Wednesday 14 November 2012

හාදු කුමාරයා ..3 - සිහිනය මියගිය පසු


දුර කතනය නාද වූවා....තාමත් උදේ පාන්දර.
 

ඈ ඉඳීද? නැද්ද? වීනාගේ හිතේ වූයේ දෙගිඩියාවක්…
 

තත්පර ගානක් ගෙවී ගියේ කල්පයක් ලෙසට.
 

'හෙලෝ...' නිදිබර, එහෙත් ගීතමය හඬක් එහා පසින් ඇසුනා.


දිව්‍යා????...වීණාගෙ සිතට ඒ නම පිවිසියේ රිසීවරයෙන් ගලා ආ හඬට නමක් දෙමිනුයි. එතකොට මේ තමා දිව්‍යා....ඇය මොහොතක් රිසීවරය කණට ලංකොට තබාගෙනම දෑස් පියා ගත්තා.


'' හෙලෝ...කවුද මේ??????....'' එවර ඒ ස්වරයෙ තිබුනෙ නොරිස්සුමක්...



'' ......................
''


'' මේ කරුණා කරල ඔය කවුද කියනවද? ''


මොනවටද මම බය වෙන්නෙ?...මම වරදක් කරල නෑ....ඒ සිතුවිල්ල වීණාගෙ හිතට පිවිසියේ ඇගේ පහත් කරගෙන සිටි හිස කෙළින් කරවමිනුයි.

 
ඒ එක්කම ඈ දෑස් හැරියා.අඬ අඳුරට දෑස් පුරුදුවෙලා....ජනේලෙත් එක්කම තාප්පෙ අයිනෙ තිබුණු වීදි ලාම්පුවෙ එළියෙන් කොට්ටම්බා ගහේ යාන්තමට හෙලවෙන අත්තක චායාව කාමරේ බිම එහාට මෙහාට වැනුනා.



'' මම වීණා.........''



ඇය හෙමිහිට කිව්වෙ ශානි හෝ අනිත් ගෑණු ලමයි දෙන්න ඇහැරෙයි කියල හිතට ආපු සැකේ නිසා හිස හරවල උරෙස්සට උඩින් ඒ පැත්තටත් දෑස් යවමිනුයි.



කටහඬ බාල කරල කිව්වත් බොහොම පැහැදිලිව සහ නිරවුල්ව උත්තර දෙන්න ඇය වගබලාගත්තෙ දිව්‍යාට තමන්ගෙ හිතේ කලබලය ගැන දැන ගන්ට ඉඩක් තියන්ට කොහෙත්ම ඕන කමක් නොතිබුනු නිසා.



'' ඔහ්හ්හ්හ්හ්හ්!!!!! ....''' එපමණකි. ඉන්පසු දැඩි නිහඬ බවකි.



රිසීවරය කණ ආසන්නයටම අරගෙන සියලු සංවේදනයක් අත් හිටුවා සිතුවිලි රිසීවරය වෙත නාභිගත කරගෙන වීණා බොහොම ඉවසිල්ලෙන් සවන් යොමුකරගෙන හිටියත් රිසීවරයෙන් නිකුත්ව ඇගේ කණට අතුලුවුනේ දැඩි නිශ්ශබ්ද තාවයක් විතරයි.යටත් පිරිසෙයින් ආශ්වාස ප්‍රශ්වාස කරන හඬක් පවා ඇයට ඇසුනේ නෑ.



ඇඳේ නිදාගෙන හිටපු ශානි හෝ අනික් ගෑණු ලමයි දෙන්නගෙන් කවුරු හෝ අඩ නින්දෙන්ම මොනව හෝ තොල මතුරන සිහින් හඬ කාමරය පුරා පැතිර ගියා. තාප්පෙට එහා තාර පාරෙන් මතු වුනු විදුලි ආලෝකයක් අඹ අතු සෙවණැළි ජනේලෙ වීදුරුවෙන් ඇතුලට ගෙනල්ල කාමරේ බිම දිගේ ඇදගෙන ඊට පස්සෙ බිත්තිය දිගෙත් ඉහලට ගෙනිහිල්ල අතුරුදහන් උනා. වීණා ඒ සෙවණැළි පස්සෙම දෑස් දිවෙව්වෙ රිසීවරය කණේ තියාගත් ගමන්..තාමත් නිශ්ශබ්දතාවය.....



