Monday 3 December 2012

සිත්තමක ලියැවුණු කවිය... 03

ඒ එක්කම උත්තර හොය හොය ඉන්ට වෙලාවක් තිබුනෙත් නෑ මුතූට. ඒ ඒත් එක්කම වික්‍රම අහපු අනික් ප්‍රශ්නෙ නිසා. 

'' මේ, ඒක නෙවෙයි මොකෝ මේ දවස් වල පන්සල පළාතෙ වත් නාවෙ? '' 

මුතූ කිසිම දෙයක් කිව්වෙ නෑ...මොනව කියල කියන්ටද?....මම පන්සලට ආවද නාවද කියල හොයන්ට තමුන් කවුද කියල අහන්ටම හිතුනත් මූණට දමල ගහනව වගෙ එහෙම අහන එකත් ඒ හැටි හරි මදිය කියල හිතුන නිසා මුතූ සද්ද නැතුව හිටිය. 

'' පොඩි හාමුදුරුවොත් ඇහුව දෙතුන් පාරක්, මොකද දන්නෙ නෑ විසාකා සිටු දුව මේ පැත්තෙ නාවෙ සෑහෙන කාලෙකින්...වෙනද නම් පන්සලෙන් එලව ගන්ට බෑ ....ඔන්න ඔහොම තමයි කිව්වෙ නං ඔන්න…'' 

මුතූගේ හිතට ආයෙම කේන්තියක් ආවේ ඇයට නොදැනීමය.. 

" කවුද දැන් විසාකා සිටුදුව?..." 

ඇය ඇසූයේ පහත් හඬින් වුවද ඇය නැවත කෝප වී සිටින බව ඔහුට රහසක් නොවීය. 

'' අනේ, අනේ, මේ මාව අල්ලගන්න එපා ඒ විසාකා සිටුදුව කතාවට...මම කියාපු එකක් එහෙම නෙවෙයි. ඔන්න ඔයාලගෙ පොඩි උන්නාන්සෙම තමයි කිව්වෙ.....'' 

'' මේ ගල් පැලෙන මුසාවාද කියන්ට එපා හොඳද?....මහ ලොකුවට පන්සල් වල චිත්‍ර තමයි අඳින්නෙ...ඒත් කට ඇරියොත් පට්ට පල් බොරු තමයි කියන්නෙ…'' 

මෙන්න මේ ළමය තමයි මට වැරදි පාරක් කියල මාව අමාරුවෙ දැම්මෙ...පන්සලේදී මුතූ දැක්ක ගමන් වික්‍රම කියපු මුසාවාදෙ මුතූට මතක් උනා. 

'' ඉන්නවකො මම ඕක අහන්නම්කො පොඩි හාමුදුරුවන්ගෙන්. '' 

මුතූ කිව්වෙ වික්‍රම දිහාවට දබරැඟිල්ලත් දික් කරල එහෙම.... 

'' අපෝ එපා....'' 

වික්‍රම බැගෑපත් උනා… 

'' අපෝ එපා...ඔන්න ඕකනෙව කියන්නෙ ඔයත් එක්ක බෑ කියල..... පොඩි හාමුදුරුවො මට කිව්වෙ වික්‍රම අයියෙ කාටවත් කියන්න එහෙම එපාය කියලයි, ඉතිං ඔයා තකහනියක් වෙඩි කාපු අර මොකීද වගෙ දුවගෙන ගිහිල්ල ඔව්ව හගිස්සුවන්ට තනල පොඩි හාමුදුරුවන්ට තරහ ගියොත් එහෙම මාව පන්සලෙනුත් එලවල දායි....'' 

'' එතකොට මම හිතාන ඉන්න වැඩේ කොර ගන්ටත් බැරිවෙයි..ඔයයි කැමතිය ඒකට? '' 

'' ඈ.........මොකක්ද ඒ වැඩේ?....'' 

මුතූට ඉබේටම එහෙම ඇහුණ. 

