Tuesday 26 February 2013

05. තමරුගෙ කතාව - පස් වන කොටස


"උපා, ඔයාට මතකද මෙතන?"

තමරු සිය මිතුරියව අවසානයේදී කැඳවාගෙන ආවේ දම් පැහැ රබරෝසියා මලින් වැසී ගිය පියගැට පෙළක් වෙතටයි. විශ්ව විද්‍යාල භූමියේ සොඳුරුතම ස්ථානයන්ගෙන් එකක් වූ එය එළිමහන් රංග පීඨයක් ලෙසින්ද භාවිතා වූ අතර, සරසවි සිසු සිසුවියන් නිරන්තරයෙන් සිය නිදහස් කාලය ගත කිරීමට එක් රොක් වූ තැනකි. තමරු, උපා ඇතුළු මිතුරියන් පිරිස එකළ පාඩම් කිරීමටද, කඩචෝරු සපමින් ඕපාදූප කියවීමටද පැමිණියේ මෙතැනටය. උදෑසන අකලංක සමගම විශ්ව විද්‍යාලය වෙත පැමිණ ඔහුගේ උදෑසන වරුවට නියමිතව තිබූ දේශනය නිම වන තෙක් උපමාලි සමග ඒ මේ අත ඇවිදිමින් ඇයට සිහිපත් කරගත හැකි කිසිවක් ගැන ඉඟියක් හෝ ලබාගැනීමට උත්සාහ දැරුවද තමරුගේ ඒ සෑම උත්සාහයක්ම ඒ වන විට ව්‍යර්ථව ගොස් තිබුණි.

"නෑ අනේ, කොහෙද මේ?" උපමාලි පඩියක් මතින් හිඳගනිමින් ඇසුවාය.

"මේ තමයි වළ. මෙතන ඉඳන් අපේ කට්ටිය කොච්චර ලස්සන නාට්‍ය කරලා තියෙනවද? මතකද, ඒ දවස් වල අකලංකත් මෙතන කොච්චර නාට්‍ය වලට හිටියද. මතක් කරන්නකො කෙල්ලෙ."

"අකලංක?"

"එයා ඔයාට තමයි මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන්නෙ."

"කවුද ඒ?"

තමරුට මහා දුකක් දැනුණි. ඒ කා ගැනදැයි ඇයම දැන සිටියේ නැත. "අනේ උපා..."

"ඇයි එයා මට ආදරේ කරන්නෙ?"

"එයාට ඕනෙ ඔයා ඉක්මණින් සනීප වෙනවා දකින්න. ඔයාට අද උදේ බෙහෙත් ටිකත් පෙව්වෙ, මතකද?"

"ආ, දොස්තර මහත්තයා!" උපාගේ මුහුණ එක්වරම එළිය වැටුණි.

"දොස්තර?" තමරුට කිසිවක් සිතාගත නොහැකි විය.

"අද උදේ මට බෙහෙත් දුන්නෙ දොස්තර මහත්තයා නේද? එයා ඇත්තටම හරි කරුණාවන්තයි තමයි." උපමාලි මොහොතක් දෑත් දෙකොපුලේ තබාගෙන කල්පනා කළාය. අනතුරුව පුළුල් සිනහවකින් මුව සරසාගෙන කතා කළාය. "හරි හරි, මට දැන් තේරෙනවා. ඒ දොස්තර මහත්තයා. එතකොට ඔයා නර්ස් නේද? ඔය දෙන්නා තමයි මාව බලාගන්නෙ, එහෙම නේද?" අනතුරුව ඇගේ මුහුණ යළිත් කල්පනාවෙන් බර විය. "ඇයි මාව එහෙම බලාගන්නෙ? මට සනීප නැද්ද? මොකද්ද මට තියෙන ලෙඩේ?"

තමරු කුමන පිළිතුරක් දෙන්නදැයි නොදැන බලා සිටියාය.

"මෙතන මොනාද පෙන්නපු නාට්‍ය?" උපමාලි එක්වරම කතාව වෙනස් කළාය. මෙම අසනීප තත්ත්වය හා ගනුදෙනු කරද්දී තමා මෙවැනි දේවල් වලට පුරුදු විය යුතු බව තමරු වටහාගත්තාය.

