Sunday 14 October 2012

සෙවණැළි අතරින්... 3




"සහේළි, ඔයාට වෙන්න ඇති කෝල් එක," සමන්තා ආන්ටිත් මේසෙට ඉඳගන්න ගමන් කිව්වා.

මේසේ උඩට වැටුණ හැන්ද ආපහු බත් දීසියෙන් තියපු සහේළි පුටුවෙන් නැගිට්ටෙ වතුර උගුරු තුන හතරකුත් බීලයි. හිත ඇතුළේ කොයිතරම් තැති ගැනීමක් තිබ්බත් එයා සාමාන්‍යයෙන් ඒ බව පිටට පෙන්නනවා අඩුයි. ඒ නිසා එයාගෙ මේ වෙනස යාළුවො දෙන්නට වගේම සමන්තා ආන්ටිටත් හොඳට පෙනුනා. දුරකථනය දිගටම නාද වෙනවා.


"මං ගන්නද දුව ෆෝන් එක?" ආන්ටි ඇහුවෙ ඒ වෙනස නිසයි.


"එපා ආන්ටි, කමක් නෑ. මං ගන්නං."


මේරි ජනෙල් එකින් එක වහන සද්දෙට ඇහුම්කන් දෙන ගමන් සහේළි දුරකථනය ලඟට ගියා. ඒ දුරකථනයේ නාදයත් යටපත් කරගෙන ඇහෙන තමන්ගේම හද ගැස්මේ වේගය අමතක කරන්න ඕන උන නිසා. ලොකු හුස්මක් ගත්ත සහේළි රිසිවරය ඉස්සුවා. "හෙලෝ?" එයාගෙ කටහඬේ තිබුණේ කුතුහලයත්, කෝපයත්, තැතිගැන්මත් මිශ්‍ර වෙච්ච කරදරකාරී බවක්.


"හෙලෝ සහේළි!!!" බලාපොරොත්තු නොවිච්ච හඬක්.


"විජිත්!!!" ඒ වතාවෙදි සහේළිගේ කටහඬේ පිරිලා තිබුණේ පුදුමයත්, සැනසීමත්, සැහැල්ලුවත්. ඒ එක්කම පුංචි සතුටකුත් එකතු වෙලා තිබ්බද කියලා එයා හිතන්න ගත්තේ රිසිවරය ඇතුළෙන් ටික වෙලාවක් යනකල් මුකුත්ම නෑහිලා ගිය නිසා. "ඔයා කොළඹ ආවද?" අන්තිමේදි සහේළි තමන්ගේ හඬ පාලනය කරගෙන ඇහුවා. 


බලවර්ධන ඇමතිවරයා එක්ක සාකච්ඡාව පැවැත්වුනාට පහුවදා විජිත් නුවර ගියේ මාලකගේ සෞන්දර්ය තීරුවේ මේ දවස් වල ලියවෙන දුම්බර මිටියාවතට අදාළ ඡායාරූප එකතු කරගන්න. අවුරුදු ගණනාවක ඉඳන් සෞන්දර්යාත්මක ඡායාරූප ශිල්පියෙක් විදිහට කටයුතු කරපු විජිත් ඒ පාරෙන් තරමක් බැහැර වෙලා දේශපාලනික හා කාලීන සිදුවීම් ඡායාරූපගත කරන්න යොමු වුනේ මීට අවුරුදු තුනකට කළින් තමන් ඒ අංශයේ පුවත්පත් වාර්ථාකාරිණියක් විදිහට ලක්සරණට එකතු වුනාට පස්සෙ කියලා සහේළි දැනගෙන හිටියා. ඇයට බොහෝ විට වැඩ කරන්න ලැබුණේ ඔහුත් එක්ක. අවුරුදු තුනක් තිස්සේ දෙන්නා අතර ඇති වෙච්ච මත ගැටුම්, බැණ අඬගෑම්, රණ්ඩු සරුවල් අනන්තයි. ඒත් ඒ දෙන්නගේ එකතුවෙන් පළ වන ලිපි වලට ලැබෙන ප්‍රතිචාර බොහොම ඉහළයි. ඒ දෙන්නාව සම්බන්ධ කරලා කාර්යාලයේ හිතවතුන් කරන විහිළු තහළු වලට විහිළුවෙන්ම මූණ දීලා හිනා වෙලා ඉන්නවා මිසක කාර්යාල සගයෙකුට වඩා හිතවත්කමකින් විජිත්ව තමන්ගේ ජීවිතයට සමීප කරගන්න සහේළි කැමති උනේ නෑ. ඒ විජිත්ගේ වරදක් නිසා නොවුනත් ඒ හේතු කාටවත් පැහැදිලි කරන්න එයා පෙළඹුනේ නෑ. පවුලේ වැඩිමහල් දරුවා විදිහට තමා මත පැවරිලා තියෙන පවුලේ බර, තාමත් ඉගෙනගන්න නංගීගේත් මල්ලීගේත් අනාගතය, තමන්ගේ රැකියාව තුළ තියෙන වගකීම් සහගත බව සහේළි තමන්ගේ හිත ඇතුළේ ගොඩනගාගත්ත සාධාරණීකරණය කිරීමේ හේතු. ඒත් ඒ හැම දේටම වඩා විශ්ව විද්‍යාල ජිවීතයේදී ඇරඹුණු කුළුඳුල් ආදරය ඒ ජීවිතය තුළදීම අවසන් වුනාට පස්සේ ඇති වෙච්ච සන්තාපය ආපහු අත්විඳින්න තිබුණ බය එයාගේ හදවත විජිත්ගෙන් ඈත් කරලා තියාගන්න හේතු උනා. ඒත් මේ වෙලාවේදී එයාගෙ කටහඬ ඇහුණාම දැනුණු සැනසීම? එක්කෝ ඒ සහේළි බලාපොරොත්තුවෙන් හිටපු ගුප්ත දුරකථන ඇමතුම නොවුන නිසා ඇති වුන සැනසීමක් විතරද?