'' මයෙ හිතේ තියෙනම දැන් සෑහෙන කාලෙක ඉඳල හිට ලස්සනම ලස්සන ආදර කතාවක් චිත්‍රයට නඟල ප්‍රදර්ශනයක් තියන්න.... '' 

'' හිහ්....ආදර කතාවක්.....පන්සලේ චිත්‍ර අඳින අව් අස්සෙ ආදර කතා අඳින එක හොඳයිද?...... '' 

ඔය නන්නාඳුනන සිත්තරා එක්ක කදේට වැටිල ඉන්නෙ නැතුව විගැහිං ගෙදර පලයං මුතූ....කොයි දැං අර නාඳුනන අය එක්ක ආස්සරේ නොකරනවයි කියල උඹේ තිබ්බ ප්‍රතිපත්තිය?....එහෙම කවුදෝ ඇහුව මුතූගෙං.....වෙනද හැමදාම එහෙම ඇහෙන අවවාද අනුසාසනා වලට එක පයින්ම එකඟ වෙන මුතූ කෙල්ල අද එව්ව පයිසෙකට වත් ගනන් ගත්තෙ නෑ කිව්වම..... 

'' නෑ...ඒකෙ කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ....බෞද්ධ සාහිත්‍යයෙ තමයි ලස්සනම ආදර කතා තියෙන්නෙ...සඳ කිඳුරු කතාව, වෙස්සන්තර, කුස පබාවතී.....මොන තරම් අපූරු කතාද?.....ඒ එක්කම සිදුහත් යසෝදරා.... ඒකත් ඒ වගේම ආදර කතාවක් නෙවෙයිද?.....'' 

වික්‍රම ඇහුවා....ලස්සනට හිනා වෙන ගමන්.... 

සඳ කිඳුරු කතාව !!!........ 

ලොකු හාමුදුරුවන්ගෙ බණ මතක් වෙලා මුතූට ඉබේම බිම බැලුනා. 

'' ඒ කතාව අඳින්ට හොඳ ගෑණු ලමයගෙ රූපෙ මයෙ හිතේ ඇඳිල තිබුන දැන් සෑහෙන කාලෙක ඉඳල....ඒත්......'' 

මුතූ ඔලුව ඉස්සුව....වික්‍රම කතා කලේ ඈත පේන කුඹුක් ගස් මණ්ඩිය දිහාවෙ බලාගෙන.... 

'' ඒත් මයෙ හිතේ ඇඳිල තිබ්බ ඒ මූණ මම දැක්කෙ මේ ගමට ආවට පස්සෙ.... '' 

මුතූගේ කනුයි, නහයයි, කොටිම්ම මුලු සරුවාංගෙම රතු උනා...කන් රත්වෙලා නිකං දුම් පිටවෙනව වගේ කියලයි කෙල්ලට හිතුනෙ..... 

ඒත් ඒ එක්කම වික්‍රම කිව්ව දෙයින් මුතූගෙ සරුවාංගෙම ආයෙම හීතල වෙලා ගියා...හීතල වතුර කොරහක් ඔලු ගෙඩියෙ නැව්වැහෙ. 

'' පහුගිය පෝය දවසෙ පන්සලේදි මම දැක්ක මම හොය හොය හිටපු ඒ ගෑණු ළමය.... '' 

මුතූ පහුගිය පෝය දවසෙ පන්සලට ගියේ නෑනෙ...ඇගෙ මුලු හිතම කඩා වැටුනෙ එක පාරටම....අහසෙ නිදැල්ලෙ රවුම් ගහමින් හිටපු පරෙයියෙක් දඩබ්බර කොල්ලෙක් කැට පෝලෙකින් විදපු ගලක් වැදිල අත්තටුවක් කැඩිල පොලවට වැටුන වගෙයි මුතූට දැනුනෙ. 

කවුරු ගැනද මෙයා මේ කියන්නෙ?...එකත් එකටම දූල්ලෑවෙ ගෙදර කමල නැන්දම්මගෙ දෝණියන්දැ ගැන වෙන්ටෝන...ගමේම ඉන්න ලස්සනම කෙල්ල නෙව....මුතූ තනියම හිතුව....හිත වගගෙන පැතිරුනු ගන අන්දකාරෙ මැදින් ඇයට තවත් මෙතන ඉන්න බෑ කියල හිතුන.... 

'' නඟා මට ඒකට උදව් කරනව නේද?..... '' 

වික්‍රම ආයෙම ඇහුව.. 

