Monday 5 November 2012

සෙවණැළි අතරින්......අවසන් කොටස


'' නෑ?????....බලවර්ධන???? ...සිකුරව මරන්ට?????....''

එදා බලවර්ධනගෙ ඔෆිස් එකේදි ඒ දෙන්න අතර තිබ්බ සුහද තාවය මතක් වෙලා සහේළිට එක පාරටම කියවුනා.....

'' වෙන්ට බෑ...විජිත්...Are you sure about your source? '' 

සහේළිගෙ බියපත් විසල් දෑස දුටුව ඔහුගේ හිත ඈ කෙරෙහි ආදරෙන් ආයෙම වරක් පිරිල ඉතිරිල ගියා. 

'' Hundred percent Sure සහේළි...ඔයා පුදුම වෙන්නෙ අච්චර කිට්ටු යාළුවො වගෙ හිටපු තමන් කියපු කියපු හැමදේම කරපු මනුස්සයෙක් මරන්ට ඕඩර් එකක් දෙන්නෙ කොහොමද හිතක් පපුවක් නැතුව කියලනෙ ?...හෙහ්, හෙහ්, එව්ව මොනවද අනේ බලය කියන එක ලැබෙන්ට ලැබෙන්ට මිනිස්සු තිරිසන්නු වෙනව...නෑ ඇත්තම කිව්වොත් එහෙම කියන එක තිරිසන්නුන්ට කරන අපහාසයක්...තිරිසන්නු හොඳයි තව......." 

'' හරි ඒ කොහොම හරි කමක් නෑ...උන් දෙන්නගෙ මරාගැනිල්ල නිසා අපි දෙන්න බේරිච්ච එක ගැන නම මට තියෙන්නෙ පුදුම සන්තෝසයක්, සැහැල්ලුවක්...ඔයා අර ෆොටෝස් ඔක්කොම ඩිලීට් කලාය කිව්වට උන් ඒ කතාව විස්වාස නොකර අපි දෙන්නම මරල දාවිය කියල මගෙ හිතේ ලොකු බයක් තිබුන...''

සහේළි සුරත දිගහැර මේසය මත තිබූ විජිත්ගේ සුරත අල්ලා ගත්තාය.

'' අප්පෝ...දැන්නම් ඒ බය නෑ...හිතට මගෙ ලොකුම සහනයක් දැනෙන්නෙ. ''

ඇගේ දෑස දෙස එබී බැලූ විජිත් ඇගේ සුරත මිරිකූයේ මුව පුරා සිනා සෙමිනි. 

'' මට බය ඔයා ඔය හිතන එකේ සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ දෙයක් වෙයිද කියලයි මයෙ රත්තරන්......තෝරු මෝරු ගහගන්න කොට දන්නවනෙ හාල්මැස්සන්ට වෙන දේ......අනික මෙතන කාරණේ තවත් බරපතල වෙන්නෙ තෝර මෝර යුද්දෙදි හාල් මැස්සො ආයුදයක් විදිහට පාවිච්චි වෙන්න ඉඩ තියෙන එකයි....''

සහේළිගේ සිතේ සතුටට අකුල් හෙලිය නොයුතු බැවින් එසේ නොපැවසුවද විජිත්ගේ සිත තුල රැව් පිලිරැව් දෙමින් ඔහුට වද දුන්නේ එවන් සිතුවිල්ලකි. 

වට පිට බලා ඇගේ සුරත ගෙන සිපගත් විජිත් නැඟී සිටියේය. 

'' මං යන්නම් එහෙනම්...see you later Saheli " 

සහේළි මුව පුරා සිනාසීගෙන ඔළුව වැනුවා....ඇගේ හිත පිරිල තිබුනෙ අපමණ සැහැල්ලුවකින් ...ඒ වගේම සෙනෙහහකින්... 

අවුරුදු දෙකක් ගත වෙලා ගියා...ඒ අතරෙ සහේළි විජිත් ප්‍රේම නදිය හැල්මේ ගලා ගියා..සිකුරා ගැන කිසිම ආරන්චියක් නැතුව මිනිහව හැමෝටම අමතක වෙලාම ගියා....බලවර්ධන ටිකෙන් ටික තමන්ගෙ අභිප්‍රායට ඉලක්කයට ලිස්සන ගහේ මුදුනෙ තියන සිංහ කොඩියට ළඟා වුනා...ජනාධිපතිවරණයෙන් විපක්ෂ අපේක්ෂකයා පරදවල බලවර්ධන ජයග්‍රහණය කලා.සහේළි සහ විජිත් දෙන්නත් කන්ද මුදුනට ළඟාඋනා...ඒ ඇවිල්ල ප්‍රේම විජයග්‍රහණය නම් කඳු මුදුනට...ජනාධිපතිවරණය පැවැත්වෙලා හරියටම දින දෙකකින් නෑදෑ හිතවතුන් ආසිරි ගී මැද දෙන්න විවාහ උනා... 

