Tuesday 23 July 2013

සරණ බන්ධන ..... 1 අරවින්ද ගේ සුවිසැරිය




"අම්මප මේ වෙලාවට තමා මට පොල් ලෙල්ලක් හපාගෙන හපාගෙන යන්ට හිතෙන්නේ..."
ෆොටෝ කාරයගේ අණසක ට අරහෙට මෙහෙට හැරි හැරි කැමරාවට විරිත්තන ගමන්
අරවින්ද එහෙම හිතුවට කිව්වේ නෑ. දසුනි එහා පැත්තේ හිටපු නිසා.

උදේ අරවින්දලාට නිලමේ කිට අන්දපු එකා මහ අසමජ්ජාතියෙක්. මිනිහ ට තව වෙඩිමක් තියෙනවා කියල කස්ටියට ඇන්දුවේ අර මොකද්ද ගිනි අරගෙන වාගේ කලබලේට.
හිටු කියල අන්දලා, බඩවල් ඔතල තදකරල අන්තිමට කියාපි:
"මල්ලිලා ටොයිලට් යන්ට හෙම වෙන එකක් නෑනේ...අද වැඩිය වතුර බොන්ට එපා" කියල
එවෙලේ නම් අරවින්දට කටට ආව අහන්න වතුර නොබිව්වට බියර් බිව්වට කමක් නැද්ද කියල.
ඒත් ඇහුවේ නෑ.
දසුනි ගේ මලය හිටිය නේ...ඕකා ගිහින් කීවොත් හෙම අර අරවින්දය මහ බේබද්දෙක් කියල.

හැබැයි කෙල්ලන්ට නම් ඇත්තටම නියමෙට අන්දලා තිබුණා. ෂඃ බලන්ට එපාය අද දසුනි ගේ හැඩ! නිල් පාට ඔසරියට, කහ පාට මල් වලට කෙල්ල වෙනදටත් වඩා ලස්සනයි!
ෆොටෝ ෂූට් එක පටන් ගත්තු වෙලේ ඉඳන් අරවින්ද බැලුවේ කොයි වෙලේ හරි දසුනි එක්ක කතා කරන්ට.
කොහෙද...මේ වදකාර ෆොටෝ කාරයෝ එක්ක බෑනේ....


* * *
යන්තම් ෆොටෝ ෂූට්, පෝරුවේ චාරිත්‍ර ඉවර උණා. කට්ටිය කෑවා. දෙවන මනමාලයෝ හැර අනෙක් උන් බිව්වා.
ඒත් තවමත් අරවින්දගේ ආසාවට ඉඩක් ලැබුනේ නැහැ.
දෙවෙනි මනමාලිලාට හරි වැඩනේ...මනමාලිගේ සාරියේ පොට හදන්ට ලු, බොකේ එක අල්ලාගන්ට ලු, වෙඩින් කේක් අල්ලන්ට ලු...
හදිසියේම හෝල් එකේ කොනක ඉඳන් දසුනි තමන් දිහාට එනවා දැක්ක අරවින්ද ත් ටිකක් හරි බහි ගැහිලා ටිකක් වැදගත් පාටට මුණ හදාගත්ත. බොරුවට දසුනිගේ පැත්ත නොබලා ළඟ හිටි අනිත් දෙවන මනමාලය එක්කල කතාවක් පටන් ගත්තා.
"හා නී...මේ අරවින්ද පුතා නේ!"
එක පාරටම වේරම්භ වාතයක් වගේ කඩන් පාත්වෙලා තිබුනේ රත්නා ආන්ටි.
"පුතා දැක්ක කල්.... දැන් ගොඩා...ආආ ක් උසයි නේ!!" යන්තම් අඩි පහයි හයකට කිට්ටු අරවින්ද ගේ කම්මුල් මිරිකන ගමන් රත්නා ආන්ටි කිව්වා.
"කොහොමද කොහොමද...ආ ...ඊළඟ මගුල් ගෙදර ඔයාගේ තමා නේද? හිකි හිකි....මොකෝ රතු වෙන්නේ? දැන් එහෙ ඉන්නවද හොඳ කෙලි පොඩ්ඩක්? ඔසී කෙල්ලෙක්? මොකක්? අපෝ තාම නැද්ද? දැන් ජොබ් එකකුත් කරනවනේ..හිකි හිකි"
තල්මස් දෙනුවක් වාගේ රත්නා ආන්ටි හිනාවෙනකොට සරීරෙම හෙල්ලෙනවා. හරිම භයන්කාරයි.

ඒ භයන්කාර දර්ශනය බලන් ඉන්න බැරිව අහක බැලුවම තමයි අරවින්ද දැක්කේ දසුනි මග නැවතිලා අනිත් දෙවෙනි මනමාලි එක්ක මොනාද කලබලෙන් වගේ කියෝනවා.

