගෙන අතුගාගෙන ගියා!! හරියට වික්‍රමත් එක්ක තරහ මිදුලෙන් පිරිමහන්ඩ වගේ...

ඇයි නගා.. මතක නැද්ද?? මට පොරොන්දු වුණා... අර ගෑණු ළමයට හොයා ගන්ඩ මට උදව් කරනවයි කියල??

මේ මොන කෝලමක්ද?? මං එහෙම පොරොන්දුවක් දුන්නෙ කවද්දද??

ඇයි නගා අද මාත් එක්ක අමනාපෙන් වගේ කතා කරන්නෙ.... මං හිතුවෙ අපි දැන් යාලුවො කියල... යාලුවෙක් විදියට මට ඒ වැඩේට උදව් කරන්ඩ නංගි කැමති වුණා කියලයි මං හිතුවෙ... මං ඊයෙ පෙරේද දෙකේම බලන් හිටිය නගා නිකමටවත් පන්සල පැත්තෙ ආවෙත් නෑ... හවස් අතේ මං ඇහැළ ගහ හරියෙත් බැලුව නගා ඉන්නවද කියල....

වික්‍රම කියාගෙන කියාගෙන ගියේ හිතේ දුකට...

දවස් දෙකකට කලින් හොඳට කතා කරපු මේ කෙල්ලට මක් වෙලාද මේ උදේ පාන්දර??

මේ මට ඕවට උදව් කරන්ඩ වෙලාවක් නෑ....ඇයි දැන් පන්සලේදි පෝය දවසෙ දැක්ක කිව්වනෙ... ඉතිං පන්සලේම රාජකාරි කරන එකේ ආවාම තමන්ටම කතා කරගන්ඩ බැරියැ?? ආයෙ මොකටෙයි තෝල්කයො??

මුතූ වික්‍රම දිහා බලන්නෙවත් නැතුව කියාගෙන කියාගෙන ගියා... ඒ වචන වික්‍රමට දැණුනෙ හරියට පිහි තුඩු වගේ.. තමන්ගෙ හිත පසාරු කරගෙන කිඳා බහින...

මං යන්නං නගා!!! කරබාගෙන අතු ගාන මුතූ දිහා හිස් හැඟීමෙන් බලන් හිටිය වික්‍රම පරාජිත හඬකින් කිව්ව...
මුතූ නෙවෙයි පැත්තවත් බැලුවෙ...

සරාස්!!
මුතූලගෙ අම්ම  කුස්සියෙ ඉඳල රම්පෙ ගාල ලඟ කුණු වතුර කොරහක් විසි කළා...

දෙයියනේ අම්ම!!
මුතූට කියවුණා!!

බලද්දි කවුරුත් හිටියෙ නෑ වැට ලඟ....

යන්ඩ ගිය අත අමතක වෙලා විජේ අයියලෑ එලිපත්තට ගොඩ වෙච්ච වික්‍රම අයුරුවක් නැතුව ඔහේ බලන් හිටිය හැටි වතුර සද්දෙටට කළබල වෙච්ච මුතූ දැක්ක!!



උඹ හැසිරිච්ච හැටි නං බොහොම වැරදියි මුතූ.... මුතූගෙම හිත  හැම තිස්සෙම මුතූට කිව්ව...
ඇත්තටම හිතේ තියෙන දේවල් හංගාන මං ඒ මනුස්සයගෙ හිත රිදවන එකේ තේරුම මොකද්ද??
මුතූ තමාගෙන්ම ඇහුව.....
ඇත්තමට ඒ මනුස්සය ඉල්ලන්නෙ උදව්වක් වෙන්ඩ ඇතිනෙ... හිතේ ඇඳිල තිබුණ රූපෙ කිව්වට ඒ රූපෙ හිමි කෙනාට තමාගෙ ආදරෙත් හිමියි කිව්වෙ නෑනෙ... අනික මේ අඳුනගෙන දවස් ගාණට උඹ දන්නෙ කොහොමද මේ මනුස්සය කවුද කින්ද මන්ද කියල... දන්නෙ ගමට ආවෙ පන්සලේ චිත්‍ර අඳින්ඩ කියල විතරයි නෙ....
කවුද අප්පේ ඔය හිතේ ඇඳිච්ච රූපෙ කියල අහල එයාව හොයාගන්ඩ උදව් කළානං උඹේ පැත්තක් යනවද??
උද්දච්ච මෝඩි!!!

