Friday 4 December 2015

සරණ බන්ධන.....8 - ගමන

සමන්තාට කෝල් එක ගත්තෙ සුපුන්, අරවින්දගේ ෆෝන් එකෙන්. එයාම කෝල් එක ගන්න එක හොඳ බව තීරණය කළේ හතර දෙනාම එකතු වෙලා. වෙන කෙනෙක් කතා කළානම් සමන්තා මග අරින්න තියෙන ඉඩ වැඩියි. ෆෝන් එක රිං වෙන සද්දෙට සුපුන් ඇහුම්කන් දීගෙන හිටියේ ඇස් දෙක පියාගෙන. තොල් දෙක හපාගෙන කඳුළු හිර කරගෙන හිටිය අවන්ති අක්කාගේ අතින් අල්ලගෙන දසුනි අරවින්ද අයියා දිහා බැලුවා. එයා කකුලෙන් වැලි පොළොවේ රවුම් අඳිනවා. පොඩි එකෙක් වගේ. දසුනිට හිනා යන්න ආව හින්දා අතින් කට වහගත්තා.

"හෙලෝ! සමන්තා?"

..........
"සුපුන්."
..........
"කොහොමද ඔයාට?" සුපුන් අයියාගේ කටහඬේ වෙනස දසුනිටත් තේරුණා. එයා අවන්ති අක්කා දිහා බැලුවා. එයා මේ මොහොත දරාගෙන ඉන්නේ කොච්චර අමාරුවෙන්ද කියලා දසුනිට තේරුණා.
............
"ඔයා තාමත් ලංකාවේ නේද?"
............
"සමන්තා, මට ඔයාව හම්බවෙන්න ඕනේ."
.............
"No, no, මමයි අවන්තියි දෙන්නම. I know that you met her yesterday."
............
"ප්ලීස් සමන්තා. අපි දෙන්නටම ඔයත් එක්ක කතා කරන්න දෙයක් තියෙනවා."
.............
"Please give us a chance."
.............
"I know how you feel. I understand that very well. I'm really sorry about that. But this is really important Samantha. Please."
............
"Yes, she's here." සුපුන් අයියා අවන්ති අක්කා දිහාවට හැරුණා. ඊලඟට ෆෝන් එක එයාට දුන්නා. අවන්ති අක්කා ෆෝන් එක ගත්තේ වෙව්ලන අතෙන්.

"හෙලෝ!"

..................
"සොරි සමන්තා, මට කියන්න වුනා එයාට."
.................
"ඔයා ඊයෙ මගෙන් හංගපු දෙයක් තිබ්බා නේද? ඔයා මට ඔක්කොම කිව්වයි කිව්වට නොකියපු දෙයක් තිබුණා. සුපුන්ගෙන් ඒ ගැන දැනගත්තා මං." අවන්ති අක්කා ආයෙමත් අඬන්න පටන්ගත්තා.
.................
"Supun wants to meet you. He has something to ask from you. ඔයා හම්බවෙන්න ඉඩ දෙනවනං මමත් එන්නම් එයත් එක්ක. මට ඒ ගැන මුකුත් අහන්න ඕනෙ නෑ. ඒත් ඒකෙන් අපේ අනාගතේ මොන විදියට වෙනස් වෙයිද කියන්න බෑ. So I'm glad if you can give a chance to Supun."
..................
"I know, I know." අවන්ති අක්කා සුපුන් අයියා දිහා බැලුවා. "ඒක මෙහෙම කියන්න බෑ සමන්තා..."
.................
"Thank you so much." අවන්ති අක්කා ෆෝන් එක ආපහු සුපුන් අයියා අතට දුන්නා.

"සමන්තා?"
...............
"අපි දැන්මම එන්නං. Thank you very very much." ෆෝන් එක කට් කරපු සුපුන් අයියා අරවින්ද අයියා දිහාට හැරුණා.

"ඒගොල්ලෝ කටුනායක යන ගමන්. ෆ්ලයිට් එක හවස හතරටලු. හම්බවෙන්න වෙලා තියෙනවා."

අරවින්ද අයියා ඔළුව වැනුවා. ඊලඟට දසුනි දිහා බැලුවා. "දසුනි මොකද කරන්නේ? ඔයාව කැම්පස් එකෙන් බස්සගෙන යන්නද අපි?"