ආ..ඒකයි මේ මගෙ පස්සෙං දුවගෙන එහෙම ඇවිල්ල චිත්‍රෙකුත් බලෙම්ම දුන්නෙ....මගෙන් උදව් ගන්ට....ඇත්තටම චිත්‍රෙ ඉරල විසි කරන්ටයි ඒ වෙලාවෙ නම් මුතූට හිතුනෙ....කළුවෙලා ගිය මූණ වික්‍රමට නොපෙනෙන්ට එකපාරටම ආපහු හැරුන මුතූ පස්ස නොබලම එන්ට ආව.... 

එදා දවසම මුතූගෙ හිත පිරිල තිබ්බෙ මහ කියාගන්ට බැරි විදිහෙ හෝන්දු මාන්දු ගතියකින්...මීට කලින් මේ වගෙ හැඟීමක් එයාට කවදාවත් දැනිල තිබ්බෙ නෑ..ගෙදර ඇවිල්ල මුතූ චිත්‍රය දිග ඇරල බැලුව...කුඹුක් ගහ යටට පේන හතමුණේ වෙලයි, ඊට එපිටින් කුඹුක් ගස් මණ්ඩියයි, ඊටත් ඈතිම්ම පේන වේරගල කඳු පංතියයි හරිම අපූරුවට පණ පිහිටුවල වගෙ සුදු කඩදහියෙ ඇඳල තිබ්බ. 

මහ එක විදිහක මනුස්සයෙක් උනාට සිත්තර වැඩේට නම් උපන් හපනෙක්...මුතූ චිත්‍රෙ දිහා බලාගෙන තනියම හිතුව.පොඩිවට හිනාවකුත් එයාගෙ දෙතොල් මත්තෙ ඇතිවෙලා නැතිවෙලා නොගියමත් නෙවෙයි. 

රෑට කෑවට පස්සෙ මිදුලට ඇරිල තියෙන ඉස්තෝප්පුව වගෙ කෑල්ලෙ වාඩි වෙල පැයක් තරම සතුටු සාමීචියෙ යෙදෙන එක මුතූලගෙ පවුලෙ එදා ඉඳලම සිරිතක්. කුඹුරු වතුපිටිවල කෙරෙන දේවල් අප්පච්චි කියනව. ගමේ වෙච්චි දේවල් අම්මට ආරංචි වෙච්ච එව්ව අම්ම කියනව.අක්කණ්ඩි ගෙදර හිටපු කාලෙ දෙන්නත් එක්ක තරඟෙට ඉස්කෝලෙ වෙච්චි දේවල් අකුරක් නෑර කියනව... 

විජේ අයියගෙයි අක්කණ්ඩිගෙයි පළහිලව්ව ගැන කතාබහ කරල තීරණයක් ගත්තෙත් ඔය වගෙ ඉස්තෝප්පු මහ සබා රැස්වීමකදිම තමයි...අපූරුවට එදා මිදුල පිරෙන්ඩම හඳ එලියත් දෝරෙ ගලල තිබ්බ මුතූට මතකයි මේ අද ඊයෙ වාගෙ.... 

එදා රෑත් කෑමෙන් පස්සෙන් පහු කුස්සියෙ වලං පිඟන් එහෙම හෝදල අස් පස් කරල දාල අම්මයි මුතුයි ආව ඔන්න ඉස්තෝප්පුවට.අප්පච්චි සුපුරුදු පරිදි එයාගෙ සිංහාසනේ.......කළුවර ඇඳි පුටුවෙ දිගා වෙල හිටිය.......ඇස් දෙකත් බාගෙට පියාගෙන.....අම්මා අප්පච්චිගෙ නිල් කොටු මඩකලපු සරොම එලලන්ට පටං ගත්ත අප්පච්චි ගාවම කකුල් තුනේ බංකු පොඩ්ඩෙ වාඩි වෙල.මේ ළඟක් වෙනකල් උන්දැ ඉඳගත්තෙ එතනම බිම කොට බිත්ති කණ්ඩියට හේත්තු වෙල. ඒත් පහුගිය මහේ ගොයම් කැපිල්ලට නැහිල උන්දැගෙ ආව කකුල් කඩෙත්තුවක්. ඊට පස්සෙ බිම ඉඳගන්ට අමාරු නිසයි ඔය පුටු පුංච හදා ගත්තෙ එගොඩහ දෙණියෙ ගෙදර වඩු රාලට කියල. 