ඔය රතුලූණු ටික ඉස්මණට සුද්දකරල ගන්නෙ නැතුව මක්කරනවද මේ කෙල්ල?? මොනවද ඔය හැටි කල්පනා කොරන්නෙ....?

අම්මගෙ හඬට ගැස්සුණ මුතූ ආයෙමත්  මඩක්කුවෙ තිබුණු ලූනු ගෙඩියක් අතට අරන් සුද්ද කරන්ඩ ගත්ත...

අද අක්ක විජේ අයියලෑ ගෙදර අත්තමට ගෙහුං.......දවල්ට උයන්ඩ එන්ඩ වෙන්නෙ නෑයි කිව්ව... අර  එහෙ නතර වෙලා ඉන්න මනුස්සයට කෑම ටිකක් දෙන්ඩ කිව්ව නෙව... ඩිංගක් අත ඉක්මං කරල ඔය වැඩේ අහවරයක් කරල මට මේ පොල් අඩලෙ ගාල දෙන්ඩ ළමයො...

කන්ඩ තමයි දෙන්ඩ ඕනෙ උන්දැට.... මුතූ මිමිණුවෙ තරහින්...

උන්දැට කන්ඩ දෙන්ඩ අපි නැහෙන්ඩ....

මොකෝ දුවේ....අසනීපයක්වත්ද??

එහෙම කියන ගමන් සද්දයක් බද්දයක්  නැතුව ලූණු සුද්ද කරන මුතූ දිහා බලන් හිටිය අම්ම ඇහුව.. වෙනදට මෙහෙම උදව් කරන්ඩ කියල ආවාම කට කමසිරියාවක් නැතුව කතා කරන එකයි හිනාවෙන එකයිනෙ මුතූගෙ වැඩේ....

මගෙ හිස ඩිංගක් කකියනව අම්මෙ....

කෝ බලන්ඩ.... අම්ම ලං වෙලා මුතූගෙ නළලට  පිටි අල්ල තියල බැලුව...

ඒ හැටි රස්නයක් නං නෑ.....ඕක නෙව කියන්නෙ... කවදාවත් නැතුව ඉර අව්ව වැටිච්ච වෙලාවෙ ගියානෙ මිදුල අතුගාන්ඩ....  පැය දෙහෙකටත් වැඩිය අව්වෙ හිටිය... හිසේ ඇම්ම නැහැදුනොත් නෙ පුදුමෙ.... ආං අර කෑම කාමරේ රාක්කෙ ඇති තැඹිලි තෙල් බෝතලේ... ඔය තෙල් ඩිංගිත්තක් දාගෙන  පොඩ්ඩක් ඇලවෙලා ඉන්ඩ...මං මේ ටික ඉක්මණිං අහවරයක් කරල අර මනුස්සයට කන්ඩ ටිකක් දීල එන්නං.....

ගෙදරම හිඳල රතුලූණු, කීකිරිඳිය, අරූද කොළ දාල කකාරවපු තැඹිලි තෙල් බෝතලේට නාහෙ ලං කරල සුවද බලපු මුතූ ඉන් අල්ලක් අරන් හිස් මුදුනට දාගත්ත...
සීතල තෙල් වැටෙද්දි හිස්මුදුනෙන් පටන් අරගත්ත සනීපෙ ටිකෙන් ටික තමන්ගෙ හිතත් සිසිල් කරන බව මුතූට දැණුන...

එක තෙල් අල්ලක්  හිසේ දාන්ඩ හොඳ නෑ කියල අම්ම හැම තිස්සෙකම කියනව මතක් වෙච්ච මුතූ තව තෙල් අල්ලක් හිසේ දාගත්ත...වෙනද නං මේ වගෙ වෙලාවට තෙල් ටික හිසට වදින්ඩ මුතූ අම්මට කියල හොඳට අතගාවගන්නව... අද උයමන හදිස්සි වෙලා නෙ උන්දැටත්!!

