Tuesday 20 November 2012

හාදු කුමාරයා ...05




දවසෙන් දවස ගත වෙලා සතියකුත් ගෙවුනා. වීණා දැන් පොතක් දිහා බලන්නෙවත් නෑ. චිත්‍රපටියක්, ටෙලි නාට්‍යයක් බලන්නෙත් නෑ. මූණු පොත වහලා දැම්මේ වැව රවුමෙදී දිව්‍යාව මුණගැහිලා ආපු දවසෙමයි. එදා ඉඳං කම්පියුටරේ පැත්තවත් බැලුවේ නෑ. පොතක් ගත්තොත් අකුරු බොඳ වෙලා කලවම් වෙලා නුරාධගේ නම මැවිලා පේනවා. රූපවාහිනිය දිහා බලං හිටියොත් ඒ චරිත අතරෙන් නුරාධව පේනවා. වීණටම වෙලාවකට හිතුණා එයාට පිස්සු හැදීගෙන එනවද කියලත්. හිත ඇතුලේ කලබලය දරාගන්නම බැරි උනාම වීණා මිදුලට බැස්සා. අම්මා ලස්සනට වවලා තියෙන මල් පාත්ති දිහා වීණා ඔහේ බලාගෙන හිටියා. ආදරයත් විශ්වාසයත් යහමින් දාලා කුළුඳුලේම තමන්ගේ හදවත ඇතුලේ වවපු රෝස මල් පාත්තියට මොකද උනේ, වීණා හිතුවා. එයා වතුර දාන බාල්දිය අරගෙන මල් වලට වතුර වත් කරන්න පටන්ගත්තා. අම්මටත් පුදුමයි. මීට කළින් වීණාගෙන් කියලාවත් කරගන්න බැරි වැඩක්.

"මොකෝ මේ කවදාවත් නැතුව?" අම්මා ආදරෙන් ඇහුවා.

"හරි කම්මැලියි අම්මා."

"ම්.."

අම්මා එතනින් එහාට මුකුත් ඇහුවේ නෑ. කොහොමත් වීණාගෙ අම්මා වැඩිපුර කතා කරන කෙනෙක් නෙවෙයි. ඒත් දෝණිගේ වෙනසනම් අම්මාට හොඳට තේරුණා. ඒ ගැන වීණාම කියනකල් අම්මා මුකුත් නාහා ඉන්න තීරණය කරගෙන හිටියේ.

වීණා හිටියේ වෙනම ලෝකෙක. ඊයේ දවසේ. නුරාධ ආපහු ලංකාවෙන් යන්න කළින් එයාගෙ අම්මයි අප්පච්චියි එක්ක ආවේ වීණාගෙ අම්මටයි අප්පච්චිටයි කතා කරලා යන්න ආවේ. වීණාටත්. ඒත් වීණා නෙවෙයි කාමරෙන් එළියට ආවේ. තවත් එක සැරයක්වත් නුරාධගේ මූණ බලන්න හයියක් එයාට තිබ්බෙ නෑ. නුරාධ මේ ගමන එන්න ඇත්තේ තව පුංචි හරි බලාපොරොත්තුවක් හිතේ තියාගෙන බව වීණා දන්නවා. ඒ නිසාමයි එයාට නුරාධ ඉස්සරහට යන්න හිත හයිය කරගන්න බැරි උනේ. ඒගොල්ලන්ගෙ වාහනේ ගේ ඉස්සරහා නතර වෙච්ච බව දැක්ක වෙලාවේ ඉඳං වීණා කාමරේ දොරත් වහගෙන නිදි වගේ හිටියා. අම්මා ඇවිත් කතා කළත් ඇරියේ නෑ. "දූ නිදි වෙන්න ඇති. උදේ හිටං ඔළුව කැක්කුමයි කිය කිය හිටියේ," අම්මා එහෙම කියාගෙන ආපහු සාලෙට යනවා වීණාට ඇහුණා. වාහනේ ආපහු යන සද්දේ ඇහුණ වෙලාවේ ඒ තරම් වෙලා හිර කරගෙන හිටපු කඳුළු කැට එක පේළියට වීණාගේ ඇස් දෙකෙන් ගලාගෙන එන්න පටන් ගත්තා. 'මට ගිහින් නුරාධ එක්ක කතා කරන්නයි තිබුණේ. පරිස්සමෙන් ගිහින් එන්න කියලා කියන්න බැරි කමක් නෑනේ අපි අතර මොන දේ සිද්ද උනත්.' කතාබහේ ඇහුණ විදිහට නුරාධ පහුවදා රෑ පිටත් වෙනවලු.