අප්පච්චි රැල් බුරුල් එහෙම ඇරල නැවිල පුටුව ලඟම බිම තිබ්බ ඉලත්තට්ටුවෙං බුලත් කොලයක් ගත්ත. 

අප්පච්චි මෙහෙම කරන්නෙ මොකක් හෝ බොහොම වැදගත් කාරණාවකට මුල පුරන්ට බව දන්න අම්මා එලලමින් හිටි සරම පැත්තක තියල නලලත් රැලි කරගෙන උන්දැ දිහාවෙ බලා හිටිය. 

හැබැයි මේ මොකවත් මුතූ දන්නෙ එහෙම නෑ....අම්ම ගාවම බිම වාඩිවෙලා කොට බිත්තියට හේත්තු වෙලා කකුල් දෙකත් පැත්තකට නවාගෙන මිදුලෙ සමං පිච්ච වැල වටේට නටන කණමැදිරියො දිහාවෙ ඔහේ බලා හිටියට මුතුගෙ හිත තිබුනෙ නං ඊට ගව් ගානක් දුරක........කවුරු ගැනද අර දවල් කිව්වෙ?.....එගොඩහ නාමලී වත්ද?...නැත්නං..... 

'' පොඩි හාමුදුරුවො කිව්වම එක පාරට බෑ කියන්ටත් බෑ නෙව. ඒත් මම කෝකටත් එක පාරටම වචනයක් දුන්නෙ නෑ....'' 

අප්පච්චි කියාගෙන යනව මුතුට යාන්තමට ඇහුණ. 

'' ඔය මනුස්සය බොහොම දක්ස සිත්තරෙක් කියනව නේද?....ඉලන්දාරියෙක් හේමද? '' ඒ අම්මා..... 

හෑ???..සිත්තරෙක්.....පොඩි හාමුදුරුවො....මුතූ හක්මං කරමිං හිටපු හීන ලෝකෙං මිදිල ඉස්තෝප්පුවට ආයෙම සැපත් උනා. 

'' කවුද අම්මෙ?....කවුද අම්මෙ?.... '' 

මුතූ ඇහුවෙ අම්මගෙ අත අල්ලල හොලවන ගමන්.. 

'' කවුද ලමයො....කවුරු ගැනද ඔය අහන්නෙ?...ඉඳපංකො පොඩ්ඩක්....කලබල නැතුව…. තව පොඩ්ඩෙං මයෙ අතෙත් ඇනෙනව මේ ඉදිකට්ට. '' 

අම්ම කිව්වෙ නොරිස්සුමකින්. 

'' මම ඇහුවෙ අප්පච්චි ඔය කවුරු ගැනද කිව්වෙ?....පොඩි හාමුදුරුවො ගැනත් මොනවද කිව නේද?...'' 

සිත්තරා ගැන නොකියා මුතූ පොඩි හාමුදුරුවො ගැන කිව්වෙ හිතාමතාමයි...සිත්තරා ගැන කෙලින්ම ඇහුවොත් අම්ම අහන්ට බැරි නෑ එයා ගැන උඹ දන්නෙ කොහොමද කියාල..... 

'' ඇයි දැං අප්පච්චි කියනව ඇහුනෙ නැද්ද? මොන ලෝකෙද හිටියෙ?....පන්සලේ සිත්තර කරුමාන්තෙ කරන්ට ඔය දේස දීපංකරේක ඉඳල ඇවිදිල්ල ඉන්නවලු සිත්තරෙක්...පොඩි හාංදුරුවො තමයි පංගාර්තු කරල තියෙන්නෙ.... '' 

'' ඉතිං? ඉතිං? '' 

මුතූට ඉවසිල්ලක් නෑ .....ඔව්ව මම දන්නව අම්මෙ......ඉතුරු හරිය කියන්ටකො කියල කියන්ටයැයි......... 

