Thursday, 27 September 2012

සෙනෙහසේ නවාතැන ....The Sanctuary of Love.....1

,.,

නුවර ඔර්ලෝසු කණුව රත්තරන් පාට හැන්දෑ අහසෙන් පෙරිල එන හිරු රැසින් හේදිල ගිහිල්ල....මාකට් එක ඉහලින් පේන හන්තාන කන්දෙත් බාගයක් ඒ රත්තරන් පාටටම දිලිසෙනව. බෝ ගහේ කොල, හමාගෙන එන හුළඟට නැටුවට ඒ අතු අස්සෙ ඉඳගෙන ලවක් දෙවක් නැතුව කෑ ගහන කපුටන්ට ඒවයෙ සිහියක් නෑ.

පොල්ගොල්ල හරහා ගුණ්නෑපානට යන අන්තිම බස් එක අදින්නෙ ඔර්ලෝසු කණුව ගාවින් හතට...ම්ම්... කීයද වෙලාව?....හයයි විස්සයි..උදේ හතටත් කලින් පොළොන්නරුවෙන් පිටත් උනාට කුරුණෑගල ගිහිල්ල එන්ට උනායින් මේ තරමට රෑවුනෙ...


'' ජයේ......ලබන සිකුරාද පෝය...මම බෘහස්පතින්ද ගෙදර යන්නයි හිතාගෙන ඉන්නෙ....ඔයා හැමදාම මොකක් හරි කියල මඟ අරිනව...මේ පාර නම් මා එක්ක යන්න එන්නම ඕන...''


ඔෆිස් එකේ ඒ වෙලාවෙ කවුරුත් හිටියෙ නෑ....එයයි මායි විතරයි...මගෙ දකුණු අත ඇගේ අත්දෙකට මැදිවෙලා තිබුනා...ඇගෙ ඇස් මගෙ ඇස් වල මොනවද හෙව්ව...හොයපු දේ හම්බ උනාද මන්ද...ඈ හිනාවුනා...

'' කොහෙද?....ඔයාලගෙ ගෙදර? ''


මම ඇගේ අතැඟිලි නලියන දිහාවෙ බලාගෙන හිටියෙ කවදාවත් නොදැක්ක දෙයක් දිහාවෙ බලා ඉන්න ගානට...

'' ම්ම්..ඒවට තව කල් තියනව..දැනට ඔයා එන්නකො මා එක්ක කුරුණෑගලට....ඒ ඇති....''


ජිප් එකක් ඔෆිස් එක දිහාවට එනව ඇහිල ඈ මගේ අත අතෑරිය.

මමත් පුටුව පස්සට කරල නැඟිට්ට.


'' එහෙනම් ඔන්න එනව නේද?...කණු එහෙම බෑ ගොයියෝ.....''


ඇගේ ඇස් නැටවෙන හිනාවත් එක්කම මට කිව්වෙ දබරැඟිල්ල උරුක් කරල.

'' හරි ...''


මම එහෙම කියල එයා දිහා බලල හිනාඋනා, ඒ කරල ඔෆිස් එකෙන් දොට්ට බැස්ස.

එයා...එයා...කියල කිව්වට එයා ඇවිල්ල සරෝජිනී...


කුරුණෑගලට එනකොට දොළහ පහු උනා විතරයි. බස් එකේ එද්දි සරෝ කතාකලා ගිරවි වගේ....මම වචනයක්වත් නොදොඩා බලාහිටිය එයාගෙ මූණ දිහාවෙම...කතාකරන කොට සරෝගෙ තොල් ඇහිබැම විතරක් නෙවෙයි කම්මුල් හිටං නටනව...මගේ දෙතොල මඳ සිනගවක් පිපුනෙ මම නොදැනුවත්ව..


'' මොකද මෙච්චර වෙල ගල් බුද්දා වගෙ බලා ඉඳල දැන් හිනා වෙන්නෙ ?.''


සරෝ ඇහුවෙ මයෙ අත කොනිත්තන ගමන්...

