මුතූ උදෙන්ම නැඟිටල ළිඳට ගිහිල්ල මූණ හෝද ගත්ත....අව්ව යාන්තමට වේරගල කන්ද මුදුනෙන් එබිකම් කරන්නෙ මීදුම ඉරාගෙන.....තවම තණකොල අග්ගිසිවල පිණි දිලිහෙන්නෙ අව්ව එනකල් තමයි ඔක්කොම කෙරුං කියල හොඳටම දැනගෙන වගේ.
ළිඳ ගාවා නස්නාරං ගහයි පේර ගහයි අල්ලල බැඳල තිබ්බ තංගුස් වැල් පටේ වනල තිබ්බ ලා නිල් පාට තුවාය ඊයෙ හැන්දෑ කොරේ ගෙට ගන්ට අමතක වෙලා.අල්ලල බැලුවහම හොඳටම තෙත බරි වෙලා..රෑ තිස්සෙ වැටිච්චි පින්නට....මෙහෙම ගන සැරේට පින්න අල්ලන්නෙ තද ඉඩෝරයක් එන්ට කියල ඊයෙද පෙරේදද කොහෙද අප්පච්චි එගොඩහ කළු බන්ඩ මාමණ්ඩි එක්කල කියනව මුතූ අහගෙනයි.
කාමරේ බුරුත අල්මාරියෙන් අලුත් තුවායක් ගන්ට ගියොත් ඕක අම්මට ඇහිල හේතු කාරනා අහල ඊයෙ තුවාය ගෙට ගන්ට බැරිඋන එකට කං පිරෙන්ට බැණුං අහන්ට වෙනවයි කියල දන්න නිසා මුතූ තෙත තුවායෙන්ම යාන්තමට මූන පිහ ගත්ත.
අක්ක ගෙදර ඉන්න දවස්වල ඒ කිව්වෙ අල්ලපු ගෙදරට දීග යන්ට ඉස්සරවෙලා උදේ මූන හෝදන්ට ආවම මේ ගස් දෙකේ කොල වල එල්ලෙන පිණි ගහේ කඳ අල්ලල හොල්ලල මුතූගෙ ඇඟ පුරාම විසුරෝල දාල ගමටම ඇහෙන්ට හිනා වෙවී දුවනව....ඒ සුන්දර අතීතය මතක් වෙච්චි පාර මුතූගෙ මූණට හීං හිනා රැල්ලකුත් ආව ඔන්න.
අක්කණ්ඩිනං දීහ ගිහිල්ල පැල පදියං උනේ අල්ලපු වත්තෙ....වැට උඩිං එබෙන එක විතරයි අසක්කුවකට. මට කොයි දීපංකරේක යන්ට වෙයිද උඩ ඉන්න දෙයියොම තමයි දන්නෙ? ඔන්න එක පාරටම මුතූට එහෙම කල්පනාවක් හිතට ආවෙ මොකද?....ම්ම්ම්...මොකෝ මුතුවො?....හොඳ නෑ මේ ඊයෙ පෙරේද ඉඳල හැදිල තියෙන අසනීපෙ.....අර මුතු එක්ක නිතරම කතා කරන එක්කෙනා කිව්ව...ඉතිං මොකද?....එහෙම දේවල් කල්පනා වෙනේක නරකද?...මුතුත් ඔන්න උත්තර බැන්දා....
කුස්සියෙ එලිපත්ත ගාව අම්ම කම්මුලේ අතකුත් තියාගෙන බලාන ඉන්නව. උන්දැගෙ කටත් බාගෙට ඇරිල....එහෙම්මම ඇහිපිය නොහෙල බලා හිටිය මිසක අම්ම එක වචනයක් කිව්වෙ නම් නෑ....මුතු පොලවට හිනහ වීගෙන ගෙට ගොඩ උනා...
'' මොකද මේ අද උඹ පාන්දරම ඇහැරගෙන? ''
'' ඔන්න බලන්ටකො අපෙ අම්මත් කියන එක, වෙනද කං පුරෝල බයිනව පස්ස පැත්තට අව්ව වැටිල රත් වෙනකල් බුදියනව කියල. අද මේ පාන්දර නැඟිට්ටම ඇඟට ගොඩ වෙනව මොකෝ මේ පාන්දරම කියල....ඔන්න එහෙනං මම ආයෙ ගිහිල්ල බුදිය ගන්නව....''
