Monday 10 December 2012

සිත්තමක ලියැවුණු කවිය..... 05 වන කොටස



මුතූගෙ පපුව මොහොතකට නැවතුණා!!
ඊලඟ තත්පරේදි මොකක්දෝ නන්නාඳුනන රිද්මයකට ගැහෙන්ඩ ගත්ත...

හිනා වෙවී වැටේ කණුවකට අත තියන් තමා දිහා බලන් ඉන්න වික්‍රමගෙ ඇස් ඉර එළියට දිලිසුනා....
ඒ ඇස් දිහා මුතූ බලන් හිටියෙ හරියට වශී ගුරුකමක් කරල වගේ...!!

ඒත් එක්කම කලබල වෙලා මේ ලෝකෙට ආව මුතූ වටපිට බලල උගුර පෑදුව...
මහ දවාලෙත් අමුතු අමුතු හීන ඇස් ඉදිරියෙ පෙනෙද්දිත් මුතූ හිතට බොරු කළා...

ඇයි මොකෝ??

හා... පෝ..... ඔහොම මිනිස්සුන්ට ඇඟට කඩා පයින්ඩ එපා නගා... හැන්දෑවක එහෙම වුණා නං මං බය වෙලා මට නූල් හිට බඳින්ඩ වෙයි!!

ආ.. ඒ පාර විජේ අයිය වගේ මෙයත් පටං ගත්තද?? අනේ හැබෑට මං මොකට බාල්දු වෙනවද මේ පිටගංකාරයොන්ට....??  

මුතූගෙ තරහ නහය දෙපැත්ත රතු කරගෙන එළියට පයින්ඩයි ලෑස්ති වුණේ....

තරහ ගන්ඩ එපා නගා!! මං නගා මුණ ගැහෙන්ඩ බොහොම උවමනාවෙන් හිටියෙ.....ඔච්චර කියලත් ඇයි පන්සල පැත්තෙ නිකමටවත් නාවෙ??

ඒ මොකටද මං කවුරුවත් කියනවට පන්සල් එන්නෙ??

මුතූට හොරා වික්‍රම එක්ක තරහෙන් හිටපු හිත පැන පැන කතා කරන්ඩ ගත්ත....
නවත්තපු තැනින් ඉඳල උස්සපු මුතූ අතුගාගෙන අතුගාගෙන ගියා!! හරියට වික්‍රමත් එක්ක තරහ මිදුලෙන් පිරිමහන්ඩ වගේ...

ඇයි නගා.. මතක නැද්ද?? මට පොරොන්දු වුණා... අර ගෑණු ළමයට හොයා ගන්ඩ මට උදව් කරනවයි කියල??

මේ මොන කෝලමක්ද?? මං එහෙම පොරොන්දුවක් දුන්නෙ කවද්දද??

ඇයි නගා අද මාත් එක්ක අමනාපෙන් වගේ කතා කරන්නෙ.... මං හිතුවෙ අපි දැන් යාලුවො කියල... යාලුවෙක් විදියට මට ඒ වැඩේට උදව් කරන්ඩ නංගි කැමති වුණා කියලයි මං හිතුවෙ... මං ඊයෙ පෙරේද දෙකේම බලන් හිටිය නගා නිකමටවත් පන්සල පැත්තෙ ආවෙත් නෑ... හවස් අතේ මං ඇහැළ ගහ හරියෙත් බැලුව නගා ඉන්නවද කියල....

වික්‍රම කියාගෙන කියාගෙන ගියේ හිතේ දුකට...

දවස් දෙකකට කලින් හොඳට කතා කරපු මේ කෙල්ලට මක් වෙලාද මේ උදේ පාන්දර??

මේ මට ඕවට උදව් කරන්ඩ වෙලාවක් නෑ....ඇයි දැන් පන්සලේදි පෝය දවසෙ දැක්ක කිව්වනෙ... ඉතිං පන්සලේම රාජකාරි කරන එකේ ආවාම තමන්ටම කතා කරගන්ඩ බැරියැ?? ආයෙ මොකටෙයි තෝල්කයො??

මුතූ වික්‍රම දිහා බලන්නෙවත් නැතුව කියාගෙන කියාගෙන ගියා... ඒ වචන වික්‍රමට දැණුනෙ හරියට පිහි තුඩු වගේ.. තමන්ගෙ හිත පසාරු කරගෙන කිඳා බහින...

මං යන්නං නගා!!! කරබාගෙන අතු ගාන මුතූ දිහා හිස් හැඟීමෙන් බලන් හිටිය වික්‍රම පරාජිත හඬකින් කිව්ව...
මුතූ නෙවෙයි පැත්තවත් බැලුවෙ...

සරාස්!!
මුතූලගෙ අම්ම  කුස්සියෙ ඉඳල රම්පෙ ගාල ලඟ කුණු වතුර කොරහක් විසි කළා...

දෙයියනේ අම්ම!!
මුතූට කියවුණා!!

බලද්දි කවුරුත් හිටියෙ නෑ වැට ලඟ....

යන්ඩ ගිය අත අමතක වෙලා විජේ අයියලෑ එලිපත්තට ගොඩ වෙච්ච වික්‍රම අයුරුවක් නැතුව ඔහේ බලන් හිටිය හැටි වතුර සද්දෙටට කළබල වෙච්ච මුතූ දැක්ක!!



