Saturday 24 November 2012

හාදු කුමාරයා... අවසන් කොටස


වීණාට මුළු ලෝකෙම කැරකෙනවා වගේ දැනුණා. නුරාධ. ගිහින්. මට එයා එක්ක කතා කරන්නවත් බැරි උනා. බැරි උනා? බැරි උනා නෙවෙයි, මම කතා කළේ නෑ. එයා ඇවිල්ලත්. එයා මාව බලන්න ඇවිල්ලත්. එයා මා එක්ක කේන්තියෙන් ගියෙ. ආයෙ කවදාවත් මා එක්ක කතා කරන එකක් නෑ. වීණාට පපුව පැලෙන්න එන තරමේ වේදනාවක් දැනුනා. මෙච්චර දවස් දරාගෙන හිටපු වේදනාව තවත් උහුලගන්න බැරි තරමට හදවත තෙරපගෙන මතු වෙනවා. ඇස් දෙකෙන් ගලන කඳුළු නවත්තගන්න බෑ. වීණාට මහා හයියෙන් ඇඬුනා. ටිකකින් කාමරේ දොරට ගහන සද්දයක් ඇහුණා.

"පොඩි දූ?" අම්මගෙ කටහඬ.

ඉකි ගැහිල්ල නවත්තගන්න හැදුවත් වීණාට තවත් හයියෙන් ඇඬුනා. අම්මා දොරේ අගුල කරකවලා හෙමීට දොර ඇරලා කාමරේ ඇතුලට එබුණා. වීණා පොඩි කාලෙදි එයා වැඩියෙන්ම ආදරේ කරපු බෝනික්කා නැති වෙච්ච දවසෙදිත් වීණා ඇඬුවේ මෙහෙමමයි, ඇඳ පල්ලෙහා වාඩි වෙලා දණිස් දෙකේ ඔළුව ඔබාගෙන, අම්මට මතක් උනා. පොඩි කාලෙදි මගේ නැති වෙච්ච බෝනික්කව ආපහු හොයලා දුන්නෙ අම්මා, අම්මව දැක්ක වෙලාවේ වීණාටත් මතක් උනා. අම්මා කිසිම කතාවක් නැතුව ඇවිල්ලා වීණා ලඟින්ම වාඩි වෙලා එයාව තුරුළු කරගත්තා. එයාගේ ඉකි ගැහිල්ල අඩු වෙනකල්ම ඔළුව අතගෑවා.

"අම්මේ." පැය බාගෙකට විතර පස්සේ කතා කරගන්න පුළුවන් උනාම වීණා අම්මාගෙ උරිස්සේ මූණ ඔබාගෙනම කෙඳිරුවා.

"ඇයි මගෙ පැටියෝ?"

"නුරාධ - " වීණාට එච්චරයි කියාගන්න පුළුවන් උනේ ආපහු ඇස් දෙකෙන් කඳුළු ගලන්න පටන්ගත්තා.

"කවුද නුරාධ?"

"වික්-ක්‍රම අංකල්-ල්ගෙ පුතා - " වීණා ඉකි ගගහා කිව්වා.

"ආ, ඔව්, ඊයෙ මෙහෙ ආවෙ."

"එයා අද ආපහු - ආප-හු යනව-ද?"

"ඊයෙ එහෙම තමයි කිව්වෙනං. දූට නින්ද ගිහින් තිබ්බනෙ ඒගොල්ලො ආව වෙලාවේ."

වීණාගේ ඇඬිල්ල වැඩි උනා. අම්මා ආපහු එයාව තුරුළු කරගත්තා. "මට දැනුණා දූ ඉන්නෙ හිතේ කරදරේකින් බව. මට කියනවද ඒ ගැන?"

"මං නුරා-ධ-ට ආ-දරෙයි අම්-ම්මෙ."

"හ්ම්." අම්මා හැමදේම තේරුම් ගත්තා වාගේ ඔළුව වැනුවා. "ඒ පුතා දන්නවද මේ ගැන."

"ඔව්." වීණා කිව්වා. ඒත් ඊලඟට ආයෙම ඔළුව දෙපැත්තට වැනුවා. "නෑ."

"ඒ කියන්නෙ?"

"දැං නුරා-ධ හිතං ඉන්-නේ මට එයා-ව එපා කියලා." වීණාගේ ඇඬිල්ල ආපහු වැඩි උනා.

ගේ ඉස්සරහා පාර දිගේ ආපු වාහනයක් ගේට්ටුව ලඟ නතර වෙන සද්දේ ඇහුණා. "සුජාතා, කවුද බලන්න පොඩ්ඩක්." අප්පච්චි කන්තෝරු කාමරේ ඉඳං කියනවා ඇහුණා.