කුරුණෑගල හැමදාමත් තියෙන සදාතනික අව් රස්නෙ...ඇතාගල රත්වෙල මුලු නගරෙම ගිණි වැදිල තිවුනෙ...පැරමවුන්ට් හෝටලෙන් සරෝයි මායි දවල්ට කෑව. ඊට පස්සෙ උහුමීයට යන බස් එකකට මම එයාව ඇරළුව...බස් එකේ ජනේලෙන් මම සරෝගෙ අත මිරිකල '' සරෝ... මම යන්නම් '' කියල කිව්ව ඇහෙන නෑහෙන ගානට...


'' ඔයා ඔය මට සරෝ කියල කිව්වමයි...''


එයාගෙ ඇස් දෙකේ කඳුලු පිරිල වෙන්න ඇති අහක බලාගෙන දෙතුන් පාරක් ඇහිපිය ගහනව මම දැක්ක.

'' ඔව්...අද ඉඳල එහෙම කියන්න මම හිතාගත්ත..''


තව ටික වෙලාවකින් එයාගෙ අත අතෑරල මම ආව.

ආපහු හැරිල බලද්දි එයා තාම මා දිහා බලාගෙන ජනේලෙට ඔලුව හේත්තු කරගෙන.

'' යන්නම් ''


සරෝ හිනාවෙල ඔලුව වැනුව....

ජීවිතේ මාස හයකට පස්සෙ මොකක්දෝ සැහැල්ලු ගතියක්...නිදැල්ලේ කිසිම බරක් පතලක් නැතුව පාවෙලා යන ගතියක් මට ආයෙම දැනෙන්ට ගත්ත. මගෙ ජීවිතේ පුරාම මා එක්ක තනි නොතනියට හිටපු, මේ පහුගිය මාස හයක විතර කාලෙකදි මගෙන් ඈත් වෙලා තිබුනු ඒ හැඟීමට මම ආයෙම ආදරේ කරන්ට පටන් ගත්ත. ඇත්තටම ඒ හැඟීමට මම ආදරෙයි...මම ආසයි...


'' ආ..ජයසේන පුතා...කාලෙකින් නේද ගමේ එන්නෙ? ''


වික්කරේ මාම...අම්මයෙ අයිය කෙනෙක් වෙනව ටිකක් දුරින්...මාකට් එකේ එලවළු ලෑල්ලක් කලේ රස්සාවට...මේ වෙලාව වෙනකොට දෙකක් දාල ඉන්නෙ අනිවාර්යයෙන්..

'' ඔව් මාමෙ...මාස හයකින් විතර...අන්තිම බස් එක තියේ නේද? ''


'' තියනව තියනව...මොකෝ නැතුව...මම දැක්ක ස්ටේෂන් එක පැත්තට යනව...තව වෙලා තියනව නෙව...පුතා යංද කොළඹ වීදිය පැත්තෙ....''

වෙනද නම් මම බෑ කියන්නෙ නැති උනාට අද මට එහෙම හිතුනෙ නෑ..හිතේ සැහැල්ලුව අමුවෙන්ම විඳින්න මට ඕන උනාද මංද,

'' බෑ මාමෙ ...මාම ගිහිල්ල එන්න...''

බස් එක ඇවිල්ල නැවැත්තුවහම මම දොරත් එක්කම ඉස්සරහ සීට් එකේ ඉඳ ගත්ත...දැන් නම් කළුවර වැටිල...හඳ පායලා තාර පාර දිලිසෙන්නෙ රිදී ගංගාවක් වගේ....අන්තිම බස් අල්ලගන්ට බඩු පොදි කරගහගෙන ඉක්මන් ගමනින් යන ගෑණු මිනිස්සු කාටවත් ඒ රිදී ගංගාව දිහා නැවතිල බලා ඉන්ට ඉස්පාසුවක් නෑ....

පහුගිය මාස හයේ විතර මටත් එහෙම නැවතිල ජීවිතේ විඳින්න කිසිම උවමනාවක්වත් ඒකට ඉස්පාසුවක්වත් තිබුනෙ නෑ නේද කියල මගෙ හිතට ආවෙ එක පාරටම....


