Monday 1 October 2012

සෙනෙහසේ නවාතැන ....The Sanctuary of Love.....4

"මොකද දුවේ ඔය තනියම හිනාවෙන්නේ?"
අම්මා ඇහුවේ මගේ පිඟානට පොලොස් ඇඹුල තව ටිකක් බෙදන ගමන්. කොහොමත් සති අන්තෙට මං ගෙදර එන නිසා අම්ම මං ආස කෑම මොන මොනවා හරි හදනව. රස්සාවට ගිය මුලදී මුලදී නම් සිකුරාදා වෙනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ අම්මගේ බතේ රහ වෙන කොහින්වත් දැනුනේ නැති නිසා.
ඒත් මේ ලඟකදී ඉඳන් තවත් රසයක් මගේ හිතට කාන්දුවී ගෙන එනවා...
"නෑ අම්මේ මේ... ඔෆිස් එකේ උනු වැඩක් මතක් උනා"
"හ්ම්ම්" අම්ම හීනියට මගේ දිහා බලල හිනා උනා විතරයි. ඊට වැඩිය මුකුත් අහන්ට ගියේ නැත්තේ සමහර විට ලොකු දෝණිගේ වෙනසට හේතුව අම්මට ඉවෙන් දැනුන නිසාද දන්නෙත් නැහැ.

අව් කාෂ්ටකේට අහුවෙලා වේලිලා, වතුර පොදක් නැතුව මැරෙන්න යන, පුංචි මලක් වාගේ කේඩෑරී වෙලා තිබුන මයෙ හිත ජයේගෙන් දවස ගානේ හම්බු වෙන හිනාවෙන් බැල්මෙන් තමා ටිකෙන් ටික පණ ගහල ආවේ. පිරිමි සංහතියම එපා වෙලා උන්නු මට, මයෙ අප්පච්චි ඇරුනම මේ ලෝකේ තව කිසිම පිරිමියෙක්වත් විශ්වාස කරන්ට බැරුව උන්නු මට, ආයෙත් පිරිමියෙක්  දිහා ඇහැක් ඇරලා බලන්ට පෙළඹෙව්වේ ජයේගේ අහිංසක හිනාව...


මම දන්නවා අම්ම උනත් මං නිසා හිතෙන් හොඳටෝම විඳෙවවා කියල...අවුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරලා පෙරුම් පුරලා, ඒ හීන ඔක්කොම නරුම විදිහට විනාස කරහම මට හිතුනේ අනේ ඇයි මාවේ නොමරා ඉතිරි කරේ කියල. ඒ දවස්වල රෑ තිස්සෙම මම ඉකි ගගහ අඬද්දී...ඉස්කෝලේ කැම්පස් යාවි කියල ටීචර්ලා හැමෝම හිතන් හිටපු මම විභාගේ ෆේල් වෙද්දී...මම දන්නවා අප්පච්චිත් නැතුව තනියම මාව බලා කියා ගත්තු මයෙ අම්ම කොච්චර දුකින් ඉන්න ඇතිද කියල. 


ඊට පස්සේ...ඊට පස්සේ මයෙ රත්තරන් අම්ම කොච්චර උත්සහ කරාද මගේ කැඩිච්චි හිත හදන්ට? ඒත් අම්ම ගෙනාපු යෝජනා එකකටවත් කැමති වෙන්ටය කියල මට බල කරේ නැහැ. මයෙ රත්තරන් අම්ම එහෙම දරුවෝ අයින් කරලා අත පිහදාගන්න ගෑනියෙක් නෙවි. අම්ම මට හැමදාම කීවේ
"දුවේ බඳින්ට ඕනේ ඔයානේ. බඳින කෙනා එක්කල ජීවිත කාලයක් ඉන්ටත් ඕනේ ඔයා. ඔයාට හරි කියල හිතෙන කෙනෙක් ඇරෙන්ට වෙන කවුරුවත් එක්ක මගේ දු යන්ට ඕනා නැහැ" කියල. 

