Monday 27 April 2015

සරණ බන්ධන..........4 - ගිගිරුම්

සුපුන්! අවන්ති හිතුවා වගේම සුපුන් කාමරේ හිටියා. දොරේ හැන්ඩ්ල් එක අල්ලගෙනම අවන්ති සුපුන් දිහා බලාගෙන හිටියේ හරියට කවදාවත් දැකලා නැති කෙනෙක් දිහා බලාගෙන ඉන්නවා වගේ. ඇත්ත. මේ සුපුන්ව අවන්ති මීට කළින් කවදාවත් දැකලා නෑ. මේ එයා දැනගෙන හිටිය සුපුන් නෙවෙයි. කවුදෝ අතින් අල්ලනවා දැනිලා තිගැස්සුන අවන්ති ඔළුව හරවලා බැලුවා. දසුනි කාමරේ ඉන්නවා අවන්ති දැක්කේ එතකොටයි. සුපුන් එයා ලඟට ඇවිදගෙන එනවා අවන්ති දැක්කා. සුපුන්ගේ මූණේ තියෙන්නේ තරහක්ද, දුකක්ද, බයක්ද... මොකක් වුනත් අවන්තිට මොකද. එයාගෙ හිත ඇතුලේ තියෙන දේවල් ඒ හැම දේකටම වඩා වැඩියි. අවන්ති ලඟට ආපු සුපුන් මුලින්ම කළේ අවන්තිගෙ අත දොරේ හැන්ඩ්ල් එකෙන් අයින් කරලා දොර වහලා දාපු එක. ඊලඟට අවන්ති ඉස්සරහා හිටගත්තා. සුපුන් අවන්තිට වඩා හරියටම අඟල් හතරක් උසයි. වෙනදටනම් සුපුන් මෙහෙම ඉන්නකොට ඔළුව උස්සලා සුපුන්ගෙ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න අවන්ති හරි ආසයි. තද අළු පාට ඒ ලස්සන ඇස්. ඒත් මේ වෙලාවෙදි අවන්ති හිටියේ බිම බලාගෙන - ඇත්තටම ඔළුව බිමට බර වෙලා තිබ්බත් අවන්තිගේ ඇස් දෙක තිබුණේ එදා උදේ පෝරුව උඩදි සුපුන් එයාගේ වම් අතේ වෙදැඟිල්ලේ පලන්දාපු රත්තරන් මුද්දේ. 


"කොහෙද ගියේ?" සුපුන් අහනවා අවන්තිට ඇහුනා. ඒක ආදරෙන් පිරිච්ච හඬක් නෙවෙයි. සාදරණයි. මෙහෙම වෙලාවක මොන මනමාළයාටද ආදරෙන් කතා කරන්න හිතෙන්නේ. 

"යාළුවෙක් හම්බවෙන්න." අවන්ති වචන ගැටගහගත්තෙ බොහොම අමාරුවෙන්. උගුරෙ හිරකරගෙන ඉන්න ඉකිය හින්දා උගුර නොසෑහෙන්න රිදුම් දුන්නා.


"වෙඩින් එකට ආපු නැති කෙනෙක්?"


"ඔව්."


"මං සින්දු කියන වෙලාවෙ කෝල් කළෙත් එයාද?"
 

අවන්ති යාන්තමට ඔළුව ඉස්සුවත් සුපුන්ගෙ ඇස් දෙක දිහා බැලුවෙ නෑ. 
"ඔව්," එයා ආයෙමත් හෙමීට කිව්වා.
 

"ඉතිං ඇයි තනියම ගියේ?"
 

"මට දසුනිව හොයාගන්න බැරි වුනා." අවන්ති ඒ කිව්වෙ ඇත්තම ඇත්ත. එයා හෝල් එකෙන් යන්න දසුනිව හෙව්වා. මාමාගෙ දුව වුනත් දසුනි තමන්ගෙම නංගියෙක් තරමට අවන්තිට එකතුයි. ඒ වෙලාවෙදි දසුනිත් ලඟ හිටියනම් ඇත්තටම මේ දේවල් දරාගන්න අවන්තිට මීට වඩා හිතට හයියක් ලැබෙන්න ඉඩ තිබ්බා.
 

