Tuesday, 28 April 2015

සරණ බන්ධන..........5 - අනෝරා වැසි

අවන්ති එක්ක කතා කළාට පස්සේ සමන්තාගේ හිතට බලාපොරොත්තු නොවිච්ච විදිහේ සැනසීමක් ලැබුණා. අවන්ති සමන්තා හිතාගෙන හිටියා වගේ කෙනෙක් නෙවෙයි. සුපුන් කවදාවත් අවන්ති වගේ කෙනෙකුට කැමති වෙයි කියලා සමන්තා හිතුවේ නෑ. 

සමන්තා දැනගෙන හිටපු සුපුන් දඟකාර, සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කැමති සමන්තාටයි ආදරේ කළේ. ඒත් ඒ මීට අවුරුදු ගාණකට ඉස්සර. සමන්තා ගැන සුපුන්ගේ ගෙදරින් දැනගත්තට පස්සේ, හරියටම කිව්වොත් සමන්තාගේ පවුලේ විස්තර සුපුන්ගේ ගෙදරින් දැනගත්තට පස්සේ ඒ දෙන්නගේ ආදරේට තහංචි වැටුනා. මුලදී සුපුන් ඒ තහංචි ගණන් නොගෙන හිටියත් ටිකෙන් ටික සුපුන්ගේ සැහැල්ලු ගතිපැවතුම් වෙනස් වේගෙන එන හැටි සමන්තාට දැනුණා. සමන්තාත් තමන්ගේ අම්මා තාත්තාත් අතර සුපුන් ලොකු පීඩනයකට මැදි වෙලා ඉන්න බව සමන්තාට ටිකෙන් ටික තේරුණා. කළින් ඉඳ හිටලා විතරක් බීපු සුපුන් හැමදාම මහ රෑ වෙනකල් බාර් එකේ කාලේ ගත කරන්න පටන්ගත්තා. කතා කරලා විසඳගන්න පුළුවන් මට්ටමටත් වඩා ඒ පීඩනය හුඟක් දරදඬු වුනා. අන්තිමට සමන්තා තීරණයක් ගත්තා. ඒ සුපුන්ගේම හොඳට. සමන්තා ලංකාවෙන් පිට වෙලා අම්මා ලඟට ගියා, නෙදර්ලන්තෙට. සමන්තා සුපුන්ගෙන් ඈත් වෙච්ච බව අහලා අම්මා ගොඩාක් වෙලා එයා දිහා බලාගෙන හිටියා. ඊලඟට ඇස් දෙකේ කඳුළු පුරෝගෙන අම්මා එච්චර කල් සමන්තාගෙන් රහසක් විදිහට හංගගෙන හිටිය කතාව සමන්තාට කිව්වා. 



දෛවයේ සරදම් ගැන කතා කොයිතරම් අහලා කියවලා තිබ්බත් තමන්ගේ කතාවත් ඒ වගේ එකක් වෙයි කියලා සමන්තාට කවදාවත් හිතුණේ නෑ. ඒත්, අවුරුදු ගාණකට කළින් සමන්තාගේ අම්මාටත් ඒ වාගේම තීරණයක් ගන්න සිද්ද වුනු බව දැනගත්තට පස්සේ සමන්තාට මුළු ලෝකේ ගැනම මහා කළකිරීමක් දැනුණා. සමන්තා අම්මා ලඟට ඇවිත් බව අම්මා දැනගෙන තියෙන්නෙත් ඒ තීරණය අරගෙන සති කීපයක් ගත වුනාට පස්සේ. ඒත් එතකොට ආපහු හැරෙන්න පරක්කු වැඩියි. එයාගෙ අම්මා එයාට වඩා දස දහස් ගුණයක වේදනාවක් විඳින්න ඇති බව සමන්තා තේරුම් ගත්තා. වෙන කෙනෙක් වෙනුවෙන් ඒ වගේ කැප කිරීමක් කරන්න ඇත්තටම හරිම උදාර හදවතක් තියෙන්න ඕනේ. ඒත් කොයි තරම් උදාර හදවතකට වුනත් දැනෙන වේදනාව දරාගන්න හුඟක් අමාරුයි. සමන්තා ඒ වේදනාවෙන් මාස ගානක් දුක් වින්දා. ආයෙමත් සුපුන්ව හොයාගෙන යන්න එයාට හිතුණ වාර අනන්තයි. ඒත් සමන්තා හිත තද කරගෙන හිටියා. 