ඒත්..මගේ යාලුවෝ එක්කෙනා දෙන්න මාල හතක් දාල පෝරුවට නගිද්දී..පාලුවෙලා තිබුණු මගේ ඇස් දෙක දිහා බලාගෙන අම්ම තනියම දුක් උනා. ඒක මට නොතේරුන නෙවි. ඒත් දෙවියනේ මම කොහොමද පෑරිච්ච හිතක් තියාන මනමාලියෙක් වෙන්නේ? ගතින් වගේම හිතිනුත් මනාලියක් නැවුම් වෙන්ට ඕනේ. පාරිශුද්ධ වෙන්ට ඕනේ. එහෙම නැතුව හිතට විරුද්ධව වැඩ කරන්ට මම කවදත් මනාප නැහැ.
ඉතින් එහෙම තියෙද්දී ලඟදි ඉඳන් අමුතු දිස්නෙකින් දිලිසෙන මගේ ඇස් අම්මට නොපෙනෙන්ට කොහෙත්ම හේතුවක් නැහැ. ඒත් අම්ම දන්නවා ලොකු දෝනි වෙලාව ආවම හැම දෙයක්ම එයාට කියනවා කියල. ඒකයි මගෙන් කිසි දෙයක් හාර අවුස්සන්නේ නැත්තේ."අනේ අම්මේ මේ මෙයා දැන් දැන් ටිකක් වෙනස් වගේ" ඔන්න ඉතින් මගේ නංගියා පුරුදු විදිහටම මාව අමාරුවේ දාන්න පටන් ගත්ත.

 "මේ මේ හරි එහෙනම් කියන්න අක්කේ මොකද්ද ඔය ඔෆිස් එකේ උනු වැඩේ? හා? කෝ අපිටත් හිනා වෙන්න කියන්නකෝ"
සමාධි නංගිටත් ඔය මගේ වෙනස දැනිලා තමා මේ කෝලම් කරන්නේ...
හොඳ වෙලාවට අම්ම මගේ පිහිටට ආව "හා හා අක්කට පාඩුවේ කන්ට දීල එහාට වෙන්න පොඩ්ඩි. දවස් කීයකින්ද මයෙ අම්මා ගෙදර ආවේ" කියල නංගිය ව එළව ගන්න ගමන්...

* * *

"අනේ අම්මේ...අම්ම කිව්වනේ හෙට මාව ඇරලවන්ට එන්නම් කියල...අනේ...නිවාඩු කාලෙනේ..නිලූ තරහ වේවිත් එක්ක"
උදෙන්ම නාල වතුර බේරෙන කොන්ඩේ හිමිහිට තුවායෙන් තෙත මාත්තු කර කර කාමරේට යද්දී මට ඇහුනේ නංගියා ගේ චුරු චුරුව.
"ඉතින් ළමයෝ හෙට මට දැන් වැඩක් යෙදිලානේ. හෙට දානේ බාරගත්තු පොඩි නැන්දට අසනීප එකේ දැන් උන්දැ මට එක භාරගන්නය කියල ඇහුවාම මට බෑ කියන්නද මේ උඹත් එක්කල රෝන්දේ යන්න තියෙනවා කියල?"

නොදැනීම මට බකස් ගාල හිනා ගියේ ඔන්න ඔය වෙලාවේ. අපේ නංගි ට ඉතින් කොහේ හරි සවාරි යන්න තියේ නම් එච්චරයි. එකත් එකටම ඔය කාගේ හරි යාලුවෙක්ගෙ ගෙදර යන්ටෝන වෙලා.

"හරි හරි..පොඩ්ඩි ට දැන් යන්ටෝනේ කොහෙද?..අම්මේ මට බැරිය මේ මරගාතේ දක්කගෙන ඔය කොහෙට හරි ගාල් කරලා එන්ට! අම්මටත් ඔය පොඩ්ඩක් කනක් ඇහිලා ඉන්නත් එක්ක..." නංගි ගේ ගොතල තිබිච්චි කොණ්ඩ කරලෙන් අදින ගමන් මං කීව.
වෙනද නම් ඕකිට කොන්ඩෙන් ඇද්දම ඌරු ජුවල් යනවා! අද මේ රස්තියාදු ගාය හැදිලා නිසා කොන්ඩෙත් මතක නැහැ! හැබෑට ඔය යන තැන හැන්ඩි කොල්ලෙක් වත් ඉන්නවද දන්නේ නෑ කියල මට හිතුන!

