Wednesday 23 January 2013

5. තමරුගේ කථාව (දෙවන කොටස) - ආදරයක අරුම

සමහර කෙනෙකුට ජීවිතයේ ගලා යෑම සිතට දනවන්නේ සැනසිලිදායක පහසුවකි. කුඩා වයසේදී දෙමව්පියන් සෙවනේ ඒ ඒ කාලයට ලැබිය යුතු ‍භෞතික මෙන් ම මානසික සැපයුම් ද නොඅඩුව ලැබ, පාසල් අධ්‍යාපනයත් විධිමත් ව ලබා, උසස් අධ්‍යාපනය අවසානයේ වැදගත් මෙන් ම සිත් ඇද බැඳ ගන්නා රැකියාවක් ලැබීම එවන් සැනසිලිදායක ගලායාමක් ඇති ජීවිතයක ස්වභාවය යැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. නුමුදු එයින් මත්තට ගෙවිය යුතු වැඩිහිටි ජීවන සමය ගෙවා ගන්නට සුදුසු අත්වැලක්, සුදුසු කාලයේදී ම හිමිවීම ගැන ‍ ඔබට සිතෙන්නේ කුමක්ද? එය ජීවිතයේ පැවැත්මට ඉතාමත් ම තීරණාත්මක සාධකයක් නොවන්නේද? එතෙක් කල් සැහැල්ලුවෙන් ගලා ගිය ජීවන නදිය, අලංකාර මිටියාවතක් මැදින්, තවදුරටත් සන්සුන් ව ගලා යන්නේද, නැතහොත් විසල් ගල් පර්වත කැබලි මැදින්, හෝ හෝ නදින් හඬා වැටෙමින්, රිදවා ගනිමින්, ගලා බසින්නේ ද යන්න තීරණය කරන්නා වූ තීරණාත්මක ‍සාධකය අනාගත සහකරු හෝ සහකාරිය ම විය හැකිය.

උපමාලි හා අකලංක................. තමන් ඉදිරි ජීවිත කාලයත් අලංකාර මිටියාවතක් මැදින් ගලා යන සන්සුන් ජීවන නදියක පාව යන්නට අවැසි සාධක සපුරා ගත් බව හිත පිරී ගිය සතුටින් සිතන්නට වූවෝය.
 

.,


විශ්ව විද්‍යාල සමයේ මුල් වරට හඳුනාගත්තද, දුටු මුල් ම නිමේෂයේදීම තමන් දෙදෙන එයට පෙර සිට දැන හඳුනා සිටි බවක් දෙදෙනාට ම දැනුනු බව ඔවුන් එකිනෙකා හා පවසා ගත්තේ මිතුරුදම තවත් දැඩි කරමින් පෙම්වතුන් ලෙසින් එක් වී ද මසක් දෙකක් පමණ ගතවූ පසුවය. එවකට දෙවන වසරේ ශිෂ්‍යයන් වූ ඔවුන් සිය අධ්‍යාපන කාර්යය නොපිරිහෙලා ඉටු කරගනිමින්, එකිනෙකා වෙනුවෙන් උපන් අසීමිත ස්නේහයේ රසය විඳිමින් කාලය ගත කලේ ජීවිතය මෙතරම් මිහිරි විය හැක්කේ කෙසේ දැයි විස්මිත ව සිතමිනි.

***************************************************************************

“අම්මේ..........................“

නිවාඩුවට ගම පැමි‍ණි වරෙක උපමාලි කල් යල් බලා, සිය මව් ඇමතුවාය. ඇගේ ස්වරයෙන් ම ඇය පවසන්නට යන දෑ කුඩා කල සිට ම වටහා ගැනීමේ හැකියාවෙන් යුතු වූ මව්, දියණිය පවසන්නට යන දෑ දැන දැන ම ඇය වෙත පිළිවදන් දුන්නාය.

“මොකෝ චූටි දුව............. මං අහගෙන ඉන්නේ කියන්න“ පලා මිටියේ පලා කොල සීරුවට සකසමින් ම ලාලනී ඉස්කෝලේ හාමිනේ පවසා සිටියාය.