මුතූ හෙමින් සැරේ කාමරේට ගිහින් ඇඳේ වැතිරුණා...
කාමරේ ජනේලෙ අස්සෙන් පේන  පැති මිදුලෙ දෙලුම් ගහේ උන්න පැණි කුරුල්ලෙක් දෙලුම් මල් කිනිත්තක එල්ලිලා!!  වෙනදා වගේ ඒ දිහාව බලන් ඉන්ඩ හිතක් මුතූට තිබුණෙ නෑ... අනික් පැත්තට හිස හරවන්ඩ යද්දි මුතූ දැක්කෙ  අර චිත්‍රෙ....

වික්‍රම දීපු!!

කුඹුක් ගස් මණ්ඩියට එපිටින් පේන වේරගල කඳු වලල්ල බොඳ වෙලා යනකල් ඒ දිහා බලන් හිටිය මුතූ දිග හුස්මක් හෙලල බිත්තිය පැත්තට හැරිල ඇස්පියාගනිද්දි  ඇස් බොඳවෙන්ඩ හේතු වෙච්ච කඳු බින්දු දෙක තරගෙට කොට්ටෙ උඩට වැටුණ......



ආ ඔයා ආවද?? 

කුස්සිය පැත්තෙන් ඇහිච්ච අඩි සද්දෙට සම්බෝලෙ අඹරන එක නවත්තල කන්දීපු කුසුම්ලතා මල්ලකුත් අතින් අරන් උලුවස්ස ලඟ හිටගෙන උන්න විජේගෙන් ඇහුව

හරි කෙඩෙත්තුයි කුසුමෙ....  කහට එකක් ඕනෙ

මං කේතලේ ලිප තිබ්බ.... එහෙං එන ගමං මං අපේ ගෙදරටත් ගොඩවුණා... නංගි හිස කැක්කුමක් අල්ලල දවසම ඇඳේ වැටිල හිටිය යි කිව්ව හන්ද එයාගෙ ඔලුව ටිකක් අතගගා හිටිය නින්ද යනකල්!! රෑ වෙනව දැනුණෙ නෑ....ඔයා  පන්සල පැත්තට ගියේ නෑ...??

හවස පන්ති ඉවර වෙලා එන ගමන පන්සල පැත්තටත් ගොඩ වැදුණ .. ලොකු හාමුදුරුවොත් නුවර වැඩල... පොඩි හිමුදුරුවොත් පහුගිය දොහේ පාඩං වැඩ එහෙම අතපසු වුණාය කියල ඒ පොත්පත් ඉල්ලාන එන්ඩ පිරිවෙන් වැඩල... ඇබිත්ත මලය විතරයි හිටියෙ...
වික්‍රම මල්ලිත් උදේ ගිහින් ආවට පස්සෙ ආයෙ පන්සලට ගියේ නෑ කියල ඌ කිව්වෙ... කෝ වික්‍රම??

මං ඇවිල්ලත් දැන් පැය බාගෙකට වැඩියි විජේ.... තේ එකක්වත් ඕනැද අහන්ඩ බලද්දි කාමරේ දොරත් වහලයි තිබුණෙ.....මං හිතුවෙ තාම ඇවිල්ල නැතුව ඇති කියල...

කොහෙ ගියාද මේ ළමය?? මං බලල එන්නං කාමරේ!!

උදේ මුතූ නංගි කවදාක්කත් නැතුව වැට ලඟ අතු ගෑවෙ නිකම්ම වෙන්ඩ බෑ... ලිඳ ලඟ ඉඳල එනකොට වික්‍රම වැට ගාව හොරගල් අහුලනව දැකල හිනා කටක් ආවත් තමනුත් ඔහොම වැඩ කළා නේද කියල මතක් වෙලා විජේ ගෙට ගියා.... දෙන්නගෙ කතා බහ ඉවර වෙලා බිම බලාන වික්‍රම ගෙදර දිහාවට ඇදෙනවත් විජේ බලාගෙන...

මුන් දෙන්න මොහොකට හරි රණ්ඩු වුණාවත්ද??

අපේ නගාටත් ආයෙ හොස්ස ලඟින් මැස්ස යන්ඩ බෑනෙ...