"අනේ ඇත්තද අක්කා එනවයි හෙනම්?..අම්මේ හෙනම් හරිනේ? මම අක්කා එක්ක යන්නම්...මගේ සුදු අක්කා"

"අනේ මේ ඇති ඇති ඔයාගේ බටර්..හිහි...දැන් කියන්නකෝ ඔයාට ඔය යන්න ඕනේ තැන"
"තැන අක්කේ...මේ තියෙන්නේ ..."
මෙන්න මේකි ඒ ගමන කවුදෝ අතින් ඇඳලා දීපු සිතියමක් අරන් එනවා!

 " අක්කේ මේ තියන්නේ මගේ යාලුවා ඇඳපු මැප් එක...දැන් අපි මෙහෙම..කුරුනෑගල ට ගිහින්...මේ පාරේ යන්ට ඕනේ..මේ පොල්ගොල්ල හරියත් පහු කරන්..."

"ආ හරි හරි හෙනම් හෙට උදෙන්ම ලේස්ති වෙන්ට හොඳේ! මම ආපහු එන්ටත් එපයි"
කියල මම කාමරේට ගියේ ආයෙත් නංගිගේ කොන්ඩෙන් ඇදගෙන.
***

ත්‍රී වීල් එක ගිහින් ගිහින් නැවැත්තුවේ නිල් පාට කටරොලු මල් ඉහිරිච්ච ගල් පඩි පේලියක් පාමුල. ඕන් එතකොටම වගේ
'සමා සමා' කියාන දුවගෙන ආවේ නැද්ද තව චුටි කෙල්ලක්!
හා එහෙනම් මෙයයි මේ නිලූ.
නිලූ නංගිගේ මුණ දැක්කම මට නිකන් අමතක වුනු දෙයක් ආයේ මතක් වෙන්න ගිහින් නැවතුනා වාගේ දැනුන. එයාගේ මුනුවරේ, එයාගේ ලෙන්ගතු හිනාවෙ මට එච්චර හුරු පුරුදු ගතියක් දැනුන.

අපි තුන්දෙනා කතාකර කර පඩි නැගගෙන නැග ගෙන ගියා...

හා කවුද මේ පඩි පෙළ ඉද්දර හිටන් ඉන්නේ...

සමහර වෙලාවට අපේ හදවත් එකපාර නතර වෙනවා.

හදවත් එක්ක කාලයත් නතර වෙනවා.
පඩි පෙළ උඩහට වෙලා මා දිහා බලාන උන්නේ...

"ජයේ..?"


***


සමහර වෙලාවලදී එක මොහොතකදී අපි ගන්න යම් යම් තීරණ වලින් අපේ මුළු ජීවිතේම වෙනස් වෙනවා.


එදා මම නංගිය එක්ක ගමනට නොගිය නම්...එහෙනම් මගේ කතාව මීට ගොඩක් වෙනස් වෙන්න තිබ්බ.


ඒ වගේම ඊට පස්සේ ජයෙව දැකල විනාඩි කීපෙදී මම කියපු කරපු දේවල්..

ඒ දේවල් මම කරේ හිතල මතල කිරල මැනලා නෙවි. සමහර විට ඒ මගේ හැසිරීමෙන් ජයේ මා ගැන මොනවා හිතයිද, ජයේ ගේ අම්මයි නංගියි මොනවා හිතයිද...ඊටත් වඩා ඒ සේරෝම දිහා ඇස් ලොකු කරන් බලං උන්නු මගේ නංගි මොනවා හිතාවිද කියල මම ආයේ දෙපාරක් හිතුවනම් මගේ මුළු දෛවය ම මීට වඩා වෙනස් විදිහකට විසඳෙන්ට තිබ්බ.

"මං මේ පොඩ්ඩක් ලඟට ගිහිං එන්න කියලා."
  ජයේ එහෙම කිව්වේ වෙනද පුරුදු එයාගේ අර ලස්සන හිනාවෙන් නෙවි. එයාගේ කටහඬේ අමුත්තක් මට දැනුන.