ඒ එක්කම ටිකෙන් ටික අඩුවෙලා ගිහිල්ල අන්තිමට ඇහෙන්නෙ නැතුවම ගියේ වාහනයක එන්ජින් සද්දෙ....පාන්දර නුවර බස් එක...පහයි වෙලාව....



තාමත් නිශ්ශබ්දතාවය.......



ආයෙම කතා කරම්දෝ නොකරම්දෝ කියල තීරණයක් ගන්ට බැරුව වීණා එහෙට මෙහෙට ඇඹරුනා...



ඔන්න හරියටම ඒ මොහොතේ....හැම දෙයක්ම වෙනස් උනා...



සිඳීගිය ඇල පාරක ඔහේ වැතිරිලා ඉන්නකොට නොසිතූ විදිහට ඔන්න ජල පහරක් ගලා ඇවිල්ල මුලු සිරුරම තෙමුවයි කියල හිතන්න.



එහෙමත් නැත්නම් ගණ අඳුරේ කොහේ හරි පිට්ටනියක් මැද්දෑවෙ වාඩි වෙලා ඉන්නකොට එක පාරටම හඳ මුවාවෙලා තිබුණු වළාකුලු පහව ගිහිල්ල මුලු ලෝකෙම එක මොහොතින් ඒකාලෝක උනාය කියල හිතන්න.



නැහැ ඒ ඔක්කෝටම වඩා හොඳයි, අඩ නින්දෙ මත් වෙලා වගෙ යන්නෙ කොහෙද කරන්නෙ මොකක්ද කියල කිසිම නිනව්වක් නැතුව ඔහේ ඉබාගාතෙ ඇවිදිනකොට කවුරු හරි පිපස්සෙන් ඇවිල්ල ඔලුවට පොලු පාරක් ගැහැව්වය කියල හිතන්න...



එතකොට අපි එක පාරටම ඇස් තදින් පියාගෙන ඔළුව හොල්ලල එහෙම ආයෙම ඇස් ඇරල වටපිට බලල කල්පනා කරනව නේද මම මේ කොහෙද ඉන්නෙ?...මොනවද මම මේ කරන්නෙ?....මොකද මට උනේ?...කියල



වීණාටත් එහෙම උනා. පහුගිය දවස් කීපයෙ මොකක්ද තමන් නටපු මේ නාඩගම කියල එක පාරට වීණට හිතුනා.



ආදරේ ඉදිරියෙ හුරතල් වෙන යෙහෙළියන්ට වීණා සැළකුවෙ කිසි දෙයක් නොතේරෙන හය හතරක් නොදන්න පොඩි එවුන් විදිහට.ඇස් වලින් තරු විසිවෙද්දි හුස්මක් කටක් නොගෙන කටත් බාගෙට ඇරගෙන තමන්ගෙ ආදරවන්තයින් ගැන විස්තර කියන යෙහෙළියන් ගැන ඇගේ හිතේ තිබ්බෙ අනුකම්පාවක්...



ඔන්න අහගනිංකො හොඳද?....ඊයෙ මම හවස එයා එක්ක අත් අල්ලගෙන .....ඇසුයි කටයි නටවමින් ඔවුන් කියන විස්තර ඇය අහං හිටියෙ වෙන කරන්න දෙයක් නැති කමට...සෝපහාස මඳ සිනහවක් ඇගේ දෙතොලග තැවරී තිබෙනු ඔවුන් නොදුටුවෙ ඊයේ රඟ පෑ ප්‍රේම ජවනිකාවට ඔවුන් මනසින් පිවිස සිටි නිසාමයි.



මම නම් කිසිම දවසක ආදරේ ඉදිරියෙ ඔහොම බොළඳ වෙන්නෙ නෑ නෑමයි......වීණා තමන්ටම එහෙම පොරොන්දු වුනේ එක් වරක් දෙවරක් නම් නෙවෙයි.



ඒත්......අන්තිමට මොකක්ද උනේ?....හිතාගෙන හිටපු ඔක්කොම අධිෂ්ඨාන, සපථ කිරීම්, තමන්ටම වෙච්චි පොරොන්දු...ඒ ඔක්කොම එක මොහොතින් අමතක වෙලා ගියේ කොහොමද කියල ඇයට හිතාගන්නවත් බෑ...නුරාධගෙ ආදරය ඉදිරියේ තමන් කොයි තරම් නම්......