සුපුන් ටිකක් වෙලා සද්ද නැතුව බලාගෙන හිටියේ අවන්ති කියන්නේ ඇත්තමද කියලා දැනගන්න වෙන්න ඇති. එයා ඒවා බොරු කියලා හිතුවත් අවන්තිට මොකද. සුපුන් මොනවා හිතුවත් අවන්තිට වැඩක් නැහැ. අවන්තිගෙ හිතේ ඊට වඩා ගොඩක් දේවල් තියෙනවා.
 

"ඇයි එයා ඔයාගෙ ෆෝන් එකට කතා නොකර හොටේල් කමියුනිකේෂන් එකට කතා කළේ?"
 

මේ මොන උසාවියක්ද! හරිනං සුපුන්ගෙන් උසාවියක වගේ ප්‍රශ්න අහන්න ඕන අවන්තියි!
 

"ඇයි එයා හෝල් එකට ඇවිත් ඔයාට කතා කළේ නැත්තේ?"
 

අවන්ති තාමත් බිම බලාගෙන. සුපුන්ගේ කටහඬට නුහුරු කේන්තියක් එකතුවෙලා. එයාද ඇත්තටම කේන්ති ගන්න ඕන, අවන්තිට තේරෙන්නෙ නෑ. ඇත්තටම වෙලා තියෙන ගොඩක් දේවල් අවන්තිට තේරෙන්නෙ නෑ. දසුනි ආයෙමත් අවන්තිගෙ අතින් අල්ලගන්නවා දැනුනා.
 

"මොන එහෙකටද ඔයා අපි කාටවත් නොකියා එහෙම ගියේ? මෙතන අපි කොච්චර බය වුනාද? ඔයාගෙ ෆෝන් එකට මොකද වුනේ? ඇයි ඒක ඕෆ්-"
 

"මචං නවත්තපං. ඔය ඇති."
 

ඒ කවුද? අවන්ති ඔළුව ඉස්සුවා. අරවින්ද. එයත් ඒ ලඟම ඉන්නවා අවන්ති දැක්කෙ එතකොටයි. සුපුන්ගෙ හොඳම යාළුවා. අම්මා තාත්තවත් දන්නෙ නැති එකේ සුපුන්ගෙ වැඩ ගැන මෙයාවත් දන්නවද දන්නෙ නෑ. එක්කෝ දැන දැනම හැමෝම අපෙන් ඒ දේවල් හැංගුවද...

"මොකද ඔය අඬලා?" මෙච්චර වෙලා මූණ බිමට හරවගෙන හිටපු නිසා අවන්තිගෙ ඇස් වල තිබ්බ කඳුළු සුපුන්ට පේන්න ඇත්තේ දැන් වෙන්න ඇති. අවන්ති හෙමීට කඳුළු පිහදගත්තා. කඳුළු එක්ක දිය වෙච්ච නෙත් අඳුන් අවන්තිගේ ඇඟිලි වල කළු පාටට පැල්ලම් ඉතිරි කළා. අවන්ති ඒ දිහා බලාගෙන හිටියා. "පරණ කොල්ලව හම්බවෙන්නද ගියේ???"


ඒ ගමනනම් අවන්ති කෙළින්ම සුපුන් දිහා බැලුවා. ඒ තද අළු පාට ලස්සන ඇස්. මෙච්චර වෙලා අවන්තිගේ ඇස් කෙවෙනි වල රැඳිලා තිබ්බ කඳුළු සට සට ගාලා කඩා වැටෙන්න ගත්තා.


දසුනි අවන්තිව බදාගත්තා. "අවන්ති අක්කට එහෙම කෙනෙක් හිටියෙ නෑ," දසුනි කිව්වේ කේන්තියෙන්.