"පුතා ඔයා ට මම අපේ දුව ඉන්ට්‍රෝඩියුස් කරන්ට හිටියේ...බලන්න අනේ එයාට අද නිවාඩු නැති උනානේ වෙඩින් එකට එන්න...අපරාදේ නේද?"
අපරාදේ? හුහ්...හොඳ වෙලාවට! කියල අරවින්දට හිතුනේ ලංකාවට ගොඩ බැහැපු දවසේ ඉඳන් මාමල නැන්දලා ආන්ටිලා අංකල්ලා ඔක්කොම එයාලගේ දූ සිඟිත්තන් ව තමුන්ට ජෝඩු කරන්ට දත කාපු නිසා.

"ඒක නෙවෙයි පුතා..."රත්නා ආන්ටි ආයෙත් පටන් ගත්තා.
"මේක ලවු මැච් එකක්ද?" ආන්ටි ඇහුවේ රහසින් වගේ.

නෑ ආන්ටි ටෙස්ට් මැච් එකක් කියල කියන්ට හිතුනත් අරවින්ද කීවේ "වෙන්නැති ආන්ටි" කියල විතරයි.

"අලවින්ද අයියේ අලවින්ද අයියේ!"
ඔන්න ඔය වෙලාවේ තමා දෙයියෝ එව්වා වාගේ මල් කුමාරියෙක් දුවන් ඇවිත් අරවින්දගේ  නිළමේ ඇඳුමෙන් අදින්ට ගත්තේ. බහ තෝරන වයසේ හන්දා පොඩි එකීට තවම හරියට අරවින්දගේ නම කියාගන්ට ත් බෑ.
"ඇයි රනූ බබා? මොකෝ උනේ?"
"එන්න්...නකෝ ඕ..."පොඩි එකී ෆුල් ඩම් දාලා අරවින්දගේ ඇඳුමෙන් අදිනවා.
හපොයි. මේක කඩන් වැටුනොත් හෙම වසල හමාරයි! අනිත් එක දසුනිත් ඉස්සරහ!
අරවින්ද බය උණා.
"හරි හරි අපි යමු...දැන් කොහෙද අපි යන්නේ?"
රනුලි බබා දසුනි දිහාට අත දික් කරා. "අලය ගාවට!"
හම්මේ කළින් කියන්ට එපාය! ඉබ්බා දියේ දැම්මම අර මොකද්ද කිව්වලු.
අරවින්දට එහෙම කියන්ට කටට ආවත් කිව්වේ නෑ. රත්නා ආන්ටි ඒ වෙද්දීත් එතන හිටපු නිසා.




***
වීරයා වගේ ආවත් දසුනි ළඟට ආ හැටියේ සුපුරුදු පරිදි අරවින්දගේ කටට අගුල් වැටුන. 

හෝල් එකේ ඒ සී තිබුනට දසුනිගේ මුණට දාඩියත් දාලා.
"මේ...දසුනි මේ රනූ..." කියද්දීම රනූ අරවින්දගේ අත ගසා දාල මල් කුමාරයෙක් පස්සෙන් හූ තියාගෙන එළවන්ට ගත්තා.
හුහ් මදැයි කොලා!

"අරවින්ද අයියව එක්කන් එන්ට කියල මමයි රනුලිව එව්වේ.."දසුනි බිම බලාගෙන කිව්වා.
 

දසුනි මාව එක්කන් එන්න කියල රනූ ව එවල!
වෙන වේලාවකදී නම් ඒක අරවින්දට ඉන්දියාව මැච් එකක් පැරදුනා වාගේ ඉහ වහා ගිය සතුටක් දැනෙන කාරණයක්. ඒත් මේ වෙලේ එහෙම දැනුනේ නැත්තේ දසුනි ගෙයි අනිත් දෙවෙනි මනමාලිගෙයි මුනවල් වල තිවුණු බය වෙච්චි පෙනුමට.


" ආහ් ඇයි දසුනි...මොකක් හරි ප්‍රශ්නයක් ද?"
අරවින්ද ඇහුවා.

"අනේ ඔව් අයියේ...අවන්ති අක්ක හොයාගන්න නෑනේ! අපි දෙන්න රූම් එකෙත් බැලුවා...සුපුන් අයියත් කලබල වෙලා ඉන්නේ"
දසුනි කියාගෙන කියාගෙන ගියා.
අවන්ති නෑ?
මගුල් ගෙදර මනමාලි නැති වෙන්ට පුලුවනිද?
අරවින්ද ට මේක මහා අපබ්‍රංශයක්.
"පොඩ්ඩක් ඉන්න...දසුනි...අපි පොඩ්ඩක් හෝල් එකෙන් එළියට යමු..."

