Tuesday 27 November 2012

සිත්තමක ලියැවුණු කවිය... 01


"එහෙනං මුතූ මං මෙතනිං හැරෙනවා," සඳමාලිලාගෙ ගෙවල් පැත්තට වැටිච්ච දෙවැට ලඟටත් අපි ඇවිල්ලා කියලා මං දැක්කෙ සඳා එහෙම කිව්වාම. එතකල්ම අපි දෙන්නා එදා හැන්දෑවෙ දහම් පාසලේ උත්සවේ ගැනයි, ඒකට අපි සති ගාණක් තිස්සෙ ලෑස්ති වෙච්ච හැටි ගැනයි තව රටේම තියෙන ඕපදූපයි කියව කියව ආවේ.

"හරි සඳා, එහෙනං ආයෙ හවසට හම්බවෙමුකො. මං අම්මත් එක්ක එනවා."

සඳමාලි දෙවැටෙන් හැරිලා ගියාට පස්සෙ මං ඉතිරි ටික ගුරුපාර දිගේ තනියම එන්න ගත්තා. ප්‍රධාන සාලාවෙ සැරසිලි වැඩ ඉවර වෙලා අපෙ අක්කයි විජේ අයියයි භක්ති ගීත කණ්ඩායම පුරුදු කරන හැටිත් ටිකක් වෙලා බලං ඉඳලා අපි ආපහු ගෙදර එන්න පිටත් වුනේ ඉර මුදුන් ජාමෙ. පාරෙ කවුරුවත් පේන්නත් නෑ. මං අඩිය තව ටිකක් ඉක්මන් කළේ ගෙදර ගියහම අම්මගෙන් අහගන්න වෙන බැණුං කන්දරාවත් මතක් කරගෙන.

අක්කයි විජේ අයියයි හැන්දෑ වෙනකල්ම පන්සලේම ඉඳීවි. ඒ දෙන්නගෙ මංගල්ලෙ තිවුනෙ ගිය පොසොන් මාසෙ. ගමේ කොවුලයි කෙවිලියි කියලා තමයි ගමේ උදවිය ඒ දෙන්නට කියන්නේ. කොහොමදෝ මන්දා දෙන්නටම හරි අපූරුවට ගයන්ට වයන්ට පුළුවනි. විජේ අයියා ඉස්කෝලේ මහත්තැන් කෙනෙක්. අල්ලපු ගමේ ඉස්කෝලේ තමයි උගන්නන්නේ. ඒ දෙන්නගේ පයිරුපාසානම මුළිංම දැනගත්තෙත් මං තමා. වතාවක් විජේ අයියගේ මොකද්දෝ කොළොප්පමකට තරහා වෙලා අපෙ අක්කා උන්දැත් එක්කලා හොඳටෝම තරහා වෙලා. බැරිම තැන අන්තිමේදී විජේ අයියා මයෙ අතේ අක්කට කවි යවලායි ආයෙ යාළු කරගත්තෙ. ඔය සිද්දියෙන් තමයි මං දෙන්නගෙ ඇයි හොඳයිය දැනගත්තෙ. එදා ඉඳං ඉතිං මට රජ සැප. ටොපිද, ලොසිංජරද, විස්කෝතුද මං ඉල්ලන පරක්කුව විතරයි. ඒ ඔක්කොම නතර වුනේ ඒ දෙන්නා ගැන දැනගන්ඩත් කළියෙංම විජේ අයියලාගෙ අම්මා ඇවිදිං ඒ දෙන්නව ජෝඩු කරන්ඩ අපෙ අම්මත් එක්කලා කතා කරපු දවසේ ඉඳං. ආයෙ ඉතිං කාට බයේ මට කප්පං දෙන්ඩද. එදා අක්කගෙ මගුල් දා මං අක්කව බදාගෙන අක්කටත් වැඩියෙ හයියෙං අඬද්දි විජේ අයියා ලඟට ඇවිදිං, "මේ, මං උඹෙ අක්කව කැන්දං යන්නෙ ආයෙ අඟහරු ලෝකෙට නෙවෙයි, අල්ලපු ගෙදරට - අල්ලපු ගෙදරට," කියලා කියද්දි අපි දෙන්නම ඇඬිල්ල අස්සෙන් හිනා වෙච්ච හැටි මට තාම මතකයි.