වික්‍රම ඉස්තෝප්පුව පැත්තට ඇදුනෙ හිතිවිල්ලෙන්

මොකෝ මලේ මේ දාහට දීල සීයට අරන් වගේ.....??

ඇඳ විට්ටමට කොට්ටෙ හේත්තු කරන් පරාල ගණං කරන්නා වාගේ උන්න වික්‍රම විජේගෙ සද්දෙට ගැස්සිලා කෙලින් වුණා...

ආ.. අයිය ආවෙ කොයි වෙලේද?? මං දන්නෙත් නෑ...

දැන් ආවෙ....මං පන්සල පැත්තෙත් ගියා....මලය අද වැඩට ගියෙ නැතෙයි??

හිස කැක්කුමක් හැදිල හිටියෙ අයියෙ.... ගිහිල්ලත් මං ආපහු ආව.....උදේ පාන්දර පන්සල් යද්දි පිණි බෑවනෙ....ඒ හන්ද වෙන්ඩ ඕනෙ...

බොලේ මුන් දෙන්නටම ඉස කැක්කුං!! මේකෙ මොකක් හරි තියෙනව කොස්සක්!!!

විජේගෙ හිත කිව්ව

මෙන්න මේ ඉස්තෝප්පුවට ඇවිල්ල ඈඳිගනිං මලයො හුලං ටිකක්වත් වදින්ඩ... මං අක්කට කියන්නං ඉඟුරු එහෙම යහමිං දාල කහට කෝප්ප දෙකක් අරන් එන්ඩ කියල... කිතුල් හකුරු කෑල්ලකුත් එක්ක ඒක ගහල දැම්මම ඔය ලෙඩ ටික සේරෝම අකා මකා යයි...

කුසුමේ..... මේං මල්ලිත් ඉන්නෝ!! හොඳ ඉඟුරු කහට කෝප්ප දෙකක්ම ඕනේ!!! කිතුල් හකුරුත් එක්ක..

විජේ ගේ පැත්තට කෑ ගැහුව...

හරියට කියනකල් බලන් හිටිය වගේ කුසුම්ලතා තේ කෝප්ප දෙක අරන් එද්දි වික්‍රමත් ඇවිත් ඉස්තෝප්පුවෙ ඇඳි පුටුවන වාඩිවුණා!!

ඒ වෙද්දිත් හාන්සිපුටුවෙ කැරකෙන ඇඳි දෙකත් දිගෑරගෙන කකුල් ඇඳි උඩ තියාන හිටිය විජේ කකුල් බිම තියල කහට කෝප්පෙ අතට අරන් හකුරු කෑල්ලකුත් අරගත්ත...

ආ මල්ලි... ගන්ඩ තේ එක...
මල්ලි දැන්ය ආවෙ?? මං හැන්දෑවෙත් බැලුව ඉන්නවද කියල... අර අම්ම අරන් ආපු දවල් කෑම පිඟානත් එහෙමම වහල සාලෙ...මල්ලි කන්ඩ ඇවිදිනුත් නෑ වගේ....

මං නිදාගෙන හිටියෙ අක්කෙ දවසම.. හිසේ කැක්කුමක් අල්ලල....

ආ..... කුසුම්ලතාට විජේ දිහා බැලුණ...
හිනාව තදකරගත්තු මූණෙන් විජේ කුසුම්ට ඉඟි කළා...

එහෙනං මං ඉක්මණට  රෑට කන්ඩ ලෑස්ති කරන්නං...මල්ලි උදේ කෑවට පස්සෙ මොනවත් නැතුව ඇති නෙ බඩේ....

අමුත්තක් නොපෙන්නපු කුසුම් විජේ දිහා හොර බැල්මක් හෙලල ආපහු ඇදුණ...


මතු සම්බන්ධයි...

පින්තූරෙ ලැබුණෙ මෙතනින්

Wednesday 5 December 2012

සිත්තමක ලියැවුණු කවිය... 04


මුතූ උදෙන්ම නැඟිටල ළිඳට ගිහිල්ල මූණ හෝද ගත්ත....අව්ව යාන්තමට වේරගල කන්ද මුදුනෙන් එබිකම් කරන්නෙ මීදුම ඉරාගෙන.....තවම තණකොල අග්ගිසිවල පිණි දිලිහෙන්නෙ අව්ව එනකල් තමයි ඔක්කොම කෙරුං කියල හොඳටම දැනගෙන වගේ. 