තාමත් විජිත්ගෙන් උත්තරයක් නෑ. මේ උදේ ඉඳන් කෝල් දිදී විහිළු කරන්නේ මෙයාමද? සහේළිට මොහොතකට හිතුණා. "විජිත්???"


"මං එනවා ඔයාව හම්බ වෙන්න." කවදත් සැහැල්ලුවෙන් කතා බහ කරන විජිත්ගේ කටහඬේ නුපුරුදු කලබලයක්.


"දැන්?" සහේළි ඔරලෝසුව දිහා බැලුවා. රෑ නවයහමාරයි. ඒ එක්කම දුරකථනය විසන්ධි උනා. "හෙලෝ? හෙලෝ විජිත්?" සද්දයක් නෑ. මුකුත් හිතාගන්න බැරුව රිසීවරය ආපහු තිබ්බ සහේළි කල්පනාකාරී මූණෙන් ආපහු කෑම මේසේ ලඟට ආවා.


"කවුද දුව?" සමන්තා ආන්ටි ඇහුවා.


"ආන්ටි, දැන් විජිත් එනවා කිව්වා.. අපේ ෆොටෝග්‍රැෆර්... ආන්ටිට මතකයිනේ?"


"මේ වෙලාවෙ?"


"ඔව්, එයා වෙන මුකුත් කිව්වෙ නෑ. මෙහෙ එනවා කියලා ෆෝන් එක තිබ්බා. කමක් නැද්ද ආන්ටි?"


"කමක් නෑ ඉතින්, ඒ ළමයා කළිනුත් මෙහෙ ඇවිල්ලා තියෙනවනේ." ආන්ටි කල්පනාකාරී හඬින් කිව්වා. "ඉතින් දුව ඉඳගෙන කාලා ඉන්නකෝ."


සහේළි තව ටිකක් වෙලා පුටු ඇන්ද අල්ලගෙන එහෙමම කල්පනා කර කර හිටියා. "ඉන්න ආන්ටි, මං ෆෝන් එක අරන් එන්නං." එයා ඉක්මන් ගමනින් පඩි පෙළ නැගලා උඩට ගියා. අත්බෑගය ඇතුලේ තිබුණ ජංගම දුරකථනයේ බැටරිය බැහැලා ගිහින් ඕෆ් වෙලා. ඒක විදුලි පේනුවට සම්බන්ධ කරලා ක්‍රියාත්මක කරපු සහේළි Missed Call Alerts එකින් එක තිරයේ සටහන් වෙන හැටි බලාගෙන හිටියා. පිළිතුරු නොදුන් ඇමතුම් විසි හතක්! එයින් දාසයක්ම විජිත්ගේ ජංගම දුරකථනයෙන්. තව අටක් අඳුරන්නේ නැති ස්ථාවර දුරකතන නොම්බර දෙකකින්. ඉතිරි තුන Unknown Number එකෙන්. සහේළි විජිත්ගේ ජංගම දුරකථන අංකයට ඇමතුමක් ගන්න උත්සාහ කළා. වැඩ කරන්නෙ නෑ. ඕෆ් කරලා. එයා දුරකථනයත් අරගෙන ආපහු පහළට ආවා. ඒ එද්දි මේසේ හිටියේ තිළිණියි, ප්‍රසාදියි විතරයි. සමන්තා ආන්ටි මේරිත් එක්ක කුස්සිය අස් පස් කරන සද්දේ ඇහුණා.