දන්නෙම නැතුව මයෙ කටට හිනාවක් ඇවිල්ලා. මට තියෙන සනීප කරගන්ඩම බැරි ලෙඩ වලින් එකක් තමා ඔය තනියම හිනා වෙන එක. මහ දවාලෙ තනියම හිනා වෙවී පාර දිගේ යනවා කවුරුවත් දැක්කනං තමා වැඩේ. මං ඩිංගක් ඔළුව උස්සලා වටපිට බැලුවා. ඔය ඉහත්තාවෙන් ගුරුපාරට සේන්දු වෙලා කවුදෝ මං ඉන්න දිහාවට ඇවිදං එනවා. විනාසයි! හොඳ වෙලාවට දන්න කියන කෙනෙක් නෙවෙයි. බරට බරේ මල්ලකුත් කරේ එල්ලගෙන - පිට ගමකිං වගේ.

දන්න අඳුනන ඈයොත් එක්ක කතා කරන්ඩ ගත්තහම මට වෙලාවකට කට වහගන්ඩ බැරි උනාට අඳුනන්නෙ නැති උදවිය එක්කලා මං එහෙම කතාවට යන්නෙ නෑ. ඒ හන්දා මයෙ පාඩුවේ බිම බලාගෙන එන්න හිතාගෙන මං අඩිය ඉක්මන් කළා. අමුත්තගේ කකුල් දෙක ලඟ ලඟම එනවා මට ඇස් කොණෙං පෙනුනා. "මේ..... නගා..." හරියට මං ලඟදිම නතර වෙලා එයා කතා කළා. නතර වෙනවද නැද්ද කියලා හිත හිත තව අඩි දෙකක් විතර ගිහිල්ලා නතර වෙච්ච මං ආපහු හැරුණා. ඒ මූණුවර මං හරියටම දැක්කෙ එතකොටයි. මයෙ පපුව එක තත්පර කාලකට විතර නතර උනා වගේ දැනුණා. ඊට පස්සෙ කවදාවත් ගැහිච්ච නැති තරමේ වේගෙකින් ගැහෙන්න ගත්තා. ඒ තරං හැඩකාරයෙක් මේ මුළු ගමේම නෑ කියලා මට දිවුරලා කීව හැකි. "පන්සලට යන්නෙ මේ පාරෙන්ද?" 

මයෙ කල්පනාව බිඳුනා. "ඔව්, ඔහොම ගිහිං වමට හැරිලා යන්ඩ - අර කන්ද උඩහට තියෙන පාරෙ," පන්සල දිහාට අත දික් කරලා පෙන්නලා එහෙම කියපු මං තවත් මොහොතක්වත් එතන නො ඉඳ එන්ඩ හැරුණා. 

"මොකද ඔය හැටි කලබලේ?" ඒ කටහඬේ හැටියට මූණෙ පිරිලා තිබ්බ හිනාව මට හිතාගත්ත හැකි. මට කේන්තියෙ බෑ. පාර අහගත්තනං යන ගමන යන් නැතුව තවත් දොඩවනවා. ඇහුන් නෑ වාගෙ යනවයි කියලා හිතාගත්තත් පිටගං කාරයන්ට මොකට දෙවෙනි වෙනවද කියලා හිතාගෙන මං ආපහු හැරිලා ඔරෝලා බැලුවා.

"පාර කිව්වට පිං ඈ." ඒ මූණෙ හිනාව දෙගොඩ තලාගෙන යනවා. මං එතනිං එන්ඩ ආවෙ දත් මිටි කකා. ඉඳහල්ලකො, මං අපෙ අප්පච්චිටයි විජේ අයියටයි කියලා හොඳ වැඩක් කරනවා... හුහ්! පිට ගං වලිං ඇවිල්ලා අපිට කොළොප්පං කරන්ඩ... එව්වා හරි යන් නෑ අපේ ගමේදි......  