ඔවුන් මධු සමයට පිටත් වෙලා ගියේ සිංහරාජය අබියස වන මැද පවත්වාගෙන ගිය හරිත පරිසර හිතකාමී නිවාඩු නිකේතනයකට. 

සහේළියි විජිතුයි දෙන්න රස්සාවෙන් හම්බවෙච්ච පඩියෙන් ඉතුරු කරගත්තු ගානක් තිබ්බ බැංකුවෙ...එහෙමට ලොකු ගානක්නම් නෙවෙයි..ඒකට සහේළිගෙ අප්පච්චිගෙන් ඉල්ලගත්තු මුදලකුත් දාල එයාල ගත්ත සුසූකි ස්විෆ්ට් එකක්....කළුම කළු පාට.... 

පාර දෙපැත්තෙ හංදියක් හංදියක් ගානෙ ඔවුන් දිහා බලාගෙන සිනා මුසු මුහුණින් හිටියෙ බලවර්ධන....ශ්‍රී ලංකාද්වීපයේ නවතම අතිගරු ජනාධිපති තුමා... 

'' මේ මනුස්සය යන යන තැන ඉන්නවනෙ...මට නිකම් බයකුත් වගෙ හිතෙනව.....'' 

විජිත් සහේළිගෙ අත මිරිකල හිනා උනා... '' දැන් එව්ව ඔක්කොම ඉවරයි...මැඩම් බය වෙන්න එපා....මම ඉන්නවනෙ... '' 

සහේළිත් විජිත්ගෙ අත මිරිකුවා... '' ඇත්ත තමයි.....ඔයා මාලඟ ඉන්දැද්දි මොකට බය වෙන්නද? '' 

මතුගම පහුවෙල අත්වැල්තොට හරියට යනකොට හවස අඳුර වැටෙන්න ඔන්න මෙන්න...වෙලාව පහටවත් නැතිඋනාට මේ කඳුකර පළාත්වලට බොහොම වේලාසන අඳුර ගලා වැටෙනව. ඒ වගේම හරිම ඉක්මනට...එක විනාඩියෙං කළුවර වෙලත් ඉවරයි. 

ඒ වෙනකොට සහේළිට හොඳටම නින්ද ගිහිල්ල.වාහෙනේ එළවන ගමන් ඈ නිදන අපූරුව දිහා සැරින් සැරේ හැරිල බැළුව විජිත්ගෙ හිතේ ඇතිවෙච්චි සෙනේහෙ හිත පුපුරන්ඩ තරමට හිතේ පිරිල දෝරෙ ගැලුව. 

එක පාරටම ඔවුන් නඟිමින් හිටිය කන්ද ඉවර උනා. ඒ කියන්නෙ ඔවුන් කඳු මුදුනට ළඟා උනා. එතනින් එහාට තිබ්බෙ ඈතිං පේන රක්වාන හෝ හිනිදුම කඳු පංති දක්වා පැතිරෙන සිංහරාජ වනාන්තරයට පල්ලම් බහින්ට.හරියටම කඳු මුදුනට ළඟාවෙනවත් එක්කම ගන සැරේට අහස වහගෙන තිබ්බ මිහිදුම් සළුතිර එකපාරටම තුනී වෙලා ගිහිල්ල බැස යන හිරුගෙ රත්තරන් පාට ආලෝකෙ මුළු අහස පුරාම පැතිරුනා...ඔවුන් ළඟාවුනු කඳුමුදුනත් ඒ ආලෝකය වැටිල දිලිහුනේ රත්තරන් ගෑව වගේ.. 


විජිත්ට තිරිංග පෑගුනේ ඉබේම.කාරෙක නවතිනවත් එක්කම සහේළිටත් ඇහැරුනා. 

'' ඇයි විජිත්?...'' ඈ විජිත් දිහාට හැරුනෙ කොණ්ඩෙ අතින් හදමින්... 

'' ෂ්ෂ්........ '' 

ඇගේ තොල්වලට ඇඟිල්ලක් තියල විජිත් ඈ නිහඬ කලා. ඊට පස්සෙ ඒ ඇඟිල්ලම දික් කරල වින්ඩ්ස්ක්‍රීන් එකෙන් එහා පෙනෙන අද්භූත දර්ශනය පෙන්නුව. 

