Sunday 4 November 2012

සෙවණැළි අතරින්......7

විජිත්ගෙ හිනාව මූණ පුරාම පැතිරුනෙ එක නිමේසෙකදි. 

'' එදින ඒ භයංකර ජවනිකාව රඟ දැක්වෙන අතරතුර උක්ත ඡායාරූප ශිල්පී තෙම පුවත්පත් කලාවේදිනියගේ ශීර්ෂ මස්තකය සිප ගන්නේ අපමණ සෙනෙහසකිනි. එසඳ ඕ තොමෝ ද ඔහුට තුරුළුව සිටින්නී ඔහුගේ උණුසුම මුළු මහත් ජීවිත කාළය තුලම ලබනු වස් පෙරුම් පුරන්නියක විලසිනි. '' 

විජිත් කිව්වෙ නාට්‍යයක රඟ පාන විදිහට හඬ උස් පහත් කරමින්. 

'' එබැවින් ඒ පහස යලි විඳිනු උදෙසා මෙලොව තමනට හිමි එකම නිශ්චල දේපල පවා අළුයම ලූ කෙළ පිඬක් සේ ඉවත දැමීමට ඒ ඡායාරූප ශිල්පී තෙම උදක්ම සූදානම්ය..එහෙත් අහෝ ඛෙදයකි. පුවත්පත් පත් කලාවේදිනිය තෙමේ මේ කිසිවක් නොදත්තී ඔහු කෙරෙහි කිසිදු ස්නේහයක් නොපාන්නීය. '' 

සහේළි එහෙමම නැවතුනා...හිටි පියවරම හිඳිමින් ඇය කල්පනා කලා...ජීවිතේ සමහර දේවල් තියනව සමහරවිට බොහොම වැදගත් තීරණ මේ එක මොහොතකින් ගතයුතු යයි අපිට බල කෙරෙන තීරණ.ඒ තීරණ ප්‍රත්‍යාවලෝකනයේදී අපිට වැටහෙන්න පුලුවන් සමහරවිට හරි සමහරවිට වැරදි කියල. ඒ මොක වුනත් බොහොම කෙටිකාලයකදි ඒ වගෙ තීරණ ගන්න කියල අපිට බල කෙරෙනව දෛවයෙන්...මේත් ඒ වගේ අවස්ථාවක්...සහේළි තීරණයක් ගත්තා...හරි හෝ වැරදි හෝ....ඒක පස්සෙ බලාගමු... 

ඇය දිග හුස්මක් පහළට හෙලුව..හෙමිහිට විජිත් ළඟට කිට්ටු උනා. ඔහු තාමත් ඉන්නව උඩට ගත්තු හුස්ම අල්ලගෙන ...ඉස්සරහ බිත්තිය දිහා බලාගෙන... 

සහේළි පිටිපස්සෙන් ගිහිල්ල නැවිල විජිත්ගෙ බෙල්ල වටේ අත් දෙක යැව්ව. ඒ කරල විජිත්ව වැළඳගෙන ඔහුගෙ උරහිස උඩ නිකට තිබ්බ. ඒ කරල ඔහුගෙ කණට කට තියල රහසක් කිව්ව. 

'' ඒ කැමරා කාරයට කියන්ට ඒ පත්තර කාරි කිව්වය කියල තියෙන එකම ගේ උගස් තියල මිනීමරුවන්ට සල්ලි දෙන්ට ඕන නෑය, ඔච්චරම ඉස් මුදුන ඉඹින්ට ආසයි නම් පත්තර කාරි ඕන වෙලාවක ලෑස්තියි කියල එහෙම ඉඹින්ට ඉඩ දෙන්ට...'' එහෙම කියල සහේළි හෙමිහිට විජිත්ගෙ කම්මුල ඉම්බ...විජිත්ගෙ හිනාව දෙගොඩ තලා ගියේ එක මොහොතින්..... 

ඔතනින් පස්සෙ ප්‍රේම කතාවට මොනම බාධකයක් වත් ආවෙ නෑ....අවුරුදු දෙකක් දෙන්න බොහොම සන්තෝසෙන් ගත කරල අන්තිමට තීරණය කලා විවාහ වෙන්ට ඕනය කියල...ආ, පොඩ්ඩෙන් නම් අමතක මතක බැරි වෙනව...ඔය අතර එක වැදගත් සිද්ධියක් උනා... 