දසුනි අවන්ති අක්කා දිහා බැලුවා. එයාව මෙහෙම ඉන්න කොට තනි කරලා යන්න හිතක් ඇත්තෙම නෑ දසුනිට. පව්. ගිහිල්ලා සමන්තාව හම්බ වෙලා කතා කරලා ඊට පස්සෙ ඒ සුපුන් අයියගේ බබෙක් කියලා ඔප්පු වුනොත්? අවන්ති අක්කා මේ ඉන්න හැටියට ඒක එයාට තනියම දරාගන්න කොහෙත්ම අමාරු වෙයි. දසුනි අවන්ති අක්කා දිහා බැලුවා. "අක්කි, මං ඔයත් එක්ක එන්නද? හැබැයි අපෙ තාත්තට කියන්න වෙනවා ඔයාලත් එක්ක යන්නේ කියලා."

අවන්ති අක්කා කල්පනා කළා. "මාමට කිව්වටනං කමක් නෑ නංගි. මාමා තේරුම් ගනියි. ඒත් අපේ අම්මලාටනං දැනගන්න දෙන්න එපා කියන්න. ඒ නැතත්, ඔයා ක්ලාස් යන්න නංගි. ඒකට කමක් නෑ."

දසුනි ආයෙමත් අවන්ති අක්කාගේ අතින් අල්ල ගත්තා. "මං ඔයා එක්ක හිටියොත් හොඳයි කියලා හිතෙනවා අක්කි. අනික අපිට ක්ලාසුත් නෑ. ස්ටඩී ලීව්. යාළුවො ටික කැම්පස් එකේ ඉඳන් පාඩම් කරනවා."

"ඔයාට ෂුවර්ද?"

"ඔව් අක්කි, මං එන්නං."

"තැන්ක් යූ නංගි."

"තැන්ක් යූ නංගි," සුපුන් අයියත් කිව්වා.

"තැන්ක් යූ නංගි," අරවින්ද අයියත් කියනවා ඇහුණා. දසුනි එයා දිහා හැරිලා බැලුවේ ඔරෝගෙන. එයා එහෙම කිව්වේ ඔලොක්කුවට කියලා දසුනි දන්නවා. තාත්තාගේ මොබයිල් එකට කෝල් එකක් අරන් නොකියාම බැරි විස්තර ටික විතරක් කියලා දසුනි අවසර ගත්තා. එයාගෙ තාත්තා සාමාන්‍යයෙන් ඕනෙම කාරණාවක් ගැන විවෘතව හිතන කෙනෙක්. දසුනිට වගේම අවන්තිටත් ඒ ගැන විශ්වාසයි.

අරවින්ද ඩ්‍රයිවිං සීට් එකෙත්, සුපුන් එහාපැත්තෙත්, අවන්තියි දසුනියි පිටිපස්සෙත් වාඩි වුනා. ටික දුරක් යනකල් කවුරුවත් කතා කළේ නෑ. කටුනායකට යනකල් මෙහෙම යන්නෙ කොහොමද? දසුනි කතා කරන්න හිතුවා. මේ තියෙන ප්‍රශ්න කටුනායකට යනකල්වත් අමතක වෙන විදිහට මොනවද කතා කරන්න පුළුවන්.

"අරවින්ද අයියා මොකද අපේ මල්ලිත් එක්ක ෆෝන් මාරු කරගත්තේ?"

අරවින්ද ඉස්සරහා කණ්ණාඩියෙන් එයා දිහා බලනවා දසුනි දැක්කා. "ඇයි මොකද හොඳ නැද්ද?"




"නෑ මං ඇහැව්වේ ඇයි කියලා."

"එහෙම මාරු කරගත්තෙ නැත්තං මං කොහොමද ඔයාගෙ නම්බර් එක හොයාගන්නෙ? එහෙම හොයාගන්න බැරි වුනානං මං කොහොමද ඔයාව අද ගෙන්න ගන්නෙ? එහෙම ගෙන්නගන්න බැරි වුනානං කවුද අද අවන්තිගෙ තනියට ඉන්නෙ?"

"ඔය නංගි මේකා ඔයාගෙ නම්බර් එක ගන්න ඕනවටම කරපු වැඩක්," සුපුන් අයියාත් කතාවට එකතු වුනා. දසුනිව රතු වෙලා ගියා.