ලා නිල් සහ කහ පාට මල් වලින් සරසලා තිබුණු හෝල් එකෙන්, අරවින්ද දෙන්න එක්කල හෙමීට එළියට ගියේ නෑදෑයෝ ඔක්කොම ඉස්සරහ කලබල කරන්ට හොඳ නැති හින්දයි.
"හරි ..දැන් හිමීට කියන්ට...මොකද්ද වෙලා තියෙන්නේ කියල"
දසුනි ලොකු හුස්මක් ගත්තා.
"අවන්ති අක්කා ට ටොයිලට් යන්ට ඕනි කියල දැන් විනාඩි විස්සකට විතර කළින් රූම් එකට ගිහින් තියෙනවා. ඒ ගියාමයි එයා කොහෙද කියල හොයාගන්ට නැහැ..."
"එයා තනියමද ගිහින් තියෙන්නේ?"
අරවින්ද ඇහුවේ සාමාන්‍යෙන් මනමාලි ඔය වාගේ වැඩවලට දෙවෙනි මනමාලි ව එක්කරන් යන හින්දා.


"ඔවු අයියේ...එයා සුපුන් අයියට කියල තියෙන්නේ මාත් එක්කළ යනවා කියලා. සුපුන් අයිය ඒ වෙලේ යාලුවෝ කට්ටියක් එක්කල කතා කර කර හිටපු නිසා ඒ කලබලේ එයා දැකල නැහැ හරියට අවන්ති අක්කා ගියේ කා එක්කල ද කියල. ගොයින් අවේ ඇඳුම අඳින්ටත් වෙලාව ළඟ නිසා එයාල කොහොමත් රූම් එකට යන්ට ඉඳල තියෙන්නේ...එයා යාලුවෝ එක්කල කතා කරලා ඉවර වෙලා මම හෝල් එකේ ඉන්නවා දැක්කම තමා මට කතා කරලා ඇහුවේ අවන්ති අක්ක රූම් එකේ තනියෙමද කියල...එතකොට තමා මම දන්නෙත් එයා රූම් එකට ගිහින් විත්තිය...මමයි නිපුනි යි එවෙලේම සුපුන් අයියත් එක්ක රූම් එකට ගිහින් බැලුවා...ඒත් ඒකෙ කවුරුත් නැහැ!"


"හරි...දැන් කෝ සුපුන්?"


"සුපුන් අයිය රූම් එකේ... හොඳටම කලබල වෙලා...හතර අතට කෝල් දෙනවා...ඔයාට කියන්ට කීවෙත් එයා...ජෝඩුව කෝ කියල අහපු අයට මම කීවේ ගොයින් අවේ ඇඳුම් අඳින්ට රූම් එකට ගිහින් කියල.
පවුල් වල කාටවත් මම කීවේ නැහැ මේ ප්‍රශ්නේ තවම..."


මේ වාගේ වෙලාවක කරන්ට ඕනි මොනවද කියල අරවින්දට හිතාගන්න ත් අමාරුයි.
හැබැයි හැමෝම කලබල වෙලා දඟලන්ට ගත්තොත් නම් ප්‍රශ්නේ තවත් උග්‍ර වෙනවා කියන එක නම් එයා තේරුම් ගත්තා. 


"බය වෙන්න එපා දසුනි...අවන්ති එහෙම නැති වෙන්ට පුළුවනි ද?...මොකක් හරි මිස් අන්ඩස්ටෑන්ඩින් මෙතන වෙලා ඇත්තේ...අවන්ති වැරදි කාමරේකට ගියාද දන්නේ නැහැනේ...නැත්නම් ෂුවර් එකටම සුපුන්ව බය කරන්ට අවන්ති ප්‍රෑන්ක් එකක් කරනවා වෙන්ට ඇති..

ජෝඩුව පිටත් වෙන්න තව පැය දෙකක්ම තියෙනවා නේ... හරි හරි අපි කොයිකටත් දැන් යමු රූම් එකට..."

 
දසුනිගේ හිත හදන්ට අරවින්ද එහෙම කිව්වත් මෙතන ලොකු අලකලංචියක් සිද්ද වෙලා තියෙන වග අරවින්දට දැනුනේ ඉවෙන් වාගේ.
කොහොම නමුත් ඔක්කොටම කලින් සුපුන් ගේ තත්වේ බලන්ට ඕනි...තමන්ගේ මගුල් දවසේ තමන්ගේ මනමාලි එකපාරටම අතුරුදහන් උනාම මනමාලය ට මොනවා හිතේවිද?