අවුරුදු ගාණකට පස්සේ ලංකාවට ඇවිත් නතර වුණු හෝටලේ පල්ලෙහා රිසෙප්ෂන් හෝල් එක ලඟින් මොකද්දෝ වැඩකට යන අතරෙදි හෝල් එකෙන් ඇරුන දොරකින් එළියට ගලාගෙන ආපු සුපුන්ගේ කටහඬින් ගැයුන ආදර ගීතය කන නොවැකෙන්න, හෝල් එකේ දොර ලඟ තිබුණ පුවරුවේ 'Supun Wickramanayeka' කියන නම නොදකින්න ඒ තද කරගත්ත හිත තාමත් ඒ විදිහටම තියෙන්න තිබ්බා. 

ඒත්, ඒ දොර ලඟට යන්න හිතුණ සිතුවිල්ලට අවනත වෙච්ච සමන්තා, උත්සවයට ආපු අමුත්තන් එහා මෙහා යන වෙලාවක ආයෙමත් ඇරුණු දොර අතරින් ස්ටේජ් එක උඩ ඉඳන් සින්දු කියන සුපුන්ව දැක්කට පස්සේ එච්චර කාලයක් හිතේ පොදි ගැහිච්ච හැඟීම්, සිතුවිලි එකතු කරලා බැඳලා දාලා තිබ්බ බැමි හැම එකක්ම සුණු විසුණු වෙලා ගියා. නිළමේ ඇඳුමක් ඇඳගෙන හිටියත් ඒ ඉන්නේ සුපුන් බව අඳුරගන්න සමන්තාට අමාරු වුනේ නෑ. දොර ඇරිලා වැහුන තත්පර විස්සක තිහක කාලය ඇතුළත සමන්තා දස දහස් වාරයක් එතනම මැරි මැරී ඉපදුනා. ඉස්සර මූදු වෙරළේ ඔරුවක් උඩ ඉඳගෙන සමන්තාගේ කරට අතක් දාගෙන තුරුළු කරගෙන සුපුන් මේ සින්දුව මුමුණනවා සමන්තාට ඇහෙන්න. ඒක තමයි සමන්තාගේ ආසම සින්දුව. ඉස්සර. සුපුන්ගෙන් ඈත් වෙන්න තීරණය කළාට පස්සේ සමන්තා ඒ සින්දුව බැරි වෙලාවත් ඇහෙන්න කන් දෙකට ඉඩක් දුන්නෙ නෑ. සමන්තාගේ ඇස් ආයෙමත් දොර ලඟ තිබ්බ පුවරුව වෙත ගියා. 'Avanthi Deraniyagala'. සුපුන්ගේ නමත් එක්ක තිබ්බ අනිත් නම. සමන්තාට ඒ නමේ අයිතිකාරිවත් දැකගන්න ඕන වුනා. සුපුන්ගේ අම්මලා සුපුන්ව සමන්තාගෙන් හොරකම් කරගෙන බාර දුන්නේ කාටද කියලා දැනගන්න සමන්තාට ඕන වුනා. ඉක්මණින්ම ආයෙමත් දොර ඇරුනත් මනමාලි ඉන්න තැන එතනට පෙනුනේ නෑ. ටිකක් වෙලා කල්පනා කරපු සමන්තා ඒ ලඟම තිබ්බ රිසෙප්ෂන් එකට ගියා. මේ විවාහය තමන්ගේ මිතුරු දෙපලකගේ බවත්, දිගු කාලයක් විදෙස්ගතව සිටි නිසා ඒ මිතුදම දුරස් වුන බවත්, තමා ඔවුනට සුභ පතන්නට කැමති බවත්, හැඳ සිටින ඇඳුමින් ශාලාව තුළට යන්නට බැරි බවත් සමන්තා පිළිගැනීමේ නිලධාරිනියට කිව්වා. විදෙස් සංචාරකයින්ට හැකි උපරිමයෙන් සේවය කිරීමට සැදී පැහැදී සිටින හෝටල් කාර්ය මණ්ඩලයෙන් සමන්තාට ඉක්මණින්ම විසඳුමක් ලැබුණා. රිසෙප්ෂන් එකේ දුරකතනයකට සම්බන්ධ වෙච්ච අභ්‍යන්තර ජංගම දුරකථනයක් අරගෙන කාර්ය මණ්ඩලයේ කෙනෙක් හෝල් එක ඇතුලට ගියා. සමන්තා රිසීවර් එක කනේ තියාගෙන හිටියේ පපුව ඩග් ඩග් ගාලා ගැහෙද්දි. ඒත් අවන්ති එක්ක මොනවා කතා කරන්නද කියලා එයා ඒ වෙද්දිත් දැනං හිටියේ නෑ.