මං ගුරු පාරෙන් මහ පාරට ගොඩ උනා. ඔය ඉහත්තාව දිගට වැවිලා තිබ්බ කුඹුක් ගස් වලින් පාරත් හෙවණ වෙලා. ගිනි මද්දහනේ ඇවිදිං ඒ හෙවණ යටට ආවහම පුදුම සනීපයක් දැනුණේ. එතනිං වමට හැරිලා ඔය ඉහත්තාව දිගේ තව බඹ පණහක් විතර ගියහම දකුණට හැරෙන පාරෙන් තමයි අපෙ ගෙදරට යන්නේ. ඒත් ඊට තව බඹ දෙකක් විතර එහා තියෙන ඇහැළ ගහ ලඟට නොගිහිං මට අපේ පාරට හැරෙන්ඩ හිත් දෙන්නෙම නෑ. කොහේ ගියත් මං ඇහැළ ගහ ලඟින් ඩිංගක් ඔයට බැහැලා මූණ හෙම ඩිංගක් තෙමාගෙන තමයි යන්නේ. වතුරට වැටිච්ච ඇහැළ මල් කැරකි කැරකි පාවෙලා යන හැටි කොච්චර බලා හිටියත් මට ඇති නොවෙන්නෙ මොකද මන්දා. ඉතිං එතනත් මිනිත්තු දෙක තුනක් හෙම ගත කරලා මං ගෙදර එන්ඩ ආවා.


ආයෙම හැන්දෑවෙ අපෙ අම්මයි විජේ අයියලගෙ අම්මයි එක්කලා පන්සලට යද්දි පහමාරට විතර ඇති. සඳාලා එතකොටත් ඇවිල්ලා. අම්මලාට සාලාවෙන් වාඩි වෙන්න ඇරලා මායි සඳායි වේදිකාව පිටිපස්සට ගියෙ ඒ පැත්තෙ තව මොනවද කෙරෙන්න තියෙන්නෙ බලන්න.

"මේ, ඔයා දැක්කද සැරසිලි වලට වෙලා තියෙන දේ?" ඒ යන අතරෙ සඳා මගෙන් ඇහුවා.

"නෑ? ඇයි මොකෝ වෙලා තියෙන්නෙ?" මං ඩිංගක් කලබල උනා. ඔක්කොම හරියට හදලනෙ ගියෙ දවල්.

"නෑ නෑ, බය වෙන්න මුකුත් වෙලා නෑ. අපි හදලා ගියාටත් වඩා ලස්සනට හදලා දැං."

"ඒ කවුද?"

"දන් නෑ."

"කමක් නෑ, ලස්සනට තියෙනවනං එච්චරයි."

අපි දෙන්නව දැක්ක හැටියෙම අපෙ අක්කා කතා කළා. "හොඳ වෙලාවට ඔය දෙන්නා මේ පැත්තට ආවෙ. නගේ හත වසරෙයි, අට වසරෙයි සහතික ටික මෙතන නෑ. පොඩි හාමුදුරුවන්ගෙන් පොඩ්ඩක් අහලා බලන්න ගිහිං."

"ඇයි අපි ඒ ඔක්කොම ලිව්වනෙ." 

"ඔව්, කාර්යාල කාමරේ යතුර ඉල්ලගෙන පොඩ්ඩක් බලන්න. එහෙ ඇති."

මායි සඳායි ආවාස ගෙයි පැත්තට යන්න ගියේ පොඩි හාමුදුරුවෝ හොයාගෙන. ලොකු හාමුදුරුවො එක්ක මේ වෙලාවෙ කතා කරන්ඩ බෑ. ඒත් අතරමගදි බීම හද හද හිටපු කට්ටිය සඳාව නතර කරගත්තා උදව්වට. මං ආවාසෙ ලඟට ගියේ චූටි මල්ලියෙක් එක්ක.

"පොඩි හාමුදුරුවනේ! පොඩි හාමුදුරුවනේ!" දෙන්නත් එක්කම කතා කළා, සද්දයක් නෑ. 