"එක එක ජාතියේ නාට්‍ය. සමහර දාට අපේ කට්ටියම හදපුවා, රජ කතා, ජාතක කතා, ඔහොම එක එක විදිහේ ඒවා. ඔයාට මතකද එක සැරයක් නාට්‍යයකට ඔයත් ලෑස්ති උනා. අකලංක ඔයාව බලෙන්ම කැමති කරවගත්තෙ. ඔයා කැමති උනේ එහෙම නොකළොත් එයා තරහ වෙයි කියන බයට. ඒ සුමාන දෙකේ ඔක්කොම පාඩම් පැත්තක තියලා ඔයා නාට්‍යය දෙබස් තමයි පාඩම් කළේ. ඔයත් එක්ක ඉඳලා අන්තිමට මටත් දෙබස් පාඩම් හිටියා. මතකද ඊට පස්සෙ මොකද උනේ කියලා?"

"නෑ. මොකද උනේ?"

එම මොහොතේ තමරුගේ ජංගම දුරකථනය නාද විය. "හෙලෝ... ඔව් අකලංක... අපි වළේ ඉන්නෙ... හරි... එහෙනං එන්න මෙතනට..." දුරකථනය ක්‍රියා විරහිත කළ ඇය "අකලංකත් එයි දැන්," යැයි උපමාලිට කීවාය.

"ඉතින් නාට්‍යට මොකද උනේ?"

"ඔයා අන්තිම මොහොතෙදි බෑ කිව්වනෙ නාට්‍යට එන්න."

"හපෝ, මං හරි නරකයිනේ. ඉතිං මොකද උනේ?"

"අකලංකට හොඳටම තරහා ගිහිං හිටියේ. එයාගෙ ස්ක්‍රිප්ට් එක. එයයි මේන් ඇක්ටර්. එයාට ඕන උනේ ප්‍රධාන නිළියට ඔයාව ගන්න. අන්තිම මොහොතෙදි ඔයා බෑ කිව්වම එයාට හොඳටම තරහා ගියා."

"දොස්තර මහත්තයට?"

"එයා දොස්තර කෙනෙක් නෙමෙයි උපා."

"ඉතිං නාට්‍යට මොකද උනේ?"

"අන්තිමට මටයි රඟපාන්න උනේ ඒ චරිතෙ. ඔයාට දෙබස් පාඩං කරන්න උදව් වෙලා මටත් ඒවා පාඩම් හිටලනෙ තිබ්බෙ."

එක්වරම අකලංකගේ කටහඬ පිටුපසින් ඇසුණි. "දෙන්නා බර කතාවක වගේ." ඔහු පැමිණ උපමාලි අසළින් හිඳගත්තේය.

ලැජ්ජාවෙන් රතු වූ මුහුණ බිමට හරවාගත් ඇය තමරුට මඳක් ආසන්න වූවාය. අකලංක ඇයට කැමැත්තෙන් පසු වූ මුල් දිනවල උපමාලිගේ හැසිරීම අකලංකටත් තමරුටත් යළි සිහිපත් විය. 

"මොනවා ගැනද දෙන්නා කතා කර කර හිටියේ?"

"අපිට අවුරුදු හයක දේවල් තියෙනවනේ මතක් කර කර කතා කරන්න, නේද උපා?" තමරු ඇසුවාය.

"අවුරුදු හයක්?"

"ඔව්, අපි මේ කැම්පස් එකේ අවුරුදු හයක්ම හිටියනේ. අර පේන්නේ," ඇය ඈතින් දිස් වූ නේවාසිකාගාර ගොඩනැගිල්ල වෙත අත දිගු කළාය, "අපේ හොස්ටල් එක."

"මං හිතුවේ අද තමයි අපි මුළින්ම මෙහෙට ආවේ කියලා."

තමරුත් අකලංකත් මුහුණින් මුහුණ බලාගත්තෝය. අනතුරුව අකලංක කතා කළේය. "එන්නකෝ, අපිට බලන්න තව තැනක් තියෙනවා."