"සුපුන්, උඹට පිස්සුද බං?" අරවින්ද සුපුන්ව හයියෙන් අල්ලගන්නවා අවන්ති දැක්කා. සුපුන් අවන්තිට ගහන්න ලෑස්ති වෙයි කියලා හිතලා වෙන්නැති. ගහන්න ඕනෙනං ගහපුදෙන්. ඒ මොනවා කළත් සුපුන් නිවැරදිකාරයෙක් වෙන්නෙ නෑ.


"පිස්සුද කියලා අහපං මගෙන් නෙවෙයි මෙන්න මෙයාගෙන්!" සුපුන් කෙළින්ම අවන්ති දිහාට ඇඟිල්ල උරුක් කරලා කිව්වා.


"මේ, ප්‍රශ්නයක් තියෙනවනං කතා කරලා විසඳගනිං, බොරුවට කෑ නොගහා. අද උදේ උඹලා දෙන්නා කසාද බැන්දේ. දැං උඹලා දෙන්නා ගෑණියි මිනිහයි. මොළේ කල්පනා කරලා වැඩ කරපල්ලා රට්ටු හිනස්සන්නෙ නැතුව!" අරවින්ද ලොකු දේශනාවක් කළා.


අද උදේ උඹලා දෙන්නා කසාද බැන්දේ, අරවින්දගේ වචන අවන්තිගේ හිත ඇතුලේ දෝංකාර දුන්නා. අපරාදෙ. අවන්තිට ඇත්තටම එක මොහොතකට එහෙම හිතුණා. ඒ එක්කම තව වචන පේළියක් දෝංකාර දෙන්න ගත්තා - රට්ටු හිනස්සන්නෙ නැතුව! රට්ටු හිනාවෙන්නෙ කාටද? සුපුන්ටද අවන්තිටද? ඒ දෙන්නටම වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම තවත් කට්ටියකට ඒ හිනාවට ලක් වෙන්න වෙනවා. අවන්තිගෙ අම්මටයි තාත්තටයි. කිසිම දෙයක් නිසා අවන්ති සිද්ද වෙන්න ඉඩ තියන්නෙ නෑ ඒ දේනම්. අවන්ති එයාගෙ අම්මටයි තාත්තටයි හුඟක් ආදරෙයි. ඒ දෙන්නට අවන්ති ඇරුණාම වෙන කවුරුවත් නෑ. එයාලට නෑදෑයෝ ඉස්සරහා අසරණ වෙන්න ඉඩ දෙන්න බෑ අවන්තිට. ඒ දෙන්නා වෙනුවෙන් අවන්ති හැමදේම දරාගන්න තීරණය කළා. අමාරුවෙන් වුනත්.


"සොරි සුපුන්," අවන්ති ආයෙත් අමාරුවෙන් වචන ගැලපුවා. "මං හැමදේම කියන්නං. ඒත් දැන් බෑ."


"අක්කි අපි යන්නං?" දසුනි ඉක්මණට ඇහැව්වා.


"නෑ නෑ නංගි, ඔයාලා දෙන්නා ඉන්න හින්දා නෙවෙයි." අවන්ති හෙමීට ඇඳ ලඟට ඇවිදගෙන ගිහිල්ලා ඉඳගත්තා. "මට දැම්මම ඒ ගැන කතා කරන්න බෑ." 


සුපුනුත් අවන්ති ලඟින් ඇවිල්ලා ඉඳගත්තා. "අවන්ති." සුපුන් කතා කළේ බොහොම හෙමීට, පරිස්සමෙන්. කළින් තිබ්බ කේන්තිය නෑ ඒ කටහඬේ. ඒ සුපුන්ගේ හැටි, අවන්ති ඒක දන්නවා - සුපුන්ට කේන්ති යන්නේ බොහොම කලාතුරකින්, ඒත් කේන්ති ගියොත් හොඳටම කේන්ති යනවා, ඒ එක්කම ආයෙ ඉක්මණින්ම නිවිලා යනවා. එකම දේ, සුපුන් මීට කළින් කවදාවත් අවන්ති එක්ක මේ තරම් කේන්ති අරගෙන නෑ. "ඔයාට මේ කසාදෙ ඕන නැද්ද?"