බස් එක පිටත් උනේ විනාඩි පහලවක් විතර පරක්කු වෙලා. අන්තිම බස් එක එහෙම තමයි සිරිත...පොල්ගොල්ල වේල්ල හරියට එනකොට සෙනඟ පිරුනා. බස් එකේ පිටිපස්ස පැත්තෙන් මහ සද්දෙන් ඇහෙන්නෙ ඔය විල්සන් මාමගෙ දේශපාලන විවරණය...අලුත්වල හන්දියෙන් එයයි බහිනකල් ඕක නවතින්නෙ නෑ....


සමූපකාරෙ ලඟ හෝල්ට් එකෙන් බැහැල බෑග් එකත් කර ගහගෙන මම ගල්පඩි පෙල නැංග. හඳ එලිය උතුරල ගිහිල්ල තිබුනු පඩි පේලියෙ මැදක් හරියෙ තිබ්බ සිමෙන්ති මල් පෝච්චිය ලඟ චුට්ටක් නැවතිල ඉන්ට හිතුනෙ මොකද කියල මම වැඩි දුර හිතන්ට ගියේ නෑ...එහෙම්ම නැවතිල ගෙදර පළු දෙකේ මහ දොර දිහාවෙ බලා ඉඳල ආපහු හැරුන...ඒ හැරුනෙ මොකටද කියන්න මයෙ හිත දන්නව...දෙණියෙ පස් පෑල ඉහත්තාවෙ අඹ ගස් ගොන්න අතරිං යාන්තමට සුදට පෙනෙන්නෙ රාළහාමි මාමලගෙ ගෙදර....හුළඟට හෙලවෙන අතු කොල අස්සෙං යාන්තමට එළියක් වගෙත් මම දැක්ක.


දිග සුසුමක් එහෙම හෙලල බෑග් එකත් ආයෙමත් කරට අරගෙන මම ඉස්තෝප්පුවට ගොඩ වැදුන.


සාලෙ මැද රවුම් කනප්පුව උඩ තිබ්බ චිමිනි ලාම්පුවෙ තිරේ හදමින් හිටිය නංගි ඔලුව හරවල බැලුව..


'' අයියා.......අම්මේ...මෙන්න අයිය ඇවිල්ලෝ..''


කෑගහගෙනම නංගි දුවගෙන ඇවිල්ල මගෙ බෙල්ල බදාගත්ත. සහෝදරත්වයේ සෙනෙහස උණුසුමත් එක්කම පපුව දිහායින් උඩට ආපු මොනවදෝ උගුර හිරකරගෙන ගිහිල්ල මයෙ ඇස් දෙක තෙමාගෙන එලියට පනින්ට තනනව දැනිල මම නඟාව දෑතින්ම තද කරගෙන ඇස් දෙක පියා ගත්ත.

'' ඔය මදෑ ඉතිං...එහාට වෙයංකො අයියට ගෙට ගොඩවෙන්ටවත් දුන්නය උඹ? ''

අම්මගෙ කටහඬින් මම දෑස් ඇරල ආයෙම පියවි ලෝකෙට ආව...

' අම්මෙ.......''


දණගහල වඳින ගමන් මම හෙමිහිට කෙඳුරුව.

'' තුණුරුවන්ගෙ සරණයි මයෙ දෙයියට...''


අම්ම මගෙ ඔලුව අතගාල ඔහොරි පොටින් ඇස් පිහගත්ත.

බෑග් එකත් අරගෙන ඉස්තෝප්පුවත් එක්කම වම් පැත්තෙ තිබුණු කාමරේට මම ගියා...ඒ තමයි මගෙ කාමරේ. ලියන මේසෙ උඩ බෑග් එක තියල මම ඇඳේ ඉඳගෙන සපත්තු ගැලෙව්ව...


දොර රෙද්ද මෑත් කරගෙන නංගි එබුන කාමරේට..


'' අපි නම් දන්නව මෙයාට තකහනියක් ගම රට මතක් උනේ මොකද කියල....''