ඔවුන් ඇවිද ගියේ සුන්දර සරසවි භූමිය මැදින් ඇදී ගිය මහවැලි නදිය වෙතටය. ඇහැළ මලින් වැසී ගිය මාවත් දිගේ අතිනත් පටලාගෙන ඇවිදින යොවුන් ආදරවන්තයෝ සිය ආචාර්යවරයා දැක වහා මෑත් වෙමින් ඔවුනට ඉඩ දුන්නෝය. අකලංකගේ කතාව කලා පීඨයේ ආචාර්ය මඬුල්ලේ සියල්ලෝම මෙන්ම ඇතැම් සිසු සිසුවියන්ද දැන සිටියෝය. එය ඔවුන් තුළ ඔහු කෙරෙහි ඇති ගෞරවය තව තවත් වැඩි වීමට හේතුවක් විය.

මහවැලි නදිය පෙනෙන මානයේ වූ බංකුවක් අසළට පැමිණි අකලංක නතර විය. ඒ වන විට මහත් වෙහෙසට පත්ව සිටි උපමාලි වහා ඒ මතින් වාඩි විය. 

"අකලංක වාඩිවෙනවද?" තමරු ඇසුවාය.

"නෑ තමරු, ඔයා වාඩි වෙන්න. වාඩි වෙලා මං මේ උපාට කියන දේවල් ඇහෙන් නෑ වගේ ඉන්න."

තමරු සිනාසුණාය. "ඉතිං මං අහකට යන්නංකෝ. වාඩි වෙලා දෙන්නත් එක්ක ඕන දෙයක් කතාකරගන්න." ඇය ඉවතට යාමට සූදානම් වුවද උපමාලි වහා ඇගේ අතේ එල්ලුනාය. 

"නෑ තමරු, ඔයත් ඉන්න. නැත්තං මේ පොඩි එකෙක් එහෙම දැක්කොත් හරි නෑ," අකලංක කීවේය.

එවර උපමාලි අසළින් බංකුවේ වාඩි වූ තමරු ගල්කැට අහුරක් අතට ගෙන ගලා යන නදියේ රැළි අතර සැඟවී යන ලෙසින් ඒ එකින් එක විසි කරන්නට වූවාය.

"උපා ඔයාට මතකද මෙතන?"

"නෑ ඩොක්ටර්."

"ඩොක්ටර්?" අකලංක තමරු දෙස බැලුවාය.

"එයා හිතං ඉන්නෙ ඔයා එයාගෙ ඩොක්ටර්,  මං නර්ස් කියලා." තමරු පැහැදිලි කළාය.

අකලංක යළි උපා වෙත හැරුණේය. "මං ඩොක්ටර් නෙමෙයි උපා. මං ඔයාගෙ අකලංක."

"මගෙ? අකලංක?" උපා වදන් වෙන වෙනම උච්ඡාරණය කළාය.

"ඔව්. ඔයාට මතකද, ඔයා මුළින්ම අපි දෙන්නා ගැන ඔයාගෙ ගෙදරට කියපු විස්තරේ ඇවිත් මට කිව්වෙ මෙතන ඉඳන්."

"අපි දෙන්නා ගැන ගෙදරට කිව්වා? මං? ඇයි ඒ?"

"ඔයයි මමයි යාළුයි කියලා."

උපා තමරුගේ උරහිසින් ඇද්දාය. "මෙයා ඇත්තද මේ කියන්නේ?" ඇය තමරුගෙන් ඇසුවාය.

"ඔව් උපා."

"දොස්තර මහත්තයා මාව කළිං ඉඳන් දන්නවද?"

අකලංක නැවත කෙළින් වී ඉවතට හැරුණේය. තමරු උපමාලි දෙසට හැරුණාය. "උපා, මම අර ඉස්සල්ලා කිව්වෙ වළේ නාට්‍ය ගැන, ඔයාට කැමැත්තෙන් හිටපු, ඔයාට ආදරේ කරපු අකලංක ගැන. මේ එයාමයි."

"ඉතිං ඒ නාට්‍යෙ අන්තිමට රඟපෑවෙ ඔයානේ."

"අනේ දෙයියනේ," තමරු හිස දෑතේ හොවාගත්තාය. අකලංකද හිස දෙපසට වැනුවේය.

"මට මේ මුකුත් තේරෙන් නෑ අනේ." උපමාලි රැළි කරගත් නළල අතගෑවාය.

අකලංක යළිත් ඈ වෙත නැඹුරු විය. "උපා, ඔයාට කියන්න පුළුවන්ද මට දැන් හිතෙන දේ?" උපමාලි ඔහු දෙස බලා සිටියාය. "මගෙ ඇස් දෙක දිහා හොඳට බලලා කියන්න."