ළිඳ ගාවා නස්නාරං ගහයි පේර ගහයි අල්ලල බැඳල තිබ්බ තංගුස් වැල් පටේ වනල තිබ්බ ලා නිල් පාට තුවාය ඊයෙ හැන්දෑ කොරේ ගෙට ගන්ට අමතක වෙලා.අල්ලල බැලුවහම හොඳටම තෙත බරි වෙලා..රෑ තිස්සෙ වැටිච්චි පින්නට....මෙහෙම ගන සැරේට පින්න අල්ලන්නෙ තද ඉඩෝරයක් එන්ට කියල ඊයෙද පෙරේදද කොහෙද අප්පච්චි එගොඩහ කළු බන්ඩ මාමණ්ඩි එක්කල කියනව මුතූ අහගෙනයි. 

කාමරේ බුරුත අල්මාරියෙන් අලුත් තුවායක් ගන්ට ගියොත් ඕක අම්මට ඇහිල හේතු කාරනා අහල ඊයෙ තුවාය ගෙට ගන්ට බැරිඋන එකට කං පිරෙන්ට බැණුං අහන්ට වෙනවයි කියල දන්න නිසා මුතූ තෙත තුවායෙන්ම යාන්තමට මූන පිහ ගත්ත. 

අක්ක ගෙදර ඉන්න දවස්වල ඒ කිව්වෙ අල්ලපු ගෙදරට දීග යන්ට ඉස්සරවෙලා උදේ මූන හෝදන්ට ආවම මේ ගස් දෙකේ කොල වල එල්ලෙන පිණි ගහේ කඳ අල්ලල හොල්ලල මුතූගෙ ඇඟ පුරාම විසුරෝල දාල ගමටම ඇහෙන්ට හිනා වෙවී දුවනව....ඒ සුන්දර අතීතය මතක් වෙච්චි පාර මුතූගෙ මූණට හීං හිනා රැල්ලකුත් ආව ඔන්න. 

අක්කණ්ඩිනං දීහ ගිහිල්ල පැල පදියං උනේ අල්ලපු වත්තෙ....වැට උඩිං එබෙන එක විතරයි අසක්කුවකට. මට කොයි දීපංකරේක යන්ට වෙයිද උඩ ඉන්න දෙයියොම තමයි දන්නෙ? ඔන්න එක පාරටම මුතූට එහෙම කල්පනාවක් හිතට ආවෙ මොකද?....ම්ම්ම්...මොකෝ මුතුවො?....හොඳ නෑ මේ ඊයෙ පෙරේද ඉඳල හැදිල තියෙන අසනීපෙ.....අර මුතු එක්ක නිතරම කතා කරන එක්කෙනා කිව්ව...ඉතිං මොකද?....එහෙම දේවල් කල්පනා වෙනේක නරකද?...මුතුත් ඔන්න උත්තර බැන්දා.... 

කුස්සියෙ එලිපත්ත ගාව අම්ම කම්මුලේ අතකුත් තියාගෙන බලාන ඉන්නව. උන්දැගෙ කටත් බාගෙට ඇරිල....එහෙම්මම ඇහිපිය නොහෙල බලා හිටිය මිසක අම්ම එක වචනයක් කිව්වෙ නම් නෑ....මුතු පොලවට හිනහ වීගෙන ගෙට ගොඩ උනා... 

'' මොකද මේ අද උඹ පාන්දරම ඇහැරගෙන? '' 

'' ඔන්න බලන්ටකො අපෙ අම්මත් කියන එක, වෙනද කං පුරෝල බයිනව පස්ස පැත්තට අව්ව වැටිල රත් වෙනකල් බුදියනව කියල. අද මේ පාන්දර නැඟිට්ටම ඇඟට ගොඩ වෙනව මොකෝ මේ පාන්දරම කියල....ඔන්න එහෙනං මම ආයෙ ගිහිල්ල බුදිය ගන්නව....'' 