අම්මා නැගිටින්න හැදුවත් වීණා අම්මව හයියෙන් අල්ලගත්තා. එයාට අම්මා එක්ක තව ගොඩක් දේවල් කියන්න ඕනෙ උනා. එයාට අම්මගෙ තුරුලේ තව ගොඩක් වෙලා ඉන්න ඕනෙ උනා. "අනේ පොඩ්ඩක් බලන්න පුළුවන්ද. මං මේ පොඩි වැඩක ඉන්නෙ. දාලා එන්න විදිහක් නෑනේ." අම්මාත් අප්පච්චිට ඇහෙන්න උත්තර දුන්නා.

වීණා අම්මගේ උරිස්සේ මූණ ඔබාගෙනම කල්පනා කළා. නුරාධ දැන් එයා පෝට් එකේ ඇති. එයාටත් මාව මතක් වෙනවා ඇති. එයා ගිහින් මට ඊමේල් එකක්වත් එවයිද. නෑ, මම එයාට යවන්න ඕනෙ එකක්. ඒත් අනේ එයා උත්තරයක් එව්වෙ නැති උනොත්. දිව්‍යාට දුන්නා වගේ දෙවෙනි අවස්ථාවක් මට නුදුන්නොත්. අප්පච්චි දොර අරින සද්දෙ ඇහුණා. "වික්‍රම!"

"මේ අපේ කොල්ලගෙ පිස්සු වැඩ බලන්න ජයේ - "

එතකොටම ඇහුණේ වීණාගෙ පපුව නතර වෙන කටහඬක්. "අංකල් ප්ලීස් වීණාට කියන්න එකම එක පාරක් මා එක්ක කතා කරන්න කියලා."

වීණාගෙ ඇස් දෙකෙන් හෝ ගාලා කඳුළු ගලාගෙන එන්න පටන්ගත්තා. අම්මාගෙ මූණෙ හිනාවක් ඇඳිලා. වික්‍රම අංකල්ගේ කටහඬ සාලෙන් ඇහෙනවා. "අනේ සොරි ජයේ, අපි දන් නෑ මේ ළමයි මොන මොනවා කතා කරගෙන තියනවද කියලා. මේ හෙට එළි වෙන පාන්දර ෆ්ලයිට් එක තියෙද්දි මේකා කාමරේට වෙලා බිබී ඉන්නවා එයාපෝට් යන්න ලෑස්ති වෙන් නැතුව. මායි සන්ධ්‍යායි කොච්චර අමාරුවෙන්ද මේකගෙං මොකද වෙලා තියෙන්නෙ කියලා අහගත්තේ."

"වීණට යනවා කියන් නැතුව මට යන්න බෑ අංකල්." නුරාධ ඔය ටික කියලා ඉවර වෙද්දි වීණා අම්මත් එක්ක කාමරේ දොර ගාවට ඇවිල්ලා. හැමෝම ඒ පැත්ත බැලුවා. වීණා නුරාධ දිහා බැලුවා. කොණ්ඩෙත් අවුල් වෙලා, දවස් ගාණකින් රැවුල කපලත් නෑ. ඇස් දෙක වටේ කළු වෙලා. නුරාධ හෙමින් වීණා ලඟට ආවා. වීණාගෙ අම්මා අනිත් වැඩිහිටියන් හිටපු පැත්තට ගියා.

"වීණු..." නුරාධ කතා කළේ හුඟක් හෙමින්. වැඩිහිටියො හතරදෙනාගෙම ඇස් ඒ දෙන්නා ලඟ නතර වෙලා තිබ්බා කියලා ඒ දෙන්නම දැනගෙන හිටියා.

"පරිස්-සමෙන් ගිහින් එන්-න නුරාධ." වීණාගෙ ඇස් දෙකෙන් තාමත් කඳුළු කඩා හැලෙනවා.

"ඔයාට එච්චරද මට කියන්න තියෙන්නෙ?" නුරාධ කළින්ටත් වඩා හෙමින් ඇහුවා.

වීණා බිම බලාගත්තා. "සොරි."

නුරාධ ඇස් දෙක වහගෙන ඔළුව උඩට හැරෙව්වා. එයාට මේ කිසිම දෙයක් තේරුම් ගන්න බෑ. ඇයි මෙහෙම උනේ. නුරාධත් වීණාට ආදරෙයි. වීණාත් නුරාධට ආදරෙයි. ඒත් ඇයි ඒ ආදරේට මෙහෙම උනේ. වීණා ආයෙත් කතා කරනවා ඇහිලා නුරාධ ආපහු පහළ බැලුවා.