"හෙලෝ?" 

සමන්තාට එක පාරටම ෆෝන් එක තියන්න හිතුණා. කටහඬ ලස්සනයි. එයත් ලස්සන ඇති.

"හෙලෝ?"

කතා කරන්න ඕනේ කියලා සමන්තා හිතුවා. "හෙලෝ, අවන්ති?"

"යස්, ස්පීකින්ග්?"

"මම සමන්තා..." එයා සමන්තා ගැන දන්නවා ඇතිද? සුපුන් එයාට සමන්තා ගැන කියලා ඇතිද?

"ඔහ්!" ඒ ප්‍රතිචාරය අනුව සමන්තාට කළින් හිතට ආපු ප්‍රශ්න වලට උත්තර ලැබුණා.

"කන්ග්‍රැජුලේෂන්ස්!" හදවත යට කරගෙන කෝච්චියක් ඇදීගෙන යද්දි සමන්තා කිව්වා.

"තැ-තැන්ක් යූ." අවන්තිගේ කටහඬ ඇහුණේ යාන්තමින්. දුරකතනය අතරිනුත් ගලාගෙන ආවේ සුපුන්ගේ ගායන හඬ. තවත් සින්දුවක්.

"මං අහම්බෙන් දැක්කෙ අද ඔයාලගෙ වෙඩිං එක කියලා. මං මෙහෙ නතර වෙලා ඉන්නේ." එච්චර විස්තර මොකටද සමන්තා අවන්තිට කියන්නේ? සමන්තා දන්නෙත් නෑ ඒකට හේතුව.

"මේ හොටේල් එකේ?"

"ඔව්."

ටිකක් වෙලා දෙපැත්තෙන්ම සද්දයක් නැතුව ගත වුනා. සමන්තාට ෆෝන් එක තියන්න කළින් තව එක දෙයක් කියන්න ඉතුරු වෙලා තිබුණා. සුපුන්ව පරිස්සමෙන් බලාගන්න කියලා. ඒත් ඒ වෙනුවට සමන්තාගේ කටින් පිට වුනේ වෙන දෙයක්. 

"සුපුන් ලස්සනට සිං කරනවා නේද?"

"ම්හ්?"