"ඔය මොකද ඔය එකම පාත්තියට වතුර දාන්නේ? ඔතන මඩ වෙනවනේ දැං..." අම්මාගේ කතාවෙන් වීණා ආපහු මේ ලෝකෙට ආවා. ඒ කියන්නේ අද රෑ. වීණා බාල්දිය එහෙමම අත ඇරලා ගෙට දිව්වා. මේසේ ලාච්චුවෙන් පරණ පැන්සල් පෙට්ටිය ඇදලා අරං ඒ ඇතුලේ තිබ්බ ලියුම අතට ගත්තා. ලියුමේ තියෙන අකුරු බොඳ වෙලා යන්න කළින් ඒකේ ලියලා තියෙන ටෙලිෆෝන් නොම්බරේ ඩයල් කරලා ඇස් දෙක වහගෙන ෆෝන් එක කනේ තියාගත්තා.

ඔබ ඇමතූ දුරකථන අංකය භාවිතයේ නොමැත...

අනේ දෙයියනේ! වීණා තව සැරයක් උත්සාහා කළා. තවත් සැරයක්. ඒත් කළින් ප්‍රතිචාරයමයි. එයාට ඇඳ උඩ ඉන්දවුනා. එයාට ඕන උනේ ඊයේ කතා කරන්න නාව එකට සමාව ඉල්ලලා නුරාධට පරිස්සමෙන් ගිහින් එන්න කියන්න විතරයි. සචිත් ගාව ඇතිද වැඩ කරන නොම්බරයක්? වීණා සචිත්ගේ නොම්බරේ හෙව්වා. 'එක්කොත් ඕනෙ නෑ. කතා කරන්න බැරි වෙච්ච එකත් හොඳයි. මං දැං තීරණයක් අරංනේ ඉන්නේ.' එදා නුරාධව අන්තිම වතාවට මුණ ගැහෙන්න ගඟ ලඟට යන්න හිත හදාගත්ත අමාරුව දන්නෙ වීණා විතරයි. ඒ ආදරේ ඉස්සරහා තමන්ගේ තීරණය එළි කරන්න දිව නමාගත්ත අමාරුව දන්නෙ වීණා විතරයි. ආපහු ගෙදර ඇවිල්ලා නාන කාමරේට වෙලා අඬපු දරම දන්නෙත් වීණා විතරමයි. නුරාධගේ කටහඬ තව එක වතාවක් හරි ඇහුණොත් ඒ සීමා මායිම් වැටකඩුළු කැඩිලා බිඳිලා නොයයිද කියලා කියන්න පුළුවන් තරමේ විශ්වාසයක් වීණාට තමන් ගැනම තිබ්බෙ නෑ.

හිටි හැටියේ වීණාගේ අතේ තුබුණු දුරකථනය නාද වෙන්න ගත්තා. වීණා තිගැස්සුණා. ඇමතුම සචිත්ගෙන්. වීණා කොළ පාට බොත්තම එබුවා.

"හෙලෝ?"

"හෙලෝ වීණා. මේ ඔයාට ලියුමක් තියෙනවා." සචිත්ගේ කටහඬ වෙනදා තරම් සැහැල්ලු නෑ.

"කාගෙන්ද?"

"ඔයා දන්න කෙනෙක්ගෙන්."

"නුරාධගෙ ලියුං මට එපා." වීණාට නොහිතාම කියවුනා.

"නුරාධගෙන් නෙවෙයි." සචිත්ගේ කටහඬ ඇත්තටම වෙනදාට වඩා සැරයි. "අනේ ඇත්තට මාවත් මේවට ගෑවෙනවනෙ කොහෙං හරි. ලියුම දුන්නෙ දිව්‍යා. ඔයාට දෙන්න කිව්වා."

දිව්‍යා? දිව්‍යට මොනවද තවත් මට කියන්න තියෙන්නෙ? "ඇයි ඔයා කේන්තියෙන් සචී?"

"කේන්ති යන් නැද්ද හලෝ?" ඔන්න ඊට පස්සෙ යන්තම් කටහඬ ටිකක් විතර අඩු උනා. "ඇයි ඔයා නුරාධට අර වගේ දෙයක් කළේ?"

"නුරාධ ඔයා එක්ක මොනවද කිව්වෙ?" ඒ ප්‍රශ්නෙ අහපු එක ගැන ඒ වචන කටින් පිට උනාට පස්සෙ වීණට පසුතැවීමක් ඇති උනා.

ඒත් හොඳ වෙලාවට සචිත් ඒ ප්‍රශ්නෙට උත්තර දුන් නෑ. "කිව්වා හැම දෙයක්ම. මේ, ඔයා මේ ලියුම ගන්න එනවද, නැත්තං මං ගෙනත් දෙන්නද?"