"මට ඔයාව නැති කරගන්න බෑ. ඔයා මට ආදරේ තරමටම, ඊටත් වඩා, මං ඔයාට ආදරෙයි." වීණා කඳුළු පිරිච්ච ඇස් දෙකෙන් නුරාධ දිහාම බලාගෙන කිව්වා.

නුරාධත් වීණා දිහාම බලාගෙන හිටියා. එච්චර වෙලා අඬ අඬ හිටපු හදවත සන්තෝසෙන් කෑ ගහලා උඩ පනින අතරේ නුරාධගේ ඇස් දෙක යාන්තමට බොඳ උනා. "ආයෙත් කියන්න මගෙ මැණිකේ."

වීණාගේ මූණේ කඳුළු අතරින් හිනාවක් මතු උනා.

-------------------------------------------------------------------------

"ඉතිං එච්චරද?" නුරාධ පොත වහලා ඇහුවා.

"එච්චරයි. මේ, කවරෙ පිටිපස්සෙ තියෙන්නේ 'ඇන්ඩ් දේ ලිව්ඩ් හැපිලි එවර් ආෆ්ටර්' කියලා."

වීණායි නුරාධයි හිටියේ වීණාලාගෙ ගෙදර මිදුලේ ලොකූ ගහක් යට තණකොළ බිස්සේ වාඩි වෙලා. ඒ ඒ දෙන්නගෙ පළවෙනි විවාහ සංවත්සරය. විවාහයෙන් පස්සේ දෙන්නම රට ගිහින් මේ ආපහු ලංකාවට ඇවිත් ඉන්නේ අවුරුද්දකට විතර පස්සේ. ටික දවසක් නුරාධගේ අම්මයි අප්පච්චියි එක්ක ඉඳලා ඒ දෙන්නා වීණලාගෙ ගෙදර ආවේ දැන් දවස් දෙකකට උඩදි. ඒත් හදිසියෙම අම්මටයි අප්පච්චිටයි එදා උදේ වීණාගෙ අක්කලාගෙ ගෙදර යන්න උනේ අක්කට බබා ලැබෙන්න අමාරු උන නිසා. මුළු ගේම ඒ දෙන්නටම ඇරිලා තිබ්බත් වීණා ලන්තෑරුමත් අතින් අරන් නුරාධවත් ඇදගෙන මෙතනට ආවේ මාස ගාණක් තිස්සේ එයා නුරාධ වෙනුවෙන් ලෑස්ති කරපු තෑග්ග දෙන්නයි. නුරාධ එයාට විවාහ සංවත්සරය වෙනුවෙන් එදා උදේම දීපු මාලේ වීණා ඒ වෙද්දිත් කරේ දාගෙනයි හිටියේ.

"මේ කතාවේ මං හිටියට කතාවේ බාගයයිනෙ මං දැනං හිටියේ. සචියවත් මට කිව්වෙ නෑ දිව්‍යාගෙ ලියුම ගැන."

"මං කිව්වා සචිත්ට ඔයාට කියන්න එපා, මමම හෙමින් සැරේ කියන්නම් කියලා."

නුරාධ ආපහු පොතේ පිටු එකින් එක පෙරළ පෙරළ වීණාගේ මුතු කැට අකුරින් හැඩ වෙච්ච පිටු අතගෑවා. "ඔයාට කොහෙන්ද වීණු මේවා ලියන්න වෙලාවක් හම්බුණේ?"

"ඕනෙකම තියෙනවනං ඕන දේකට වෙලාව හොයාගන්න පුළුවන් කියලා ඔයාමනේ කියන්නේ."

"ඒකත් හරි." නුරාධ ආපහු පොතේ කවරේ දිහා බැලුවා. ඒ දෙන්නා එකට ඉඳලා ගත්තු මුල්ම ෆොටෝ එක කවරේ අලවලා තිබුණා. ඊට උඩින් ලියලා තිබ්බ නම කියවලා නුරාධට දහ වෙනි පාරටත් හිනා ගියා.

"මොකද අනේ ඔයා ඔය නම බල බල හිනා වෙන්නෙ?"

"ඔයත් මට මාර නමක්නේ දාලා තියෙන්නෙ. 'හාදු කුමාරයා'" නුරාධට තාම හිනා.

"ඉතිං ඇයි වැරදිද?" වීණා ඔළුව හැඩ කරලා ඇස් කොණෙන් නුරාධ දිහා බැලුවා.