'' Oh God....This is like a dream.........'' 

සහේළිගෙ නිදිමත කොහෙන් ගියාද නෑ...දෙන්නම කාරෙකෙන් බැස්සෙ හීනෙන් ඇවිදිනව වගෙ.... 

කාරෙකේ බොනට්ටුවට හේත්තුවෙලා දෙන්නම ඒ අපූර්ව දර්ශනය දිහා බලාගෙන හිටියෙ වශී වෙලා වගෙ...මත් වෙලා වගෙ..... අඩවන් වුනු දෑස් වලින් රත්තරන් පාට ලෝකය දිහා බලාන හිටපු සහේළි විජිත්ගෙ උරහිසට හිස තියාගත්තෙ මේ ස්ක්‍රිප්ට් එකේ ඊළඟ ෂොට් එක එහෙම වෙන්න ඕනය කියල තීරණය කලා වගේ. 

විජිත් ඈ හෙමිහිට තුරුළු කරගෙන නළලයි දෙකොපුලයි සිප ගත්ත.සහේළි වෙව්ලලා ගියේ සීතලටමද නැත්නම් මේ මොහොතේ චමත්කාරය දරන්න බැරුවද නැත්නම් ඒ දෙකම නිසාද? 

'' යමු නේද?...මට සීතලයි...'' ටික වෙලාවකින් ඈ කෙඳුරුවා... 

'' යමු......'' ඔහු ආයෙම ඇගේ නලල සිප ගත්තා. 

එළියෙ සීතලට පස්සෙ කාරෙක ඇතුලෙ හීටරේ උණුසුම ගෙනාවෙ අමුතුම සංවේදනයක්.... 

'' අහ්, ඉන්න පොඩ්ඩක්..... අම්ම කෝපි එකක් හදවල දුන්න ෆ්ලාස්ක් එකකට...'' 

විජිත් කාරෙක පනගන්වන්න ස්විච් එකට අත තියනවත් එක්කම සහේළි කිව්ව. 

මේ වෙනකොට ආයෙම මීදුම් සළුතිරෙං අහස වැහිල ගිහිල්ල පළාතම ආයෙම අඳුරු වෙලා...දුම් දමන කෝපි තොල ගාමින් ඔවුන් එකිනෙකා දිහා බලල වරින් වර හිනා උනා...කිසිම හේතුවක් නැතුවම... 

'' සහේළි.....'' 

'' ම්ම්ම්......'' 

'' ඔයා දන්නවද අපේ වෙඩිං එක ගැන මට තියෙන්නෙ එකම කනගාටුවයි...'' 

'' ඈ????......'' සහේළි විජිත් දිහාට හැරුන.. '' මොකක්ද අනේ ඒ?...'' 

'' බලවර්ධනටයි, සිකුරටයි සාක්කියට අත්සන් කරන්ට ආරාධනා කරන්ට බැරිඋනු එක...'' විජිත් ඈ දිහා බලල හිනා උනා... 

සහේළිගෙ හිනා සද්දෙ වීදුරු ඔක්කොම වහල තිබ්බ කාරෙම ඇතුලෙ දෝංකාර දුන්න.. 

'' නෑ...විහිළුවක්මත් නෙවෙයි...ඒ දෙන්න නැත්නම් අපි දෙන්නට මෙහෙම එකතුවෙන්න ලැබෙයි කියල ඔයා හිතනවද? '' 

'' අද වගෙ දවසක විහිළුවටවත් ඒ වගෙ මිනිස්සු මතක් කරන්න එපා.... '' 

සහේළිගෙ හිනා හඬ ඒ එක්කම මැකිල ගියා... 

'' අපි යමුද එහෙනම්?......'' විජිත් සීට් බෙල්ට් එක දාගන්න ගමන් ඇහුව. 

ඒත් සහේළි මීදුම බැඳිච්චි ජනෙල් වීදුරුවෙන් ඈත බලාගෙන බර කල්පනාවක... 

'' සහේළි....'' විජිත් ඇගේ උරහිසට අත තියල හෙලෙව්ව... 