"මට ඕවා කියවන්න ඕනෙ නෑ සචිත්." වීණාගෙ කටහඬ ඈත ලෝකෙක ඉඳන් කතා කරනවා වාගෙයි.

"මේ අනුන්ගෙ ලියුං තියං ඉඳලා මට මක් කරන්නද? අර ඔයාගෙ පොත් වගේකුත් තියෙනවා මෙහෙ, මං ඒවත් ඒක ගෙනත් දෙන්නං." සචිත් ෆෝන් එක තියන්න ලෑස්ති උනා.

"සචිත් මේ..." වීණා කතා කළා. "නුරාධ ඇත්තටම අද යනවද?"

"ඇයි මොකටද අහන්නෙ?"

"නැහැ නිකං ඇහුවෙ.."

"මේ, මං තියනවා. මට තව වැඩ තියනවා."

දඩස්.

'සචිත් මං එක්ක කේන්තියෙන්. නුරාධ එයාගෙ යාළුවනේ.' වීණා තනියම හිතුවා.

එවෙලෙ ඉඳං සචිත්ගෙ බයික් එකේ සද්දෙ ඇහෙනකල් වෙලාව ගත උනේ කොහොමද කියලා වීණාට මතක නෑ.

"ඔව් නැන්දේ, මේ වීණාගෙ පොත් වගයක් තිබ්බා මං ගාව, ඒ ටික ගෙනත් දෙන්න ආවා..." වීණා මිදුලට යද්දි සචිත් වීණාගෙ අම්මා එක්ක කතාවක.

"ඉතිං එන්න පුතා ගෙට, තේකක් බීලා එහෙම යමුකෝ."

"අනේ බෑ නැන්දේ, මට තව යාළුවෙක්ගෙ ගෙදරත් යන්න තියෙනවා, දැනටමත් පරක්කුයි, හතරට එන්නං කියලා කිව්වෙ." සචිත් බෑග් එකෙන් ගත්තු පොත් මිටියක් එවෙලේ එතනට ආපු වීණාගේ අතේ තිබ්බා. "මං වෙන දවසක එන්නංකො නැන්දෙ ආයෙ." සචිත් වීණාගෙ අම්මාට වැඳලා ආපහු බයිසිකලේ නැගලා ඉගිල්ලුනා. වීණාට යනවා කියලවත් කිව්වෙ නෑ.

"දූ අදත් ඔළුව රිදෙනවද?" අම්මා වීණා දිහා ටිකක් වෙලා බලං ඉඳලා ඇහුවා.

"ඔව් අම්මා, ටිකක් විතර."

"අපි ඩොක්ටර් කෙනෙක් ලඟට යමුද?"

"ඕන නෑ අම්මා. අපි බලමුකො, හෙටත් තිබ්බොත් යං." වීණා පොත් මිටියත් උස්සගෙන ආපහු කාමරේට ආවා.
දිව්‍යාගෙ ලියුම කියවන්න වීණාට ඕනකමක් තිබ්බෙ නැතත්, එයාට තවත් මොනවද කියන්න ඉතුරු වෙලා තිබ්බේ කියලා කුතුහලයක් හිතේ ඇති උනා. ඒ නිසාම පොත් මිටිය අවුස්සලා දෙවෙනි පොතේ මැද තිබුණ ලියුම හොයාගෙන, කාමරේ දොරත් වහගෙන ඇඳට ගොඩ වෙලා ලියුම දිග ඇරියා. දිග ලියුමක්. උඩින්ම තිබ්බෙ දිනේ. ගිය සුමානෙ දවසක්.


------------------------------------------------------------------

හිතවත් වීණා,

එදා වැව රවුමෙදි හම්බ වෙලා ඔයා එක්ක කතා කරන්න කළින් මම ඔයා ගැන අහලා විතරයි තිබුණේ. මූණු පොතෙන්වත් ඔයාගෙ පින්තූරයක් මම දැකලා නෑ. නුරාධ කැමති නෑ නේද ඒකට? ගෑණු ළමයින්ගේ පින්තූර නෙට් එකේ දානවට එයා කැමති නෑ. මටත් අනන්තවත් කියලා තියෙනවා. ඒත් වීණා මං කැමති උනේ නෑ එයා මට නීති දාන්න එනවට. මගේ හොඳට කියන ඒවා උනත් මට හිතුණේ එයා මගේ නිදහස නැති කරන්න හදනවා කියලයි. මං සෑහෙන්න එයා එපා කියන දේවල් කළා. ඒ නිසයි එයාට මාව එපා උනේ. මමමයි මාව එපා කරගත්තේ.