'' ඉතිං වැඩේට මාසයක් හමාරක් යන හැඩක්ලු තියනව කියන්නෙ....එතකල් ඒ සිත්තරාට මෙහෙ නවාතැන් දෙන්න පුලුවන්ද කියල අප්පච්චිගෙන් ඇහුවය කියන්නෙ පොඩි උන්නාන්සෙ…''


ඈ...අර සිත්තරා මෙහෙ නවතින්න එනව????....... මුතූගෙ හිතේ හීන් සතුටක් මෝදුවීගන ආව...ඒත් ඒ එක්කම ඒ සතුට එහෙම්මම හෝද පාලු වෙල ගියා එයාටම හරියකට හිතාගන්ට බැරි හේතුවක් නිසා... 

මෙහෙ ඇවිල්ල අපෙ ගෙදරම ඉඳගෙනත් මයෙං අහවි අර කවුද තේඋඩිච්චියක් දැක්කය කිව්වෙ පෝය දවසෙ පන්සලේදි...ඒකිව යාලු කරල දෙන්ට බැරිද කියල....මම මොකටද උන්දැට එව්වට උදව් කරන්නෙ.....එන්ට දෙන්ට හොඳ නෑ මේ පැත්ත පළාතෙ.... 

'' ඇයි එයාට පන්සලේම ඉන්ට බැරිලුද? '' 

'' පන්සලේ මේ දවස්වල අර වස් පිංකමට වැඩමවල ඉන්නව දුර බැහැරින් ආපු හාමුදුරුවරු කීප නමක්. ඒ නිසා ඉඩ පහසුකම් මදිය කියල තමයි පොඩි හාමුදුරුවො කිව්වෙ...අනික ඔය වගෙ කටයුත්තක් කරන කොට ඒක සමාදියකට සම වැදිල වගෙ කරන්ට එපාය. හොඳට විවේක පහසුකම් නැත්නම් හිත එකඟ කරගෙන ඒ වැඩේ කරන්ට අමරුයිලු...'' 

අම්මගෙන් ඇහුව උනාට උත්තර දුන්නෙ අප්පච්චි. 

හප්ප...උන්දැ සම වදින සමාදිය...මොකටද මයෙ කට....කට කොනකින් මතු වෙච්චි හිනාවකුත් එක්ක මුතූට හෙමිහිට කියවුනා... 

'' ඔන්න ආයෙම පටන් ගත්ත, තනියම කියවන්ට....මොනවද ලමයො ඔය සුටු පුටු ගගා කියවන්නෙ කොයිවෙලාවෙත් හැබෑටම?....'' 

අම්ම ආයෙම පාරක් සැර දැම්මා. 

ආදෙන්කො..මම දෙනව ජාපාල ඇට කුඩු කරල තේ එකට දාල....කමසිරියාවක් නැතුව බඩේලිය යන්ට….. ඔන්න බලාපල්ලකො උන්දැගෙ සමාදියයි චිත්තර ඇඳිල්ලයි දෙකම දෙපිටිං යන්ට වැඩේ නොකලොත් මම නෙවෙයි මුතූ..හිහ්, හිහ්,මුතූට නොදැනිල හිනහවක් පැන්න. 

'' මොකක්ද ළමයෝ, මේ වැඩේ තේරුම...ඒ පාර තනියම හිනැහෙනව...අම්මප හොඳ නෑ හැදීගෙන එන ලෙඩේ....අර එදා පන්සලේ උත්සවේ දවසෙ ගිණි මද්දහනෙ තනියම ගෙදර ආපු දවසෙ ඉඳං තමයි මේ ඔක්කොම...අනේ මම දන්නෙ නෑ..මේ ළමයට තෙල් ටිකක් වත් මතුරන්ට වෙයිද කියල '' 

අම්මගෙ අත ගියා කම්මුලට. 

'' හරි, හරි….. මේ ඔය කතාවලින් වැඩක් නෑ...මට කියාපල්ලකො හෙට පොඩි උන්නාන්සෙට මොකද කියන්නෙ කියල…'' 

අප්පච්චි කිව්වෙ නොඉවසිල්ලෙනි. 

'' මේ ලමිස්සියෙකුත් ඉන්න තැන…….'' 

අම්ම කිව්වෙ මුතූ දිහාවෙත් බලල.. 