"කාලා ඉන්නකො සහේළි," එයා ජනේලේ අතරින් පාර දිහාවට එබිකම් කරනවා දැක්ක තිළිණි කිව්වා.


"කොල්ලා එනවා කිව්වට පස්සෙ මෙයාට කන්නවත් සිහියක් නෑ." ප්‍රසාදිගේ කතාවට සහේළි ඇවිල්ලා මේසෙන් වාඩි උනත් වෙනදා වගේ මූණ රතු කරගෙන යාළුවො දෙන්නත් එක්ක එකට එක කියන්න ගියෙ නෑ.


"මොකද කෙල්ලෙ අද මූණ එල්ලගෙන?" ආයෙම තිළිණි.


"මං විහිළුවක්නෙ කළේ ළමයෝ," ප්‍රසාදිත් වැලමිටෙන් ඇන්නා.


"විජිත් ලොකු කලබලයක හිටියේ. මොකක් හරි ප්‍රශ්නයක්ද දන් නෑ."


"දැං එයිනෙ, ආවම අහගන්න බැරියැ."


"ඒකනෙ, දැං කාලා ඉන්න."


ඒ එක්කම ගේට්ටුව ලඟින් ඇහුනේ යතුරුපැදියක සද්දෙ. විදුලි වේගෙන් පුටුවෙන් නැගිට්ට සහේළි දුවගෙන ගිහින් දොර ඇරියා. ගේට්ටු පළුවක් ඇරලා යතුරුපැදිය වත්ත ඇතුළට තල්ලු කරලා ආපහු ගේට්ටුව වහලා ආපු විජිත් ගෙට ඇතුල් උනේ හෙල්මට් එක පිටින්මයි.


"අපි ඉස්තෝප්පුවෙ ඉමු, ඇතුළෙ රස්නෙයිනේ," සහේළි කිව්වේ ගැහැණුන් විතරක් ඉන්නා තැනට මේ වෙලාවේදී පිරිමියෙකු ඇතුල් වනවාට සමන්තා ආන්ටි කැමති වෙයිද කියලා දන්නෙ නැති නිසයි. ඒත් ඒ වචන ඇහුන් නෑ වගේ සහේළිව අහකට කරලා දොර වහපු විජිත් ලඟ තිබ්බ ඇඳි පුටුවෙන් වාඩි වෙලා හෙල්මට් එක ගැලෙව්වා. ඊලඟට එක දිගට තත්පර ගාණක් සහේළි දිහාම බලං හිටියා. මේ විජිත්ගේ විදිහ නෙවෙයි. මූණේ හිනාවකුත් නෑ. කළුත් වෙලා. සහේළි කෑම මේසේ හිටපු යාළුවො දෙන්නා දිහා බැලුවා. ඒ දෙන්නා බර කතාවක. එයා ආපහු විජිත් දිහාවට හැරුණා. අන්තිමේදී මහන්සිය පිරිච්ච බර සුසුමක් පිට කරපු විජිත් සීලිම දිහා බලාගත්තා.


"ඉන්න මං ආන්ටිට කියලා එන්නං ඔයා ආවා කියලා." සහේළිට විජිත්ගෙන් පළ වෙච්ච නුපුරුදු බව දරාගන්න අමාරු තරම් වුනා. එයා කුස්සියට යන්න හැරුණත් එතකොටත් සාලේ කතාබහ ඇහිලා සමන්තා ආන්ටි එළියට ඇවිත්. "කොහොමද දරුවෝ?" ආන්ටි විජිත්ගෙන් ඇහුවා.


"ආන්ටි, සමාවෙන්න ඕනෙ මේ වෙලාවෙ කරදර කළාට. මේ ඔෆිස් එකේ හදිසි වැඩකට සහේළිව හම්බවෙන්න එන්න උනා මේ රෑම." විජිත් පුටුවෙන් නැගිටලා කිව්වා.