ගලවපු සපත්තුවකුත් අතේ තියාගෙනම මම එහෙම්මම ඔලුව උස්සල බැලුවෙ මේ කියන්නෙ මොකක්ද කියල තේරුම් ගන්න බැරුව..

'' මේ මෙන්න මෙහාට වරෙං....විකාර කියවන්නෙ නැතුව..මේ ලිපට ගින්දර ටිකක් දාපං අයියට තේ එකක් දෙන්ට...''


අම්මගෙ කටහඬ කුස්සියෙන් නැඟිල ගෙදර සිසාරා ගියා...

නංගි ආයෙම මා දිහා බලල විරිත්තල දොර රෙද්ද එහෙම්මම පහලට දාල කුස්සිය පැත්තට දිව්ව...මේ කෙල්ල මේ කියන්නෙ මොකක්ද කියල හිතාගන්ට බැරුව මම එහාට මෙහාට පැද්දෙන දොර රෙද්ද දිහාවෙ බලං හිටිය.


ළිඳෙන් වතුර දෙකක් ඇදල දාගත්තට පස්සෙ ඇඟේ පතේ කෙඩෙත්තු ගතිය කොහෙං ගියාද නෑ. කුස්සියෙ ලොයි බංකුව උඩ ඉඳගෙන තුවායත් කරේ දාගෙන කිතුල් හකුරු කෑල්ලකුත් එක්ක කහට කෝප්පෙ බිව්වට පස්සෙ හිතට ගතට දෙකට දැනුනු සැහැල්ලුව අනන්තයි අප්‍රමානයි...නංගි දෙතුන් පාරක් මොනවදෝ කියන්ට ඇවිල්ල අම්ම දිහා බලල ආයෙම නිකා හිටිය කියල මම සහසුද්දෙන්ම දැක්ක..මොනවද මේ කෙල්ල කියන්ට හදන්නෙ කියල දැන ගන්ට මගෙ හිතෙත් ලොකුම නොඉවසිල්ලක් තිබුනත් ඒකට අවස්තාවක් ලැබුනෙම නෑ...


රෑට බත් කාල ඉවර වෙලා ඉස්තෝප්පුවෙ අප්පච්චිගෙ කළුවර හාන්සි පුටුවෙ ඉඳගෙන කකුල් දෙකත් බාපත උඩ තියාගෙන මම ඔහේ බලා හිටිය පිළිකන්නෙ අඹ ගහේ පොරකන මා වවුලංගෙ කෑස් කෑස් සද්දෙත් අහගෙන...අම්මයි නංගියි කුස්සියෙ බත් කනව කතා කරකර...කිසි දවසක අම්මවත් නංගිවත් මේසෙට වාඩි වෙන්නෙ නෑ..අපෙ අප්පච්චි ඉන්න දවස්වල ඉඳලම එහෙමයි චාරිත්‍රය.කලින් අප්පච්චි තනියම මේසෙ ඉඳගෙන කෑවෙ..පස්සෙං පහුවෙලා මට වයස පහලවක් වගෙ උනාට පස්සෙ මමත් මේසෙට ඉඳගත්ත.අපි කෑවට පස්සෙ තමයි අම්මයි නංගියි කන්නෙ..ඔන්න අප්පච්චි මතක් වෙලා ආයෙම අර මොකක්දෝ ගුලිය පපුවෙ ඉඳන් උඩහට එන ගමන පිටත් වෙන්ට සූදානම් උන නිසා මම තොල් හපාගෙන ඇස් තදින් පියාගත්ත.


හඳ එළිය දෝරෙ ගලාල තියෙනව දැක්කම මට මිදුලට නොයාම බැරිඋනා...පඩිපෙලේ උඩම පඩිය උඩ වාඩි වෙලා මම මල් පෝච්චියක් තියන්ට හදාපු ගල් කණුවට හේත්තු උනා...මේ පෝච්චි දෙකම තද රතු පාට රෝස වලින් පිරිල තිබ්බ හැමදාමත්. ඒත් අද රෝස මල් තියා ගහක්වත් නෑ... අව්වට තව් මැරිච්ච හීං බූටිය ගස් තුන හතරක් විතරයි.