මුතූ කියාගෙන කියාගෙන ගියේ නිකිණි වැස්සට උඩහ අමුණ වාං දානවහෙ....
මුතූගෙ කියවිල්ල අහල අම්මට හිනා ගියා.
'' හරි හරි බං ඕකට ඔහෑටි උඩපනින්නෙ අහවල් දේකටද?...මොකද උදේම නැඟිට්ටෙ කියාල ඇහුව විතරයිනෙ මම...කොච්චර එකක්ද උදේම නැඟිට්ට එක...අනේ බං දුවේඑහෙනං මේං මේ පොල් අඩලෙ ගාල දීහංකො මයෙ අම්මා...අප්පච්චිට මොනව හරි උදේට හදල දෙන්ට...අද යනවයි කිව උදෙම්ම දිසාපති කන්තෝරුවට ගෙහුං එන්ට...''
අවට තවත් ගම් දෙකකුත් එක්ක ගම් තුනකම වෙල් විදානෙ මුතූලයෙ අප්පච්චි. කුඹුරු අස්සද්දනකොට මතුවෙන ආරවුල් විසඳන්ට කතා කරගන්ට ගොවි ජන සේවා එකේ මහත්තෙය හම්බ වෙන්ටයි ඔය යන්ට තනන්නෙ.
'' අම්මෙ අර මිදුල ඔක්කොම හැඩි වෙල...මම මිදුල අතුගාල එන්ටද? ''
'' මිදුල අතුගාගන්ට බැරිය ළමය...මිදුල ආය කවුරුවත් උහං යනවය...අප්පච්චිට පරක්කු වෙනව..අනේ මෙන්න මේ පොල් අඩලෙ ගාල දියංකො ඉතිං ''
ඉතිං මොකද කොරන්නෙ?...මුතූට පොල් අඩලෙ ගාන්ටම උනානෙ...කෙල්ල ලහි ලහියෙ පොල් ගාල පැන්න කඩිමුඩියෙ මිදුලට...පිටි පස්සෙ දර මඩුවෙ හේත්තු කරල තිබ්බ ඉදලත් අරගෙන.
මුතූලගෙ වැටෙන් එහා පැත්තෙ විජේ අයියලගෙ ගෙදර...ඒ කියන්නෙ මුතූගෙ අක්කගෙ..කුසුම්ලගෙ ගෙදර...වැට මායිමේ තමයි කොල රොඩු විමානෙ...අතු ගාන්ට පටන් ගන්ට ඕන එතනෙ ඉඳලම...මුතූ ඉදලත් අරෙගෙන ගිහිල්ල වැට මායිමේ අතු ගාන්ට පටන් ගත්ත...
'' මේ හරියෙ පුදුම විදිහට කොල වැටිල ඔක්කොම අතු ගාන්ට ඕන අද. ''
මුතූ අතුගාන ගමන් තමන්ටම කියාගත්ත.
'' ආ, අම්මප?....හැබෑමද...නෑනො...මේ හරියෙ තමයි කොළ රොඩු වැඩි?...එහෙමද?...හෙහ්, හෙහ්, ''
මුතූ ගැස්සිල බැලුව අතුගෑමත් නතර කරල...
විජේ අයිය ..මුතූගෙ මස්සිනා..වැටෙන් එහා පැත්තෙ ඉන්නව කරඳ කෝටුවක් හප හප....කට කොණක සමච්චල් හිනාවක්.....
'' නෑ අයියෙ මේ....මම මේ කිව්වෙ...... ''
මුතූට වචන පැටලුනා....දිව කට ඇතුලෙ වේලිල වගෙ දැනුන....
'' හරි බං හරි හරි කලබල වෙන්ට එපා..ඔය පැත්ත අතුගාල වැටෙං පැනල වරෙං මේ පැත්තත් අතු ගාල දීහං...මෙහෙත් ඔහෙ වගේම තමයි හරියට කොළ රොඩු ..හෙහ්, හෙහ්,''
'' කුසුමේ..මෙන්නෝ...අපෙ නගණ්ඩි අද උදේ පාන්දරම…''
විජේ අයිය එයාලගෙ ගේ පැත්තට හැරිල කෑ ගැහුව...