"ඒකට මක් වෙනවද ඉතින්. මේ ළමයා රෑට කාලා එහෙමද ඉන්නෙ?"


"බඩගින්නක්නං නෑ, මට වතුර එකක් තිබ්බොත් ඇති..."


"හොඳයි මං එවන්නංකො. වැඩිය වෙලා ගන් නැතුව එහෙනං හදිසි වැඩ ටික විගහට ඉවර කරගන්නකෝ. ආයෙ හෙට ඔෆිස් එකේදි හම්බ වෙන එකනේ."


"හොඳයි ආන්ටි," ඒ වතාවෙදි උත්තර දුන්නේ සහේළි. ආන්ටි ආපහු කුස්සියට ගියා. ඒ පස්සෙන් යාළුවෝ දෙන්නත් මේසෙන් නැගිටලා ගියා. විජිත් කළින් ඉඳන් හිටි තැනින්ම වාඩි වෙන අතරේ සහේළි ඒ ලඟ පුටුවෙන් වාඩි උනා.


"මොකද්ද විජිත් හදිසි වැඩේ? ඔයා කොයි වෙලේද නුවර ඉඳන් ආවේ?"


"ඔයාගෙ ෆෝන් එකට මොකද වෙලා තියෙන්නෙ? අන්න ඒක කියලා ඉන්න මට ඔක්කොටෝම කළින්." 


විජිත් මීට කළින් කවදාවත් සහේළිට එහෙම කතා කරලා නෑ. එයාටත් ටිකක් තරහා ගියා. "ඒක බැට්‍රි බැහැලා ඕෆ් වෙලා තිබ්බේ. ඔය ගැන අහන්නද මේ හදිසියෙ ආවෙ?"

ඒ වෙලාවෙදි මේරි අරන් ආපු වතුර වීදුරුව එක හුස්මට බීගෙන බීගෙන ගිය විජිත් හිස් වීදුරුව ආපහු බන්දේසිය උඩින් තියලා කට පිහිදගත්තා. මේරී එතනින් ගියාට පස්සේ විජිත් ආපහු කතා කළා. ඒ කළින්ට වඩා පොඩ්ඩක් තැන්පත් වෙච්ච කටහඬකින්. "දන්නවද මං කී වතාවක්නං කතා කරන්න හැදුවද කියලා?"


"ඔව්! දාසය වතාවක්!" සහේළිගේ කේන්තියනං අඩු වෙච්ච පාටක් නෑ.


විජිත් ඔළුව වැනුවා. "වැරදියි. මොබයිල් එකෙන් අරන් ඊටපස්සෙ පාරෙ කොයින් බොක්ස් දෙකකිනුත් ගත්තා. කෝල් විසි පහක්වත් තියෙන්න ඇති."


ඒ කියන්නේ අර අඳුනන්නේ නැති නොම්බර දෙක වෙන්න ඕනෙ. "තිබ්බා තමයි තව කෝල් වගයක්."


"දන්නවද මං ඔයා ගැන කොච්චර බය උනාද කියලා?" ඒ ගමන විජිත් ඇහුවේ සහේළිගේ මූණටම එබිලා.


"මේ මොන කෝලමක්ද?" සහේළිට කියවුනා. "මේ විජිත්-"


"සහේළි," විජිත් එයාගේ කතාවට බාධා කරමින් කතා කළා. "මේ අහන්න. මං නුවර ඉඳන් ආවෙ අද හවස, මේ තාම එන ගමන්. මගෙ ගේ ඔක්කොම අවුස්සලා වනසලා දාලා."


සහේළිගේ ඇස් දෙක ලොකු වුනා. "ඒ කාගෙ වැඩක්ද?"


"තාම දන් නෑ. ඒ අස්සේ අද හැන්දෑවේ ඉඳං මගෙ ෆෝන් එකට Unknown Number කියලා කෝල් එනවා. ආන්සර් කළාට මොකෙක්වත් කතා කරන්නෙත් නෑ."


සහේළිගෙ ඇස් දෙක තවත් ලොකු වුනා. "මටත් අද උදේ ඉඳන් ආවා. මෙහෙටත් උදේ කතා කරලා තියෙනවා. ඔයා කතා කරද්දිත් මං හිතුවේ ඒ කෝල් එකක් කියලා."


විජිත්ගේ මූණ තවත් කළු උනා. "මං හිතුවා හරි එහෙනං."