වීණා, මම මේ විස්තර ඔයාට කියන්න ඕනෙ කියලා හිතාගත්තේ ඔයාගෙ එස් එම් එස් එක හම්බ උනාට පස්සෙ. ඔයා එදා කොච්චර කියලා ගියත් මම හිතුවෙම නෑ ඔයා නුරාධව අත් අරියි කියලා. මෙ දේවල් එදාම කිව්වෙ නැති උනාට මට සමා වෙන්න වීණා. මට ඒකට හිත හදාගන්න බැරි උනා.

එස් එම් එස් එක දැකපු දවසේ මං ඔයාට මේ දේවල් කියන්න මූණු පොතේ ඔයාව හෙව්වා. ඒත් ඔයාගෙ ප්‍රොෆයිල් එක පෙන්නුවෙ නෑ. ඒ ගමන තමයි ලියුමක් ලියන්න හිතුවේ. මේක ඔයාට දෙන්න සචිත්ව පොරොන්දු කරවගන්න මට සෑහෙන්න අමාරු උනා. මේක මං අද ලිව්වට මේක එයාගෙ අතට දෙන්න මට කවදා එයාව මුණ ගැහෙයිද මන්දා.

වීණා, නුරාධයි මමයි අඳුනගත්තෙ යුනිවසිටි එකේදි. එයා පොඩි කාලේ ඉඳන් එහෙ හිටපු කෙනෙක්. මම ඒ රටට ගියේ යුනිවසිටි යන්නමයි. මම ඒකට ඇතුල් වෙද්දි එයා තුන් වෙනි අවුරුද්දෙ. මට අමුතු ලෝකයක් උනා ඒක. ලංකාවේ ඉන්දැද්දිත් නිදහසට ආසා කරපු මම ඒ රටේදී නිදහස උපරිමයෙන්ම වින්දා. යාළුවොත් එක්ක හොඳට විනෝද උනා. ඔය අතරෙදි නුරාධව මම දැක්කෙ අනිත් පිරිමි ළමයින්ට වඩා ගොඩක් වෙනස් කෙනෙක් විදිහට. ඒ වෙනසට මම ආස කළා. ආදරේ කළා. නුරාධත් මට ආදරේ කළා. ඒ ඇයි කියලා මං දන් නෑ. එයාවත් දන්නවද දන්නෙ නෑ. ඒත් අපි දෙන්නා ආදරේ කළා. ඒක හරිම ලස්සන කාළයක්. මම දෙවෙනි අවුරුද්දෙ ඉන්න කොට එයා ෆයිනල්ස් කරලා යුනිවසිටි එකෙන් අවුට් උනා. ඒ කාලෙ ඉඳන් තමයි අපි දෙන්නා අතර ටිකෙන් ටික ප්‍රශ්න ඇති වෙන්න ගත්තේ. කළින් වගේ එයාට හැම වෙලාවෙම මා එක්ක ඉන්න ලැබුනෙ නැති නිසා එයා සෑහෙන්න මං ගැන කරදර උනා. අපේ බැච් එකේ සමහර කොල්ලෝ ගැන කිසිම විශ්වාසයක් තියන්න බැරි බව එයා වගේම මමත් දැනගෙන හිටියා.

ඒත් මට හිතුණ දේ කරන්න ඕනෙ කෙනෙක්. කවුරු හරි ඒකට එපා කියනවනම් මට ඒකම කරන්න ඕනෙ උනා. ඒ පාර්ටි එක දවසෙත් ඒකයි උනේ. නුරාධ ජොබ් එකට ගිය අළුත. එයාට කළින් වගේ හිතුණ වෙලාවට මාත් එක්ක හැම තැනම යන්න එන්න විදිහක් නෑ. ඒත් මට අපේ බැච් එකේ එවුන්ගෙ ඒ පාටියට යන්නම ඕන උනා. නුරාධ කිව්වා එයා නැතුව ඒකට යන්න එපා කියලා. මට තරහා ගියා. මම එයාට කෑ ගැහුවා ඔයා ආවත් නාවත් මම ඒකට යනවා කියලා. ඒ ගමන නුරාධ කිව්වා එයා පරක්කු වෙලා හරි එන්නං, එතකල්වත් නොයා ඉන්න කියලා. මට ඒත් විශ්වාසයක් තිබුණෙ නෑ. මම හිතුවෙ එයා එන එකක් නෑ කියලා. ඒ හින්දා මම තනියම ගියා. ජීවිතේ මුල්ම වතාවට මං එදා බිව්වා. නුරාධ එන පාටක් තිබ්බෙ නෑ. කේන්තියට මම වැඩියෙනුත් බිව්වා. කෙළින් ඉන්න බැරි වෙනකල්ම. වටේ ඉන්න එකා දෙන්නා මං දිහා අමුතු විදිහට බලනවා දකිද්දි තමයි මට හිතුණෙ එතන හිටියා ඇති කියලා. මං එතනිං එළියට එන්න නැගිට්ටා. මාව ඇදගෙන වැටුනා, හරියටම එවෙලෙ එතනට ආපු නුරාධගෙ කකුල් දෙක ලඟට. මට සිහිය නැති උනා.