'' ඒකම තමයි මම පොඩි හාමුදුරුවන්ට එක පාරම වචනයක් දුන්නෙ නැත්තෙත්...ම්ම්...ලොකු දුවලගෙ ගෙදර නැවැත්තුවොත් මොකද?....පොඩි හාමුදුරුවො මා ගැන යම් විස්වාසයක් තියල අහපු කාරනාව එක පාරටම අහක දාන්ටත් බැහැ නෙව..'' 

'' ඒක හරි යන එකක් නෑ අප්පච්චි '' 

මුතු එක පාරටම කිව.. 

'' ඒ මොකෝ ඒ?..... හරියන්නෙ නැත්තෙ?.....'' 

අප්පච්චි ඇහුවෙ ඇඳි පුටුවෙ කෙලින් වෙල ඉඳගන්න ගමන්.. 

'' විජේ අයිය කැමති වෙන එකක් නෑ.... '' 

මුතූ කිව්වෙ මොනව හරි කියන්ට ඕන නිසා මිසක එහෙම ඇත්තටම හිතුනු නිසා නම් නෙවෙයි. 

'' මම විජේ එක්ක ඒක කතාකරන්නම්කො...අද දිය වරකාවෙ උඩහ ලියදි දෙකේ කොලේ මැඩෙව්ව හවස් වෙනකල්ම...හරිම තෙහෙට්ටුයි '' 

අප්පච්චි කිව්වෙ පුටුවෙන් නැඟිටින ගමන්.... 

'' යමු දුවේ...... අපිත් නිදාගමු…'' 

දණිහට අතකුත් තියාල අම්මත් නැඟිට්ට. 

'' අම්ම නිදාගන්ට මම එන්නං විගැහිං…'' 

මුතූ ආයෙම සමං පිච්ච වැල දිහාවෙ බලාගෙන කල්පනාවට වැටුන..මෙච්චර වෙලා වලාකුලකටද කොහෙද වහං වෙල තිබ්බ හඳ මතු උනා ඔන්න එක පාරටම...හඳ එලිය මුතුගෙ මූණට වැටුනෙ මුලු මූණම එලිය කරගෙන..... 

මතු සම්බන්ධයි 

6 comments:

  1. අර අහිංසකයා පවු අප්පා.. ;)

    ReplyDelete
    Replies
    1. පිස්සුද මලේ..ඔය කෙල්ලො කියන එව්ව හිතන එව්වයිං සීයට අනූනමයයි තුංකාලක් කොරන්නෙ නෑ...ඔය අපි ඔවුන්ට දොස් කිව්වට ඔයාල එක්ක බෑ කියන එක නෙවෙයි කරන්නෙ කියල...හෙහ්, හෙහ්, ඕකුං කියන ඔක්කොම කරන්ට ගිය දාට බොට තේරෙයි ඒකෙ අරුමෙ.....හෙහ්, හෙහ්,

      කොටිම්ම අපෙ ලොක්කි මට කොරනවයි කියාපු එව්ව ඔක්කොම ඒ විදිහටම කලා නං එහෙම මෙලාකට මම වලලපු තැංවල පැල වෙච්චි ගසුත් ඉරල එව්වයිං පුටු අල්මාරිත් හදල...ඔන්න අහගනිං.

      Delete
  2. හෆොයි හතර කොටසත් ලියල ඒක කියවන්ට කලින් මේ කමෙන්ට් එක දාන්නේ ... මේ මේ මේවා මේ සිත්තරාගේ උගුල්. බොරුවට වෙන කෙල්ලෙක් ගැන කියල අර අහිංසක මුතු ව පිස්සු වට්ටලා ඒ ලමයව දැපනේ දාගන්ට ප්ලෑන.
    ඔන්න කෙල්ලනේ මෙව්වා තමා 'පිරිමි මායම්'!!!

    ReplyDelete
    Replies
    1. උගුල් කියල දන්නවනං මොකටද බොල ගිහිල්ල වැටෙන්නෙ හිතා මතාම....:) :)

      ඕකෙ වැඩේ මේකනෙ අමා....ගෑණු ළමයි යනව නෙව උගුල් හොය හොය...ඒක තමයි ඒකෙ හැටි.

      Delete