අනික සුපුන් කොහොමත් හිත මෙළෙක් එකා.
මීට අවුරුදු ගානකට කලින් සුපුන්ව මුලින්ම මුණ ගැහුණු දවස අරවින්දට මතක් උනා...
ඉස්කෝලේ පළවෙනි වසරේ ළමයි ඇතුළත් කරගත්තු දවස. එදත් පුංචි සුපුන් කාගෙන්දෝ වස්වර්තියෙකුගෙන් ගුටි කනකොට  අරවින්ද ගිහින් තමා බේර ගත්තේ. එදා ඉඳන් දෙන්නා හැදුනේ එක කුස උපන් සහෝදරයෝ දෙන්නෙක් වාගේ. ඇත්තටම අවුරුදු හතරකට කලින් අරවින්ද ඔස්ට්‍රේලියාවට යන්න කලින් සුපුන්ගේ ජීවිතේ සිද්ද වෙන හැම දෙයක්ම අරවින්දත්, අරවින්දගේ ජීවිතේ වෙන හැම දෙයක්ම සුපුනුත් දැනන් හිටියා...


 ඒත්... කිලෝ මීටර් දාස් ගාණක් ඈතින් ඉන්නකොට, විශ්ව විද්‍යාලේ වැඩයි, පාට් ටයිම් වැඩත් එක්කල යාලුවාගේ දුක සැප හොයා බලන්ට අරවින්දට වැඩි කාලයක් තිබුණේ නැහැ.
අරවින්ද නැති අතරේ සුපුන් ගැන හොයල බලන්ට කෙනෙක් නැති උනාද? අවන්ති යි සුපුන් අතරේ මොකක් හරි ප්‍රශ්නයක්ද?
දහසකුත් ප්‍රශ්න අරවින්දගේ හිතට ආවේ පොඩි වරදකාරී හැඟීම ක් නැතිවමත් නෙවෙයි
...

රූම් එක තිබුණේ හෝටලේ තුන්වෙනි තට්ටුවේ.
අරවින්දලා කට්ටියම උදේ ෆොටෝ ගන්න රූම් එකට ගිය හින්දා ආයේ තියෙන තැන හොය හොය ඉන්න උවමනාවක් තිබුනේ නැහැ.
තුන්දෙනාම ලොබී එක පහුකරන් ගිහින් විදුලි සෝපානය ළඟ නැවතුනේ තට්ටු දහයක උඩ ඉඳන් සෝපානය එයාල හිටපු බිම් මහලට එනතුරු.


ඔන්න ඔය වෙලාවේ තමයි ආදර්ශමත් හෙළ බොදු තරුණයෙක් හැටියට අරවින්දට අපේ පුරාණ කියමනක් මතක් උනේ.
කල දුටු කල වළ ඉහගනු!

 
"මේ...නංගි..." අරවින්ද මුණ එල්ලගෙන හිටපු අනිත් දෙවෙනි මනමාලිට කතාකලා.
"අපි ඔක්කොම එක පාරට හෝල් එකේ නැති උනොත් ටිකක් හරි නෑ වගේ නේද? ම්ම්...ඔයා යන්ට හෝල් එකට...අපිව හෙව්වොත් පොඩ්ඩක් ශේප් කරන්ට...අවුලක් ඇති බවක් පෙන්නන්ට එපා හොඳද? අපි දෙන්න ගිහින් සුපුන්ව බලන්නම්."

ඒ කියල කට ගන්න හම්බු උණේ නැහැ සෝපානයේ දොර ඇරුනා.
දසුනි එක්කල තත්පර තිහක් තනියම සෝපානයේ යාම නිමිති කරගෙන පහළ උනු අහිංසක සතුටෙන් අරවින්ද දසුනිත් එක්ක සෝපානේ ඇතුළට ගොඩ උනා.


අවාසනාවක මහත!
සෝපානේ දොර වැහීගෙන එනකොටම, කොළඹ අවුවේ ඇවිදලා රතු උනු සුද්දෝ සුද්දියෝ රංචුවක්ම "Wait for us!" කියාගෙන පැනගෙන ගොඩ උනේ නැතැයි! 


හැබැයි ඒකෙත් එක හොඳක් තිවුනා. 

සුද්දෝ රොත්තට ඉඩ දෙන්න අරවින්දයි දසුනියි සෝපානේ කෙළවරටම ගියා.
දසුනි අරවින්ද ගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමට ලං වුණා.
දසුනි ගල්වල තිබුණු මහනෙල් මල් මුසු වෙච්චි විලවුන් සුවඳින් පෙනහැලි පුරව ගත්තු අරවින්ද තත්පර තිහක් දෙව්ලොව ගියා!



21 comments:

  1. හපොයි මනමාලි පැනල ගිහින්ද? අර කලින් කතාවක වගේ මනමාලි, එක කකුලකින් ඉස්සිලා, වෙන කෙනෙක්ගේ බෙල්ල වටේ අත් දාගෙන, මරණ තුනක් මැද කවුදෝ පැණි කෑය වගේ උම්මා දෙනවද දන්නෙත් නෑ. :D:D

    //"අම්මප මේ වෙලාවට තමා මට පොල් ලෙල්ලක් හපාගෙන හපාගෙන යන්ට හිතෙන්නේ..."//

    ෂුවර්ද දෙවෙනි මනමාලයා හරකෙක් නෙමේ කියලා.:D

    //ඔන්න ඔය වෙලාවේ තමයි ආදර්ශමත් හෙළ බොදු තරුණයෙක් හැටියට අරවින්දට අපේ පුරාණ කියමනක් මතක් උනේ.
    කල දුටු කල වළ ඉහගනු!//

    හී හී...අපරාදේ කියන්ට බෑ ඇත්තම කියලා.