"දොස්තර මහත්තයා දුකෙන්." උපමාලි මඳ වේලාවක් ඔහුගේ දෑස් දෙස බලා හිඳ කීවාය.

"මම දොස්තර මහත්තයා නෙමෙයි, අකලංක - ඔයාගෙ අකලංක."

"අක-ලංක - දුකෙන්." ඇය වදන් එකින් එක ගැලපුවාය.

"මං දුකෙන් ඉන්නෙ ඇයි කියලා දන්නවද?" ඔහු ඇගේ දෑස් මට්ටම තෙක් පහත් වී අසළ වූ ගසකට පිට දී ඇණ තියාගත්තේය.

උපමාලි නැතැයි කීමට හිස දෙපසට වැනුවාය.

අකලංක ඇගේ දෑතින් අල්ලාගන්නට උත්සාහ කළේය. නමුත් ඇය ප්‍රවේශමෙන් සිය දෑත් යළි මුදාගත්තාය. "ඔයාට කොහොමද උපා මාව අමතක වෙන්නෙ? මගෙ ආදරේ අමතක වෙන්නෙ? මෙතන අමතක වෙන්නෙ?"

"මෙතන?" උපමාලි හිස හරවා වටපිට බැලුවාය.

"ඔව්? මතකද?"

උපමාලි යළි ඔහු වෙත හැරුණාය.

"මතකද?" අකලංක යළි ඇසුවේය.

උපමාලි දිගටම ඔහුගේ දෙනෙත් දෙසම බලා සිටියාය. කෙමෙන් එම දෑසට කඳුළු උනා ආවේය. 

අකලංකගේද දෙනෙත් රත් පැහැ ගැන්වෙන්නට පටන්ගත්තේය. "ඔයාට මතකයි නේද උපා? එදා මෙතන - "

"අනේ මට... මුකුත් මතක නෑ....." උපමාලි ඉකිබිඳිමින් හඬන්නට වූවාය.

අකලංක වහා ඇගේ දෑතින් අල්ලාගත්තේය. "කමක් නෑ මගෙ වස්තුවේ, අනේ අඬන්න එපා..." ඔහු කතා කළේද අපහසුවෙනි. තවත් එතැන හිඳිය නොහැකි වූ තමරු නැගිට දෑස් පිසදමමින් ගං ඉවුර වෙත ඇවිද ගියාය.
අකලංක උපමාලිගේ දෑත් අතගාමින් ඇයව සනසන්නට උත්සාහ කළේය. "සොරි උපා. අනේ අඬන්න එපා... මගෙ මැණික... උපමාලි..."

ඇගේ ඉකිබිඳීම එක් වරම නතර විය. ඇය හිස ඔසවා ඔහු දෙස බැලුවාය. 

"මොන දේ උනත් මං ඔයා ලඟම ඉන්නවා... ඉතිං අඬන්න එපා..." ඔහු තමරුගෙන් හිස් වූ බංකුවේ අනෙක් පස හිඳගෙන උපමාලිව තුරුළු කරගත්තේය. ඇය එයට විරෝධයක් නොපා සිටීම ඔහුගේ මහත් සැනසීමට හේතු විය. අවම වශයෙන් ඇයට එම මතකයෙන් හෝ එදින ඉතිරි හෝරා කීපය ඔහුට ආදරය කිරීමට හැකි වනු ඇත. එක් වරක් තමරු සිටින දෙසත් අවටත් වෙත නෙත් යොමු කළ අකලංක එක් වරම පහත් වී උපමාලිගේ දෙතොල් සිය දෙතොලින් ස්පර්ශ කළේය. අනතුරුව සෙමෙන් ඈ වෙතින් මෑත් වූ ඔහු ඈ කිනම් ප්‍රතිචාරයක් දක්වනු ඇත්දැයි ඇගේ මුහුණට එබී බැලුවේය. නැවතත් කඳුළු උනා එන දෑසින් ඔහු දෙස බලා සිටි ඇය ඔහුගේ උරහිසේ මුහුණ හොවාගත්තාය. "අකලංක... මගෙ අකලංක..." ඇය ඉකිබිඳින හඬ ඇසුණි.