"නෑ නෑ, වැරදි නෑ. මං ඒත් හිතුවේ අපරාදෙ එදා ඔයාගෙ අප්පච්චි ඒ වෙලාවෙ උගුර පෑදුවෙ නැත්තං ඔයාට මේ පොතේ අගිස්සටත් මේ පටංගත්තා වගේම හාද්දක් එකතු කරන්න තිබ්බා."

වීණාට හිනාවක් ගියා. "හොඳට හිටියි එහෙම උනානං. ඉතිං ඒක නෙවෙයි, මට කියන්නකො ඔයා මේ තෑග්ගට කැමතිද?"

"ගොඩාක් කැමතියි වීණු. මං ඔයාට දීපු මාලෙ වගේ නෙවෙයි, මේ වගේ තෑග්ගක වටිනකම කියන්න බෑ. මේකෙ පිරිලා තියෙන්නෙ ඔයාගෙ ආදරේ." නුරාධ වීණාගෙ ඇස් දෙක දිහා බලාගෙනම කිව්වා.

"අපි දෙන්නගෙම ආදරේ." වීණාත් නුරාධ දිහා බලාගෙනම කිව්වා.

නුරාධ වීණාට ලං උනා. "මේ, අර දර මඩුව එහෙම තාම තියෙනවද?"

පළවෙනි හාදුවේ මිහිරි මතකයෙන් වීණාව රතු වෙලා ගියා. ඊට පස්සෙ තව කොයි තරම් හාදු මේ හාදු කුමාරයාගෙන් ලැබුණත් ඒ පළමු හාදුවේ තිබුණ මිහිරියාව තාමත් එහෙමමයි. "මගෙ මැණිකෙට ගොඩාක් ආදරෙයි. හැපි ඇනිවසරි!" වීණාට මුකුත් කියාගන්න ඉඩක් ලැබුණේ නෑ, ඒ මතකයත් එක්ක නුරාධගේ උණුසුම් සුසුම් රැල් මූණේ වැදෙන්න ගත්තාම වීණාගේ ඇස් දෙක නොදැනීම පියවුණා.






~සමාප්තයි~

11 comments:

  1. අඩේ, බොලේ....නියම කතාව....හෙහ්, හෙහ්,

    ඔය සුජීවල මහේෂ්ල මොක්කුද මෙයානෙ මේ Undisputed Queen of Romance of Sri Lanka ….. අනෙ අම්මප....

    රට ඉඳල ආහම මේ දෙන්න බුදිය ගත්තෙම ඔන්න දර මඩුවෙලු..හොඳේ?.....දර මඩුව ගැන දෙන්නගෙම තිබ්බෙ පුදූම ආසාවක්ලු ඔන්න හොඳද?

    එදින රාත්‍රි ආහාරයෙන් පසු අම්මා සහ අප්පච්චි සාලයෙහි වාඩි වී සිටියේ සුපුරුදු ලෙස සතුටු සාමීචියේ යෙදෙමිනි.

    එක් වරම නුරාධ සාලයට පැමිණියේ කුස්සියට යාබද කාමරයේ මුල්ලක හේත්තු කොට තිබූ බූරු ඇඳද කර තබාගෙනය. ඒ පසුපස කොට්ට දෙකක් සහ පොරෝනා දෙකක්ද තුරුළු කරගෙන ප්‍රීතියෙන් සිනාසෙමින් පැමිණියේ වීණාය. විශ්මයෙන් විවර වූ මුව ඉතා අපහසුවෙන් වසාගත් අප්පච්චි කථා කලේ විදහාගත් දෑසින් යුතුවය.

    මොකද දරුවෝ මේ?..පැල් රකින්ට යනව වගේ?

    වීණා පිළිතුරු දුන්නේ අම්මා සහ අප්පච්චි ඉදිරියේ නතරව විලියෙන් රතුව ගිය මුහුණිනි.

    නෑ අප්පච්චි...අපි දෙන්න හිතුව අද දර මඩුවෙ රෑට නිදාගන්ට ඕනය කියල…

    ඔව්, අප්පච්චි කියන්ට බෑනෙ මේ කාලෙ....දර දැං ගිණි ගණං නේද? හොරෙක් වත් ඇවිල්ල දර ටිකට වැඩේ දුන්නොතිං එහෙම? කාට කියන්ටද? ඒ නුරාධ...

    මොන පිස්සු කියවනවද මන්ද මේ ළමයි...කවුද ඔය දර ටික උස්සං යන්නෙ?...මෙච්චර කාලෙකට නොවිච්ච දෙයක්…අප්පච්චි පැවසූයේ නොපහන් දෑස අම්මා දෙස යොමු කරමිනි.