'' ආ...හරි හරි යමු...යමු...මොකක්ද ඔයා කිව්වෙ?.. ''.සහේලි කිව්වෙ හිනාවෙන්ට උත්සාහ දරන ගමන්, 

රාත්‍රි ආහාරයෙන් පස්සෙ දෙන්න කාමරේට ආවෙ හීතලෙන් වෙවුලමින්...මේ නිවාඩු නිකේතනයෙ ඉතාම දරුණු සීතල දවසක ඇරෙන්න හීටර්ස් පාවිච්චි කරන්නෙ නෑ..ස්වභාවික ගිනි උඳුන් තමයි කාමර වලත් තියෙන්නෙ. ඔවුන් එනකොට ගිණි උඳුන බුර බුරා ඇවිලෙනව...ගින්දරේ උණුසුමත් එක්කම සීතල මැකෙන්න ඔවුන් කලේ තව තවත් තදින් එකිනෙකාට තුරුළු වීමයි...... 

එක පාරටම විජිත්ට ඇහැරුණේ කකුල් දෙකට දැනුනු දැඩි සීතලක් නිසයි.ඒත් දණිස් වලින් උඩ වගෙ හරිය ඒ හැටි අමුත්තක් නෑ...ටිකෙන් ටික පියවි ලෝකෙට එනකොට ඔහුට තේරුණා තමන්ගෙ ලඟම තවත් කවුද හෙමිහිට හුස්ම ගන්න සද්දයක් ඇහෙනව කියල...ඒ එක්කම පපුව උඩ කාගෙද අතක නුපුරුදු බරකුත් ටිකෙන් ටික දැනෙන්න ගත්ත. ඒ එක්කම ඊයෙ දවස ගැන සිහිවෙලා තොල් අගට පොඩි හිනාවකුත් ආව. සහේළි..ඇගේ බර නුපුරුදුයි කියල ආයෙම කියන්න එහෙම අවසර නෑ...ඊයෙන් පටන් ගෙන ජීවිත කාලයක් ඈ මෙහෙම උදේ ඇහැරිනකොට මම ලඟ ඉඳීවි....

ඒ සිතුවිල්ලත් එක්ක හිතට මෝදු වෙච්ච සන්තෝසය පිටම හෙමිහිට සහේළිගෙ අත අයින් කරල ඇගෙ නලලෙ දෙතොල් ඔබාගෙන මොහොතක් ඉඳල විජිත් නැගිට්ට. ගිනි උඳුන නිවිල ගිහිල්ල...ගෑස් රෙගියුලේටර් එක පොඩ්ඩක් ඇරල විජිත් ගිණි උඳුන ආයෙම දැල්ලුව. ටිකෙන් ටික කාමරේ උණුසුම් වීගෙන එද්දි ඇඳ ඉද්දර තිබ්බ ෆ්‍රෙන්ච් වින්ඩෝ එකේ කවුළු තිර ඔහු ඈත් කලා...යාන්තමට එළියෙ ගහ කොළ පේන තරමට කළු කපා එළියක් නම් වැටිල... 

ඇඳ ලඟම කනප්පුව උඩ තිබ්බ ඔර්ලෝසුවෙ වෙලාව හයට දහයයි....ආයෙම පැත්තට හැරිල කොට්ටෙත් බදාගෙන නිදාඉන්න සහේළි දිහා ඇඳේ වාඩි වෙලා ඔහු බලා හිටිය ඇස් අහකට ගන්ට ලෝබ කමේ... 

පහමාරෙන් පස්සෙ ඕන වෙලාවක සර් අපි බෙඩ් ටී එක ගෙනත් දෙන්නම්...කෝල් එකක් දෙන්නකො...ඊයෙ රෑ හිටපු ඇසිස්ටන්ට් මැනේජර් කිව්වනෙ...හරි කෝල් කරන්න ඕන නෑ...මමම යන්න ඕන තේ දෙක අරන් එන්න...පත්තරෙත් ඇවිල්ල ඇති...පත්තර ජීවිතේ හැටි එහෙම තමයි...මධු සමය ගෙවන්ට ආව උනත් රටේ ලෝකෙ වෙන්නෙ මොනවද කියල දැන ගත්තෙ නැත්නං හරියට කෑවෙ නෑ වගේ... 

විජිත් අලුත් කමිසයක් දාගෙන සරම පිටින්ම හෙමිහිට දොර ඇර ගෙන පිට උනා.... 

ගිණි උදුන ටික ටික ඇවිලුනා...කාමරේ ටිකින් ටික උණුසුම් වීගෙන එනකොට සහේළිට ඇහැරුනා.එක් වරම තමන් මේ කොහෙද ඉන්නෙ කියල ගනිච්චියක් නැතුව එයා එහෙමම ඉඳල කල්පනා කලා...ඔන්න ඊයෙ දවස මතක් උනා. ඒ එක්කම සහේළි ඔලුව හරවල බැලුව..'' කෝ...මේ මනුස්සය කොහාටද මේ පාංදරම ගියේ?...ආපුදෙංකො...'' ඇය ඇඳ විට්ටමට කොට්ටෙ හේත්තු කරල ඒකටම වාරුවෙලා හිතුවා...දෙතොලට ඉබේම හිනාවකුත් ආව.. 