උඹ හැසිරිච්ච හැටි නං බොහොම වැරදියි මුතූ.... මුතූගෙම හිත  හැම තිස්සෙම මුතූට කිව්ව...
ඇත්තටම හිතේ තියෙන දේවල් හංගාන මං ඒ මනුස්සයගෙ හිත රිදවන එකේ තේරුම මොකද්ද??
මුතූ තමාගෙන්ම ඇහුව.....
ඇත්තමට ඒ මනුස්සය ඉල්ලන්නෙ උදව්වක් වෙන්ඩ ඇතිනෙ... හිතේ ඇඳිල තිබුණ රූපෙ කිව්වට ඒ රූපෙ හිමි කෙනාට තමාගෙ ආදරෙත් හිමියි කිව්වෙ නෑනෙ... අනික මේ අඳුනගෙන දවස් ගාණට උඹ දන්නෙ කොහොමද මේ මනුස්සය කවුද කින්ද මන්ද කියල... දන්නෙ ගමට ආවෙ පන්සලේ චිත්‍ර අඳින්ඩ කියල විතරයි නෙ....
කවුද අප්පේ ඔය හිතේ ඇඳිච්ච රූපෙ කියල අහල එයාව හොයාගන්ඩ උදව් කළානං උඹේ පැත්තක් යනවද??
උද්දච්ච මෝඩි!!!

ඔය රතුලූණු ටික ඉස්මණට සුද්දකරල ගන්නෙ නැතුව මක්කරනවද මේ කෙල්ල?? මොනවද ඔය හැටි කල්පනා කොරන්නෙ....?

අම්මගෙ හඬට ගැස්සුණ මුතූ ආයෙමත්  මඩක්කුවෙ තිබුණු ලූනු ගෙඩියක් අතට අරන් සුද්ද කරන්ඩ ගත්ත...

අද අක්ක විජේ අයියලෑ ගෙදර අත්තමට ගෙහුං.......දවල්ට උයන්ඩ එන්ඩ වෙන්නෙ නෑයි කිව්ව... අර  එහෙ නතර වෙලා ඉන්න මනුස්සයට කෑම ටිකක් දෙන්ඩ කිව්ව නෙව... ඩිංගක් අත ඉක්මං කරල ඔය වැඩේ අහවරයක් කරල මට මේ පොල් අඩලෙ ගාල දෙන්ඩ ළමයො...

කන්ඩ තමයි දෙන්ඩ ඕනෙ උන්දැට.... මුතූ මිමිණුවෙ තරහින්...

උන්දැට කන්ඩ දෙන්ඩ අපි නැහෙන්ඩ....

මොකෝ දුවේ....අසනීපයක්වත්ද??

එහෙම කියන ගමන් සද්දයක් බද්දයක්  නැතුව ලූණු සුද්ද කරන මුතූ දිහා බලන් හිටිය අම්ම ඇහුව.. වෙනදට මෙහෙම උදව් කරන්ඩ කියල ආවාම කට කමසිරියාවක් නැතුව කතා කරන එකයි හිනාවෙන එකයිනෙ මුතූගෙ වැඩේ....

මගෙ හිස ඩිංගක් කකියනව අම්මෙ....

කෝ බලන්ඩ.... අම්ම ලං වෙලා මුතූගෙ නළලට  පිටි අල්ල තියල බැලුව...

ඒ හැටි රස්නයක් නං නෑ.....ඕක නෙව කියන්නෙ... කවදාවත් නැතුව ඉර අව්ව වැටිච්ච වෙලාවෙ ගියානෙ මිදුල අතුගාන්ඩ....  පැය දෙහෙකටත් වැඩිය අව්වෙ හිටිය... හිසේ ඇම්ම නැහැදුනොත් නෙ පුදුමෙ.... ආං අර කෑම කාමරේ රාක්කෙ ඇති තැඹිලි තෙල් බෝතලේ... ඔය තෙල් ඩිංගිත්තක් දාගෙන  පොඩ්ඩක් ඇලවෙලා ඉන්ඩ...මං මේ ටික ඉක්මණිං අහවරයක් කරල අර මනුස්සයට කන්ඩ ටිකක් දීල එන්නං.....

ගෙදරම හිඳල රතුලූණු, කීකිරිඳිය, අරූද කොළ දාල කකාරවපු තැඹිලි තෙල් බෝතලේට නාහෙ ලං කරල සුවද බලපු මුතූ ඉන් අල්ලක් අරන් හිස් මුදුනට දාගත්ත...
සීතල තෙල් වැටෙද්දි හිස්මුදුනෙන් පටන් අරගත්ත සනීපෙ ටිකෙන් ටික තමන්ගෙ හිතත් සිසිල් කරන බව මුතූට දැණුන...

එක තෙල් අල්ලක්  හිසේ දාන්ඩ හොඳ නෑ කියල අම්ම හැම තිස්සෙකම කියනව මතක් වෙච්ච මුතූ තව තෙල් අල්ලක් හිසේ දාගත්ත...වෙනද නං මේ වගෙ වෙලාවට තෙල් ටික හිසට වදින්ඩ මුතූ අම්මට කියල හොඳට අතගාවගන්නව... අද උයමන හදිස්සි වෙලා නෙ උන්දැටත්!!