සමන්තා මේ කතා කරන දේවල් අවන්තිට දරාගන්න අමාරු ඇති බව - මේ මගුල් දවසේ කිසිම පෙර දැනුම්දීමක් නැතුව මනමාලයාගේ හිටපු ආදරවන්තිය මනමාලිට කතා කරනකොට ඇති වෙන්න පුළුවන් හැඟීම් දරාගන්න අමාරු ඇති බව - සමන්තාට නොතේරුණා නෙවෙයි. ඒත් එයාටත් නොදැනීම එයාගේ යටි හිත අවන්තිව අපහසුවට පත් කරලා සියුම් සතුටක් ලබනවදෝ කියලා සමන්තාට හිතුණා. ඒක නතර කරගන්න පුළුවන් හොඳම විදිහ මේ කතාව ඉක්මණට ඉවර කරලා ෆෝන් එක තියන එක. ඒත් -

"ඔයා ඇයි එයත් එක්ක සිං කරන්නෙ නැත්තේ? එයා මං සිං කරනවා අහන්නනං හරිම ආසයි." කියන්න හිතකවත් තිබ්බේ නැති වචන පේළියක් කටින් පිටවුනාට පස්සේ සමන්තා අතින් කට වහගත්තා.

සුපුන්ව දැක්කාට පස්සේ බැමි කැඩිලා විසිරිලා ගිහින් තිබ්බ යටි හිත එයාව පාලනය කරන්න හදන බව සමන්තාට තේරුණා. ඉක්මණටම ෆෝන් එක තියන්න ඕන බව සමන්තා තීරණය කළා. ඒත් එයා ඒ ගැන කියන්න කළින් අවන්ති කතා කළා.

"ඔයා සුපුන් ගැන ඔහොම කතා කරන්නේ ඇයි? එයා ඔයාව අමතක කරලා ඉන්නේ." අවන්තිගෙ කටහඬ හැඬුම්බරයි. ඒත් ඒ වචන, කොච්චර ඇත්ත බව දැනන් හිටියා වුණත්, ඒ වචන අවන්තිගේ කටින් ඇහෙද්දි, සුපුන්ව සමන්තාගෙන් හොරකම් කරපු අවන්තිගේ කටින් ඇහෙද්දි සමන්තාට කේන්ති ගියා.

"ඒ ඔයා හිතං ඉන්න හැටි!" ඒක කිව්වේ සමන්තාගේ යටි හිතයි උඩු හිතයි දෙකම එකතු වෙලා. ඇත්තටම සුපුන් සමන්තාව අමතක කරලාද? සමන්තා දන්නෙ නෑ ඒකට උත්තරේ. "ඔයාට මං ගැන සුපුන් කියලා ඇත්තේ බාගෙට!"

ආයෙමත් තත්පර කීපයක නිහැඬියාවක්. 

"සමන්තා, මට ඔයාව හම්බවෙන්න ඕනෙ." 

අවන්ති එකපාරටම කරපු ඒ ඉල්ලීම සමන්තා කොහොමටවත් බලාපොරොත්තු වෙච්ච දෙයක් නෙවෙයි. "ඒක කරන්න බෑ."

"ප්ලීස් සමන්තා, මට ඔයා ඉන්න තැන කියන්න, මං එන්නං."

"බෑ." සමන්තා ඇත්තටම කලබල වුනා. අවන්තිව මුණගැහිලා කතා කළොත් තමන්ගේ කටින් තවත් එයාගෙ හිත රිදෙන දේවල් කියවෙන්න පුළුවන් බව සමන්තාට හිතුණා. "මං ෆෝන් එක තියනවා. සුපුන්ව-"

"අනේ සමන්තා, ප්ලීස්. මට ඔයාව හම්බවෙන්න ඉඩ දෙන්න. සුපුන් මට ඔයා ගැන කිව්වේ බාගෙට තමයි. සමන්තා කියලා කෙනෙක් එක්ක එයා යාළු වෙලා හිටියා කියලා විතරයි මම දන්නේ. මට ඉතුරු ටික ඔයාගෙන්වත් දැනගන්න ඕනේ. අනේ සමන්තා, ප්ලීස්!"

මේ කෙල්ලට පිස්සුද මන්දා, සමන්තාට හිතුණා. මේ අද එයාගෙ වෙඩින් එක දවසේ මේ මොනවද කරන්න හදන්නේ.