"මුතූ අක්කේ, ආං ඉන්නව පොඩි හාමුදුරුවො බුදු ගේ ලඟ." මල්ලි පෙන්නුවා. අපි ගියා එතනට. 

"උත්සවේ පටංගත්තැයි?" අපිව දැක්ක පොඩි හාමුදුරුවෝ බුදු ගෙයි දොරකඩ ලඟ ඉඳං ඇහුවා.

"තව නෑ පොඩි හාම්දුරුවනේ. අපි මේ ආවෙ - " මයෙ කතාව හිටි හැටියෙම නතර උනේ පොඩි හාමුදුරුවන්ට පිටිපස්සෙන් බුදු ගේ ඇතුළෙන් මතු වෙච්ච මූණ දැකලා. 

"පොඩි හාමුදුරුවනෙ, මෙන්න මේ ළමයා තමයි මට පාර වැරැද්දුවෙ." මයෙ කතාව නතර වෙච්ච ගමං ඒ මූණෙ අයිතිකාරයා කතා කළා.

හෑ?! පාර වැරැද්දුවා?! මයෙ කටත් ඇරුණා. "ඇයි බොලේ, මං හරි පාරනෙ කිව්වෙ!"

"කන්ද උඩහට පාරෙ වමට ගිහිල්ලා මං ගියෙ කනත්තට."

"කවුද ඉතිං කන්ද උඩහට ගිහිං වමට හැරෙන්ඩ කිව්වෙ? මං කිව්වෙ වමට හැරිලා කන්ද උඩහට පාරෙ යන්ඩ කියලා." දවල් ආපු කේන්තිය මට ආයෙත් එනවා. පොඩි හාමුදුරුවො ලඟ හිටියෙ නැත්තං මං ආයෙ පන්සලේ කියලා බලන් නෑ, කියනව උන්දැට කනේ ඇඟිලි ගහගන්ඩ. කෝලං නටන්ඩ ඇවිල්ලා මෙතන පාර වරද්දගෙන ඒකටත් මාව අල්ලනවා!

"හරි හරි, වික්‍රම අයියා කොහොම හරි පන්සල හොයාගත්තනෙ," පොඩි හාමුදුරුවන්ට හිනා. 

මං ආයෙම පොඩි හාමුදුරුවො දිහාවට හැරුනා. "පොඩි හාමුදුරුවනේ, අපි මේ ආවෙ සාලාවට අරං ගිහින් තියෙන සහතික ගොඩේ පන්ති දෙකක ඒවා මග ඇරිලා. අපෙ අක්කා කිව්වා කාර්යාල කාමරේ ආයෙ බලන්න කියලා. යතුර ඉල්ලගන්න ආවෙ."

"හැබෑද. යමු එහෙනං. වික්‍රම අයියෙ, ලොකු හාමුදුරුවො කිව්වෙ බුදු ගෙයි ඔන්න ඔය රූප ටික ආයෙ ඇඳගන්න ඕනෙ කියලා. ආයෙ තව බෝධිය ලඟත් ඇතුල් පියස්සෙ නෙළුම් මල් ටිකක් ඇඳගන්න ඕනෙ කියලා කිව්වා. ඉන්ඩකො, මං මේ යතුර දීලා ආයෙ විගහට එන්නං." පොඩි හාමුදුරුවො ඉස්සර උනා. මල්ලිත් ඒ පස්සෙ ගියා. මාත් පඩියක් බැස්සා. එතකොට මේ ඇවිත් ඉන්නෙ සිත්තරෙක්. ඉස්සෙල්ලා පොඩි හාමුදුරුවො හිටිය හන්දා මයෙ හිතට ආපු කේන්තිය පිටකරගන්ඩ හැටියක් තිබ්බෙ නෑනෙ. ඔරවලා බලන්නවත් හිතාගෙන මං ආපහු හැරුණා. ඔන්න ඒ ගමන ආපහු අර දවල් වගේ මූණ උතුරන්න හිනා වෙනවා. ඒ දිහා බලාගෙන ඔරවත හැකියැ. මං ආපහු හැරිලා මයෙ ගමන යන්න හිතාගෙන අඩිය ඉස්සුවා. එතනම තිබ්බ පලංචි ගහන්න ගෙනැල්ලා තිබ්බ උණ බම්බු ගොඩෙන් එළියට පැනපු බම්බුවක මගෙ කකුල පැටලිලා මාව ඇදගෙන වැටුනා. දනිපනි ගාලා නැගිටගෙන මං ඉස්සරහා බැලුවා. පොඩි හාමුදුරුවොයි මල්ලියි ඈත යනවා. ඒ දෙන්නා දැකලා නෑ මට වෙච්ච දේ. හොඳ වෙලාවට. ඒත් ඉතිං දකින්න හොඳම නැති එක්කෙනානං ඒක දකින්න ඇති. ලඟට එන අඩි සද්දෙ ඇහුනා පිටිපස්සෙන්.