මුතූ හෙමින් සැරේ කාමරේට ගිහින් ඇඳේ වැතිරුණා...
කාමරේ ජනේලෙ අස්සෙන් පේන  පැති මිදුලෙ දෙලුම් ගහේ උන්න පැණි කුරුල්ලෙක් දෙලුම් මල් කිනිත්තක එල්ලිලා!!  වෙනදා වගේ ඒ දිහාව බලන් ඉන්ඩ හිතක් මුතූට තිබුණෙ නෑ... අනික් පැත්තට හිස හරවන්ඩ යද්දි මුතූ දැක්කෙ  අර චිත්‍රෙ....

වික්‍රම දීපු!!

කුඹුක් ගස් මණ්ඩියට එපිටින් පේන වේරගල කඳු වලල්ල බොඳ වෙලා යනකල් ඒ දිහා බලන් හිටිය මුතූ දිග හුස්මක් හෙලල බිත්තිය පැත්තට හැරිල ඇස්පියාගනිද්දි  ඇස් බොඳවෙන්ඩ හේතු වෙච්ච කඳු බින්දු දෙක තරගෙට කොට්ටෙ උඩට වැටුණ......



ආ ඔයා ආවද?? 

කුස්සිය පැත්තෙන් ඇහිච්ච අඩි සද්දෙට සම්බෝලෙ අඹරන එක නවත්තල කන්දීපු කුසුම්ලතා මල්ලකුත් අතින් අරන් උලුවස්ස ලඟ හිටගෙන උන්න විජේගෙන් ඇහුව

හරි කෙඩෙත්තුයි කුසුමෙ....  කහට එකක් ඕනෙ

මං කේතලේ ලිප තිබ්බ.... එහෙං එන ගමං මං අපේ ගෙදරටත් ගොඩවුණා... නංගි හිස කැක්කුමක් අල්ලල දවසම ඇඳේ වැටිල හිටිය යි කිව්ව හන්ද එයාගෙ ඔලුව ටිකක් අතගගා හිටිය නින්ද යනකල්!! රෑ වෙනව දැනුණෙ නෑ....ඔයා  පන්සල පැත්තට ගියේ නෑ...??

හවස පන්ති ඉවර වෙලා එන ගමන පන්සල පැත්තටත් ගොඩ වැදුණ .. ලොකු හාමුදුරුවොත් නුවර වැඩල... පොඩි හිමුදුරුවොත් පහුගිය දොහේ පාඩං වැඩ එහෙම අතපසු වුණාය කියල ඒ පොත්පත් ඉල්ලාන එන්ඩ පිරිවෙන් වැඩල... ඇබිත්ත මලය විතරයි හිටියෙ...
වික්‍රම මල්ලිත් උදේ ගිහින් ආවට පස්සෙ ආයෙ පන්සලට ගියේ නෑ කියල ඌ කිව්වෙ... කෝ වික්‍රම??

මං ඇවිල්ලත් දැන් පැය බාගෙකට වැඩියි විජේ.... තේ එකක්වත් ඕනැද අහන්ඩ බලද්දි කාමරේ දොරත් වහලයි තිබුණෙ.....මං හිතුවෙ තාම ඇවිල්ල නැතුව ඇති කියල...

කොහෙ ගියාද මේ ළමය?? මං බලල එන්නං කාමරේ!!

උදේ මුතූ නංගි කවදාක්කත් නැතුව වැට ලඟ අතු ගෑවෙ නිකම්ම වෙන්ඩ බෑ... ලිඳ ලඟ ඉඳල එනකොට වික්‍රම වැට ගාව හොරගල් අහුලනව දැකල හිනා කටක් ආවත් තමනුත් ඔහොම වැඩ කළා නේද කියල මතක් වෙලා විජේ ගෙට ගියා.... දෙන්නගෙ කතා බහ ඉවර වෙලා බිම බලාන වික්‍රම ගෙදර දිහාවට ඇදෙනවත් විජේ බලාගෙන...

මුන් දෙන්න මොහොකට හරි රණ්ඩු වුණාවත්ද??

අපේ නගාටත් ආයෙ හොස්ස ලඟින් මැස්ස යන්ඩ බෑනෙ...

වික්‍රම ඉස්තෝප්පුව පැත්තට ඇදුනෙ හිතිවිල්ලෙන්

මොකෝ මලේ මේ දාහට දීල සීයට අරන් වගේ.....??

ඇඳ විට්ටමට කොට්ටෙ හේත්තු කරන් පරාල ගණං කරන්නා වාගේ උන්න වික්‍රම විජේගෙ සද්දෙට ගැස්සිලා කෙලින් වුණා...

ආ.. අයිය ආවෙ කොයි වෙලේද?? මං දන්නෙත් නෑ...

දැන් ආවෙ....මං පන්සල පැත්තෙත් ගියා....මලය අද වැඩට ගියෙ නැතෙයි??

හිස කැක්කුමක් හැදිල හිටියෙ අයියෙ.... ගිහිල්ලත් මං ආපහු ආව.....උදේ පාන්දර පන්සල් යද්දි පිණි බෑවනෙ....ඒ හන්ද වෙන්ඩ ඕනෙ...

බොලේ මුන් දෙන්නටම ඉස කැක්කුං!! මේකෙ මොකක් හරි තියෙනව කොස්සක්!!!

විජේගෙ හිත කිව්ව

මෙන්න මේ ඉස්තෝප්පුවට ඇවිල්ල ඈඳිගනිං මලයො හුලං ටිකක්වත් වදින්ඩ... මං අක්කට කියන්නං ඉඟුරු එහෙම යහමිං දාල කහට කෝප්ප දෙකක් අරන් එන්ඩ කියල... කිතුල් හකුරු කෑල්ලකුත් එක්ක ඒක ගහල දැම්මම ඔය ලෙඩ ටික සේරෝම අකා මකා යයි...