    නෑ අම්මෙ ඒකමත් නෙවෙයි...නුරාධ කැමතියි එළියෙ හුළං වැදි වැදි නිදාගන්ට...ඒකයි..වීණා වචන ගලපාගත්තේ බොහෝ අසීරුවෙනි.

    අපෙ එහෙ ගෙදරත් හදාගත්ත දර මඩුවක් වෙනම අපිට බුදියෙන්ටම...අපි දෙන්න නුරාධගෙ අළුත් බී.එම්. ඩබ්ලිව්. එකේ ගිහිල්ල ඒ කිට්ටුව කැළේකිං දර කපාගෙන වහලෙ උඩ ගැටගහගෙන ආව...නුරාධ කැපූ දර තමන් මිටි බැඳ රථයට පැටවූ ආකාරය සිහිව දෙතොලට නැඟුනු සිනහවෙන් යුතුව වීණා පැවසුවාය.

    හරි හරි එහෙනම් යන්නකො....කමක් නෑ ජයේ..එයාලගෙ ආසාවනෙ..අම්මා පැවසූයේ මඳ සිනහවකිනි.

    ReplyDelete
    Replies
    1. /*එක් වරම නුරාධ සාලයට පැමිණියේ කුස්සියට යාබද කාමරයේ මුල්ලක හේත්තු කොට තිබූ බූරු ඇඳද කර තබාගෙනය. ඒ පසුපස කොට්ට දෙකක් සහ පොරෝනා දෙකක්ද තුරුළු කරගෙන ප්‍රීතියෙන් සිනාසෙමින් පැමිණියේ වීණාය.*/

      /*අපි දෙන්න නුරාධගෙ අළුත් බී.එම්. ඩබ්ලිව්. එකේ ගිහිල්ල ඒ කිට්ටුව කැළේකිං දර කපාගෙන වහලෙ උඩ ගැටගහගෙන ආව...*/

      මට මැවිලා පේනවා අනේ මේ ටික. තාම හිනාව නවත්තගන්න බැරුව ඉන්නෙ. :D :D :D

      Delete
    2. හයියෝ මගේ බඩත් රිදෙන්ට ගත්ත හිනා වෙලා ... සිත්තමීගේ කතාවත් හරි - රවී අයියගේ කමෙන්ට් එකත් හරි...මරු කම්බිනේෂන් එක හි හි !!!

      Delete
  2. WOW!! BEAUTIFUL!! Simply & utterly beautiful.

    Ps: I mean both the story & the first comment.. :-)

    ReplyDelete
  3. සිත්තමී නගේ,
    මේ කතාවෙ අවසානෙට මං පුදුම තරං ආසයි!! මට හිතෙන්නෙ මේක තමා අපි මේ වෙනකල් ලිව්ව සාර්ථකම කතාව!!

    ReplyDelete
    Replies
    1. ගොඩාක් ස්තූතියි ජනූ අක්කේ. :) අවසන් කොටස ලියන්න පටන් ගන්නකල් මට මෙහෙම අවසානයක් හිතිලාවත් තිබ්බෙ නෑ. හදිසියෙම තමයි පොතක් ගැන ඔළුවට ආවේ. වැඩේ හනිමූන් එකෙන් ඉවර කරන්න හිතුවත් ඊලඟට මතක් උනා අපේ කළින් කතාවත් එතනින් නේද ඉවර උනේ කියලා. ඒ ගමන තමයි ඇනිවසරි එකට ගෙනිච්චේ. :)

      කතාවක් ලස්සන වෙන්න ඒකට මුල ඉඳන් දායක වෙච්ච හැමෝගෙම කොටස් බලපානවා. ඒ නිසා ඔයාගෙ ප්‍රශංසාව මල් දමේ අපි හැමදෙනාටම අයිතියි. :) :) :)

      Delete
  4. ඇන්ඩ් දේ ලිව්ඩ් හැපිලි එවර් ආෆ්ටර්' කියලා."

    ජය..

    ReplyDelete
    Replies
    1. යස්, දේ ලිව්ඩ් හැපිලි එවර් ආෆ්ටර්... :)

      ස්තූතියි ඔබට! :)

      Delete
  5. //"මගෙ මැණිකෙට ගොඩාක් ආදරෙයි//
    හරි ලස්සනයි සිත්තමී... මේ වාගේ ආදර බස් ලියන්ට නම් කාගෙන් හරි මෙහෙම අහලම තීන්ට ඕනා ... මම හරිද මන්ද? හි හි
    (රහසින් : මේවායේ දෙබස් වල කොපි රයිට් සිත්තරාගේද ?)

    ReplyDelete