නංගි ඇවිල්ල මා ලඟ හිටගන්නව දැනුන නිසා මම ටිකක් එහාට උනා..එයා මාලඟම ඉඳගෙන කකුල් දෙක උඩට අරගෙන දෑත දණහිස් වටා යවල අල්ලගෙන හැරිල මා දිහාවෙ ටික වෙලාවක් බලා ඉඳල ආයෙම අහක බලා ගත්ත.


'' මොනවද නංගි...කෝ මේ පෝච්චි වල තිබ්බ රෝස පඳුරු?...''


නංගි නෑහුනා වගෙ ඈත බලාගෙනම හිටිය...ඊට පස්සෙ කතාකලෙත් ඒ ඈත කොහේදෝ බලාගෙනයි.

'' අයිය මට ඇත්තම කියන්න....අයිය අද ආවෙ මේ ගැන දැනගෙන නේද? ''


මම නංගි දිහා බලාහිටියෙ මේ කියන්නෙ මොකක්ද කියල හිතාගන්ට බරුව..

මගෙන් උත්තරයක් නැති තැන නංගි ඔලුව හරවල බැලුව.මගෙ බැල්මෙන් සමහරවිට එයාටම තේරෙන්ට ඇති මේ කියන්නෙ මොකක් ගැනද කියල මම අඳෝ සංසාරයක් දන්නෙ නැතුවම ඇති කියල..


'' සුභද්‍රා අක්ක ආයෙම ගෙදර ඇවිල්ල ඉන්නව....''


මම එහෙමම නංගි දිහාවෙ බලා හිටියෙ මොනව කියන්ටද කියල හිතාගන්ට බැරුව...

'' ඇයි..නංගි..මොකක්ද හේතුව? ''


'' හරියටම දන්නෙ නෑ..ආරංචි හැටියට නම් ඒ මනුස්සයගෙත් කිසිම වැරැද්දක් නැතිලු...අනේ මන්ද අයියෙ ඔව්ව....ලබා උපන් හැටියට තමයි ඉතිං ඔයි කොව්වත් සිද්ද වෙනවයි කියන්නෙ...''

සුභද්‍රා...අපෙ අම්මගෙ බාලම මලයගෙ, ඒ කිව්වෙ රාලහාමි මාමගෙ දුව....මට වඩා මාසයයි හරියටම බාල....හිච්චි කාලෙ ඉඳම්ම අපි දෙන්න හැදුනෙ වැඩුනෙ එකට...ඉස්කෝලෙත් එකම පංතියෙ...නෑනයි මස්සිනයි කියල ඉස්කෝලෙ විමලාවතී මැඩම් විහිලු කරනව මට අද වගෙ මතකයි..එතකොට සුබානම් හිනාවෙවී හිටියට මයෙ මූණ රතු උනෙ පන්සලේ බණ මඩුව ගාව ජම්බු ගහේ වෙසක් කාලෙ පලගන්න ජම්බුවක් වාගෙ...

අපෙ අප්පච්චිගෙන්වත් රාළහාමි මාමගෙන්වත් වෙන කාගෙන්වත් මෙහෙමයි කියල අපිට විරුද්දත්වයක් තිබ්බෙ නෑ....ඒත් කවදාවත් සුබායි මායි මම ඔයාට ආදරෙයි කියල වචනෙං කියාගෙනත් නෑ කියල මට මතක් උනෙත් ඒ ඔක්කොම නැති බංගස්තාන වෙලා ගියාට පස්සෙං පහුයි.


අප්පච්චි නැතිඋනාට පස්සෙයි මේ ඔක්කොම වෙනස් වෙන්ට පටන් ගත්තෙ. රාළහාමි මාම ඉඩ කඩම් වලට පුදුම තරමට ආසයි..එයාට ඒක පිස්සුවක් වාගෙ...මගෙ ඔය ඉඩ කඩම් වලට කිසිම ආසාවක්වත් ඒ ගැන උනන්දුවක්වත් නැති එක රාළහාමි මාමට කොහොමවත් තේරුම් ගන්ට පුලුවන් උනේ නෑ.