මට සිහිය එද්දි මං හිටියෙ නුරාධගෙ අපාර්ට්මන්ට් එකේ, එයාගෙ ඇඳ උඩ.


----------------------------------------------------------------

වීණා ලියුම කියවන එක නතර කළා. ඇස් දෙක වහගෙන කීප වතාවක් හුස්ම ගත්තා. එයාගෙ උගුරේ මොකද්ද හිර වෙලා වගේ දැනුනා. ඒත් දිව්‍යා කියන්න හදන්නේ මේ දැන් තමන්ට හිතිච්ච දේ නෙවෙයි කියලා වීණාට යාන්තමට වාගේ හිතුණා. එහෙම දෙයක් කියන්නනං මෙච්චර අමාරුවෙං වීණාට ලියුමක් එවන්න ඕනෙ නෑනේ. වීණා නවත්තපු තැන ඉඳන් ආයෙත් කියවන්න පටන් ගත්තා.

---------------------------------------------------------------

ඒත් නුරාධ පේන්න නෑ. කාමරේ කොහෙවත් නෑ. මට මොනවද වෙලා තියෙන්නෙ, මොනවද වෙලා නැත්තෙ කියලා මුකුත් හිතාගන්න බැරි තරමට ඔළුව පැලෙන්න රිදුණා. මම හෙමීට ඇඳෙන් බැස්සා. මම පාර්ටියට යන්න කළින් හිටපු විදිහටම ඉන්න බව මට තේරුණා. ඒත් නුරාධ ඒ වෙලාවේ එතනට නාවානම් තත්වෙ ඊට වඩා වෙනස් වෙන්න තිබුණා කියලත් මට තේරුණා. මම සාලෙට ගියා. නුරාධට සාලේ පුටුවක් උඩ හොඳටම නින්ද ගිහින්. මම එයාට කතා කළා. එයා ගැස්සිලා ඇහැරිලා ඊට පස්සෙ මගෙ දිහා ඔරවගෙන බලං හිටියා. මං එයාගෙන් සමාව ඉල්ලුවා. සෑහෙන වෙලාවක් යනකල් එයා මා එක්ක කතා කළේ නෑ. මට උදේට කන්න කෑමත් හදලා දීලා දැං අමාරුවක් නැත්තං එහෙන් යන්න කියලා විතරයි එයා මට කිව්වෙ. ඒ වෙලාවේ මම එයා කියන දේ අහලා එහෙන් ගියා ආපහු මගේ නවාතැනට. මම දවස ගානේ එයාට කෝල් කළා. මට තව අවස්ථාවක් දෙන්න කියලා මං පිංසෙන්ඩු උනා. මට එයාව කොච්චර වටිනවද කියලා මට ඒ ටික දවසට හොඳටම තේරුණා. එයා නැතුව මගෙ ජීවිතේ කොහොම ගෙවෙයිද කියලා මට හිතාගන්න බැරි උනා. මම හොඳ ළමයෙක් විදිහට හිටියා. මං කොච්චර කරදරයක් උනත් මම කෝල් කරන හැම සැරේම එයා ෆෝන් එක ආන්සර් කළා. අන්තිමේදි එයා මට සමාව දුන්නා. නුරාධගේ හිත ඒ තරමට හොඳයි.

මම මටම කියාගත්තා මං ආයෙ නුරාධව නැති කරගන්නෙ නෑ කියලා.