'' තමුං මේ කොහෙද ගියේ උදේ පාංදර?...හොඳට මතක තියාගන්නව මීට පස්සෙ මගෙං අවසර නැතුව එක අඩියක් හෙල්ලෙන්ට බෑ...තේරුණාද තමුංට? '' 

'' මුන්දැ මොනව කියයිද ඒකට?...එසේය මහ රැජිණියනි, ඔබගේ අණ එක හෙලා පිළිගන්නෙමි කියයිද?....නැත්නම්......'' 

කල්පනාව පිටම වෙලාව බලාගන්ට සහේළි ජංගම දුරකථනය ක්‍රියාත්මක කලා..ඊයෙ හවස ඕෆ් කරපු ගමන නෙව...අහ්, තාම හයයි දහයයි...බලමු කවුද කතා කරල තියෙන්නෙ කියල...මඟ හැරුණු ඇමතුම්...ම්ම් බලමු...දෙයියෝ සාක්කි...සහේළිගෙ ඇස් උඩ ගියා...මිස්ඩ් කෝල්ස් 23 ක්. ඒ අතර අම්මගෙනුයි යාලුවො දෙන්නෙක්ගෙනුයි කෝල්ස් තුනයි... ඉතිරි විස්සම Unknown Number........ 

සහේලි එහෙම්මම ඇඳේ ඉඳගත්ත නෙවෙයි ඉන්ද උනා...ආයෙම සැරයක් අවුරුදු දෙකකට කලින් වළදාපු...දැන් මේ පේන විදිහට නම වලදැම්මයි කියල හිතපු අතීතයක අඳුරු සෙවනැළි ඇගේ හිතේ හොල්මන් කරන්න ගත්තෙ මොනවත් හරිහැටි හිතන්නවත් ඇයට කිසිම අවස්තාවක් නොදී... 

එහෙම්මම තෝන්තු වෙලා වගෙ කොච්චර වෙලා එහෙම හිටියද කියල ඇයට කිසිම නිනව්වක් නෑ...සහේළි පියවි ලෝකෙට ආවෙ විජිත්ගෙ කටහඬින්...විජිත් දොර ඇරගෙන කාමරේට කඩා වැදුනෙ පිස්සෙක් වගේ.. 

'' සහේළි සහේළි...මේ බලන්නකො....අපේ පත්තරේ.... '' 

විජිත්ගෙ මූනෙ අර ඊයෙ තිබ්බ හිනාව සිරියාව කොහෙං ගියාද නෑ....එක දවසින් අවුරුදු විස්සක් වයසට ගියා වගෙ.......... 

විජිත්ගෙ මූන දිහාවෙ බලාගෙනම සහේළි අත දිගු කරල පත්තරේ ගත්ත.. 

'' ඈහ්හ්හ්හ්හ්හ්?????....'' 

ඇයගෙ අත වෙවුලනව වගෙ දැනුනු නිසා ඇය දෑතින්ම තරයේ පත්තරේ අල්ල ගත්ත...මුල පිටුවෙම තිබ්බෙ නව ජනාධිපති තුමාගෙ ඡායාරූපයක්...ඒකෙ අවුලක් නෑනෙ...අලුතෙන් ජනාධිපති කෙනෙක් පත් උනහම ඕනම පත්තරේක එතුමගෙ රූපයක් පලවෙනව...ඒකෙ කිසිම අමුත්තක් නෑ...ඒත් මෙතන විශේෂත්වය එතුමාගෙ කරට අත දාගෙන බොහෝම කුළුපග ලීලාවෙන් සිනාමුසු මුහුණින් පසුවන්නේ..ඩගී.....නොහොත්.... ඩග්ලස් හේවගේ නොහොත් දිවයිනට මත් ද්‍රව්‍ය සපයන අංක එකේ ජාවාරම්කරු...... 

'' දෙයියෝ සාක්කි මේ එදා අපෙ ඉන්ටවීව් එක වෙලාවෙදි විජිත් ගත්තු ෆොටෝ එකක් නේද?....එතකොට මේක කොහොමද?????? '' 

විජිත් සහ සහේළි එකිනෙකාගේ මුහුණු දිහාවෙ බලා හිටියෙ කිසිම දෙයක් කතා කරගන්ට බැරුව... 


ඒ දැඩි නිහඬතාවය බිඳීගියේ සහේළිගෙ ජංගම දුරකථනය නාදවන හඬින්... 