කුසුමේ..... මේං මල්ලිත් ඉන්නෝ!! හොඳ ඉඟුරු කහට කෝප්ප දෙකක්ම ඕනේ!!! කිතුල් හකුරුත් එක්ක..

විජේ ගේ පැත්තට කෑ ගැහුව...

හරියට කියනකල් බලන් හිටිය වගේ කුසුම්ලතා තේ කෝප්ප දෙක අරන් එද්දි වික්‍රමත් ඇවිත් ඉස්තෝප්පුවෙ ඇඳි පුටුවන වාඩිවුණා!!

ඒ වෙද්දිත් හාන්සිපුටුවෙ කැරකෙන ඇඳි දෙකත් දිගෑරගෙන කකුල් ඇඳි උඩ තියාන හිටිය විජේ කකුල් බිම තියල කහට කෝප්පෙ අතට අරන් හකුරු කෑල්ලකුත් අරගත්ත...

ආ මල්ලි... ගන්ඩ තේ එක...
මල්ලි දැන්ය ආවෙ?? මං හැන්දෑවෙත් බැලුව ඉන්නවද කියල... අර අම්ම අරන් ආපු දවල් කෑම පිඟානත් එහෙමම වහල සාලෙ...මල්ලි කන්ඩ ඇවිදිනුත් නෑ වගේ....

මං නිදාගෙන හිටියෙ අක්කෙ දවසම.. හිසේ කැක්කුමක් අල්ලල....

ආ..... කුසුම්ලතාට විජේ දිහා බැලුණ...
හිනාව තදකරගත්තු මූණෙන් විජේ කුසුම්ට ඉඟි කළා...

එහෙනං මං ඉක්මණට  රෑට කන්ඩ ලෑස්ති කරන්නං...මල්ලි උදේ කෑවට පස්සෙ මොනවත් නැතුව ඇති නෙ බඩේ....

අමුත්තක් නොපෙන්නපු කුසුම් විජේ දිහා හොර බැල්මක් හෙලල ආපහු ඇදුණ...


මතු සම්බන්ධයි...

පින්තූරෙ ලැබුණෙ මෙතනින්

14 comments:

  1. විජේ අයිය සපෝට් එකක් දෙයි වගේ..

    ReplyDelete
  2. මේ ගෑනු ඔහොම්මයි අප්පා.. හිතේ ආලවන්තකොම තියාගෙන බොරුවට තරහ පෙන්නනවා.. අම්මපා මුං කවදා හැදෙයිද මන්දා.?? :P

    ReplyDelete
    Replies
    1. එහෙනං කෙලිං අහන්ට තිබුණනෙව....ආය හිතේ ඇඳිච්ච රූපෙ හොයාගන්ඩ උදව් ඉල්ල ඉල්ල වටේ යන්නෙ...?? මේ පිරිමිත් ඔහොමමයි.. ඕනෙ එකක්... ඉල්ලන්නෙ තව එකක් හි හි....:-p

      Delete
  3. ආ මල්ලි... ගන්ඩ තේ එක...

    මල්ලි දැන්ය ආවෙ?? මං හැන්දෑවෙත් බැලුව ඉන්නවද කියල... අර අම්ම අරන් ආපු දවල් කෑම පිඟානත් එහෙමම වහල සාලෙ...මල්ලි කන්ඩ ඇවිදිනුත් නෑ වගේ....

    මං නිදාගෙන හිටියෙ අක්කෙ දවසම.. හිසේ කැක්කුමක් අල්ලල....

    ආ..... කුසුම්ලතාට විජේ දිහා බැලුණ...

    හිනාව තදකරගත්තු මූණෙන් විජේ කුසුම්ට ඉඟි කළා...

    එහෙනං මං ඉක්මණට රෑට කන්ඩ ලෑස්ති කරන්නං...මල්ලි උදේ කෑවට පස්සෙ මොනවත් නැතුව ඇති නෙ බඩේ....

    අමුත්තක් නොපෙන්නපු කුසුම් විජේ දිහා හොර බැල්මක් හෙලල ආපහු ඇදුණ...

    විජේ වික්‍රමගෙ මූණ දිහාවෙ බලාගෙන හිටියෙ මනුස්සයගෙ හිතේ තියන දේ මූණෙවත් ලියවිලා තියෙයිද කියල හොයාගන්ට වගෙ..

    වික්‍රම මිදුලෙ පාත්වෙන අඳුර දිහාවෙ බලාගෙන ඉඳල ඊට පස්සෙ හෙමිහිට උඩට ගත්තු හුස්ම පාතට දැම්ම පපුවම හිස් වෙලා යන්ට.

    " මේ මලේ...මොකද බං බොට වෙලා තියෙන්නෙ?.....හරියටම යකෝ මෝලියට ලුණු වැඩි වෙච්චි බක්කරේ වගේනෙ උඹ මේ අකම්පාල වෙන්නෙ?, කියාපං බලන්ට අපිටත් පුලුවං දෙයක් තියේනං දන්නවනෙ මම ඇවිල්ල පිත්තාසෙ තියන දේ උනත් එලියට ඇදල දෙන මිනිහ...හෙහ්, හෙහ්, "

    " නෑ අයියෙ මේ........"

    වික්‍රම තැග්ගැහුන.

