Saturday, 1 December 2012

සිත්තමක ලියැවුණු කවිය... 02






මුතු ඉතින් එදයින් පස්සෙ පන්සල පැත්ත පළාතෙ ගියෙ නෑ. වෙනදට කොහොමත් දවස් දෙක තුනකට සැරයක් සඳා එක්කල මුතු පන්සල පැත්තෙ යනවමයි. ඒත් හිතේ තිබ්බ තරහටම...තරහක්මත්ද මන්ද තරහකුයි තව මොකක්ද මුතුට හිතාගන්න බැරි අමුතුම සුන්දර හැඟීමකුයි දෙකම හිත ඇතුලෙ පොර බදනව කියල මුතුටම තේරුන.

හිටපු ගමන් තනියම කතාකරන එක හිනැහෙන එක මුතු පොඩි කාලෙ ඉඳම්ම තිබ්බ ගති සොබාවයක්…

'' මේකිට නම් අම්මප නුහුගුණේද කොහෙද?....ලොකු දුවේ දාන්ට වෙයි ඕං හොඳවැයිං ඉසකුඩිච්චියක්....නැත්නං මේකිව හරි හමං මිනිහෙකුට දීග දීල හමාරයි....''

දවසක් අත්තම්ම කියැව්වෙ කම්මුලේ අතකුත් තියාගෙන...ඒත් උන්දැගෙ ලොඹු කට ඇරිල තිබ්බෙ හිනාවකිං.....

" අනේ නිකං ඉන්ට අත්තම්ම..මට ඕන ඇති මිනිහෙක් නෑ....''

මුතු අත්තම්මගෙ ඔක්කෙ වාඩි උනේ මූණ රතු කොරගෙන...ඒ දැනට අවුරුදු හය හතකට එපිට..අත්තම්ම හිටි ගමං මිය පරලෝ ගිහිල්ලත් පහුගිය ඉල් මහට පස් අවුරුද්දක් උනා නෙව....

කිව්වත් වගෙ මෙතෙක් කාලෙකට...හ්ම්ම්ම්.... ලබන බිනර මහට මාසෙට වයස විස්සක් නෙව....මුතූට කිසිම පිරිමි පරානයක් ගැන හිතක් පාල වෙල තිබ්බෙ නෑ කිව්වම...එහෙම් මෙහෙම් ඉඟි බිඟි නම් අල්ලපු ගංවල කොල්ලොංගෙන් හිටං මදි නොකියන්ට...ඒත් උංගෙ හිත් නොරිදෙන්ට ඔය ඒ වෙලාවට කටට ආපු මොනව හරි කියල ජාම් බේරගන්නව මිසක මුතු ඔව්ව ගැන වැඩිදුරකට හිතුවෙම නෑ....මුතු කෙල්ලගෙ හැටි දන්න නිසාම කොල්ලොත් වැඩිදුර පස්සෙං ආවෙත් නෑ....හෙහ්, හෙහ්, .....

පංසලේ ලොකු හාමුදුරුවො පහුගිය වස් හමාර පිංකමේදි අන්තිම බණට කිව්වෙ සඳකිඳුරු ජාතකේ....

'' පින්වතුනි. පින්වතියනි. අප මහ බෝසතාණෝ එදා සඳකිඳුරකුව ඉපිද මතු නොව ඉන් පසු අනේක ජාති ජාතීන්හි ද වෙස්සන්තර රජුව ඉපිද ආදී වශයෙන් යශෝධරා දේවියම පතා සසර පුරා ඔවුන් දෙදෙන අතර වූ නොසිඳෙන සෙනෙහස........ ''

හාමුදුරුවන්ගෙ කටහඬ මුතූට ටිකෙන් ටික ඇහෙන්නෙ නැතුව ගියා.ඒ වගේ සසර පුරා පතාගෙන එන කෙනෙක් මටත් ඉන්නවද?....එහෙම නම් එයා මේ වෙලාවෙ කොහෙ ඇද්ද?....මාව හොයනව ඇතිද?.....මුණ රතු වෙනවත් එක්කම මුතූට කට කොණකට හිනාවකුත් ආවෙ නොදැනීම.

'' මොකද මුතූ....තනියම හිනා වෙන්නෙ?....ඔය මූණ කටත් රතු වෙල ජම්බෙ වගෙ…''

පැදුරෙ ළඟිම්ම ඉඳං උන්නු සඳා හෙමීට කකුල කෙනිත්තුවම තමයි මුතු ආයෙම බණ මඩුවට ආවෙ.....