    //දසුනි ගල්වල තිබුණු මහනෙල් මල් මුසු වෙච්චි විලවුන් සුවඳින් පෙනහැලි පුරව ගත්තු අරවින්ද තත්පර තිහක් දෙව්ලොව ගියා!//

    පව් අනේ මේ තත්පර ගාන විනාඩි කරන්ට තිබුණේ නැද්ද? ඔයාට හිතක්, පපුවක් නැද්ද අමා?

    හරිම රසවත් විදියට කතාව ගොතලා අමා. ලස්සනම ලස්සනයි. :)


    ReplyDelete
    Replies
    1. /හපොයි මනමාලි පැනල ගිහින්ද? අර කලින් කතාවක වගේ මනමාලි, එක කකුලකින් ඉස්සිලා, වෙන කෙනෙක්ගේ බෙල්ල වටේ අත් දාගෙන, මරණ තුනක් මැද කවුදෝ පැණි කෑය වගේ උම්මා දෙනවද දන්නෙත් නෑ/
      හපොයි...එහෙමද දන්නෙත් නෑ...නැත්නම් .. ම්ම් එයා අන්තිම මොහොතේ දුක හිතිලා ඒවිද? නැත්නම්....සුපුන් බොරුවක් කිව්වද? එයාගේ වැරැද්දක් නිසා මනමාලි යන්ට ගියාද? නැත්නම්....මේ හැමෝම අරවින්දව අන්දනවද? නැත්නම්...මනමාලි ව පැහැර ගෙන ගිහින්ද? නැත්නම්.......ම්ම්ම් ඕගොල්ලෝ තමා ඉතිං තීරණේ කරන්ට ඕනේ!

      /ෂුවර්ද දෙවෙනි මනමාලයා හරකෙක් නෙමේ කියලා.:D/
      පවු අප්පා දුක නැද්ද ඒ අසරණ හැන්ඩියට ඔහොම කියන්න? :D

      /කල දුටු කල වළ ඉහගනු!/
      හී හී...අපරාදේ කියන්ට බෑ ඇත්තම කියලා./
      යා යා එහෙම නේ අපි නැද්ද? :D

      /පව් අනේ මේ තත්පර ගාන විනාඩි කරන්ට තිබුණේ නැද්ද? /
      එහෙම තමයි අනේ ෂෝට් ඇන්ඩ් ස්වීට්...අනික ඔයි කොල්ලොන්ට මුලින් තප්පර ගානින් තමයි දෙන්ට ඕනා. වැඩිය විනාඩි ගණන් දෙන්ට ඕනිම නෑ හීඊඊ ඊහි හි හි!!!!!

      /හරිම රසවත් විදියට කතාව ගොතලා අමා. ලස්සනම ලස්සනයි. :)/
      aww thanks poddi!
      අන්තිම කොටසට ඔය කෑල්ල දැම්මේ ජනුගේ අඩ්වයිස් අනුව...මේ කතාව අගටත් පැණි කෑව කතාව වාගේ කෑල්ලක් දැම්මොත් හොඳ වේවි කියල එයා තමා කීවේ. thanks janu!


      Delete
    2. දෙවෙනි මනමාලයා ‍නෙවෙයි මනමාලයා තමා හරකා.. ඒක නෙවැ බුවා බඳින්ට ලෑස්ති වෙලා තියෙන්නෙ.. ;)

      Delete
    3. @Bura
      අනේ මේ යන්න අනේ යන්න :P

      Delete
    4. මේ අමාරිස් මේ, මං කියන්නං මේ කතාව කන්ටිනියු කරන්ට හොඳ විදියක්...

      දැන් ඔය අවන්ති නැති වෙලා නෙවෙයි, පැහැරගෙන ගිහිල්ලා.. පැහැරගෙන ගිහින් තියෙන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි, මන්තරකාරයෙක්.. ඕකෙ ඇත්ත කතාව මෙහෙමයි.. ඔය අවන්ති කියන්නෙ වෙන ලෝකෙක රාජ කුමාරියක්.. එයාගෙ රාජධානිය ආක්‍රමණය කරපු නපුරු රජ කෙනෙක් එයාගෙ තාත්තවයි අම්මවයි මරලා ඒ රටේ බලය අල්ලගෙනයි ඉන්නෙ.. මිනිහට ඕන අවන්තිව කසාද බැඳගන්ට, මොකද අනාවැකියකින් කියැවිලා තියෙනවා අවන්තිට හම්බවෙන ළමයෙක් ඒ මුළු ‍ලෝකෙම යටත් කරන් රජවෙනවා කියලා.. ඉතින් ඒ නපුරු රජාගෙන් ගැලවෙන්ට තමා අවන්ති මේ ලෝකෙට ඇවිල්ලා හැංගිලා ඉන්නෙ.. ඒත් මේ රහස කොහොම හරි දැනගන්න අර රජා එයාගෙ පු‍රෝහිතයව (ඒ කියන්නෙ අර මන්තරකාරයව) එවනවා එයාව අල්ලන් යන්ට..