ඒත් නිදසම හොයාගෙන යන මගේ සෙල්ලක්කාර හිත මට ඒ විදිහට ඉන්න දුන්නෙ මාසයයි. එදා වෙඩිං එකක්. නුරාධගෙ බැච් එකේ හිටපු කපල් එකක්. අපි දෙන්නම ගියා ඒකට. එදා මගෙ හිතේ සෑහෙන ලොකු ප්‍රශ්නයක් තිබ්බා නුරාධගෙන් අහන්න. ෆේස් බුක් එකේ එයාගෙ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකට ලඟදි එකතු වෙච්ච මූණ පෙන්නන්නෙ නැති ගෑණු ළමයා කවුද අහන්න. එයා දාන අමුතු ස්ටේටස් මැසේජ් වලට - ඒවා ඇත්තටම හරිම ලස්සනයි - නුරාධ ඒ වගේම අමුතු කමෙන්ට්ස් දාන්නෙ ඇයි අහන්න. මම නුරාධගෙත්, නුරාධ මගෙත් පාස්වර්ඩ් දැනගෙන හිටියේ. ඒත් ඒ වෙනකල් අපි අනිත් එක්කෙනාගෙ එකට ලොග් වෙලා බලලා තිබ්බෙ නෑ. ඒත් මේ ගෑණු ළමයා ගැන හොයන්න හිතුණ හින්දම මම එදා උදේ නුරාධගේ අකවුන්ට් එකට ලොග් උනා. එතකොට තමයි මම මේ මැසේජ්, කමෙන්ට් ඔක්කොම දැක්කේ. ඒ ගැන මට නුරාධගෙන් අහන්න ඉඩක් ලැබුණේ මේ වෙඩින් එක වෙලාවෙදියි. එයාට තරහා ගියා මං එයාගෙ අකවුන්ට් එකට ලොග් වුනාට. ඉතිං මං මතක් කළා එයාටත් ඕන වෙලාවක මගේ එකට ලොග් වෙන්න පුළුවන් කියලා. අපි දෙන්නා ආයෙමත් රණ්ඩුවක් පටන් ගත්තා. එයා දහ අතේ දිවුරුවා ඒ එයාගෙ යාළුවෙක් විතරයි කියලා. ඒත් මට විශ්වාස කරන්න බැරි උනා. මොකද මටත් තරහා ගිහිං තිබුණ නිසා.

ඩිනර් එකෙන් පස්සෙ කට්ටිය ඩාන්ස් කරන්න පටන් ගත්තා. අපි දෙන්නා ඔහේ මේසෙට වෙලා බුම්මගෙන හිටියා. ඒ අතරේ කෙනෙක් ඇවිල්ලා මගෙන් ඩාන්ස් කරන්න ඇහුවා. නුරාධ එපා කිව්වෙ නෑ. ඉතින් මමත් ගියා. ටික වෙලාවක් සාමාන්‍ය විදිහට නටලා ඊලඟට ඒ මනුස්සයා මාව බදාගෙන නටන්න ගත්තා. නුරාධගේ මූණ මං දැක්කා. මට හිතුණා එයාටත් ඉරිසියාව කියන්නෙ මොකද්ද කියලා දැනෙන්න ඉඩ අරින්න ඕනෙ කියලා. මං එහෙමම හිටියා. ටික වෙලාවකින් අර මිනිහා මගේ මූණත් ඉම්බා. එතකොටනං මට ඒ නැටුම ඇතියි කියලා හෙමින් සැරේ ඒ මනුස්සයගෙන් ගැලවෙන්න හදද්දි මාව එක පාරටම විසි වෙලා ගියා. නුරාධ එතනට ඇවිත් අර මිනිහට ගහනවා. අච්චර සෙනගක් ඉන්න උත්සවයක් මැද්දෙදි එහෙම දෙයක් උනාම හිතන්න. මම නුරාධව තල්ලු කරලා දාලා හෝල් එකෙන් එළියට දුවලා ගියා. මට හොඳටම ලැජ්ජයි. නුරාධත් මගෙ පස්සෙන් ආවා.

මොකද්ද ඔයා ඒ කරපු කැත වැඩේ? මං ඇහුවා.
මමද කැත වැඩේ කළේ? ඔයා නෙවෙයිද ඒ මිනිහට ඕන ඕන විදිහට නටන්න දුන්නේ?
ඉතිං ඔයා එපා කිව්වෙත් නෑනේ.
මං එපා කියන්න ඕනෙද. ඒ වගේ බීගත්තු මිනිහෙක් කතා කළාම බැහැයි කියන්න දන්නෙ නැද්ද?