'' ඒයි මේ කෑ ගහන්ට එපා අයියෙ...මොනව කියවනවද මන්ද....අර දැන් අම්මටත් ඇහෙනව....''
මුතූ ඇස් ලොකු කරගෙන විජේ දිහාවෙ බලං හිටිය...
'' ඉතිං අම්මට ඇහුනට මොකද බං....මම නරකක් කීව එකක්ය?.....මම කිව්වෙ උඹ අද උදේම අතුගානවයි කියලනෙ...හා...කියාපං බලන්ට ඒක බොරුවක්ද? "
විජේ අයිය වැට අයිනෙම තිබ්බ කොස් ගහට හේත්තු වෙල අත් දෙක පපුවෙ බැඳ ගත්ත...
'' මේ විකාර කියවන්ට ගත්තොත් ඔන්න නොකිව්වයි කියන්ට එපා මම යනව යන්ට අතුගෑමත් පැත්තක දාල..... ''
'' හරි හරි බං කොහෙද උඹත් එක්ක බෑ නෙව...හොස්ස ලඟිං යන්ට බෑ මැස්සෙක්..හරි හරි ඔන්න අපි ගියා...ආයෙ මොකටද මේ උදේ පාංදර දෙස් දෙවොල් අහන්නෙ…''
ආපසු හැරුනු විජේ අයිය ගේ පිටිපස්සෙ තිබුනු ළිඳ දිහාවට යන්ට ගියා.
'' අර මනුස්සයටත් පිස්සිද මන්ද උදේ පාංදරම කුකුලත් අරගෙන ඔය ගියෙ.... ''
විජේ තමන්ටම කියාගත්තෙ එහෙම යමින් ගමන..
'' අයියෙ මේ?................. ''
'' ආ,,නංගි .....මට කතා කලාද? "'
විජේ නැවතිල ආපහු හැරුන....මිනිහ හිනාව තද කරගන්ට තොල් විකාගන්නව මුතු දැක්කෙ නෑ...එයා හිටියෙ ආයෙම බිම බලාගෙන…
'' නෑ මට අයිය කුකුල නැතිවෙච්චි කතාවක් කියනව ඇහුන ....හැබෑට අද උදේ ඒකා අඬලනව ඇහුනෙත් නෑ....මොකද ඌට වෙලා තියෙන්නෙ? ''
'' අම්මප?....එහෙමද බොල උඹට ඇහුනෙ?....මම කිව්වෙ නං අර ඊයෙ ඉඳල මෙහෙ නැවතිල ඉන්න කොලු ගැටය...අර බලි කුරුටුගාන ගොබිල…. ආං ඒකා පාංදරම පංසලට ගියයි කියලයි ''
බලි කුරුටු ගාන කොලු ගැටය.??????........විජේ අයිය එහෙම කියන්නෙ මුතූව කේන්ති ගස්සන්න බව හොඳටම දැනගෙනත් මුතූගෙ හිතට ආවෙ කේන්තියක්
'' මේ අයියෙ...මිනිස්සුන්ට අපහාස කරන එකේ සීමාවක් තියෙන්න ඕන...ඔයාට කවුරුහරි සීපද ගොතන එකා කිව්වොත් ඔයයිට තරහ යන්නෙ නැද්ද?...."
විජේ අයියා ඇවිල්ල හොඳ කවියා.....මුතූගෙ අක්ක කුසුමෙ එක්කල ඔය සෙනෙහෙවන්ත කම පටන්ගත්තෙත් කවි ගොතලම තමයි.මුතූ ඉතින් මොකෝ නොදන්නෙ ඒ විස්තර........දෙන්නගෙ කවි කොල එහාට මෙහාට අරගෙන ගියෙ ඒ දවස්වල ආය වෙන කවුරුවත්ය?
'' අනේ මට නම් කිසිම තරහක් යන්නෙ නෑ..ඉතිං බොරුවක් නෙවෙයි නෙව....කවි කියන්නෙත් සීපදම තමයි.....හරි ඒක පැත්තක තිබිච්චාවෙ.....මම කලේ අපහාසයක්මය කියල කියමු....දැං මට කියාපං බලන්ට මයෙ නෑනො...උඹට මොකටද ඔය හැටි ඩෝං ගියෙ ඒකට? ''
ඔන්න මුතූ ආයෙම රතු උනා…
'' නෑ අයියෙ මේ කාට උනත් නිරපරාදෙ.......''