 “අම්මේ............. අපේ කැම්පස් එකේ කෙනෙක්............. මං ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා. මං.... මේ අම්මාට ඒ ගැන කියන්නත් එක්කමයි............... මෙච්චර ඉක්මනට මේ පාර ආවේ................“ පොල් ගෙඩියේ ඇස්ස රහිමින් සිටියා වුවද, දූ කරන්නේ හොර ගල් ඇහිලීමක් බව ඉස්කෝලේ හාමිනේට රහසක් නොවුනි.

“හ්ම්............... ඒකත් එහෙමද? ඔය කිව්වට ඒ ළමයා බලාපොරොත්තුවෙන් ඉන්නවා පමණක් නෙවී............. ඔයාත් කැමතියි නේද? දැන් සම්බන්ධෙට කොච්චර කලක් වෙනවද?“ ඉස්කෝලේ හාමීනේ දුව දෙස එක එල්ලේ බලමින්, ඈ ඇහිලු හොර ගල් සියල්ල අල්ලා විසිකොට දැමුවාය.

 උපමාලිගේ සවන්පත් රත් ව දුම් විසිවන සෙයක් ඇයට දැනින. පොල් ගෙඩිය අත හැරි ඇගේ ම කකුල මතට වැටින. එය ඉතාමත් වේදනාකාරී සිදුවීමක් වුවද ඇයට එය නොදැනුනු තරම් විය.

“අනේ... අනේ... ගෑණු ළමයා........... මොකද ඔච්චර බය වෙන්නේ? මං කිව්වානේ කැම්පස් යද්දීම... ඔය කාලෙට ඔය වගේ දේවල් ඇති වනවා තමයි. දැන් පුංචි ළමයි නෙවීනේ............... ඒ ළමයාට කියන්න වෙලාවක මේ පැත්තේ ඇවිත් යන්ට එන්ට කියලා... කෑම ටිකක් එහෙම කාලා තාත්තා එක්කත් කථා බහ කරලා එහෙම යන්න බැරියැ“යි සිනා සලමින් පැවසුවා මිසක සිය මෑණියන්, අකලංකගේ වතගොත තබා නමවත් නොඇසීම ගැන උපමාලි පුදුමයට පත් වූවාය. ‘සමහරවිට අම්ම සේරම ඕන කරන දේවල් හොයාගෙන ද දන්නෙත් නැහැ‘

***********************************************

“ඔයාට නං විහිළු. මට නං බයේ බැහැ අනේ. අපේ තාත්තා වෙලාවකට හිතන දේවල් මොනවද කියලා හිතා ගන්න බැහැ“ සිදුවීම අසා සිටි අකලංක පෑ විසුළුවකින් අමනාපයට පත් වූ උපමාලි කියවන්නට වූවාය.

“ඉතිං?............ ඉතිං මොකද? ඔයාගේ තාත්තා විතරක් නෙමෙයි ළමයෝ........ හා හොදයි ඔයාට පුළුවන් ද දැන්, මේ දැන් මං හිතන්නේ මොනවද කියලා කියන්න“යි කියූ අකලංක උපමාලි දෙස නෙත් නොසලා බලා සිටියේය.

ඔහු දෙස බැලූ ඈ එමොහොතේ ඔහු සිතන්නේ කුමක්දැයි දස අතේ කල්පනා කරන්නට වූවාය. නුමුදු එක පි‍ළිතුරක් ගැන සිතා ගන්නට ඇයට නුපුළුවන් විය. ගත වූ තත්පර කිහිපය තුල ම එකිනෙකා දෙස නෙත් නොසලා බලා සිටිනා අතරේ එක් වනම ඉදිරියට නැමුනු අකලංක උපමාලිගේ තඹරුවන් වර්ණයෙන් යුතු වූ තොල් පෙති සිප ගත්තේ ඇයට සිතන්නටවත් ඉඩක් නොතබමිනි.

සැනෙන් ඔහු ව ඉවතට තල්ලු කර දැමු උපමාලි තිගැස්සි වෙව්ලමින් මෙන් නැගී සිටියාය.