ඔන්න ඔහොමයි අපි දෙන්නා එදා රණ්ඩු උනේ.
අපි දෙන්නම නැවතිලා හිටියේ එතන ඉඳන් පයින් යන දුර. මගේ නවාතැනට එනකල් අපි දෙන්නම වචනයක්වත් කතා කළේ නෑ. මං දොරෙන් ඇතුල් වෙනකල් එතන පොඩ්ඩක් නතර උනත් නුරාධ හිටියෙ අහක බලාගෙනම. ඊට පස්සෙ එයා යන්න ගියා. ආයෙ මං එක්ක කතා කළේම නෑ. මගේ කෝල්ස් වලට ආන්සර් කළෙත් නෑ. බැරිම තැන දවසක් මං එයාගෙ ඔෆිස් එකට ගියා එයාව හම්බ වෙන්න. එදා එයාට මාව මග අරින්න බැරි උනා. එයා එදා කිව්වා ඒක ඉවරයි කියලා. අපි අතර තිබ්බ දේ ඉවරයි කියලා. මට දීපු දෙවෙනි අවස්ථාවත් මං නැති කරගත්තා කියලා එයා කිව්වා. මං දන් නෑ ඒ දෙවෙනි අවස්ථාව නැති උනේ මගේම වරදින්ද කියලා. ඒත් කොහොම හරි ඒක එහෙම උනා.

මට ඒක දරාගන්න බැරි උනා. නුරාධට මං ආදරේ කරපු තරම මං විතරයි දන්නේ. ඒ සෙමිස්ටර් එකේදි මගේ විභාග ලකුණුත් හොඳටම මදි. මං ඔක්කොම අත ඇරලා දාලා ආපහු ලංකාවට ආවා. එතකොටයි මට ආරංචි උනේ නුරාධත් ඇවිල්ලා කියලා සචිත්ගෙන්. සචිත් නුරාධ එක බැච් එකේ යාළුවෝ. ඔක්කොම අතරමග දාලා මං ආපහු හදිසියෙම ලංකාවට එන්න හේතුවක් අම්මලාට කියන්න ඕන උනා. ඒගොල්ලෝ ගැන මට හරි දුකයි. ඒත් මට මගෙ හිත හදාගන්න විදිහක් තිබ්බෙ නෑ. මං එයාලට නුරාධ ගැන කිව්වා. ඒත් ඒක අම්මලා තේරුම් ගත්තෙ වැරදි විදිහට කියලා මට තේරුණා. එයාලා හිතුවේ මට එයාගෙන් ඈත් වෙන්න බැරි විදිහේ මොනවා හරි දෙයක් වෙලා කියලා. මට කොහොම හරි ආපහු නුරාධව ලැබෙනවනම් කවුරු කොහොම මොනවා හිතුවත් කමක් නෑ කියලා මට හිතුණා. ඒත් මං හිතුවෙ නෑ තාත්තලා නුරාධලාගෙ ගෙදරට ගිහින් කලබල කරයි කියලා.
ඔය අතරෙදි තමයි වීණා ඔයා මට කෝල් කළේ. ඇත්තටම නුරාධගේ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ හිටපු මූණ පෙන්නන්නෙ නැති ගෑණු ළමයව මං දැක්කේ එදා වැව රවුම ලඟදි. මට ඔයා දැක්ක වෙලාවෙම හිතුණේ ඔය දෙන්නා ලස්සන කපල් එකක් කියලා. ඒත් මට නුරාධව නැති වෙන විදිහේ කිසිම දෙයක් ඔයාට එදා කියන්න හිතුණෙ නෑ.

ඒත් මං දැං ඔයාට කිව්වා. මේ ලියුමේ තියෙන හැම අකුරක්ම සම්පූර්ණ ඇත්ත.

වීණා, ඔයා නුරාධගෙන් ඈත් වෙන්න එපා. මට දැන් තේරෙනවා නුරාධට මට වඩා ගැලපෙන්නේ ඔයාව. මං නුරාධට ආදරේ කරනවටත් වඩා ඔයා එයාට ආදරෙයි. එයා ආදරේ කරන්නේ මට නෙවෙයි ඔයාටයි. එදා මම නුරාධ එක්ක රණ්ඩු වෙන වෙලාවෙදි ඔය දෙන්නා යාළුවෝ විතරක් වෙන්න ඇති. ඒත් දැන් නුරාධ ඔයාට ආදරේ කරන බව මම දන්නවා.

ඒ නිසා වීණා මම ඔය දෙන්නට සුභ පතනවා. මං ආපහු මගේ ස්ටඩීස් වලට යනවා. නවත්තපු තැන ඉඳන් ආපහු පටන් ගන්නවා. මට වැරදුණු තැන් හැම දේම හදාගන්නවා. මට ඔයාලා දෙන්නගෙන්ම ඉල්ලන්න තියෙන්නේ එක දෙයයි. මං ගැන දුක් වෙන්න එපා. මං සතුටින් ඉන්න පොරොන්දු වෙන්නම්. ඔයාලා දෙන්නත් සතුටින් ඉන්න. ඔයා ගොඩාක් වාසනාවන්තයි වීණා.