ඒත්, සුපුන්ගෙ ආදරේ කියන්නේ කෙල්ලෙක්ව පිස්සු වට්ටන්න පුළුවන් දෙයක් කියලා සමන්තා දන්නවා. එයා කතා කරපු දේවල් නිසාත් අවන්ති තව අවුල් වෙන්න ඇති. ඒවා විසඳගන්න සමන්තා උදව් කළේ නැත්තන් අවන්තිගේ හිතට සැනසීමක් ලැබෙන එකක් නැති වෙයි. අවන්ති දැන් සුපුන්ගෙ වයිෆ්. අවන්ති සතුටින් හිටියෙ නැත්තං සුපුන්ටත් සතුටක් නැති වෙයි.

"ඕකේ දෙන්, පස් වෙනි තට්ටුවෙ ලොබී එකට එන්න. ඇවිත් 07xxxxxxxx නම්බර් එකට කෝල් එකක් දෙන්න." සමන්තා තව මුකුත්ම කියන්නෙ නැතුව ෆෝන් එක තිබ්බා. ඊටපස්සේ රිසෙප්ෂන් ටේබල් එකේ ස්ටාෆ් එකට තෑන්ක්ස් කරලා කෙලින්ම ගියේ පස් වෙනි තට්ටුවට. 

අවන්ති කිව්වා වගේම සමන්තාව හම්බවෙන්න ආවා. අවන්ති ලස්සනයි. මනමාලියෙක් විදිහට ඇඳලා ඉන්න හින්දා තවත් ලස්සනයි. හීන්දෑරියි. පුදුමයි, සුපුන් කැමති ටිකක් මහත ගෑණු ළමයින්ට. සමන්තා වගේ. ඒත් ඒ මීට අවුරුදු කීපයකට ඉස්සර. අවන්තිට ඉඳගන්න පුටුවක් පෙන්නපු සමන්තාත් තව පුටුවකින් වාඩි වුනා. "ඉතිං ඇයි මාව හම්බවෙන්න ඕනෙ කිව්වෙ?" සමන්තා කෙළින්ම අවන්ති දිහා බලාගෙන ඇහැව්වා.

"මට කියන්න, ඔයයි සුපුනුයි ගැන." අවන්ති හෙමීට වචන ගලපමින් කිව්වා.

"සුපුන් මොනවද අපි දෙන්නා ගැන කියලා තියෙන්නේ ඔයාට?"

"ඔයා එක්ක යාළු වෙලා හිටපු බව විතරයි."

සමන්තාට එක පාරටම හිතුණේ අවන්තිගේ හිත බිඳිලා යන විදිහේ කතාන්දර ගොඩාක් කියන්න. එයාට සුපුන්ව එපා වෙන විදිහේ කතන්දර හදලා හරි කියන්න. ඒත් සමන්තා තමන්ගේ හිතටම තරවටු කරගත්තා. එහෙම කළොත් සුපුන් වෙනුවෙන් තමන් කරපු කැපකිරීමේ තේරුම මොකද්ද.

සමන්තා බොහොම පරිස්සමෙන් කතා කළා. එයයි සුපුනුයි අඳුරගත්ත හැටි ඉඳන්, සුපුන්ගේ ගෙදරින් ආපු බලපෑම් මත දෙන්නා අතර ඇති වෙච්ච දුරස් බව ගැනත්, අන්තිමේදී වෙන් වෙච්ච මොහොත වෙනකල්ම සමන්තා කිව්වා. එයා කිසිම බොරුවක් කිව්වෙ නෑ. ඒත් එක දෙයක් - එකම එක දෙයක් එයා වසන් කළා. ඒ ගැන කියනවාද නැද්ද කියන එක තීරණය කරන්න එයා අන්තිම මොහොත වෙනකල්ම කල් දැම්මා.