මා ලඟටම තව ලංවෙලා ...හිඳින්න නිහඬ නුවන් පියා...ඩබ්ලිව්. ඩී. ආරියසේන.....සහේලි කැමතිම ගීතයක්...එයාගෙ ෆෝන් එකේ රිංග් ටෝන් එකත් ඒක. 

මා සීතාවෝ.....සැතපෙන නින්..........සහේලි ස්ක්‍රීන් එක දිහාවෙ නොබලම කෝල් එක කට් කලා. 

'' ඇයි ඒ එහෙම කලේ? '' 

විජිත් සහේළි ලඟට ආව... 

'' මම උදේ ෆෝන් එක ඔන් කරනකොට මිස්ඩ් කෝල්ස් විස්සක් තිබ්බ Unknown Number කියල......මේකත් එහෙම වෙන්න ඇති '' සහේලි තිරය දිහා බැලුව...'' හරි...'' ඇය ෆෝන් එක විජිත්ට දුන්න...Unknown Number...... 

'' මොකද අනේ අපි දැන් කරන්නෙ?....'' ඇය එහෙම අහපු අසරණ විලාශයට විජිත්ගෙ පපුව පත්තු උනා...ඒත් දෙන්ට උත්තරයක් ඔහු ගාව තිබුනෙ නෑ සහේළිගෙ මූණ බලාගෙන ඉන්නව මිසක. 

සහේළිගේ පැණයට පිළිතුරු ලෙස දෝ ඒ සමඟම කුටිය පුරා පැතිර ගිය නාදයකින් ඔවුහු තිගැස්සී ගියෝය. ඒ ශබ්දය නිකුත් වූදෙස හැරුනු ඔවුනට කුටිය පුරා කෙමෙන් පැතිර යන වැහි අඳුර නිසා අඩාල වූ මන්දාලෝකයෙන් දැකගත හැකිවූයේ දොරටුව අසලම තෙපා කනප්පුවක් මත තිබූ පැරණි මාදිලියේ කළු පැහැ අංක ඇඟිල්ලෙන් කරකැවිය යුතු දුරකථනයකි. 



ඉන් නිකුත් වූ අමිහිරි ශබ්දය සහේළි සහ විජිත්ගේ සිත් අනියත බියකින් පුරවාලන්නට සමත් වූයේ නිතැනිනි. 


'' කවුරුවත් අපි මෙහෙ ඉන්නව කියල දන්නෙ නැහැනෙ ? '' සහේළී පැවසුවෙ ඇසෙන නෑසෙන තරමේ හඬකිනි. 


'' ඔව්, අනික ඊයෙ මම රිසෙප්ෂන් එකට කිව්ව අපිට ඩිස්ටර්බ් කරන්න එපා අපි කතා කරනකල් කියල..'' විජිත් එසේ පවසමින් ටෙලිෆෝනය අසලට ගියද රිසීවරය එසවීමට කිසිදු වෑයමක් නොදැරීය. 

සහේළි ද සෙමෙන් එතැනට පැමිණියේ සිහිනෙන් ඇවිදින්නියක මෙනි. 


ඔවුන් දෙදෙන තීරණයක් ගත නොහී එකිනෙකා දෙස බලා සිටියදී එක්වරම ටෙලිෆෝනය නිහඬ විය. 

ඉන්පසු පැතිර ගිය දැඩි නිශ්ශබ්දතාවය බිඳ වැටුනේ සහේළි මෙතෙක් ඉහලට ඇදගෙන සිටි හුස්ම ළය සැහැල්ලුවී යන පරිදි පහතට හෙලූ හඬිනි. 


'' විජිත්............'' 

සහේළි කුමක් දෝ පැවසීමට උත්සාහ කල ද ඇගේ දෙතොලට තම දබරැඟිල්ල තබමින් විජිත් එය වැළැක්වූයේ කාමරයේ දොර දෙසට හිසින් සන් කරමිනි. 

කාමරයෙ දොර දෙසට පැමිණෙන පියවර හඬක්.... බරට අඩි තබා පැමිණෙන පියවර හඬක්.... සහේළිට ඇසුනේ එවිටය. කාමරයේ දොරටුව අසලටම පැමිණි කවුරුන් හෝ ඒ පුද්ගලයා දොරටුව අබියස නතර විය. 


දෑස විසල් කොටගත් සහේළි හිස හරවා විජිත් දෙස බැලූ නමුදු ඔහු සිටියෙ දොරටුව දෙස යොමු කොටගත් බැල්මෙනි. 