      අවන්තිව බේරගන්ට සුපුන්ට යන්ට බෑ.. මොකද මැජික් බලෙන් එයාට ඒ ලෝකෙට යන්ට බැරිවෙන්ට වූඩූ එකක් කරලයි තියෙන්නෙ.. ඉතින් ඔය වැඩේට යන්ට වෙන්නෙ අරවින්දට තමා.. හැබැයි එයා යන්නෙ තනියෙන් නෙවෙයි, දසුනිත් එක්ක.. එයාලට ඒ ලෝකෙදි මේ වැඩේට උදවු කරන්ට ඉදිරිපත් වෙන්නෙ මකරෙක්.. මොකද අනිත් හැ‍මෝම අර නපුරු රජාට බයේ වහංවෙලා ඉන්න හන්දා.. ඉතිං අරවින්දට දසුනිත් එක්ක ගිහිල්ලා අවන්තිව බේරගන්ට පුළුවන් වෙයිද? එයාලට මූන දෙන්න වෙන්නෙ මොන ‍මොන වගේ අකරතැබ්බවලටද? මෙයාලා එනකං අර නපුරු රජ්ජුරුවෝ නිකං උඩ බලන් ඉඳියිද? එතකොට අර එයාගෙ පුරෝහිත මන්තරකාරයගෙ ප්ලෑන් එක මොකක්ද? මේ ඔක්කොම අතරින් අරවින්දගෙයි දසුනිගෙයි ලවු එකට මොකද වෙන්නෙ? ඔය ඔක්කොම දාලා ලියමුද කතාව?

      අර බොලා දාලා තියෙන මාතෘකාවටත් (අරවින්දගේ සුවිසැරිය) මේ වගේ කතාවක් නං ගැලපෙනවා.. අනෙක, බ්ලොග් පෝස්ට් 7-8ක කතාවක් ‍නෙවෙයි, බොලාට පුළුවන් ලියන්ට අර Song of Ice and Fire series එක වගේ පොත් 7-8ක් ලියාන්ට.. මොකද කියන්නෙ.?? :D

      Delete
    5. එළම කිරි! ඉතින් බුරෝ ඔයා ලියන්නකෝ ඒ මායා කතාවේ ඉතිරි කොටස?
      මෙහෙමයි මට දැන් හිතෙන්නේ...

      දැන් අර අනිත් මායා ලෝකෙට යන පෝටල් එක හොයාගන්ට එපාය ඔක්කොටම ඉස්සර...දැන් ඒක තීන්නේ කොහෙද දන්නවද? ඒක තීන්නේ අර ජෝඩුව ට හොටෙල් එකෙන් දුන්නු හනිමුන් සුයිට් එකේ ඇඳ යට!!
      හරි දැන් ඔයාට තීන්නේ දසුනියි අරවින්දයි ඔයි ඇඳ යට පෝටල් එක හොයාගන්න තැන ඉඳන් ලියන්ට...buhaahahaaa!!

      /අර බොලා දාලා තියෙන මාතෘකාවටත් (අරවින්දගේ සුවිසැරිය) මේ වගේ කතාවක් නං ගැලපෙනවා/
      නෑ අනේ කතාවේ නම 'සරණ බන්ධන' (ඕනිනම් මායා බන්ධන කියල දාගන්ට උනත් ඇහැකි). අරවින්දගේ සුවිසැරිය කියන්නේ මේ කොටසට දාපු නම...මේ කොටස අරවින්දගේ ඇසින් ලීව හන්ද එහෙම දැම්මේ.

      /බොලාට පුළුවන් ලියන්ට අර Song of Ice and Fire series එක වගේ පොත් 7-8ක් ලියාන්ට/
      මම දන්න Ice and Fire එකක් නැහැ අනේ...Narnia ගැන නම් ටිකක් දන්නවා හික් :D

      Delete
  2. කාලෙකින් පටන් අරන් තියෙන්නෙ කතාවක්.