"ඇයි, මොකද්ද?"


"හවස නුවර ඉඳං ඇවිල්ලා ගෙට ඇතුල් වෙච්ච ගමං මට පිස්සු හැදුනා. ලාච්චු, කබඩ්, අල්මාරි ඔක්කොම අවුස්සලා. ඇඳ, පුටු, මේස ඔක්කොම අනිත් පැත්ත පෙරළලා. ඒ අහළ පහළ ගෙවල් වලත් කවුරුත් දවල්ට නෑනේ. මං පාරේ මුලම ගෙදර ඉන්න මාමලගෙන් ඇහුවා දවල් කවුරුත් ඒ පැත්තට එනවා දැක්කද කියලා. මාමා දැකලා තියෙනවා කහ ඉරි දෙකක් තියෙන කළු ජීප් එකක් ඒ පැත්තට යනවා. ඒගොල්ලො ඒ හැටි ගණංගෙන නෑ. මටනං හිතෙන්නේ ඒ ජීප් එකේ ආපු උන් තමයි ඒ වැඩේ කරන්න ඇත්තේ."


"මුකුත් නැති වෙලාද?"


"මට දැනුන තරමින් මුකුත් නැති වෙලා නෑ. අල්මාරියෙ යට ලාච්චුවෙ දහදාහක් විතර තිබ්බා, ඒකත් එහෙමම තියෙනවා."


"ඒ මොන හොරු ජාතියක්ද ඒ? ඔයා පොලීසියට කිව්වද?"


"ඔව්, මං එහෙමම ගියෙ පොලීසියට. ඒ අතරෙදි තමයි ඔයාට ගන්න ට්‍රයි කළේ."


"ඒ හදිසියෙ?"


"මට හොඳට මතකයි ඒ ජාතියෙ ජීප් එකක් එදා ඇමතියගෙ මිදුලෙ තිබ්බා කියලා."


"ඈ???"


"ඔව්. ඔයා දන්නවනේ ඔය ඇහැට කනට පේන වාහන මට හොඳට මතක හිටිනවා කියලා. ඒකයි මට හිතෙන්නේ මගෙ ගෙට පැන්නෙයි, අපිට කෝල් දෙන්නෙයි එකම කට්ටියක් කියලා."


"ඇමතිගෙ මිනිස්සු?"


"හ්ම්."


"ඒත් ඇයි ඒ?"


"දන්නෙ නෑ."


ඒ මොහොතේ එක සැරේටම ඇහෙන්න ගත්ත සහේළිගේ ජංගම දුරකථනයේ සද්දෙට දෙන්නම තිගැස්සිලා ගියා. විජිත්ගේ මූණ දිහා එක සැරයක් බලලා මේසය ලඟට දුවං ගිය සහේළි දුරකථනය අරගෙන ආවා. ආයෙමත් ඇමතුම Unknown Number එකෙන්.


"ආන්සර් කරන්න," විජිත් කිව්වා.


සහේළි දුරකථනය කන ලඟට ගෙනල්ලා හෙමීට කොළ පාට බොත්තම එබුවා.


"--වෙනවා... අරූගෙ ෆෝන් එකනං ඕෆ්.... හෙහ් හෙහ්..... මුං දෙන්නා හොඳට බය---"


සහේළි වචනයක්වත් කතා කරන්න කළින්ම දුරකථනය විසන්ධි උනා. එයාට ඇහිච්ච වචනයක් ගානේ එයා විජිත්ට කිව්වා.


"මුං අපිව බය කරන්න හදන්නේ," විජිත් කිව්වා.


"හ්ම්. මං හිතන්නේ ඒ ටික මට ඇහුණා කියලා මිනිහට තේරුණා. ඒකයි ටක් ගාලා කට් කළේ."


"මගෙ ෆෝන් එකත් ඕන් කරලා බලමුද? සමහරවිට මටත් ගන්න ඉඩ තියනවා." සාක්කුවෙන් ජංගම දුරකථනය එළියට ගත්ත විජිත් ඒක ක්‍රියාත්මක කළා. ඒ අතරෙදී එළියට ආපු සමන්තා ආන්ටි කෑම මේසය ලඟ වටයක් දෙකක් කැරකිලා ඔරලෝසුව දිහාත් බලලා ආයෙත් ඇතුළට ගියා. සහේළිත් වෙලාව බැලුවා. දහයයි විසි පහයි.