“මොනවද අනේ මේ කරන විකාර වැඩ? කවුරු හරි දැක්කා නං එහෙම.........“

 “හෙහ්... හෙහ්... කොහේ දකින්නද ළමයෝ............ එහෙනං මං ඔයාව මෙතැනට එක්කං එනවද?“යි වටපිට බලමින් සිනාසෙමින් පවසන අකලංකගේ සිත තමන් ඇත්තට ම නොදන්නේ නොවේදැයි උපමාලිට සිතිණ.

 “ආ........... ආහ්........... එහෙනං මෙයා මේක ප්ලෑන් කරලා කරපු වැඩක්............. හරි ම නරකයි අකලංක..... හරි ම නරකයි... ඔයා මාව රවට්ටන්න හිතුවා......“ උපමාලිගේ සිත සැබවින් ම රිදී ඇති වග වටහා ගත් අකලංක කණගාටුවට පත්විය.

“ඔය ඉතිං........... දැන් ඇත්ත ම කියන්න......... ඔයා මං කරපු වැඩේට ඇත්තට ම අකමැත්තෙන් ද ඔය කෑ ගහන්නේ.........“උපමාලිගේ අතින් අල්වා තමන් ලඟින් වාඩි කරවා ගත් ඔහු ඈ දෙසට නැඹුරු වෙමින් අසා සිටියේය. එවර උපමාලි විගස ඉවත බලා ගත්තාය.

“ජයසේන ජයකොඩිගේ ගෝතම ගීතය පොතේ තියෙනවා ඔයාලාගේ ඔය වැඩේ ගැන කියැවෙන ඡේදයක්... දෙයියනේ කියලා ඒ පොත කියැව්වට පස්සේ තමයි මේ කෙල්ලන්ගේ අරුම පුදුම හැසිරීම ගැන සහසුද්දෙන් වටහා ගන්න මට හැකි වුනේ. අඩේ අප්පා ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ කොච්චර නං හිත් අමාරුවෙන් හිටියද ට්‍රයි කරපු කෙල්ලක් දමලා ගැහැව්වා වගේ උත්තරයක් දුන්නම හරි බැලුවහම හරි“
“මොකද්ද ඔයා කිව්වේ? ඇයි එයා මොකද්ද ඒ පොතේ කියලා තියෙන්නේ.........“ උපමාලි ඉවත බලාගෙන ම ඇසුවාය.

“මට ඒකේ තිබ්බ වචන එහෙමම මතක නැහැ දැන් නං. මෙන්න මේ වගේ අදහසක් තිබුනේ. හැබැයි ඔන්න මාත් එක්ක තරහා වෙන්න බැහැ මං මෙහෙම කිව්වා කියලා හරිද?“

“හා හා හරිද වැරදිද බලන්න කියන්න බලන්න“
“ස්ත්‍රීන් හැටි එසේමය. ඔවුහු අප ඔවුන් පසු පස එන්නේ නම් රවා බලති, සිප ගත්තේ නං හූරති, පහරදෙති, අප පෙරලා යන්නේ නම්, හූල්ලති, වැළපෙති.... ස්ත්‍රීන්ගේ හැටි එසේමය.... ඔන්න ඔහොම තමයි ඒකේ ලියලා තිබුනේ“
“හ්ම්.............. ඒකත් එහෙමද? මං ඉතිං ඔයා තරම් පොත් කියවලා නැහැ. ඒත් ඔයා දැන් ටිකකට කලින් කරපු වැඩේ කලේ ප්ලෑන් කරලා නම්, මට කියන්න තියෙන්නේ, මටත් කියලාම කරා නම් වැඩේ මීට වඩා අපට ලස්සනට කරන්න තිබුනා“ යි පැවසූ උපමාලි සිය සුරතින් අකලංකගේ හිස ගෙන නලල් තලයට උණුසුම් හාදුවකින් සෙනෙහස පෑවාය. අනතුරුව කිකිණි හඬින් සිනා සලමින්, අසුනින් නැගිට ඉවත දිව ගියාය. සිද්ධ වූ දේ පිළිබඳ ව සිතන්නට මොහොතක් පමා වූ අකලංක ද අනතුරුව සිහි එළවාගෙන, ඇගේ පසු පසින් විගස ඇදී ගියේය.