'' වීණා.....මම දන්නව ඔයාව.... ''



රිසීවරය දිගේ ඇදී ආ කටහඬක් ඇගේ දැහැන බිඳ දැම්මා...



'' ඔව්, ඔයා දිව්‍යා නේද? ''



'' ඔව්, මම දිව්‍යා...ඉතින් වීණා කතා කරපු එක හොඳයි....ම්ම්, කොහොමද මගෙ නම්බර් එක හොයා ගත්තෙ?...නෑ ඒ ප්‍රශ්නෙට උත්තර එපා...ඒක එච්චර අමාරු දෙයක් නොවෙන බව මම දන්නව...මම හිතාගෙන හිටියෙ බොහොම ඉක්මනටම ඔයාට කතා කරන්න...''

 

'' .................................. ''


'' විණා...ඔයා ඔතන ඉන්නවද?....මොකද කතා නැත්තෙ? ''



'' ඔව්.....දිව්‍යා...මේ...ඔයා මට කතා කරන්න හිතුවෙ ඇයි?...''



'' මම හිතන්නෙ ඔයා දන්නවා ඒ ඇයි කියල..හරි මෙහෙම කතා කරල බෑ...අපිට හංගන්න දෙයක් නෑ...අපි මූණට මූණ හම්බ වෙලා කථා කරමු. එහෙම දෙයක් බැරි වෙන්න තරම් දෙයක් අපි අතර සිද්ද වෙලා නෑ කියලයි මම නම් හිතන්නෙ...ම්ම්...ඔයා මොකද හිතන්නෙ ඒ ගැන?..එහෙම ප්‍රශ්නයක් තියනවද?....''



'' නෑ..එහෙම ප්‍රශ්නයක් නෑ...එහෙම හොඳයි ...මමත් කැමතියි ඒකට...හරි කොහෙදිද අපි හම්බ වෙන්නෙ? ''



නුවර වැව රවුමෙ එතරම් සෙනඟක් හිටියෙ නම් නෑ...හිටිය උනත් ඒ ගැන හොයන්ට උවමනාවක්වත් ඒකට වෙලාවක්වත් වීණට තිබුනෙ නෑ. වැවේ ඈත දූපතට එහායින් ඈතට ඇදෙන යාන්ත්‍රික බෝට්ටුව දිහාවෙ ඇය බලා හිටිය. බෝට්ටුවෙන් නැඟුනු රැලි ටික ටික විශාල වෙලා ඇවිදින් ඇය හිඳගෙන හිටිය ගලින් නිමවූ ආසනය කිට්ටුවම වැව් බැම්ම හේදෙන එක නවත්වන්ට හදලා තිබුනු ගල් බැම්මෙ වැදිල ආපහු වැව මැදට විහිදිලා ගිහිල්ල නැති වෙලා ගියා.


 
වැව් බැම්මේ වැදිල ආපහු වැව මැදට පැතිරිලා යන රැල්ලකුයි,වැව මැද ඉඳල ඉවුරට එන රැල්ලකුයි දෙකක් එකට ගැටුනම මොකක්ද වෙන්නෙ කියල ඇය කල්පනා කලා...එකිනෙක හා පරස්පර විරුද්ධ තරංගයන් දෙකක් එකම තාරතාවයෙන් යුතුව එකිනෙක හා ගැටුණු කල්හී.....විජේකෝන් සර්ගෙ ගැඹුරු කටහඬ ඇයට ආයෙමත් ඇහුණා...පාසල් දිවියේ සොඳුරු මතකයන්....මේ වගෙ වෙලාවකත් භෞතික විද්‍යාවෙ සිද්ධාන්ත ගැන කල්පනා වෙන එක ගැන වීණටම පුදුමත් හිතුනා.



'' ඔයා මොනවද මම ගැන දන්නෙ? ''



දිව්‍යාගෙ ඇහුවෙ හිස හරවල ඇගේ මුහුණ බලමින්...



'' ඔයා එක්ක නුරාධගෙ එෆෙයා එකක් තිබුන කියල විතරයි...''



'' කවුද එහෙම ඔයාට කිව්වෙ? ''



'' නුරාධමයි කිව්වෙ..... ''



'' ඉතිං වෙන මොනවද කිව්වෙ?....ඒ සම්බන්ධතාවයෙ වර්තමාන තත්වය ගැන එතුමා මොකද කිව්වෙ?...'' 