    " හරි, හරි, කන වටේ අත දාල ඔලුව අල්ලන්නෙ මොකටද ආයෙ....මම කියන්ටද?...."

    විජේ නැඟිටල ඇවිල්ල වික්‍රම ගාවිම්ම බිත්ති කන්ද උඩ වාඩි උනා.

    " ඔය අපෙ නෑණන්ඩි ගැන පලහිලව්වක් නේද?...."

    හෙමිහිට ඇහුවෙ වික්‍රමගෙ කණටම කිට්ටු කරල.

    සිත්තරාගෙ මූණ රතු උනේ හැන්දෑ සිරි සොබාව ඇන්ද සිත්තරේක ඉර බහින විදිහ සායං ගාල තියෙනව වගෙ....

    " හෙහ්, හෙහ්, හෙහ්, හෙහ්....උත්තර ඕන නෑ මලේ..උඹේ මූණෙම තියනව උත්තරේ ලියවිල....හරි උඹ කිසිදේකට බය වෙන්ට එපා...හොඳද?...මම කරල දෙඤ්ඤංකො වැඩේ කිරි ගහට කෙල මෝලෙං ඇන්නැහෙ...හරි අපි කතා කරමු...ඔහොම බාරදූර විසය කරුනු පිලිබඳ විස්ලේසනය කොරන්ට බෑ මලේ කහට ගගහ..හෙහ්, හෙහ්, ඉඳහං ඔහොම ඇබිත්තක්...."

    " කුසුමෝ තේ එපෝ......ආං අර දවල් ඉතුරු වෙච්චි මයියොක්ක වගයක් තිබ්බ නේද?...ආං ඒකට ලූණු මිරිස් ටිකක් එහෙම කපල දාල ගේන්නකො බලන්න…"

    විජේ කෑ ගහගෙනම ගෙට ගියා...

    " අනේ අම්මප..ඔයා එක්ක නම් හරියන්නෙ නෑ මේ වැඩේ..මේ මල්ලිටත් ඔව්ව පුරුදු කරන්ටද යන්නෙ?...පන්සලේ සිත්තර කරුමාන්තෙ නේද බාරගෙන තියෙන්නෙත්...ඔව්වට පුරුදු වෙලා අනේ මන්ද.."

    කුසුමෙ දොරකඩට ඇවිල්ල කිව්වෙ කම්මුලේ අතකුත් තියාගෙන. වික්‍රම ඔලුව උස්සල බැලුවෙ නෑ...

    විජේ ආයෙම ඉස්තෝප්පුවට ආවෙ කඩදහි උරේක ඔතාපු බෝතලේකුත් අරගෙන.

    " කුසුමො ඔන්න ඕකනෙ කියන්නෙ...ඔයාල වලිගෙ පාගගෙනමනෙ කොයි වෙලාවෙත් කතා කරන්නෙ...දැං බලන්ට මේ මලයට අඳින්ට උනා නාලාගිරි දමනෙ...නාලාගිරිය රා කල සොළොසක් පානය කරල ගිගුම් දීගෙන බුදු හාමුදුරුවො ඉස්සරහට දුවගෙන එනව පණ පිහිටුවල අඳින්ට නං එහෙම වෙලාවක මනුස්සයෙක් සතෙක්ගෙ ඉරියව් කොහොමද කියල තමන්ටම අත්දැකීම් තියෙන්ටම ඕන...එතකොට තමයි ඒ සිත්තරේ නිකම් පන පිටිං වගෙ ඇඳෙන්නෙ..."

    " ඔය කිව්වෙ ඔය කිව්වෙ……. ඔයාගෙ තර්ක හොඳයි ඔයාටම...ඉතිං ඔය විදිහට සිදුහත් කුමාරය බුදු වෙනව පණ පිහිටුවල අඳින්ට නං ඊට ඉස්සරවෙලා බුදුවෙලාම ඉන්ට එපාය...."

    අම්මප බලාගෙන යනකොට ඒකත් හරි තමයි....කටත් බාගෙට ඇරිච්ච විජේගෙ මූණ දැක්කම වික්‍රමට බකස් ගාල හිනා ගියා.

    මතු සම්බන්ධයි......:) :)

    ReplyDelete
    Replies
    1. /*සිත්තරාගෙ මූණ රතු උනේ හැන්දෑ සිරි සොබාව ඇන්ද සිත්තරේක ඉර බහින විදිහ සායං ගාල තියෙනව වගෙ....*/

      ඈ අයියෙ, කොල්ලොත් මෙහෙම රතු වෙනවය ලැජ්ජාවට?

      ඊලඟට දැං මේ මතුසම්බන්ධ කමෙන්ට් එකේ ඉතිරි ටික අපිට කියවන්න හම්බ වෙන්නෙ කවදද?

      Delete
    2. / ඈ අයියෙ, කොල්ලොත් මෙහෙම රතු වෙනවය ලැජ්ජාවට? /

      එහෙනං ආය කොල්ලොය කියල අමුතු ජාතියක්ය ආයෙ.. කොල්ලො කියල කියන්නෙත් බොල හෝමෝ සේපියන්ස් සේපියන්ස්ම තමයි..

      ඔය හැමෝම රතුවෙනව ඒ වෙලාවට...එකම වෙනස බොලා වගෙ කලු එවුන්ගෙ එහෙම පෙන්නෙ නෑ පැහැදිලිව..අන්න ඒකට මම...හෙහ්, හෙහ්, රතු වෙනව කියන්නෙ තට්ටෙ ඉඳල පල්ලෙහාට....තට්ටෙ ඉඳල.....