අනතුරු ව ගත වූ කාලයේ සුන්දර වූ ආදර අන්දරය සුන්දර ලෙසින් ම ලියැවෙන්නට විය. පැවැත්වුනු සෑම පරීක්ෂණයකින් ම ඉහළම සාමාර්ථ ගැනීමට අකලංක හා උපමාලි යුවළට හැකි වූයේ එකිනෙකා එක් ව අධ්‍යාපන කටයුතු මනා අයුරින් සිදුකල නිසා බව විශ්ව විද්‍යාල ආචාර්යය මණ්ඩලයට පවා රහසක් නොවිණ. සිව්වන අධ්‍යයනය වර්ෂය වන විට, නොයෙකුත් හේතු නිසා විශ්ව විද්‍යාලය වසා දැමූ කාල සීමාවන්ගේ එකතුවත් සමගින් ඔවුන්ගේ ප්‍රේම කථාවට වර්ෂ 6ක් පමණ සම්පූර්ණ වී තිබිණ.

ආත්මීය පෙම්වතුන් ලෙසින් එක්ව ගෙන සිටි ඔවුන්ගේ ජීවිත තුල ජීවිත දෙකක් නොවිණ. සිරුර දෙකක් තුල ගැහෙන එක ම හදවතින් ඔවුන්ගේ පණ නල රැකි ඇතැයි යන්න දෙදෙනාගේ ම විශ්වාසය විය.

සම්බන්ධයේ පරතෙරට ම පැමිණි දින................

“ඇයි උපා ඔයා අඬන්නේ නැත්තේ..............?“ තමන් අතින් සිදු වූයේ බලවත් වැරැද්දක් යැයි මනස්තාපවෙමින් සිටි ඔහු අසා සිටියේය.

“ඇයි අකලංක මං අඬන්න ඕනේ...............?“ සිය සුරතින් ඔහුගේ අක්බමරු වන් කෙස් කළඹ පිරිමදිමින් සිටි ඇය සෙමින් නමුදු ස්ථිරසාරව අසා සිටියාය.
අනතුරු ව එළඹුණු සතියේ අග භාගයේ, උපමාලිගේ කිසි ම ඉල්ලීමකින් තොරව ම ඔවුන්ගේ විවාහ ලියාපදිංචිය විශේෂයෙන් ලබාගත් අවසරයක් මත සිදු කෙරින. මෙම කටයුත්ත ගැන දැන සිටියේ විවාහයට සාක්ෂිය පිණිස අත්සන් තැබූ  අකලංකගේ මිතුරාත් උපමාලිගේ යෙහෙළිය වු නිසංසලාත් පමණකි. මෙම සිදුවීම උපමාලි සිය හොඳම මිතුරිය වූ තමරුගෙන් සැඟවූයේ ඇය මේ පිළිබඳ ව දැනගතහොත් නිසංසලා මෙන් ප්‍රශංසා නොකරන බව දන්නා නිසාය.
 
“උඹ හරි ම වාසනාවන්තයි කෙල්ලේ............ අකලංක මොන තරම් හොඳ මනුස්සයෙක්ද.........“ නිසංසලා කාමරයට පැමිණි පසු උපමාලිගේ දෙඅත් ගෙන තදින් අල්වා ගනිමින් පැවසුවාය.

 “හ්ම්.................... එයා හොඳ කෙනා. එතකොට මංද නරක කෙනා............“ උපමාලි බොරු තරහක් පෙන්වමින් අසා සිටියාය.

 “හ්ම්........... නැතුව නැතුව........... අහිංසකයාව රවට්ටලා අල්ලා ගත්ත මදිවට නාස් ලණුවත් ඔය දාගත්තේ අගේට...........“යි පැවසූ නිසංසලා, උපමාලිගේ නහයෙන් අල්ලා සෙලෙව්වාය.