දිව්යා ඇහුවෙ සරදම් සිනහවකින්


'' එයා කියපු එකෙන් වැඩක් නෑ...මට ඔයා කියන්න ඇත්තටම වර්තමාන තත්වය... ''



'' මම තාමත් එයාට ආදරෙයි...ඔව්, තාමත් ආදරෙයි...''



ඈත තිතක් වගෙ වැවේ එහා කෙළවරට ගිහිල්ල ආපහු එන බෝට්ටුවට නඟින්ට විස්සක් විතර සෙනඟ නොඉවසිල්ලෙන් බලා ඉන්නව.කුඩා දරුවන්, මැදිවියේ උදවිය...වැඩි දෙනෙක් සුදු ඇඳගත්තු අය..මාළිගාවට ගිහිල්ල ඒ එක්කම බෝට්ටු සවාරියකුත් යන්න එන්න ඇති.



ඒ අතර හිටපු කොණ්ඩය බෙල්ලට වැවෙනතෙක් වවා ගත් තරුණයෙක් ඔවුන් දෙදෙනා දෙස බලා ඔහු අසල සිටි එවැනිම වූ තවත් තරුණයෙකු කණට මුව තබා මොනවාදෝ පවසා මහ හඬින් සිනාසුණා. ඒ දෙස හැරී බැලූ දිව්‍යා ආයෙම උකුල මත බැඳගත් දෑත දෙසට හිස නමා ගත්තා.



වැව් ඉවුරට ආපු බෝට්ටුව හිටපු මඟීන් බස්සවල ආයෙම අලුත් කට්ටියක් නග්ගගෙන සුපුරුදු චාරිකාවේ පිටත් උනා.කොණ්ඩය බෙල්ලට වවාගත්තු තරුණයත් බෝට්ටුවෙ ඉස්සරහම ඉන්නව වීණා යාන්තමට දැක්කා.



ආයෙම වැව් බැම්මෙ හැපිල ආපහු වැව මැදට ගලායන දියරැළියි වැව් බැම්ම වෙතට එන රැළියි එකට ගැටිල .....මොකක්ද ඒකට කියන්නෙ?...මොන තරංග කියලද?



වීණා නැඟිට්ට. දිව්‍යාගෙ උරහිසට අතක් තියල හෙමීට මිරිකුවා.දිව්‍යා ඔළුව උස්සල බලල හෙමිහිට හිනා උනා...



'' හරි, මම තීරණයක් ගත්ත. ඒ තමයි ඔයාලට ඉඩ දීල මම අහකට වෙනවයි කියන එක.කාලය හැම දෙයක්ම විසඳයි...මම යන්නම්..දිව්‍යා...''



වීණා ආයෙම උරහිස මිරිකල හිනා උනා. යන්ට පිටත් වෙලා අඩි දෙක තුනක් ගිහිල්ලත් ඈ ආයෙම නැවතිල ආපහු හැරුනා.


'' මම මෙහෙම අහනවට තරහ වෙන්න එපා. මේක අතිශය පෞද්ගලිකයි කියල හිතෙනවනම් උත්තර දෙන්නත් එපා. අනික ඔයා මොනව කිව්වත් මගේ තීරණයෙ වෙනසකුත් නෑ.''



දිව්‍යා බලාගෙන හිටිය ඈ දිහා.... ඇස් හීන් වෙලා නලලෙ ඇහි බැම මැද වගෙ රැළි කිහිපයකුත් ආව...



'' ඔයාට දරුවෙක් ලැබෙන්න ඉන්නවද? ''

 

දිව්‍යාගෙ නලලෙ රැලි නැතිවෙලා ගියා..ඈ කතාකලේ බොහොම සැහැල්ලු ස්වරයකින්.


'' මට ඔයාට බොරුවක් කියන්න පුළුවන්..ඒත් ඔයා වගේ කෙනෙකුට එහෙම කරන එක පව්.......නෑ, වීණා එහෙම දෙයක් නෑ...එහෙම කතාවක් ඔයාට අහන්ට ලැබුණානම් ඒක බොරුවක්...''