මගේ ජීවිතේදී මම ගොඩක් කරලා තියෙන්නේ පැත්තකට වෙලා අනිත් අයගේ තීරණ වල හිස නමපු එක. පොඩි සන්දියේදී අප්පච්චි ගේ සාක්කුවෙන් වැටෙන රුපියල ඇහිඳ ගන්ට ඉස්සෙල්ලාම පනින්නේ මම නෙවි නංගිය. මම ඉතින් ඒක එයාටම ගන්න දීල පැත්තකට වෙනවා.


ඒත් මට එදා ජයේ යන්න හැරුණු වෙලේ නම් හරියට අකුණක් ගැහුවා වගේ දැනෙන්ට ගත්ත ඒ ගියොත් එයා මට සදහටම නැති වේවි කියල. මට අදත් හිතාගන්ට බැහැ ඇයි එහෙම හිතුනේ කියල...මම දන්නේ ජීවිතේ පලවෙනි වතාවට මම මට ඕනි දෙයක් වෙනුවෙන් ඉදිරිපත් උනා කියල විතරයි.


***


"පොඩ්ඩක් ඉන්න ජයේ..."
මම ගමන් මලු ටික එහෙමම බිමින් තිබ්බ.
ජයේ ආපහු හැරුනේ ප්‍රශ්නාර්ථයක් මුණේ තියන්.
"මටත් යන්ට ඕනි ...මේ කෝල් එකක් ගන්න ඕනි..මාත් එන්නම් ඔයත් එක්ක"
මගේ නංගිය නළලත් රැලි කරන් මා දිහා පුදුමෙන් බලන් ඉන්නවා මට පෙනුනේ ඇස් කොනින්. ජයේගේ නංගිගේ මුනත් වෙනස් උනා.

ඒත් මම බලන් හිටියේ ජයේගේ මුණ දිහා. එකපාරටම එයාගේ මුණ සුදුමැලි වෙන හැටි මට හොඳට පෙනුණ.


"ඉතින් අ..අක්කේ..අපේ ගෙදරින් කෝල් එක ගන්න..."
නිලූ නංගි කිව්වේ ගොත ගගහ.

"බැහැ නංගි ඒක ඕවසීස් කෝල් එකක්..මම මේ නංගි එක්කල එලියට ආවෙත් ඒ කෝල් එක ගන්නත් එක්කල...තව වෙලා ගියොත් එහෙ වෙලාව පහු වෙනවනේ"


මම ඔය මොන මොනවාද ටිකක් කියවගෙන ගියා. ඒ මුළු වෙලාවෙම මම හිටියේ ජයේගේ ඇස් දෙක දිහා බලාන.


"ආ ඉතින් පුතේ මේ ළමයත් එක්ක යන්ට කෝ එහෙනම්...දෙන්නත් එක්කම ගිහින් ඇවිත් හිට...හිමීට මුණ කටත් හෝදගෙන හෙම... කෑම කන්ට බැරිය...යන්න දුවේ...වැඩේ කරගෙන දෙන්නත් එක්කම ඉක්මනට එන්ට ඕනා හොඳද"

ජයේගේ අම්ම එහෙම කිව්වේ මගේ අතින් අල්ලලා ඔලුවත් අතගාල.

කතා නැතිවම මම ජයේගේ පිටි පස්සෙන් ගල් පඩි පෙළ බහින්ට ගත්ත.




2 comments:

  1. නියමයි. උපරිමේටම කුතුහලේ අවුස්සනවා. කතාවක තියෙන්න ඕනේ ඒක තමයි.

    මේ එකම කතාව ලියන්නේ එක්කෙනෙක් නෙමෙයි නේද ? ගොඩක් අය ලියනවනම් ඒක හරිම නිර්මාණශීලියි. මොකද ඒ ඒ චරිතවල ස්වරුපය නියමෙටම එකිනෙකට වෙනස් වෙන හින්ද. අනික් කොටස් එනතුරු මග බලාන ඉන්නවෝ.

    ReplyDelete
  2. පහුගිය දවස් ටිකේ ගෙදර නොහිටිය නිසා එක හුස්මටම කොටස් හතරක්ම කියවන්ට ලැබුනා.. රවියා‍ගෙයි මාර දූතියන්ගෙයි වැඩේ නැගලම යනවා.. එලස් ආ! :)

    ReplyDelete