මුතූ කියාගෙන කියාගෙන ගියේ නිකිණි වැස්සට උඩහ අමුණ වාං දානවහෙ.... 

මුතූගෙ කියවිල්ල අහල අම්මට හිනා ගියා. 

'' හරි හරි බං ඕකට ඔහෑටි උඩපනින්නෙ අහවල් දේකටද?...මොකද උදේම නැඟිට්ටෙ කියාල ඇහුව විතරයිනෙ මම...කොච්චර එකක්ද උදේම නැඟිට්ට එක...අනේ බං දුවේඑහෙනං මේං මේ පොල් අඩලෙ ගාල දීහංකො මයෙ අම්මා...අප්පච්චිට මොනව හරි උදේට හදල දෙන්ට...අද යනවයි කිව උදෙම්ම දිසාපති කන්තෝරුවට ගෙහුං එන්ට...'' 

අවට තවත් ගම් දෙකකුත් එක්ක ගම් තුනකම වෙල් විදානෙ මුතූලයෙ අප්පච්චි. කුඹුරු අස්සද්දනකොට මතුවෙන ආරවුල් විසඳන්ට කතා කරගන්ට ගොවි ජන සේවා එකේ මහත්තෙය හම්බ වෙන්ටයි ඔය යන්ට තනන්නෙ. 

'' අම්මෙ අර මිදුල ඔක්කොම හැඩි වෙල...මම මිදුල අතුගාල එන්ටද? '' 

'' මිදුල අතුගාගන්ට බැරිය ළමය...මිදුල ආය කවුරුවත් උහං යනවය...අප්පච්චිට පරක්කු වෙනව..අනේ මෙන්න මේ පොල් අඩලෙ ගාල දියංකො ඉතිං '' 

ඉතිං මොකද කොරන්නෙ?...මුතූට පොල් අඩලෙ ගාන්ටම උනානෙ...කෙල්ල ලහි ලහියෙ පොල් ගාල පැන්න කඩිමුඩියෙ මිදුලට...පිටි පස්සෙ දර මඩුවෙ හේත්තු කරල තිබ්බ ඉදලත් අරගෙන. 

මුතූලගෙ වැටෙන් එහා පැත්තෙ විජේ අයියලගෙ ගෙදර...ඒ කියන්නෙ මුතූගෙ අක්කගෙ..කුසුම්ලගෙ ගෙදර...වැට මායිමේ තමයි කොල රොඩු විමානෙ...අතු ගාන්ට පටන් ගන්ට ඕන එතනෙ ඉඳලම...මුතූ ඉදලත් අරෙගෙන ගිහිල්ල වැට මායිමේ අතු ගාන්ට පටන් ගත්ත... 

'' මේ හරියෙ පුදුම විදිහට කොල වැටිල ඔක්කොම අතු ගාන්ට ඕන අද. '' 

මුතූ අතුගාන ගමන් තමන්ටම කියාගත්ත. 

'' ආ, අම්මප?....හැබෑමද...නෑනො...මේ හරියෙ තමයි කොළ රොඩු වැඩි?...එහෙමද?...හෙහ්, හෙහ්, '' 

මුතූ ගැස්සිල බැලුව අතුගෑමත් නතර කරල... 

විජේ අයිය ..මුතූගෙ මස්සිනා..වැටෙන් එහා පැත්තෙ ඉන්නව කරඳ කෝටුවක් හප හප....කට කොණක සමච්චල් හිනාවක්..... 

'' නෑ අයියෙ මේ....මම මේ කිව්වෙ...... '' 

මුතූට වචන පැටලුනා....දිව කට ඇතුලෙ වේලිල වගෙ දැනුන.... 

'' හරි බං හරි හරි කලබල වෙන්ට එපා..ඔය පැත්ත අතුගාල වැටෙං පැනල වරෙං මේ පැත්තත් අතු ගාල දීහං...මෙහෙත් ඔහෙ වගේම තමයි හරියට කොළ රොඩු ..හෙහ්, හෙහ්,'' 

'' කුසුමේ..මෙන්නෝ...අපෙ නගණ්ඩි අද උදේ පාන්දරම…'' 

විජේ අයිය එයාලගෙ ගේ පැත්තට හැරිල කෑ ගැහුව... 