"ආන්න හරි. ඔය කිව්වෙ. හරිනෙ දැං, උත්තරේ හම්බ වුනානේ?" තාලෙට ඇදලා පැදලා එහෙම කියපු අරවින්ද අයියා ආයෙම කණ්ණාඩියෙන් පිටිපස්ස බැලුවා. "අනේ මේ, මට මොකටද මෙයාගෙ නොම්බර?"

"එහෙනම් මොකටද ෆෝන් මාරු කරගත්තේ?" දසුනි ඇහැව්වෙ කේන්තියෙන්.

"පොඩි එකා ආසාවෙන් මගෙ ෆෝන් එක බල බල හිටියා. මට ඉතිං අළුත් එකක් ගන්න බැරියැ. මගෙ එක එයාට දීලා එයාගෙ එක මං ඉල්ලගත්තා."

දසුනි කට පියාගත්තා. අපරාදෙ, ඒ ගැන අහන් නැතුව ඉන්න තිබ්බේ. එහෙනං මේ ඇත්ත දැනගත්තම හිතට දැනෙන දුක දැනෙන්නෙ නෑනේ. අරවින්ද අයියා ආපහු සැරයක් කණ්ණාඩියෙන් එයා දිහා බලාගෙන ඉන්නවා දැකපු දසුනි ඉක්මණට අහක බලාගත්තා. ඒ මෝඩයත් එක්ක කතා කරන එක නවත්තලා අවන්ති අක්කා එක්ක කතා කරන්න ඕනේ. ඒත් මොනවද කතා කරන්නේ? දසුනිට හිතාගන්න බෑ. වෙඩින් එක ගැන, හෝම් කමින් එක ගැන මුකුත් කතා කරන්න බෑ. වෙන මොනවද? පොතක් ගැන? ෆිල්ම් එකක් ගැන? අවන්ති අක්කා ඒවා ගැන කතා කරන්න පුළුවන් මූඩ් එකකද ඉන්නේ?

"ඇයි අර අනිත් එක මං දැනගත්තෙ කොහොමද කියලා අහන්නෙ නැද්ද?" ඒ ගමන ආයෙමත් අරවින්ද අයියා. එයා ආපහු කණ්ණාඩියෙන් පිටිපස්ස බලාගෙන.

"මේ, පාර දිහා බලාගෙන වාහනේ එළවනවද?" දසුනි කෑ ගැහැව්වා.

"ඇයි මං ඔයා දිහා බලං හිටියා කියලද හිතුවේ. මං අර පිටිපස්සෙන් එන වාහනේ ඕවර් ටේක් කරන්න හදනවද කියලයි බැලුවේ."

දසුනි දත්මිටි කාගෙන ආයෙමත් අහක බලාගත්තා.

"අවන්ති, ඔයාගෙ මේ නංගි පොඩ්ඩ ගිය සතියේ ක්ලාස් කැන්සල් වෙච්ච දවසක ගෙදර නොගිහින් යාළුවොත් එක්ක හොරෙන්ම ෆිල්ම් බලන්න ගිහිල්ලනේ. ඉන්නෙනං දෙකට ගණින්න බෑ වගේ."

දසුනි කණ්ණාඩියට එරෙව්වා. ඒ වුනාට අරවින්ද අයියා ඒකෙන් බලං හිටියේ අවන්ති අක්කා දිහා. අවන්ති අක්කට දසුනිලාගෙ කතා මුකුත් ඇහිලා නෑ. වෙන කොහෙද ලෝකෙක අතරමං වෙලා ජනේලෙන් එළිය බලාගෙන ඉන්නවා. දසුනි එයාගේ අතින් අල්ලගත්තා. "අක්කී..." අවන්ති ගැස්සිලා දසුනි දිහා බැලුවා. "වැඩිය හිතන්න එපා. හැමදේම හොඳින් විසඳෙයි."

යාන්තමට හිනාවුණ අවන්ති ආයෙමත් ජනේලෙන් එළිය බලාගත්තා.

සුපුන් අයියත් පිටිපස්ස හැරිලා අවන්ති අක්කා දිහා බැලුවා. "අවන්ති ඔයාට බඩගිනිද?" අවන්ති අක්කා නෑ කියන්න ඔළුව වැනුවා. "ඊයෙ රෑ කෑවෙත් නෑ, අද උදෙත් හරියට කෑවෙ නෑනේ?" අවන්ති අක්කා සද්ද නැතුව හිටියා.