ඒ දේ ඇර, අනිත් හැමදේම කියලා ඉවර වුනාට පස්සේ සමන්තා අවන්තිගේ මූණ දිහා ටිකක් වෙලා බලං හිටියා. ඒ මූණේ තිබුණේ සැනසිල්ලක්. ඒ සැනසිල්ල නැති කරන්න ඕන නෑ කියලා අන්තිමේදී සමන්තා තීරණය කළා. "ඔන්න මං ඔයාට ඔක්කොම කිව්වා, දැන් සතුටුද?" සමන්තා ඇහැව්වේ නිවිච්ච හඬින්.

අවන්ති යාන්තමට හිනාවුනා. ඒත් ඒ අවංක හිනාවක් බව සමන්තාට තේරුණා. "ඔයා ආයෙ මැරි කළේ නැද්ද?"

අවන්තිගේ ප්‍රශ්නෙට සමන්තාගේ ඇස් දෙක බිමට බර වුනා. එයා නෑ කියන්න ඔළුව දෙපැත්තට වැනුවා.

"තනියම ඉන්න එපා, ඔයත් මැරි කරන්න. හොඳ කෙනෙක් හම්බවෙයි ඉක්මණටම."

සමන්තා හිනා වෙලා පුටුවෙන් නැගිට්ටා. "ඔයාට උත්තර දැනගන්න ඕන ප්‍රශ්න වලට මං උත්තර දුන්නනේ. දැන් ඔයා යන්න. වෙඩින් එකේ මනමාලි නැතුව හරි කලබලයක් වෙයි නැත්තං."

අවන්ති පුටුවෙන් නැගිටලා ඇවිත් සමන්තාගේ අත් දෙක අල්ලගත්තා. "තැන්ක් යූ වෙරි මච් සමන්තා. ඔයා ගොඩාක් හොඳ කෙනෙක්. ඔයාට වරදින්නෙ නෑ." 

අවන්ති ඒක කිව්වේ හදවතින්ම බව සමන්තාට තේරුණා. ඒත් ඒක එයාගෙ හිතට ගෙනාවේ උදාසීන හැඟීමක් විතරයි.

"සුපුන්ව පරිස්සමෙන් බලාගන්න." ඒ වචන ටික කටින් පිට කරද්දි තමන්ගේ ඇස් දෙකේ කඳුළු පිරෙන බව සමන්තාට දැනුණා. "මේ දේවල් මං ඔයාට කිව්ව බව එයාට කියන්න එපා."

අවන්ති ඔළුව වැනුවා. "මං එහෙනං යන්නං. තැන්ක් යූ සෝ මච් අගේන් සමන්තා." 

"අම්මා!!!" 


ආපහු යන්න ලෑස්ති වෙච්ච අවන්ති එහෙමම නතර වුනේ එවේලේ එතනට දුවගෙන ආපු කෙවින් නිසා. කෙවින්ට තාම අවුරුදු හතරයි. උදේ ඉඳං සමන්තාගෙ අම්මත් එක්ක ෂොපින් ගිහිල්ලා දැන් තමයි ආපහු ඇවිත් තියෙන්නේ. කෙවින්ව වඩාගෙන හාදුවක් දීපු සමන්තා ආපහු හැරුණේ අවන්තිට එයාව අඳුන්නලා දෙන්න.

ඒත් අවන්ති ඒ වෙද්දි යන්න ගිහින්.


2 comments:

  1. සුපුන් සඳක් අහසෙ පායල
    වලාකුලක් ඒවි දිලිසිලා
    සුපෙම් හැඟුම් කරයි කල්පන
    සුදාගෙ සුදු මුහුනෙ මල් සිනා

    ReplyDelete
    Replies
    1. @තෙලිදිය:

      ගොඩාක් ස්තූතියි මේ පැත්තට ඇවිත් කමෙන්ට් එකක් දාලා ගියාට. ඔයාට උත්තර දෙන්න මෙච්චර කල් ගියාට සමාවෙන්න. මොකක් හරි නිසා මට මේ කමෙන්ට් එක මග ඇරිලා. අහම්බෙන් පෝස්ට් එකට ආවමයි දැක්කේ.

      Delete