Saturday, 25 April 2015

සරණ බන්ධන..........3 - අකුණු

අරවින්දව එක්ක එන්න කියලා දසුනියි නිපුනියි රූම් එකෙන් ගියාට පස්සේ ඇඳ උඩ ඉඳගත්ත සුපුන්ට දන්නෙම නැතුව හීල්ලුනා. මේ මොකද්ද සිද්ද වෙලා තියෙන්නේ. අවන්තියි සුපුනුයි පෝරුව උඩදි මුදු මාරු කලේ මේ එදා උදේ නේද? ඒ වෙලාවෙදි අවන්තිගෙ මූණේ තිබ්බ බලාපොරොත්තු වලින් පිරිච්ච අහිංසක හිනාව සුපුන්ට තාමත් මතකයි. ඒ හිනාවට තමයි සුපුන් වැඩියෙන්ම ආදරේ කළේ. ඒ දෙන්නා අඳුරගත්තෙ විවාහ යෝජනාවකින් වුනත් එදා ඉඳන් අද දවාලේ රෙජිස්ට්‍රාර් ඉස්සරහා පොතේ අත්සන් කරලා නීතියෙන් විවාහ වෙනකල් ගෙවිච්ච අවුරුදු එකහමාරක කාලය පුරාම සිද්ද වුනේ ඒ ඇඳුනුම්කම හිතවත්කමකටත් එතනින් ආදරේකටත් පෙරලෙන්න හේතු වෙච්ච දේවල් විතරමයි. සුපුන් අවන්තිට ආදරේ කළා. ඇත්තටම ආදරේ කළා. එයාගෙ අහිංසක කමට, හැදිච්ච කමට ආදරේ කළා. අවන්ති සුපුන්ගේ පළවෙනි ආදරේ නොවුනත්. 

සමන්තා.



සුපුන්ගේ හිතේ ඉඳ හිට තාමත් මතු වෙන අකුණු සැරයක් ඇතිවෙලා නැතිවෙලා ගියා.

අවන්තිව අඳුරගෙන ආදරේ කරන්න පටන්ගත්තට පස්සේ සුපුන් සමන්තාගේ මතකයට උඩට එන්න වැඩිය ඉඩක් දුන්නෙ නෑ. ඒත් එයාටත් හොරෙන් මේ වගේ අකුණු ඉඳහිට මතුවෙන එකනම් එයාට නවත්තගන්න බැරි වුනා. ඒත් මේ වෙලාවෙදි කොහොමටවත් සමන්තා ගැන හිතන්න සුපුන්ට ඕන වුනේ නෑ. සුපුන් දැන් හිතන්න ඕන අවන්ති ගැන. 

වොෂ් රූම් එකට යන්න දසුනි එක්ක රූම් එකට යනවයි කියලා අවන්ති හෝල් එකෙන් යන වෙලාවේ සුපුන් හිටියේ කාලෙකින් හම්බ වෙච්ච ගජ යාළුවෝ ටිකක් වට කරගෙන. ඒ නිසා අවන්ති ඇත්තටම දසුනි එක්ක ගියාද කියලා සුපුන් ඒ වෙලාවෙදි දැක්කෙ නෑ. කොහොමහරි අවන්ති හෝල් එකෙන් එළියට ගිහින් තියෙන්නේ දසුනි එක්ක නෙවෙයි කියලා සුපුන් දැනගත්තේ විනාඩි දහයකට විතර පස්සේ. දසුනිලාත් සුපුන්ලාගේ ගොයින්-අවේ කාර් එකේ ඩෙකරේෂන්ස් බලන්න එළියට ගිහින් එවෙලෙ තමයි ආපහු හෝල් එකට ඇවිත් තියෙන්නේ. තුන්දෙනාත් එක්කම ඉක්මණටම රූම් එකට ගියේ දසුනිව හොයාගන්න බැරුව අවන්ති තනියම රූම් එකට යන්න ඇති කියලා හිතාගෙනයි.

ඒත් රූම් එකේ කවුරුවත්ම හිටියෙ නෑ.