දසුනි එයාගෙ බෑග් එක අවුස්සන්න ගත්තා. "ඉන්න, මගෙ ගාව බිස්කට් ඇති."

"ඔය ළමයා දවල්ට කන්නෙ බිස්කට්ද?" ආයෙමත් අර මෝඩයා.

"ඔව්! ඇයි මොකද?" දසුනි බෑග් එකට ඔළුව ඔබාගෙනම ඇහැව්වා.

"අනෙ අම්මේ, ඔය බිස්කට් එකක් හොයාගන්න ඔච්චර අමාරුද ඔය මල්ලෙන්? ඕක අස්සෙ ගැරඬි පොළොංගු එහෙමත් ඉන්නවද දන් නෑ?"

වැඩේ නතර කරපු දසුනි හොඳට කෙළින් වෙලා කෙළින්ම අරවින්ද දිහා බැලුවා. වාහනේ එළෝ එළෝ හිටියෙ නැත්තං දනී බෙල්ල මිරිකන හැටි! සුපුන් අයියාගෙ පිටිපස්සෙන් වාඩි වෙලා හිටපු දසුනිගේ ඒ ගිනි පිටවෙන රැවිල්ලට ඒ මෝඩ කටකාරයාව අළු වෙලා යනවනං කියලා දසුනිට හිතුණා. "හාපෝ!" මෝඩයා වම් අතෙන් මූණෙ වම් පැත්ත වහගත්තා. "දවල්ට බිස්කට් කන නෝනා උදේට කාලා ඇවිත් තියෙන්නේ කොච්චි මිරිස්ද කොහෙද? ඒ මචං, ඒ සී එක පොඩ්ඩක් වැඩි කරන්නද?"

සුපුන් අයියටනං ඒ වෙලාවෙදි පොඩි හිනාවක් ගියා. "පව් බං පොඩි කෙල්ල. ඕක නවත්තලා දාපං."

ඒත් අවන්ති අක්කගේ මූණටනං හිනා රැල්ලක්වත් ආවෙ නෑ. එයා තාමත් ලොකු කල්පනාවක. බිස්කට් පැකට් එක එළියට ගත්ත දසුනි බිස්කට් දෙකක් එළියට අරගෙන බලෙන්ම අවන්ති අක්කගෙ අතේ තිබ්බා. ඊලඟට සුපුන් අයියටත් ඇල්ලුවා. "සුපුන් අයියෙ ආ." මෝඩයාගෙ පැත්තටවත් අල්ලන්නෙ නැතුව බිස්කට් පැකට් එක ආපහු ගත්ත දසුනි එයාගෙ අතටත් බිස්කට් දෙකක් ගත්තා.

"කෝ මට නෑ?"

දසුනි ඒත් උත්තරයක් දුන්නෙ නෑ. බයිට් වෙනවයි කියලා ඔහොමත් බයිට් වෙන්න පුළුවනැයි. ඕනෙම දේක සීමාවක් තියෙන්න එපැයි. එයාගෙ විහිළු ඕනෙවට වැඩියි. සද්ද නැතුව තව බිස්කට් තුනක් අතට ගත්ත දසුනි පැකට් එක පිටින්ම ඉතිරි ටික ඉස්සරහා සීට් දෙක අතරින් තිබ්බා. අවන්ති අක්කා ජනේලෙන් එළිය බලාගෙනම බිස්කට් එක හෙමින් හෙමින් කන හැටි බලන් හිටපු දසුනි ආයෙමත් ඔළුව ඉස්සරහට හරවපු වෙලාවේ නොහිතාම ඉස්සරහා කණ්ණාඩිය දිහා බැලුවා. ආයෙමත් එයා දිහා බලාගෙන. දසුනිගෙ ඇස් ඒ ඇස් වල ගැටුණ ගමන්ම ඒ එක ඇහැක් ඉඟි මැරුවා. දසුනි අහක බලාගත්තා. අවන්ති අක්කා අහන් හිටියත් නැතත් කමක් නෑ කියලා හිතලා එයා ගිය සතියේ යාළුවොත් එක්ක බලපු ෆිල්ම් එක ගැන එයාට හෙමින් සැරේ කියන්න පටන්ගත්තා.