මතු සම්බන්ධයි

10 comments:

  1. අර එවලා තිබුනු 'මල්දම group mail' එකේ හැටියට මම හිතුවේ මේක ඇස් වහගෙන කියවන්ට වෙයි කියලා. දුවගෙන ආවේ. තව පොඩ්ඩෙන් බෙල්ලත් කඩාගන්නවා.

    හපොයි එක පිරිමි පරානයක කට හඬක්වත් නෑනේ. කෝ අද පැණි?:D

    ReplyDelete
    Replies
    1. රවී අයිය දැන් අර කියෙව්වය කීව මොකද්ද සුත්‍රය යි, අර අහවල් චිකිත්සාවලියයි ... ඕවයේ තිබ්බ දේවල් නිසා ෆුල් අප්සෙට් ගහලලු. ඉතින් එකලු මෙහෙම පැණි බින්දුවක් වත් නැතිවම ලීවේ

      Delete
    2. ඇස් වහගෙන බලන්න ඕන එව්ව බලන්න බෙල්ල කඩාගෙන දුවගෙන ඇවිත් තියෙන්නෙ.

      අපි නොදන්න මොණරතැන්න. හෙහ්! :P

      Delete
    3. @ පොඩ්ඩි & Ama,

      පිස්සුද බොල. මේ ඊයෙ පෙරෙයිද දෙකයි පනහෙ කෙල්ලන්ට ඔව්ව කියල දීල ඔවුං මෝඩ කමට ඔව්ව අත්හදා බලන්ට ගිහිල්ල .....හෙහ්, හෙහ්, අන්තිමට ඒකෙත් නරක නාමෙ එන්නෙ මේ මට...ඒ නිසාවෙන් බොහෝම නිවී සැනහුනු කතාවක් තමයි මම ලිව්වෙ...අර කලින් ලියාපු එපිසෝඩ් එක ඕනම නම් එවන්නම් වෙනම...හෙහ්, හෙහ්,

      Delete
  2. මරු මුලු බ්ලොග් එකම කියෙව්වා,
    කතාව යන ව්හිදියනම් මරු.....

    බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා..

    මේ බ්ලොග් එක සින්ඩි වලට ඇඩ් කොරල නැද්ද ??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි තරිඳු,

      සින්ඩි වලට ඇඩ් කලාය කියල නම් කිව්වා..පොඩ්ඩක් ඒ ගැන හොයල බලන්නම් :)

      Delete
  3. //හරි, මම තීරණයක් ගත්ත. ඒ තමයි ඔයාලට ඉඩ දීල මම අහකට වෙනවයි කියන එක.කාලය හැම දෙයක්ම විසඳයි...මම යන්නම්//

    අපි නම් යන්ට යාවි වීන වාගේ එහෙම හුහ්


    ප ලි : මේ එහෙම කීවට මේ ගොතපු විදිහ ලස්සනයි රවී අයියේ. අර වීනා තමන් මෙතෙක් හිටියේ අසිහියෙන් කියල තේරුම් ගන්න කෑල්ල ට මම හරිම කැමති.

    ReplyDelete
    Replies
    1. අනිවා, එහෙනම් නුවර ටවුන් එක මැද්දෙ ගුටි ඇනගෙන, කෙහෙවළු පටලවාගෙන එක විච්චුම්බරයක් වෙයි නේද.?? :D

      Delete
    2. / අපි නම් යන්ට යාවි වීන වාගේ එහෙම හුහ් /

      ඔය කිව්වෙ...ඔන්න කිව්ව...උඹල තමයි මේ ගෑණු උදවියගෙ තත්වෙ නැතිකරන්නෙ...එතනිං ගිහාම පිරිමිංව උඩ දාන්නෙ...

      මුද්දරේ ඇලෙව්වහෙ ඇලිල ඉන්ට එපා බොල...නිතරම අයිංවෙන්ට බලාගෙන ඉඳහං....එතකොට තමයි අගේ වැඩිවෙන්නෙ...අන්න අහගනිං මගෙං :) :)

      ස්තුතියි අමා.....:) :)

      Delete
  4. //යටත් පිරිසෙයින් ආශ්වාස ප්‍රශ්වාස කරන හඬක් පවා ඇයට ඇසුනේ නෑ.//

    දිව්‍යටත් ඇත්තෙ Samsung Galaxy S III එකක් වෙන්න ඇති. අර සහේලි ට කෝල් කරපු ඩයල් එකට වගේ!

    ReplyDelete