වචන ගිලගත්තු ඈ ලහි ලහියෙ අතු ගාන්ට පටං ගත්තෙ හිතේ දෙගිඩියාව විජේ අයියට පෙනෙයි කියල හිතපු හින්ද...
'' හරි බං හරි..........''
විජේ අයිය ඒ පාරනම් හිනා උනේ ගමටම ඇහෙන්ඩ......
'' මට උඹෙං නිදහසට කරුණු ඕන නෑ...මම බොරු කිව්වෙ....සිත්තරා තාම ගියේ නෑ...ඔන්න ලෑස්ති වෙනව පන්සලට යන්ට....''
'' ඒයි සිත්තර මලේ....මෙහෙ වරෙං බං........ඔන්න ඔය ඉදලකුත් අරගෙන.....අපේ මේ වත්තෙත් නොසෑහෙන්ඩ කොල රොඩු....අපෙ නෑනන්ඩි එයාලගෙ වත්තෙ ඉඳල අතු ගාගෙන වැට ළඟට එයි. උඹ මේ පැත්තෙ ඉඳල අතුගාගෙන පලයන් වැට ළඟට.....වැට ලඟදි දෙන්න ඉදල් දෙක වීසි කරල එහෙම......''
'' අයියෝ මේ විජේ අයියගෙ කට තමයි කට.......''
මුතූ කෑගැහුවෙ ලැජ්ජාවට වඩා කේන්තියෙන්,…. කේන්තියට වඩා ලැජ්ජාවෙන්...
'' හරි හරි….. ඒ මොකක් හරි.... අන්න අරුන්දැ එනව.....ම්ම යනව යන්ට..හැබැයි නඟෝ එකක්......ඒබරං ආතගෙ කඩේ තිබ්බ තරමක් ලොසින්ජර,නාරං බික්, ටොපි චොකලොට් උඹ මයෙ ගානෙ කොටා බෑව නෙව...මට මතකයි ඒ දවස්වල අක්කට එක කවි කොලයක් අරං යන්ට උඹ අය කොලා ටොපි දහයයි,චොකොලොට් තුනයි ලොසින්ජර පහක්ද කොහෙද?.....මම ඔව්ව ඔක්කොම එකක් නෑර පොතක ලියාගෙන තියෙන්නෙ.....ඔන්න අහගනිං එහෙනං.....මා බොට අරං දීල තියනව ටොපි තුන්සිය හතලිහයි, චොකලොට් එකසිය තුනයි, ලොසින්ජර හැටපහයි, නාරං බික් දෙසිය පනස් එකයි.... හොඳද? ඔන්න නොකිව්වයි කියන්ට නං එපා..එව්වට පොලිත් එක්ක ලෑස්ති කොර ගනිං මේ වැඩේ කෙරෙන්ට ඕනම නං....''
විජේ අයියා මහ හයියෙන් හිනා වෙවී ලිඳ පැත්තට යනව මුතූ බලා හිටියෙ යාන්තමට තොල් අග පිපිච්ච හිනාවකුත් එක්ක...ඒ දවස්වල විජේ අයියගෙයි අක්කගෙයි සෙනෙහෙ පලහිලව්ව දවස්වල මුතූ තමයි පනිවිඩ කාරය....චොකලට් නම් ආය කීයක් නම් විතර........
'' මුතූ !!!!!!!...... ''
කන ගාවින්ම ඇහුන ඒ හඬට මුතූ ගැස්සිල ඇහැරුන සිතිවිලි ලෝකෙන්.....වික්‍රම...වැට ලඟටම ඇවිල්ල...හිනා කටකුත් පුරෝගෙන බලාන ඉන්නව…....මුතූගෙ පපුව එක මොහොතකට නතර උනා......ඒ කරල ආයෙම.....................
මතු සම්බන්ධයි
මළා!!!
ReplyDeleteඅනිච්ඡා වත සංඛාරා,
Deleteඋප්පාද වය ධම්මිකෝ,
තමේව අනුකම්පාය,
ජම්බු දීපා ඉධාගතා.......