3 comments:

  1. මෙයා මෙතන මේ ප්‍රධාන කතාව පැත්තක තියෙද්දි අර සහාය නළුවගෙයි නිළියගෙයි ඔමරි බොමරි ගැන නෙව වලිගෙ විකාගෙන රහකරකර ලියන්නෙ. ඒ ගැන පොඩි රෙගියුලේෂන් එකක් ගේන්ට වෙයි වගෙ මට පේන්නෙ.මම කිව්වෙ මේ ගයිඩ්ලයින් එකක් වගෙ. හෙහ්,හෙහ්,

    ඔන්න ඊලඟ කොටසෙදි ඔය අරවින්දයා සිත්තරෙක් කරලයි පස්ස බලන්නෙ මේ මහගෙ...එහෙම නොවුනොත් මම මගෙ මැද කණ කපනව..දෙයියම්ප..කපන එකත් කපනව.

    ReplyDelete
    Replies
    1. ඉතිං මේ කතාන්දරේ පටංගත්තු එක්කෙනත් එහෙමනෙ ලියලා තියෙන්නේ, හා නැද්ද? අනික, ප්‍රධාන කතාව කෙළින්ම කියන්නේ නැතුව අතුරු කතා වලින් ප්‍රධාන කතාව ගොඩනැගෙන්න ඉඩ දෙන එකෙත් පොඩි මෙව්වා එකක් නැද්ද?

      ඇත්තම කියනවනං ලොකු අයියේ ඕක මටත් ප්‍රශ්නයක්. මම මේ මේලක් ගහලා ඔයැයිලගෙන් අහන්ඩ එන්න කියලා හදද්දි තමා මේ කමෙන්ට් එක දැක්කේ. මට මේ ඩබල තරං හොඳට අර ඩබලව ආරූඪ කරගන්න බෑනේ.

      /*ඔන්න ඊලඟ කොටසෙදි ඔය අරවින්දයා සිත්තරෙක් කරලයි පස්ස බලන්නෙ*/

      හා, එහෙමයි නේ හිතං ඉන්නේ. (චෙහ්ඃ දැං මේ මැට්ටා මේක මෙතන කියලා මට ඉස්සරහ ලියපු ටික ඔක්කොම වෙනස් කරන්ඩ වෙනවනේ.)

      /*මම මගෙ මැද කණ කපනව*/

      කොයි? ඔය නළල මැද තියෙන එකද? හප්පට සිරි ඒ කනක්ද? මං මෙච්චර කල් හිතං හිටියේ අර යුනිකොර්න්ගේ නළල මැද තියෙන ජාතියේ එකක් කියලා. :D

      Delete
    2. හෙහ්...මම ඒ නිකමට කිව්වෙ බං ඒක ගණං ගන්ට එපා. ඔයයිට ඕන විදිහට ඔයයි ලියන්ට. ඔයා ලියන විදිහට අකමැති කෙනෙක් ඉන්නවනං අරවින්ද - දසුනි ගැන ලියවෙනව වැඩියි කියල අපේ කවුරු හරි කියනවනං මම බලාගන්නං ඒ ගැන..හුහ්..උන්දල දන්නෙ නෑ තාම මගේ ගැන.

      රයිට් අපි මෙහෙම කරමු. අර කතරගම ගිහාම අපේ බෞද්ධ මහෝපාසකයො කොරන වැඩේ කරමු. ඒ කොහොමද? මෙන්න මෙහෙමයි. බෞද්ධයො හැටියට කිරි වෙහෙර වඳින්ටම එපාය. ඒ හින්ද ඇපෙං බේරෙන්ට වගෙ යන්තං මල් ටිකක් තියනව මලසුනේ. ඒ කරල " ඔන්න බුදුං මල් මේන්න අපි ගොයිං " කියල දනි පනිගාල දුවනව කතරගම දේවාලෙට. ඊට පස්සෙ එතන වරුවක් විතර පෙරලි පෙරලි වඳිනව යාතිකා කර කර.

      අන්න ඒ වගෙ ඔය යන්තමට අරුං දෙන්න ගැන ( අරුං මීන්ස් සුපුං ඇන්ඩ් අවන්ති ) මොනවහරි කියල මේ දෙන්නගෙ ( අයි මීන් අරා ඇන්ඩ් දසූ ) පේම වුර්තාන්තය ලියමු ෆුල් ටයිම්. ඕකේ? යූ ගෙට් වට් අයි මීන්?

      Delete