සහේළී විසල් වූ දෑසින් යුතුව විජිත් වෙත ගොස් ඔහුගේ උරහිස වැළඳ ගත්තේ ද කාමරයේ දොරටුවට තට්ටු කරන හඬ ඔවුන්ගේ සවන් විදගෙන ගියේ ද එකම මොහොතකදීය.


7 comments:

  1. ඔයා නියමෙට ලියල රවී අයියා! ඉවර කර විදිහ ට මම හරි කැමති! බලවර්ධන ගැන පොඩියක් අමතක වෙන්ට ඇරලා එක පාරටම මේ ට්විස්ට් එක දාපු විදිහ නියමයි.

    පොඩි අවුලකට තීන්නේ හැබැයි මෙන්න මේ කොටස් දෙක අතර කොටසක් මිසින් වගේ පේන එක තමා.
    //ගින්දරේ උණුසුමත් එක්කම සීතල මැකෙන්න ඔවුන් කලේ තව තවත් තදින් එකිනෙකාට තුරුළු වීමයි...... // කොටස
    සහ
    //එක පාරටම විජිත්ට ඇහැරුණේ කකුල් දෙකට දැනුනු දැඩි සීතලක් නිසයි.//කොටස

    හැබෑට බැරිද අර Directors Cut limited edition වගේ එකකින් ඔයාට ඒ අතරමැද කොටස ලියල දෙන්ට?

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අමා...බොහොම ස්තූතියි....:)

      ඒ වාක්කිය දෙක අතර තිබ්බෙ මේං මෙහෙම කොටසක් බං...ඒක ලියල බොලාගෙ ලේ නරක් කරන්නෙ මක්කටද කියල නිකං හීටිය...අනික එහෙම බොලායෙ ඉමැජිනේෂන් එකට ඉඩ තිබ්බම බොලාට කැමති කැමති දෙයක් හිතාගන්ටත් ඇහැකි නෙව..තම තම නැණ පමණ...එහෙමත් නැත්නම් තම තම Dirty Minds අනුව...හෙහ්, හෙහ්, Get what I mean?......

      හැබැයි ඇත්තටම උනේ නං මෙන්න මෙහෙම දෙයක්.....හෙහ්, හෙහ්,

      / ගින්දරේ උණුසුමත් එක්කම සීතල මැකෙන්න ඔවුන් කලේ තව තවත් තදින් එකිනෙකාට තුරුළු වීමයි...... /

      '' විජිත්.......'' සහේළි කෙඳිරි ගෑවා..

      '' ඇයි රත්තරං?...... '' ඔහු තවත් ඇයව තදින් තුරුළු කර ගත්තා.

      '' ඔයාගෙ.... අත් දෙක.... ටිකක් බුරුල් කරනවද?...''

      සහේළි එහෙම කිව්වෙ වචනෙන් වචනෙ ඇද අද බොහොම අමාරුවෙන්..

      '' හරි, අනේ සොරි......'' විජිත් අත් දෙක ලිහිල් කලා...

      සහේළි උඩු බැලි අතට ඇඳේ දිගාවෙලා පපුව පුරවල හුස්ම දෙක තුනක් ගත්ත...

      '' හපොයි යන්තම් ඇති...මම හිතුවෙ මම මැරෙයිමයි කියල....'' ඇය විජිත් දිහාවෙ රවල බැලුව....

      '' කොහෙන්ද තමුං ඔහොම බදාගන්ට ඉගෙන ගත්තෙ....අර මහසෝං පිල්ලිය ගැන රිසර්ච් ආටිකල් එකක් ලියද්දි මහසෝන සොහොං පිටිවල ඉඳල පස්සෙං ඇවිල්ල ගෑණුන්ව බදාගන්නව කියල මම ඇහුව ...ඒකට කියන්නෙ මාරාන්තික ග්‍රහණය කියල..Death Grip of the Devil...........ඒත් මම හීනෙකිංවත් හිතුවෙ නෑ මගෙ ජීවිත කාලෙදි මට ඒ ඩෙත් ග්‍රිප් එක Personally අත් විඳින්න ලැබෙයි කියල... ''

      '' සොරි ..සහේළි '' විජිත් කිව්වෙ අහක බලාගෙන ..ඇගේ ගිනි පිටවෙන දෑසදිහා බලන්ට ඔහුට හයියක් තිබුනෙ නෑ..