"විජිත්, ඔයා කාලත් නෑ නේද? කෙළින්ම නුවර ඉඳං ආපු ගමන්නෙ."


"මට බඩගිනි නෑ සහේළි. දැං අපි මේකට මොකද කරන්නේ? මුන් වචනයක්වත් කතා කරන්නෙත් නෑනේ."


"ඔයා දැං අද රෑ කොහෙද ඉන්නෙ?"


"ගෙදර තමයි, වෙන කොහෙද?"


"අනේ විජිත්," සහේළිට කියවුනා. එක සැරයක් හොරු පැනපු ගෙදර විජිත් තනියෙන් ඉන්නවට සහේළි කැමති උනේ නෑ. ඒත් තමන් එයා ගැන කරදර වෙන බව විජිත්ට පෙන්නන්නත් කැමති උනෙත් නෑ. "පොලීසියට ඇඟිලි සලකුණු ගන්න ඕන වෙයි. ඔයා ගෙදර හිටියොත් ඒවා මැකිලා යයි."


"එහෙනං මං ඔෆිස් එකට යන්නං."


"අද කවුරුත් නයිට් ඉන්නවද?"


"ඇති."


"අපි මේ ගැන හෙට බොස් එක්ක කතා කරමුද?" එක සැරේම සහේළිට දෙයක් මතක් උනා. "මට දැන්නෙ මතක් උනේ. අද උදේ යමුනාත් මේ ඇමතිගෙ සාකච්ඡාව ගැන අමුතු කතාවක් කිව්වා."


"මොනවද කිව්වෙ?"


"දේශපාලකයොත් එක්ක වැඩ පරිස්සමෙන් කියලා කිව්වා."


"මොළේ ඇති කෙල්ල. ඇත්තනෙ කියලා තියෙන්නේ."


සහේළිගේ එරවිල්ල දැකපු විජිත්ගේ මූණට පුරුදු කවට හිනාව යාන්තමින් ආවා.


සමන්තා ආන්ටි ආයෙත් ඒ පැත්තට ආවා. "දෙන්නා ලොකු වැඩක් වගේ?"


"දැං ඉවරයි ආන්ටි," සහේළි කිව්වා.


"දුවත් තාම කෑවෙ නෑ කියලා මට ප්‍රසාදිලා කිව්වා. අර කෑම වැඩිපුර තියෙන එකේ දෙන්නත් එක්කම කාලා එහෙනං මේ ළමයව පිටත් කරලා ඇරියනං හොඳයි ඉක්මණට." ඊට පස්සෙ ආන්ටි හැරුණේ විජිත් දිහාවට. "පුතාගෙ ගෙවල් කොහෙද? දැං රෑ තිස්සෙ යන්නත් එපැයි."


"මං දැන් යන්නෙ ඔෆිස් එකට ආන්ටි. අද අරං ආපු ෆොටෝස් වලින් හෙට ප්‍රින්ට් එකට යවන ඒවා තෝරන්න තියෙනවා."


"හ්ම්, එහෙනං කාලා හිටියනං." සමන්තා ආන්ටි එහෙම කියාගෙන ආපහු ඇතුළට ගියා.


"කමු විජිත්?"


"කමුකො එහෙනං." විජිත් පුටුවෙන් නැගිට්ටා.


කෑම කන අතරෙදී දෙන්නා කතාබහ කළේ විජිත්ගේ නුවර ගමන ගැන. ටිකෙන් ටික බඩ පිරෙද්දී ආපහු පුරුදු සැහැල්ලු මූණුවරට ආපු විජිත් වැඩි වැඩියෙන් කතා කළේ නුවරදි දැකපු ලස්සන ගෑණු ළමයි ගැන. ඒ වෙලාවට සහේළි කිසිම සද්දයක් නැතුව පිඟාන දිහාම බලාගෙන කෑම කෑවා. අන්තිමේදී කාලා බීලා ඉවර වෙලා විජිත්ට එහෙන් පිට වෙන්න වෙලාව ආවා.


"එහෙනං මං ගිහිං එන්නං. ආන්ටිටත් කියන්න." විජිත් හෙල්මට් එක අතට ගත්තා.


තව පැය අටකින් නවයකින් ආපහු විජිත්ව හම්බ වෙනවා වුනත් සහේළිගේ හිතට දැනුණේ මහා සාංකාවක්. "පරෙස්සමෙන් විජිත්."


"ඔයත් පරිස්සමෙන් ඉන්න." 