සුපුන්ට ආයෙමත් හීල්ලුනා. අවන්තිට මොනවා වෙන්න ඇතිද? තනියම ඇවිත් පාර වැරදුණාද? නැත්තං කරදරයක් වුනාද? නැත්තං - නැත්තං - වෙන්න පුළුවන් ඊලඟ දේ ගැන හිතාන්න ඕන කමක් සුපුන්ට තිබ්බෙ නෑ. ඊටත් එහෙම දෙයක් කරනවනං අවන්ති මුදු මාරු කරලා පොතේ ලියලා කසාද බඳිනකල්ම ඉන්න ඕනෙ නෑනේ. කොහොමත් අවන්ති එහෙම කරන්නෙ නෑ - සුපුන් තදින්ම ඒ ගැන විශ්වාස කළා. හිත සනසගන්න සුපුන්ට උදව්වට හිටියේ ඒ විශ්වාසය විතරයි. මේ ගැන වැඩිහිටියෙක් එක්ක කතා කරලා උපදෙසක් ගන්න තරම් සුපුන්ට හිතට හයියක් තිබ්බෙ නෑ. මේ ගැන කතා කරන්න හොඳම කෙනා විදිහට සුපුන්ට කල්පනා වුනේ අරවින්දව. පුංචි කාලේ ඉඳං දුකට සැපට එකටම හිටිය යාළුවා. ඒකයි අරවින්දව එක්ක එන්න කියලා සුපුන් දසුනිලාව යැව්වේ. නිළමේ ඇඳුම ඇඳන් ඉන්න හින්දා අරවින්ද ගාව ෆෝන් එකක් නැති බව සුපුන් දන්නවා.

ඒත් අවන්තිගෙ ෆෝන් එක මේ වෙලාවේ අවන්ති ලඟ තියෙන්නෙ කියලා සුපුන් දන්නවා. එයා හෝල් එකෙන් යන්න කළින් එයාගෙ තාත්තා ලඟට ගිහින් තාත්තගෙ සාක්කුවේ තිබ්බ එයාගේ ෆෝන් එක ඉල්ලගන්නවා සුපුන් දැක්කා. එයා තවත් වතාවක් - තිස් වෙනි වතාවද, හතළිස් වෙනි වතාවද? දන්නෙ නෑ, කොහොමටත් තිහට අඩු වෙන්න බෑ - අවන්තිගෙ නම්බර් එක ඩයල් කළා. 'ඔබ ඇමතූ දුරකතනයෙන්-' සුපුන් කෝල් එක කට් කරලා ෆෝන් එක ඇඳ උඩට දමලා ගැහැව්වා. සමහරවිට බැට්‍රි බැහැලා ඇති, සුපුන් හිතුවා. සුපුන් හොඳම දේ ගැන බලාපොරොත්තු තියාගෙන නරකම දේට සූදානම් වෙන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඒක එයා ඉගෙනගත්තෙ...

සමන්තා.

ආයෙමත් අකුණක්.

ඒ ගමනනං අකුණෙන් පස්සේ ගොරවන සද්දෙකුත් ඇහුනා. සුපුන් ගැස්සුනා. කාමරේ ඇතුළට කඩාගෙන ආවේ අරවින්ද. දසුනිත් ඒ පස්සෙන් ආවා. "මොකද මචං කේස් එක?"

සුපුන්ට එකපාරටම මතක් වුනේ ඉස්කෝලේ එක වසරෙ පන්තිය. 'ඇයි මොකද වෙලා තියෙන්නේ' කියලා අහගෙන එදත් ආවේ මේ අරවින්දමයි. "අවන්ති නෑ බං."

"ඇයි කොහෙ ගිහිල්ලද?"

"දන්නෙ නෑ. ෆෝන් එක වැඩ කරන්නෙත් නෑ."

"උඹට මොනා කියලද ආවේ?"

"වොෂ් රූම් යන්න ඕනෙ කියලා දසුනිත් එක්ක උඩට එනවා කිව්වා. ගොයින් අවේ එකට චේන්ජ් කරන්නත් වෙලාව ලඟ නිසා එහෙමම මෙතන ඉන්නවා කිව්වා. ඒත් පස්සෙ මං දසුනිව දැකලා අහද්දි එයා අවන්තිව දැකලත් නෑ. පස්සෙ අපි මෙහෙට ඇවිත් බැලුවා. අවන්ති මෙහෙත් නෑ." සුපුන් කිව්වේ දසුනි දිහාත් බලලා. දසුනිත් ඔළුව වැනුවා.