'' ඒ මිනිහට පිස්සු.....''


මම පොළොන්නරුවෙ රස්සාවක් හම්බ වෙලා යනව කියල දැනගත්තම රාළහාමි මාම ඔහොම කියල තිබුනයි කියන්නෙ දෙණියෙ වී මෝලෙ පිල උඩ ඉඳගෙන විටක් කාල කෙල පාරකුත් ගහන ගමන්...

ඔය කතාව අම්මට ආරංචි වෙලා තියෙන්නෙ පිල්ලෑවෙ ගෙදර ලොකු අම්මගෙං...ඒක අහපු ගමන අම්ම පරළ වෙලා කෙලින්ම ගියේ රාළහාමි මාම හොයාගෙන.


'' මයෙ එක බඩවැල කඩාගෙන ආපු මලය බව ඇත්ත..ඒත් ඌට දැං පිස්සිද කොහෙද?...මට දුක වෙන මොකවත් නෙවෙයි මයෙ දෙයියා උඹ ගැන.....හිත් කියන එව්ව තැලිල හීරිල ගියාම හදන්ට ලේසි නෑ..මම ඒක නොදන්නව නෙවෙයි මයෙ පුතේ...ඒත් කොයිමක් කරල හරි හිත හදාගන්ට බලාපං...මට ඉන්නෙ උඹ විතරයි මයෙ රත්තරනේ...''


අම්ම ආපහු ඇවිල්ල ඇඳේ හාන්සි වෙලා උන්නු මගේ ඔලුවත් අත ගාමින් කියනකොට මට ඉහිලුං නැතුව ගියා. මම අම්මගෙ උකුලෙ ඔලුව තියාගෙන ඉකි බින්ද...අම්මත් අඬන බව මට තේරුනෙ මයෙ බෙල්ලට වැටුන එයයිගෙ කඳුලු බිංදු දෙක තුනක් හින්දයි.

ඊට මාස දෙකකට විතර පස්සෙ පළාපත්වල පැත්තෙ වලව්වකට සුබා තීන්දු කලා කියල මට ලියල එව්වෙ නංගි..ඒ කිට්ටුවම පාලොස්වක පෝයකුත් තිබ්බ නිසා මම ගෙදර ආව...


හැම පෝයකටම පන්සලට යන එක මගේ පුරුද්දක්...


වත්තේගම පැත්තෙ හාමුදුරු නමක් කවි බණක් කියන නිසා එදා පන්සලේ සෙනඟ හිටිය සෑහෙන්ඩ.


ඒත් කවි බණ අහන්ට හැමෝම බණ මඩුවට පොදි කාපු නිසා බෝදි ප්‍රාකාරෙ අහල පහල කිසි කෙනෙක් හිටියෙ නෑ


හුළඟට නිවිල තිබ්බ පහනක් පත්තු කරන්ට මම දැල්ල අතින් මුවා කරගෙන ගිනි කූරක් ගැහුව.


'' අයිය මා එක්ක තරහද? ''

හුළඟ එක පාරට නැවතිලා පහන් තිරය ඇවිලුනා. ඒ කහ පාට එලියෙන් දිලිසුනේ සුබාගෙ ඇස්ද ඇස් දෙකේ පිරිල වැටෙන්ඩ ඔන්න මෙන්න කියල තිබුනු කඳුලු බිංදු දෙකක්ද?

ඒ ප්‍රශ්නෙට උත්තර හොයන අතරෙ '' ජාති ජාතිවත් නෑ. මයෙ නංගියේ ජාති ජාතිවත් නෑ....මම ඔයා එක්ක තරහ නෑ...කවදාවත් මට තරහ වෙන්ටත් බෑ...'' මගේ බිඳුනු කටහඬ මට ඇහුනෙ වෙන කොහේහරි දිහාවකින් නන්නාදුනන කවුදෝ කෙනෙක් මුමුනල කියන විදිහටයි.