'' සහේළි මාර වැඩක්නෙ...'' දවසක් කලබලෙන් දුවගෙන ආපු විජිත් සහේළිගෙ මේසෙ ඉස්සරහ ඉඳගත්ත. කලින් දවසෙ සුප්‍රසිද්ධ පුරා විද්‍යාඥයෙක් එක්ක කරපු සම්මුඛ සාකච්ඡාවක සටහන් ආයෙම කියවමින් හිටි සහේළි ඔලුව උස්සල බැලුව.. 

'' පහුගිය සුමානෙ අර විපක්ෂෙ මන්ත්‍රීට වෙඩි තියපු එක මතකද?...'' ඊට කලින් සුමානෙ ආණ්ඩුව දරුණු විදිහට විවේචනය කරපු විපක්ෂ මන්ත්‍රී වරයෙකුට වෙඩි තියල තිබුන...මිනිහ දැන් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ...රටේ කතාව පැතුරුනේ මේක ආණ්ඩුවෙන් කරවපු එකක්ය කියල...විශේෂයෙන්ම මේකට අඟිල්ල දිගු උනේ බලවර්ධන ඇමති තුමාට.අර විපක්ෂ මන්ත්‍රී තුමා විශේෂයෙන් විවේච්නය කලේ බලවර්ධන ඇමති තුමාව... 

'' ඒ වැඩේ කරවල තියෙන්නෙ සිකුරා..ඒත් පිටරටවල් වලින් එන බලපෑම් නිසා ආණ්ඩුවට මේ ගැන පරීක්ෂණයක් නොතිය බැරි වෙලයි තියෙන්නෙ...දන්නවද ඒකට අත් අඩංගුවට අරං තියෙන්නෙ සිකුරගෙ ප්‍රධානම ගෝලය...සිකුර කියල බලවර්ධනට මිනිහව එලියට දාන්නය කියල.ඒත් හැම පැත්තෙන්ම ප්‍රෙෂර් එක වැඩි නිසා බලවර්ධන වැඩේට බෑ කියල අත පිහදාගෙන...ලබන අවුරුද්දෙ ප්‍රෙසිඩෙන්ෂල් ඉලෙක්ෂන් එකනෙ . බලවර්ධන කැමති නෑ නම සවුත්තු වෙන වැඩ කරන්ට...'' 

'' ඒ උනාට බලවර්ධන නම් කිව්වෙ වැඩේ කරන්ටෙයි කියල අර මිනිහ එලියට දාන එකක් එයාගෙම වගකීමනෙ...'' සහේළි පුටුවෙ පස්සට ඇදිල හේත්තු උනා. 

'' දේශපාලනයෙ එහෙම වගකීම් සහ යුතුකම් කියල දේවල් නෑ සහේළි, තමන්ගෙ ඉදිරිගමනට වාසිවෙන ඕනම දෙයක් කරන්ට වගේම ඒකට බාධාවෙන ඕනම දෙයක් නොකර ඉන්ටත් දේශපාලකයො පසුබට වෙන්නෙ නෑ. විශේෂයෙන් බලවර්ධන වගෙ ඉහළටම යනට බලාපොරොත්තු වෙන අය... '' 

'' හිහ්, හිහ්....හරි හරි...ඔයා ඉතිං මොකද?....මේ ඉර හඳ යට තියන සියලු සබ්ජෙක්ට්ස් ගැන විකාරද නෙ......'' සහේළි මහ හඬින් හිනැහුණා.ඔෆිස් එක ඇතුලෙ...විජිත්ට වටපිට බැලුනෙ ඉබේටමයි....හොඳ වෙලාවට වැඩිය කවුරුත් නෑ...මේ වෙලාවෙ,වම් පැත්තෙ වීදුරු කාමරේ ඇතුලෙ හිටිය ප්‍රවෘත්ති කර්තෘ විතරයි..මිනිහත් ටෙලිෆෝන් එකත් කණේ ගහගෙන පුටුවෙ දිග ඇදිල බර කතාවක්...ඇහෙන්න නැතුව ඇති එකත් එකටම.. 

'' මොකද හලෝ..වට පිට බලන්නෙ මේ...නිකං හරියට මිනියක් මරල වගේ....මොකද ඔච්චර බය? '' සහේළි සමච්චල් හිනාවකින් එහෙම ඇහුවට හඬ පහත් කරල තමයි ඇහුවෙ වටපිට එහෙම බලල..... 