අවන්තිගෙ පපුව හෝස් ගාලා ගියා. සුපුන්ගේ මේ කටහඬ එයාගෙ කේන්තියෙන් පිරුණ කටහඬට වඩා දරාගන්න අමාරුයි. අවන්ති කාමරේට එද්දි හිටියේ සුපුන් එක්ක කේන්තියෙන්, කළකිරීමෙන් තමයි. මේ කසාදේ සිද්ද වුනේ අපරාදේ කියලා දැන් මොහොතකට කළින් හිතුණා තමයි. ඒත් සුපුන් ඒ ගැන එහෙම ඇහැව්වාම ඒ හැමදේම අනිත් පැත්තට පෙරලුනා. හිත ඇතුලේ එකකට එකක් පරස්පරව නැගෙන සිතුවිලි දරාගන්න අවන්තිට අමාරු වුනා. එයා අත් දෙකේ මූණ ඔබාගෙන මහ හයියෙන් අඬන්න පටන්ගත්තා. ඒ වෙලාවෙදි අඬන අවන්තිව තුරුළු කරගත්තේ දසුනි නංගි නෙවෙයි සුපුන්මයි. ටික වෙලාවක් යනකල් කාමරේ ඇහුනේ අවන්ති ඉකිගහන සද්දෙ විතරයි. 


"මචං අපි යන්නං එහෙනං?" අරවින්දගේ කටහඬ ඇහුනා.


"හරි මචං. තෑන්ක්ස්." සුපුන් උත්තර දෙනවා ඇහුනා.
 

"අක්කි, අපි යන්නං?" දසුනි හෙමීට අවන්තිගේ අතින් අල්ලගෙන ඇහැව්වා. අවන්ති ඔළුව උස්සලා යාන්තමට හිනා වෙලා ඔළුව වැනුවා.  
"තව ටිකකින් සැලෝන් එකෙන් එයි නේද අක්කි, ගොයින් අවේ ඩ්‍රෙස් කරන්න?"
 

"ඒක කැන්සල් කරමු." අවන්ති ඒ කියපු දේට සුපුන්, දසුනි විතරක් නෙවෙයි දොර ලඟට ගිහින් හිටිය අරවින්දත් ගැස්සිලා අවන්ති දිහා බැලුවා.
 

"අවන්ති!" සුපුන් එයාගෙ නම කියාගත්තෙ ගොඩක් අමාරුවෙන් බව අවන්තිට දැනුණා.
 

"මං කිව්වෙ ගොයින් අවේ චේන්ජ් කරන්න ඕන නෑ, මෙහෙමම යමු." අවන්ති දිගටම කතා කළේ බිම බලාගෙන.
 

"ආ, එහෙනං එච්චරයි," අරවින්ද කියනවා ඇහුනා.
 

"ඇයි මේ?" සුපුන් ඇහැව්වා. "ඔයා කොච්චර ආසාවෙන්ද ඇඳුම් ලෑස්ති කරගෙන මේකට ප්ලෑන් කළේ?"
 

"අක්කි, දැන් පල්ලෙහා ඔයාලා නැති වෙලාවේ කවුරුහරි ඇහැව්වොත් නිපුනිට කියන්න කියලත් අපි කිව්වෙ ඔයාලා ගොයින් අවේ එකට චේන්ජ් කරන්න උඩට ආවා කියලයි."
 

"ඔව්, ඒකනං එහෙම තමයි," අරවින්දත් ආයෙ කල්පනාවකට වැටුනා. 

"දැන් ඔය දෙන්නා ආයෙ ඔහොමම පල්ලෙහාට ගියොත් කට්ටිය බලයි මොකද කියලා."
 

"ඔව් අවන්ති, අනික අපෙ අම්මලත් අහයි ඇයි එහෙම තීරණය කළේ කියලා හිටි ගමන්ම."