කිසිම හේතුවක් නැතුව ඒ සිද්දිය හිතට ආවෙ මොකද කියල මුතූට හිතාගන්ට බැරිඋනා....බැරිඋනා මත් නෙවෙයි ඇත්තම කිව්වොත්...ඒ මොකද කියල දුර දිගට හිතන්ට මුතුට හිතට මහ ලැජ්ජාවක් වගෙ ගතියක් ආවයි කියමුකො.

'' මොකද ළමයො මේ හැබෑටම?.....තනියම හිනා වෙනව මදිවට ඒ පාර මේ මොකද? ''

'' ඇයි අපෙ අම්මෙ?.......මොකද මට වෙලා තියෙන්නෙ? ''

'' මොකද වෙලා තියෙන්නෙ?.....ගිහිං බලාපං අර කන්නාඩිය ගාවට ගිහිං….. මුණ කට විතරක් නෙවෙයි කන් දෙකයි බෙල්ලත් එක්ක රතුවෙලා තියෙන්නෙ…''

'' ආ,..මේ ඒ මම අර වැට අයිනෙ ඇවිද්ද නෙව අව් පූටකේ ඒකයි.......''

ආයෙම මූණ රතු වෙන්ට ඉස්සරවෙලා මුතූ එහෙම කියල එළියට පැන ගත්තා.

මුතුලයෙ ගෙවල් පහුකරල දෙවැට දිගේ බඹ විස්සක්කිතර ගිහිල්ල දෙපාව ගාවිං ඇළ ඇළ පාරට ගොඩ උනු තැනම තියෙන්නෙ රූස්ස ඇහැළ ගහක්.....මල් පිපෙන කාලෙට බලන්ට ලස්සනයි කහ සිවුරක් පොරෝ ගත්තු හාමුදුරුනමක් එරමිණිය ගොතාන බාවනා කරනව වගෙ කියල මුතූට හිතුනෙ එක පාරක් දෙපාරක් එහෙම නෙවෙයි.

ඒත් දැන්නම් මල් වාරාව......එහෙම් මෙහෙං මල් දෙකතුනක් විතරයි තැනිං තැන

ඒත් ගහේ කොළ පිරිල.............හෙවණෙ තිබ්බ අපූරු ගල් තලාවකුත්.....

මුතු ගොඩ උනා මේ ගල් තලාවට......ගල් තලාවෙ ඉඳ ගත්තම ඈත වෙල ඉම නියර අද්දර කුඹුක් ගොල්ලට ඉහලිං අපූරුවට පේනව පංසලේ කොත් කැරැල්ල......රත්තරං පාටට දිලිසෙනව ඉර අව්ව වැටිල........

කොහේ ගියත් පන්සලමයි පේන්නෙ........මුතූට දිග සුසුමක් පිට උනේ නොදැනීම....

'' මොකද අප්පා ඔච්චරම සුසුම් හෙලන්ට කාරණාව? ''

ඇහැල ගහට එහායිං තිබ්බෙ කුඹුක් ගස් වදුලක්.ඒ පැත්තෙ ඉඳල ඇහිච්ච ඒ හඬට තිගැස්සුනු මුතු නැඟිට්ටවුනේ ඉබේටම.

ඔහු...ඔව් ඔහු සිනාමුසු මුවින් යුතුමෙදෙස බලාසිටින්නේ ඔහුය. එසේය ඒ ඔහුය, එදා පන්සලට යන මඟ සළකුණු මුතූගෙන් විමසූයේ ඔහුය,

පපුව ගැහෙන එක ටික අඩුවෙලා යද්දි මුතූගෙ හිතට ඒ එක්කම ආවෙ දරාගන්ට බැරි විදිහේ ලොකු කේන්තියක්....

හිතේ මෙච්චර වෙලා පොදි කාපු නුපුරුදු හැඟීම් වෙනුවට මේ හිතට ආපු කෝපය මුතුට පුරුදුයි.

'' මේ මට එකක් කියනවද?..... තමුන් කවුරුය කියලද හිතාගෙන ඉන්නෙ? ''

මුතූ ඇහුවෙ ගහෙං ගෙඩි එන්නැහෙ.....