    කව්ද දන්නෙ ඔය දසුනි අරවින්දව තනියම අල්ල ගන්න ගහපු දහන් ගැටයක්ද කියල. ඔය කෙල්ලන්ව තබේකට ශුවර් කරන්න බැහැ නොවෑ. ඉතුරු ටිකත් කියල මං ඉක්මනින් පැනල දුවනව මේකෙ ඉන්න ගෑනු දරුවො මාව එල්ලන්න බැරිනෑ නැතනම්.

    හරිම රසවත් අමා. මුලින් හිතුනෙ අරවින්ද මනමාලය කියල පස්සෙනෙ තේරුනේ පොර යාළු මනමාලය කියල. කව්ද දන්නෑ ඊලග කොටස ලියන්නෙ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශානා!

      /කව්ද දන්නෙ ඔය දසුනි අරවින්දව තනියම අල්ල ගන්න ගහපු දහන් ගැටයක්ද කියල/
      හෙහ් ඒකත් වෙන්ට පුළුවන්...

      /ඔය කෙල්ලන්ව තබේකට ශුවර් කරන්න බැහැ නොවෑ. ඉතුරු ටිකත් කියල මං ඉක්මනින් පැනල දුවනව මේකෙ ඉන්න ගෑනු දරුවො මාව එල්ලන්න බැරිනෑ නැතනම්./
      හපොයි මම නම් මේකට එකඟයි! හැබැයි ඒ වගේම එකඟ නෑ!!
      මම නම් හිතන්නේ ඔයි කෙල්ලෝ කොල්ලෝ කවුරු කවුරුත් තඹ සතේකට විස්වාස කොරන්ට බැරිය කියල. :D

      Delete
  3. කොහොමත් නිළමේ ඇඳුම අඳින දෙවනි මනමාලයො නං කනවා පුදුම කට්ටක්.. අර සිරාත් දවසක් ලියලා තිබ්බේ.. ඔය වතුර බොන්න එපා කියන එකටත් කට්ටිය නව නිපැයුමක් හදලා තිබ්බා... හි හි....

    හපෝ මඟුල් ගෙවල්... මතක් වෙනකොටත් ඔලුව රිදෙනවා... ඒ උනාට ඉතිං කතාව කියවන්න එපැයි...

    ReplyDelete
    Replies
    1. ඇත්ත හිරු. කපල් එකට වඩා කටු කන්ට වෙන්නේ ඔයි යාලු මනාලයන්ටයි යාලු මනාලියන්ටයි...ඇයි ඉතින් අරුන් දෙන්නට නම් කසාද බැඳීමේ ආතල් එක. අනේ ඉතින් අනික් උන්ට .... හික්!

      Delete
  4. / හිටු කියල අන්දලා, බඩවල් ඔතල තදකරල අන්තිමට කියාපි: "මල්ලිලා ටොයිලට් යන්ට හෙම වෙන එකක් නෑනේ...අද වැඩිය වතුර බොන්ට එපා" කියල /

    පිස්සුද බොල?...එහෙම වෙන්නෙ කොහොමද? එහෙනං අන්දවන්ට ආපු එකා හරියට දන්නෙ නෑ මුල් ඇඳුම අන්දවන්ට.

    දැං උඹ හිතන්නෙ ඔය සිංහල රජ කාලෙ හිටපු නිළමෙලා, රටේ මහත්තුරු, අදිකාරම්ල ඔක්කොම උදේ ඕක ඇඳගත්තම හවහට ගලවල දානකල් වතුරවත් බිව්වෙ නෑ කියලද?....මොන පිස්සුද? හරියට ඕක අන්දවන්ට දන්න මනුස්සයෙක් ඇන්දෙව්වම පොඩි වැඩේ විතරක් නෙවෙයි ලොකු වැඩෙත් කලෑකි යස අපූරුවට.හෙහ්, හෙහ්, පළමෝත අත්දැකීම් මැඩම් පළමෝත අත්දැකීම්..හරි අපි මෙහෙම හිතමු. අරවින්දට අන්දවන්ට ආපු මනුස්සය එහෙම නොදන්න මනුස්සයෙක්ය කියල..හරි ඒක එතනින් ඉවරයි කියමු

    තව ප්‍රශ්න දෙකක් තියනවා.

    1. මොකක්ද මේ නම? අරවින්දගේ සුවිසැරිය...ගලිවර්ගේ සුවිසැරිය ..සුවිසැරිය කියන්නෙ වීර චාරිකාවක් වගෙ තේරුමක් එන නමක්.එහෙම හිතලද දැම්මෙ නැත්තං Adventure කියන වචනෙ හිතේ තියාගෙනද දැම්මෙ?

    2. අර අන්තිමට තියන පින්තුරෙ මොකක්ද? අනෙ මන්ද මට නම් පේන්නෙම…….:) :) :) …...සික් කියන්ටත් මහ මොකක්ද වගෙ....