      / ඊලඟට දැං මේ මතුසම්බන්ධ කමෙන්ට් එකේ ඉතිරි ටික අපිට කියවන්න හම්බ වෙන්නෙ කවදද? /

      මෙතන බොලේ ඔප්ෂන්ස් තුන හතරක් තියනව කතාව ඉස්සරහට ගෙනියන්ඩ..කෝකද හොඳ කියල හිතා ගන්ට බැරුවයි මෙතනින් නැවැත්තුවෙ...

      1. වික්‍රම ගහනව නැතිවෙන්ට..බීල පුරුද්දකුත් නැති කෝඩුකාරයනෙ..ඒ කරල උදේ මුතූ අතු ගගා හිටපු ඉදල ඉඹ ඉඹ වැට ගාවට වෙලා ඉකි ගගහ අඬනව..ඒ විකල්ප අංක එක.

      2. විජේ හතර ගාතෙ දාල බුදු ඉස්තෝප්පුවෙම...වික්‍රම හෙමීට වැටෙං රිංගල එන මුතූලයි ඉස්තෝප්පුවට....ඒ කරල අර කලුවර කුලුනක් එහෙම බදාගෙන සිංදුවක් කියනව...

      ඇහැල ගහ මුලදි ලඳුනේ ඔබ මා වසී කලේ....
      බැහැල එන්න අනේ මා වෙත මුතු මා සොඳුරු නඟේ....

      ආන්න ඒක තමයි දෙක...

      3. අංක තුනට තමයි මගෙ මනාපෙ නං...ඔන්න රෑ දෙගොඩ හරියෙ වික්‍රම වැට ගාවට ඇවිල්ල මුතූට හෙමීට කතා කරනව. මුතුත් අනේ පව් නේද කියල හෙමිහිට අම්මලට හොරා එතනට යනව..වික්‍රම ඔන්න තමන්ගෙ හිතේ තියන දුක ඔක්කොම කියනව. මුතූ ඇස් දෙකේ කඳුලු පුරෝගෙන අහගෙන ඉන්නව...අන්තිමට වික්‍රම මෙහෙම කියනව..මුතූ මයෙ රත්තරං මට ඔයාගෙ අත්දෙක ඉඹින්න ඕන...අනේ මුතූ කෙල්ලත් අත් දෙක වට අස්සෙං දෙනව....වික්‍රම නැමිල මුතුගෙ අත් දෙක දිහ ඇරල අල්ල ඉඹිනව ..ඔන්න බොලේ බලාපංකො වෙච්චි දෙයක්...මෙච්චර වෙලා ඉවසං හිටියට හරියටම ඔය වෙලාවෙ වික්‍රමට කබරයා යනව. මුතූගෙ අත් දෙක පුරාම...

      ඉතිං සිත්තමියෙ..කියාපං බලන්ට විකල්ප තුනෙං උඹ කැමති කෝකටද කියාල???

      Delete
    3. ඔන්න බලන්නකො ඉතින්, කමෙන්ට් එකේ ඉතිරි ටික ගැන අහලා ආයෙ මටම ඒ ටික ලියන්න හිතුණනේ. ඒ අතරේ අයිය ඒකට උත්තරත් දීලා. මාත් කැමති අන්න අර තුන් වෙනි විකල්පෙට තමයි. :D ඔන්න කියවන්නකො එහෙනං මං ලියපු කමෙන්ට් කතාව:

      " ඔය කිව්වෙ ඔය කිව්වෙ……. ඔයාගෙ තර්ක හොඳයි ඔයාටම...ඉතිං ඔය විදිහට සිදුහත් කුමාරය බුදු වෙනව පණ පිහිටුවල අඳින්ට නං ඊට ඉස්සරවෙලා බුදුවෙලාම ඉන්ට එපාය...."

      අම්මප බලාගෙන යනකොට ඒකත් හරි තමයි....කටත් බාගෙට ඇරිච්ච විජේගෙ මූණ දැක්කම වික්‍රමට බකස් ගාල හිනා ගියා.

      විජේ වික්‍රම දිහාවට හැරුණා. "ඇති යාන්තං ඔහොමවත් ඩිංගක් හිනා උනා. හැබෑට මලේ මොකෝ කියන්නෙ?"

      "මං ඕවා පාවිච්චියක් නෑ අයියේ..." වික්‍රම හිනාවෙවීම කිව්වා.

      "දැක්කනෙ! මං කිව්වෙ! නාලාගිරියව අඳින්ඩ ආයෙ මලයා ඕවා කටේ තියන්ඩ ඕන නෑ, ඔයා බීපු වෙලාවක ඔයා දිහා බලාගෙන යසට ඒ පින්තූරෙ ඇඳගන්ඩ පුළුවං වෙයි!" කුසුම් එහෙම කියාගෙන ආපහු ගේ ඇතුලට ගියා.

      වික්‍රම අහක බලාගෙන හිනාව නවත්තගන්ඩ සෑහෙන මහන්සියක් ගත්තා.