"මගෙ වස්තුවේ..... ඔයාට මතක් උනාද?" අකලංක ඇයව තුරුළු කරගෙන ඇසුවේය.

"ඔව්....... ඔයා මට පළවෙනි හාදුව දුන්නෙ මෙතනදි..."

අකලංක ඇගේ හිස අතගෑවේය. ඔහුගේ දෑසින්ද කඳුළු ගලමින් තිබුණි. "ඔයාට සනීපයි....."

"අදත් එදා වගේ ප්ලෑන් කරලද මේක කළේ?" උපමාලි හිස ඔහුගේ උරහිසේ සඟවාගෙනම කතා කළාය.

අකලංක කඳුළු අතරින් සිනාසුනේය. "ඔව්."

"එහෙනං මට එදා කියපු එකම තමයි කියන්න තියෙන්නේ."

එක් වරම තමරුගේ කටහඬ ඇසුණි. "අකලංක, ළමයි කට්ටියක් මේ පැත්තට එනවා." ඇය ඔවුන් දෙදෙනා සිටි දෙසට හැරුණාය. පෙම්වතුන් යුවළ එකිනෙකාට තුරුළු වී සිටිනු දුටු ඇයට දෑස් අදහාගත නොහැකි විය. ඇගේ මුහුණ සිනහවකින් පිරී ගියේය. "උපා?"

නමුත් ඊලඟ නිමේශයේ ඈ ඇසිපිය හෙළා බලනා විට අකලංක සිටියේ බංකුව පාමුලය. ඔහු දුහුවිලි පිසදමමින් නැගී සිටිනා අතරේ උපමාලි වහා තමරු වෙත දිව ආවාය. "නර්ස්, මේ පිස්සු දොස්තරට කියන්න තමුංගෙ වැඩක් බලාගෙන පැත්තකට වෙලා ඉන්න කියලා!" ඇය තමරුට මුවා වෙමින් අකලංක වෙත දබරැඟිල්ල දිගු කරමින් චෝදනා කළාය. 

අකලංක වෙව්ළන යටි තොල විකාගෙන උපමාලි දෙස මොහොතක් බලා හිඳ කලිසම් සාක්කුවේ වූ ලේන්සුව පිටතට ගනිමින් ආපසු හැරුණේය.
"ගෙදර යං." ඔහු බිඳුණු හඬින් පවසනු ඇසුණි.

10 comments:

  1. ෂෙහ්..මාර ලස්සනයි නඟේ...කියල වැඩක් නෑ..උඹට කියන්ඩ මම ටිකක් වෙලා කල්පනා කලා ඒ චරිත දෙකටම සමවැදිල. මට ඔහොම දෙයක් උනොත් මගෙ හැඟීම් කොයි වගෙ වෙයිද?..ඒ වගේම ඔහොම දේකට මට මුහුණ දෙන්න උනොත් මම මොනවා කරයිද කියල. ඒ කරල ආයෙම ඔයාගෙ කතාව කියෙව්ව..ඇස් දෙක තෙමුනෙ ඉබේම නංගි..මේ ඇත්තමයි...

    You are doing wonderfully great Madam, Really looking forward to the next episode :) :)

    ReplyDelete
  2. ඇත්ත කියන්ඩ එපායැ.. මං කලින් කොටසට නං ඒ හැටි කැමති වුණේ නෑ නගේ... සමහර විට කතාව පටං ගත්ත කෙනා විදියට මං නොහිතපු පැත්තකට කතාව ගලං යන හන්ද වෙන්ඩ ඇති.. ඒ ඇරුණම මට පෞද්ගලිකව අභව්‍යයයි කියල හිතිච්ච තැනුත් තිබුණ.. ඒකත් බලපෑව...
    ඒත් අද කොටස නං හරිම ලස්සනයි!!!
    මේ කොටස මොහොතකට මට කතාවෙ මුල් සිදුවීම් අමතක වුණා!!

    ReplyDelete
  3. මාත් ජනූ එක්ක එකඟයි සිත්තමියේ.