"මොකද උනේ?"

"මුකුත් නෑ," මං අහක බලාගෙනම එන්න ලෑස්ති උනා. 

"නගේ මේ, කකුල තුවාල වෙලා..." ලඟටම ඇවිල්ලා.

මමත් මයෙ කකුල දිහා බැලුවා. දකුණු කකුලේ පොඩි ඇඟිල්ල ලඟින් ලේ එනවා. බම්බුව කෙළවරේ වැදුන පාරට හීරෙන්න ඇති. "කමක් නෑ. මට පරක්කු වෙනවා." මම එයා දිහා නොබලම හෙමීට අඩිය තිය තිය එන්න ආවා. "ඔය තුවාලෙට වැලි යවාගන්න එපා." හහ්, එයා කවුද මට ඒවා කියන්න එන්න! මං ඇහුන් නෑ වගේ දිගටම ආවා. ඊලඟට ආයෙ කතා කරනවා ඇහුණේ මහ සද්දෙන්.

"එක එක්කෙනාට ඔරව ඔරව යන්නෙ නැතුව පාර දිහා බලාගෙන යන්න හොඳද!" 

ආයෙත් ඒ කටහඬට අර හිනාව එකතු වෙලා. මට දත්මිටි කැවෙනවා මදිවට ඇහෙන් කඳුළුත් පනින්න එනවා. හොඳ වෙලාවට ඒ හරියෙ වෙන කවුරුවත් හිටියෙ නෑ ඒ වෙලාවෙ. හැමෝම සාලාවෙ. ඔය කියපු කතාව ගමේ කාටවත් ඇහුණනං එහෙම! මං තුවාලෙ අමතක කරලා අඩිය ඉක්මන් කළා. මේ මනුස්සයා පන්සලේ ඉන්නකල් මමනං ආයෙ පන්සල පළාතෙවත් එන්නෙ නෑ, නෑ, නෑමයි!!!

~ මතු සම්බන්ධයි ~

පින්තූර හම්බුණේ මෙතනින්:  

http://www.shutterstock.com/pic-20322760/stock-photo-trees-by-the-river.html
http://www.wunderground.com/wximage/LalithAtugoda/30

9 comments:

  1. හෙහ්, හෙහ්, මදෑ.........පෝය දවසෙ උදෙම්ම කතාවක් දැම්මයි කිව්වම මම උන්නෙ මේ විසාකාව, යසෝදරාව ගැන එහෙමත් නැත්තං පෙජාපතී ගෝතමී ගැන ලියාපු සර්දාව දෙකංසෙං බේරෙන බන කතාවක් තමයි මේ මහා සිහල බොදු කුලවමිය එකත් එකටම දාන්ට ඇත්තෙ කියල....

    අනෙ දෙයියම්ප..මේ පෝය දවසෙ බොරුවක් මුසාවක් එහෙම නෙවෙයි...සුදෝ සුදු සරමක් සේට්ටෙහෙකිං එහෙමත් හැරහිල දොහොත් මුදුනෙ තියාල මොනිටරේට වැඳ නමස්කාර කොරල එහෙම තමයියොන්න කතාව ඕපන් කලේ...