      "පේනවා නේද මළයො, ඕං උඹටත් ලේසි වෙන් නෑ ඇහුණද!" විජේත් ඒ ටික කිව්වේ හිනාවක් එක්ක. "ඔයිට හපං පොඩි එකීගෙ කට!" ඒ ගමන වික්‍රමගෙ මූණට ආයෙමත් කළු වළාකුළක් පාවෙලා ආවා. "ඒ උනාට හරි හිත හොඳ එකී බං." විජේ විගහට එකතු කළේ ඒ මූණෙ ඇති වෙච්ච වෙනස්කම හින්දමයි.

      ඒත් වික්‍රම සද්දයක් නෑ.

      "හරි හරි, එව්වා අල්ලලා දාමු. උඹ සැර ජාති පාවිච්චියක් නැත්තං වරෙං සින්දුවක්වත් කියන්ඩ."

      "අද බෑ විජේ අයියේ..." වික්‍රම නැගිටින්න හැදුවේ ආපහු කාමරේට යන්න හිතාගෙන. ඉස්තෝප්පුවට වෙලා ඉන්දැද්දි අල්ලපු ගේ දිහා නොබලා ඉන්ඩ හරිම අමාරුයි.

      "කොහෙ යන්ඩද, ඔන්න ඔහොම හිටහං..." විජේ අයියා වික්‍රමගේ උරිස් දෙකෙන් අල්ලලා ආපහු ඉන්දෙව්වා. "හ්ම්, දැං කියාපං හොඳ සින්දුවක් ඔය අල්ලපු ගෙවල් වල අයගෙත් ඔළුව කැක්කුං සනීප වෙන්ඩ!"

      වික්‍රම විජේ අයියා දිහා බැලුවා. "තව කාටද ඔළුවෙ කැක්කුම?"

      "ඇයි දැං උඹ උදේ ඉඳං නිදං උන්නා කිව්වෙ හිසේ ඇම්මක් ඇවිදිං. සින්දුවක් කිව්වහම ඕවා හරි යයි..."

      වික්‍රම තව ටිකක් වෙලා විජේ අයියා දිහා බලං හිටියා. "එතකොට අල්ලපු ගෙදර අය ගැන කිව්වෙ."

      "ඒ නිකං බං. හ්ම්, ඉඳහං එහෙනං මං පටං ගන්ඩ... උඹත් එකතු වෙයං හරිද......"

      විජේ අයියගේ සංගීත නාදේ ඉස්තෝප්පුවෙන් මිදුලටත්, මිදුලෙන් අල්ලපු ගෙදරටත් ඇදිලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ. ඒ එක්කම මුහුන් වෙච්ච අනිත් කටහඬ කාගෙද කියලා හිතාගන්න අල්ලපු ගෙදර කාමරේ ජනේලෙන් හඳ දිහා බලං හිටි මුතූට අඳුනගන්ඩ ඒ හැටි අමාරු උනෙත් නෑ.

      ~ මතු සම්බන්ධයි ~

      Delete
    4. " ඔය කිව්වෙ ඔය කිව්වෙ……. ඔයාගෙ තර්ක හොඳයි ඔයාටම...ඉතිං ඔය විදිහට සිදුහත් කුමාරය බුදු වෙනව පණ පිහිටුවල අඳින්ට නං ඊට ඉස්සරවෙලා බුදුවෙලාම ඉන්ට එපාය...."

      '' අම්මප බලාගෙන යනකොට ඒකත් හරි තමයි....''

      කටත් බාගෙට ඇරිච්ච විජේගෙ මූණ දැක්කම වික්‍රමට බකස් ගාල හිනා ගියා.

      '' හරි හරි එව්වයින් වැඩක් නෑ...වරෙං බං කර්මාන්තෙ පටන් ගමු. ''

      '' විජේ අයියෙ..මේ....''

      වික්‍රම කෙඳිරි ගෑවෙ බෝතලේ එලියට වැඩැම්මුවාටත් පස්සෙ…..

      බෝතලේ එහෙම්මම අතේ තියාගෙන විජේ වික්‍රම දිහා බලාගෙන හිටිය...

      '' මට ඔව්ව වැඩිය පුරුදුත් නෑ...කොහොමත් වැඩිය බොන්ට නම් බෑ… ''

      '' හරි බං....වැඩිය බොන්ට ඕන නෑ...මමත් ආය එහෙම කරපට් වෙනකල් බොන්නෙ නෑ දැං...හෙහ්, හෙහ්,…...කුසුමෙ කැන්දන් ආවට පස්සෙ ඔය ඉඳහිට පොඩි ආතල් එකකට දෙකක් තුනක් හීන්වට දාගෙන ඩොලැක්කෙටත් තට්ටුවක් දාගෙන සිංදුවක් දෙහෙකුත් කියාගෙන ඉන්නව මිසක …''

      '' හරි අයියෙ එහෙනම් හෙමිහිට කරමුකො..''

      වික්‍රමත් අනුමැතිය දුන්න...

      අප්පච්චි හවහ කඩමණ්ඩිය පැත්තෙ ගියා ගියාමයි..තාම නෑ....අම්ම තාම කුස්සියෙ...උන්දැට ඉතිං කුස්සියෙ ඕන තරං වැඩ තියෙයි...උයල ඉවර උනාමත් එලියට එන්නෙ තව වරුවක් කුස්සිය ඇතුලෙ මොන මොනව හරි කර කර ඉඳලයි.