      '' ඒ සොරියෙන් කමක් නෑ...තමුං එක්ක මේ වැඩේ කරන්ට නං මට Body Armour Kit එකක් ගන්ටම වෙනව...මේ කැලේ එව්ව නෑනෙ...කොළඹ ගිහිල්ල ඒකක් ගන්නකල් කරුණාකරල අන්න අර පන්සල් වල බුදු පිළිම චිත්‍ර ඉස්සරහ ගහල තියෙන දැන්වීම දකල තියනව නේද?...'' කරුණාකර බැතිබරව වැඳ පුදා ගැනීමෙන් සෑහීමට පත්වන්න.. අත පත ගෑම සපුරා තහනම්ය '' අන්න ඒ විදිහට කටයුතු කරන්ට සටහන් කර ගන්නවා...Am I making myself clear?

      '' Perfectly, my dear " විජිත් අහක බලාගෙනම හෙමිහිට කිව්වා.

      '' Right...don't forget that now ..okay?...''

      සහේළි අනික් පැත්තට හැරිල ඔලුවෙ ඉඳල බ්ලැන්කට් එක පෙරව ගත්තා.

      විජිත් සීලිම දිහාවෙ බලාගෙන හිටිය මොකවත් හිතාගන්න බැරුව....

      බෑග් එකට VAT 69 බෝතලයක් දාගත්ත නේද?.........ඔහුට හදිසියෙ මතක් උනා..

      '' මචං කෝකටත් මේකත් දාගනිං..'' ඔහුගෙ හොඳම මිතුරා රවී තමයි හෝටලෙන් පිටත් වෙන්ට හදද්දි කොළ පාට බෝතලය බෑග් එකට දැම්මෙ..

      ඒ වෙලාවෙ තමන් මහ හඬින් හිනා උනු හැටි විජිත්ට මතක් උනා.

      '' මල්ලී, උඹල තාම පොඩි එවුන්...ජීවිතේ නොහිතන අවස්ථා වලට මුහුණ දෙන්ට වෙනව අපිට බොහොම වෙලාවට...කෝකටත් සූදානමින් ඉන්න එකේ වරදක් නෑනෙ....'' එහෙමයි රවී කිව්වෙ ඒ වෙලාවෙ...

      විජිත් ඇඳෙන් නැඟිට්ට. බෑග් එකේ අඩියෙම තිබ්බ බෝතලේ අරගෙන මූඩිය කඩල එහෙම්මම උගුරක් වක්කරගත්ත අමුවෙම්ම.

      ඊට පස්සෙ මොනව උනාද කියල විජිත්ට මතකයක් නම් නෑ

      /එක පාරටම විජිත්ට ඇහැරුණේ කකුල් දෙකට දැනුනු දැඩි සීතලක් නිසයි./

      Delete
  2. නියම අවසානේ. කුතුහලය අවුස්සවමින් ඉවර කරලා තියනවා. අමා ඔය කියන හිස් තැන් පුරවන්ට කීවොත් මේ උන්දෑ තව කොටස් කීයක් ලියය්ද දන්නේ නෑ. හී හී...

    //ඔවුන් එනකොට ගිණි උඳුන බුර බුරා ඇවිලෙනව...//

    කතාවේ බූරාත් ඉඳලානේ. මේ මනුස්සයා නැති තැනක් නෑ.:D

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පොඩ්ඩි,

      අන්න අර වාක්‍ය දෙක අතර සිද්ද වෙච්ච දේ මම උඩහිං ලිව්ව...හෙහ්, හෙහ්,

      Delete
  3. මේ කතාව බොහොම ලස්සනට පටන් ගත්තත් මැදදි මොකද්දෝ මන්දා එකක් වුනා.. ඒකෙන් අර කතාවෙ තිබුනු රසය එහෙම්මම මැරිලා ගියයි කියලයි මට නම් හිතෙන්නෙ.. හැබැයි ඉතිං, ‍මේ අවසානයත් නරකම නෑ.. :)

    ReplyDelete
    Replies
    1. අමුතුවෙන් කියන්න දෙයක් නෑ. බුරා කී දේම තමා මටත් හිතුනේ...

      Delete
  4. කියවගෙන කියවගෙන යද්දි එක පාරටම මොකක්ද උනා වගේ දැනුනෙ රවීට දිගටම ඇදගෙන යන්න වෙලා තියෙන නිසා කියලයි හිතුනෙ. මොකද කියවන අපි මේක කියවන්නෙ වෙනස් වෙනස් රටා බලාපොරොත්තුවෙන් හින්දනෙ. මන් හිතන්නෙ ඔයලගේ කතා වල රසය තියෙන්නෙ වෙනස් වෙනස් ශෛලීන් කිහිපයකින්ම එකම කතාව ලියවෙන හින්ද කියලයි.

    ReplyDelete