"මාර වැඩක්නෙ මේක!" අරවින්ද කණ්ණාඩි මේසේ ලඟ තිබ්බ ස්ටූල් එක ඇදලා අරං වාඩි වුනා. "උඹලා දෙන්නා රණ්ඩු උනාද?"

"පිස්සුද බං! මේ මගුල් දවසෙ?"

"මීට කළිං හරි?"

"නෑ." සුපුන් කිව්වෙ හෙමීට, කල්පනා කර කර, ඔළුවත් දෙපැත්තට වන වන. ඇත්තටම සුපුනුයි අවන්තියි අතර කවදාවත් ලොකු රණ්ඩු තිබිලා නෑ, ඉඳහිට ඇතිවෙච්ච නොහොඳ නෝක්කාඩු මිසක. ඒවත් පැයෙන් දෙකෙන් දවසෙන් දෙකෙන් ඉවරයි. ඉස්සර සමන්තා එක්කනම් එහෙම නෑ.

ආයෙමත්.

අවුරුදු හතරකට එහා මතකයකින් - අමතක කරලා දාන්න හදන ඒත් තවමත් අමතක කරගන්න බැරි වෙච්ච මතකයකින් - දැනෙන මේ අකුණු පාර බොහොම සැරයි.

අවන්ති දවස් ගාණක්ම කතා නොකර හිටියේ සුපුන් ඒ අකුණේ අයිතිකාරි ගැන කියන්න ගිහිල්ලා. ඒ අවන්තිව අඳුරගෙන මාස තුනකින් විතර. ඒ සුපුන් අවන්තිට කළින් වෙන කෙනෙකුට ආදරේ කළ නිසා නෙවෙයි. සුපුන් සමන්තා ගැන මුළු කතාවම කියනවා කියලා පටන්ගත්තත් වාක්‍ය හතරකට පහකට වඩා එයාට ඒ ගැන කියාගන්න බැරි වෙච්ච හින්දයි. සුපුන් එදා ගොළු වුනා. ඒ මතකය ඊට කළින් කවදාවත් වචනෙට පෙරලන්න උත්සාහයක් දරලා නැති සුපුන්ට ඒක කොච්චර අමාරු දෙයක්ද කියලා එදා තේරුණා. එයා එතනින් එහාට එක වචනයක්වත් සමන්තා ගැන කතා කරන්න කැමති වුනේ නෑ. අවන්ති කරදර කර කර ඇහැව්වෙත් නෑ. ඒත් එදයින් පස්සේ දවස් කීපයක් යනකල් ෆෝන් එක ආන්ස කළෙත් නෑ, මෙසේජ් වලට රිප්ලයි කළෙත් නෑ. දවස් තුන හතරක් බලා ඉඳලා සුපුන් අවන්තිගේ ගෙදර ගියා. එදා එයා අවන්තිට කිව්වා සමන්තා එයාගේ මුල්ම ආදරේ වුනත් දැන් ඒක මතකයක් විතරයි, ආයෙ සමන්තා ගැන කතා කරන්නෙවත් නෑ කියලා. එයා දැන් ඇත්තටම ආදරේ කරන්නේ අවන්තිටයි කියලා. විවාහ යෝජනාවකින් සම්මත වෙච්ච ඇඳුනුම්කම ඇත්තම ආදරේකට පෙරලුනේ එදායි, එහෙමත් නැත්තම් ඒ ගැන මුළින්ම එළිපිටම කතා කළේ එදායි. 

සුපුන් අවන්තිට ඇත්තටම ආදරෙයි.

"මචං සුපුන්," අරවින්ද එකපාරටම කතා කළා. "මට දැන් මතක් වුනේ. අර උඹ සින්දු කියපු වෙලාවේ අවන්තිට කෝල් එකක් ආවනේ."