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රවී අයියේ. ඇඳුම හරියට ඇන්දුවොත් ටොයිලට් යන්න ඇහැකි තමා.
      ඒත් දැන් ඉන්න ගොඩක් මගුල් වලට අන්දන අය හරියට අන්දන්නෙ නැහැ ලුනේ. හදිස්සියට අරහෙන් මෙහෙන් ආයේ ගැලෙව්වොත් ගැලෙව්වමයි වෙන්ට ලු අන්දන්නෙ...
      ඔයි සංගෙදිය වෙච්චි කොලුවෙක් තමා මටත් කීවේ. :D :D

      1. ඒ දෙකටම අදාළ තේරුමකින් දැම්මේ...ඔව්ව ගැන ඔච්චර හිතන්ට එපා අනේ මෙච්චර මේ ලෝක ප්‍රශ්න තියෙද්දී...(දැන් බලන්ට...ලෝක වාසී ජනතාවට දැන් බුර බුරා නැගෙන ප්‍රශ්නේ තමා විල් ඇන්ඩ් කේට් එයයිලගේ උනපුළු පැටියට දාන නම)

      2. ඇයි අනේ මට නම් ඒක පෙනෙන්නේ මෙහෙමයි: අර ගෑනු ළමයාගේ ඇහේ රොඩ්ඩක් ගිහින්. පිරිමි ළමයා ඒක අරන් දාන්ට හදනවා.
      ඔයාට පෙනෙන්නේ කොහොමද???




      Delete
    2. හෑ බොල, අර 'බුර බුරා' කියන වච‍නේ එහෙම හිතුමනාපෙට පාවිච්චි කොරන්ට බැරිය, ඒකට කොපි රයිට්ස් ගන්ට ඕනය කියාලා දන්නෙ නැද්ද.??

      // දැන් බලන්ට...ලෝක වාසී ජනතාවට දැන් බුර බුරා නැගෙන ප්‍රශ්නේ තමා විල් ඇන්ඩ් කේට් එයයිලගේ උනපුළු පැටියට දාන නම //

      ඔන්න බලාන්ට, ඕකට දායි මහ ගොබ්බ සම්ප්‍රදායානුකූල නමක්.. එක්කො චාර්ල්ස්, නැත්තං ජෝර්ජ් එහෙමත් නැත්තං ජේම්ස්.. අම්මපා රජෙක් වෙලා ඉපදෙන එක කරුමයක්, ලස්සන නමක්වත් දාගන්ට බෑ.. :D

      Delete
    3. හිතාගෙන ඇති 'බුර බුරා' කියන්නේ ලස්සන නමක් කියලා හී හී....

      Delete
    4. හ්ම්ම් ඒක තමා පොඩ්ඩි...
      අපි මෙහෙම කරමු. විල් ට අපි දෙන්න කියමු ඔයි පොඩි එකාට 'බුරම්පියා' කියල දාන්ටය කියල. බුරාට ආස ඇතිනේ....අනික අපි දෙන්නගේ වචනයක් විල් අහක දාන එකක් නෑ...

      Delete
  5. අම්මපා කෝ යකෝ මේකෙ අනිත් කොටස වෙන කොහෙ හරිවත් ලියලද?

    ReplyDelete
  6. අයියෝ දෙවැනි කොටස ඉක්මනට ලියන්න ,,ගොඩක් ලස්සනයි ..

    ReplyDelete
  7. මනමාලි පැනල ගිහින්ද? එහෙම නම් අවන්ති ගැන නම් පැහැදිමක් නැහැ මට. වෙඩින් එක දවස වෙනකම්ම ඉන්න ඕනද පැනල යන්න? එකෙන් එයාගේ පවුලේ අය, සුපුන් ගේ පවුලේ අය, සුපුන් හැමොම අමාරුවේ වැටෙනවා නේ? පුදුම කෙල්ලෙක් තමා... :(

    දෙවැනි කොටස ඉක්මනට ලියන්න... කතාව නියමයි :)

    ReplyDelete
  8. මොනවද වදේ මේකේ අනිත් මල්කාරයෝ මල්කාරියෝ ඉන්ටනැට් නැති ග්‍රහලෝකෙකටවත් ගොහිල්ලා ද?????????

    ReplyDelete
  9. මරු කතාව, /// හිටු කියල අන්දලා, බඩවල් ඔතල තදකරල අන්තිමට කියාපි: "මල්ලිලා ටොයිලට් යන්ට හෙම වෙන එකක් නෑනේ...අද වැඩිය වතුර බොන්ට එපා" කියල //

    මගෙ යාළුවෙකුත් ඔය නට්ට කෑවා, එකට අර මොකක්ද චාජ් වෙලා මගුල මැද්දෙ දෙවැනි මන මාලයා අතුරුදහන්, පස්සේ ඒකා එනවා කපල් එක චේන්ජ් වෙන්න කලින ෆුල් සූට් එකක් ගහලා.

    ReplyDelete