අවන්ති ලොකූ හුස්මක් හෙලුවා. ඒත් එයාගේ හිතේ තිබ්බ බරනං ඒකෙන් හෑල්ලු වුනේ නෑ. එයාට වැඩ කරන්න වෙලා තියෙන්නේ අනිත් අයව සතුටු කරන්න, අනිත් අයගෙ ප්‍රශ්න කිරීම් වලට ලක් නොවෙන්න. මේ තරම් හිතේ පීඩනයක් අවන්තිට මතක ඇති කාලෙකට දැනිලා නෑ. "එහෙනං ඉතින් එන්න කියන්න," අවන්ති කිව්වේ බිම බලාගෙනම.
දසුනියි අරවින්දයි කාමරෙන් පිට වෙලා යනවා ඇහුණත් අවන්ති ඔළුව ඉස්සුවේ නෑ. සුපුන් ලඟින්ම වාඩි වෙලා එයා දිහාම බලාගෙන ඉන්න බව අවන්තිට දැනුණත් අවන්ති ඔළුව ඉස්සුවේ නෑ.
 

එයාගෙ හිත ඇතුළේ සුළි කුණාටුවක් වගේ කරකැවිකැවී තිබ්බ එකකට එකක් ගැලපෙන්නේ නැති හිතුවිලි ගොන්න අතරින් සැරෙන් සැරේට උඩට මතු වෙන එක කාරණයක් නිසා අවන්තිට ඔළුව උස්සලා සුපුන් දිහා බලන්න හිත හදාගන්න බෑ. ඒ ගැන දැම්මම සුපුන් එක්ක කතා කරනවද? ඒත් මොනවා කියලද ඒ ගැන අහන්නේ? ඒ කාරණාව හිත ඇතුළේ තියෙද්දි මේ තරම් වේදනාවක් ගේනවනම් ඒක වචන වලට පෙරලගන්නවත් අවන්තිට පුළුවන් වෙයිද? මේ වෙලාවේ මේ කාරණාව ගැන කතා කරලා හිත නිදහස් කරගත්තේ නැත්තම් මේ යන ගමන සතුටින් යන්න පුළුවන් වෙයිද? සුපුන් එක්ක ඉදිරි ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන් වෙයිද? අඩුම තරමේ සතුට කියන දේට ආයෙ කවදාවත් අවන්තිට උරුමකම් කියන්න පුළුවන් වෙයිද?
 

"සුපුන්."
 

ඒ දේ දැම්ම කතා කරනවද නැද්ද, කොතනින් පටන්ගන්නද කියලාවත් නිනව්වක් නැතුව අවන්ති කතා කරන්න පටන්ගත්තා.
 

"මම ගියෙ..." අවන්ති වචන අතර අතරමං වුනා. ඇයි එයා ගියෙ, කොහෙද ගියෙ, කාවද හම්බ වුනේ, මොනවද කතා කළේ, ඒ හැමදේම අවන්තිට මොහොතකට අමතක වුනා. එයා දිහාම බලාගෙන හිටපු සුපුන්ගේ ඒ තද අළුපාට ලස්සන ඇස් දෙක දිහා අවන්ති මෝහනය වෙලා වගේ බලාගෙන හිටියා. ඒ මෝහනය ඇතුළෙන් අවන්තිට පෙනුනේ එකම දෙයයි...
 

හෝටලේ පස් වෙනි තට්ටුවේ ලොබි එකේ ඉඳන් සමන්තා එක්ක කතා කරලා ඉවර වෙලා ආපහු එන්න ලෑස්ති වෙද්දිම කොරිඩෝ එකක් දිගේ දුවගෙන ඇවිත් අම්මා කියාගෙන සමන්තාගේ ඇඟේ එල්ලිච්ච පුංචි පිරිමි ළමයා...



 එයාට තිබුණෙත් තද අළු පාට ලස්සන ඇස්...
 

සුපුන්ගේ වාගෙම තද අළු පාට ලස්සන ඇස්...

එක පාරටම ඇහුනු දොරට තට්ටු කරන හඬින් අවන්ති මෝහනයෙන් මිදුණා. "අක්කි, සැලෝන් එකෙන් ඇවිල්ලා," කියාගෙන දසුනි රූම් එකේ දොරෙන් එබුනා.




No comments:

Post a Comment