    මේ පාර කොටස කියවන කොට ඇඟ සීතල වෙලා ගියා. දුප්පත් අකලංක...ඔන්න හින්ට් එකකුත් ලැබිලා තියනවා කතාව පටන් ගත්තු කෙනාගෙන්.:)

    මට U Me Aur Hum කියන හින්දි ෆිල්ම් එකත් මතක් උනා. තවත් ලස්සන කොටසක් ඉක්මනින් දාන්ට. ඊලඟට ලියන අහිංසකයට කතාව ඉවර කරන්ට පුලුවන් වෙන විදියට.:D:D

    ReplyDelete
  4. රවි අයියා, ජනූ අක්කා, පොඩ්ඩි අක්කා තුන් දෙනාටම ගොඩාක් ස්තූතියි. මාත් ඔන්න ඇත්තම කියන්නංකෝ. මටත් අර හතරවෙනි කොටස ලිව්වට පස්සෙ කතාව එපා උනා. පුදුම මහන්සියක් වෙන්න උනා ඒක ලියාගන්න. කතාව හරියට ගොඩනගාගන්න බැරි ප්‍රශ්න ගොඩාක් තිබුණා විසඳුම් හොයාගන්න. මටත් හරිම අතාත්වික ගතියක් දැනුණා. තව ලියන්න හිතං හිටියත් අරකෙන් ඇති වෙලා තමයි මටනං තවත් බැරියෝ කියලා මේල් එක දැම්මේ. ඒත් ඉතිං මං කාපු කතාව මංම ගොඩදාන්න එපැයි. ඉතිං හොර නිවාඩුවක් දාලා ගෙදර හිටපු දවසක ඔන්න ඔහේ ඕන එකක් කියලා හොඳ හුස්මක් අරගෙන ලියලා දැම්මා මේක. :)

    ReplyDelete
  5. අම්මො කාලෙකින් යන්තන් සන්තන් ආව බොලොග් කෙරුවාවට.

    මෙදා පාර සිත්තමි නංගා ගේ ලියවිල්ල හරිම අගෙයි. මට අර නාට්ටියේ උපා වෙනුවට තමරු රඟපාපු එක කියවද්දී බයත් හිතුන. ඉදිරියට මොනා වෙයිද කියල. අනික මේකේ නමත් තමරුගේ කතාව මිසක්ක උපාගේ කතාවත් නෙවෙන නිසා මට නම් උපා ගැන බයයි අනේ.

    නංගා අර හාදුව දෙන හැටි ලීව හැටි හරි ලස්සනයි... ඔයා රන්දිල් අක්කගේ හාදුව මේ කොටසටත් ගලපලා ලීව හැටි හරි අගෙයි. :)

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි අමා අක්කේ. කතාව මගේ හිතේ තිබිච්ච හැටියටනම් එහෙම බය වෙන්න හේතුවක් නැති වෙයි. ඒත් බලමු, මේක කොහොම ඉවර වෙයිද කියලා. :)

      මේ, ඒක රන්දිල් අක්කගෙ හාදුව නෙමෙයි අනේ, රන්දිල් අක්කා ලියපු උපාගෙයි අකලංකගෙයි හාදුව. :D

      Delete
  6. හැමදාම කමෙන්ට් කරන්නෙ නැතත් මං මේ මල්දමේ ලියවෙන හැම අකුරකටම ගොඩක් ආසයි.ආදරෙන් මිනිස්කමෙන් පිරිලා තියෙන අකුරු අපිටත් ජීවිතේ දිහා බලන්න අලුත් ඇස් දෙකක් දෙනවා.හුගාක් පින් මේ ලියන අකුරුවලට.තව ලියන්න ඔයාලට ශක්තිය ධෛර්්‍යය ප්‍රාර්තනා කරනව!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි නගේ. ඔයාගෙ මේ කමෙන්ට් එක අපි හය දෙනාටම ගොඩාක් වටිනවා. අපිට ලොකු දිරියක්. ආයෙමත් ස්තූතියි. :)

      Delete
  7. දැන්නම් කතාව හරිම ලස්සනයි, ඊ ළඟට මොනාවේවිද ?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෝන්යා.

      ඒක නෙමෙයි, පොඩ්ඩි අක්කගේ වචන වලින් කිව්වොත් 'මං හිතන්නෙ මං ඔයාව මීට කළින් දන්නවා' වගේ. :)

      ඊලඟට වෙන දේ බලන්න දිගටම අපිත් එක්ක එකතුවෙලා ඉන්නකෝ. :)

      Delete