    මොන විකාරද?......අම්මප මයෙම දිව ඇද කාගෙන මැරෙන්ටයි මට හිතුනෙ...මේ දාල තියෙන්නෙ යස බන කතාවක්.....

    අනෙ අම්මප බොල කෙල්ලෙ...පෝය දවසට වත් පලයංකො පන්සලක් පැත්තෙ මලක් පහනක් පූජ කොරල එහෙම ටිකක් හිත සංසුං කරගන්ට...මේක එහෙමද?...එදාටත් ලියන්නෙ පේම කතා...එදාටත් ලියන්නෙ පේම කතා...හෙහ්, හෙහ්,

    හරි, හරි ඉඳහංකො සුදු කිට්ටෙක ගලෝල ඉන්ට උඹේ පේම කතාව බලන්ට....

    ***********************************************

    අනෙ අම්මප ඇස්සහක් කටවහක් නෑ...බොලේ...අපූරු කතාව....මුතූ කෙල්ල එක්කල ඔන්න මම ඔය හැම තැනම ගියා ඒ පස්සෙම්ම...ඒ තරමට හිතට දැනුන බොල....ඉඳපං එතනිං පස්සෙ මුතුවට වෙන දේ මම ලියඤ්ඤං..හොඳද?

    ReplyDelete
    Replies
    1. අපොයි දෙයියනේ මයෙ කන් දෙකත් රතු උනා මේ කමෙන්ට් එක කියවලා. :D :D :D

      Delete
    2. සිල්සමාදං වෙලා හිටිය හන්ද මං නං ඊයෙ මේ පැත්ත පලාතෙ ආවෙ නෑ ඕං... හප්පච්චියේ... මං බේරිලා තියෙන්නෙ අනූ නවයෙං නෙව පාපකරුමෙකට කරගහන්ඩ ගෙහුං... ආව නං එහෙම මේ බ්රේක් නැති කට හිතෙන හිතෙන එව්ව කියල පවු ඩබල් ට්‍රිබ්ල කරගන්නව....

      Delete
  2. හි හි මේ අපි දන්නා කියන දෙන්නෙක් හෙම මේ කතාවේ රඟ පානවදෝ?...
    (රහසින්: සිසිනැකපෝ ....මේ මම කාටවත් කියන්නේ නැහැ...ඇත්තටම ඔයා සිත්තරා එක්ක සෙට් උනේ පන්සලේ දිද ?)

    ReplyDelete
    Replies
    1. (රහසින්) අයියෝ නෑ අනේ. සෙට් උනාට පස්සෙ මුලින්ම ගියෙනම් ඔන්න පන්සලකට තමා. :D

      (හයියෙන්) මේ, මගේ නම සිසිනැකපෝ නෙවෙයි හරිද. 'සිතුවිලි සිත්තමට නැගෙනා කවි පොත' එහෙමත් නැත්තං 'සිත්තමී'. :P

      Delete
    2. @ Ama,

      මුං දෙන්න සැට් උනේ නං කොහෙද මංද..ඒත් ඔය වගේම මං දන්න තව ඩබලක් ඉන්නව එවුං දෙන්න නං තනිකරම පේම ජාතකේ රඟපෑවෙ පන්සලේ....

      ඔන්න යාන්තං බිං කරුවල වැටෙනකොට වට පිට බල බල හිමීට රිංග ගන්නව දෙන්න බෝදි මලුවට...ඊට පස්සෙනෙව වැඩේ...

      මුලිම්ම කෙල්ල බෝදිය බදාගෙන ඒ වටේ කැරකෙනව..අර මේ හිංදි පිලුං වල වාගෙ...කොල්ල පොල්තෙල් පානකුත් අල්ලෙ තියාන කරකෝ කරකෝ එනව නටාගෙන...