ඇත්ත නේන්නං! සුපුන්ටත් මතක් වුනා. සුපුන් කියන්නේ යාළු මිත්‍රයෝ අතර නම් දරාපු ගායකයෙක්. වෙන යාළුවන්ගෙ නෑදෑයන්ගෙ මගුල් ගෙවල් වලදි ඕන තරම් සින්දු කියලා තිබ්බත් තමන්ගෙ මගුල් ගේ දවසේ සින්දු කියන්න නිකම් මහ මොකද්දෝ වගේ දැනුනේ සුපුන්ට. ඒත් බේරෙන්නම බැරි වුනා යාළුවන්ගෙන්. මේ ඉන්න අරවින්දයා තමයි සුපුන්ව බලෙන්ම ඇදගෙන යන්න හැදුවේ ස්ටේජ් එක ලඟට. අන්තිමට අවන්තිත් සුපුන්ගේ සින්දුවක් අහන්න ආසයි කිව්වහම තමයි අන්තිමට සුපුන් නැගිටලා ගියේ. සින්දු තුන හතරක්ම කියලා ඉවර වෙනකල් සුපුන්ට බහින්න හම්බවුනේ නෑ. ඒ අතරෙදී අවන්ති කා එක්කදෝ ෆෝන් එකකින් කතා කරනවා සුපුනුත් දැක්කා. එන්න බැරි වෙච්ච යාළුවෙක් විෂ් කරන්න කතා කරන්න ඇති, සුපුන්ට එවෙලේනම් හිතුණේ එහෙම.

ඒත් දැන්...

කවුද ඒ කෝල් කරන්න ඇත්තේ? දසුනි එක්ක රූම් එකට යනවා කියලා අවන්ති සුපුන්ට ඇත්තමද කියන්න ඇත්තේ? අවන්තිගේ මූණ අමුතු වෙලා තිබ්බේ ඒ කෝල් එක නිසාද? සුපුන් කළින් හිතුවේ මහන්සියට වෙන්න ඇති කියලා. 

"අනික අවන්තිගෙ ෆෝන් එකටත් නෙවෙයි කෝල් එක ඇවිත් තිබුණේ," අරවින්ද ඇවිලෙන ගින්නට පිදුරු දැම්මා. "මං දැක්කා කෝල් එක ඉවර වෙලා ස්ටුවර්ඩ් කෙනෙක් අතට ෆෝන් එක දෙනවා. එයාගෙ ෆෝන් එක තිබ්බේ අංකල් ගාවනේ?" 

"ඔව්," සුපුන් ඔළුව වැනුවේ බොහොම හෙමීට. "රූම් එකට එනවා කියලා එතනින් එන්න කළින් තමයි තාත්තා ලඟට ගිහින් ෆෝන් එක ඉල්ලගත්තේ."

ඊලඟට ටිකක් වෙලා යනකල් කවුරුවත්ම කතා කළේ නෑ. ටිකකින් හීන් හඬින් කතා කරනවා ඇහුනේ දසුනි, "සුපුන් අයියේ, මම පහළට යන්නද?"

සුපුන්ට කළින් ඒ පැත්ත බැලුවේ අරවින්ද. "ඔයා කොහොමද තනියම පල්ලෙහාට යන්නේ? අතරමං වෙයි."

"නෑ මට පුළුවන්." 

දසුනි ඉන්නේ අඬන්න ඔන්න මෙන්න කියලා සුපුන්ට තේරුණා. සුපුනුයි අරවින්දයි දෙන්නත් එක්ක අවන්තිව වැරදිකාරි කරන්න ලෑස්ති වෙනවද කියලා දසුනිට හිතෙන්න ඇති, සුපුන් හිතුවා. අනික මේ පිට කොල්ලෝ දෙන්නෙක් එක්ක තනියම ඉන්න බයත් ඇති පොඩි කෙල්ලට. සුපුන් අරවින්ද දිහාවට හැරුණේ දසුනිව ආපහු පල්ලෙහාට ඇරලලා එන්න කියන්න. ඒත්-

රූම් එකේ දොරේ හැන්ඩ්ල් එක කරකැවෙන සද්දෙ ඇහිලා තුන්දෙනාම එකපාරට ඒ පැත්තට හැරුණා. හෙමින්සැරේ දොර ඇරගෙන කාමරේට ඇතුල් වුනේ-

අවන්ති!



No comments:

Post a Comment