මේ,
දිව්‍යා


------------------------------------------------------------------

වීණා ලොකූ හුස්මක් ගත්තා. එයාගෙ ඇස් දෙකේ කඳුළු. ඒ කා නිසා උනපු කඳුළුද කියලා එයාම දන්නෙ නෑ. එයාගෙ මුළු ඇඟම හිතත් එක්කම හිරි වැටිලා. ටික වෙලාවක් යනකල් එයාගෙ හිතට මුකුත්ම ඇතුල් වුනේ නෑ. මොහොතක්, තත්පරයක්, දෙකක්, විනාඩියක් ගත උනා. මැද සාලේ ඔරලෝසුවේ හත වදිනවා ඇහුණා. එක පාරටම වීණාගේ හිත ඇතුලේ විදුලියක් කෙටුවා.

නුරාධ!
එයා යනවා!
නුරාධ ලංකාවෙන් යනවා!
දැන්!
අද රෑ!

වීණා වෙව්ලන ඇඟිලි වලින් සචිත්ගේ නොම්බරේ හෙව්වා.

"ඒ ගමන මොකද?" එහා පැත්තෙන් ආපහු නොරුස්සනා හඬ ආවා.

"අනේ සචිත්..." වීණාට කතා කරගන්න බෑ.

"ඔව්, මං තමයි."

"මට නුරාධට කතා කරන්න ඕනේ."

"ඇයි මොකද දැං ඕන උනේ?"

"ඔයාට දිව්‍යගෙ ලියුම හම්බුනේ කවදද?"

"අද. ඇයි?"

"අපරාදෙ."

"මොකද වීණා උනේ?"

"ඒක තව ටිකක් කළින් හම්බුණානං."

"එයා දැං සතියක ඉඳලා මාව හම්බ වෙන්න ඕනේ කියලානං කිව්වා ඕක දෙන්න. මං ඒත් කැමති උනේ නෑ එයාව හම්බ වෙන්න. අන්තිමට කාගෙදෝ අතේ එවලා තිබ්බෙ මට. එයා ආපහු ගිහින් මං හිතන්නේ."

"ඔව්. අනේ සචිත් ප්ලීස්, මට නුරාධව කන්ටැක්ට් කරලා දෙන්න. එයා මට දීලා ගිය නම්බර් එක වැඩ කළේ නෑ."

"ඔව්, මට ඔයා ගැන කියලා කියලා අතේ තිබ්බ මොබයිල් එක පොළොවෙ ගැහුවේ මගෙ ඉස්සරහමයි."

"අනේ ගෙදර ඉන්නවද බලලා මට පොඩ්ඩක් කතා කරන කියන්න ප්ලීස්."

"නුරාධ අද රෑට යනවා."

"මං දන්නවා. ඒ නිසා ඉක්මණ් කරන්නකො. ප්ලීස්."

"හරි, ඔහොම ඉන්න එහෙනං."

ෆෝන් එක කට් උනා. වීණා ෆෝන් එක අත් දෙකෙන්ම මිට මොළවගෙන බලං හිටියා. විනාඩියක් ගෙවුනා. දෙකක් ගෙවුණා. තුන් වෙනි විනාඩිය ගෙවෙන්න ඔන්න මෙන්න තියෙද්දි ෆෝන් එක රිං උනා.

"හෙලෝ!" වීණා හුස්ම අල්ලගෙන කතා කළා.

"වීණා, ඒගොල්ලො එයාපොර්ට් යන්න පිටත් වෙලා. ගෙදර කවුරුත් නෑ වගේ. ලෑන්ඩ් ෆෝන් එක ආන්සර් කළේ නෑ."


~ මතු සම්බන්ධයි ~

4 comments:

  1. අම්මට උඩු මුගෙ කෙළි බලන්ට කැළේටම එන්ට ඕනනෙ කිව්වලු ලොකු අත්ත....

    ෂිහ්..ඔය තියෙන්නෙ.... එළකිරි සහ ජලය.......:) :)

    ReplyDelete
  2. හැබෑට අයියෙ? ලොකු අත්ත එහෙමත් කීවද?

    එළකිරිත් තියෙනව, ජලයත් තියෙනව, අනේ මට මේකෙ දිග දැක්කම ඒ මැද්දට අරක්කු බෝතලේකුත් ගෙනැල්ලා හලන්න හිතෙනවා. හයියෝ, පෝස්ට් කරද්දි තේරුණේ නෑනේ මේක මෙච්චරම දිගයි කියලා. :(

    ReplyDelete
    Replies
    1. මං හිතන් උන්නෙ සිත්තමී අරක්කු බෝතලේකුත් ලඟ තියාගෙනයි මේක ලිවුවෙ කියාලා.. :)

      Delete