“විහිළු නෙමෙයි නිසංසලා... අකලංක නොවේ නම් මම කවදාවත් මේ තරම් වෙන කිසිම පිරිමියෙකුට ලං වෙන්නේ නැහැ. ඒක විශ්වාසයි. අකලංක කියන්නේ, ගැහැණියකට හරි ම කලාතුරකින් හමුවෙන ජාතියේ පිරිමියෙක්.......... ඒ වගේ උත්තම පුරුෂයෙකු වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට තියෙන්න බැහැ නිසංසලා................“

“හා හා........ ඇති ඇති උත්තම, පුරුස ප්‍රථම පුරුසයාගේ වරුණාව............ යමන් දැන් කන්න“

 එයින් අනතුරුව එළඹුණු මාසයේ දිනෙක් අකලංක විසින් සිය අනාගත සහකාරිය වශයෙන් උපමාලි ව සිය දෙමව්පියන්ට හා වැඩිමහල් සොයුරියට හඳුන්වා දුන්නේය. විය යුතුසේම එම පාර්ශ්වයෙන් ද ආශිර්වාදය ඔවුන් දෙදෙනා හට කිසිඳු පැකිලීමකින් තොරව ම ලැබිණ. කුලගොත් සේම අධ්‍යාපන තත්ත්වයද ගැලපීම එයට හේතුවිය.

අවාසනාව ඔවුන් සොයා පැමිණෙන විට ඇය මෙන් ම අකලංක ද රජයේ දෙපාර්තමේන්තු දෙකක උසස් නිල දරමින් සිටි අතර එළඹෙන වර්ෂයේදී ඔවුන්ගේ විවාහ උත්සවය සඳහා කටයුතු සැකසීම ද දෙදෙනාගේ බලාපොරොත්තුව වී තිබිණ. සියල්ල නොපිට හැරීමට ගතවන්නේ කෙතරම් සුළු කාලයක්ද? උපමාලිවත් අකලංකවත් කෙදිනකවත් නොසිතූ, සිහිනෙන්වත් කිසිලෙසකින්වත් නොපැතූ එම අවාසනාවන්ත තොරතුර රැගත් වෛද්‍ය වාර්තාව ඇගේ දෑතට ලැබුනේ සුව නොවන උණ රෝගී තත්ත්වයකින් පෙලීම හේතුවෙන්, තෙසතියක් පමණ රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතරේ කරන්නට යෙදුනු අනේක විධ පරීක්ෂණ බොහොමයක් අවසානයේ දීය.

8 comments:

  1. හපොයිම තමයි. :D:D:D

    මේ දෙන්නා ඇයි ගෙවල්වලට නොකියා එකපාරම බැන්දේ?

    //විවාහ ලියාපදිංචිය විශේෂයෙන් ලබාගත් අවසරයක්//

    මෙන්න මේක කරන්නේ කොහොමද කියලා කියලා දෙන්ටකෝ...හී හී...

    ReplyDelete
    Replies
    1. ඔය විශේෂ අවසරය කියන්නේ පොඩ්ඩි නම් ප්‍රසිද්ධ නොකර හුටස් ගාල බඳින එකට. එතකොට පාන්ඩුවට... ආ වැරදුනා...ආණ්ඩුවට වැඩිපුර ගාණක් ගෙවන්ට ඕනා!

      Delete
  2. හපොයි! උපමාලි ට භයානක ලෙඩක්ද?... අකලංකට වෙන අතක් බලාගන්ට උනේ ඒ ලෙඩේ නිසා උපමාලි සම්බන්ධෙ නවත්තපු හින්දද?

    ReplyDelete
  3. අයියෝ උපමාලිව මරන්නද හදන්නේ. අනේ මෙහෙම ගියොත් ලෙඩේ නිසා උපමාලි මලා කියල හරි හොඳ වෙන්නෙ නැති ලෙඩක් කියල හරි අකලංකට වෙන කෙනෙක් බඳින්න වෙනව කියල නිකම්ම අර සුලබ කතාවගේ මේක ඉවර වේවිද :(

    ReplyDelete
  4. .//ඒ වගේ උත්තම පුරුෂයෙකු වෙනුවෙන් කරන්න බැරි දෙයක් මට තියෙන්න බැහැ නිසංසලා................

    උපමාලිට මාව හම්බ උනොත් අනිවාර්යෙන් මෙහෙම කියනව සිකුරුයි. අද කොටස ලස්සනයි. :)

    ReplyDelete
  5. මම ඊයෙ පොඩ්ඩිගෙ කොටස බැලුවා හරිම ලස්සනයි, අද කමෙන්ට් කරන්න බලනකොට ඒක අතුරුදහන් වෙලානෙ ?

    ReplyDelete