කොයි තරම් මග ඇරලා ඉන්න උත්සාහ කළත් විජිත් සහේළිගේ ඇස් දෙක දිහාම බලාගෙන ඔහොම කතා කියන කොට සහේළිගේ හදවතට උඩ පනින්න හිතෙන එක එයාට නවත්තගන්නම බෑ. "ඔෆිස් එකට නේ යන්නේ?"

"ඔව්." විජිත්ටත් එතනින් යන්න හිතක් නැති පාටයි.


"ඇත්තටම නිදිමරාගෙන කරන්න වැඩ තියෙනවද? ආන්ටිට කිව්වෙ?"


"ම්ම්, වැඩනං තියෙනව ඉතිං ඕන තරං. නිදිමරන කොට කෝපි එකක්වත් හදලා දෙන්න කෙනෙක් හිටියනං..."


"මං ටක් ගාලා හදලා දෙන්නද ෆ්ලාස්ක් එකකට දාලා?"


එදා පළවෙනි වතාවට විජිත්ගේ පුරුදු හිනාව මූණේ මතු වුනා. "මං ගැන දුකත් හිතෙනවා නේ එහෙනං?"


"වැඩේමයි!" සහේළි අහක බලාගත්තා. නහයයි කන් දෙකයි රත් වේගෙන එන බව දැනුණත් මේ රෑ ඕක විජිත්ට පේන එකක් නැති වෙයි කියලා එයා හිතුවා.


"කෝපි ඕන් නෑ සහේළි. මං තවත් මෙතන හිටියොත් ඔයාගෙ ආන්ටි මාව එළවන්නෙ කොස්සත් අරන් ඇවිල්ලා, මං දන්නවා."


"ඔෆිස් එකට ගිහින් මට මැසේජ් එකක් දානවද?" සහේළි ඇහුවෙ අහක බලාගෙන ගොත ගගහා. පියාඹන්න ඉන්න කුරුල්ලට තටු හයි කළා වගේ විජිත්ට දැනෙයිද දන් නෑ කියලා සහේළි එයා දිහා හොරෙන් බැලුවා.


"මැසේජ් එකක්? මොනවා කියලද? අයි ලව් යූ කියලා?"


"නිකං ඉන්නව. මැසේජ් ඕන් නෑ."


විජිත් සුපුරුදු සමාව ඉල්ලීමේ ඉරියව්වෙන් අත් දෙක ඉස්සුවා. "හරි හරි ළමයෝ - හපොයි සොරි වැරදුනා සහේළි - මං එවන්නංකෝ මෙන්න මෙහෙම: මයි ඩියරස්ට් ස්වීට් මිස් සහේලි, අයි අරයිව්ඩ් හියර් සේෆ්ලි. සො යූ කැන් ස්ලීප් නව් හැපිලි."


විජිත් කවියක් වගේ ඒක කියවගෙන ගිය විදිහට සහේළිට ඒ පාරනම් හිනාව නවත්තගන්න බැරි උනා. ඒත් ඒ එක්කම ඒ හිනාව නතර උනේ එක සැරේම විජිත්ගේ ජංගම දුරකථනය නාද වෙච්ච නිසා. විජිත් දුරකථනය සාක්කුවෙන් එළියට ගත්තා. Unknown Number. විජිත්ගේ හිනාවත් අතුරුදහන් උනා. "හෙලෝ?" එයාගෙ කටහඬට ආයෙමත් රළු බවක් එකතු වුනා. ඒත් ඒ වතාවේ දුරකථනයේ අනිත් පැත්තෙන් කවුරු හරි කතා කරන සද්දෙ සහේළිට ඇහුණා. විජිත් තත්පර ගාණක් ඒකට කන් දීගෙන හිටියා. "ඔය කවුද කතා කරන්නෙ කියනවද කරුණාකරලා?" විජිත් රළු හඬින්ම ඇහුවා. එයාගෙ ඇස් පුදුමයෙන් ලොකු වෙන හැටි සහේළි ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටියා. අන්තිමේදි දුරකථනය පහත දාපු විජිත් තවත් මොහොතක් ඒ දිහා පුදුමයෙන්ම බලාගෙන හිටියා. "උන්ට ඕනෙ ෆොටෝස්!" විජිත් මුමුණන හඬ සහේළිට ඇහුණේ යන්තමින්.