'' මම මෙච්චචර කල් නම් හිතාන උන්නෙ මම වික්‍රම කියලයි....ඇයි ඔයා හිතන්නෙ ඒකෙ මොකුත් වැරැද්දක් තියනවයි කියලද? එහෙම නම් කියන්න ........මම මේ නම වෙනස් කරන්නම්........පත්තරේ දැන්වීමක් දාල........උතුම් වූ ශ්‍රි ලංකා ජනරජයටත් මහ ජනතාවටත් දැනුම් දෙන වග නම් මෙතෙක් මම වික්‍රම යනුවෙන් වැරදීමකින් භාවිතා කොටගෙන පැමිණිය මුත් මෙවක් පටන්........... ''

ඔහු කියවාගෙන ගියේ පොතක් කියවනව වගෙ හඬ උස් පාත් කරමින් සැරින් සැරේ මුතූ දිහාවෙ හොරැහින් බලන අතරෙ.....මුතූගේ කේන්තිය ඉහිලුම් නොදෙන තරමට ඉහවහා ගියේ ගියේ එක තත්පරේකින්...... හුහ්....මෙයාගෙ තියෙන විච්චූරණ බලාපල්ලකො...මම කවුද කියල නොදැනයි ඔය ....හිටපංකො......

'' මගෙ නම හොඳ මදිය කියල ඔය ළමය හිතනව නම් කියන්ට...ලැජ්ජ වෙන්ට එපා....එතකොට තව හොඳ නමක් එහෙම හිතල තියේනම් ඒත් කියන්ට...හොඳාය කියල හිතෙනව නම් මම ලෑස්තියි ඕනම වෙලාවක සළකල බලන්ට ''

ඔහුගේ ඇස් දෙකේ තිබ්බෙ අමුතුම බැල්මක්....ඒත් ඒ අමුතු බැල්මවල් වලින් කියවෙන්නෙ මොනවද කියල හගිස්සවන්ට පුලුවන් තත්වෙක නෙවෙයි මුතූ හිටියෙ.

කේන්තිය වැඩි කමට මුතූගේ දෙනෙතට කඳුලු පුරා ආයේ ඉබේටම.

'' මේ……. මම ඇහුවෙ ඒ බහු බූතයක් නෙවෙයි හොඳද?.......ඔහෙ කවුරු උනාම මයෙ මොකද?..අනික මට ඇති අමාරුවක් නෑ කාටවත් නම් දාන්ට........මම ඇහුවෙ මෙතන ගෑණු ළමයි දිහාවෙ හොරෙං බලා ඉන්ට ඔහෙ හිතාගෙන ඉන්නෙ ඔහෙ කවුරුය කියලද ? ''

ඇගේ අත් දෙක ඉණට ගියා ඒ එක්කම.

'' අන්න අන්න බොරු චෝදනා කරන්ට එපා....මම මෙතන ඔය කවුරුවත් ගෑණු ලමයි දිහාවෙ හොරෙං බලා හිටියෙ නෑ...තේරුණාද?....ඔය ගෑණු ළමය එන්ට බොහොම කලින් මම ආවෙ මෙතනට.....අනික ඔය පන්සල් දිහාවෙ බලන් ඉන්න උදවිය දිහාවෙ හොරෙං බලා ඉන්ට මට වැඩකුත් නෑ.මට එව්වට වෙලාවකුත් නෑ....මම මෙතන බොහොම වැදගත් වැඩක් කර කර හිටියෙ.....''

කතාව පටන්ගද්දි තිබ්බ සමච්චල් සුවරෙ වෙනස් වෙලා අන්තිම හරිය ඔහු කිව්වෙ බොහොම නිවුණු බැරෑරුම් ස්වරයකින්. මුතුට ඔහු දිහාවෙ බැලුනෙ ඉබේටම.

කකුල් තුනකින් යුතු ලී රාමුවකට හයි කරපු සුදු කඩදාසියක් ........චිත්‍ර ඵලකයක්....අරය ඒ ඉස්සරහ...වික්‍රම ද මොකක්ද කියල කිව්ව නේද නම.......ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවංගෙ පරම්පරාවෙං පැවත එන කෙනෙක්ද මන්ද.....මුතූට හිනාවක් පනින්ට ආවත් ඒක දැක්කොත් තව මොකවත් කියයි කියල අහකට හැරිල අතිං කට වහ ගත්ත.

ආ...මෙයා මේ සිත්තරෙක්ය කිව්වනෙ.....ඉතිං සිත්තරෙක් නං ආපු වැඩේ කොරල ආපු අතක් බලාන යන්නෙ නැතුව මොනවද මේ කුඹුක් ගස් යට නාඳුනන ගෑණු ළමයින්ට කරන කල කොලොප්පං.....

'' දන්නවද මම මොකද කර කර හිටියෙ කියල? ''

මොහොතකට මුතූගෙන් දෑස් ඉවත්කරගත් වික්‍රම පින්සල් පාරවල් කීපයක් සුදු කඩදාසියෙ තැවරුව.