      ඊට පස්සෙ කෙල්ල ගහ අතෑරල බෝදියෙ එල්ලල තියන බවුද්ද කොඩියක් ගලෝල ඇන්න කොල්ලයෙ බෙල්ලට දාල ඇදල ගන්නව තමං ලඟට...කොල්ල එක අතකිං පාන කරකෝන ගමං අනික් අතිං නෙලුම් මලක් අරගෙන කෙල්ලගෙ කනේ ගහනව. කනේ ගහනව කිව්වෙ නැට්ට ගහනව කන ඇතුලෙ...

      පස්සෙදි දෙන්නම සිංදුවක් කිය කිය නටනව...හැබැයි අපරාදෙ කියන්ට බෑ තනිකරම බොදු බැති ගී.....තිලොනා සෑසි මුනි ගවුතම සාමී...ලෝ බලනා සඳෙහී නෙත පා....ඔන්න ඔය වගෙ එව්ව...

      මේ පේම ජාතකේ රඟ පෑමට කන කොකා ඇඬුවෙ ගමේ මිනිස්සු ලොකු හාංදුරුවංට කොම්පෙලේං කොරල එතුමා මුං දෙන්නට පංසල පැත්ත පලාතෙ පස් පෑගිල්ල තහනං කොලායිං පස්සෙං පහු...හෙහ්, හෙහ්,

      මේ ළඟම ඉන්නව... ඕන්නං පෙන්නන්නං කණෙං ...කණෙං...

      Delete
    3. ඇයි අයියෙ කෝ අර වතුර කලේ ඔළුවෙ තියං සින්දු කියන ටික? එතකොට අර දර්ම සාලාවෙ බිත්ති කණු එක්ක ගස් මාරු කරන එක? මූදු වෙරළය කියලා හිතාගෙන වැලි මලුවෙ දෙන්නගෙ නං ලියන්ඩ ගොහිං ඇබිත්ත සීයගෙං ඉදල් පාර කාපු විස්තරේ? ගන්ටාර කුළුණ ලඟ ඉඳං කතා කර කර ඉන්න වෙලාවක කොල්ලා කියපු කතාවකට හිනා වෙන්ඩ ගිහිං අමතක වෙලා ගන්ටාර ලණුවෙ එල්ලිලා ගම දෙවනත් වෙන්න ගන්ටාරෙ වැදිලා ගමම දුවං ආපු හැටි? කෝ අයියා කතාවෙ බාගයයිනෙ කියලා තියෙන්නෙ! තව ඕනනං මං මතක් කරන්ඩද? :P

      අනේ ඇත්තමයි මේ උන්දැගෙ විගඩං කතා වලට උත්තර බඳින්ඩ ගිහිං මේ පෝය දවසෙ අපිත් පවු පුරෝගන්නවා. :(

      Delete
    4. නරකද බොලායෙ මේ ක‍මෙන්ට්ස් ටික එකතුකොල්ලා වෙනමම කතාවක් ලිවුවොත්.?? හිට් වෙලා තියෙයි.. :)

      Delete
    5. බුදු අම්මේ අයියෙ, උඹත් එක්ක මේ බ්ලොග් එක තව කාලයක් ලිව්වොත් අපි කෙල්ලො ටික අඳුනගන්ඩ බැරි ගානට මහත් වෙලා ඉඳියි හරහට...
      සිත්තමී නගේ උඹත් දෙවෙනි නෑ... මයෙ වැරැද්ද... මං මෙව්ව ඔපීසියෙ දිගෑරගන්නව...ඊට පස්සෙ උඹල මේ මවල දීල තියෙන විලම්බබීත මාත් හිතේ මවාගන්නව... කොටිංම කිව්වොත් දැං ඔය රවී අයිය කිව්ව බෝදි මලුවයි, උඹේ ගණ්ටාර කුලුණයි සේරෝම මං හිතේ මවාන උන්දෙන්න රඟපාන හැටිත් මවාගත්ත...මේ අපේ ඔපීසිටෙ මහ සබාව මැද්දෙ මට මෙව්වට හිනා ගියාම උඹල එන එකක්යැ එව්ව හගිස්සන්ඩ... මං යනව...
      බූරයිය කිව්වහෙ මෙව්ව එකතු කරල යස අගේට තව කතාවක් ලිව්වෑකි..

      Delete