'' හුහ්..තමුන්ට නම් මොකද?....පෙලක් උදවිය නම් රස්සාවල් කරන්නෙ නිකම් ජොලියටනෙ...නිකං කාල ඉන්ට බැරුවට....මේ.......හරියට....'' .විජිත් කියන්ට ආපු දේ ගිලගත්තා... 

සහේළි පත්තර රස්සාව කලාට සෑහෙන දේපලක් තිබුණු උඩරට හොඳ පවුලක එකම දරුවා බව විජිත් මේ වෙනකොට දැනගෙන හිටියෙ දෙපාරක් විතර සහේළිගෙ ගෙදර ගිහිල්ල තිබුනු නිසයි. 

'' මේ හරියට මොකක්ද?....හරියට පශ්චාද් භාගයෙහි බලවත් වූ කශානා රෝගයක් වැළඳී ඇති සේද?....හිහ්, හිහ්, හිහ්.....'' ඒ පාරනම් සහේළිගෙ හිනාවට ප්‍රවෘත්ති කර්තෘ තුමා ඔලුව උස්සල බැලුව ටෙලිෆෝන් එකේ රිසීවරේ කණෙන් ඉවතට අරගෙන.... 

'' මේ වැඩේ හරියන්නෙ නෑ...තමුං මෙතන ඇවිල්ල මේ කරන වැඩේ හින්ද මම වැටෙනව ලොකු අමාරුවක...දැං කියන්ට ආපු එක කියල ඉවර නම් කරුණාකරල යනවද...මගෙ වැඩක් කරගන්ට දීල පාඩුවෙ...'' සහේළි බැරෑරුම් පෙනුමක් ආරූඪ කරගෙන කිව්වෙ මේසෙ වැළමිටි රඳවල ඒ මතට වාරුවෙල ඉස්සරහට නැමිල විජිත්ගෙ ඇස් දිහාවෙ කෙලින්ම බලාගෙන 

'' ඔන්න බලාපල්ලකො ඉතිං ඒකත් මයෙ වැරැද්ද?...මට කියන්ට ආපු දේ කියන්ට දෙන්නෙ නැතුව රටේ නැති බූත කතා කරේ.... එතකොට මේක දෙවනත් වෙන්ට කැකිරි පැලුවෙ....මමද එතකොට?....'' විජිත් ඇහුවෙ සහේළි වගේම වැළමිටි මේසෙ උඩ තියල වාරුවෙල සහේළිගෙ මූණෙ වදින්ට නොවදින්ට ගානට මූණ කිට්ටු කරල.. 

'' කෝළං කරන්ට එපා ඔන්න.. '' සහේළි එක පාරට පස්සට උනා. 

මේසෙ දෙපැත්තෙ වාඩි වෙල කතාවක් බහක් නැතුව ගෙවිල ගිය මිනිත්තුවක් දෙකකට පස්සෙ... 

මේසෙ උඩ තිබ්බ කහපාට හයි ලයිටර් පෑනක් ඒ මේ අත පෙරලමින් කතාකරපු විජිත් එක පාරට ඒක අතඇරල ඔලුව උස්සල සහේළි දිහා බැලුව. 

'' දැන් බලවර්ධනයි සිකුරයි ජන්මාන්තර තරහයි. සිකුරා ආගිය අතක් නෑ...මගෙ කන්ටෑක්ට් එකකින් මට බොහොම විශ්වාස කටයුතු ආරංචියක් ආව බලවර්ධන සිකුරට කන්ට්‍රෑක්ට් එකක් දීල කියල...'' විජිත් බොහොම හෙමිහිට කිව්වෙ වචන පැහැදිල්ව එකින් එක උච්චාරනය කරමින්.ඒ තමන් කියනදේ තියන වැදගත් කම සහේළිට ඒත්තු ගන්වන්න කරන උත්සාහයක් කියල සහේළිට තේරුනා එක පාරටම. 

'' කන්ට්‍රෑක්ට් එකක්ය කිව්වෙ?....'' 

'' ටර්මිනේෂන් කන්ට්‍රෑක්ට් එකක්......සිකුරව මරන්ට.... '' 

මතු සම්බන්ධයි 

1 comment:

  1. රවි අයියා කතාවම ඇදන් යනවා වගෙයි....:D
    ලස්සනයි

    ReplyDelete