'' මට ඕන කමක් නෑ ඔය කවුරුවත් කර කර හිටපු දේවල් ගැන දැන ගන්ට…''

මුතූ ගස්සල අහක බලාගත්ත.

මම මොකටද තවත් මෙතන මෙයත් එක්ක කතා කර කර ඉන්නෙ?....කවුරුවත් දැක්කොත් ආයෙ හෙට වෙනකොට බට කැලේට ගිණි ගත්තැහෙ ගම පුරා පැතිරිල තියෙයි. මෙච්චර කාලෙකට කාගෙංවත් කතාවක් නාහපු මං මොටදෑ....

වික්‍රම චිත්‍රෙ ඇඳ ඇඳ හිටිය කුඹුක් මණ්ඩිය පිටි පස්සෙං ගියත් මුතූලයෙ ගෙදරට ගිහෑකි පිල්ලෑවෙ බෙණ කොස් ගහ ගාවිං හීං බාප්පලගෙ ගෙදර මිදුලට ගොඩ වෙලා. ඒ පාර දුරයි....ඒත් ඒ පාරෙන් යන්ට ඕනය කියල මුතූගෙ හිත කිව්ව. එහෙම යමිං ගමන සිත්තරාගෙ පිටිපස්සෙං ගිහිං මොකක්ද මේ හැටි තක හනියෙ අඳින චිත්‍රෙ කියල බලාගන්ටත් මුතූගෙ හිතේ ආසාවක් ඇති උනේ එක පාරටමයි.

කුඹුක පිටිපස්සෙං යන ගමං මුතූ හෙමිහිට ඔලුව හරවල බැලුව....ඒත් එයාගෙ හිත දැනගෙන වාගෙ වික්‍රම එ වෙනකොට චිත්‍රෙ වෙන පැත්තකට හරවල...

නපුරා!!!!!!!!!...ඒ වෙලාවෙ නම් මුතූගෙ දෑහැට කඳුලු ඉනුවෙ තරහට නෙවෙයි දුකටමයි. කඳුලු වික්‍රම දකියි කියල මුතූ ආයෙම පස්ස නොබලම අඩිය ඉක්මන් කලා.

'' ඉන්න නංගී ඉන්න පොඩ්ඩක්...... ''

ඔහුගේ හඬ ඈ ලුහුබැඳ ආවත් මුතූ තවත් පය ඉක්මන් කලා.

'' ඉන්නකො කියන එක අහල පොඩ්ඩක්… ''

ඒ හඬ ඒ පාර ඇහුනෙ ලඟින්ම...මුතූ හැරිල බැලුව ගමන නවත්තන්නෙ නැතුවම....මහ විනාසයක් මෙන්න මේ මනුස්සය පස්සෙං දුවගෙන එනව....කවුරුවත් දැක්කොත් නං...හැබෑට කිසිම දේක බරක් පතලක් නැති හැටියක්....

'' මේ මගෙ පස්සෙං එන්න එපා.......''

ඇය නැවතිලා ආපහු ඔහු දිහාට හැරුනෙ ඈත ඉම නියර දක්වාම හතර අත ඇස් යොමු කලාට පස්සෙ...

'' හරි එහෙනම් නවතින්නකො ඔයා.....''

වික්‍රම ගමන් වේගය අඩාල කලා.

'' තරහ වෙන්න එපා මුතූ...මම විහිලුවක්නෙ කලේ..... ''

මුතූ!!!!!!!

ඇගේ බෙල්ලෙ ඉඳලම ආයෙම ලේ පුරාගෙන ආව....මුතු කලේ එහෙම්මම බිම බලාගත්ත එකයි. වික්‍රම ඈ ළඟටම ඇවිල්ල නතර උනා....

'' ආ, මේක ගන්න "

ඔලුව උස්සල බලපු මුතූ දැක්කෙ රෝල් කරපු සුදු කඩදාසියක් ඈ දිහාට දිගු කරගෙන ඉන්න වික්‍රම...ඔහුගෙ මුහුණෙ තිබුනෙ දයාබර සිනාවක්....

'' මට එපා.... ''

මුතුට කියවුනේ එක පාරට.....

'' ගන්න ලමයො, ගන්නකො කිව්වම අහල… ''

ඔහු ආයෙමත් චිත්‍රෙ ඈ දිහාට දික්කලා.

'' මට එපා කිව්ව නේද දැං එක සැරයක්.... ''

''මේ විජහට ගන්න අර කවුද එනවත් එක්ක මේ පැත්තට...දැක්කොත් වෙන මොනව හරි හිතයි දැං… ''

බය වෙච්චි පාර මුතූ චිත්‍රෙ අතට ගත්තෙ නොහිතාම.....