හපොයි!!! මේ සිත්තරා හදන්නෙ මුතූට හාට් ඇටෑක් හදවන්ඩයි.. ඔහොම එක පාරට කණ ලඟිංම කතා කෙරුවම කාටද බං අයියෙ බය හිතෙන්නෙ නැත්තෙ...
ReplyDeleteමේ විජේ අයියගෙ වැඩ ටිකක් විතර අපේ රවී අයියගෙ වැඩ වගේ නේද ළමයි....??
හෙහ්, හෙහ්, මම මුලින්ම ලිව්වෙ ඔහොම නෙවෙයි..මුතූ විජේ දිහාවෙ බලා ඉන්න අල්ල පනල්ලෙ සිත්තරා හෙමිම්ම ඇවිල්ල වැට උඩිං නැමිල හිට මුතූගෙ කණ හපනව....:) :)
Deleteආයෙම හිතුන මේ ඇඹිටිල්ලං ඊයෙ පෙරෙයිද සුට්ටි කෙල්ලො ටික මොකට නරක් කරනවද කියල...අන්තිමට ඒකෙ නරක නාමෙ එන්නෙත් මේ මගෙ එකවුන්ට් එකටනෙ...
සවස සේවය නිමවී නිවෙසට පැමිණි වේලේ සිටම ඇයගේ මුහුණ හොඳ නැති බව ඔහුට රහසක් නොවීය.
'' මොකද අනේ මේ මූණ දික්කරගෙන? '' බැරිම තැන ඔහු විමසුවේය.
'' ඔයා හරිම හොඳ නෑ… '' ඇය කුටු කුටු ගෑවාය.
'' ඇයි මොකක්ද මං කලේ? '' ඔහු ඇසුවේ විමතියෙනි.
"' කරපු දෙයක් නෙවෙයි, නොකරපු දෙයක් ගැන මම කියන්නෙ..ඔයා නිකමටවත් මගෙ කණ හැපුවෙ නෑ..හරි නරකයි "'
"' ඈ??????...."'
ඈ බං රවි අයියෙ, දැන් මේ කතාව ලියන්නෙ උඹ විතරද.!? කෝ උඹේ අර චිංචිමානවිකාවො ටික, අර "චවි අයියෙ අපි මෙහෙම ලියමු", "චවි අයියෙ අපි අරෙහෙම ලියමු" කිය කියා හිටපු එවුං ටික..?? උං මිසින්ද.?? :)
ReplyDeleteහුහ් එහෙම නෑ බං.... අපිත් ලියනව.මේකනෙ බූරයියෙ වැඩේ... අපේ රවී අයිය ඉන්නවනෙ... උන්දැ ලියන්ඩ ගත්තාම ආයෙ ඉතිං දන්නවනෙ... ආරලු බූරලු දාල... තව තුනපහ දාල... මදි පාඩුවට සාදික්ක වසාවාසිත් දානව නෙ.. ඉතිං දන්නෙම නැතුව කතාව ඉවර කරන්ඩ ඉන්න තැන ටික ටික පහු වෙනව.. කතාව ලියනව...දැං මෙහෙම හිතන්ඩකො.. ඔන්න මුතූ උදේ පාන්දර අම්ම උණු කරල දෙන කිරි වීදුරුව බොනව කියන්ඩකො.. ඒක කියන්ඩ කලිං උන්දැ මුතූගෙ අම්ම කිරි දොවන්ඩ ගිය තැන ඉඳල කිරි උණු කරන තැනට එනකල්ම විස්තර කොරනව... කොටිංම ඒකි ඊට කලිං දවසෙ කෑවෙ රට තණකොළද, එහෙම නැත්තං තුත්තිරි ගාලක්ද කියන එක හිටං ඒ විස්තරේ තියෙනව.. එහෙම වුණාම ඉතිං කොටස් බර ගාණක් ලියන්ඩ එපැයි... අපි උන්දැගෙ ඔය ගති සොබාව මනාව වටහාගෙන ඉන්නෙ.. ඒ හන්ද උන්දැට ඔන්න ඔහෙ කොටස් කීයක් හරි ලියල හිතේ තියෙන තැනිං අහවරයක් කොරල කියපං අයියෙ කිව්ව මිසක්ක අපි නෙවෙයි කටක් හෙල්ලුවෙ...ඕං ඕක තමා වෙන්නෙ...
Delete