'' ඒයි මේ කෑ ගහන්ට එපා අයියෙ...මොනව කියවනවද මන්ද....අර දැන් අම්මටත් ඇහෙනව....'' 

මුතූ ඇස් ලොකු කරගෙන විජේ දිහාවෙ බලං හිටිය... 

'' ඉතිං අම්මට ඇහුනට මොකද බං....මම නරකක් කීව එකක්ය?.....මම කිව්වෙ උඹ අද උදේම අතුගානවයි කියලනෙ...හා...කියාපං බලන්ට ඒක බොරුවක්ද? " 

විජේ අයිය වැට අයිනෙම තිබ්බ කොස් ගහට හේත්තු වෙල අත් දෙක පපුවෙ බැඳ ගත්ත... 

'' මේ විකාර කියවන්ට ගත්තොත් ඔන්න නොකිව්වයි කියන්ට එපා මම යනව යන්ට අතුගෑමත් පැත්තක දාල..... '' 

'' හරි හරි බං කොහෙද උඹත් එක්ක බෑ නෙව...හොස්ස ලඟිං යන්ට බෑ මැස්සෙක්..හරි හරි ඔන්න අපි ගියා...ආයෙ මොකටද මේ උදේ පාංදර දෙස් දෙවොල් අහන්නෙ…'' 

ආපසු හැරුනු විජේ අයිය ගේ පිටිපස්සෙ තිබුනු ළිඳ දිහාවට යන්ට ගියා. 

'' අර මනුස්සයටත් පිස්සිද මන්ද උදේ පාංදරම කුකුලත් අරගෙන ඔය ගියෙ.... '' 


විජේ තමන්ටම කියාගත්තෙ එහෙම යමින් ගමන.. 

'' අයියෙ මේ?................. '' 

'' ආ,,නංගි .....මට කතා කලාද? "' 

විජේ නැවතිල ආපහු හැරුන....මිනිහ හිනාව තද කරගන්ට තොල් විකාගන්නව මුතු දැක්කෙ නෑ...එයා හිටියෙ ආයෙම බිම බලාගෙන… 


'' නෑ මට අයිය කුකුල නැතිවෙච්චි කතාවක් කියනව ඇහුන ....හැබෑට අද උදේ ඒකා අඬලනව ඇහුනෙත් නෑ....මොකද ඌට වෙලා තියෙන්නෙ? '' 

'' අම්මප?....එහෙමද බොල උඹට ඇහුනෙ?....මම කිව්වෙ නං අර ඊයෙ ඉඳල මෙහෙ නැවතිල ඉන්න කොලු ගැටය...අර බලි කුරුටුගාන ගොබිල…. ආං ඒකා පාංදරම පංසලට ගියයි කියලයි '' 

බලි කුරුටු ගාන කොලු ගැටය.??????........විජේ අයිය එහෙම කියන්නෙ මුතූව කේන්ති ගස්සන්න බව හොඳටම දැනගෙනත් මුතූගෙ හිතට ආවෙ කේන්තියක් 

'' මේ අයියෙ...මිනිස්සුන්ට අපහාස කරන එකේ සීමාවක් තියෙන්න ඕන...ඔයාට කවුරුහරි සීපද ගොතන එකා කිව්වොත් ඔයයිට තරහ යන්නෙ නැද්ද?...." 

විජේ අයියා ඇවිල්ල හොඳ කවියා.....මුතූගෙ අක්ක කුසුමෙ එක්කල ඔය සෙනෙහෙවන්ත කම පටන්ගත්තෙත් කවි ගොතලම තමයි.මුතූ ඉතින් මොකෝ නොදන්නෙ ඒ විස්තර........දෙන්නගෙ කවි කොල එහාට මෙහාට අරගෙන ගියෙ ඒ දවස්වල ආය වෙන කවුරුවත්ය? 