      මුතූ ඉස්තෝප්පුවෙ අප්පච්චිගෙ හාන්සි පුටුව ලඟ බිම ඉඳගෙන ඔහේ බලා හිටිය. හිතට නොහිතෙන දෙයක් නැති තරම්....පුංචි සන්දියෙ අක්ක එක්ක කරපු දේවල්....අක්කගෙ මඟුල් ගෙදර....මේ ඊයෙ පෙරේද පන්සලේ වෙච්චි දේවල්...අද උදේ වැට ලඟ වෙච්චි දේවල්...එකක්ද දෙකක්ද...තුනක්ද......

      වැට උඩින් සැරින් සැරේ පාවෙලා ආපු කතාබහක අඬක් මුතූගේ කනට වැටුනට හිතට නම් වැටුනෙ නෑ. විජේ අයියලගෙ ගෙදර ඉස්තෝප්පුවෙන් ඒ කතා බහ ඇහෙන්නෙ....වික්‍රමයි විජේ අයියයි වෙන්ටැති...

      එක පාරටම ඒ පැත්තෙං ආපු කතා බහ නැවතිලා.....ටිකකින් හීංවට තාලෙ අල්ලගෙන ඔන්න ආව ඩොලැක් පාරක්...විජේ අයියගෙ ඩොලැක් එක...මනුස්සය ඕක එලියට ගන්නෙ රහමෙර පොඩ්ඩක් කටේ තිබ්බ දවසට තමයි....මුතූගෙ හිතේ විජේ අයිය ගැන ඇති උනේ තරහක්..අර මනුස්සයටත් බොන්ට දුන්නද දන්නෙ නෑ..ඉඳපං මම එයාට හෙට කතා කරන්නං කං දෙකේ ඇඟිලි ගහ ගන්ට...අක්කණ්ඩි තරහ උනත් මයෙ මොකෝ...මුතූ දත්මිටි කෑවා...

      ඩොලැක් සද්දෙත් එක්කම ඊ ළඟට වැට උඩින් ගලා ආවෙ විජේ අයියගෙ කට හඬ...

      '' රුවක් ඇඳෙනවා කවුදෝ එනවා……..මීවිත ඇඳිරිය දෑස වසනවා,''

      මුලිම්ම අහපු දා ඉඳලම මුතූත් ආසම සින්දුවක්...විජේ අයියට අපූරුවට සිංදු කියන්නත් පුලුවනි..මුතූ එහෙම්මම බිත්තියට හේත්තු වෙල ඇස් දෙකත් පියා ගත්ත...

      ඒත් ඒ එක්කම මුතූගෙ ඇස් දෙකත් ඇරුන. බිත්තියට හේත්තුවෙලා හිටපු එක කෙලින් වෙල ඉන්ද උනා..ඒ ඊලඟට ඇහුන කටහඬ නිසා...

      '' හද පොදි බැඳි දුක දියකර පාකර ඔබේ ලොවට මා……. මොහොතින් එනවා… ''

      ආයෙම බිත්තියට හෙත්තු වුනා මුතූ……...ඇස් තද කරල පියාගත්තෙ ඇසි පිය අතරින් කඳුලු ගුලි දෙකක් පනින්ට ඉඩ දීල.....

      ඩොලැක් නාදෙට අනුපානව මියුරු ගීත නාදයත් වැට උඩින් පාවෙලා ඇවිල්ල මුතූගෙ කන්දෙකේ දෝංකාර දුන්නෙ හිතටත් මොකක්දෝ රහසක් කියන ගමන්...

      රුවක් ඇඳෙනවා කවුදෝ එනවා……..මීවිත ඇඳිරිය දෑස වසනවා,
      හද පොදි බැඳි දුක දියකර පාකර ඔබේ ලොවට මා……. මොහොතින් එනවා...

      සොඳුරු යොවුන්විය මල් මඟ මුල ඉඳ කිම තොල මී විත පුරවන්නේ,
      නුරා විරහ ගිනි නිවා දමන්නයි සුරා විතින් මා දෙතොල තෙමන්නේ,

      නැඟුනු නුරා ගිනි මී පොද වැටිලා හතර අතින් දළු ලා එනවා,
      අවන් හලේ මී විත තනි කරලා වරෙන් මලේ පියවර නඟලා,

      රුවක් ඇඳෙනවා කවුදෝ එනවා……..මීවිත ඇඳිරිය දෑස වසනවා,
      හද පොදි බැඳි දුක දියකර පාකර ඔබේ ලොවට මා……. මොහොතින් එනවා.......

      Delete
    5. ලස්සන සින්දුවක් අයියේ. මං මීට කළින් අහලම නෑ. කතාවට හරි අපූරුවට ගැලපෙනවා. :)

      Delete
    6. මේ සිංදුව මීට කලින් අහලා නෑ කිවුවා.!!??

      Delete
  4. /*මං ඊයෙ පෙරේද දෙකේම බලන් හිටිය නගා නිකමටවත් පන්සල පැත්තෙ ආවෙත් නෑ... හවස් අතේ මං ඇහැළ ගහ හරියෙත් බැලුව නගා ඉන්නවද කියල....*/

    පව් අනේ....... දුක හිතුණා. :(

    ඊලඟ කොටසත් විගහට දාන්න අක්කේ. ඊට පස්සෙ තවත් කොටසක් ලියන්ට. :)

    ReplyDelete
  5. " ~ ලස්සන ගම්මානේ - පින්බර රන් මැණිකේ
    බාලේ හිත බැන්ඳා මා කෙරේ
    මතකේ ඈත මගේ අද ඊයේ වගේ
    කුඹුකේ දොළ ලන්දේ ආදරේ ~ "

    ReplyDelete