මතු සම්බන්ධයි

10 comments:

  1. දැන් බලනකොට මගේ කොටස ලඟින් පටන් ගත්තා වගේ දැනෙනෙවා මේ කතාවත්. රවිගේ එකේ මුල් කොටසේ නැති සම්බන්දයක් මේකේ තියනවද කියලත් හිතෙනවා. ලස්සනයි සිත්තමියේ. මම කල්පනා කරන්නේ අපි කොහොමද මෙහෙම එක විදියට හිතන්නේ කියලා....:)

    බලමු අනෙක් තුන්දෙනාගේ කතා....

    ඔයා නියමෙට කතාව ආදරේ පැත්තටත් හරවලා තියනවා . මම දැන් පොඩි ලමයෙක් වගේ බලා ඉන්නේ අන්දර මල්දම කියවන්ට හී හී..

    ReplyDelete
    Replies
    1. ඔව් පොඩ්ඩි අක්කේ. ඔයා නවත්තපු තැනින් පටන් ගන්න පුළුවන් උනේ මට රවි අයියා ලස්සනට පසුබිම සකස් කරලා දීපු නිසානේ. එයා ප්‍රධාන චරිත වලට බාහිරව ඒ ගුප්ත සිදුවීම් වලට හේතුව අපිට කියලා දුන්නා. ඒ ගැලපීම තිබුණෙ නැත්තං මට ආයෙ වර්තමානෙන් කතාව පටන්ගන්න බෑ. ඒ නිසා ලස්සන කතාව පටන්ගත්ත ඔයාටත්, ඒක තවත් ලස්සනට ගලාගෙන යන්න පාරකට ගෙනිච්චර රවි අයියටත් ස්තූතියි. :) :) :)

      Delete
  2. Replies
    1. අපිත් බලා ඉන්නෙ ඊළඟ එනකල් තමා... :D

      Delete
    2. කියන්න අමතක උනා. සිත්තමී ලස්සනට ලියා තිබෙනවා...

      Delete
    3. ගොඩක් ස්තූතියි ප්‍රියන්ත අයියේ... :) :) :)

      Delete
  3. අර Lois & Clark ගෙ ෆොටෝ එකක් දාලා තියෙන්නෙ ඇයි.!? ඒ කියන්නෙ විජිතුත් නිකං සුපර්මෑන් වගේ පොරක්ද.?? :D

    ReplyDelete
    Replies
    1. විජිත්ව සුපර් මෑන් කෙනෙක් කරනවද, බැට් මෑන් කෙනෙක් කරනවද කියන එක තියෙන්නේ ඉතිරි කොටස් ලියන අය අතේ තමා. :D :D :D

      හරි යන රිපොර්ටර් කෙනෙක්ගෙයි, ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගෙයි පින්තූරයක් හොයාගන්න මං වෙච්ච මහන්සියක්, හපොයි! අන්තිමට මතක් උනා ඒ දවස් වල ටීවී එකේ කෙළ හලාගෙන බලපු කතාන්දරේ. කල්පනා කරලා බැලුවහම ඔන්න සමානකම් ටිකකුත් පෙනුනා. පත්තර කන්තෝරුවක එකට වැඩ කරන්නේ, වැඩ කරන්න ගියහම රණ්ඩු වල කෙළවරක් නෑ, දෙන්නට දෙන්නා හොරෙන් ආදරෙයි. එකම වෙනස ක්ලාර්ක් ෆොටෝග්‍රැෆර් කෙනෙක් නෙවෙයි. ඒත් ඉතිං එහෙමයි කියලා අර ජිමී කොළුවගෙ පින්තූරයක් දාන්නත් බෑ. එයා හරි යන්නෙ නෑ. ඉතින් අන්තිමට මේ දෙන්නගේ පින්තූරයක් හොයන්න ගත්තා. හපොයි උන් දෙන්නගේ, මේ වගේ ටිකක් පිළිවෙලක් තියෙන පින්තූරයක් හොයාගන්න එක ඔක්කොටෝම වඩා අමාරු උනා. :D :D :D

      Delete
  4. මම හිතුව ඇන්ටි උදැල්ල දානව කියල. බලද්දී ඇන්ටිට මොලේ තියෙනව.

    " The way to a man's heart is through his stomach! "

    හෙහ් හෙහ් හෙහ්!

    ReplyDelete
    Replies
    1. හැබෑ නේන්නං! ඇන්ටිනේ වැඩේ ගොඩ දාලා තියෙන්නේ. මේ කියනකං මටත් ඒක තේරුණේ නැති හැටි! :D :D :D

      Delete