මගේ පපුව පුරාගෙන තිබ්බ ඔක්කොම හිස් වෙලා යන විදිහට මට සුසුමක් හෙලුනෙ ඉබේටමයි.

නංගි දිලිසෙන දෑසින් මා දිහාවෙ බලා ඉඳල මගෙ අතක් අල්ලගත්ත.


මතු සම්බන්ධයි.......

6 comments:

  1. ඇත්තම කතාවක් වගේමයි. පටන් ගත්තේ නුවර ඔර්ලෝසු කණුව ලඟින්නේ. බලමු කොහොමද ගලා යෑම කියලා....

    පළ‍වෙනියටම චෝදනාවක්. මේ වර්ඩ් වෙරිෆීකේශන් එක්ක නම් කමෙන්ට් කරන්ට බැරියෝ...:D

    ReplyDelete
    Replies
    1. / ඇත්තම කතාවක් වගේමයි. පටන් ගත්තේ නුවර ඔර්ලෝසු කණුව ලඟින්නේ../

      ප්‍රියන්ත අහල තියද මෙහෙම කියමනක්?......

      “If it walks like a duck, quacks like a duck, looks like a duck, it must be a duck”

      ඒ නිසා මට කියන්න තියෙන්නෙ ඇත්ත කතාවක් වගේ නම් බොහෝ විට ඇත්ත කතාවක් වෙන්න ඇති කියල තමයි...:)

      ඇත්තම කිව්වොත් සම්පූර්ණ කතාවම ඇත්ත නම් නෙවෙයි...සමහර කොටස් නම් මගේම අත්දැකීම්...එව්වට පොඩි ආලවට්ටං දාල, රේන්ද එහෙම අල්ලල...තව මම අහල තියන සිදුවීම් එකතුකරල හදාපු හත්මාළුව තමයි මෙ....හෙහ්, හෙහ්,

      නුවර ඔර්ලෝසු කණුව නම් මගෙ ජීවිතේට බොහෝම සමීපයි.හමුවීම් ඒ වගේම සමුගැනීම් සහසක් ඕක හෙවණේ සිද්ද උනා....:)

      ස්තූතියි ප්‍රියන්ත මල්ලි......

      Delete
  2. ආ මෙට්ටපොලිස් නෝනගෙ යෝජනාව කිරියාත්මක වෙලා නේද?

    හොඳා හොඳා සුබ පැතුම්.......

    මේක නම කියවනකොටම තේරුනා කවුද ලියන්න ඇත්තෙ කියලා බැලමු
    අනිත් අයගෙ ලිවීම්.

    ReplyDelete
    Replies
    1. /ආ මෙට්ටපොලිස් නෝනගෙ යෝජනාව කිරියාත්මක වෙලා නේද? /

      හෙහ්, හෙහ්, එහෙනං...එහෙනං....දන්නවනෙ උන්දලයෙ හැටි සුබාව නිස් මලේ...අපි වාගෙ පස් මහ බැලුං පුම්බ පුම්බ ඉන්නෙ නෑ නෙව හිතුනද කෙරුවා..හිතුනද කෙරුවා....

      / මේක නම කියවනකොටම තේරුනා කවුද ලියන්න ඇත්තෙ කියලා /

      දෙයියෝ සාලෙ එහෙමත් එකක්ද?....හෙහ්, හෙහ්,

      / බැලමු අනිත් අයගෙ ලිවීම්. /

      මොනව බලන්ටද බං...දෙයි ආයෙ දුං විසි වෙන්ට...මොනවද?....දුං..දුං....බලාපංකො ආය සෙසු පටු උදවියද මෙයාලා..එකෙකුට එකෙක් පරදින්නෙ නෑ.....හෙහ්, හෙහ්,

      බොහොම ස්තූතියි නිශ්, ඔබේ දිරිගැන්වීමට....:)

      Delete
  3. චිත්ත රුප මැවෙන විදිහට කුතුහලය තියාගෙන කතාව ගලාගෙන යනවා. බලමු ඉතුරු ටිකත්

    ReplyDelete