'' අනේ මට නම් කිසිම තරහක් යන්නෙ නෑ..ඉතිං බොරුවක් නෙවෙයි නෙව....කවි කියන්නෙත් සීපදම තමයි.....හරි ඒක පැත්තක තිබිච්චාවෙ.....මම කලේ අපහාසයක්මය කියල කියමු....දැං මට කියාපං බලන්ට මයෙ නෑනො...උඹට මොකටද ඔය හැටි ඩෝං ගියෙ ඒකට? '' 

ඔන්න මුතූ ආයෙම රතු උනා… 

'' නෑ අයියෙ මේ කාට උනත් නිරපරාදෙ.......'' 

වචන ගිලගත්තු ඈ ලහි ලහියෙ අතු ගාන්ට පටං ගත්තෙ හිතේ දෙගිඩියාව විජේ අයියට පෙනෙයි කියල හිතපු හින්ද... 

'' හරි බං හරි..........'

විජේ අයිය ඒ පාරනම් හිනා උනේ ගමටම ඇහෙන්ඩ...... 

'' මට උඹෙං නිදහසට කරුණු ඕන නෑ...මම බොරු කිව්වෙ....සිත්තරා තාම ගියේ නෑ...ඔන්න ලෑස්ති වෙනව පන්සලට යන්ට....'' 

'' ඒයි සිත්තර මලේ....මෙහෙ වරෙං බං........ඔන්න ඔය ඉදලකුත් අරගෙන.....අපේ මේ වත්තෙත් නොසෑහෙන්ඩ කොල රොඩු....අපෙ නෑනන්ඩි එයාලගෙ වත්තෙ ඉඳල අතු ගාගෙන වැට ළඟට එයි. උඹ මේ පැත්තෙ ඉඳල අතුගාගෙන පලයන් වැට ළඟට.....වැට ලඟදි දෙන්න ඉදල් දෙක වීසි කරල එහෙම......'' 

'' අයියෝ මේ විජේ අයියගෙ කට තමයි කට.......'' 

මුතූ කෑගැහුවෙ ලැජ්ජාවට වඩා කේන්තියෙන්,…. කේන්තියට වඩා ලැජ්ජාවෙන්... 

'' හරි හරි….. ඒ මොකක් හරි.... අන්න අරුන්දැ එනව.....ම්ම යනව යන්ට..හැබැයි නඟෝ එකක්......ඒබරං ආතගෙ කඩේ තිබ්බ තරමක් ලොසින්ජර,නාරං බික්, ටොපි චොකලොට් උඹ මයෙ ගානෙ කොටා බෑව නෙව...මට මතකයි ඒ දවස්වල අක්කට එක කවි කොලයක් අරං යන්ට උඹ අය කොලා ටොපි දහයයි,චොකොලොට් තුනයි ලොසින්ජර පහක්ද කොහෙද?.....මම ඔව්ව ඔක්කොම එකක් නෑර පොතක ලියාගෙන තියෙන්නෙ.....ඔන්න අහගනිං එහෙනං.....මා බොට අරං දීල තියනව ටොපි තුන්සිය හතලිහයි, චොකලොට් එකසිය තුනයි, ලොසින්ජර හැටපහයි, නාරං බික් දෙසිය පනස් එකයි.... හොඳද? ඔන්න නොකිව්වයි කියන්ට නං එපා..එව්වට පොලිත් එක්ක ලෑස්ති කොර ගනිං මේ වැඩේ කෙරෙන්ට ඕනම නං....'' 

විජේ අයියා මහ හයියෙන් හිනා වෙවී ලිඳ පැත්තට යනව මුතූ බලා හිටියෙ යාන්තමට තොල් අග පිපිච්ච හිනාවකුත් එක්ක...ඒ දවස්වල විජේ අයියගෙයි අක්කගෙයි සෙනෙහෙ පලහිලව්ව දවස්වල මුතූ තමයි පනිවිඩ කාරය....චොකලට් නම් ආය කීයක් නම් විතර........ 

'' මුතූ !!!!!!!...... '' 

කන ගාවින්ම ඇහුන ඒ හඬට මුතූ ගැස්සිල ඇහැරුන සිතිවිලි ලෝකෙන්.....වික්‍රම...වැට ලඟටම ඇවිල්ල...හිනා කටකුත් පුරෝගෙන බලාන ඉන්නව…....මුතූගෙ පපුව එක මොහොතකට නතර උනා......ඒ කරල ආයෙම..................... 

මතු සම්බන්ධයි