'' හෙහ්, හෙහ්, හෙහ්…''

මේ මනුස්සයටනම් පිස්සුම තමයි...මෙන්න ඒ පාර හිනා වෙනව...

'' මොකද ඒ පාර හිනා වෙන්නෙ?..... ''

'' මම බොරුවක් අර කිව්වෙ, ඔහෙ ආපු කෙනෙක් නෑ.... ''

මුතූ යටි තොල හපාගෙන චිත්‍රෙ දෙකට ඉරන්ට වගෙ සූදානං උනා....

'' අනේ එපා …''

වික්‍රමගෙ හඬේ තිබුනු බැහෑපත් බවක්...මුතු ඔලුව උස්සල බැලුව

'' හිහ්, හිහ්, ඔයත් රැවටුනා.....මම චිත්‍රෙ ඉරන්ට හැදුවෙ බොරුවට.... ''

'' හරි හරි මම පරාදයි ''

වික්‍රම අත්දෙකත් උස්සල පරාජය පිළිගත්ත…

'' හප්පා තරහ ගියාම කොච්චි මිරිස් වලට හපන් නෙව… ''

කිසිම තොරතුරක් නොදන්නා අම්ම අප්පා ගම රට මොකවත් හාංකවිසියක් නොදන්න සිත්තරෙකුගෙන් ඔහු ඇඳි චිත්‍රයක් තෑග්ගක් විදිහට බාර ගන්ට තරම් මම බය නැති උනේ කොහොමද?....මුතූ තමන්ගෙන්ම ඒ ප්‍රශ්නෙ ඇහුව.....ඒත් ඒ ප්‍රශ්නෙට හරි උත්තරයක් ලැබුණෙ නෑ.

මතු සම්බන්ධයි



2 comments:

  1. /*තමුන් කවුරුය කියලද හිතාගෙන ඉන්නෙ?"
    මුතූ ඇහුවෙ ගහෙං ගෙඩි එන්නැහෙ.....
    "මම මෙච්චචර කල් නම් හිතාන උන්නෙ මම වික්‍රම කියලයි....*/

    මරු උත්තරේ අනේ මේකනං. මං කතාවෙ ආසම තැන එතන තමයි. :D

    /*අනික ඔය පන්සල් දිහාවෙ බලන් ඉන්න උදවිය දිහාවෙ හොරෙං බලා ඉන්ට මට වැඩකුත් නෑ.*/

    හොරෙං බලං උන්නෙ නැත්තං කොහොමෙයි දන්නෙ මුතූ බලං හිටියෙ පන්සල දිහාවෙයි කියලා, හා කියමු බලන්න! :D

    /* ඔලුව උස්සල බලපු මුතූ දැක්කෙ රෝල් කරපු සුදු කඩදාසියක් ඈ දිහාට දිගු කරගෙන ඉන්න වික්‍රම...ඔහුගෙ මුහුණෙ තිබුනෙ දයාබර සිනාවක්....
    "මට එපා...."
    මුතුට කියවුනේ එක පාරට..... */

    අන්න හරි, ඔහොම තමයි ඉන්න ඕනෙ. :D :D :D

    හරිම ලස්සනයි අයියේ. ලස්සන ගම්මානෙත් එක්ක කතන්දරේ හිතේ ඇඳෙනවා හරි අපූරුවට. ඉවසිල්ලක් නෑ ඔයාලා ඉතිරිටික ලියන හැටි බලන්න. :)

    ReplyDelete
    Replies
    1. හෙහ්, හෙහ්, බොහොම ස්තූතියි නංගි...දන්නවනෙ ගොඩනැඟිල්ලක් හරියට සක්තිමත්ව ලස්සනට හැදෙන්න නම් අත්තිවාරම අනිවාර්යයෙන් ප්‍රමිතියට අනුකූල වෙන්න ඕන...ඔයා කතාව පටන් ගත්තු විදිහ හරිම අපූරුයි..අන්න ඒකයි එතන ඉඳල බැටං එක අරගෙන දුවන්ට මට කිසිම අපසුවක් උනේ නැත්තෙ…

      ඉංගිරිසි කියමනක් අහල තියද Hit the ground running කියල. ඒ කියන්නෙ මොකක් හරි වැඩක් හරිම උනන්දුවෙං පටන් ගන්නව කියන එක.මම සිත්තරාගෙයි මුතූගෙයි ආදර කතාව ලියන්ට පටන් ගත්තෙත් අන්න ඒ විදිහට....හෙහ්, හෙහ්,

      Delete